
අද ඔබත් එක්ක තොරතුරු බෙදාගන්න යන්නේ ටොරොන්ටෝ සහ අවට ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත පමණක් නොව ලෝකයටම මහත් මෙහෙයක් කරන චරිතයක් එක්ක . මේ අපේ ලිපි පෙලේ දී ඔබ හමුවන පළමු කැමරා අධ්‍යක්ෂකවරයා ඔහුයි . කැනඩාවේ ශ්‍රී ලාංකික පිරිස් වෙනුවෙන් මහත් මෙහෙයක් කරන තවත් පුද්ගල චරිත රැසක් සිටියදී අප ඔහු ගැන සටහනක් තබන්නේ තාක්ෂණික ශිල්පීන් බොහෝ වැඩවලට සම්බන්ධ කර ගත්තත් ඔවුන්ගෙන් ඒ ඒ කාර්යය ඉටු කරවා ගන්නවා විනා ඔවුන් ගැන කතා කරන්නට අපේ සමාජය දරන හිස් බව නිසයි. ඒ වගේම ඔබට කිවයුතු තවත් කාරණාවක් තියෙනවා. අපේ මේ ලිපි පෙලට විවිධ වයස් කාණ්ඩවල, විවිධ ක්ෂේත්‍ර වල, විවිධ ආගම් සහ දර්ශන අදහන, විවිධ ජාතීන්ට අයත් කැනේඩියානු ශ්‍රී ලාංකික පුද්ගල චරිත එකතු කර ගන්නේ කිසිදු පිලිවෙලකින් තොරවයි. ඒ වගේම කැනඩාවේ මේ වනවිටත් ක්‍රියාත්මක වන අපේ සහෝදර පුවත්පත් හරහා ඔබට මුන නොගැසුණු චරිතත් මේ වෙනුවෙන් එක් කරගන්නට රූපණ මාධ්‍ය ජාලයේ අපි හැමවිටම උත්සාහ කරනවා.

පසුගිය මස අප විද්‍යුත් ප්‍රකාශනයෙහි වාලම්පුරි සිනමා පටය සම්බන්ධව සටහනක් ලියැවුනා. අද අප සුදානම් වන්නේ එහි කැමරා අධ්‍යක්ෂනය කල තරුණ කැමරා ශිල්පියා පිළිබඳව හැදුනුමක් කිරීමටයි. එයට සම්බන්ධවූ සියලුම කලාකරුවන් පසෙක ලා ඔහු පමණක් ඇගයීමට හේතුව කුමක්දැයි නොඅනුමානව ඔබ සැම විපිළිසර වනවා නේද? ඔව්, එයට විශේෂ හේතුවක් තිබෙනවා - ඔහු ජීවත්වන්නේ අපේ ගමේ, ඒ කියන්නෙ Hamilton වල . එම නිසා ඔහු ගැන විවරණයක් කිරීම සර්ව සාධාරණ මෙන්ම යුතුකමක් නේද? ඔහු නමින් කාලිංග දේශප්‍රිය.
කාලිංග දේශප්‍රියගේ වර්තමාන වෘත්තීය දිවියට එළැඹීමට ප්‍රථම ඔහු උපන් පරිසරය, පවුල් පසුබිම ගැන විමසීමකින් අප සංවාදය ආරම්භ කිරීම උචිත යැයි මට සිතුනා. නිවුණු ස්වරයෙන් ඔහු කතාව ඇරඹුවේ මෙහෙමයි, “මම උපන්නේ ගාල්ලේ වුවත් මා ඉතා කුඩා අවදියේම අපේ මුළු පවුලම අනුරාධපුරයේ පදිංචියට යාම හේතුවෙන් මට ගම කියා කිව හැක්කේ මිහින්තලයට. අම්මා තමයි මගේ මුල්ම චිත්‍ර ගුරුවරිය. ඒත් එක්කම මගේ චිත්‍ර පිටුපස සිටි දැවැන්ත චරිතය වූ අප පාසලේ චිත්‍ර ගුරු උපුල් සුරතිස්ස මැතිතුමා නිසා මගේ පුංචි ලෝකයේ අනාගත සිහිනය වුයේ චිත්‍ර ගුරුවරයෙක් වීමට. ඔහූගේ මග පෙන්වීම යටතේ මගේ චිත්‍රවලට සමස්ත ලංකා, සිතුවිලි ශ්‍රී ලංකා වැනි තරගවලින් සහතික කිහිපයක්ම ලබා ගැනීමට සමත් උනා”.
මට කුතුහලයක් වූ, චිත්‍ර ගුරුවරයෙක් වීමට සිතා සිටි කාලිංගගේ ගමන් මග වෙනස් වුයේ කෙලෙසදැයි, කියනා මගේ පැනයට ඔහු නැවත කතාව ඇරඹුවා, “මිහින්තලය කියන්නේ ඉතාමත් සංස්කෘතික වටිනාකමක් තිබෙනා කලාපයක්. එම නිසා ටෙලිනාට්‍ය, චිත්‍රපට කණ්ඩායම් අපේ ගමේ නිතර සැරිසැරුවා. තවත් දවසක, වලව්වක ජීවත් වූ මගේ මිතුරෙකුගේ නිවසේ චිත්‍රපටියක් රූ ගත කරන අවස්තාවක් බලන්න ලැබීමත් මගේ දිවියට මං පෑදු තවත් උත්තේජයක්.
