ආදරයේ හැටි

ගනඳුරුය රාත්‍රිය, නොපෙනේ ඉමක් පැතිරුණු වන පෙතේ
සරති සහසක් දනෝ මං සොයා ගනඳුරේ
හමුවිය යුතුව ඇත රහසින් කිසිවෙකුත්
එහෙත් ඒ කවුරුන්ද, කොහෙදීද කියා මට නොවැටහේ
රැඳී ඇත එනමුදු මා සිතේ එකම විශ්වාසයක්
මුව පුරා තවරා සිනාකැන් කිනම් හෝ මොහොතක
පැමිණෙනුය මා ඉදිරියට ජීවිතයේ සතුට
සුවඳ ගල්වා, ස්පර්ශ කොට කොඳුරා ගීතයක් මෙන්
දැවටී මා සිරුර පසුකොට යතැයි එය
උල්ලසිත හැඟුමෙන් පුරවා මගේ සිත
ඇතැම්විට ගනඳුරේ අහස්තලයේ ඇඳෙන
නිමේෂෙක විදිලියෙන් දකින කිසිවෙකු සමග
බැඳෙමි මම ආදරෙන් ඒ එක මොහොත තුළ
කියමි මම හඬ නගා ජීවිතය සුන්දරය
දුරුකතර ගෙවා මා පැමිණියේ ඔබ වෙතය
ගනඳුරු මැදියමේ මා අසලට පැමිණ
ළංව සිට වෙන්ව ගිය සෙස්සන් සියල්ලම
සැබෑවට සිටියේද නැතිනම් නොසිටියෙද
නොදන්නෙමි ඉදින් මම ඒ වගක් කියන්නට

රබීන්ද්‍රනාථ ඨාකූර
1861-1941
පරිවර්තනය නිලූක කදුරුගමුව
පරිවර්තන බ්ලොග් අඩවියෙන් . http://nilukakadurugamuwa.blogspot.com/
*අවසර ඇතිව උපුටා ගැනුනකි.
කරුණාවන්තම මිනිස්සු

උපතින් ඒ ගුණය ලද්දෝ නොවෙති
ඔවුන් එය වගා කර ගත් අයයි
තමන් සිරව සිටි කළු අඳුර කණිමින්
පිටතට ආ අයයි
හැම අහිමිවීමක්ම
පාඩමක් බවට හරවා ගැනීමට
සටන් කළ අයයි
කරුණාවන්තම මිනිස්සු
ඉබේ පහළ වූයේ නැත
ඔවුන්ට සිදු වූ දේවල් නිසා
දෘඩ වීම වෙනුවට
මොළොක් වීම
තෝරාගත් අයයි
ඔවුන් යහපත ගැන විශ්වාස කිරීම
තෝරාගෙන ඇත්තේ
දයාව කෙතරම් අවශ්‍යදැයි
දන්නා බැවිනි
මේ ලෝකයට
මෘදු බව කෙතරම් වැදගත්ද යන බව
අත්දැකීමෙන් දන්නේ ඔවුන් ය
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Translation of the poem 'The Kindest People' by Bianca Sparacino

Hot Chocolate days බ්ලොග් අඩවියෙන්. https://hotchocolatedays.blogspot.com/
*අවසර ඇතිව උපුටා ගැනුනකි