
ලොව පුරාත් ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේත් පසුගිය සතියේ වැඩිම අවධානයක් යොමු කෙරුණේ අමෙරිකානු ජනාධිපතිවරයා තෝරාගත් රටවල් කිහිපයකට නව තීරුබදු අනුපාත සදහන් කරමින් ලිපි නිකුත් කිරීම පිළිබදවයි.
ට්‍රම්ප්ගෙන් ලැබුණු ලිපිය.
අමෙරිකානු ජනාධිපති විසින් ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අමතා පසුගියදා (9 වැනිදා) ලිපියක් මඟින් දැනුම් දුන්නේ අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 30%ක නව තීරු බදු පනවා ඇති බවයි.
44% -30% වෙයි.
මීට පෙර ශ්‍රී ලංකාවේ අපනයන සඳහා අමෙරිකාව 44%ක බද්දක් පැනවීමට ක්‍රියා කළ අතර, එය 14%කින් අඩු කර 30% දක්වා කර ගැනීමට හැකි වීම විශේෂත්වයකි. රජයේ නියෝජිත පිරිසක් අමෙරිකාවට ගොස් සාකච්ඡා කළ නිසා 14%කින් බද්ද අඩු කරගැනීමට හැකි වූ බවත්, අගෝස්තු 1 වැනිදාට පෙර සාකච්ඡා කර, මෙම බදු ප්‍රතිශතය තවත් අඩු කර ගැනීමට කටයුතු කරන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත හා මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ප්‍රකාශ කරති.
මේ අතර අමෙරිකානු තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නියෝජිතයින් පිරිසක් එළැඹෙන 18 වනදා අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.”අපේ කණ්ඩායම වොෂින්ටන්වලට යනවා. සාකච්ඡා දිගටම යනවා. උපරිම උත්සහ කරනවා අගොස්තු 01 කලින් අපි මත පනවපු බදු අඩුකර ගන්න. ඒ සම්බන්ධයෙන් ද්ව්පාර්ශවික ගිවිසුමකට එන්න දැනටමත් සාකච්ඡා කරලා තියනවා. අපි බලාපොරොත්තු තියාගෙන ඉන්නවා”.යනුවෙන් ප්‍රකාශ කෙරිනි.
කතරගමදී ජනපතිගෙන් ඓතිහාසික කතාවක්.
ඓතිහාසික උරුමයන් සමඟ ඓන්ද්‍රීය සබඳතාවකින් තොරව සමාජයක් ලෙස ඉදිරියට යා නොහැකි බවත්, ජාතියේ සංවර්ධන මාවත ඒ අනුව තෝරාගත යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ පසුගියදා (10) පස්වරුවේ ඓතිහාසික රුහුණු කතරගම පුදබිමේ පැවති උත්සව සභාව අමතමිනි.
එදින පස්වරුවේ ඓතිහාසික කතරගම පුද බිම වෙත ගොස් ආගමික වතාවත්වල ද නිරත වූ ජනාධිපතිවරයා අනතුරුව, ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ බැහැදැක උන් වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත වියෙරුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහර නැරඹීමටද එක් වූ ජනාධිපතිවරයා හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමේ අවස්ථාවටද සහභාගි විය. ඉන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ රටක් ඉදිරියට ගෙන යා හැක්කේ ඓතිහාසික උරුමයන් සමඟ පවතින අඛණ්ඩතාව මත බවයි. ලොව දියුණු යැයි සම්මත සෑම රාජ්‍යයක්ම එම දියුණුව අපේක්ෂා කරන්නේ ඓතිහාසික උරුම ආරක්ෂා කර ගනිමින් සහ ඒ මත පා තබාගෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රටක් ලෙස අපද සංවර්ධන මාවත තෝරාගතයුතු වන්නේ ඓතිහාසික උරුමයන් මත පා තබා ගනිමින් බව සඳහන් කළේය.
අපේ සමාජය සංස්කෘතික සමාජයක් බවට පරිවර්තනය කිරීමට බුදු දහම ඉවහල් වූ බවත්, භෞතික සම්පත් සර්වසම්පූර්ණ කර ගැනීමට වෙහෙසෙන සමාජයෙහි දියවි යන සමාජ වටිනාකම් සහ ගුණාංග නැවත ඔප් නැංවීම සඳහා මෙවැනි සංස්කෘතික මංගල්‍යයන් වටිනා අවස්ථා නිර්මාණය කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
වසර 2,186ක් පුරා පරම්පරා සියයකට ආසන්න ප්‍රමාණයක් මෙම රුහුණු කතරගම පෙරහර මංගල්‍යය පවත්වා තිබෙන බවත්, අඛණ්ඩව මෙම පෙරහර පැවැත්වීමට හැකි වූයේ මෙම සංස්කෘතික මංගල්‍යය සහ ජන ජීවිතය අතර තිබෙන සබඳතාව නිසා බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙවර පෙරහර මංගල්‍යය සාර්ථක කරගැනීමට දායක වූ විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇතුළු සියලු දෙනා වෙත ස්තුතිය පළ කළේය.
ජනපති ගේට්ස් පදනමේ නියෝජිතයන් හමු වෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ගේට්ස් පදනමේ ගෝලීය සංවර්ධන අංශයේ ප්‍රධානී ආචාර්ය ක්‍රිස් එලායස් ප්‍රමුඛ එම පදනමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර හමුවක් පසුගිය (10) වැනිදා පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අදාළ වැදගත් කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, කෘෂිකාර්මික නවීකරණය, අහාර හා පෝෂණය, ඩිජිටල් යටිතල පහසුකම් සහ ග්‍රාමීය ප්‍රජාව නව තාක්ෂණය සමඟ ඒකාබද්ධ කිරීම ආදි කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරිණි.
ගේට්ස් පදනම, මෙරට ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන ප්‍රමුඛ වැඩසටහනක් වන අන්තඃකරණ ඩිජිටල් කෘෂිකාර්මික පරිවර්තන (Inclusive Digital Agriculture Transformation) වැඩසටහන පිළිබඳව මෙහිදී ආචාර්ය එලායස් විසින් ජනාධිපතිවරයා දැනුම්වත් කරන ලද අතර, කෘෂිකර්ම අංශයේ දත්ත මත පදනම් වූ තීරණ ගැනීමට සහාය වන අතරම, සුළු පරිමාණ ගොවීන්ට සේවා සැපයීම සඳහාද එය වැදගත් වන බව පෙන්වා දුන්නේය. මේ වැඩසටහනෙන් කෘෂිකාර්මික නවීකරණය සහ ග්‍රාමිය ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට මෙන්ම තිරසර සංවර්ධනය කෙරෙහි දෙපාර්ශ්වයේම කැපවීම පිළිබිඹු කරන බව එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය.
අඩු සහ මධ්‍යම ආදායම් සහිත රටවල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අභියෝගවලට මුහුණ දීමෙන් ගේට්ස් පදනම ලබා ඇති විශේෂඥතාව සහ අත්දැකීම් මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය. නවීන ගෝලීය තාක්ෂණය සමඟ මෙරට ග්‍රාමීය ප්‍රජාව ඒකාබද්ධ කිරීම සඳහා වන ප්‍රයත්නයට සහාය වන ලෙස ජනාධිපතිවරයා ගේට්ස් පදනමෙන් ඉල්ලා සිටි අතර, ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව ස්තුතිය පළ කළේය.
ඩිජිටල් ආර්ථිකයක් සඳහා වන ශ්‍රී ලංකාවේ උපායමාර්ගික සැලැස්මට සහාය දක්වන බව මෙහිදී සඳහන් කළ ගේට්ස් පදනමේ නියෝජිත පිරිස, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට ගෙන ඒම සහ වර්ධනය සඳහා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනයක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවද පැවසූහ.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ තොරතුරු රැසක් එළියට
පසුගිය (9)වැනිදා පාර්ලිමේන්තුවේ පැවති පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කල් තැබීමේ අවස්ථාවේ විවාදයේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළි විය. මේ ප්‍රහාරය කල්තියාම පිල්ලෙයාන් දැන සිටි බව, ටාජ් හෝටලයට පැමිණි බෝම්බකරු ගැන බුද්ධි අංශවලට තොරතුරු දුන්නත් බුද්ධි අංශ ක්‍රියාත්මක නොවීම ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී අනාවරණය විය.
එදින ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ප්‍රථමයෙන් මේ විවාදයට එක් වුයේ මහජන හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලයි. අමාත්‍යවරයා මෙම පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව ආන්දෝලනාත්මක කරුණු කිහිපයක්ම විවාදයට එක්කරමින් හෙළි කළේය.
සාරා ඉන්නේ තාමත් පණ පිටින්ද? ඇයගේ ඩීඑන්ඒ වාර්තාවේ සැකයත්, ප්‍රහාරය පිල්ලයන් කලින් දැනගෙන ඉඳලා තියෙනවා, ටාජ් හෝටලේ බෝම්බකරුගේ තොරතුරු ඇතුළත් බුද්ධි තොරතුරු ආවත් බුද්ධි අංශ අක්‍රියව ඉඳලා වැනි මහත් ආන්දෝලනාත්මක කරුණු රැසක් ද ආනන්ද විජේපාල අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට හෙළි කරන ලදි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු සයින්ද මරදු ප්‍රදේශයේ නිවසක් තුළ සිදු වූ බෝම්බ පිපිරීමෙන් මියගිය අය අතර පුලස්‌තිනී මහේන්ද්‍රීන් නොහොත් සාරා ජෙස්මින් නමැත්තිය සිටින බව තහවුරු කිරීමට යොදාගත් තුන්වෙනි ඩීඑන්ඒ පරීක්ෂණය සඳහා සාම්පල ගැනීමේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුව තිබෙන බව ආනන්ද විජයපාල අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදි.
“පාස්කු විමර්ශන එවක රජය පරීක්ෂා කරන තත්ත්වය දක්වා පැමිණ ඇති බවත් එම පරීක්ෂණ අසීරු වුවත් ඉටු කරන බවත් ජනාධිපතිවරයා කාදිනල්තුමාගේ උත්සවයේදී පැවසුවා. එය විකෘති කරමින් අද කරුණු ප්‍රකාශයට පත්වීම යුක්ති සහගත නෑ. විමර්ශන වාර්තාව ඉදිරියේදී විමර්ශන සඳහා රහස් පොලීසියට භාරදෙන්නත් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ සභාගත කරන්නත් සූදානම්. පාස්කු ප්‍රහාරය ගැන විධිමත් විමර්ශනයක් කරන බව අපේ ජනාධිපතිවරණ ප්‍රකාශයේදී ද සඳහන් කර තිබුණා. ඒ ආකාරයටම මේ වන විට අප විධිමත් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ජනාධිපති ජනතාවට මෙන්ම කතෝලික සභාවට පොරොන්දු වූ අයුරින්ම පාස්කු විමර්ශන සාර්ථකව ඉදිරියට ගෙන යනවා.
“සමහර කාරණා විමර්ශනවලට බලපාන නිසා හෙළි කරන්න බෑ. පාස්කු ප්‍රහාරයේ විමර්ශන සාර්ථකව සිදුකෙරුණද ගෝඨාභය රජය බලයට පැමිණි පසුව විමර්ශන දියාරු කෙරුණා. අප බලයට පැමිණි පසු එම විමර්ශන විධිමත් කර තිබෙනවා.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කල්තියා දැන සිටි බව තොරතුරු අනාවරණය වී තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරාජසිංහම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මඩකලපුව බන්ධනාගාරෙයේ සිටියදී පිල්යන්ගෙන් මේ තොරතුරු දැන සිටි බවට අනාවරණය කරගෙන තිබෙනවා. ඒ කාලයේදී පිල්ලෙයාන් බුද්ධි අංශ නිලධාරීන් සමගද සමීප සබඳතා ගොඩනඟාගෙන ඇති බවටත් තොරතුරු අනාවරණය වෙනවා. එදින ටාජ් සමුද්‍ර හෝටලයේ බෝම්බකරු ගැන තොරතුරු බුද්ධි අංශයට ලැබිලත් බුද්ධි අංශ නිකන්ම ඉඳලා තියෙනවා. ඒක නිසා ඇතැම් බුද්ධි අංශ පිරිස් ගැන පරීක්ෂණ සිදු කරනවා” යනුවෙන් අදහස් දැක්වූ ආනන්ද විජයපාල අමාත්‍යවරයා තවදුරටත් කරුණු රැසක් ඉදිරිපත් කළේය.
පාස්කු බෝම්බ ප්‍රහාරයෙ සම්බන්ධ අපරාධකරුවන්ව නීතිය හමුවට ඉක්මනින්ම ගෙන එන බව පැවසූ ආනන්ද විජේපාල අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ යළිත් අන්තවාදයත්, ජාතිවාදයත් කිසිසේත්ම ඇති වීමට ඉඩ ලබා නොදෙන බවයි. ඒ සඳහා නීති ප්‍රමාණවත් නැත්නම් අලුතින් සම්පාදනය කිරීමටද කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.
විපක්ෂය නව ව්‍යවස්ථාවක් ඉල්ලයි.
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් තිබේ. තම ප්‍රතිපත්ති ප්‍රකාශය වූ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ හි ‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවා’ යැයි මුද්‍රණය කර තිබුණත්, එය සිදු වන පාටක් පෙනෙන්නට නැති බැවින් පාර්ලිමේන්තුව තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අදාළව කටයුතු කිරීමට කමිටුවක් පිහිටුවා අදාළ වැඩකටයුතු ආරම්භ කරන්න යැයි එකී යෝජනාවේ අන්තර්ගතයයි. මේ වන විට විපක්ෂයේ දේශපාලන පක්ෂ එකිනෙකා මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න පටන් ගෙන තිබේ.
තරු හෝටලයකදී දෙමළ පක්ෂ හමුවක්.
ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, චෙල්වන් අඩේකනාදන් ශ්‍රීධරන්ගේ නායකත්වයෙන් යුත් ඉලංගෙයි තමිල් අරුසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දහදෙනාගෙන් හත් දෙනෙකුම කොළඹ තරු හෝටලයකදී පසුගිය දිනක මුණගැසී ඇත. ආණ්ඩුව ඉදිරියේදී ක්‍රියාත්මක වන ආකාරය ගැන උතුරු නැඟෙනහිර නියෝජනය කරන දෙමළ පක්ෂ විදිහට එකමුතුව කටයුතු කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබේ. තවමත් පැවැත්වීමට සූදානමක් නැති පළාත් සභා මැතිවරණය පිළිබඳව මෙන්ම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම ආදී මාතෘකා පිළිබඳවද මොවුන් පුළුල්ව සාකච්ඡා කර තිබේ. ජාත්‍යන්තර ප්‍රජාව ගනුදෙනු කළ යුතු ආකාරය පාර්ලිමේන්තුව තුළ විපක්ෂ කණ්ඩායම් හා කටයුතු කළ යුත්තේ කෙසේද යන්න මෙහිදී අවධානය යොමු කර තිබේ.
ලොකු අයියා ගැන වටගලගේ අනාවැකිය.
හිටපු නියෝජ්‍ය ඇමැති හර්ෂණ සූරියප්පෙරුම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් විය. හර්ෂණ සූරියප්පෙරුමගේ ඉල්ලා අස් වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට පත් වන්නේ කවුද? ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා තමයි එන්නේ බොහෝ දෙනෙක් කියන්ට පටන් ගත්හ. ටිල්වින් සිල්වා ඒ වන විට මන්ත්‍රී කණ්ඩායමක් සමග චීනයේ සංචාරයක නිරත වෙමින් සිටියේය.
“නියෝජ්‍ය ඇමැතිතුමා ඇත්තද ලොකු අයියා පාර්ලිමන්ට් එනවා කියන්නේ?” මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති සුනිල් වටගලගෙන් මාධ්‍යවේදියෙක් කෙළින්ම ඇසුවේය.
“පිස්සුද මම කැට තියල කියන්නම් ලොකු අයියා නම් පාර්ලිමේන්තු එන්නේ නෑ.” නියෝජ්‍ය ඇමති සුනිල් වටගලගේ පිළිතුර එය විය.
බ්‍රැඩ්මන්ගේ අභාවයෙන් රනිල් කම්පා වෙයි.
ශ්‍රී ලංකාවේ සිවිල් සේවයේ සිටි ජ්‍යෙෂ්ඨතම සහ කෘතහස්ත නිලධරයකු වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතාගේ අභාවය පිළිබඳ ශෝකජනක පණිවිඩය සතිය ආරම්භයේදීම අසන්න ලැබිණි. ඒ පුවත ඇසීමෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිශය ශෝකයට පත් විය.
ශ්‍රීමත් ජෝන් කොතලාවල අගමැතිවරයාගේ ලේකම් ලෙස කටයුතු ආරම්භ කළ බ්‍රැඩ්මන් වීරකෝන් මෙරට අග්‍රාමාත්‍යවරුන් හත් දෙනෙක්ගේ සහ ජනපතිවරුන් දෙදෙනකුගේ ලේකම්වරයා ලෙස රාජකාරි කළේය. ඊට අමතරව ජනාධිපතිවරුන් කිහිප දෙනෙකුගේද උපදේශක තනතුර හෙබවීමටද බ්‍රැඩ්මන් ඔහුට අවස්ථාව උදා විය.
රණසිංහ ප්‍රේමදාස අගමැති ධුරයේ කටයුතු කරද්දී ලේකම් වශයෙන් සිටි බ්‍රැඩ්මන් වීරකෝන් සිවිල් නිලධාරියකු ලෙස කැපීපෙනෙන චරිතයක් පෙන්වීම ආරම්භ කළේය. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ලේකම් වශයෙන් සාම මහලේකම් කාර්යාලය පවත්වාගෙන යමින් රටේ ආර්ථිකයට සහ යුද්ධයට විසඳුම් සෙවීම සඳහා දැක්වූ දායකත්වය හේතුවෙන් බ්‍රැඩ්මන් වීරකෝන් මහතාට මෙරට සිවිල් සේවයේ විශිෂ්ට පිළිගැනීමක් හිමි විණි.
ට්‍රම්ප්ගේ බද්ද ගැන රනිල් කතා කරයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බද්ද හේතුවෙන් මෙරට ඇඟලුම් කර්මාන්තය විශාල අර්බුධයකට ගමන් ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ මතයයි. ඉකුත් සතියේ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ඇඟලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ ඉහළ මට්ටමේ ව්‍යාපාරිකයන් පිරිසක් සමග හමුවක් පැවැත්වීය.
“යුරෝපයේ ඊළඟ අවුරුද්දේ ආර්ථික වශයෙන් කඩාවැටීමක් වුණොත් ඒ පැත්තෙනුත් අපට පහර වදිනවා. ඉන්දියාවත් සමග අවශ්‍ය ගිවිසුම් අත්සන් නොකළ නිසා ඒ පැත්තෙන්ද සහනයක් බලාපොරොත්තු විය නොහැකියි. මා ප්‍රකාශ කළ ආකාරයට ක්‍රියා කළා නම් මේ අවදානම් තත්ත්වය උද්ගත වන්නේ නැහැ.” රනිල් තවදුරටත් පැවසීය.
“රනිල්ගේ මාර්ගයේද? පැලවත්ත පාරේද යන්නේ? කියන එක තමයි, දැන් අපට තීරණය කරන්න වෙලා තිබෙන්නේ” යැයි ඒ හමුවට එක්ව සිටි ඇඟලුම් ක්ෂේත්‍රයේ පුරෝගාමි ව්‍යපාරිකයකු ප්‍රකාශ කර සිටියේ සියල්ලන්ගේම සිනා හඬ මධ්‍යයේය.
රහස් පොලීසිය ගැන නාමල් කීවේ මොනවාද?
මේ අතර දයාසිරිලා ඇතුළු සමගි ජන බලවේගය හා පොදු විපක්ෂයේ පිරිසක් කතාබහ කරමින් සිටි තැනට නාමල් චානකලා හා තවත් කිහිපදෙනෙක් පැමිණියද කතාබහට ලක්වූ මාතෘකාව වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිදු වන අලුත් වෙනස්කම් ගැනයි. මන්ත්‍රීවරු නාමල්ට විහිළු කළේ දැන් ඉතින් තවදුරටත් පරිස්සම් වෙන්න වේවි කියාය.
“පරිස්සම් වෙන්න දෙයක් නෑ. මේ කාලයේ දේශපාලනය හරියටම කරනවා නම් ඕනෑම කෙනෙක් ඔය පරීක්ෂණවලටයි අල්ලස් කොමිසමේ පරීක්ෂණවලටයි යන්න බලාගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ රිමාන්ඩ් එකට යන්නත් හිත හදාගෙන ඉන්න ඕන එච්චරයි.”
“කතාව යන්නේ ඔබතුමාලගේ මවුතුමිය ඇතුළු පවුලේ කීපදෙනෙක්ම යන්න නියමිතයි කියල නේ.”
“කවුද කියන්නේ… ඕක කියන්නේ දැන් අවුරුද්දක විතර ඉඳලා. ජනතාව රවට්ටන්න පුරෝගාමී වුණ සමාජ මාධ්‍ය බළකායක්. ඒක ඒගොල්ලන්ගේ රස්සාව නේ. ඇයි ඒගොල්ලෝ මහා ලොකුවට දාලා තිබුණේ අම්මව බේරගන්න මල්වතු මහනායක හාමුදුරුවොත් ජනාධිපතිට කතා කළා කියලා. අන්තිමට ඒ කරපු අපහාසයට මල්වතු හාමුදුරුවෝ මොකක්ද කළේ? ඒ කතාව පට්ටපල් බොරුවක් කියල නිවේදනයක් නිකුත් කරලා දැක්කේ නැද්ද?”