1998 වර්ෂයේදී, එවකටත් මා පාසැල් සිසුවකුව සිටියදී, මිහින්තලයට පැමිණි අශෝක හඳගම, චන්න දේශප්‍රිය, රොහාන් සමරදිවාකර යන කලාකරුවන් මා සමීපතම මිත්‍රයෙකුගේ මාර්ගයෙන් හදුනාගැනීම තමයි මා ජීවිතයේ දෛවෝපගතම ආශිර්වාදය. කළා අධ්‍යක්ෂක රොහාන් සමරදිවාකරයන්ට මගේ අභිලාෂයන් සදහන් කිරීමෙන් අනතුරුව, කොළඹ ගිය විටක ඔහු මුණගැසෙන ලෙස මට ආරාධනා කළා. ඉන්පසු රොහාන් අය්යා සමග සුළු වැඩපල කිහිපයකට සම්බන්ධව සිටියදීම ඔහු මිහින්තලේ කල film එකකට සහායවීමට මට අවස්තාව ලැබුනා. ඒක තමයි මගේ වෘත්තීය ජීවිතයේ ආරම්භය”, ඔහුගේ හඬ ඉතාම කෘතඥශීලී වුවා.
“මම රොහාන් අය්යා එක්ක කාලයක් වැඩ කරද්දී, එයා මට ලංකාවේ සිටිනා දක්ෂම කැමරා අධ්‍යක්ෂවරයා වන චන්න දේශප්‍රිය මහතා හඳුන්වා දෙනවා. ඊට පස්සෙ චන්න අය්යා කරපු සෑම චිත්‍රපටයකම ඔහුට සහාය දීමෙන් මට කැමරාකරණය සම්බන්ධව විශාල අත්දැකීම් සම්භාරයක් ලබා ගන්න පුළුවන් උනා. රොහාන් සමරදිවාකර නම්වූ විශිෂ්ඨ කළා අධ්‍යක්ෂකවරයාගෙන් චන්න දේශප්‍රිය නම්වූ විශිෂ්ඨ කැමරා අධ්‍යක්ෂකවරයාට මාරුවීමෙන් සිදු වුයේ මගේ ජීවිතයේ කළා අධ්‍යක්ෂණයෙන් කැමරා අධ්‍යක්ෂණයට සංක්‍රමණයක් වීමක්. ඇත්තටම, චන්න අයියා තමයි මගේ දෙවෙනි තාත්තා”


“ඊට පස්සෙ චන්න අය්යා කරපු සෑම චිත්‍රපටයකම ඔහුට සහාය දීමෙන් මට කැමරාකරණය සම්බන්ධව විශාල අත්දැකීම් සම්භාරයක් ලැබෙනවා. එත් එක්කම ඔහු මාව ඡායාරූපකරණය පිලිබඳ පාඨමාලාවකට යොමු කලා. ඉතාම තරුණ වයසේ පසුවූ මේ කැමරාකරුවන් සිනමා පටයේ චරිත සම්බන්ධව කරනා පුළුල් දේශපාලන විග්‍රහ, චිත්‍රපටයේ සහ රටේ දේශපාලන වටපිටාව, එවකට තිබු සිනමාව වෙනස් කිරීම පිලිබද ඉතා ගැඹුරු සංකල්ප වැනි සංවාද මා එදා බෙහෙවින් විමතියට පත් කළ කරුණක්. ඒවාට සවන් දීමෙන් තරුණ මට ලබා දුන්නෙ ඉතා වටිනා තාර්කික අවබෝධයක්. ඒත් එක්කම මේ පිලිබදව සිනමා පාසැල්වලින් වැඩිදුර හදාරන්න කියලත් එයාලා මාව උනන්දු කළා”. ඔහු පැවසුවේ ඉතා මුදු හඬින්
අධ්‍යක්ෂකවරුන් වන අශෝක හඳගම, සුරේන් ද සිල්වා, එම්.ඩී. මහින්දපාල, පුෂ්පකුමාර බණ්ඩාර රාජගුරු, සහ දයාශ්‍රී දමයන්තත් මගේ වෘත්තීය ගුරුවරු වෙනවා. මේ අය සමගයි මම මගේ බොහෝ සිනමා ප්‍රශ්න ගැන කතා කලේ” කියලා ඔහු නැවත අතීතයට යොමු උනා.
මේ වකවානුවේදීම, කාලිංග තරුණයා මේ ලද අත්දැකීම් උපයෝගී කරගෙන තවත් යහළුවන් කිහිප දෙනෙක්ද සහභාගී කරවාගෙන කෙටි චිත්‍රපට, සංගීත වීඩියෝ වැනිදේ අත්හදා බැලීම ආරම්භ කළා. 2005 වසරේදී කාලිංගට අවස්තාවක් ලැබෙනවා දකුණු කොරියාවේ ආසියානු චිත්‍රපට ඇකඩමිය විසින් සංවිධානය කරන ලද මාසයක වැඩමුළුවකට සහභාගී වූ තරුණ චිත්‍රපට කලාකරුවන් දෙදෙනාගෙන් කෙනෙකු වීමට. ඒ වැඩමුළුවේදී ඔහුගේ කැපී පෙනෙන කෙටි චිත්‍රපට නිර්මාන හේතුවෙන් කොරියානු චිත්‍රපට කවුන්සිලයේ කොරියානු චිත්‍රපට කලා ඇකඩමියේ සිනමා කලාව පිළිබඳ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා කාලිංගට තුන් අවුරුදු KAFA ආසියානු ශිෂ්‍යත්වයක් ලැබීමේ වාසනාව ලැබෙන්නේ ඔහුවත් බලාපොරොත්තු නොවූ ආකාරයට. ඔහුට ලැබූ ඒ ප්‍රතිචාරයෙන් ඔහුගේ හැකියාව ප්‍රේක්ෂක අපට මනාව පිළිබිඹු වෙනවා නේද?
එහිදී ඔහුට මුණගැසුණු කලාත්මක මෙන්ම වාණිජ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් තුලින් සිනමාකරණය පිලිබදව විශාල දැනුම් සම්භාරයක් ලැබීමෙන් අනතුරුව කැමරා ශිල්පියෙකු ලෙස කාලිංගගේ නම දේශීයව පමණක් නොව ජාත්‍යන්තරවද කතා බහට ලක්වූ බවත් ඔහු මට නිහතමානීව ප්‍රකාශ කළා.
ඒ සංක්‍රාන්ති සාමය අවසානයේ බෙනට් රත්නායකගේ “ඉර හඳ යට” තමයි කාලිංග රූගත කළ පළමු වෘත්තාන්ත චිත්‍රපටය. ඊට සමකාලීනව, ලංකාවේ බොහෝ දැවැන්ත අධ්‍යක්ෂවරුන් සමඟ වාණිජ ක්ෂේත්‍රයේ සේවයේ කිරීමේ අවස්තාවන්ද ඔහුට ලැබුනා.
නමුත් 2010 න් පසුව, මා සහ මා වට සිටි කළා ක්ෂේත්‍රයේ බොහෝ යට දැනුනා, ලංකාවේ චිත්‍රපට කර්මාන්තය වෙනම ආරක යන බවක්. එදා පැවතුන පාලක පන්තියෙන් සිනමා කළාවට වැදුනේ මරු පහරක්. ඒ වකවානුව, කලාකරුවන්ට පවා එකිනෙකා පිලිබඳ තිබුනාවූ විස්වාසයන් ගිලිහී ගිය යුගයක් වූ බව ඔහු මා හට පැවසුවේ අතීත අභාග්‍යසම්පන්න කාලය ස්මරණය කරමින්.
මේ ප්‍රකාශයන් සමගම ඔහුට මාගේ ඊළඟ පැනය ඉදිරිපත් කලේ එයට සුදුසුම අවස්තාව මෙය යැයි හැඟුණු සෙයින්. “ඇයි ඔබ කැනඩාවට ඒමට තීරණය කලේ?” ඔහු ස්ථිරසාරව නැවත කටහඬ අවදි කළා, “ඇත්තටම අපිට අවශ්‍යතාවයක් තිබුනා අපි ලද දැනුමෙන් තරුණ සමාජයට යමක් කරන්න. පාලකයින්ට අවශ්‍යව තිබුනේ ඔවුනගේ ප්‍රචාරක කටයුතුවලට කලාකරුවන් ඔවුනගේ වන්දි බට්ටයන්සේ යොදවා ගැනීමට. අප සේවය කල සමාගම්වල අයිතිකරුවන්ද ඒ ආධිපාත්‍යයේම ප්‍රබලම කොටස්කරුවන්. එනිසා අවාසනාවකට ඒ පසුබිම කෙසේවත් සකසා ගැනීම කිසිවෙකුටත් නොහැකි උනා. ඊට එරෙහි වීමෙනුත් ඵලයක් නැති අවදියකයි අපි හිටියේ. සිනමාව සිනමාවක්සේ ගෙත්තම් කිරීමට තිබුනාවූ දේශපාලන බාධක නියාවෙන් බොහෝ අය සිනමා කර්මාන්තයෙන් ඉවත් උනා.
එවකට තිබු මේ දේශපාලන වාතාවරණය පසුබිම් කරගෙන, 2013 වසරේ අපි කැනඩාවට සංක්‍රමණය වීමට තීරණය කළා. මම පුංචි කාලෙත් ලංකාව සංවර්ධනය වෙමින් තිබු රටක්. කාලෙන් කාලෙට ගම් උදාවක් වගේ දෙයක් ඇවිල්ලා පුංචි ගෙවල් ටිකක් හැදුවම අපි හිතනවා “මාරයිනේ, මේ සැරේ නම් අපි ගොඩ, මේක විශ්වකර්මයක් වගේ” කියලා. ඊට පස්සෙ මේ මෑතක් වෙනකල්ම අපි බංකොලොත් වූ රටක්. ඒ වගේම මට යටි අරමුණකුත් තිබුනා තව දුරටත් සිනමාව ගැන හදාරා අවශ්‍ය විටක නැවත ලංකාවට පැමිණ යමක් කරන්න” යයි ඔහු පැවසුවේ තරමක සංවේදීතාවයකින්.
කැනඩාවට පැමිණීමෙන් පසුව 2018 දී ඔහු සම්බන්ධවූ මුල්ම චිත්‍රපටය වුයේ අධ්‍යක්ෂකවරියක වූ සුභා සිවකුමාරන්ගේ “House of My Fathers”. කාලිංග සම්බන්ධ වු ඊළඟ නිර්මාණය වුයේ ඉදිරියට තිරගතවීමට නියමිත ඉතා වෙහෙසක් දරූ චත්‍ර වීරමන්ගේ “ආයු” කෙරුනෙ 2020 වසරේදී.
ලංකාවෙන් කැනඩාවට පැමිණ හොලිවුඩයට සම්බන්ධවූ අධ්‍යක්ෂක ලෙනින් එම්. සිවම් ඉතාමත් ගැඹුරින් විශ්වාස කරනා දෙයක් තමයි දේශපාලකයින් ඔවුන්ගේ බලය පවත්වා ගැනීම සදහා වෙන්කළ සිංහල, මුස්ලිම්, දෙමල සහ අනික් ශ්‍රී ලාංකික ජාතීන් කලාවෙන් එක්වෙන තාක් කල් මේ ජනවාර්ගික ප්‍රශ්නය විසදීමට නොහැකි බව. දමිල වෘත්තීය දක්ෂ කැමරාකරුවන් සහ කැනේඩියානු කැමරාකරුවන් සිටියදීත්, ලෙනින් අධ්‍යක්ෂකවරයා කාලිංගව, ඔහුගේ ප්‍රථම North Hollywood හි “The Protector” චිත්‍රපටය සදහා තෝරා ගත්තේ උතුර දකුණ එක් කිරීමේ පරම අරමුණ උදෙසාමයි. එය Amazon prime හි අදටත් දර්ශන ගත කරනවා. Protector තමයි ඔහු North American standard industry එකට කල මුල්ම චිත්‍රපටය.


මගේ වැදගත්ම ප්‍රශ්නයට වාරය ආවා, “ඔබ කොහොමද වාලම්පුරියට සම්බන්ධ වුයේ? කාලිංග හුස්මක් අරන් කතාව පටන් ගත්තා, “මා සමග නිර්මාණවලට සම්බන්ධවූ වාලම්පුරි Line Producers දෙදෙනෙකු වූ උදාර අබේසුන්දර සහ ප්‍රිමාල් රණසිංහ මිතුරන් තමයි අධ්‍යක්ෂක ලක්මාල්ට මාව යෝජනා කර මගේ සහ ලක්මාල් අතරේ පාලම ගොඩ නැගුවේ. ඊට පෙර ලක්මාල් ධර්මරත්න මට අහඹු ලෙස ඔහු මුණ ගැසී තිබුනත්, අපි අතරේ ළඟ සබඳතාවයක් තිබුනේ නැහැ. වාලම්පුරිය තමයි අපේ ගනුදෙනුවේ ආරම්භය. ඒත් එක්කම, මම දන්නා ඉතා දක්ෂ කලාකරුවන් වූ Make-up artist ප්‍රියන්ත දිසානායක, Art Director නුවන් සනුරංග සහ Costume Designer ලසන්ත උඩුකුඹුර වැනි අය මේ චිත්‍රපටයට සම්බන්ධ බව දැනගත් පසු ඔවුන් සමඟ වැඩ කිරීමට ලැබීම ගැනත් මට උනන්දුවක් ඇති උනා”.
“ඔබ වාලම්පුරි කැමරා අධ්‍යක්ෂක ලෙසට ඔබගේ කාර්යභාරය ගැන තෘප්තිමත්ද?” යනුවෙන් මා ඇසු ඊළඟ පැනයට ඔහු තරමක් කල්පනාකාරීව වචන ගැලපුවා, “මට සමහර වෙලාවට හිතුනා සමහර කැමරා කෝණ මීට වඩා වෙනස්ව හොදින් කරන්න තිබුනා කියලා. ඒත් එදා ඒ චරිත සම්බන්ධව මගේ හිතේ ඇඳුනු රූප සහ එදා තිබු දේශපාලන වටපිටාව වගේම අපට තිබු සම්පත් බැලුවහම මට කියන්න පුළුවන් මම මගේ උපරිම ශක්තියෙන් මට පැවරුණු කර්තව්‍ය ඉෂ්ඨ කළා කියලා”.
මම නැවතත් ඔහුට බාධා කළා “ඔබට වාලම්පුරියට සම්බන්ධවීමට කුඹියෝහි උසස් නිර්මානශීලිත්වයේ බලපෑමක් ඇති උනාද? ඔහු ක්ෂණිකවම පිළිතුරක් සොයා ගත්තා “ඇත්තටම නැහැ. මම කිසිම දිනක අධ්‍යක්ෂකවරයෙකුගේ පෙර නිර්මාණයක් පාදක කරගෙන ඔහුගේ ඊළඟ නිර්මාණය විනිශ්චය කරන්නෙ නැහැ. බොහෝ අධ්‍යක්ෂකවරුන් පෙර නිර්මාණයට වඩා පසු නිර්මාණය වෙනස් විදියටයි කරන්නෙ. ඔහුගේ පෙර අත්දැකීම්වලින් ලැබූ පන්නරය ඊට හේතු වෙනවා. මට මේ කිසිවක් අදාළ නැහැ. ඒ තියා කෙනෙක්ගේ මුල්ම නිර්මාණය උනත් මට කමක් නැහැ. මගේ අරමුණ ඒ සෑම නිර්මානයක්ම අභියෝගයක් ලෙස භාරගෙන එහි කැමරාකරණය මට හැකි උපරිමයෙන් කිරීම” ඔහු ස්ථීර හඩින් පිළිතුරු දුන්නා.
මම නැවතත් වාලම්පුරිය දෙසට හැරුනා, “ඔබ හිතනවද වාලම්පුරිය සාර්ථක නිර්මාණයක් කියලා”? “අපිට ඕන උනේ ගුණාත්මක චිත්‍රපටයක්, එහෙම නැත්නම් කාලීන සමාජ සහ දේශපාලන විග්‍රහයක් කිරීමට. ඒ වගේම අපේ සිනමා රසිකයින්ට රස වින්දනාත්මක වගේම ඒ තුලින් පණිවිඩයක් දිය හැකි නිර්මාණයක් කිරීමට. ලක්මාල් ධර්මරත්න ඇතුළු අපි කණ්ඩායම අපේ උපරිම ශක්තිය යොදවා ඒ නිර්මාණය නිම කළා. එහි ප්‍රතිඵලය පිලිබදව නිගමනය කල යුත්තේ ප්‍රේක්ෂකයා මිසක්, නිර්මාණකරුවා නෙවෙයි”, ඔහු කටහඩ ඉතාමත් බුද්ධිමත්ව හැසිරුවා.
කාලිංග චිත්‍රපටය නිපදවීමේදී සිදුවූ ගැහැට පිළිබඳවත් මා සමග කරුණු බෙදා හදා ගත්තා “අපට, විශේෂයෙන්ම අධ්‍යක්ෂක ලක්මාල්ට, මෙම සිනමා සිත්තම ගෙතීමට සිදු වුයේ පාස්කු, කොවිඩ්, ගෝල්ෆේස් අරගලය වැනි අනේක විධ දේශපාලනික දුර්භික්ෂයක් පැවතුනු සමයේ. කොවිඩ් කාලේ මේ අපි ජීවත්වන කැනඩාවේ රජය මහජනතාව ආරක්ෂා කල ආකාරයත් ලංකාවේ රජය මිනිස්සු රැකබලා ගත් ආකාරයත් බැලුවහම පරස්පර විරෝධියි. අපේ වචනයෙන් කියනවානම් හරියට අහසයි පොළොවයි වගේ. අරගලය ආරම්භ වූ කාලයේ මිනිස්සුන්ට කන්න නැහැ ගෑස් ටික නැහැ. ඒ කාලේ අපේ රටේ ජීවත් උනේ එකම එක පවුලයි. ඒ රටේ තවත් දරුවෝ, ගැහැණු තියා මනුස්සයෝ ඉන්නවා කියලාවත්, කර්මාන්ත හෝ කලාවක් තියෙනවා කියලාවත් නොදන්නා පාලකයින් පිරිසක් තමයි එදා රට පාලනය කලේ. චිත්‍රපටයක් කිරීම තියා මිනිසුන්ට සාමකාමීව ජීවත් වෙන්නවත් පුළුවන් පරිසරයක් එදා තිබුනෙ නැහැ. ඒ ජරා ජීර්ණ පාලන ක්‍රමය සමස්ත ලාංකික ප්‍රජාවටම බලපෑවා. ඉතිං මොන චිත්‍රපටිද? ඇත්තටම චිත්‍රපටයේ වැඩ කටයුතු නතර කරන්න සිදු උනා. ප්‍රධාන නළුවෙක් වූ දර්ශන් ධර්මරාජ් මිය යාම නිසා ඔහුගේ කටහඬට වෙනත් කෙනෙක් සොයා ගන්න උනා. චිත්‍රපටය සදහා වූ ඇස්තමේන්තුව මදි උනා. උසස් ඝනයේ කළා කෘතියක් වෙනුවෙන් තමන්ගේ මුදල් ආයෝජනය කළ අසංක දොඩන්තැන්න, ප්‍රදීප් පෙරේරාටත් මෙහි විශාල බලපෑමක් වෙන්න ඇති. ඒත් එයාලා ඒ ගැන කලකිරුණේවත් ආපස්සට යැමක්වත් කලේ නැහැ. මම හිතන්නෙ ඒක ලක්මාල්ට ලොකු හය්යක් උනා. අපේ මුළු කණ්ඩායම ඒ අභියෝගවලට හැකි උපරිම ශක්තියෙන් මුහුණ දුන්නා. මුදල් හොයාගෙන නැවත සැලසුම් කරලා වැඩ පටන් ගන්න සිදු උනා. කලාකරුවන්, ආයෝජකයින්, තාක්ෂණික කාර්ය මණ්ඩලය මේ සියල්ලම එක මිටට තබා ගැනීමට ලක්මාල්ට තිබු ශක්තිය අති විශිෂ්ඨයි. ලක්මාල් තමයි මේ පීඩනයෙන් 90% ක්ම දැරුවෙ. ඔහු අපිත් කරේ තියාගෙන ඒ දුෂ්කරවූ ගමන ගිය අපුර්වත්වය හරිම පුදුමයි. මම දන්නා අධ්‍යක්ෂකවරුන් කිහිප දෙනෙක් ඉන්නවා මෙවැනි ප්‍රශ්න වලදී චිත්‍රපට අතහැරපු. ඔහුට ලගින්ම සිටි උදාර අබේසුන්දර, ප්‍රිමාල් රණසිංහ වැනි අය ලක්මාල් ධර්මරත්නයන්ට විශාල සවියක් උනා. මට ඒ වගේ පීඩනයන්ට මුහුණ දීමේ ශක්තියක් නැහැ, මම නම් ඒක ලේසියෙන්ම අත හැරලා”, ඔහු ඒ පීඩනය හුස්මකින් සැහැල්ලු කළා.
වාලම්පුරියේ සෑම කලාකරුවෙක්ම ඉතා උසස් නිපුණතාවයක් තිබු නළු නිලියන්. ඔවුන් ඒ චරිතවලට ආරුඪ වී සිටියා යැයි මා සදහන් කලොත්, එය අසත්‍යයක් නොවේ. ඒ නිසා කාලිංගට මගේ ඊළඟ ප්‍රශ්නය වූයේ මේ කළා නිර්මාණයට සම්බන්ධවු නළු නිලියන් තේරීම කා අතින් සිදු වුවාදැයි යන්නයි. ඔහු පැවසුවේ ලක්මාල් ධර්මරත්න, තුසිත ලක්නාත් සහ සේවියර් කනිෂ්ක සමඟ එක්ව ඒ භාරදුර කාර්ය්‍ය ඉෂ්ඨ කල බවයි.
කාලිංග උතුරු ඇමෙරිකාවේ කැමරාකරණ වෘත්තීය ගැනත් මා සමග තොරතුරු බෙදා ගත්තා. ඔහු කැනඩාවේ වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රය සමගයි නිරතව සිටින්නේ. සමහර නිර්මාණවල කැමරා අධ්‍යක්ෂක ලෙසත් සමහරක කැමරා ශිල්පියා ලෙසත් ඔහු සේවය කරනවා.


ඔබගේ අනාගත සැලසුම් මොනවාද? ඔහු ඉතාමත් උද්යෝගයෙන් කතාව පටන් ගත්තා, “මගේ බලාපොරොත්තුව ලංකාවට නැවත යාමට. එහිදී, කැමරාකරණය පිළිබඳව උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකික යෞවනයන් සමඟ මගේ දැනුම සහ අත්දැකීම් බෙදා ගැනීමේ අරමුණක් තියෙනවා. කොටින්ම කියනවා නම් කැමරාකරණය පිලිබඳ ගුරුවරයෙක් වෙන්න. ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීම සදහා, මම York University හි කැමරාකරණය පිළිබඳව ශාස්ත්‍රපති උපාධියක් හදාරමින් සිටිනවා. සිනමා කර්මාන්තය ඉතා ශීග්‍රව වෙනස් නොවුනත් Artificial Intelligence සිනමා කර්මාන්තයට බලපාන අයුරු, ඒ වගේම, ඉගැන්වීමේදී අත්‍යාවශ්‍ය වන තාක්ෂනය, විෂය මාලාව, ඉගැන්වීම් ක්‍රම ගැනත් මට විශාල දැනුම් සම්භාරයක් ඒ සඳහා අත්‍යාවශ්‍ය වෙනවා. අදටත් මට හැකි පමණින් මම කැමරාකරණය සම්බන්ධව උනන්දුවක් දක්වන සෑම කෙනෙකුටම මම දන්නා තරමින් මග පෙන්වනවා”.
කැමරාවකට හිමිකම් නොතිබූ පාසැල් වයසේ දරුවකුව සිට දීර්ඝ මංපෙතක් ඔස්සේ පැමිණ අද සිනමා කැමරා අධ්‍යක්ෂකයකු දක්වා පැමිණි ඔබගෙන් කැමරාකරණය පිළිබඳව උනන්දුවක් දක්වන ආධුනිකයෙකුට දිය හැකි උපදෙස කුමක්ද?
ඔහු ඉතා සංයමයෙන් කටහඬ අවධි කළා, “කැමරාකරණය කියන්නේ ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රගුණ කලයුතු කලාවක්, නැත්නම් වෘත්තියක්. විශේෂයෙන්ම සිනමා කැමරාකරණය. කැමරාකරුවා සමාජ විශ්ලේෂකයකු විය යුතුමයි. අපි උදාහරණයක් ලෙස වාලම්පුරි චිත්‍රපටිය ගනිමු. ඒ පසුබිම නිර්මාණය කලේ පසුගිය අවුරුදු 76 ක් තිස්සේ අප පාලකයින් ගොඩ නැගු සමාජය. යථාර්ථවාදී අනාගත දැක්මක් නොමැති යල්පැන ගිය ගිරා පෝතක අධ්‍යාපන ක්‍රම පසුබිමක, ජාතීන් එකිනෙකා කොටා ගන්නා වටපිටාවක, නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවට විවෘත ආනයනික වෙළඳ පොලක් බැස්සවූ පසුබිම තමයි වාලම්පුරි චිත්‍රපටයට තියෙන්නෙ. ඉතිං නළුවාගේ ඒ පසුබිම හඟවන හැගීම් කැමරාකරුවා කාචයට හසුකර ගැනීමට නම්, ඔහුට ඒ පසුබිම ගැන ගැඹුරු අවබෝධයක් තිබිය යුතුයි. ඒ කාර්යභාර්ය්‍ය ඉටු කරන්නේ කැමරාව නොවේ කැමරා කරුවාගේ දෘෂ්ටිමය භාෂාවයි. ආලෝකකරණය සහ කැමරාකරණය කියන්නෙ අත්වැල් බැඳ ගත යුතු ඉතාමත් වැදගත් සාධක ද්විත්වයක්. ප්‍රේක්ෂකයාට දැනෙන ලෙස ආලෝකය තුලින් නළුවාගේ මනෝභාවය නිර්මාණය කල යුතුයි. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ, කැමරාකරණය කියන්නේ අද බොහෝ අය දන්නා කැමරාවේ තිබෙනා තාක්ෂණික අංගෝපාංගවල ඇති ඉන්ද්‍රජාලික නිමැවුම පමණක් නෙවෙයි. ඊට එහා ගිය විශාල ලෝකයක් තිබෙනවා. ඒ සදහා කියවීම, සමාජ පසුබිම් පිලිබදව දැනුම් තේරුම් තිබෙනා අය සමග සංවාද සාකච්ඡා, යම්කිසි දේශපාලන මතයක් දැරීම, චිත්‍රපට නැරඹීම වැනි දේ අත්‍යාවශ්‍යයි. මගේ සෑම ගුරුවරයෙක්ම ප්‍රබල මතධාරීන්. ඒ අය මට කියලා තියෙනවා, ‘කාලිංග කැමරාකරණය කියන්නේ කැමරාවක් අරගෙන පින්තුරයක් ගැනීම හෝ වීඩියෝවක් ගැනීමක් නෙවෙයි’ කියලා. වාලම්පුරි නිර්මානයේදී, ලක්මාල් සහ අපි අතර දීර්ඝ වශයෙන් දේශපාලන සාකච්ඡා ඇති උනා.
මගේ අවාසාන ප්‍රශ්නය වුයේ, ”ඔබගේ පරමාදර්ශී චරිත ගැන පාඨකයින්ට යමක් කියන්න පුළුවන්ද” කියලා. ඉතාමත් ගැඹුරු ස්වරයෙන් ඔහු කතාව පටන්ගත්තේ වසර ගණනාවකට පෙර දිවිසැරිය නිමාකල ඔහුගේ මෑණියන්ගෙන්. “මගේ අම්මා තමයි මගේ මුල්ම ගුරුවරිය. මගේ පාසලේ චිත්‍ර ගුරුපියාවූ උපුල් සුරතිස්ස තමයි පර්යාවලෝකනය තුලට මා ඇතුල් කලේ. ඇත්තටම, අම්මා සහ සුරතිස්ස ගුරු පියා තමයි මට කලාවේ අත්පොත් කියෙව්වේ. පසුකාලීනව මට මුණ ගැහෙනවා, ලංකාවේ ප්‍රවීනතම කළා අධ්‍යක්ෂක රෝහණ සමරදිවාකර අය්යා. එතුමා තමයි මට TV සහ Television දෙකටම මංපෙත පෑදුවේ. බොහෝ දක්ෂ කලාකරුවන්ට මාව හදුන්වා දුන් රොහාන් සමරදිවාකර අය්යා සත්‍ය වශයෙන්ම මගේ වෘත්තීය ජීවිතයේ පියා. ඔහු හදුන්වා දුන් ලංකාවේ ප්‍රවීණම කැමරා අධ්‍යක්ෂකවරයා වූ චන්න දේශප්‍රිය මහතාගෙන් තමයි මම මේ කැමරා කර්මාන්තය සම්බන්ධව සහ ඊට අනුබද්ධිත සමාජ දේශපාලන මතවාද පිළිබදව පුළුල් අවබෝධයක් ලබා ගත්තේ. ඉතිං චන්න අයියා තමයි මගේ දෙවෙනි තාත්තා. ඔහුගේ සහායකයකු ලෙස සේවය කරන අතරවාරයේ මට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක අශෝක හඳගම, සුරේන් ද සිල්වා, දයා ශ්‍රී දමයන්ත, මහත්වරුන් හමුවීම මා ලද විශාල භාග්‍යයක්. ඔවුන්ගෙන් මා ලබාගත් දැනුම අප්‍රමානයි. ඊට සමකාලීනව මට මුණ ගැසුණු මිතුරන් වන විමල් කැටිපෙආරච්චි, සමුර්ධි රණසිංහ, නිලන්ත පෙරේරා සමග අත්වැල් බැඳ ගැනීමෙන් තමයි මගේ මූලික අඩිතාලම වැටෙන්නෙ. මේ ගෞරවනීය මිනිසුන්ගේ දැනමුතුකම් මට නොලැබුනානම්, මගේ ජීවන් ගමන මීට හාත්පසින්ම වෙනස් වෙන්න තිබුනා. මේ අය තමයි මට සිතීමට හැකි තෙතමනයක් සහිත සෞන්දර්යාත්මක පරිචයක හතර මායිම් මට කියා දුන්නෙ” එක හුස්මට කාලිංග කියාගෙන ගියා.
අපි අහලා තියෙනවා, "ඔබේ ජීවිතය ඔබම නිර්වචනය කලේ නැත්නම් අනික් අය ඔබේ ජීවන පිටපත ලියාවි"කියලා. මේ සිද්ධාන්තය තරයේ විශ්වාස කල කාලිංග දේශප්‍රිය නම්වූ කලාකරුවා තමාගේ අතින්ම තමාගේ පුරාවෘත්තය ලිවීමට තීරණය කළා. ඒ ගමනට ආවැඩි සත්පුරුෂයන් මුණ ගැසීමට තරම් ඔහු භාග්‍යවන්තයෙක් වීම හේතුවෙන් ඔහු සිහින මල්ඵල ගැන්වීමෙනුයි අද ඔහු සිටිනා තැනට මඟ පැදුනේ.


විශිෂ්ඨ කැමරාකරුවෙකුට සමාජයීය අසාධාරණයන් ඇතුළු ඕනෑම දර්ශනයක් අමු අමුවේ පාදක කරගැනීමේ බලයක් ඔහුගේ තෙවැනි ඇස නිර්මාණශීලීව යොදාගැනීමට හැකි බව කාලිංග දේශප්‍රියයන් අපුරුවට “වාලම්පුරි” චිත්‍රපටය මෙන්ම අනෙක් නිර්මාණවලට ඔහුගේ කැමරාව හැසිරවීමෙන් ප්‍රේක්ෂකයින්ට පෙන්වා දී තිබෙනවා. ඒත් එක්කම, කැමරා අධ්‍යක්ෂ ලෙසට කාලිංග මේ රංගන ශිල්පීන්ගේ අපුර්වතම රංගන දක්ෂතාවයන් ඉතාමත් සියුම් ආකාරයට කැමරා කාචයට හසුකර ගැනීමෙන් ලක්මාල් කලාකරුවාගේ අභිප්‍රාය අතිවිශිෂ්ට ලෙසට ඉටුකර දුන්නා මෙන්ම ඒ රංගන ශිල්පීන්ට මෙන්ම සිනමා පටයටද මහගු සාධාරණයක් ඉටුකර ඇතිබව ප්‍රේක්ෂකයින් සාක්ෂි දරාවි.
හෝරා තුනකට ආසන්න කාලයක අප අතර ඇතිවූ කතා බහෙන් මා යම් තරමකට ඔහුගේ හදවත කියවා ගත්තා. ඔහුගේ දක්ෂතාවයන් සම්බන්ධ කරුණු කාරනා ඔහුගෙන්ම ලබා ගැනීමට මා ඔහු පෙලැඹවූ සැමවිටම මට ලැබුනේ බලාපොරොත්තු නොවූ ආකාරයේ ප්‍රතිචාරයක්, “ඇත්තටම මම කියලා කෙනෙක්ව තෝරා බේරා ගත නොහැකි අයුරටම, මා මෙතනට තල්ලු කල අයගේ සෙවනැල්ල මා මත අදත් වැටිලා තියෙනවා. ඒ නිසා මා ගැන මට ආඩම්බර වෙන්න දෙයක් නැහැ”, ඒ පිළිතුර ඔහුගේ අකලංක සහ නිහතමානී හදවත සියුම්ව විග්‍රහ කරනවා නේද?
වැලි කැටයේ, ගඩොල් කැටයේ පටන් අප මාතෘ භුමිය ගොඩ නැගීමේ උදාර කර්තව්‍ය සදහා දක්ෂයින් නැවත මව්බිමට යා යුතු මේ තීරණාත්මක යුගයේ, එයට එක්වීමට කැමරාවෙන් කතා කියනා කාලිංග දේශප්‍රිය සහෘදයා ගත් ඒ නිර්භීත සහ තිර අදිටන සාර්ථක වේවා යැයි අප පුවත්පත් සහ ප්‍රේක්ෂකයින් වෙනුවෙන් සුභ පතා අපගේ සංවාදය නිමා කල වගයි.
https://mubi.com/en/cast/kalinga-deshapriya-vithanage
https://www.berlinale-talents.de/bt/talent/kalinga-deshappriyavithange/profile
https://m.imdb.com/name/nm2665476/
https://www.sundaytimes.lk/130519/magazine/cinema-is-nothing-but-teamwork-44611.html
https://www.hollywoodreporter.com/movies/movie-reviews/house-my-fathers-review-1149968/
https://www.hollywoodreporter.com/movies/movie-reviews/burning-birds-davena-vihagun-film-review-969654/