වාලම්පුරි හෙවත් හීන හත හමාරක්

වාලම්පුරි කියන්නේ මෑත කාලීනව ලංකාවේ තිරගත වූනු ආන්දෝලනාත්මක සැබෑ සිනමා අත්දැකීමක් ලබාදුන් චිත්‍රපටයක්. කැනඩාවේ අපේ සමහරුන්ටත් එය බලන්නට ඉඩ ලැබුනා. ඒත් එය තවත් වැඩි පිරිසක් අතරට ගියානම් හොඳයි. මේ සටහන ලියැවෙන්නේ හැමිල්ටන් නගරයේ ජීවත්වන එහි කැමරා අධ්‍යක්ෂක කාලිංග දේශප්‍රිය සමඟ කල සංවාදයක් ඇසුරින්. 

කලාව යනු  දෙවියන්වහන්සේගෙන් ලැබුණු ආශීර්වාදයක් ලෙසයි විශ්වීය පිළිගැනුම. ඇත්තටම, මේ තර්කයට විරුද්ධව මතයක් ඉදිරිපත් කිරීමට අපට ඉතාමත්ම අපහසුයි. එයට හේතුව තමයි, එය එසේ නොවුනා නම්, මේ දක්ෂතාවය සෑම අයෙකුටම පිහිටිය යුතුයි.

සාමාන්‍ය පොදු භාෂාවෙන් කියනවා නම්, කලාව කියන්නේ මිනිස් නිර්මානශීලිත්වයේ සහ හැගීම්වල ප්‍රකාශනයක්. නමුත් “කලාකරුවෙක්” කියලා නිර්වචනය කරන්න පුළුවන් නිර්මාණශීලීන් අද අපේ ශ්‍රී ලාංකික සමාජයේ ඉතා විරල බවයි මම විශ්වාස කරන්නේ. කලාකරුවාගේ කර්තව්‍ය විය යුත්තේ තමාගේ නිර්මාණ තුලින් තම සමාජ වටපිටාව ඉහල තලයකට ගැනීමට නිරන්තරයෙන් උත්සාහ කල යුතු වීම. ඒ සමාජ යුතුකම අද කී දෙනෙක් අතින් සිදු වේද? 

අප විද්‍යුත් ප්‍රකාශනය උදෙසා මේ සමාජ විග්‍රහයට හසුවන කළා නිර්මාණයක් වූ “වාලම්පුරි හෙවත් හීන හත හමාරක්” සිනමා පටය පිලිබඳ විවරණයක් කිරීමටයි මගේ මේ සුදානම. ඉතාමත් විශිෂ්ඨ කළා කෘතියක් වූ “කුඹියෝ” ටෙලි කෘතියෙන් කුඩා තිරය දිග්විජය කල ලක්මාල් ධර්මරත්න නම්වූ නිපුනතාවයන්ගෙන් පිරි කළා කරුවා තමයි “වාලම්පුරි” චිත්‍රපටයේ අධ්‍යක්ෂක.  “කුඹියෝ” මගින් පුංචි තිරයට වෙනස්ම අර්ථකතනයක් දීමට ලක්මාල් එහෙමත් නැත්නම් “ලකා” සමත්වූයේ එවකට වැඩිපුරම තිර ගතවු වාණිජ ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයින් මවිතයට පත් කරමින්. “වාලම්පුරි” තමයි ඔහුගේ කුළුදුල් සිනමා නිර්මාණය. කුඹියෝ සහ වාලම්පුරි නම්වූ නිර්මාණ දෙක එලි දැක්වුයේ වෙනස් මාධ්‍යයන් දෙකක් ඔස්සේ වුවත්, ලක්මාල් ධර්මරත්නයන්ගේ  මේ නිර්මාණ දෙකම තිරයේත්, පුංචි තිරයේත් සන්ධිස්ථාන වූ බවයි මගේ හැගීම. 

ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඔහුට “වාලම්පුරි” එළි දැක්වීමට සෑහෙන කාලයක් බලා සිටීමට සිදුවූ බව වරක ඔහු මාධ්‍ය සාකච්චාවකදී පෙන්වා දුන්නා. උසස් ඝනයේ නිර්මානකරුවන් බොහොමයකට මුහුණ දීමට ඇති පොදු අභියෝගයක් තමයි මේ ආර්ථික දුෂ්කරතාව. 

ජීවන අරගලය ජයගැනීම උදෙසා නාට්‍ය රංගනය වෘත්තීය කරගත් ලාංකික සමාජ තලයේ  අඩු ආදායම් ලාභී පුද්ගලයින් කිහිප දෙනෙක්ට අහම්බෙන් හමුවූ වාලම්පුරියක් විකුණා ගැනීමට දරනා අසාර්ථක ප්‍රයත්නයේදී ඔවුනට මුහුණ දීමට සිදුවූ විවිධ රැවටීම් මුළු තිරය පුරාම අපුරුවට අධ්‍යක්‍ෂක ලක්මාල් ධර්මරත්නයන් හෙවත් ලකා සිත්තම් කරලා තියෙන්න ප්‍රේක්ෂකයා ඔහුගේ ග්‍රහණයට ඉතාමත්ම තදින් ඇද බැද තබා ගනිමින්. 

මේ සිනමා පටය පුරාම දිව යන්නේ තමා වෙත අහම්බෙන් කඩා වැටුණු වාලම්පුරියක් පසුපස සිඩ්නි, නිමලසිරි, චින්තක, ප්‍රියංකර, ඇන්ජලෝ යන අය ඉවක් බවක් නැතිව දිව යන අතරතුර ඊට අමතරව වාලම්පුරිය ගැන ඉව වැටුණු පොලිස් නිලධාරි සමන් සහ කස්තුරිද ඒ දිවීමට එකතු වීමයි. ඉන් අපිට ලබා දෙන පණිවිඩය වන්නේ ඕනෑම රටක ආර්ථිකය කඩා වැටුණු පසු ජීවිත්වීමේ අරගලය ඉදිරිපිට මිනිසුන්ගේ සදාචාර හෝ ආගමික ගුණධර්ම කිසිසේත්ම අදාළ නොවන බව නේද? මේ හඹා යාම කෙතරම් ඛේදවාචී ලෙස යම් සාමාජයීය  ඉහල තලයක සිටින්නාවූ අයටද බලපෑ ඇති අයුරු පොලිස් නිලධාරියෙකු වූ සමන්ගේ ස්වයං පාපොච්චාරණයෙන් තවත් තහවුරු කරනවා.  මේ අභාග්‍ය සම්පන්න තත්වය ඉතා හොදින් හඳුනන බලවතුන් ඔවුනගේ අභිමතාර්ථයන් ඉටු කරගැනීම සදහා මේ පහල ස්ථරයේ මිනිසුන් ඉත්තන් ලෙස පාවච්චි කිරීමට පෙළඹෙන්නේ කිසිම බියකින් සැකයකින් තොරව.

මේ තිර පටයේ ඉතා කැපී පෙනෙන විශේෂ අවස්ථා බොහොමයක් තිබුනද, ඉඩ කඩ මද හේතුවෙන් මම තෝරා ගත් ඉතා සංවේදී සහ සුවිශේෂ ලෙස මට දැනුනු අවස්ථා කිහිපයක් මෙලෙස ඔබ හමුවේ තබනවා. අපේ ජරා ජීර්ණවූ පොදු ලාංකික සමාජය පිලිබදව ඉතා දිගු කතාවක් සිඩ්නිගේ චරිතය රගපාන ප්‍රියන්ත සිරි කුමාර කියනා “දිනන එක නෙවෙයි සර් අපේ ආතල් එක, අපේ ආතල් එක දුවන එක” කියනා පද පෙළ අතර සැගවී තිබෙනවා කියලා අපට උපකල්පනය කල හැකි නේද? සිඩ්නිගේ මේ සංවේදී පද පෙළ තුල මුළු සිනමා පටයේම තේමාවද ගැබ්වී තිබෙනවා. දශක ගණනාවක් තිස්සේ අපිට තිබුනාවූ දුවනා දස දහසක් මිනිසුන් අතර බලවතුන් අතලොස්සක් පමණක් දිනනා සමාජ ක්‍රමයක ශුද්ධවූ සාරය තමයි මේ සිනමා පටය තුලින් අධ්‍යක්ෂක ලක්මාල් අපිට නොකියා කියන්නේ. වඩාම ආස්වාදජනක කරුණ වන්නේ මේ මිනිසුන්ගේ දිවීමෙන් ඵල ප්‍රයෝජන ලබා ගන්නේ ඔවුන් නොවීමයි. තමා ගැන පමණක් සිතනා ඉතාමත් ආත්මාර්ථ ආර්ථික සමාජ  සංධර්භය තුල “අපි හම්බ කලොත් අපි කනවා” කියනා ඉතා බොල් ආදර්ශය තමයි අප සමාජයේ අදටත් බොහෝ දෙනාගේ පරමාදර්ශය.

වාලම්පුරි චිත්‍රපටයේ දකිනා ලැබෙන තවත්  විශේෂ කෙටි දර්ශනයකින් අප රට ඇති ප්‍රබලයා සහ දුබලයා කියනා මේ සමාජ මට්ටම් දෙක අතර වෙනස සම්බන්ධව බොහොම පැහැදිලි චිත්‍රයක් ප්‍රේක්ෂකයින්ට මවා පානවා. ඒ තමයි, වාලම්පුරිය විකුණා ගැනීමට කොළඹ පැමිණි මිතුරන් සතර දෙනා නතරවූ හෝටලයේදී ඔවුනගේ ග්‍රාමීය ගති පැවතුම් මනාවට ප්‍රදර්ශනය කල පිහිනුම් තටාකය අසල බීමත්ව හැසිරුණු දර්ශනය. එහිදී, තමා තුල ඇති රික්තකය පුරවා ගැනීමට අවස්තාව ලැබුණු විට තමාගේ අනන්‍යතාව පිළිබදව සිතීමට ඔවුනට නොහැකි වන බවට මේ ජවනිකාව ප්‍රබල සාක්ෂියක් වෙනවා. විවෘත ආර්ථිකය තුල පරිභෝජනය කල නොහැකිදේ ගැන සිහින මැවූ පීඩිත පාන්තිකයින්ට, අවස්තාව ලැබුණු විට ඔවුනට තමන් පාලනය කරගත නොහැකි වීමේ දුර්වලතාවය පිලිබදව නිරාවරණය කිරීමට අධ්‍යක්ෂවරයා උත්සාහයක් ගත්තේදැයි ප්‍රේක්ෂකයින්ට සාධාරණ සැකයක් ඇතිවෙනවා.  

වාලම්පුරිය විකුණා ගැනීමට ගත් වෙහෙසේදී හෙම්බත්වූ මේ පිරිසේ ප්‍රබලම සාමාජිකයා වන සිඩ්නි “මේක මාරකයක් දෙය්යෝ. මට දුවෙක් ඉන්නවා, එයා දන්නවද එයාගේ තාත්තා බල්ලෙක් වගේ ගුටිකනවා කියලා” යැයි විශාල කලකිරීමකින් පැවසීම ඇත්තටම ප්‍රේක්ෂකයින්ට ඇති කලේ දුකක් වේදනාවක්. ඒ වගේම මේ වචනවලින් අපට හැගෙන්නේ, වාලම්පුරිය පසුපස හඹායන ගමනේදී ඔවුනට විදීමට සිදුවන අනේක දුක් කරදරවලින් හෙම්බත් වූ පරිනත සාමාජිකයින් වන සිඩ්නි සහ නිමලසිරි සත්‍ය වශයෙන්ම ඔවුන් සතුව ඇති වටිනා මිනිස් සබඳතාවයන් ගැන ආවර්ජනයක යෙදෙන බව.

දරිද්‍රතාවය විසින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ අකටයුතුවලට තල්ලු කරනා පීඩිත පන්ති සමාජ කොට්ඨාශය බලය ඇත්තන්ගේ රැවටීම්වලට මුහුණ දීමට සිදුවීමේ අවාසනාවන්ත තත්වය ඔහු දිගින් දිගටම විවිධ සිදුවීම් මගින් තහවුරු කරනවා. 

ඇත්තටම මේ චිත්‍රපටයට නළුවන් තෝරා ගැනීමේ කාරිය කෙතරම් සුක්ෂමව කලාද කියනවනම්, රංගන ශිල්පීන් කැමරාව ඉදිරිපස හොඳ රගපෑමක් කළා කීම ඒ කලාකරුවනට කරනා අගෞරවයක්. සත්‍ය වශයෙන්ම ඔවුන් ඒ චරිත තුල ඉතා ගැඹුරින්ම ජීවත්වීමෙන් ප්‍රේක්ෂකයින්ද ධ්‍යාන ගත කරවා ඒ චරිත තුල ජීවත් කරවීමට  ඔවුන් සමත් උනා. ප්‍රියන්ත සිරි කුමාර, සරත් කොතලාවල, වසන්ත මොරගොඩ, තුමිදු දොඩන්තැන්න, දිල්හානි ඒකනායක, අංජන ප්‍රේමරත්න, නිරෝෂන් විජේසිංහ, අශාන් ඩයස්, උදයන්ති කුලතුංග, කින් රත්නම් සහ අභාවප්‍රාප්ත දර්ශන ධර්මරාජ් වැනි අති විශිෂ්ඨ නළු නිලියන් තමයි මේ චරිතයන්ට පණ පෙව්වේ.  

ලක්මාල් ධර්මරත්නයන්ගේ අනික් විශේෂත්වය හැටියට මා දකින්නේ ඔහුගේ පරිකල්පනයන්ට බොහෝ විට පාදක වන්නේ සමාජයේ මතුපිට ස්ථරයේ ඇස් මායිමේ සිදු නොවන පාතාල අපරාධ, දේශපාලන සහ සමාජ විග්‍රහයන් තුලින් ඉස්මතු කිරීමට ඇති ඔහුගේ අභිලාෂයයි. මේ බව කුඹියෝත්, වාලම්පුරිත් යන නිර්මාණ දෙකම සාක්ෂි දරනවා. ඒ පාතාලය කෙතරම් ප්‍රබලදැයි හෙළිදරව්වක් කරනා ධර්මරත්නයන් අපට අවසානයේ පෙන්වා දෙන්නේ බලය සහ මුදල් මිනිසුන්ගේ ජීවිතවලට කෙතරම් කුරිරු ලෙස බලපෑමක් කරනවාද යන්නැයි. අවංකවම ඔහු යුගයේ අවශ්‍යතාවයන් සපිරීමට උත්සාහ ගන්නා දැවැන්ත කලාකරුවෙක්.

මේ චිත්‍රපටය නිපදවීමේදී සිදුවූ ගැහැට පිළිබඳවත් චිත්‍රපටයට සහභාගී වූ කලාකරුවන් මාධ්‍ය සාකාච්චාවලදී සදහන් කර තිබුනා, “අපට, විශේෂයෙන්ම අධ්‍යක්ෂක ලක්මාල්ට, මෙය කරන්න සිදු උනේ කොවිඩ්, පාස්කු, ගෝල්ෆේස් අරගලය වැනි බොහොම බාධක මධ්‍යයේ. ඒ සියල්ලම කෙරෙහි පාලකයන්ගේ තිබු පටු ආකල්ප, තත්වය තව දුරටත් රට ආගාධයකට පෙරලුවා. බලාපොරොත්තුවූ ඇස්තමේන්තුව මදි උනා. ප්‍රධාන නළුවෙක් වූ දර්ශන් ධර්මරාජ් මියයනවා. නමුත් අපේ කණ්ඩායම ඒ අභියෝගවලට හැකි උපරිම ශක්තියෙන් මුහුණ දුන්නා. ලක්මාල් තමයි මේ පීඩනයෙන් 90%ක්ම දැරුවෙ. ඔහු අපිත් කරේ තියාගෙන්න ඒ දුෂ්කරවූ මහගිරි දඹ තරණය කල අපුර්වත්වය හරිම පුදුමයි. ඔහුට ලගින්ම සිටි උදාර අබේසුන්දර, ප්‍රිමාල් රණසිංහ, රේසා අක්‍රම්,අසංක දොඩන්තැන්න, හෂාන් නිශාන්ත, ප්‍රදීප් පෙරේරා වැනි අය ලක්මාල් ධර්මරත්නට විශාල සවියක් උනා”. මේ සියළු බාධක මධ්‍යයේ ලක්මාල් ධර්මරතනයන් නම්වූ ශ්‍රේෂ්ඨ මෙන්ම නොපසුබට ධෛර්යයක් ඇති කලාකරුවා ඔහුගේ නිර්මාණයට ජීවිතය ලබා දුන්නා. ඔහුගේ මේ ක්‍රියාව තිඹිරි ගෙයක දරුවෙක් බිහි කිරීමේ භාරදුර කර්තව්‍යට බොහෝ දුරට සම කල හැකි නේද?

මේ සිනමා සටහනේ  කාලිංග දේශප්‍රියගේ වෘත්තීය චරිතාපදානය සම්බන්ධව ප්‍රකාශ කිරීමට ඉඩ මදකම නිසා, ඉදිරි ප්‍රකාශනයකදී ඔහු ගැන සම්පූර්ණ සටහනක් ලියැවේවි.   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *