තනි වැකියෙන් කතුවැකි ලියූ ලේඛක මහාශයා, සමාජ සමයං හා පොඩි එකාගේ ලියුම

තනි වැකියෙන් කතුවැකි ලියූ ලේඛක මහාශයා

එක්තරා දිනක හවස් යාමයේ මගේ පොත් රාක්කය පීරමින් මා කල් ගත කළේ කලකට පෙර මවිසින් කියවන ලද පොතක් යළි අතට ගෙන කියවීමේ අභිලාෂයෙනි. එහෙත් එකී පොත සොයාගන්නට මා මහත් සේ වෙහෙස ගෙන කළ උත්සාහය ව්‍යර්ථ විය.

මා පැතූ පොත නොලද මුත් රාක්කයේ කොහේදෝ තැනක තිබී එක්තරා පුස්තිකාවක් මා අතට පත් වූයේ ඉබේය. පිටු 40 කින් සමන්විත ඩිමයි 08 ප්‍රමාණයේ එම කුඩා පොත දුටු සැණින් මගේ මතකය වහා අතීතය වෙත ඇදී ගියේය. ඊට හේතු වූයේ එම පොත්පිංචේ පිට කවරයේ දිස්වුණු ඡායාරූපයයි. පිරුණු මූහුණින් හා දීප්තිමත්ව දැල්වුණු දෑසින්ද යුත් එම රුවට යටින් සඳහන් වූයේ 'රට රැකගත් කතුවැකි යන 'ග්‍රන්ථ නාමයයි.'

පොතේ පිට කවරයේ නිල් පාටින් මුද්‍රිත එම ඡායාරූපයේ උන් පුද්ගලයා සුප්‍රකට නවකතාකරුවෙකි. සාහිත්‍ය ධරයෙකි. කෘත හස්ත පුවත්පත් කලාවේදියෙකි. නව කවියන් පරපුරක් රටට හඳුන්වා දීමෙහි පුරෝගාමියෙකි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් මෙන්ම මේ ශ්‍රේෂ්ඨ සිංහල ලේඛකයාද මියගියේ අකාලයේය.1903 ජූලි 22 දා

ඌව පළාතේ , උඩුකිඳ , වැලිමඩ ,

අඹගස්දෝවේ දියමාරුවේ ගෙදරදී

ඉපදුණු ඔහුගේ 54 අවුරුද්දකට සීමා වූ දිවි ගමන නිම වු⁣ණේ 1957 දෙසැම්බර් 29 වන දා කොළඹදීය.

ඕජෝ ගුණයෙන් පරිපුෂ්ට වූ විශිෂ්ට භාෂා ශෛලියක් උරුමව සිටි මේ ලේඛකයා එක් අවධියක මෙරට උද්ගත වුණු සාමාජික , ආගමික හා දේශපාලන ප්‍රශ්න කිහිපයක් අරබයා ලියූ ප්‍රබල කතුවැකි අටක් ගැබ් කොට 'රට රැකගත් කතුවැකි' යන නමින් සම්පාදිත එම කුඩා පොත පළ කොට ඇත්තේ ඔහු මිය ගොස් වසරක් පිරීම නිමිත්තෙනි. ඒ 1958 දෙසැම්බර් 28 වැනිදාය.

මේ රට රැකගත් කතුවැකි ලියූ අභිමානවත් ලේඛකයාණෝ හේමපාල මුනිදාසයෝය. 'සිංහල බෞද්ධයා' සහ 'සිංහල බලය' යන පුවත්පත් දෙකෙහි කතු කම් කළ කාලයේ ලියූ එකී රට රැකගත් කතුවැකි පමණක් නොව ඔහු අතින් ලියැවුණු කවර කතුවැකියක් වුවද ස්වාධීන චින්තනය, හේතු යුක්ති කථනය, දුර්වාද මථනය සහ අනන්‍ය වාග් ශෛලිය යන චතුර්විධ අංගයන්ගෙන් අනූනය.

හේමපාල මුනිදාස සූරීන්ගේ කතුවැකිවල මහිමය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් නොමසුරුව වර්ණිත අයුරු මෙවේලේ මගේ සිහියට නැගෙයි.

"ඔහුගේ කතුවැකියක් ගද්‍ය කාව්‍ය ඛණ්ඩයකි. වචනයෙන් වචනය ඇමිනීමේ ශක්තිය ඉතා ඉහළින්ම එයින් පෙනී යයි. භාව ප්‍රකාශනය ඔහුගේ වියත් වචනවල උණු උණුවේම නැගී එයි. ඖදාර්ය ගුණයටත් ඕජෝ ගුණයටත් සිංහල සාහිත්‍යයේ හොඳම නිදසුන් ඔහුගේ වැකි යැයි කිව වරදෙක් නොවේ...... ඔහුගේ කතුවැකි මිනිසුන්ගේ හදවත් ඇද බඳින යදම් වැනිය."

('හෙළ හඬ' ත්‍රෛමාසිකය - 3 වන වෙළුම - හේමපාල මුනිදාස සමරු අංකය -1958 - නෙම්සිරි මුතුකුමාර)

මානවසිංහයන් හේමපාල

මුනිදාස මහාශයන් තුළ පිහිටි මහාර්ඝ චරිතාංගයක් මාත්සර්ය ලවයකිනුදු තොරව අගයන්නේ මේ අයුරිනි.

"අනුන්ගේ සාහිත්‍ය කෘතීන් අගය කරමින් අනුන්ගේ හැකියාව අවුස්සමින් රුකුල් දීමට විනා තමන් හුවා දක්වන කණ්ඩායම් තැනීමට හේමපාල මුනිදාසයන් අදහස් නොකළ බවට ඔහුගේ ඒ සා ජීවිත යුගයේ හැම අකුරක්ම සාක්ෂි දරනවා ඇත....... සිනා මුසු මුහුණට වඩා සිනාමුසු හදවතක් ඇති පුද්ගලයෙකු මා දුටුවේ නම් ඒ අනිකකු නොව හේමපාල මුනිදාසයන් බව එක හෙලාම කිව හැකිය."

(ඉහත සඳහන් ලිපිය.)

එදා සිංහලයන්ට හිමි දේශපාලන සංවිධානය වූ 'සිංහල මහා සභාව' වෙනුවෙන් 'සිංහල බලය' පුවත්පත අරඹා එහි කතුකම කළ හේමපාල

මුනිදාසයෝ කොළඹ කවි යුගය බිහි කිරීමේ පුරෝගාමී පුරුෂයාණෝ වූහ. කොළඹ යුගයේ ප්‍රධාන පෙළේ කවියන් සියලු දෙනාම වාගේ මතු වූයේ හේමපාල මුනිදාසයන් තම 'සිංහල බලය' පුවත්පතෙන් ඇරඹූ කවි පිටුවෙනි.

දිවංගත අගමැති ඇස් , ඩබ්ලිව් , ආර් , ඩී බණ්ඩාරනායක මහතාගේ ඇරයුමෙන් 1952 දී 'සිංහලේ' පුවත්පත ඇරඹූ හේමපාල මුනිදාසයන්1956 දී බණ්ඩාරනායක මහතා ලත් විශිෂ්ට ජයග්‍රහණය පිටුපස සැඟවී ගත් යෝධ සන්නිවේදන බලවේගය වූ බැව් නිසැකය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් උරුමක්කාරයන් හේමපාල මුනිදාස නමැත්තෙක් මෙලක විසීද යන්නවත් දන්නේදැයි නොදනිමි. මුනිදාස කුමාරතුංගයන් විජය කුමාරතුංගයන්ගේ තාත්තාදැයි අසන අමන පරපුරක් බිහිව ඇති මෙවන් යුගයක ඒවා ගැන කවර කතාද ! රටක තථ්‍ය ඉතිහාසය හා පාරම්පරික සාහිත්‍ය උරුමය අකා මකා දැමූ පසු ඒ රට තුළ සංස්කෘතික ඕපපාතිකයන් පහළ වීම ගැන අප පුදුම විය යුතුද ?

