බංගලිදේශයෙන් අපේකමට වැඩම කල සරණපාල හාමුදුරුවෝ – 2 වන කොටස

අද ඔබත් එක්ක තොරතුරු බෙදාගන්න යන්නේ ටොරොන්ටෝ සහ අවට ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත පමණක් නොව ලෝකයටම මහත් මෙහෙයක් කරන චරිතයක් එක්ක . මේ අපේ ලිපි පෙලේ දී ඔබ හමුවන පළමු බෞද්ධ ස්වාමීන් වහන්සේ වන්නේ මේ පෞර්ෂයයි. කැනඩාවේ ශ්‍රී ලාංකික පිරිස් වෙනුවෙන් මහත් මෙහෙයක් කරන තවත් යතිවරුන් රැසක් සිටියදී අප මේ හාමුදුරුවන් ගැන පලකරන්නේ බොහෝ කරුණු කාරණා නිසයි. ඒ වගේම ඔබට කිවයුතු තවත් කාරණාවක් තියෙනවා. අපේ මේ ලිපි පෙලට විවිධ වයස් කාණ්ඩවල, විවිධ ක්ෂේත්‍ර වල, විවිධ ආගම් සහ දර්ශන අදහන, විවිධ ජාතීන්ට අයත් කැනේඩියානු ශ්‍රී ලාංකික පුද්ගල චරිත එකතු කර ගන්නේ කිසිදු පිලිවෙලකින් තොරවයි. ඒ වගේම කැනඩාවේ මේ වනවිටත් ක්‍රියාත්මක වන අපේ සහෝදර පුවත්පත් හරහා ඔබට මුන නොගැසුණු චරිතත්  මේ වෙනුවෙන් එක් කරගන්නට අපි හැමවිටම උත්සාහ කරනවා. 

අද එහි දෙවන කොටසයි. පළමු කොටස ඔබට මේ දිගුවෙන් කියවන්න පුළුවන්.

ඊළඟට මට දැනගන්න අවශ්‍ය උනේ අපේ සරණපාල ස්වාමීන්වහන්සේ විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වාගෙන යන සූත්‍ර, ධම්මපද සාකච්ඡා සහ භාවනා වැඩසටහන් පිලිබදව. ස්වාමීන්වහන්සේ ඉතා සෙමින් ආයෙත් කතාව පටන් ගත්තා, “මුලදී, මගේ භාවනා සැසිවලට වැඩිපුරම සම්බන්ධ උනේ ලාංකික නොවන කැනේඩියානු පුද්ගලයින්. එයාලට පුදුම උනන්දුවක් තිබුනා මේ භාවනා වැඩසටහන් සම්බන්ධව. භාවනාව ආරම්භ කිරීමට ප්‍රථම මම එයාලට පැය භාගයක පමණ සුත්‍ර කරුණු කාරනා පදනම් කරගත් කෙටි ධර්ම දේශනාවක් කිරීමේ පුරුද්දක් තිබුනා. ජීවිතයේ බොහෝ අරගලවලට මුහුණ දුන් ඔවුන්ගේ ඉතා සංකීර්ණ ජීවිතවලට භාවනා වැඩසටහන් වලින් ආලෝකයක්  ගෙන දුන් බව ඔවුන් පැවසුවා සේම සරණපාල හිමියන්ද එය  වටහා ගෙන තිබුනා. “බොහෝ සියදිවි නසා ගැනීම් අරමුණුවලින් සිටි අයගේ ජීවිත බේරා ගැනීමට මට හැකි උනා”  සරණපාල හිමියන් පැවසුවේ ඉතාමත් සොම්නස් සිතින්.  

තවත් මම කුතුහලයට පත්කළ කරුණක් තමයි පන්සලේදී නිතර දක්නට ලැබෙනා වෙනත් ජාතිකයින්. ඒ ගැන අපේ සරණපාල හිමියන් අදහස් පල කලේ මෙහෙමයි, “මුල් කාලවලදී, අපේ ඉංග්‍රීසි භාෂා ධර්ම සාකාච්ඡා සහ භාවනා වැඩසටහන් ගැන දැන ගත්තෙ කටින් කට ගිහින්. පසුකාලීනව, මෙරට පැවති බොහෝ ‘අන්තර් ආගමික’ සංවාදවලදී මම බෞද්ධාගම නියෝජනය කලා. ඒ හේතුවෙන් තමයි බොහෝ අය මගේ වැඩ සටහන් ගැන අවබෝධයක් ලබා ගන්නේ. මීට අමතරව,මම Public and Halton School Board, Region of Peel, පල්ලි වගේ බොහෝ තැන්වල භාවනා පංති කරන නිසා මගේ ආගමික ක්‍රියාකාරකම් ගැන සමාජය දැනගත්තා. ඊටත් එහාට ගියාම මම ප්‍රාන්ත, නගරසභා මට්ටමේ සෑම බෞද්ධ වැඩ සටහනකටම සම්බන්ධව තියෙනවා. උන්වහන්සේ සම්බන්ධවීමට අමතරව, ඒවාට  සහභාගී වූ අය සමග ඉතා සුහදව දැන හැඳුනුම්කම් ඇතිකර ගන්නවා. මේ හේතුන් නිසයි මම සම්බන්ධව ලාංකික සමාජයෙන් එහා සිටිනා අයට දැන ගැනීමට ලැබෙන්නෙ”කියලා උන්වහන්සේ පිළිතුරු දුන්නා. 

2016 උන්වන්සේ Peel පොලීසියට කල “Mindfulness” නම්වූ භාවනා පන්තිය මුළු ලෝකය පුරාම Viral උනා. එය මේ “භාවනා සංකල්පයට” විශාල ප්‍රසිද්ධියක් ලබාදුන්නා. ඊට සමගාමීව කැනඩාව පුරා රෝහල්වල වෛද්‍ය වරුන්ට, හෙදියන්ට, පරිපුරක වෛද්‍ය සේවාවන්ට(Paramedics), පොලීසිවලට භාවනා පන්ති නොනවත්වා කරගෙන ගියා. උන්වහන්සේ සන්සුන්ව නැවතත් කටහඩ අවදි කළා “මම මේ භාවනා දේශනවලින් සුවපත් වන අය දුටුවහම මගේ හදවතට දැනුනෙ මහත් තෘප්තියක්. කැනේඩියානු පාසැල්වලට නිර්දේශිත “World Religion” විෂයට අවශ්‍ය දැනුම ලබා ගැනීමට පන්සලට පැමිණෙන දරුවන්ගෙන්ද මගේ ධර්ම ප්‍රචාරයට විශාල ප්‍රචාරයක් ලැබුණු බව මම දන්නවා. තවත් අපේ පන්සලේ දරුවන් මගින් කෙරෙනා කර්තව්‍යයක් තමයි නිවෙස්වලින් බැහැරව වැඩිහිටි නිවාසවල හුදෙකලාව සිටිනා වයෝවෘධ වැඩිහිටියන් නැටුම් ගැයුම් වලින් සතුටු කිරීම”. 

අපේ සරණපාල ස්වාමීන්වහන්සේ ඇතුළු විහාරස්ථානයෙන් කෙරෙනා තවත් මහගු කාර්යයක් තමයි මත්ද්‍රව්‍යන්ට, මත්වතුරට එහෙම නැත්නම් වෙනත් ප්‍රශ්න හේතුවෙන් මානසික අවපීඩනය සහ කාංසාවට ගොදුරු වූ අයව මුදවා ගැනීම සදහා ආත්මික උපදේශන(Spiritual Counselling) සැපයීම. උන්වහන්සේ මුලින්ම කරන්නේ මේ අය හමුව ඔවුන් සමග කතාබහ කර එයට ඇබ්බැහිවීම හේතුව සොයා ගැනීම.  ඉන්පසුව ඔවුන් සමග දීර්ඝ කාලයක් තිස්සේ කතාබහ කිරීමෙන් ඒ තත්වයෙන් ගොඩ ගැනීමක් තමයි උන්වහන්සේ අතින් සිදුවන්නේ. මෙය ඉතාමත් භාරදූර සහ අසීරු කාර්‍යයක් බව වැඩිහිටි අප සැමට හැගෙනවා.

උන්වන්හන්සේ සැහෙන කාලයක් තිස්සේ මෙම උපදේශන සැපයීම කරගෙන යද්දී එක අවස්ථාවකදී, එයට ඉතා ප්‍රසිද්ධියක් ලැබීමට කරුණු කාරනා සිදු උනා. සරණපාල හිමියන්ගේ භාවනා සැසිවලට සහභාගී වූ එක්තරා වෛද්‍යවරයෙක්, සියදිවි නසාගැනීමට තැත් කරනා ඔහුගේ රෝගියකු උන්වහන්සේ වෙත යොමු කලේ යම් පිළිසරණක් ලබා ගැනීමට හැකිවේදැයි කියනා බලාපොරොත්තුවෙන්. වෘත්තීයෙන්  Fashion Modelling කල ඔහු බිඳුණු ප්‍රේම සම්බන්ධය හේතුවෙන් ඉතාමත් කලකිරීමට පත්ව, කිහිප වරක් සියදිවි හානි කර ගැනීමට තැත් කල කෙනෙක්. ශරීරය පුරා පිහියා කැපුම් සහිතව පන්සලට පැමිණි මේ තරුණයා සමග මුල්ම දිනයේ පැය දෙකක් පමණ බුදු ගෙය ඇතුලේ කතා බහ කල පසුව කුස්සියට කැටුව ගොස් තේ පැන් සංග්‍රහය අතරේ තවත් පැය භාගයක් ගත කිරීමෙන් ඔහුගේ මනස සෑහෙන දුරකට සන්සුන් කරගැනීමට සරණපාල හිමියන්ට හැකි උනා. ඒත් එක්කම ජීවිතයට බලාපොරොත්තු ඇති කරගැනීමටත් ඔහු සමත් උනා. ඉන්පසු, සතියකට වරක් බදාදා දිනවල පැවත්වෙන භාවනා සැසියට සහභාගී උනා. ඊට අමතරව සරණපාල හිමියන් මුණගැසී ආත්මික උපදේශන(Spiritual Counselling)ද ලබාගෙන, මාස කිහිපයකින් ශක්තිමත් පෞරුෂයක් ඇති සාමාන්‍ය පුද්ගලයෙක් බවට පත් වුයේ ඔහු වටා සිටිනා සැවොම මවිත කරමින්. 

මෙම ආරංචිය කන වැකුණු  CTV National News හි Health journalist Avis Favaro ආරාධනා කළා අපේ ස්වාමීන්වහන්සේට සහ ප්‍රකෘති ස්වභාවයට පත්වූ මහතාට  විශේෂාංග සම්මුඛ පරීක්ෂණයකට.

භාවනාව සහ ආත්මික උපදේශනය තුලින් මානසික අවපීඩනය ඇත්තෙකු  සුවපත් කලා වූ මේ කථාංගය විකාශනය වීමත් සමගම ආචාර්ය සරණපාල ස්වාමීන් වහන්සේගේ උපදේශන කාර්යාවලිය මුළු ලොවම අස්සක් මුල්ලක් නෑර ප්‍රචලිත වුයේ අප Westend විහාරස්ථානයටත් ඉතා ප්‍රසිද්ධියක් අත්කර දෙමින්. ඒ ප්‍රසිද්ධිය තමයි මුළු ලොවම ප්‍රචලිත වූ සරණපාල හිමියන්ගේ  “කරුණාව පදනම් කරගත්  මානසික සෞඛ්‍යය” නම්වූ මෙහෙයුමට පණ පෙව්වේ. එතැන් පටන් උන්වහන්සේ  “සතිමත් සහ කාරුණික දේශයක්” නම්වූ තේමාව යටතේ වැඩසටහන් රාශියක් ආරම්භ කළා.

Zoom තාක්ෂනය හරහා කරනු ලබන මේ සැසියන්ට වරක අපේ හිටපු අගමැති Justin Trudeauද  සහභාගිවූ බව උන්වහන්සේ පැවසුවේ ඉතා නිහතමානීව. සමාජ මාධ්‍ය හරහාද උන්වහන්සේගේ වැඩ සටහන්වලට ලැබෙන්නේ පුළුල් ප්‍රසිද්ධියක්. සරණපාල හිමියන් දැනට වසර 7ක් තිස්සේ වාර්ෂිකව “මානසික සෞඛ්‍යය සහ කරුණාව” පදනම් කරගත් සම්මන්ත්‍රණයක්(“Kindful Canada Symposium: National Council on Mental Health and Kindfullness) සංවිධානය කරනවා.  මෙම වැඩසටහනට එක් එක් ක්ෂේත්‍රයන්හි උපදේශක වැඩසටහන් කරනා වෛද්‍යවරු, මනෝ විද්‍යාඥයින්, ස්නායු විද්‍යාඥයින්, විද්‍යාඥයින් වැනි විශේෂඥයින් මෙන්ම මෙහි මුල් ජාතීන්ගේ අධ්‍යාත්මික නායකයින්(First-Nations Spiritual Leaders), සමාජ සේවකයින් වැනි අය සම්බන්ධ සම්බන්ධ කර ගැනීම මෙහි සාර්ථකත්වයට පිටුවහලක් වන බවයි සරණපාල හිමියන්ගේ විශ්වාසය. මෙහිදී කණ්ඩායම් වශයෙන් බෙදී සාමුහික භාවනා පුහුණුකිරීම්, විවිධ ප්‍රයෝජනවත් වැඩසටහන්, Tai Chi  වැනිදේ ඉදිරිපත් කරනවා. 2019 දී, උන්වහන්සේගේ ආරාධනාව පිළිගෙන කතාවක් පැවැත්වීම සදහා එක්සත් ජාතීන්ගේ නියෝජිතයෙක්ද (UN Rep) මේ සම්මන්ත්‍රණයට සහභාගී උනා. 

හවායි සිට පැමිණ සියල්ල දැක බලාගත් එතුමා ඉතාමත් තෘප්තිමත්ව මේ සංකල්පය එක්සත් ජාතීන්ට හඳුන්වා දීමට යෝජනා කිරීම සරණපාල හිමියන්ගේ ගමනට විශාල රුකුලක් මෙන්ම ජයග්‍රහණයක්ද වුවා. එහි ප්‍රථිපලයක් ලෙස 2020 පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සාමාජිකයෙක් (Panel member)ලෙසට සහභාගී වීමට සරණපාල හිමියන්ට ආරාධනයක් ලැබුනා. කොවිඩ් වසංගතය හේතුවෙන් zoom තාක්ෂනය හරහා ක්‍රියාත්මකවූ ඒ වැඩසටහනේ උන්වහන්සේට ලැබුනේ දේශනයක් පමණක් නොවේ, එක්සත් ජාතීන්ගේ 2030 සංවර්ධන ඉලක්ක අතරට  උන්වන්සේගේ Kindfulness සංකල්පයද ඉලක්කයක් ලෙස ඇතුලත් කළා. ඔහු මන්ත්‍රයක් ලෙස සෑමවිටම පවසන සෘණාත්මක මානසික තත්වයන් නැති කිරීමට ඉවහල් වන “කරුණාව පදනම් කරගත් මානසික සෞඛ්‍යය” නම්වූ සංකල්පයට සාධාරණයක් ඉටුවීම උන්වහන්සේට පමණක් නොවේ, අප විහාරස්ථානයටද ගෞරවයක්. අනිකාට කරුණාවෙන් කතා කිරීමෙන්, කරුණාවෙන් සිතීමෙන්, කරුණාවෙන් සැලකීමෙන් සහ කරුණාවෙන් උදව් කිරීමෙන් අප සොයනා අධ්‍යාත්මික සුවය සහ සන්සුන් මනසක් ලැබෙනවා මෙන්ම ඉන් මුළු විශ්වයම සුවපත් වන බවයි උන්වහන්සේ විශ්වාස කරන්නේ. විශේෂම දේ තමයි, සරණපාල ස්වාමීන්වහන්සේ අතින් සිදුවන මේ උදාර කර්තව්‍යයේ අරමුණ වන්නේ ආගම ප්‍රචාරය කිරීම නොවේ, කරුණාව(Kindfulness and Minfulness) පැතිරවීමයි. 

Kindfulnes and Mindfulness  සංකල්පය ලොවට හදුන්වා දුන්නෙ Ajahn Brahm නම්වූ ඉතා ජනප්‍රිය බෞද්ධ ගුරුවරයා. නමුත් සරණපාල හිමියන් ඒ පද පෙලට විශාල අර්ථකථනයක් දී රටක්, සහ ලොවක් සුවපත් කිරීම සදහා එම සංකල්පය යොදා ගන්නවා. 

කොවිඩ් වසංගතය පවතින කාලයේ ලංකාව, බුරුමය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ටැන්සානියාව, උගන්ඩාව, කොංගෝව වැනි රටවල් 16කට මේ සංකල්පය හරහා අපේ හාමුදුරුවන් උදව් කළා. මේ අතුරින්, උගන්ඩාවේ අතවරයන්ට ගොදුරු වූ ගැහැණු ළමයින් සදහා කල ව්‍යාපෘතිය ඉතා විශේෂයි. ඔවුනට මේ ව්‍යාපෘතිය මගින් මානසික සුවය ලබා දුන්නා මෙන්ම ජීවනෝපායක් සරිකර ගැනීම සදහා මහන මැෂින් 30 ක්ද ලබාදුන්නා. ඒ වගේම කොංගෝවේ වතුර නැති මුළු ගම්මානයකටම වතුර සැපයීමටද කටයුතු කළා. මේවාට මුල්‍ය ආධාර ලැබෙන්නේ පන්සලේ  දායකයින්ගෙන්, භාවනා පන්ති සාමාජිකයින්ගෙන් වගේම උන්වහන්සේට ත්‍යාග වශයෙන් ලැබෙන මුදල්වලින්.

මගේ ඊලඟ ප්‍රශ්නය වුයේ, මිසිසාගා Celebration Squareහි සමරන “Unity Annual Wesak Program” නම්වූ වෙසක් උත්සවය පිලිබදව. උන්වහන්සේ පැහැදිලි ස්වරයෙන් කතාව නැවතත් ආරම්භ කළා, “චීනය, ජපානය, තායිලන්තය ඇතුළු සෑම රටකම මහායාන සහ ථෙරවාද බෞද්ධ විහාරස්ථාන සහභාගී කරගෙන සමරන මේ වැඩ සටහනින් බෞද්ධාගම සම්බන්ධව කැනේඩියානුවන් දැනුවත් කිරීම තමයි මුලිකම අරමුණ. වාර්ෂික වෙසක් උත්සවය මේ සෑම විහාරස්ථානයකම ගෘහස්තව සිදුකලත්, මෙය එළිමහනේ කිරීමෙන් සියලුම බෞද්ධයන්ගේ එකමුතුකම ගැන ලොවට අවබෝධයක් ලබා දෙනවා. මෙයට රජයේ මැති ඇමතිවරු, රජයේ උසස් නිලධාරීන්ද සම්බන්ධ වෙනවා. වරක Progressive Conservative පක්ෂයේ නායකයාද සහභාගී උනා. ඇත්තටම මේ වැඩසටහන මගින් අපි ලෝකයේ අනෙක් රටවලට නායකත්වය සපයනවා. කොවිඩ් කාලයේ එය නතර කිරීමට සිදු උනත් වසර දෙකක් Zoom තාක්ෂනය ඔස්සේ සිදුකලා. මේ වසරේ මැයි 24 වැනි දින, මිසිසාගා Celebration Square එකේ මෙම උත්සවය සැමරීමට බලාපොරොත්තු වෙන බව උන්වන්සේ ඉතා සතුටින් දැනුම් දුන්නා.

කොවිඩ් කාලයේ සරණපාල ස්වාමීන්වහසේ ආරම්භ කල බොහෝ වැඩසටහන් අදටත් නොකඩවාම කරගෙන යනවා. අවුරුදු 5ක් තිස්සේ උතුරු ඇමෙරිකාවේ බෞද්ධ භික්ෂු භික්ෂුනීන් සහභාගී කරවා ගෙන සති දෙකකට වරක් සිදු කරන සති 5 සුත්‍ර සාකච්චාව දැන් සැසි 100ක් කරලා අවසන්. නොකඩවාම පන්සල මගින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරගෙන යනු ලබන සුත්‍ර සාකච්චා, ධම්ම සාකච්චා, භාවනා පන්ති වෙස්ටෙන්ඩ් බෞද්ධ මධ්‍යස්ථානයට බැතිමතුන් ආකර්ශනීය වීමට විශේෂ හේතුවක් වෙනවා.

මම දන්නා තරමින් සරණපාල ස්වාමීන්වහන්සේ බංගලාදේශයට වඩා ලංකාවට  උදව් උපකාර කරනවා. එයට හේතුව උන්වන්සේගෙන්ම දැනගැනීමේ ආසාවක් මට ඇති උනා. ස්වාමීන්වහන්සේ කටහඩ නැවතත් අවදි කළා, “මම ඉපදුනේ බංගලාදේශයේ උනත්, මා මුල් බැසගත්තෙත්, මගේ පැවැත්ම ආරම්භ වුයේත්  ලාංකික පොළොවේ” යනුවෙන් පැවසුවේ ඉතාමත් කෘතඥශීලී ස්වරයකින්.  

මේ කතාබහ අතරතුරම අප ස්වාමීන්වහන්සේගේ බංගලාදේශ ඥාති සම්බන්ධකම් සම්බන්ධවද සදහනක් කළා.  1984 වසරේදී, කුඩා දරුවකු ලෙසට එරටින් පිටවූ ස්වාමීන්වහන්සේ නැවතත් ප්‍රථම වතාවට දෙමාපියන් බැලීමට යා හැකි උනේ 2000 වසරේදීයි. එතැන් පටන් වරින් වර දෙමාපියන් දැක බලා ගැනීමට තම මව් රටවු බංගලාදේශයට යාමට උන්වහන්සේට හැකියාවක් ලැබුනා. තම පියාණන්ට හිතේ හැටියට සලකා ගැනීමට තරම් කාලයක් ඔහු ජීවතුන් අතර නොසිටියත්, ඒ පීතෘත්වයට උපහාරයක් ලෙස පියාණන්ගේ අභිලාෂයන් ඉටුකිරීම පිලිබදව අපේ හාමුදුරුවන්ට ඇත්තේ තෘප්තියක්. “මට අම්මගේ දුක සැප බලා ගන්න නම් උපරිමයෙන්ම පුළුවන් උනා” යැයි මාතෘ සෙනෙහස සිහිපත්ව උන්වහන්සේ පැවසුවා.

ඒත් එක්කම බංගලාදේශ රටටත් උන්වහන්සේ උදව් පදව් කරනවා. ඒ රටේ ළමයින් 60කට අධ්‍යාපනය සදහා පන්සල සමග සම්බන්ධව උදව් කරන අතර පාසල් සදහා පන්ති කාමර නිමවා දීම්, පරිගණක යන්ත්‍ර සහ අනෙක් පාසල් උපකරණ සැපයීම් වැනිදේ කරනවා. අවශ්‍යතා ඇති පවුල්වලට, කෑම බීම, බෙහෙත්, සීත ඝෘතුවේදී බ්ලැන්කට් සහ ජැකට් සැපයීමද අපේ පන්සල මගින් වාර්ෂිකව සිදු කරනා පුන්‍යකර්මයක්. ළමයින් 150ක් සිටිනා ළමා නිවාසයක් පවත්වාගෙන යාමට පන්සල මගින් උදව් කරනවා. බංගලාදේශයේ පන්සල් ඉදිකිරීමේ කටයුතුවලටද උන්වහන්සේ හැකි පමණින් උදව් පදව් කරනවා. මේ සියලුම පුණ්‍ය කටයුතු  කරනු ලබන්නේ “Kindfulness සංකල්පය” යටතේයි.

සරණපාල හිමියන්ගේ මේ Kindfulness සංකල්පය යටතේ,  අප විහාරස්ථානය ලංකාවේ බොහෝ පුණ්‍යකාර්ම කටයුතුවලට සම්බන්ධ වෙනවා. සෑම මාසයකම ලංකාවේ එක පාසලකට අවශ්‍ය සියලුම පාසල් උපකරණ, පාසල් ඇදුම් සහ පාවහන් සැපයීම වැනි පුර්ණ ව්‍යාපෘතියක් ලෙස සිදුවෙනවා. මේ දිනවල මොනරාගල දිස්ත්‍රික්කයේ ඇති අඳ ගොළු බිහිරි පාසලක අවශ්‍යතා සම්බන්ධව උන්වහන්සේට ලැබුණු ඉල්ලීමක් අනුව, උන්වන්සේ  ඒ ව්‍යාපෘතිය සදහා මේ දිනවල සැලසුම් කරගෙන යමින් සිටිනවා. එමෙන්ම, ලංකාව ඉතා අසරණ තත්වයකට මුහුණ දුන් කොවිඩ් වසංගතය කාලයේදී, බොහෝ අරමුදල් රැස් කර රෝහල් 10කට ඖෂධ, ඩයලිසිස් පුටු වැනි රෝහල් උපකරණ සැපයුවා. 

ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ රැකියාවට නොයාම සරණපාල හිමියන් කැපකිරීමක් ලෙස හැදින්වීම ගැන ඇතිවූ කුතුහලය හේතුවෙන් මම විමසුවා උන්වහන්සේට ඒ ගැන කනගාටුවක් තියෙනවද කියා. ඔහු ඉතා පහසුවෙන් වචන ගැලපුවා, “නෑ එහෙම දෙයක් නැහැ, හැම දේම සිද්ධ වෙන්නෙ හොදටයි කියලා මගේ හෘද සාක්ෂිය මට කියනවා. මම රැකියාවට ගියා නම් මට මුදල් උපයන්න තිබුනා. නමුත් මම අද කරන්නෙ මිනිසුන් සුවපත් කිරීම. ඇත්තටම මම ඒකෙන් ලබන්නේ උපරිම තෘප්තියක්. මුදල් කියන්නෙ හැමදේම නොවේ කියන එක මට සාක්ෂාත් උනා” යැයි පැවසුවේ ඉතාමත් පහන් සිතකින්.

මගේ ඉල්ලීම පිට සරණපාල හිමියන් විසින් රචිත ග්‍රන්ථ ගැනද සදහනක් කළා.             “Kindfulness” සංකල්පය ග්‍රන්ථාරුඪ කිරීම අතිශයින් වැදගත් බව බොහෝ දෙනෙක් මට පෙන්වා දුන්නා. එකල මම ඉතාමත් අවිවේකී ජීවිතයක් ගෙව්වෙ, නමුත් කොවිඩ් වසංගතය සමයේ ඒ සදහා කාලයක් වැය කිරීමට මට අවස්තාව ලැබුනා. ඒ විදියටයි, “Are You Kindful” නම්වූ ග්‍රන්ථය, 2023 ඔක්තෝම්බර් 23 වෙනිදා,  එලි දැක්වීමේ වාසනාව උදා උනේ. එය සිදු වුයේ The Aga Khan Museum – Auditorium හිදී, “6th Annual Kindful Canada Symposium” නම්වූ අප වාර්ෂික සම්මේලනයේදී”.    

 2024 දී, මේ පොත කියවූ TVO හි  “The Agenda” වැඩසටහන මෙහෙයවන රුපවාහිනී මාධ්‍යවේදී Steve Paikin උන්වහන්සේ සමග විශේෂ සම්මුඛ සාකච්චාවක් පැවැත්වුවේ උන්වහන්සේගේ මේ කර්තව්‍ය අගය කරමින්.

මේ අතරේ උන්වහන්සේ සුත්‍ර පිටකය ආශ්‍රිතව බෙංගාලී භාෂාවෙන් Facebook හරහා වැඩසටහනක් කළා. මෙයට සවන් දී තම ජීවිතය ධනාත්මකව වෙනස් කරගත් කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ජීවත්වන බෙංගාලි කාන්තාවක් දුරකථන ඇමතුමක් හරහා සරණපාල හිමියන්ගෙන් ඒ වැඩසටහන් ලියා තැබීමට අවසර ඉල්ලා සිටියේ අප ස්වාමීන් වහන්සේ විමතියට පත් කරමින්. ඇය මුල්මනින්ම ලියු එම ග්‍රන්ථය, “Towards a bright life” සරණපාල හිමියන්ගේ සමාලෝචනයෙන් පසුව බංගලාදේශයේ වැඩවසන සරණපාල හිමියන්ගේ ගුරු හිමියන්ට උපහාර පිණිස එම රටේදී එලි දැක් වුවා. 

ලොවටම ඉතාමත්ම ඛේදනීය යුගයක් අත්කර දුන් කොවිඩ් වසංගතය සමය අප සරණපාල ස්වාමීන්ට උදාකර දුන්නේ ඉතාමත් ස්වර්ණමය යුගයක් බව සපථ කරමින් උන්වහන්සේ එම බෙංගාලී බසින් ලියැවුණු ග්‍රන්ථය, සිංහල භාෂාවට පරිවර්තන කර “දීප්තිමත් ජීවිතයක් කරා” නමින් එලි දැක්වුවා. 

මම නැවතත් උන්වහන්සේට බාධා කළා, “ඔබ වහන්සේට පරමාදර්ශවූ  චරිත ගැන යමක් කියන්න පුලුවන්ද?”. 

  • “ඔව්, මගේ මුල්ම පරමාදර්ශ චරිතය තමයි මා ජීවිතයේ ප්‍රථම ගුරු හාමුදුරුවන් වන ගෞරවනීය මඩිහේ පඥ්ඥාසීහ නායක ස්වාමීන්වහන්සේ. උන්වන්සේගේ ආදර්ශ පාඨයක් තිබුනා, “මිනිසා නොහදා රටක් හදන්න බැහැ. එනිසා මිනිසා හදා රට හදමු” කියලා.  ඒක මගේ හිතට ඉතාමත් තදින් කාවැදුණු පද පෙළක් වගේම මම අද  පිලිපදින්නෙත් ඒ දර්ශනය. 
  • “නුවර වජිරාරාමයේ විහාරාධිපතිව වැඩ විසූ, ඒ වගේම අදටත් උතුරු ඇමෙරිකාවේ විහාරස්ථාන තුනක විහාරාධිපති ලෙස වැඩ වසන පුජනීය බ්‍රාහ්මණගම මුදිත ස්වාමීන්වන්සේ  මගේ ජීවිතය හැඩ ගැස්වූ ඉතා වටනා ගුරුවරයෙක්. උන්වහන්සේගේ “අසරණ සරණ ” නම්වූ වැඩසටහනින් කල සේවාව මගේ හිතට හරියට කා වැදුනා වගේම මගේ ජීවිතය හැඩ ගැස්වූවා”. 
  • “මගේ ගිහි ගුරුවරයා වූ ගොඩ්වින් සමරරත්න මැතිතුමා තමයි මට භාවනාව  සම්බන්ධව ගැඹුරු හැගීමක් දුන්නේ. ඒ වගේම, එතුමා නිසා තමයි මම භාවනා මගට යොමු උනේ. ඒ දැනුම මගේ ජීවිතයට විශාල බලපෑමක් කළා”.
  • “ඒ වගේම මහනුවර Primrose උයනේ වජිරාරාමයේ භාවනා ගුරුවරයෙක් වූ මහවත්තේ ප්‍රේමාලංකාර ස්වාමීන් වහන්සේගෙන් මගේ ජීවිතයට ලැබුණු කරුණා මෛත්‍රී ආලෝක පරමාදර්ශය මට කිසිම දිනක අමතක වෙන්නේ නැහැ”. 
  • “ජර්මන් ජාතික ඥානතිලක, ජර්මන් ජාතික ඥානපෝනික, ඇමෙරිකන් ජාතික භික්ෂු බෝධි ස්වාමීන්වහන්සේලා සමග ඉතා සමීපව කටයුතු කිරීම මගේ ජීවිතයට ඉතා විශාල බලපෑමක් ඇති උනා වගේම කවදා හෝ දිනක මෙවැනි ධර්ම ප්‍රචාරක කටයුතු  මමත් කල යුතුයි කියනා ආසාවකුත් හද පත්ලේ ඇති කළා. වසර ගණනාවකට පස්සේ භික්ෂු බෝධි හිමි මට කැනඩාවේදී මුණ ගැසුනා. එදා අවුරුදු 13 ක් වයසේ සිටි සාමනේරයන්ගේ ප්‍රගතිය දැකලා උන්වහන්සේට අදහා ගන්නවත් බැරි උනා වගේම උන්වහන්සේ ඉතා සොම්නසට පත් උනා”. 
  • “අවුරුදු 13ක් වැනි කුඩා අවදියේදී, පියදස්සී නායක ස්වාමීන්වහන්සේ මට පැවසු, “පොඩි නම, මම වගේ නෙවෙයි මම කරනවාට වඩා වැඩි දෙයක් උනත් කරන්න නම් PhD දක්වාම ඉහලටම ඉගෙන ගන්න ඕන” කියලා. මම තරයේ විශ්වාස කරනවා මේ ස්වාමීන්වහන්සේ මගේ ජීවිතයේ සන්ධිස්ථානයක් උනා කියලා”. 
  • “කැනඩාවට පැමිණිදා සිට මගේ මවත් පියාත් දෙදෙනාම වුයේ මිසිසාගා පන්සලේ නායක කුළුගම්මන ධම්මාවාස හාමුදුරුවෝ. ESL සිට PhD දක්වා පන්තිවලට ගෙන යාම ඒම සියල්ලම කලේ නායක හාමුදුරුවෝ. උන් වහන්සේගේ  දිරිගැන්වීම සහ බලා කියා ගැනීම නිසයි මම මේ සියල්ල ජයගත්තෙ. ධම්මාවාස හාමුදුරුවෝ තමයි මා මේ සාක්ෂාත් කරගත් සියලුම දේ පිටුපස සිටිනා පර්වත රාජයන්. නායක හාමුදුරුවන් වෙනුවෙන් මට කල නොහැකි දෙයක් නැහැ” සරණපාල හාමුදුරුවෝ  පැවසුවේ ඉතාමත් හැගීම්බරව. 

“මට පරමාදර්ශ වූ මේ සියලුම ගුරුවරුන්ගෙන් මා උරුම කරගත් ධර්ම දැනුම, ධෛර්යය, ජීවිතාබෝධය, මට කිසිදිනක අමතක වෙන්නෙ නැහැ”යි උන්වහන්සේ පැවසුවේ ඉතාමත් හැගුම්බරව. 

සරණපාල ස්වාමීන් වහන්සේට ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ පුර්ණ කාලීන රැකියා අවස්තාවක් ලැබුනත්, එය භාර නොගෙන නායක ස්වාමීන්වහන්සේට කලගුණ සැලකීමක් ලෙසට නව නව විහාරස්ථානය ඉදිකිරීම් කමිටුවේ සභාපති ලෙස සේවය කර එම ගොඩ නැගීමේ කටයුතු ඉටු කිරීමට උන්වන්සේ තීරණ කලා. ඒත් එක්කම, මුදල් ඉපයීමට වඩා ධර්මය වෙනුවෙන් කැපකිරීමක් කල යුතුයි කියනා හැගීමකුත් ඒ තීරණ පිටුපස තිබුනා. 1992දී, කුළුගම්මන ධම්මාවාස, අපවත්වූ ආචාර්ය මඩවෙල පුන්නජී සහ  බ්‍රාහ්මණගම මුදිත ස්වාමීන් වහන්සේලා තුන් නම විසින් මහල් නිවාසයකින් ආරම්භ කල මිසිසාගා විහාරස්ථානය පසුව මිසිසාගා නගරයේම පැරණි නිවසක කරගෙන ගියා. සියලුම දායකයින්ගේ කැපවීම හේතුවෙන් අවුරුදු 3 ක් වැනි කෙටි කාලයකින් විහාරස්ථානයේ වැඩ නිමා කර 2011 ගෙවැදීමට හැකි උනා”

උන්වහන්සේ නැවතත් කටහඩ අවදි කළා, “මට තව කිව යුතු විශේෂිත දෙයක් තිබෙනවා, දැන් සෞදි අරාබිය නවීකරණය කරගෙන යන ඒ රටේ ඔටුන්න හිමි කුමාරයාට අන්තර් ආගමික සාමය පිලිබදව තදබල උනන්දුවක් තිබෙනවා. ඔහු ආදර්ශයට ගෙන තියෙන්නේ කැනඩාව. සෞදි අරාබියේ වාර්තා චිත්‍රපට හදන කණ්ඩායමක් කැනඩාවට ඇවිත්, මේ රටේ ඉන්නා සෑම ආගමික නායකයෙක් සමගම සම්මුඛ සාකච්චා පැවැත්තුවා. ඔවුන් කැනඩාවේ බුදු දහම නියෝජනය කිරීමට තෝරාගෙන තිබුනේ මම”. 

ඒ වාර්තා චිත්‍රපටය විකාශනවීමත් සමගම, එරට ජනතාවට සෞදි අරාබි රූපවාහිනියේ ප්‍රථම වතාවට බෞද්ධ භික්ෂුවක් ලෙස දැකබලා ගැනීමට හැකියාව ලැබුනේ උන්වහන්සේ. සහතික වශයෙන්ම, මෙය සරණපාල හිමියන් ලැබුවාවූ පෞද්ගලික ජයග්‍රහණයක් නොවේ. එය සකල කැනේඩියානු බෞද්ධ, අබෞද්ධ අප සැමට ලැබුනාවූ ගෞරවයක් සහ ජයග්‍රහණයක්. ඒ සියල්ලටමත් ඉහලින් මිසිසාගා බෞද්ධ මධ්‍යස්ථානයේ දායකයින්ට ඉමහත් අභිමානයක්.

දීර්ඝ දුරකථන සාකච්චාවකින් පසුව මට උන්වන්සේගේ අනාගත සැලසුම් ගැන දැනගැනීමේ අභිලාශයක් ඇති උනා. උන්වහන්සේ බලාපොරොත්තු නොවූ ඒ පැනයට පිළිතුරු ලැබුනේ මෙහෙමයි, “පැවිදි හිමි නමක් ලෙසට අපේ එකම සහ ප්‍රධාන බලාපොරොත්තුව විය යුත්තේ නිර්වාන අවබෝධය. නමුත් ඒ දීර්ඝ මං මාවතේදී මිනිස් වර්ගයාගේ යහපත් සහ ආලෝකමත් පැවැත්ම වෙනුවෙන් පැවිද්දන් ලෙසට අපට කල හැකි උපරිම සේවය කලයුතුයි කියලයි මම විශ්වාස කරන්නෙ. මට මේ ජීවිතයේ තිබෙනා අරමුණ තමයි, සෑම රටක්ම සතිමත් සහ කාරුණික දේශයක් බවට පත්කිරීම. එමනිසා මම කරනා වැඩසටහන් තවත් වැඩි දියුණු කරගෙන ඉදිරියට යාමටයි බලාපොරොත්තුව” කියමින් උන්වහන්සේ සැනසුම් සුසුමක් පිටකලා.

අප සම්මුඛ සාකච්චාව අවසාන භාගයට එළැඹිමෙන් සිටියදී, සරණපාල හිමියන්ට ලැබුණු සම්මාන පිලිබදව මගේ විමසීමට උන්වන්හන්සේගෙන් ලැබුණු පිළිතුර වුයේ, “මට කැනේඩියානු රජයෙන් බොහෝ සම්මාන ලැබී තියෙනවා, අවසාන සම්මානය ලැබුනේ දැන් සති දෙකකට පෙර, ඒ තමයි “King Charles Coronation Medal” එක. 

චරිතාපදාන ලිවීම ආරම්භ කල දින පටන්ම මා හමුවන ගිහි සහෘදයින්ගෙන් අසන තවත් ප්‍රශ්නයක් වනුයේ “ඔබට මගහැරුණු සිහින තිබෙනවාදැයි” යන්න. නමුත් බෞද්ධ චීවරයක් දරන, ධර්මවාසීව වැඩසිටින, ලොවේ යහපත වෙනුවෙන් පාරමිතා පුරන යතිවරයෙකුගෙන් මේ ප්‍රශ්නය ඇසීමේදී මගේ දිව තරමක්  පැටලුනා. නමුත් උන්වහන්සේ, දෙවරක් නොසිතා ඉතා සැහැල්ලුවෙන් සහ තරමක හාස්‍යජනක ස්වරයෙන් ඒ පැනයට පිළිතුරු දුන්නේ මාවත් මවිතයට පත් කරමින්, “ඔව්, ඔව් ඇත්තටම මට මග හැරුණු සිහින දෙකක් තියෙනවා. මම පුංචි කාලයේ ඉදලම පාපන්දු ක්‍රීඩාවට ඉතා ඇල්මක් දැක්වුවා. මම මහණ නොවී සිටියා නම් අද නම් දැරූ පාපන්දු ක්‍රීඩකයෙක් විය හැකිව තිබුනා කියන එක මට හරිම විශ්වාසයි. ඒ වගේම මම සංගීතයට ඉතාමත් ප්‍රිය කල කෙනෙක්. පුංචි කාලෙදි පවා මම සංගීත වේදිකාවල සිංදු කියලා තියෙනවා. මම මහණ නොවුනා නම්, අද බංගලාදේශ රටේ ප්‍රසිද්ධ ගායකයෙක් වන බවට මට කිසිම සැකයක් නැහැ, ගායනයට සරිලන කටහඩක් මට තියෙන බව මම හොදාකාරවම දන්නවා. දක්ෂ ගායකයින්ගේ ගීත ඇසෙද්දී මට වෙලාවකට පුංචි ආසාවක් ඇතිවෙනවා ශාන්ති නිකේතනයට ගිහිල්ලා සංගීතය ඉගෙන ගන්න. ඉතිං මම මහණ නොවී සිටියා නම්, අද බංගලාදේශ රටේ නම් දැරූ පාපන්දු ක්‍රීඩකයෙක් හෝ ප්‍රසිද්ධ ගායකයෙක් විය හැකිව තිබුනා කියන එක මට හොදටම විශ්වාසයි” යනුවෙන් සරනපාල හිමියන් පැවසුවේ හාස්‍යජනක සිනහවකුත් සමග. සරණපාල හිමියන්ගේ ඉතාමත් අව්‍යාජ සහ අවංක පිළිතුර මාව ඉතාමත් සතුටට පත් කළා.

සරණපාල ස්වාමීන්වන්සේගෙන් මම ඇසු අවසාන ප්‍රශ්නය වුයේ, “ඔබ මේ ලෝකයෙන් සමුගන්නා විට සමාජයට ඉතිරි කිරීමට බලාපොරොත්තු වන්නේ කුමන ආකාරයේ ප්‍රතිරුපයක්දැයි” යන්න. එයට පිළිතුර උන්වහන්සේගේ වචනයෙන්ම ”මම ඉතාමත් කුඩා කාලයේ සිටම අවිහිංසාවාදී හැගීම් තිබු දරුවෙක්. මගේ කුඩා කාලයේ මිතුරන් සෙල්ලමට හෝ සතුන්ට හිරිහැර කලත්, මට කිසි විටෙකත් එවැනි හිංසාවක් සිතීමටවත් අපහසු උනා. මිනිසුන් ගහ මරා ගන්නා විට එය දරා ගන්න බැරිතරම්ම මම ඉතාමත් සංවේදී උනා. මිනිසුන් තුල දයාව මෛත්‍රිය අඩු නිසයි මිනිසුන් මිනිසුන්ට හිරිහැර කරන්නේ කියලයි මම විශ්වාස කරන්නේ. මම භාවනා පන්ති කිරීමෙන්, තරුණ දරුවන්  හවුල් කරගෙන නිවාස නොමැති අය වෙනුවෙන් Soup Kitchen වැනිදේ කිරීමෙන්, අග හිගකම් ඇති අයට උදව් පදව් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ මේ තරුණ දරුවන් සිත් තුල කරුණාව මෛත්‍රිය වර්ධනය කිරීමයි. මම පුර්ණ උත්සාහය දරන්නේ සතිමත් සහ කාරුණික ලෝකයක් තැනීමට. එය මට මුළුමනින්ම කල නොහැකි උනත්, ඒ උදාර කර්තව්‍ය කිරීමට උත්සාහයක් ගත්  කෙනෙක් ලෙසට මිනිසුන් මා මතක තබා ගතහොත් මට ඒ හොදටම ඇති” යැයි, උන්වහන්සේ පහන් හැඟුමින් ප්‍රකාශ කළා. ප්‍රසන්න සිනහවක් මිශ්‍ර කටහඩක් ඇති අපේ සරණපාල හිමියන් මිසිසාගා විහාරස්ථානයට ආභරණයක්.

මිසිසාගා බෞද්ධ මධ්‍යස්ථානය කියන්නේ බෞද්ධයින්ට පමණක් සීමාවූ තෝතැන්නක් නෙවෙයි, එය සකල විධ ජනයාටම විවෘතවූ ප්‍රජා මධ්‍යස්තානයක්, අප ලාංකික සංස්කෘතිය ආරක්ෂා කරනා කෙම්බිමක්. මෙම පන්සලට පැමිණෙන බෞද්ධ, අබෞද්ධ සැමටම එහි නායක ස්වාමීන්වහන්සේ වන කුළුගම්මන ධම්මාවාස හිමියන්ගෙන් ලැබෙන්නේ සමානාත්ම ස්නේහවන්ත සැලකිල්ලක්. එයට හේතුවන්නේ නායක ස්වාමීන්වහන්සේගේ ඉතාමත් ආදරණීය සහ කාරුණික පැවැත්ම. උන්වහන්සේ විසින් පන්සලට පැමිණෙන සෑම බැතිමතෙක්ම සප්පායම් කරනා ඉතා ප්‍රනීත “තේ කෝප්පයේ” අභිරහස පිලිබදව යමෙක් විමසු විට, උන්වහන්සේගේ සිනහ මුසු පිළිතුර වන්නේ, “සීනි, තේ කොළ, කිරි වලට අමතරව මම ආදරය තේ හැන්දකුත් එයට එකතු කරනවා” යන්නැයි. උන්වහන්සේගේ නිහතමානීකම කියා නිම කිරීමට අප ශබ්දකෝෂයේ වචන ඇත්දැයි ඇත්තටම මට අනුමානයි. පැමිණෙන සැමටම තේ කෝප්පය සැදීම, ආහාර පිළියෙළ කරදීම වැනි සියල්ල සිදුවන්නේ උන්වහන්සේගේ දෑතින්මයි. එසේනම් නායක ස්වාමීන්වන්සේ නම්වූ මහා රුක්ෂ රාජයාගේ පාමුල හැදී වැඩුනාවූ සරණපාල හිමියන්ගේ චරිත ලක්ෂණ අපට අරුමයක් විය හැකිද? සරණපාල හිමියන්ට කුළුගම්මන ධම්මාවාස ස්වාමීන්වහන්සේ නම්වූ පහන් කණුවේ එලිය වැටීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු නේද? 

මිනිස් ආත්මයක් ලැබූ සෑම ජීවියෙකුගෙන්ම තම වටපිටාවට ඉටුවිය යුතු යම් මහගු යුතුකමක් තිබෙනා බව ඉතා බරපතල ලෙස අවබෝධ කරගත් ආචාර්ය බංගලාදේශ සරණපාල ස්වාමීන්වහන්සේ, ඒ  යහපත් සමාජය නිර්මානය කිරීම සඳහා ජනතාව පෙල ගැස්වීමට යොදවා ගත්තේ තථාගත බුදුරජානන් වහන්සේ ලොවට වදාළ බෞද්ධ දර්ශනයට පාදක වූ කරුණාව සහ මෛත්‍රිය. ඒ කර්තව්‍ය ඉතා ඉහළින් සහ ඉන් ඔබ්බට ඉටු කරමින් කැනඩාවේ වෙසෙන බෞද්ධයන් ලෝකය තුල නිර්වචනය කරනා සරණපාල හිමියන්ගේ අරමුණු සාක්ෂාත් කරගැනීමට හැකි වේවා සහ උන්වහන්සේගේ මග පෙන්වීමෙන් මිනිසුන්ගේ සිත් සතන් පහන් වේවා යයි’ යැයි මා ඉත සිතින් සුභ පතනවා.

ඉතාමත් කාර්යබහුල දිවියකට හිමිකම් කියනා අපේ  ස්වාමීන්වහන්සේ මගේ ඉල්ලීමට නිහතමානීව ඉතා ඉක්මන් ප්‍රතිචාරයක් ලබාදීම පිලිබදව අප පුවත්පත වෙනුවෙන් කෘතඥතාවය පලකරමින් ස්වාමීන්වහන්සේ සමග ගෙවුණු ඉතාමත් හරබර මෙන්ම ගැඹුරු කරුණු කාරණාවලින් සපිරි හෝරා තුනකට ආසන්න කාලය ලෝකෝත්තර සතුටකින් මෙම සටහන සමග නිමා කරනා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *