

මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටියදී පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පාස්කු ප්‍රහාරය පිළිබඳව පූර්ව දැනුවත්භාවයකින් සිටි බවට කරුණු අනාවරණය වෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ විවාදයේදී අදහස් පළකරමින් අමාත්‍යවරයා මේ බව කීය.
එමෙන් ම පාස්කු ඉරිදා බෝම්බකරු අබ්දුල් ලතීෆ් මොහොමඩ් ජමීල් පාස්කු ප්‍රහාරයට දිනකට පෙර, එනම් 2019 අප්‍රේල් 20 ටාජ් සමුද්‍රා හෝටලයට ඇතුළු වී මිනිත්තු කිහිපයකට පසු රාජ්‍ය බුද්ධි සේවය (SIS) වෙත විද්‍යුත් තැපෑලෙන් පණිවිඩය ලබා දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.
එසේ අනතුරු ඇඟවීම සහ ජමීල් නැමැත්තා ආරක්ෂක නිරීක්ෂණ ලැයිස්තුවේ සිටි බව පැහැදිලිව තිබියදීත්, SIS එම තොරතුරු මත ක්‍රියා කිරීමට අපොහොසත් වූ බව වාර්තා වන බව ද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා සඳහන් කළේ, ජීවිත 250 කට අධික සංඛ්‍යාවක් බිලිගත් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වන ජමීල් නැමැත්තාට මුලින් ටාජ් සමුද්‍රා බෝම්බ හෙලීමට පවරා තිබුණද, ඔහුගේ උත්සාහය අසාර්ථක වීමෙන් පසු දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයට ගොස් හෙළූ බෝම්බ පිපිරීමකින් ඔහු මිය ගොස් ඇති බව ය.
පාස්කු විමර්ශන වාර්තාව අවශ්‍ය නම් ඉදිරියේදී විමර්ශනය සඳහා විජිත මලල්ගොඩ වාර්තාව රහස් පොලිසියට භාර දීමටත් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමටත් සූදානම් බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධව විධිමත් විමර්ශනයක් කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.