අනභිභවනීය ප්‍රෞඪ පුවත්පත් කතුවරයෙකු මෙන්ම ප්‍රශස්ත ලේඛකයෙක්ද වූ හේමපාල මුනිදාසයන් මට ජීවමානව මුණගැසී ඇත්තේ එකම එක් වරක් පමණි. ඒ අවස්ථාව කිසි දා මගේ සිතින් මැකී නොයන්නකි. ඒ ඔහු බාළ්හ ගිලානව මංච පරායණව සිටි කාලයයි. එකල ඔහු පදිංචිව උන්නේ පොල්හේන්ගොඩ හන්දියේ සිට කිරුළපන සුසාන භූමිය දෙසට වැටී ඇති පටු මග පටන් ගන්නා තැන පාර අද්දර වූ කුඩා නිවසක බැව් මට අද මෙන් මතකය.

ප්‍රවීණ ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙකු , නාට්‍ය රචකයෙකු , විශිෂ්ට ගීත රචකයෙකු , කවියෙකු මෙන්ම කිසිවෙකුට අනුකරණය කළ නොහෙන , අනුපමේය , අනන්‍ය , කෝවිද සන්නිවේදකයෙක්ද වූ බණ්ඩාර විජයතුංගයෝ පාසල් කාලයේ සිටම මගේ බඩබැඳගත් මිතුරෙකි. ඒ දිනවල ඔහු නැවතී සිටියේ කළුබෝවිල මගේ ගමට නුදුරු නුගේගොඩ බෝඩිමකය. එකල මා ඔහු ඇමතුවේ 'ආනන්ද' යන නමිනි. කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍ය සමයේදී අංකුර කවියෙකු හා සිත්තරෙකු වශයෙන් ඔහු තම නම භාවිත කළේ ආනන්ද.කේ.විජයතුංග යනුවෙන් හෙයිනි. මහැදුරු සුනන්ද මහේන්ද්‍ර , විශිෂ්ට නවකතාකරු හේමරත්න ලියනආරච්චි සහ කෘතහස්ත සිනමාකරු ඩී.බී.නිහාල්සිංහ ආනන්දයේ ආනන්දගේ සමකාලීන පාසල් මිත්‍ර ත්‍රිමූර්තියකි.

එක්තරා වැහිබර හවස් යාමයක මා ආනන්දයන්ගේම ඇරයුමෙන් ඔහු සමග හේමපාල මුනිදාසයන්ගේ නිවසට ගියේ බාළ්හ ගිලානව සිටි මුනිදාසයන්ගේ සුව දුක් දැනගන්නා අටියෙනි. ඔහුගේ පුත් සුජීව රංජිත් මුනිදාසයෝ අප දෙදෙනාගේම මිතුරෙකි. එදා ඔහුද නිවසේ සිටීම අපගේ මහත් සතුටට හේතු විය.පුවත්පතින් හා පොත්වලින්

හේමපාල මුනිදාසයන් ගැන දැන සිටි මුත් ඔහු ජීවමානව දැක හැඳිනගෙන සමීපව ඇසුරු කිරීමට තරම් මම වාසනාවන්තයෙක් නොවීමි. ඒ ගැන දැනුදු මම ශෝක වෙමි. ඔහු පළමු වරට දිවමන්ව දැක හැඳිනගත්තේ එදාය.

ආනන්ද මා ඔහුට හඳුන්වා දුන් වේලේ ගිලන්ව ඇඳේ වැතිර හුන් ඔහු මදෙස බලා මඳ සිනාවක් මුවට නගා ගත්තේ ඉතා අමාරුවෙන් බැව් අපට පසක් වුණි. ඔහු එතරම්ම දුබලව ඔත්පලව හුන්නේය. කතාවෙන් ඔහු වෙහෙසට පත් කිරීම නොමනා බැව් අපට හැඟුණි. අප මඳ වේලාවක් සුජීවයන් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදී සිට මුනිදාසයන්ගේ නිවසින් පිටත්ව ආවේ ඔහුට ආයුරාරෝග්‍ය සම්පත්තිය ඉත සිතින් ප්‍රාර්ථනා කරමිනි.හේමපාල මුනිදාසයන් එදා රෝග ග්‍රස්තව මංචපරායණව සිටි අයුරු මගේ මතකයෙන් කිසි දා මැකී නොයන්නක් වූයේ එවේලේ ඔහු සමග වචනයකුදු කතා කිරීමට අවස්ථාවක් නොලැබීම නිසා මසිත උපන් උග්‍ර සන්තාපය නිසා යැයි සිතමි.

. ඒ දිනවල එක්තරා අසාමාන්‍ය සිද්ධියක් පුවත්පත් මගින් මුළු රට පුරාම පැතිර ගියේය. මම ඒ වෙසෙස් සිද්ධිය ඔබේ මනස්තිරය මත යළි දෘශ්‍ය රූපයකට නංවනු කැමැත්තෙමි.

බණ්ඩාරනායක අගමැතිවරයා විසින් නමෝවිත්තියෙන් පිහිටුවන ලද සංස්කෘතික අමාත්‍යාංශයෙහි පළමු අමාත්‍ය ධුරය පැවරුණු ජයවීර කුරුප්පු මහතා , බාළ්හ ගිලානව මංච පරායණව සිටි හේමපාල මුනිදාස මහාශයන් වෙත එළැඹෙයි. රුපියල් 500 ආධාර මුදලක් ඇමැතිවරයා විසින් මුනිදාසයන්ට පිරිනමනු ඡායාරූප ගත වෙයි. මුනිදාසයෝ එවෙලේම ඡායාරූප ශිල්පියා ළඟට කැඳවා අණක් දෙති. ඉන්පසු ඔහු තමාට පිරිනැමුණු රුපියල් 500 තෑගි මුදල යළි සංස්කෘතික ඇමතිවරයාටම පිරිනමයි. තමා ලත් අණ අනුව ඡායාරූප ශිල්පියා එම දසුනද කැමරාවට හසුකරගනියි. පසු දා පුවත්පත්වල පළවුණු එම ජවනිකාව මගින් හේමපාල මුනිදාස මහාශයන්ගේ අභිමානවත් පෞරුෂ්‍යය මුළු රටටම හෙළිවෙයි

මාත් ආනන්දත් ගිලන් මුනිදාසයන්ගේ සුව දුක් බලා පැමිණ වැඩි දවසක් ගතවන්නට පෙරම ඔහු සදහටම අපගෙන් සමුගත්තේය. බොරැල්ලේ කනත්තේ පැවති හේමපාල මුනිදාස ලේඛක මහාශයන්ගේ අවමඟුලට සහභාගී වීමට මා ගියේ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ මගේ පාසල් සගයෙකු මෙන්ම මගේ කළුබෝවිල ගමේ සමසමාජ පක්ෂ සගයෙක් වූද ගිල්බට් ද කෝස්තා රසවතා කැටුවය. මුනිදාසයන්ගේ උදාර ජාතික මෙහෙවර සහ සාහිත්‍ය මෙහෙවර අගයමින් එදා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් අවමඟුල් සභාව අමතා කළ ජන හදවත් හඬවා ලන දෙසුම තවමත් මගේ මතකයේ නොනැවත නිනද වෙයි.

හේමපාල මුනිදාසයන්ගේ වයෝවෘද්ධ මෑණියන්ද ඇතුළු එම මහා අවමඟුල් සභාව ඉදිරියේ නැගී සිටි මානවසිංහයෝ කම්පිතව ගිය ළයෙන් යුතුව මුහුණින් අතින් හිසින් හැඟීම් පාමින් , තම ගැඹුරු

ශෝකී ස්වරයෙන් ජනතාව අමතති.

"තමන්ගෙ උකුළ උඩ තියාගෙන , ජාතික වීරයන්ගෙ කතා කියා දීලා මේ පුතාට ජාතික හැඟීම ඇති කළ අම්මයි මේ ඉන්නෙ. සිංහලයන්ට උරුම කතන්දර කියලා කවි සීපද ගයලා මේ පුතාට මුලින්ම සාහිත්‍ය රසය ඉඳුල් ගැන්නුව අම්මයි මේ ඉන්නෙ. තරු එළියෙ , හඳපානෙ , පාට වලාකුළේ සුන්දරත්වය පෙන්නලා මේ පුතා සෞන්දර්යකාමියෙක් කළ අම්මයි මේ ඉන්නෙ. ඒත් මේ අම්මා තුන් හිතකින්වත් හිතන්න නැතුව ඇති මේ එකම පුතා තමන්ගෙ ජාතියට අනුප්‍රාණයක් දෙයි කියලා. තමන්ගෙ භාෂාවට නව ජීවයක් දෙයි කියලා තමන්ගෙ දේශයට අභිමානයක් දෙයි කියලා."

හේමපාල මුනිදාසයන්ගේ වයෝවෘද්ධ මෑණියන් එවේලේ දෑසේ කඳුළු පිස දමනු දුටු කාගේ නම් හදවත් නොහඬා සිටීද?

හේමපාල මුනිදාසයන්ගේ නිසර්ග සිද්ධ අනන්‍යසාධාරණ අප්‍රමේය භාෂා බලපරාක්‍රමයේ එක් අහීෂ්ට ඵලයක් වශයෙන් අග්‍රාමාත්‍ය පදවිප්‍රාප්ත එස්.ඩබ්ලියු.ආර්.ඩී බණ්ඩාරනායකයෝ රාජ්‍ය නායකයා වශයෙන් එදා එම අවමඟුල් සභාවේදී තම භක්තිභාරාවනත මිත්‍රෝත්තමයාගේ අභිමානවත් පෞරුෂ්‍යයේ ගුණ කීර්තනය කළේ මේ අයුරිනි.

"මට මේ රටේ අගමැති වශයෙන්වත් අණ කළ නොහැකි වූ එකම එක පුද්ගලයෙක් හිටියා. ඒ අද අපෙන් සදහටම වියෝ වුණු මා මිත්‍ර හේමපාල මුනිදාසයි."

මුනිදාසයන්ගේ අකල් මරණය ගැන හිතන කල වරක් මාර්ටින් වික්‍රමසිංහයන් , මාත් මගේ මිතුරන් දෙදෙනෙකුත් සමග ඔහුගේ නිවසේදී පැවසූ දෙයක් යළි මගේ සිහියට නැගෙයි. මගේ කුලුපග මිතුරන් වන

කෘතහස්ත ලේඛක හේමරත්න ලියනආරච්චිත් ප්‍රකට නීතිඥ සෝමරත්න දිසානායකත් මමත් දිනක් රෑ කාලයේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගෙදර ලේඛන කුටියේ අල්ලාප සල්ලාපයේ පසුවීමු. ඒ වූකලී මා වික්‍රමසිංහයන් ඉතා කුලුපගව ඇසුරු කරන පඤ්ඤා පජ්ජාලිත , ආස්වාද ජනක සමයයි. මාර්ටින් වික්‍රමසිංහයෝ වනාහි හේමපාල මුනිදාසයන්ගේ අග සවු ගෝල ලේඛකයන් දෙදෙනෙක් වූ කේ.බී.සුගතදාසයන්ගේත් සිසිර කුමාර මාණික්කආරච්චිගේත් පරම පරිභවයට පාත්‍ර වූවෙකි. එහෙත් වික්‍රමසිංහයෝ උන් කෙරෙහි කිපී උන් හා කලහයට ගොස් තම වටිනා කාලය නිකරුණේ නාස්ති නොකරගත්හ. ඔහුගේ ප්‍රඥා පාටවය හා බුද්ධි පරිපාකය එතරම්ම ප්‍රබල විය.

"සේලෝ යථා ඒකඝනෝ

වාතේන න සමීරති

ඒවං නින්දා පසංසාසු

න සමිජ්ඣන්ති පණ්ඩිතා

(ධම්මපද - පණ්ඩිත වග්ග - 6)

(ගන වූ ගල් කන්ද සුළඟින් නොසැලෙන සේ ගැරහුම් පැසසුම් දෙකේදීම පණ්ඩිතයෝ නොසැලෙත්.)

මාර්ටින් වික්‍රමසිංහයන් සතුව පැවැතියේ වාතවේගයෙන් නොසෙල්විය හැකි පර්වතයක් වැනි ඒකඝන පෞරුෂ්‍යයකි. අප එදා සාකච්ඡා කරමින් හුන්නේ යට කී ගෝල ලේඛකයන් දෙදෙනා විසින් හේතු යුක්තියෙන් තොරව , එනම් අසාධකව අකාරණව කළ , ද්වේෂ සහගත , අගතිගාමී , පරිභවාත්මක විවේචනයන් ගැනය. වික්‍රමසිංහයන් අප සමග එදා පැවසූ වදන් මෙවේලේ යළි මගේ සිහියට නැගෙයි.

"මුනිදාස තමයි මගේ 'ගම් පෙරළිය' නවකතාව ගැන මුලින්ම

'සිංහල බලය' පත්තරේට විවේචනයක් ලිව්වෙ. ඒක ද්වේෂයෙන් තොරව කළ විවේචනයක්. ඉත සිතින් කළ විවේචනයක්. මුනිදාස ශූර ලේඛකයෙක්. නිර්භය පත්‍රකාරයෙක්. ඒ වගේම මුනිදාස තමන්ගේ රටට ජාතියට ආගමට හොඳටම ආදරය කළා. ඒත් තමන්ට ආදරය කළේ නෑ. ඔහුත් මාත් එකට මධු රස වින්ද අවස්ථා තියෙනවා. මං ගන්නෙ මගේ ප්‍රමාණයට. මුනිදාස ප්‍රමාණය ඉක්මවීම ඔහුට හානිකර වුණා. මුනිදාස වගේ හොඳ ලේඛකයෙකුගෙ අකල් මරණය පාඩුවක්. ඔහු මගේ හොඳ යාළුවෙක්. හොඳ යාළුවෙක් නැතිවීම දුකක්."

මෙවේලේ මගේ සිත ඉබේම දිව යන්නේ වික්‍රමසිංහයන්ගේ ආත්ම චරිත කතාව වන 'උපන්දා සිට ' පොතේ එක්තරා පිටුවක් කරාය.

