
මම අද කතා කරන්න යන්නෙ සෑම වසන්තයක් ආරම්භයේම ටොරොන්ටෝ නගරවාසීන් අමන්දානන්දයට පත් කරනා චෙරි මල් ගැන. කැනඩාවේ අපි චෙරි මල් කිව්වට මේවායේ සාම්ප්‍රදයික ජපන් නම සකුරා. ජපානයට ආවේනික වූ සකුරා මල, එහි වසන්තයේ ආදරණීය සංකේතයක් වනවා වගේම ජපන් සංස්කෘතියේ කැපී පෙනෙන පංගුවක් සකුරා මලට යාවී තියෙනවා. කාව්‍යමය භාෂාවෙන් කියනවා නම් සකුරා වසන්ත කාලය ආදරයේ සංධවනියක්.
ලංකාවේ අපි සකුරා මල් ගැන ඉස්සෙල්ලම ඇහුවෙ ආචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “මළවුන්ගේ අවුරුදුදා” කෘතියෙන්. අපි තරැණ කාලෙ කිසිදා නොඅසා තිබු සකුරා මල, දෙවොන්දරා සන්, නොරිකෝ සන් සහ ඔවුන්ගේ ඒ ආදරණීය වසන්ත සමය එක්ක එකට ගැට ගහලා අපි හදවතේ ඇති කර ගත්තෙ රොමාන්තික හැගීමක්. සරච්චන්ද්‍රයන්ගේ මළවුන්ගේ අවුරුදු දා, මලගිය ඇත්තෝ සහ සකුරා මල් පිළිබද මතක පොද මිය යන තෙක්ම ලාංකික ප්‍රේක්ෂකයින්ගේ හදවතේ ගැබ් ගෙන තියේවි.

සාමාන්‍යයෙන් සකුරා මල් මාර්තු අග සිට අප්‍රේල් මුල දක්වා පිපී හිනැහෙනවා. ඒ වගේම මල් පිපෙන උච්චතම කාලය කලාපය අනුව තරමක් වෙනස්වෙනවා. දින දහයේ සිට දහ හතර පමණ ආයු කාලයක් ඇති සකුරා එහෙම නැත්නම් චෙරි මල් සුදු සහ රෝස පැහැයේ පොහොට්ටුවෙන් පටන් ගෙන මුළු ගසම කොලයක් නොපෙනෙන ලෙස වැසී යන්නේ සුන්දරත්වයේ අසීමිත ආස්වාදය අපිට ලබා දෙමින්. නමුත් ඒ කෙටි කාලයෙන් පසුව මහපොළොව සිප ගන්නා මල් පෙති ලස්සන බුමුතුරුනක්ව ටික දිනකින් මියැදෙනවා.
චෙරි මල් ගස ආරම්භය චීනයේ වූ අතර බෞද්ධ භික්ෂූන් විසින් ජපානයට ගෙන යන ලද බවයි තොරතුරු පවසන්නේ. ජපන් ජාතීන් මේ චෙරි මල් පිපෙනා ඒ ටික දවස "මල් නැරඹීම" යන අර්ථය ඇති “හනාමි” කියලා ඉතා උත්සවශ්‍රීයෙන් සමරනවා. ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබෙනා මේ සුන්දර චාරිත්‍රය පටන් ගත්තේ නාරා යුගයේදී . ඒ කියන්නෙ ක්‍රි.ව. 710 සිට 794 දක්වා කාලයේ. එකල එය අධිරාජ්‍ය පැලැන්තියට සීමාවූ මංගල්‍යයක්. නමුත් පසුව හනාමි මංගල්‍යය ක්‍රමයෙන් අධිරාජ්‍ය පැලැන්තියේ සැමරීමේ සිට සමුරායි පන්තිය දක්වාත් අවසානයේ එඩෝ යුගයේදී සාමාන්‍ය ජපන් පුරවැසියන් වෙතටත් ව්‍යාප්ත වුයේ ක්‍රි.ව. 1603 සිට 1868 දක්වා කාලයේදී. 1720 දී ෂෝගන් ටොකුගාවා යොෂිමුනේ, ගං ඉවුරුවල චෙරි ගස් සිටුවීම දිරිමත් කළ නිසයි, එය සාමාන්‍ය ජනතාවට වඩාත් ප්‍රවේශ විය හැකි වුයේ.

වාර්ෂිකව සිදුවන හනාමි සම්ප්‍රදායෙදී, පැය 24ක් පුරාම සකුරාහි සුන්දරත්වය භුක්ති විඳීමට මිනිසුන් මිතුරන් සහ පවුලේ අය සමඟ සකුරා ගස් යට රැස් වෙන්නේ සකුරා මල් පිපීමේ සුන්දරත්වය භුක්ති විඳීමට, කෑමට, බීමට සහ පවුලේ අය සමග විනෝදවීමට.
සකුරා මල, නව යුගයක්, ශුභවාදී බවක්, සහ සොබාදහමේ සුන්දරත්වය නියෝජනය කලත් එහි කෙටි ජීවන කාලය හේතුවෙන් බෞද්ධ දර්ශනයේ තාවකාලික ජීවිත ස්වභාවය වගේම අනිත්‍යභාවයද සංකේතවත් කරනවා. ඒ නිසා අපි සිහිකල්පනාවෙන් මේ මොහොතේ රැඳී සිටිය යුතුයි, වගේම සෑම තත්පරයක්ම ආශීර්වාදයක් ලෙසට සලකන්න කියනා පණිවිඩය තමයි චෙරි මල අපට ලබා දෙන්නේ. මේ අනිත්‍යභාවය ජපන් කලාව, ජන ගීත සහ ජපන් ජනප්‍රිය සංස්කෘතිය තුළ නිරූපණය කරනා බවත් අපට දැක ගන්න ලැබෙනවා.
ඒ වගේම ෂින්ටෝ ආගමේ, සකුරා මලෙහි පූජනීය ආත්මයන් හෝ බලවේග ඇති බව සදහන් කර ඇති නිසා, චෙරි මල් සමය ජපන් ප්‍රජාවන් අතර වැදගත් සංස්කෘතික සිදුවීමක් බවට පත් කරනවා.

දැන් අපි බලමු කැනඩාවේ ටොරොන්ටෝව වැනි නගරවලට සකුරා මල් ආවේ කොහොමද කියලා. කැනඩාවට ජපන් සංක්‍රමණය සිදු උනේ ප්‍රධාන රැළි දෙකකට. පළමු රැල්ල 1877 සහ 1928 අතරත්, දෙවැන්න 1967 දීත් ආරම්භ උනා. කැනඩාවට පැමිණි පළමු ලේඛනගත ජපන් පුද්ගලයා වු මැන්සෝ නගානෝ ආවෙ 1877 දී. පළමු රැල්ලට ආවේ ප්‍රධාන වශයෙන් ආර්ථික අවස්ථා සොයන තනිකඩ පිරිමි, දෙවන රැල්ලෙදී තමයි පවුල්වල පැමිණීමක් දක්නට ලැබුනේ. නමුත් මුල්ම සකුරා පැලේ කැනඩාවේ සිටවලා තියෙන්නේ 1959 අප්‍රේල් මාසයේදී, ටොරොන්ටෝ නගරයේ පිහිටි අක්කර 400ක් විශාල වූ Highpark නම්වූ විශාල උද්‍යානයේ. ජපාන ජාතිකයින්ගේ ආවේනිකත්වය තහවුරු කර ගනීමට සහ කැනඩා ජපන් මිත්‍රත්වයේ සංකේතයක් ලෙසට අපට ඒ අවුරුද්දේ සකුරා පැල 2000 ක් ත්‍යාගයක් ලෙස ලැබුනේ ජපන් වැසියන් වෙනුවෙන් ටොරොන්ටෝවේ ජපන් තානාපති තුමාගෙන්.
ඉන්පසුව, ටොරොන්ටෝවේ බොහෝ උද්‍යානවල මෙන්ම වෙනත් ප්‍රාන්තයන්හි නගරවලත් චෙරි ගස් සිටවුයේ අපට ඔවුන්ගේ සංස්කෘතිය ඉතා ආදරණීයව හදුන්වා දෙමින්.
අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ, චෙරි ගසක් යටට ගිහින්, ඔබ නෙත් පොළොවෙන් ඉහලට ඔසවා ඒ චෙරි මලින් කියාදෙන සුන්දරත්වය අගය කරන්න කියලා. ඒ දර්ශනය අපගේ ආත්මය තුලට ඇතුල් කරගන්න කියලා. ඒ වගේම ආදරය සහ යථාර්ථය අපගේ කෙටි ජීවිතය තුල වැළඳගෙන සමගියෙන් සාමයෙන් ජීවත් වෙමු කියලා .