"වික්‍රමාරච්චි (ඩී.ඩබ්ලියු) දිනමිණෙන් අස්වී 'ස්වදේශ මිත්‍රයා' සතිපතා පත්‍රය ආරම්භ කළේය. ඔහු පරණවාඩියේ ලොකු ගෙයක පදින්චියට යන විට මමද ඔහු සමග ගියෙමි. වික්‍රමාරච්චි ස්වදේශ මිත්‍රයා පත්‍රයේ කළමනාකාර කතුකමත් මිල්ටන් සිල්වා කතුකමත් කළෝය පත්‍රයෙහි පළ කරනු පිණිස කිසිවකු ලියූ කෙටි කථාවක් මිල්ටන් සිල්වාත් උප කර්තෘත් විසින් නොමනා යයි බැහැර කරනු ලැබීය. ඒ කථාව ලියූ තරුණයා පත්‍රකාරයකු ලෙස පුරුදු වනු පිණිස 'ස්වදේශ මිත්‍රයා' කන්තෝරුවට ඇතුළු වන්ට කැමැත්තෙන් සිටින්නෙකි. වික්‍රමාරච්චි මේ කෙටි කතාව මට ගෙනැවිත් දුන්නේය."

"මම හිතාගෙන ඉන්නෙ පත්තරේ වැඩ පුරුදු කරනු සඳහා මෙයා ගන්නයි. කන්තෝරුවේ හැමෝම මේ කථාව අසභ්‍ය යයි , හොඳ නෑයි කියමින් බැහැර කළා. මේක කියවා බලන්න."

"අසභ්‍ය නොවූවද එය අපරිණත ලක්ෂණ ඇති කෙටි කතාවකි. ඒ කතාව අතරින් මා දුටුවේ අනාගත ලේඛකයෙකුගේ නොපැසුණු කුසලතාවයි. මම නොමනා තැන් කටු ගා නැවත ලියමින් ඒ කතාව සකස් කෙළෙමි.

"මම හිතනවා දැන් කථාව පත්තරේ පළ කරන්නට පුළුවන්ය කියා" කියමින් මම වික්‍රමාරච්චිට පිටපත දුන්නෙමි. "මෙයා ගන්න. ඔහු හොඳ ලේඛකයෙකු වෙනවාට සැක නෑ."

වික්‍රමාරච්චි ඒ කථාව පත්‍රයෙහි පළ කොට ඒක ලියූ තරුණයා පත්‍රයේ වැඩ පුහුණු කරනු සඳහා හඬගා ගත්තේය. ඔහු හේමපාල මුනිදාසය. මුනිදාස ඉතා ඉක්මනින් පත්‍ර කාරයෙක් විය. නවකථාකාරයකු වශයෙන් ඔහු කෙරෙහි අපූර්ව කුසලතා විය. පත්‍රකාරයකු ලෙස අවසානය තෙක් රටට සේවය කළ ඔහුගේ අර කුසලතා හොඳින් දියුණු නොවීය."

('උපන්දා සිට' - මාර්ටින් වික්‍රමසිංහ - 239,240 පිටු.)

තම නෑඹුල් සාහිත්‍ය නිර්මාණ

ප්‍රයත්නය වශයෙන් 'වනචාරිකාව' නමැති නවකතාව හේමපාල මුනිදාසයන් අතින් ලියැවුණේ එකුන් විසි වන වියෙහිදීය. මෙහි අත්පිටපත නැතිවුවද ඉන් දිරි නොසිඳුණු ඔහු ඒ අවුරුද්දේම 'ප්‍රසාද්සිංහ' නමැති නවකතාවත් අනතුරුව පළමුවන ලෝක මහා සංග්‍රාමය ඇසුරෙන් 'වයලා' නමැති නවකතාවත් ලීවේය.

'මළවුන් අතර ජීවිතය' , 'සැකය' , 'පුනරාලෝකය' , 'සකලසේන' ,

'නාරි ගැටය' , 'යකා බාස්' , 'ස්ත්‍රීරත්නය' , 'වහල් වෙන්දේසිය' , 'කින්නර පිස්සුව: , 'රතු කැට' , 'රසාවදානය' , 'පංච තන්ත්‍රය' ,

'ජීවිත පූජාව' , 'භාරත ගීතය' යන සාහිත්‍ය කෘති සමූහය හේමපාල මුනිදාස ලේඛක මහාශයාණන්ගේ සූතිස් නිර්මාණ ජීවිතයේ අග්‍ර ශස්‍ය සම්පත වන්නේය.

අසදෘශ ශූර පුවත්පත් කර්තෘවරයෙකු වශයෙන් මුනිදාසයන්ගේ කිතු රැව් තුඩ තුඩ පැතිර යාමට තුඩු දුන් විශේෂ විස්කමක් ඔහු කෙරෙන් විශද විය. එය වූකලී එකම වැකියකින් මුළු කතුවැකියම ලිවීමට ඔහු දැක්වූ අසහාය රචනා චාතුර්යයි.

මගේ මිත්‍ර ආනන්ද . කේ . විජයතුංගයන්ගේ පවුලත් හේමපාල මුනිදාසයන්ගේ පවුලත් අතර පැවතුණේ ඉතා සමීප සම්බන්ධයකි. ඊට ප්‍රධාන හේතුවක් වූයේ හේමපාල මුනිදාසයනුත් ආනන්දගේ පියා වන විජයතුංග විදුහල්පති තුමාත් එකම ගම් පළාතේ උදවිය වීමයි. ඔවුන් අතර ඥාති සම්බන්ධයක් පැවතුණු බවක්ද මට යන්තමින් මතක ඇත.

ආනන්ද . කේ . විජේතුංගයන්ගේ මහගෙදර පිහිටියේ ඌව පරණගම ඡන්ද කොට්ඨාසයට අයත් උඩුකිඳ මැදවෙල ග්‍රාමයේය. වැලිමඩ සිට මැදවලට යන අතර මග හමුවන

අඹගස්දෝව හේමපාල මුනිදාසයන්ගේ උපන් ගම වෙයි. පසු කලෙක මගේ පළමු උපාධිධාරී ගුරු පත්වීම ලැබුණේ උඩුකිඳ මැදවෙල ගමට නුදුරු කරගහඋල්පත විදුහලටය. එම විදුහලට පත්වීමක් ලැබ ගිය පළමු වන උපාධි ධාරී ගුරුවරයා මෙන්ම එහි උසස් පෙළ පංතියේ ආරම්භකයා වූයේද අස්මත්ශබ්දවාච්‍යාය. එහි සේවය කරන කාලයේ මට විශේෂ පුද්ගලයෙක් හමු විය.ඔහු එකල මැදවෙල විදුහලේ විදුහල්පතිය. පසුව මගේ ඉතා කුලුපග මිතුරෙකු බවට පත් වූ ඔහු දිනක් අඹගස් දෝවේ පිහිටි හේමපාල මුනිදාසයන්ගේ උපන් ගෙදරට මා කැඳවාගෙන ගියේය. ඔහු වනාහි මුනිදාසයන්ගේ එක කුස හොත් අක්කාගේ පුතා වන එඩ්මන් සිල්වාය.

ඒ මහගෙදර වූකලී උස් මැටි

බිච්චිවලින් සාදා සුදු හුණු ගෑ පරණ පන්නයේ , එතරම් විශාල නොවූ නිවසකි. එඩ්මන් සිල්වා සමග ඒ නිවස තුළ ඒ මේ අත ඇවිදිද්දී මසිත උපන්නේ බලවත් හෘදයංගම හැඟීමකි. ඒ හේමපාල මුනිදාසයන් සිහි වීමෙනි.

කොළඹ සිට ගමට පැමිණි දවසට

මුනිදාසයන් කොස් තම්බා කරවල බැදුම් සහ කිරිහොදි එක්ක බත් කෑමට ප්‍රිය කළ බව එඩ්මන් සිල්වා මා සමග පැවසුවේ මුනිදාසයන්ගේ අක්කා වූ තම මවගෙන් අසා දැනගත් තොරතුරු අනුවය. තම මහගෙදර බත හේමපාල මුනිදාසයන් අභිරුචියෙන් අනුභව කළේ මධු මද මුදිතව බව සිල්වාණන් මා සමග පැවසුවේ මඳහසින් යුතුවය.

හේමපාල මුනිදාසයන් පිළිබඳ එක්තරා රසාලිප්ත අත්දැකීමක් , වරක් , මගේ මිත්‍ර කීර්තිමත් ගුවන්විදුලි නාට්‍ය රංගන ශිල්පී , නාට්‍ය රචක , ලේඛක ආනන්ද සිරිසේනයන් මා ඉදිරියේ මනා කොට පලිප්පු දමමින් විසිතුරු ලෙස යළි මවා ලූයේ අට්ටහාසයෙන් යුතුවය.

"දවසක් අගනුවර තරුණ කවි සමාජයෙ සංවත්සර උත්සවයක් තිබුණා කරූ කොළඹ ආනන්ද විද්‍යාලයෙ. මූලාසනයෙ හිටියෙ හේමපාල මුනිදාස මහත්තයා. කොළඹ කවියො මුලින්ම එළියට ගෙනාවෙ මුනිදාස මහත්තයනෙ. 'සිංහල බලය' පත්තරේ කවි පිටුවෙන් තමයි ඒක කළේ. ඒකට ගරු කරන්නයි එයාට මූලාසනය දුන්නෙ . මේ වෙලාවෙ හොඳටම මධුවෙන් මත්වෙලා හිටිය හික්කඩුවෙ බී . එච් . අමරසේන කවියා කතාවක් පවත්වන්න ඉල්ලුවා. කතා කරනවා තියා කෙළින් ඉන්නවත් බැරි තත්වයකයි ඒ වෙලාවෙ අමරසේන කවියා උන්නෙ. මුනිදාස මහත්තයා එයාට කතා කරන්න ඉඩ දුන්නෙ නෑ. අමරසේන කවියා බල කරලා බැරි තැන එක කවියක් විතරක් කියන්න අවසර ඉල්ලුවා. මුනිදාස මහත්තයා අන්තිමට ඒකට ඉඩ දුන්නා. මුනිදාස මහත්තයා එක වාක්‍යයෙන් කතුවැකි ලියන්න දක්ෂ කෙනෙක් වගේම මධු චෂකය මේසය ළඟම තියාගෙන ලියන කෙනෙක්නෙ. ඒ දෙකම එකට ඈඳලා , තමන්ට සුපුරුදු විදියට දෙපැත්තෙම එළි වැට රැකලා , අමරසේන කවියා එවෙලෙ හිටිවනම කවියක් කිව්වා. කොළඹ යුගයෙ කවියන් අතරෙ හිටියා ප්‍රසිද්ධ දෙන්නෙක් නිතර දෙපැත්තෙම එළි වැට රැකලා කවි ලියන කියන. එයින් එක්කෙනෙක් තමයි හක්මන බැන්ටිස් රණවීර කවියා. අනිත් එක්කෙනා තමයි මේ හික්කඩුවෙ බී.එච්. අමරසේන කවියා. මෙන්න එදා අමරසේන කවියා කියපු කවිය.

"තටමා ලියන ජගතගෙ වැල්

වටාරම

මට කිය හැකිය එක කවියෙන්

මනෝරම

කට ළඟ තියාගෙන බිව්වත්

තැබෑරුම

තට කළ නොහැක ඒකයි මගෙ

උදාරම"

සමාජ සමයං හා පොඩි එකාගේ ලියුම

(අප රට වත්මන් පරපුර නාඳුනන , එසේම හඳුනන පෙර පරපුරටද අද අමතකව ඇති , එකල මෙලක සිංහල පුවත්පත් ලොව අපරාජිතව විරාජිත 'ලංකාදීප' පුවත්පත , තම වෙසෙස් කුසලතා කැල්මෙන් උදුල කළ , කාටුන් චිත්‍ර ශිල්පී හෙන්රි තෙන්නකෝනුන් පිළිබඳ අදර බර සමරු සටහනකි.)

වත්මන් බොහෝ ආධුනික ලේඛකයන්ගේ මෙන්ම ඇතැම් සම්මානිත ප්‍රවීණ නාමෝපලක්ෂිත ග්‍රන්ථ කාරයන්ගේද සිංහල භාෂා භාවිතය දෙස බලන මට එක් යුගයක් පුරා 'ලංකාදීප' පුවත්පත කීර්තිමත් කළ ප්‍රතිභාන්විතයෙක් වූ හෙන්රි තෙන්නකෝනුන් "පොඩි එකාගේ ලියුම" මැයෙන් එකල එම පුවත්පතට සැපයූ උපහාස හා හාස රස පූර්ණ නිර්මාණාත්මක රචනාවලියෙන් එක් වෙසෙස් රචනයක් ඉඳුරා සිහියට නැඟෙන්නේ ඉබේය. මන්දපුෂ්ට නිකෘෂ්ට භාෂා භ්‍රෂ්ට වත්මන් බොහෝ ලංකා ලේඛකයන් අතෙහි මෙකල දිනෙන් දින අන්ත ක්ලිෂ්ටව යන සාහිත්‍යමය සිංහල භාෂා භාවිතය කෙරෙහි කාගේත් සැලකිල්ල යොමු කිරීමෙහි ලා තෙන්නකෝනුන් එදා 'ලංකාදීප'යට සැපයූ එම වෙසෙස් "පොඩි එකාගෙ ලියුම" යළි කියවන්නට සැලැස්වීම 'කාලෝ අයං තේ' යැයි සිතමි. මෙවැනි භාෂා පරිහානියක් එදාද සිදුවෙමින් පැවති බවක් එමගින්ද ගම්‍යමාන වන හෙයිනි.

හෙන්රි තෙන්නකෝනුන් භුවංගත වූයේ 1930 මැයි 05 වන දාය. ඒ මීට 95 වසරකට පෙරය. ඔහු දිවංගතව 2025 ජූනි 28 වන දිනට 47 වසරක් සපිරේ.

තමන්ගේම අනන්‍යතාවකින් සමන්විත සුප්‍රකට , ප්‍රශස්ත , ශූර කාටූන් චිත්‍ර ශිල්පියෙක් වූ හෙන්රි තෙන්නකෝනුන්ගේ කාටූන් කලාව මෙන්ම ගීත රචනා කලාවද මට මහත් සේ ආස්වාද ජනක වූවකි. ඔහුගේ කලාවේ හා ජීවිතයේ සුල මුල සෙවීමේ කුහුලක් කලක පටන්ම මසිතෙහි පිළිසිඳ තිබු⁣ණේ එබැවිනි.

එය සංසිඳුවා ගැන්මට 2019 වසරේ පමණ මග පෑදු⁣⁣ණේ අහම්බෙනි. මගේ ප්‍රිය ශිෂ්‍යා ඉන්ද්‍රාණී ධර්මරත්න සමග ඇහැලියගොඩ ඇරෑපොළ නම් ගමේ මනරම් වන ගහනයක් මැද පිහිටි ගෙදරට ගොස් තෙන්නකෝනුන්ගේ එක කුස හොත් වැඩිමහල් සොහොයුරිය ලීලා තෙන්නකෝන් මැතිනිය හමුවීමට ලැබීම එහි ඉෂ්ට ඵලයකි. ඇය ඉන්ද්‍රාණිගේ මවගේ අයියාගේ බිරිඳය. ඕ වනාහි තෙන්නකෝනුන් ගේ බොහෝ නිර්මාණ (කාටූන් සිත්තම්, කවි, ගීත ආදි ) මහත් අදරබැතින් රැක ගත්

ස්නේහාර්ද්‍ර මානව සංරක්ෂණාගාරයක් වැන්න. අපට හමුවන විට ඇය පසු වූයේ දශක දශකයේ මෝමූහ (සිහි මුළා) හෙවත් 09 වන දශකයෙහිය. එහෙත් එකල 92 වන විය ගෙවමින් සිටි ඕ උන්නේ මනා සිහියෙනි. සති සම්ප්‍රජන්‍යයෙනි. විශ්‍රාම ලත් විදුහල්පතිනියක් වූ ඕ තොමෝ සිනාවෙන් එකලු වූ මුහුණකින් සැදුණු ඉතා ප්‍රසන්න කාන්තාවකි. ලීලා තෙන්නකෝන් මැතිනිය තම මල්ලිගේ කලා දිවි තතුත් සැබෑ දිවි තතුත් ආසාවෙන් මතු කරමින් අත්‍යන්ත තෘප්තව අප සමග කතා කළේ අතිශය අභිමානයකිනි. ඊට වසරකට පමණ පසු ඕ මිය ගියාය.

ඉන් පසු අවස්ථාවක හෙන්රි තෙන්නකෝනුන්ගේ දයාලූ බිරිඳ වන චන්ද්‍රා තෙන්නකෝන් මැතිනිය ජීවත්වන පානදුරේ පිහිටි ඇගේ ගෙදරට මා කැටුව ගොස් ඇයද මට මුණගැස්සුවේ පූර්වෝක්ත ශිෂ්‍යා ඉන්ද්‍රාණිමය. චන්ද්‍රාවෝද තම ප්‍රාණප්‍රිය සැමියාගේ දුර්ලභ කුසලතා පල සුරක්ෂිත කොට ගෙන සිටි පති භක්ති භාරාවනත මානව සංරක්ෂණාගාරයක්මය. මෙහිදී මට 'පතිනි වත' යන්නෙහි නිරුක්ත්‍යාර්ථය විශද කොට දක්වන සංස්කෘත විග්‍රහ ශ්ලෝකයක් සිහියට නැගෙන්නේ ඉබේය.

"ආර්තාර්තේ මුදිතේ හෘෂ්ටා

ප්‍රෝෂිතේ මලිනා කෘශා"

තම හිමි දුකින් උන් කල ඇය

දුක් වන්නී

තම හිමි තුටින් උන් කල ඇය

තුටු වන්නී

තම හිමි දුරු රටක නම් ඇය

මැලවෙන්නී

තනිවුණු දුකට දින දින ඇය

වැහැරෙන්නී

තෙන්නකෝනුන්ගේ ලොකු දුව ලලංගිගේ පාසල් මිතුරියක වන වෛද්‍ය නිශා ප්‍රනාන්දු තමා ලියූ පුවත්පත් සමරු ලිපියෙක්හි ලා චන්ද්‍රාවන් කෙරෙහි තමා තුළ හට ගත් අති මහත් වූ බැති සිත හෙළි කරන්නේ මෙලෙසිනි.

"1978 ජූනි 28 වැනි දින ජීවිතයේ තවත් එක් අමතක නොවන දිනයක් බවට පත් කරමින් ඔහු (48 වැනි වියේදී) අපෙන් සමුගත්තේය. උපාධි ධාරී ගුරුවරියක වූ තෙන්නකෝන් මහතාගේ බිරිඳ චන්ද්‍රා තෙන්නකෝන් මහත්මිය එතැන් සිට තනියම ජීවන බර කරට ගෙන දරුවන් ( ලලංගි, ලසංගි, තිමාල්)තිදෙනාටම අඩුපාඩුවක් නොකර හොඳින් ඉගෙනීම ලබාදීමට වෙහෙසුණු හැටි මම හොඳින් දනිමි. ඔවුහු තිදෙනාම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ඉතා හොඳ තනතුරු හොබවති. එපමණක් නොව තෙන්නකෝන් මහතා මිය යන විට අත්තිවාරම පමණක් තිබූ නිවසද සාදා නිම කර ගැනීමට ඈ දෑරූ වෙහෙස අද කාන්තාවන්ට ආදර්ශයකි. සැබවින්ම ඇය ආදර්ශවත් දිරිය කාන්තාවකි."

1930 මැයි මස 05 වන දින උපන් හෙන්රි පියදාස තෙන්නකෝන්හු ඇඹිලිපිටියේ ඕමල්පේ ගමේ විදුහල්පතිවරයෙකුගේ පුතෙකි. ඕමල්පේ පාසලෙන් ඉගෙනීම ඇරඹූ තෙන්නකෝනුන් වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ රත්නපුර සීවලි මහා විදුහලෙනි. ඔහු විකට කවි ලියා

විකට සිත්තම් ඇඳීමේ කලාවට අත පොත් තැබුවේ සීවලී විදුහලේ සිසුන් තම අතින් ලියා පළ කළ මාසික සඟරාවකිනි. එහි කතුවරයා වූයේ ජයරත්න විලේගොඩ නම් සිසුවාය. ඔහු අන් කිසිවෙක් නොව පසු කලෙක කෘතහස්ත පුවත්පත් කලාවේදියෙකු මෙන්ම අදීන සිනමා විචාරකයෙකු ලෙසද කිතු ගොස නැගූ ජයවිලාල් විලේගොඩයන් බව කවුරු දනිත්ද? තෙන්නකෝනුන් සහ විලේගොඩයන් සමග එකම පාසලේ එකට ඉගෙන ගත් විහිළුකාර තවත් මිතුරු මුකරියෙක්ද සිටියේය. දුර්ලභ ගණයේ ප්‍රතිභා සම්පන්න නළුවෙකු වශයෙන් පසු කලෙක සිනමා ලොව එකලු කළ ජෝ අබේවික්‍රමයෝ ඒ මිතුරුතුමෝය. මේ ගිහි මිතුරන් අතර බඹරකොටුවේ සුධර්ම නම් හිමි නමක්ද විය. පසු කලෙක කොළඹ යුගයේ මුල් පෙළේ කවියෙකු ලෙස ප්‍රකට වූ බඹරකොටුවේ සුධර්ම කවියා එහිමිය.

හෙන්රි තෙන්නකෝන්හු තම පාසල් වියේ සිටම චිත්‍ර ඇඳීමට පමණක් නොව කවි ලිවීමටත් හිටි වන කවි කීමටත් එක සේ දස්කම් පෑහ.

සහජ කවිත්වයක් උරුම කොටගෙන සිටි නිත්‍ය විනෝදප්‍රිය රසිකයෙක් වූ ඔහුගේ කටින් කියැවුණු හිටිවන කවි මෙන්ම අතින් ලියැවුණු කවිද හාස්‍ය උපහාස රසයෙන් ආර්ද්‍ර විය. ඒවා කෙනෙකුගේ සිත විනෝදයෙන් ඔද වඩවන රසාත්මක රචනා මැයි.

වරක් පාරේදී මුණගැසුණු මිතුරෙක් යන්නේ කොහේදැයි ඔහුගෙන් විමසීය. පිළිතුර හිටිවන කවියකිනි.

කාලා රස මුසු බෝජන කර පෙම්

ගාලා සුවඳැති සඳුනුත් මනරම්

ලාලා අබරණ නිසි ලෙස සැරසුම්

ලීලාවතී හමුවන්නට යමි මම්

අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් වී පාසල් හැර ගිය සිසුවියකගේ සමරු පොතේ ලියූ කවියක් අසන්න.

සාරාසංඛ්‍ය කප් ලක්ෂය පෙරුම්

පුරා

සොලසාසංබ්‍ය කප් ලක්ෂය පෙරුම් පුරා

සූවිසි සංඛ්‍ය කප් ලක්ෂය පෙරුම් පුරා

ලෝරා සීනිියර් යන්තම් පාස්

කරා

වැස්සේ තෙමෙමින් කුල සිරිත් රැකි විශාඛා සිටු දුව සිහිකොට

තෙන්නකෝන් කවියා කළ ස්ත්‍රී තක්සේරුව.

විකුණන්නට තිබෙන කෙළි බඩුවකි මේක

සෙලවුණ හොතින් විකුණනු බැහැ කිසි දාක

ඒකයි ගැහැනියට හෙල වෙන එක නාක

කියමින් විසාකා ගෙට ගොඩ වුණු සේක.

පාසල හැර ගිය තම පන්ති මිතුරු බඹරකොටුවේ සුධර්ම හිමියන්ට.

මහ විදුහලින් පිටවී යන හැටි

දුටුවා

ඔබෙ හිස මතට කළු ගලකුත් පෙරළනවා

ඔබ යන යන තැනට මම පස්සෙන් එනවා

ඔබ බුදු වුණොත් මම දෙව්දත් තෙර

වෙනවා

ණයක් දී එය ආපහු නොදුන් මිතුරාට.

උඹට නැති බැරි වෙලාවට මම මට තිබුණු සේ සතම දුන්නා

උඹේ අක්කත් දූව පෙන්නා මගේ චැක් කොළයකට ඇන්නා

ගත්තු ණය මගෙ අද දෙතැයි හෙට දෙතැයි මං ඔහෙ බලා උන්නා

සල්ලි බැරි නම් ලේලිවත් මට දියං මම ඈ බාර ගන්නා

හෙන්රි තෙන්නකෝනුන් ගීත රචනයෙහි ලා දැක් වූ අපූරු සමත්කම කොතරම්ද යන්න සනාථ කරන මනා නිදසුනකි කිසි දින නොව පැරණිය ,දින දින වන රමණිය, "බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අද ඉද්ද පනා මල් කැන් පිපිලා" නම් අවුරුදු ගීය. එය යුග යුග පවතින ගීයක් නොවෙතියි කාට නම් කිය හැකිද? ඒ ගීය වූකලී හෙන්රි තෙන්නකෝනුන් ගේ නාමය අමරණීය වන රමණීය නිර්මාණ මාණික්‍යයක් නොවේ ද?අවුරුදු කාලෙට කොහා ගේ ගීයට නොදෙවෙනි වන සේ ගුවන් විදුලියෙන් ඇසෙන මේ ගීය මගේ කල්‍යාණ මිත්‍ර පියසිරි විජේරත්න ගායකයාණන් විසින් තනුව තනා තම මධුර ස්වරයෙන් ගයන ලද්දේ මගේ ළබඳ සබඳිනී අමිතා වැදිසිංහයන්ගේ හෘදයහාරී ස්වරයේ සමවායෙනි.

තෙන්නකෝනුන් මේ ගීය මුලින්ම ලියන ලද්දේ ඉංගිරියේ ගාමිණි විද්‍යාලයේ රඟ දැක්වූ 'රන් කැකිර' නම් ගීත නාටකය සඳහාය. එම ගීත නාටකයද ඔහුගේම රචනයකි. 'රන් කැකිර' නිෂ්පාදනය කළ, එකල ඒ පාසලේ සංගීත ගුරුවරයා වූ පියසිරි විජේරත්නයන් එහිදී ඒ ගීය ගැයුවේ තම ශිෂ්‍යා රංජනී පොල්ගම්පල සමගිනි.

හෙන්රි තෙන්නකෝනුන් අපගේ පැරැණි ගද්‍ය පද්‍ය සාහිත්‍යය මෙන්ම ජන කවි සාහිත්‍යයද මැනැවින් පරිශීලනය කළ බහුශ්‍රැත සාහිත්‍ය රසිකයෙකු බැව් ඔහුගේ කව් ගී බැඳුම් විශේෂයෙන් විශද කරන ලකුණකි.'මදුර සංදේසය' නමින් ඔහු විසින් ලියැවුණු රසාර්ද්‍ර ස⁣ඳෙස් කවක්ද වෙයි.

තෙන්නකෝනුන්ගේ කවි ගී හැරෙන විට ඔහුගේ හෘදයංගම නාමය අමරණීයත්වයට පත් කරන ඔහු සතු අනෙක් ප්‍රතිභා විභූතිය විජෘම්භමාන වන්නේ ඔහු විසින් නිර්මිත කාටූන් චිත්‍ර සම්භාරයෙනි. ඔහු විසින් මුලින්ම පුවත් පතක පළ කරන ලද්දේ කුඩා පොකට් කාටූනයකි.එය වනාහී "තෙන්නකෝන්ගේ විහිළු තහලු"ය. එකල එය පළ වූයේ දිනපතා නිකුත් වුණු 'ලංකාදීප' පත්තරයේය. දේශපාලකයන්ගේ රූපවලින් තොර එය අතිශයින් ජනප්‍රිය විකට රසාංගයක් විය. මෙහිදී විශේෂයෙන් හෙළි කළ යුතු කරුණක් වෙයි. එනම් හෙන්රි තෙන්නකෝනුන් එකද දේශපාලන කාටූනයක් වත් නිර්මාණය නොකළ බවය.එහෙත් ඔහුගේ කාටූන් නිර්මාණවල ආත්මය වූයේ සමකාලීන දේශපාලන හා සමාජ යථාර්ථය මිස අනිකක් නොවේ. ඔහුගේ කුඩා පොකට් කාටූනය වන "තෙන්නකෝන්ගේ විහිළු තහලු"මෙන්ම පනහේ දශකයේ මුල් අවධියේ පටන් හැත්තෑව දශකයේ අග භාගය තෙක් (පළමු) 'ඉරිදා ලංකාදීප' පුවත්පතේ පළ වූ "තෙන්නකෝන්ගේ සමාජ සමයං"විකට රසාංගයද ඊට ප්‍රත්‍යක්ෂ සාක්ෂි සපයයි. ඔහු 'සිළුමිණ' පුවත්පතටද 'කතා පිංච' නමින් රසාලිප්ත රචනාවලියක් සැපයුවේ 'එල්.සී. ජයසිංහ' යන ආරූඪ නාමයෙනි. එම ආරූඪ නාමය තම බිරිඳගේ නම වන 'ලියනගේ චන්ද්‍රලතා ජයසිංහ' යන්න ඇසුරින් සකසා ගත්තකි.

දේශපාලකයන්ගේ මුහුණුවලින් යුත් දේශපාලන කාටූන් නොවුණද තෙන්නකෝනුන්ගේ ප්‍රබල උපහාස රසය කරණකොටගෙන ඔහුගේ සරදම් විකට සිත්තම් කෙරෙහි එකල දේශපාලකයෝ නොමඳ සැලකිල්ලක් දැක්වූහ. අගමැති තනතුර හොබවන අවධියේ පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයකදී එස්.ඩබ්ලියු.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා මේ ප්‍ර්‍රකාශය කළේය.

"මම ඉල්ලා සිටිනව ලංකාදීපයෙ තෙන්නකෝන් මහත්තයගෙන් එයාගෙ 'සමාජ සමයං' කාටූන් එකෙන් මේ අයවැය ගැනත් විවේචනයක් කරන්න කියල."

පසු දිනෙක පාර්ලිමේන්තු සභා වාරයකදී එවක නිවිතිගල මන්ත්‍රී ඩී.එස්.හෙට්ටිආරච්චි මහතා ඉරිදා ලංකාදීප පත්‍රයක් දිග හැරගෙන මෙසේ ප්‍රකාශ කළේ බණ්ඩාරනායක අගමැතිවරයා අබියසය.

"මෙන්න තෙන්නකෝන් මහත්තයගෙ සමාජ සමයමෙන් හොඳට බලාගන්න පුළුවන් අයවැය ගැන."

කීර්තිමත් චිත්‍ර ශිල්පී බන්ධුල හරිශ්චන්ද්‍රයන් තම කලා ජීවිතය භාග්‍යවත් කළ සන්මිත්‍ර හෙන්රි තෙන්නකෝනුන්ට පුවත්පත් ලිපියක් මගින් පිදූ අප්‍රමාණ කෘතඥ පූර්වක ප්‍රණාමය මෙයයි.

"පහර ලබන්නාටද සිනහ නොවී සිටීමට නොහැකි වන සේ උපායශීලීවත් වක් මගිනුත් පහර දීමේ කලාව හොඳින් දැන සිටි හෙන්රි තෙන්නකෝන් 'සමාජ සමයං' නිර්මාණයෙන් තමාවද උපහාසයට ලක් කර ගත්තේ වරක් දෙවරක් නොවේ. ඒ කාලයේ පත්තර බලන පාඨකයාට අලුත් අත්දැකීමක්ද ඔහුගේ කාටුන් විසින් හුරු කොට තිබිණි. ඔහුගේ දියණියන් දෙදෙනා හා එකම පුතුගේ උපන්දිනයන් අළලා ඉදිරිපත් කළ කාටූන් මෙයට හොඳම නිදසුන් වේ. චිත්‍රකතා රසිකයන්ට චිත්‍රකතා ශිල්පියකු ලෙස මා හඳුනාගන්නට හැකි වෙන පරිදි නිසි වෙලාවේදී නිසි තැනට මා පත් කළෝද මේ සදාදර සොඳුරු මිනිසා වූ හෙන්රි තෙන්නකෝන්මය. ශ්‍රී ලාංකික කාටූන් කලාවේ රසාලිප්තම කොටසක් වූ තෙන්නකෝන්ගේ 'සමාජ සමයං' 'පොඩි එකාගේ ලියුම' වර්තමාන හා අනාගත පරපුරට දැක ගත හැකි වන සේ යළි මුද්‍රණයෙන් එළි දැක්විය හැකි වුවොත් ඒ ඔහුගේ නමට කළ හැකි ලොකුම උපහාරය වනු ඇත."

හෙන්රි තෙන්නකෝනුන්ගේ කාටූන් නිර්මාණ අතරෙන් සාමාන්‍ය පාඨකයන් මෙන්ම දැන උගත් පාඨකයන් ද එක සේ අගය කළ එක සේ රස විඳි රසාංගය වූයේ "පොඩි එකාගේ ලියුම"ය.එය එකල අතිශය ජනප්‍රිය වූවකි.මවිසින් මෙහි ලා නිදසුන් කොට දැක්වෙන මේ වෙසෙස් "පොඩි එකාගේ ලියුම" මගින් එය ලියැවුණු කාලයේ විසූ සරසවි ඇදුරන් ගේ ආකල්ප විකල්ප, ඔවුන්ගේ ද්වේෂ සහගත විචාර ව්‍යාපාර,ඇතැමුන්ගේ පර ගැති චින්තනය,අනුකාරක කාව්‍ය මෝස්තර, අන්ත දූෂිත භාෂා භාවිතය, ව්‍යාකරණ විරෝධය ආදි කරුණු පොඩි එකාගේ කියමන් ඇසුරින් උපහාසයට ලක් කරන ආකාරය අතිශය නිර්මාණාත්මකය. අත්‍යන්ත රසාලිප්තය. මෙය එදාට මෙන්ම අදටත් එක සේ අදාළ නොවෙතියි කාට නම් කිව හැකිද? මගේ සුහද රසදත්තෝ කියවා බලත්වා!

මුල් ලිපියේ වැකි හා පද බෙදීම් එසේම යොදා ඇති අතර මුල් පුවත්පත් ලිපියේ සත්‍ය පිටපතක් හා හෙන්රි තෙන්නකෝනුන්ගේ සේයා රුවක්ද මේ ලිපිය අග පළ වෙයි.

පොඩි එකාගේ ලියුම

"මෝඩ් ආචාරිගේ විසිනි.

ගැහැනුයි,බීමයි,සින්දුවයි ති

යනව නම් වෙන මොකුත් ඕ.න

නැහැ කියල කයියං කියන

පිටරට කයියෙක් කියාපු එකක්

දවසක් තාත්තා වර්නා කලාය.ඕක

ඔයිට ලස්සනට අපේ රටේ හිටපු ක

විකාරයෙක් ලියලා තියෙනවයි කියල එතකොට මාමා ගුත්තිල පොත අරං

"අමරඟනන් රුවට-මා හැඟි අමා රස

යට- එඇදුරු වෙන නදට මෙලොව කවරෙක් නොවන්නෙද

තුට"කියන කවිය කිවුවාය.ඒ උනාට ඒක තාත්තගේ

ගුරුවරෙක්වත් ගොලයෙක්වත් යාලුවෙක්වත් ලියපු එ

කක් නෙවෙයි හින්දා තාත්තා ඒක

පල් කීවාය.අපේ තාත්ත විස්ව විද්යල කතිකාචාර්ය කෙනෙක්මි.තාත්තා විස්ව විදි

යාලෙදි ලෙක්චර් කරති. කේන්ති ගියාම ගෙදරදි අපටත් ලෙක්චර්

කරයි.තාත්තා කතා පවත්තන්න ගියාම අහ

වලා මෙහෙම කිව්වා ය අහවලා මෙහෙම කියා තියෙනවා

ය කිය කියා එක එක වලා

කියපු ඒවාම කියයි.අන්

තිමට බැලුවම තාත්තා කියපු දෙයක්

නැත. තාත්තාට තේරෙන්නෙ නැති කවි පොත් හෙම විවේචනත් කරයි. විවේචන කරනවා කියන්නේ බනින වාටය.තාත්තා කවිත් හදයි. ඒවා හ

රියට අම්මා ලියන බඩු තුණ්ඩු

වගේය. ඉංගිරිස් පොත් බලා

ගෙන තාත්තා කතාත් ලියයි. තාත්තා කොපි කලත් ආබාසය ලැබුවා කියයි. තාත්තා ලිව්වාට වියාකරන නම් පේන්න බෑය.තාත්තට වියාකරනත් බෑය.ඒ හින්දා මම රචනාවල් ලිව්වාම තාත්තට කියල ලියවගෙන ආවා කියා මිස් මට බනිති. සිංහල වියාකරන පේන්න බැරි උනාට දවසක් මම අැන්ටිලයි දිහා ගිහිං එන ගමන් "චෙරියෝ වී ගොයිං" කි

ව්වයි කියල තාත්තා මට හොඳටම බැන්නෙමි.වියාකරන කියල හිතිල තාත්තට ඇකාරෙත් පේන්න බැරිය. ඒ හින්ද අපේ ගෙදර වැඩට හිටිය මැයි නෝනගෙ න මේ ඇකාරෙ අයින් කරල තාත්ත දවසක් කතා කලාය

කියල මැයි නෝනා පහුවදාම ගමට ගියේය."

කරුණාරත්න අමරසිංහ ශුරීන්ගේ මුහුණු පොත් පිටුවෙනි.

සියළු හිමිකම් රචකයා සතුය.

https://www.facebook.com/karunarathna.amarasinghe.3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *