සිංහල කෙටිකතාව
දඩයක්කාරයා සහ ධවල හස්ථියා

වනයේ සැරිසරන ධවල ඇතෙකු පිළිබඳ ප‍්‍රලාපය දඩයක්කාරයාගේ කනට ද වැටුණු නමුත් ඔහු එය මායිමකටවත් ගත්තේ නැත. දඩයක්කාරයා වනයේ සෑම අස්සක් මුල්ලක් නෑර කරක් ගසා තිබේ. අලින් සිටින ගල්තලා යාය, බෙරලිය වැව ආදී පෙදෙස් ඔහු හොඳින් දනියි. වනයේ සිටින අලි ඇතුන් පවා ඔහු දන්නේය. අලි රංචුවේ නායකයා සද්දන්ත ගෝමර ඇතෙකි. කන් කබරයා තනිව වනයේ සැරිසරන්නෙකි. සමහරක් විට ඔහුට තුන්පත් රෑන් හමු වී තිබේ. එහෙත් ධවල ඇතෙකු මේ හිමයේ සිටිනවා කීම සිතා ගැනීමටවත් අපහසුය.
වනයේ සැරිසරන ධවල ඇතෙකු පිළිබඳ කටකතාව මුලින්ම ගම්මානයේ පැතුරුනේ බෙරලිය වැවට දිය නෑමට ගිය ඉතිරියක මගිනි. සාමාන්‍යයෙන් ගම්මු දිය නෑවේ සහ බීමට වතුර ගත්තේ ගම්මානයට නොදුරු කොලොන් වැවෙනි. කිඹුලන්ගෙන් පවා ගහන බෙරලිය වැවට දිය නෑමට යාමට ගම්මු බිය ගත්තෝය. එහෙත් බෙරලිය වැවේ වතුර සිහිල් මෙන්ම පිරිසුදුය. එම නිසා ඉඳහිට ගම්මු කාන්ඩ ගැසී බෙරලිය වැවට දිය නෑමට ගියහ. එහෙත් ඔවුන් කිඹුලන් පිළිබඳව නිතරම සුපරික්ෂාකාරී වූහ. දඩයක්කාරයා නම් සතියකට දෙකකට වරක් රාත‍්‍රියට බෙරලිය වැවට යයි. ඔහු වැව අසල කුඹුක් ගසකට නැග වැවට දිය බීමට එන ගෝනෙකු, මුවෙකු හෝ වල් ඌරෙකු එළා ගනියි.
ධවල හස්ථියා පිළිබඳ ප‍්‍රලාපය පමණක් නොව ඉතිරිය බෙරලිය වැවට දිය නෑමට ගිය හේතුවද ගම්මුන් ගේ කතාබහට ලක්වූහ. මේ තරුණ ගම්බද ගැහැණිය විවාහකය. පුරුෂයා යාබද ගමක තළ හේනක් කෙටීමට ගිය අවස්ථාවක් බලා ඇය සොර සැමියා මුණ ගැසීම සඳහා දවස් භාගයක් පමණ පයින් මහ කැළය හරහා බෙරලිය වැවට ගියාය. ඇය පිටත් වූයේ හිරු පෑයීමටත් පෙර අළුයම් කාලයේය. ගෙදර සදාගත් අග්ගලා මල්ලක් අතැතිව සොර සැමියා සොයා ගිය ඇය දහවල් කාලයේදී බෙරලිය වැවට ළඟා වූවාය. ඇය එනතෙක් පෙම්වතා බෙරලිය වැව මහා නුගය අසල අලසව වැතිර සිටියේය.
එදින උෂ්නාධික දිනයකි. ඔවුන් දෙදෙනා සතුටින් දිය නෑහ. අනතුරුව අග්ගලා මල්ල ලිහා දිවා ආහාරය ගත්හ. පෙම්වතා ඇයට පළතුරු පැසක් ගෙනවිත් තිබුණි. පැසේ දිව පිනා යන රසැති පළතුරු තිබිණි. දිවා ආහාරයෙන් පසු දෙදෙනා මහා නුගය යට තණකොල බිස්සේ වැතිරී ලෝකාස්වාද රතියේ යෙදුනහ. ඉර අවරට ගියද ඔවුන් ගේ ආශාවන් ඌන නොවුයේය. ඔවුන් පැය ගණනාවක් එකිනෙකා සමඟ තදින් වෙලී දෛහික ආශාවන් සංතර්පණය කර ගැනීමේ වෑයමක යෙදුනහ.
පෙම්වතුන් දෙදෙනාගේ කායික මානසික ඒකාග‍්‍රතාව කැඩී ගියේ නොසිතූ ලෙසිනි. මහා කුංචනාදයක් සමඟ පොළව හෙල්ලී යන බවක් ඔවුනට දැනුණි. නිරුවතින් බිම වැතිරී සිටි මිනිසා හා ගැහැණිය අසලින් මහා වෘක්ෂෙයක් මෙන් උසැති සද්ධන්ත ධවල ඇතෙකු ගමන් කළේය. සඳ එළියට හස්ථියාගේ සුදු පැහැති නිකලැල් චර්මය ද විශාල රන් පැහැති දළ දෙකද හොඳින් දැක ගැනීමට හැකි විය.
ධවල ඇතා දැකීමෙන් දෙදෙනා බිය ගත් හ. මිනිසා එක් පසකට දිවූ අතර නිරුවත් ගැහැණිය තවත් පසකට දිව ගියාය. මේ නයින් දෙදෙනා මහා වනයේ අතරමං වූහ. බොහෝ වේලාවක් වනයේ ඒ මේ අත දිව යමින් පෙම්වතාගේ නම කියමින් කෑ ගැසූ ඇය මධ්‍යම රාත‍්‍රිය වෙත්ම බියෙන් තැති ගත්තාය. අවසානයේදී පෙම්වතා ගැන අමතක කල ගැහැණිය යළි ගම්මානයට යාම සඳහා අසීරුවෙන් පාර සොයා ගත්තාය.
ඇය ගමට එන විට පසුදින දහවල් වී තිබුණි. ගම්මානය පෙනෙන තෙක් මානයට පැමිණි ඇය මහ හඞින් හූවක් තියා විසඥ වූවාය. අසල හේනක සිටි පිරිසක් ඇයගේ හූව අසා තැතිගත් විලසින් දිව ආහ. අතපය සීරී හරිහැටි සිහියක් නොමැතිව නිරුවතින් සිටි ගැහැනියව ගමේ යකැදුරා ළඟට වත්තම් කරගෙන යන ලදී. වරු දෙකකට පසු ඇයට සිහිය එන ලදින් ඉතිරිය පෙම්වතා ගැන කරුණු සඟවා ධවල ඇතා පිළිබඳව කතාව ගම්මුන්ට කීවාය.
ධවල ඇතා පිළිබඳ පුවත් ඇසූ ගම්මු මුලින් විස්මයටත් පසුව කුතුහලයටත් පත් වූහ. ගමේ හැඩි දැඩි තරුණයන් පිරිසක් පසුදින ධවල ඇතා සොයනු වස් බෙරලිය වැවට ගියහ. පුරා දින තුනක් පුරා මහ වනය පීරා සොයා බැලුවද ධවල ඇතෙකුගේ සෙවනැල්ලක්වත් පවා දැකීමට ඔවුන් අපොහොසත් වූහ. මේ නිසා අධෛර්යර වූ කණ්ඩායමේ කොටසක් මේ පුවත ගැහැණිය විසින් කියූ බොරුවක් බවට තර්ක කලහ. සමහරෙක් ගැහැණිය දැක ඇත්තේ මහසෝන් පිල්ලියක් බව කීහ. අවසානයේදී කණ්ඩායමේ ඒකමතික තීරණය අනුව ඔවුන් අසාර්ථක වූ කර්තව්‍ය අත් හැර දමා යළි ගම්මානය කරා ආහ.
සති කීපයක් ගත විය. ගම්මුන්ට ධවල ඇතා පිළිබඳ ප‍්‍රලාපය අමතක වූහ. ගැහැණිය සොර සැමියා නොමැති වීමේ සාංකාව සඟවා යළි පැමිණි සැමියා පිළිගෙන ඔහුට උවටැන් කළාය. එහෙත් සොර සැමියා මෙන්ම ධවල හස්ථියා පිළිබඳ මතකය ඇයට අමතක කරනු නොහැකි විය.
පෝයවල් දෙකක් ගත විය. දිනක් ගැමියෙක් මීයක් කෙටීම සඳහා බෙරලිය වැව ආසන්නයට ගියේය. ඔහු මාර ගසකට නැග මීය කොටන විට පොළව හෙල්ලී ගියේය. මාර ගස ද කුණාටුවකට අසු වූ තණපතක් මෙන් දෙපසට වැනෙන්නට විය. ගැමියා මාර ගස තදින් බදාගත් නමුත් මී පැණි පුරවා ඉණට ගැටගසා තිබූ ලබු කැටය බිමට වැටුණි. බිමට වැටුණු ලබු කැටය දෙස බැලූ ගැමියා ගේ නෙත් අදහා ගත නොහැකි විය. මාර ගස යටින් පර්වතයක් සේ උසැති ධවල ඇතෙක් ගමන් කරමින් සිටියේය. විශ්මයටත් බියටත් පත් වූ ගැමියා මාර ගසේ ඉහළටම බඩ ගෑවේය.
සවස් වන තෙක් මාර ගසේ අත්තක් උඩ ඉඳි ගැමියා හොඳින් වටපිට බලා ගසින් බැස්සේය. ඉක්බිති ලබු කැටය ද අමතක කොට ගම්මානයට දිව ගියේය. ඔහුගේ බස් ඇසූ ගම්මු යලිත් වරක් විස්මයටත් ආකූලතාවටත් පත් වූහ. එදිනම කණ්ඩායමක් හුළු අතු පන්දම් බැඳගෙන ධවල ඇතා සොයා වනගත වූහ. පුරා දෙදිනක් ඔවුන් වනයේ කරක් ගැසූ නමුත් ධවල ඇතා පිලිබඳව හෝඩුවාවක්වත් සොයා ගැනීමට නොහැකිව හිස් අතින් යළි පැමිනියහ.
ධවල ඇතා පිළිබඳව කතිකාව ලැව් ගින්නක් සේ පැතිරෙද්දී ගමේ විදානේ දඩයක්කාරයා සොයා පැමිණියේය. විදානේ ධවල ඇතා ගැන බොහෝ දේවල් කියූ නමුත් දඩයක්කාරයා ඒවාට කන් දුන්නේ උදාසීන බවකිනි. ධවල ඇතෙකු වන සාවියේ නොමැති බව දඩයක්කාරයා පුන පුනා විදානේට කී නමුදු ඉන් පලක් නොවීය. කෙසේ හෝ ධවල ඇතා අල්ලා ගතහොත් උගේ දළ හොඳ මිළකට විකිණි හැකි බව විදානේ දඩයක්කාරයාට කීවේය. එහෙත් දඩයක්කාරයා කිසිවක් කීවේ නැත.
දඩයක්කාරයාගේ උදාසීන බවින් කෝපයට පත් වූ විදානේ මිනිසුන් පස් දෙනෙකුට පයිණ්ඩ යවා ඔවුන් ගෙන්වාගෙන ධවල ඇතා අල්ලා ගැනීමට මද්දක් ගැසීමට සූදානම් විය. ඔවුන් ඉතා ශක්තිමත් කඹ යොදා මද්දක් සකස් කලහ. අණතුරුව මද්ද බෙරලිය වැව අසල අලිමංකඩ අටවා තෙදිනක් සැඟ වී බලා සිටියහ. නමුත් ඔවුන් දුටු ධවල ඇතෙක් නම් නැත. එහෙත් පරාජය භාර ගැනීමට අකමැතිවූ විදානේ තවත් රැයක් පිරිස රඳවා ගත්තේය. අවසානයේදී මද්දත් රැගෙන ඔවුන් හිස් අතින් ගම්මානයට පැමිනියහ.
ධවල ඇතා පිළිබඳ කතාව දඩයක්කාරයා කිසිසේත්ම විශ්වාස නොකලේය. දඩයක්කාරයාගෙන් වසන් වී ධවල ඇතෙකුට වනයේ සිටිය නොහැක. ඒ නිසා ගම්මානයේ පැතිර යන කථා බහ දඩයක්කාරයා මායිම් නොකලේය.
දිනක් සඳ ඇති රැයක බෙරලිය වැවට පැමිණි වල් ඌරෙකු දඩයක්කාරයාගේ තුවක්කුවට ගොදුරු විය. හොඳින් බෙහෙත් කොටා තිබූ වෙඩිල්ල සැහැසි වල් ඌරා විනාඩි කීපයකින් නිසල කලේය. වල් ඌරා මිය ගිය බව සහතික කරගත් දඩයක්කාරයා වල් ඌරා මස් කිරීමට ලෑස්ති විය. මුලින්ම හුළු අත්තකින් වල් ඌරා ගේ මවිල් පුලුස්සා දැමූ දඩයක්කරු මුවැති පිහියකින් සතාගේ උදර කුහරය විවෘත කොට අතුණුබහන් බඩවැල් ඉවත් කලේය. ඉක්බිති මස් තීරු තීරු කපා ගසක එල්ලීය. වල් ඌරා ගේ එක් ගාතයක් ගිණිමැලයේ ලා පළහා ගත්තේය.
බඩගින්න බොහෝ සෙයින් තිබූ නිසා දඩයක්කාරයා ගින්නෙන් පළහන ලද වල් ඌරු මස් අනුභව කලේය. ආහාරයෙන් පසු ලබු කැටයෙන් දිය පානය කල දඩයක්කාරයා නිසලව තණ බිස්සේ වැතිර සිටියේය. විඩාව නිසා ඔහුදේ දෑස් පියවිනි.
පොළව හෙල්ලී යන සෙයක් දැනුන නිසා දඩයක්කාරයා එකවරම ඇස් ඇරීය. ඔහු දුටුවේ උසැති ධවල ඇතෙකි. ඉතා තේජමාන්විතව ගමන් ගත් හස්ථියා ගාම්භීර ස්වරයකින් කුංචනාද කළේය. දඩයක්කාරයාගේ අත සෙමින් තුවක්කුව කරා ගියේය. එසැනින්ම තුවක්කුවට වෙඩිල්ලක් කෙටීමට අමතක වූ බව ඔහුට වැටහිණි. තුවක්කුවේ වෙඩිල්ලක් තිබ්බේ නම් දැන් කදිම ඉලක්කයකි. ඇතුගේ සුවිසල් කන් පෙත්ත යටින් තිබෙන මාරක නිලයට වෙඩි පහරක් යැවීමට හැකි වූයේ නම් උගේ සුවිසල් දළ දෙක දඩයක්කරුවාගේය. තම අතපසු වීම ගැන සිතින් දෝෂාරෝපණය කළ දඩයක්කරු වහ වහා තුවක්කුවට වෙඩිල්ලක් කෙටීය. ඒ අතරවාරයේ ධවල හස්ථියා වේවැල් පඳුරු අතරින් නොපෙනී ගියේය.
වෙඩිල්ල කොටා ගත් දඩයක්කරු ඇතා හඹා ගියේය. හොඳින් සඳ පායා තිබීම නිසා බෝහෝ දුර දැකීමට හැකිවූ එම රාත‍්‍රියේ ධවල ඇතා පෙනෙන්නට නොසිටීම අරුමයකි. ඔහු අළුයම තෙක් ධවල ඇතා සෙව්වේය. ගෝමර ඇතා, කන් කබරයා, හොඞ කෙටියා, ගම් පාළුවා යනාදී හස්ථීන් රැසක් දුටු නමුදු ධවල ඇතා දකින්නට නොසිටියේය. ධවල ඇතා පොළව විසින් ගිල ගත්තාක් මෙන් විය.
අවසානයේදී ධවල ඇතා සෙවීම අත් හැර දැමූ දඩයක්කරු ගම්මානය කරා ගියේය. ඔහුට පෙරදා රාත‍්‍රියේ කළ දඩයම ද අමතක විය. එය දිවියෙක් විසින් භුක්ති විඳින ලදි.
ගම්මානයට ගිය දඩයම්කරු කෙලින්ම ගියේ විදානේගේ පැළටය. විදානේ මහත් අභිරුචියෙන් දඩයම්කරුට සවන් දුන්නේය. ධවල ඇතා පිළිබඳ පුවත තව දුරටත් හිතළුවක් නොවේ. එය සත්‍යයකි.
පසුදින දඩයක්කරු, විදානේ සහ ගම්මුන් සත් දෙනෙකු සතියකට අවශ්‍ය කළමනා ගෙන වන වැදුණි. ධවල හස්ථියාගේ දළ රැගෙන මිස හිස් අතින් නොයෙමි යැයි ඔවුන් ගිවිස ගත්හ.
ඔවුන් කණ්ඩායම් කීපයකට බෙදී සැඟ වී සිටියහ. එක් කණ්ඩායමක් බෙරලිය වැව ඉස්මත්තේ ද, තවත් කන්ඩායමක් වේවැල් ගාල අසලද, තව කණ්ඩායමක් වැව් පිට්ටනිය අසල යනාදී වශයෙන් රැඳී සූදානම්ව සිටියහ. මුවන්, ගෝනුන්, ඌරන්, ඔවුන් ගේ දෙනෙත් ඉදිරියෙන් ගියද කිසිවෙකු තුවක්කුවක් පත්තු කළේ නැත. ඔවුන් ගේ අපේක්ෂාේව වූයේ ධවල හස්ථියාය.
රැයවල් තුනක් ගත විය. ධවල ඇතාගේ හෝඩුවාවක්වත් නොමැත. නමුත් පිරිස පසුබට නොවූහ. ඔවුන් මාරුවෙන් මාරුවට රැකවල් දා ධවල ඇතා එනතෙක් බලා සිටියහ. එක් දිනක් රාත්‍රියේ වේවැල් ගාල පොඩි කරන ශබ්දයක් ඇසුනි. දඩයක්කරුවා තුවක්කුව ගෙන වේවැල් ගාල දෙසට දිව ගියේය. පිරිසද ඔහු පසුපස දිවූහ. ඔවුන් දුටුවේ හොඞ කෙටියා නම් අලියාය.
සත් වන දිනය වන විට විදානේ සහ දඩයක්කරුවා හැරුණු කොට අනෙක් ගැමියන් ආපසු ගමට යා යුතු බව කීහ. එහෙත් විදානේ තව තෙදිනක් ඔවුන්ව රඳවා ගත්තේය. එහෙත් එම තෙදින අවසන් වන විට පිරිසෙන් හතර දෙනෙක් විදානේගේ නෝක්කඩු මධ්‍යයේ ගමට ගියෝය. ඉතිරි තිදෙනා පසුදින උදයේ අතුරුදහන් වී සිටි අතර ඔවුන් තම බඩු බාහිරාදිය ද අත් හැර දමා පළා ගොස් තිබුණි.
අවසානයේදී ඉතිරි වූයේ දඩයක්කරුවා සහ විදානේ පමණි. වනගත ජීවිතය නොපුරුදු විදානේ කෙරෙන් දිස් වූයේ විඩාබර පෙනුමකි. එහෙත් ඔහුගේ උනන්දුවේ අඩුවක් නම් නොවීය.
ඔවුන් තවත් සතියක් ධවල ඇතා සොයමින් වනයේ කරක් ගැසූහ. එහෙත් ඔවුන් ගේ වෑයම නිරර්ථක විය. බලාපොරොත්තු සුන් වූ විදානේ ගසක් මුල අළසව වැතිර සිටියේය. ඔහුට කැලෑ උණ සෑදී තිබේ. විදානේ වරින් වර වෙව්ලුවේය. ඔහු දෙදිනකින් ආහාරයක් ගත්තේ නැත. අවසන් වරට ආහාරයට ගත් පුළුස්සන ලද අල ගෙඩියෙන් කොටහක් ඔහු වමනය කළේය. දඩයක්කරුවා විදානේ රැගෙන ගම්මානයට යාමට තැත් කලද විදානේ එයට එක හෙලා විරුද්ධ විය කෙසේ හෝ තව දින කීපයක් රැඳී ධවල ඇතා සොයාගත යුතුයි විදානේ තර්ක කලේ දඩයක්කරුවා නිහඞ කරවමිනි.
එදින රාත‍්‍රියේ විදානේට තවත් අසාධ්‍ය විය. ඔහු ගිණිමැලය අසල වැතිරී සිටියේය. උණ රෝගය නිසා විදානේගේ ශරීරය ගැස්සුනි. ඔහුට උසුලා ගත නොහැකි දිය තිබහක් වරින් වර දැනුනු හෙයින් ලබු කැට වල තිබූ වතුර අහවර වන තෙක් පානය කලේය. ඔහුට තවත් දිය අවශ්‍ය විය. දිය අහවර වීම නිසා දඩයක්කරුවා හිස් ලබු කැට ගෙන වැවට ගියේය. ඒ සමගම ශීත සුලං සමග පොද වැස්සක් ආරම්භ විය. ශීත නිසා විදානේ ගිණිමැලයට තවත් කිට්ටු වූයේය.
දිය ගෙන ඒමට වැවට ගිය දඩයක්කරුවා තවමත් නොමැත. ගිණිමැලය නිවී යාමට ආසන්න නිසා එයට දර කොටයක් දැමිය යුතුය. එහෙත් දර කොටය එසවීමට පමණක් නොව නැගිටීමට පවා විදානේට ශරීර ශක්තියක් දැන් නැත. ඔහු අසරණව නිවී යාමට ආසන්න ගිණිමැලය දෙස බලා සිටියේය.
තමා වැතිරී සිටින තණ බිස්ස දෙදරුම් කන බව විදානේට හැඟී ගියේය. ඔහු අසීරුවෙන් ඇස් ඇරියේය. විදානේට තම දෙනෙත් අදහා ගත නොහැකි විය. ඔහුගේ දෙපා අසලින් ධවල හස්ථිරාජයා ගමන් කරමින් සිටියේය. උගේ රන් පැහැති දෙදළ දිලිසුනේය.
විදානේ තුවක්කුව අතට ගැනීමට තැත් කල නමුත් ශරීර ශක්තියෙන් දුර්වලව ගිය ඔහුට එය කළ නොහැකි කාර්යයක් විය. විදානේ මුලු වැර යොදා දඩයක්කාරයාට කෑ ගෑසූ නමුත් ඔහුගේ උගුරින් පිට වූයේ දුබල හඞකි. ඔහුට කළ හැකි වූයේ තමන් ගේ දෑස් ඉදිරියෙන් තේජාන්විතව ගමන් කරන ධවල ඇතා දෙස බලා සිටීම පමණි.
දඩයක්කාරයා දිය රැගෙන එන විට විදානේ අසිහියෙන් පොළව පහුරුගාමින් සිටියේය. වහාම විදානේව කරට ගත් දඩයක්කාරයා ගම්මානය කරා යාම ඇරඹීය. විදානේ දුබල අත් වලින් දඩයක්කරුගේ උරපතු වලට පහර දෙමින් ධවල ඇතා පසුපස හඹා යා යුතු බව නොකඩවා කීවේය. එහෙත් දඩයක්කරුවා විදානේගේ කීම ගණනකටවත් ගත්තේ නැත.
ඒ අඳුරු රාත‍්‍රියේ ගල් මුල් වල හැපෙමින් විදානේව කරගසාගත් දඩයක්කරුවාට ගම්මානයට ඒමට බොහෝ වේලා ගත විය. වැස්ස නිසා ඔවුන් තෙත බරිත වූහ. වෙහෙස නිසා දඩයක්කරුවාගේ ගමන සෙමෙන් සිදු වූව ද ඔහු විදානේව කරින් බිම තිබ්බේ නැත. ඒ අතර විදානේ හුස්ම ගත්තේ ඉතා සෙමෙනි. ඔහුගේ දැඟලීම ක‍්‍රම ක‍්‍රමයෙන් අඩුවී ගියේය.
අළුයමට ආසන්න වෙත්ම දඩයක්කරුවාට ගම්මානයට ළඟා වීමට හැකි විය. ගම්මානයට පය ගැසූ පැයේදීම එකවරම ගැස්මකට ලක් වූ විදානේ ගේ සිරුර නිසල විය. දඩයක්කරුවා දිගටම ගමන් කලේය. ඔහුට විදානේගේ සිරුරේ උණුසුම අඩු වී යනවා දැණුනි. එහෙත් ඔහු විදානේගේ සිරුර බිම තැබුවේ නැත. විදානේගේ සීතල සිරුර කර තබාගත් දඩයක්කරුවා ගමේ වෙදරාළගේ පැල් කොටය වෙත ගියේය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
Transylvania බ්ලොග් අඩවිය https://transyl2014.blogspot.com/* අවසර ඇතිව උපුටා ගත්තකි .
ජීවන කතන්දර
මං මැරුනොත් ඔයා මොකද කරන්නේ

ඔය පහුගිය දවස්වල නිකා ඉන්ට බැරි බඩජාරි කමට රඹුටන් බෑග් එකක්ම තනියම කලා පහුවදා කට ඇර ගන්න බැරි තරමට දිව ඌයිය වෙලා කන් දෙකෙනුයි ඇස් වලිනුයි දුම් විසි වෙන ගානට උණ හැදිලා හිටියනේ මේ සඳවතී කියන එකී.අපරාදේ කියන්න බෑ දෙයියනේ කියල දවස් හතරක් පහක් නොසෑහෙන්න විදෙව්වා.රඹුටන් තනියම කෑවට නිකන් දුන්න උණ මම විතරක් විදවන්නෙ මොකෝ කියල හිතල මට හොද වෙනකොට සත්තලන්ටත් දීලම තමා ඕං මම පස්ස බැලුවේ.හැබැයි ඉතින් මං වගේ නෙවෙයි සත්තලන් හරීම හොදයි ලෙඩක් දුකක් හැදුනට කාටවත් කරදරයක් නෑ.එයාම බෙහෙත් හොයාගෙන බීල එයාම පරිස්සම් වෙලා ගොඩ යන්න දන්නවා.දැන් ඔය අපි දෙන්න එක වහලක් යටට වෙලා අවුරුදු හයකුත් උනානේ ඒ අවුරුදු හයටම මුන්දා එකම එක පාරක්වත් දොස්තර කෙනෙක් ළඟට ගිහින් නෑ.( ඒකට මම හම්මේ ඉතින් ඒ ගැන කවර කතාද )ඔය සාමාන්‍ය උණක් හෙම්බිරිස්සාවක් කැස්සක් වගේ දෙයක් මිසක් සත්තලන්ට එහෙම දොස්තරලා හොයාගෙන යන තරමට දරුණු ගනයේ ලෙඩක් හැදිලත් නෑ.ඔය අවුරුදු හයේ මුල් කාලෙදී එයාට පැපොල් හැදුනා.ඊට පස්සේ ටිකක් දරුණුවට උණක් හැදුනේ මේ පාර තමා.බොහෝම අබල දුබල වෙලා පැත්ත වැටිලා හිටියත් මේකා නෙවෙයි දොස්තර ගාවට අරන් යන්න පුලුවන් උනේ . එයාම ගිහින් ෆාමසියෙන් බෙහෙත් අරන් ඇවිත් බීල හිටිය.ඉතින් කෝම හරි ඔහොම ඇඳට වැටිලා දුකසේ ඉන්නකොට සත්තලන් මගෙන් එක පාරටම අහපි
බබා... මං මැරුනොත් ඔයා මොකද කරන්නේ ? ...
කියල.හම්මේ එක අහලා මට දැනුන සනීපය.ඇයි වදේ ඔය මනුස්සයාගෙන් ඔය ප්‍රශ්නේ අහල මම කාලා තියෙන පරිප්පු ගාගෙන තියෙන ටින්කිරි ...හයියෝ කියලා වැඩක් නෑ.ඉතින් ඒවාට රිටන් එක දෙන්න මේ තමා හොදම අවස්ථාව කියල මම පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා. දෙන්නම් උණ ඩබල් වෙන්න කියල මම හිතාගෙන දත කට සීරුවෙන් තියා ගත්තා. හෝව් ... හෝව්... එච්චර ඉක්මනට ඉතින් ඒ කතන්දරේ මෙතන දාන්නෙ නෑ. ඒක පස්සට තියලා මම කියන්නම්කෝ ඔය ප්‍රශ්නෙත් එක්ක බැදිච්ච අතීත කයි කතන්දර ටිකක්.
ඔය අපි කරකාර බැන්ද මුල් කාලේ මාස දෙක තුනකට සැරයක් ඔය ප්‍රශ්නේ සත්තලන්ගෙන් ඇහුවෙ නැත්තන් මට නිකන් නින්ද යන්නේ නෑ වගේ ගතියක් තිබුනා.කැස්සක් හෙබ්බිරිස්සාවක් හැදුනත්, එයා නැති වෙලාවක හයියෙන් ගොරවලා වැස්සත් ,වත්තට ගැරඩියෙක් හරි තලගොයෙක් හරි ආවත්,අම්මා කෝල් කරලා පොඩි සද්දයක් දැම්මත්, හිතට මොකා...ක්ම හරි දුකත් ආවත් කල් යල් බලලා
නිකමට හරි මං මැරුනොත් ඔයා මොකද කරන්නේ....
කියල අහන එක නිකන් පුරුද්දක් වගේ උනා. මුල්ම කාලේදිනම් ඕක ඇහුවම සත්තලන්
අනේ බබා ජිවිතේ පටන් ගත්තා විතරයි මැරෙන කතා නොකියා හිටුකෝ මගෙන් මැරුම් නොකා....
කියල කිව්ව.පස්සෙ පස්සෙ ඔන්න මෙහෙමලු උනේ.
මම - බබා නිකමට හරි මං මැරුනොත් ඔයා මොකද කරන්නේ...
සත්තලන් - මැරුනොත් නේද ... එහෙම උනොත් ඉතින් ඉස්සෙල්ලම මල්ශාලාවකට කතා කරනව..
මම - හා ඊට පස්සෙ...
සත්තලන් - පස්සෙ ඉතින් හත් දවසක් නිදි මරන්නත් එපැයි..නෙස්කැෆේ, බීම , බිස්කට් මගෙ අම්මා....මරු තමා ඉතින්...
මම - මොනවද අනේ ඔයා බලන් ඉන්නෙ මම මැරෙනකන්ද බිස්කට් කන්න...
සත්තලන් - අනේ නෑ... ඔයාටනෙ උවමනාව තියෙන්නෙ ඉක්මනට මැරිලා මට ඔව්වා කවන්න.
මම - ඉහි .. ඉහි ..ඉහි ඔයා හොද නෑ...
සත්තලන් - ඇයි අනේ මම මොනාද කලේ..
මම - මම මැරිලත් ඔයාට කිසි ගානක් නෑ...
සත්තලන් - පිස්සුදු සුදූ... ඔයා මැරිලා බලන්නකෝ මම දුක් වෙන තරම්...
* * * *
ඔන්න තවත් දවසක
මම - බබා නිකමට හරි මම මැරුනොත් ඔයා මොකද කරන්නෙ ආ...
සත්තලන් - මමද මම ඉතින් ඔය පට්ට කෑල්ලක් හොයලා ආයෙත් කසාඳ බදිනවා...
මම - පට්ට කෑල්ලක් ?
සත්තලන් - ඔව් එක්කො සනී ලියෝන් නැත්තන් ජෙසිකා ඇල්බා තමා ,කරීනත් අවුලක් නෑ ඉතින් එයා කොහොමත් මගෙ කෑල්ලනේ.
මම - මේ... මගේ යකා අවුස්සන්න එපා මම ඕකුන් සේරම කීතු කීතු කරනවා
සත්තලන් - යකෝ... මේකි මැරිලවත් මට සැනසීමක් නැති වෙන පාටනේ..
මම - ඔව්. ඔව්... මැරුනත් මම පස්සෙන් එනවා මොනාද කරන්නේ බලන්න...
සත්තලන් - හැක් .. හැක්.. ඔව් ඉතින් ගෑණුනේ...
* * * *
මේ තවත් දවසක්.මේක උනේ මීට අවුරුදු එකහමාරකට විතර කලින් ඔය කතාවෙන් පස්සේ මම ආයෙ ඒකාගෙන් ඔය පරශ්නෙ මේ වෙනකන්ම ඇහුවේ නෑ.
මම - බබා...
සත්තලන් _ ම්ම්ම්ම්ම්
මම - නිකමට හරි මම මැරුනොත් ඔයා මොකද කරන්නේ ...
සත්තලන් - අන්න හොද ප්‍රශ්නයක්... මම මේ ඒත් කල්පනා කර කර හිටියේ මේ අවුරුද්දට මොකද ඔය ප්‍රශ්නේ පරක්කු කියල.
මම - හරි ඉතින් කියන්නකෝ
සත්තලන් - මෙහෙමයි.. දැන් ඕක මොන වගේ මරණයක්ද .. ස්වභාවිකද එහෙම නැත්තන් දිවිනසා ගැනීමක්ද ...?
මම - මොකක හරි අනේ.. කොහොම හරි මම මැරිලා
සත්තලන් - හරි ස්වභාවික මරණයක්නම් ඉතින් කරන්න දෙයක් නෑ... හැබැයි නිකමට හරි දිවිනසා ගන්න වගේ හිතෙනවනම් අනේ කරුණාකරලා කුක්කු දෙක කපලා ෆ්‍රිජ් එකේ දාලා බොලා කර ගන්න දෙයක් කරගන්න මෙයා හොදේ..
මම - හෑ....ක් ... අර මොකටද කුක්කු කපන්නේ...
සත්තලන් - නෑ ඉතින් මම අඹේවෙලින් හරි හොද කිරි වැස්සියෙක් දක්කන් එනකන් මගේ කොලු පැටියා බඩගින්නේ තියන්න බෑනේ ඌ තාම අම්ම කුක්කුනෙ බොන්නේ...
* * * *
ඔන්න එදායින් පස්සේ කටක් ඇරලා මම නෙවෙයි උන්දගෙන් මේ වෙනකන් ඔය ප්‍රශ්නෙ ඇහුවේ. ඇයි වදේ පල් වෙනවා කියලා මෙහෙමත් පල් වෙන්න පුලුවන්ද. ඉතින් ඔය වගේ අවස්ථාවක තමයි ජීවිතේ පලවෙනි වතාවට සත්තලන් මගෙන් එයා මලොත් මම මොකද කරන්නේ ඇහුවෙ.
සත්තලන් - බබා මම මැරුනොත් ඔයා මොකද කරන්නේ..
මම - ඔයා මලොත්ද .. හි .. හී ..හි හී...
සත්තලන් - කියහන්කො වදේ
මම - මොනා කරන්නද ඉතින් වල දානවා මිසක්
සත්තලන් - ඊ ළඟට
මම - ඊ ළඟට ඉතින් හත් දවස... තුන් මාසේ ...අවු....
සත්තලන් - හා හා හරි හරි දාන දිදී ඉන්නවා විතරද කසාඳයක් කරගන්නෙ නැද්ද
මම - මොකද නැත්තේ... කරගන්නවා.. කරගන්නවා... හො...ඳ... ලා...ස්සන උස කොල්ලෙක් බලල බඳිනවා.
සත්තලන් - ම්ම්ම් අන්න හරි ඒක හොදයි .. හැබැයි මගේ කොල්ලට බාප්පලගෙන් ටොකු කන්න බෑ... නිකමට හරි මට මොනා හරි උනොත් ඌව මල්ලිට බාර දෙන්න ඕනේ ( මගේ මල්ලිට )
මම - ඉහි ඉහි එතකොට මම
සත්තලන් - බොට ඉතින් ඊට පස්සෙ එකෙක් බැරිනම් දහයක් හරි බැඳගන්න පුලුවන්..
මම - හ්... එහෙමද හැබැයි මම මලත් ඔයාටත් බෑ කුඩම්මලා ගෙනත් මගෙ පුතාට ටොකු අන්නන්න
සත්තලන් - ආයෙ බඳින්න මම.... පිස්සුද... එකම වරද දෙපාරක් කරනවද සුදූ මම...
මම - අනේ විහිලු නෙවෙයි ඔහොම කිව්වට ඉතින් මාසයක් හමාරක් යනකොට මාව අමතක වෙයි.එක එක ඒවා කරන්න හිතුනහම නිකන්ම කසාඳයක් කරගනී..
සත්තලන් - මොනාද එක එක ඒවා...
මම - ( ලැජ්ජාවෙන් ඇඹරෙමින් ) අරවා අනේ
සත්තලන් - කොරවාද අනේ..
මම - යන්න අනේ යන්න... බබා වගේ අහන්නේ... අර දැන් ඩිස්ටි ඩිඩිං කියලා කියන්නේ...
සත්තලන් - හෑ...ක් හැක් හැක් හැක්..... එව්වා කරන කසාඳ බඳින්නම ඕනේද බං..... ඔයා දුක් වෙන්න එපා සුදූ මම එව්වා කලට වේලාවට කරගන්නම්...
මම - මො...කා..ක් ..? හ්... හිතේ ඇති එහෙනම් දැනගන්නවා මම මලොත් කසාඳ බැන්ඳත් කමක් නෑ එව්වා මෙව්වා කරන්න තහනම් හරී...
ශානිකා ශෂිප්‍රියා
සොඳුරු සඳවතී බ්ලොග් අඩවිය https://kavisandalla.blogspot.com/* අවසර ඇතිව උපුටා ගත්තකි .
පරිවර්තිත කෙටිකතාව

සමුගැනීම
මුහුදුබඩ අවන්හලේ සුදු සහ තද රත් පැහැති බුමුතුරණෙන් යුතු වූ පඩිපෙළ නැගීමට පෙර, සත්‍යාවෘත විසින් තමන් කියන්නට යන දේ බොහෝ වතාවක් පුරුදු පුහුණු වී තිබිණි. නමුත් එහි දොර වෙත එළඹෙද්දී හදිසියේ දැනුණු තැති ගැනීමක් නිසා ඔහු මඳක් නතර වූයේ ය. ඇය වැළපෙනු ඇතිද? අන්තිමට එවන ලද ලිපි දෙකෙහි තිබුණු ආකාරයට ඔහු වෙනුවෙන් ඇති නොසැලෙන ආලය සපථ කරමින් ඈ විකාරරූපී ලෙස හැසිරෙනු ඇතිද? තමන් මේ හමුවීම සඳහා තෝරාගත්තේ වැරදි තැනක් ද? ටාජ් හෝටලය නිරතුරුවම තමන් හඳුනන අයගෙන් පිරී තිබිණි. මේ මුහුදුබඩ අවන්හලේ දී නම් ඇයව විශාල මල් පෝච්චියක් පසුපසින් අසුන් ගැන්වීමට හෝ අවන්හල කෙලවර ඇපොලෝ ජැටිය පේන මානයේ වූ මේස පෙළට කැඳවා යනු හෝ හැකිවනු ඇත.
අනිවාර්යයෙන්ම මේ හමුවීම පහසු නොවන බව ඔහුට හැඟිණි. ඇය තමන්ගේ සිරුර කැපී පෙනෙන අමුතු ඇඳුම් ඇඳීමට ප්‍රිය කළා ය. පසුගිය වසරේ දිනක වෙළඳ සංකීර්ණයකදී ඔහුට හදිසියේ ඇයව හමු වූ වේලාවකදී ඇය ගෙල වටා රත් පැහැති සාළුවක් ඔතාගෙන සිටි අතර ඇගේ ජීන්ස් කලිසමට අල්ලා තිබුණු අන්ඩ හතර නිසා ඊට විසුළු බවක් එක් වී තිබිණි. “මම නිකම් පිස්සියෙක් වගේද?” ඇය එදා ඔහුගෙන් ඇසුවාය. මේ ගමනටත් ඈ එලෙසම හැඳ පැළඳ ආවොත්? එසේ වුවහොත් ලැජ්ජාව නිසා තමන්ගේ පණ යනු ඇතැයි ඔහුට සිතිණි.
ඔහු දොර තල්ලු කරගෙන ඇතුළු වූ විගසම ඇයව දුටුවේය. දෙවෙනි මේසයේ අසුන්ගෙන සිටි ඈ දුක්මුසු ලෙස මුහුද දෙස බලා සිටියාය. ඇය බලා සිටි දෙසට නෙත් යැවූ ඔහුට පෙනුණේ සැන්දෑ අහසත්, නිල් පැහැයෙන් දිලිසෙන මුහුදත්, සුළඟට ඉල්පෙන සුදු පැහැති රුවල් සහිත බෝට්ටු පෙළත් ය. ඔහු ඇය ඉදිරිපසින් අසුන්ගෙන ඇයට ‘හෙලෝ’ කීවේ ය. ඈ සෙමෙන් ඔහු වෙත මුහුණ හරවා සිනාසුණා ය.
“මම විනාඩි කිහිපයක් පමාවුණු එක ගැන සමාවෙන්න. මාව කාර්යාලයේ වැඩකට කොටු වුණා.” ඔහු කීය
එය අසා ඈ හිස සලා “මම මට ඇණවුම් කළා,” කීවාය. ඈ ඉදිරිපස කුඩා මධු බඳුනක් විය.
ඔහු සේවකයෙකු වෙත සන් කර හැම්බර්ගරයක් සහ කෝක් පානයක් ඇනවුම් කළේය.
“ඔයා කවදාවත් බොන්නේ නැද්ද?” ඇය විමසුවාය.
“අද මට සනීප මදි” මෙනු පත අතපාත ගාමින් ඔහු පිළිතුරු දුන්නේ නොසන්සුන් ලෙසයි.
‘මම හොඳ සිහියෙන් ඉන්න ඕන’, ඔහු තමාටම කියා ගත්තේය. ‘මත්පැන් බීලා මෙයා ගැන මගේ හිත වෙනස් වෙන්න අරින්න නරකයි.’
තමන් ඇයව විවාහ කරගැනීමට අදහස් නොකරන බව ඔහු කෙටියෙන් කිව යුතුය. ඇය ඔහුට දුන් ආදරය ගැනත්, ඇය නගරයට ආ අවස්ථාවන්හි දී කළ කතාබහ වල සහ ඇය එවූ ලිපි වල වූ කරුණාබර බව ගැනත් තමන් ස්තූතිවන්ත බව සඳහන් කළ යුතු ය. ඉන් ඔබ්බට යමක් මෙහි නොමැති බැවින් ඔහු ඈ සමඟ අනුකම්පා විරහිත ව හැසිරෙන්නට ඉටාගෙන තිබිණි. ඔහු සමඟ අනාගතයක් ගැන සිහින මැවීම ඇය සිදු නොකළ යුතුය. ඇය ඔහු කැමති වර්ගයේ කාන්තාවක් නොවිණි. ඈ ම තමන්ට ‘පිස්සියක්’ යැයි කියාගත්තා ඔහුට හොඳහැටි මතක ය. ඔහුගේ කැමැත්ත වූයේ නවීන ගති ඇති ලාලිත්‍යයෙන් යුතු ගැහැනුන්ටයි.
“මට අනම් මනම් දොඩවන්න කාලය ගත කරන්නේ නැහැ,” ඔහු එක එල්ලේ ඇගේ දෑස දෙස බලමින් කීවේය. “මට ඔයාව කසාද බඳින්න අවශ්‍ය නැහැ. ඇත්තම කියනවා නම් මම තව අවුරුදු දහයකට වත් බඳින්න බලාපොරොත්තුවක් නැහැ.”
ඇය තම අතේ වූ වීදුරුව සෙමෙන් කරකවන්න විය. එය ලා පැහැති මධු පානයක් සහිත සිහින් උස පළිඟු වීදුරුවක් වූ අතර ඒ තුළ දෙහි පෙත්තක් පාවෙමින් තිබිණි. ඇගේ දිගු අතැඟිලි ඉතාම අලංකාර බව ඔහු පළවෙනි වතාවට නිරීක්ෂණය කළේය. අගේ සුරතේ මැද ඇඟිල්ලේ පැළඳ සිටි මුදුවේ වූ නිල් මැණික් ගල් දෙක ඇගේ අහස් නිල් පැහැති සාරියේ පැහැයට මැනවින් ගැලපුණි. ඇගේ නිල් සාරියත් නිල් ගල් ඇල්ලූ මුද්දත් සමඟ ඈ ඒ අවන්හල තුළට සයුරේ සුන්දරබව රැගෙන විත් තිබිණි. ඈ ව පෙනුණේ ඈත අහසේත්, මුහුදේත්, රුවල් බෝට්ටු වලත් කොටසක්ම ලෙසිනි. ඇගේ මේ ලාලිත්‍යය තමන් මීට පෙරදී නොදුටුවේ ඇයිදැයි සිතමින් ඔහුගේ සිත නොසන්සුන් වන්නට විය.
නමුත් තමන් තීරණය ගෙන අවසාන ය.
“ඒකට කමක් නැහැ, මට තේරෙනවා, කරුණාකරලා මං ගැන වධ වෙන්න එපා.” ඈ කීවාය.
“ඔයාගේ තාත්තා ඊයේ මට කතා කළා.” ඔහු කීවේය. හැම්බර්ගර් එකෙන් කටක් කද්දී තමන්ගේ හැසිරීම් අපිළිවෙල බව ඔහුට හැඟිනි.
“ඔව් තාත්තා මට කිව්වා,” ඈ සන්සුන් ස්වරයෙන් කීවාය. “එයා ගැන හිතන්න එපා, මම මේ හැම දෙයක්ම එයාට පැහැදිලි කරන්නම්.”
“ඒත් ඔයා ලබන මාසේ ඇමෙරිකාවට යන්න කළින් විවාහ වෙන එක නේද තාත්තාගේ කැමැත්ත?” ඔහු ව තමන්ට අවශ්‍ය බව කියා තවත් අවස්ථාවක් දෙන ලෙස ඈ ඉල්ලනු ඇතැයි සිතමින් ඔහු ඇසුවේය.
“මම මගේ පරණ පෙම්වතාව බඳිනවා, එයා අවුරුදු ගානක් තිස්සේ මං ගැන පිස්සුවෙන් හිටියේ. දැන් ඕවා ගැන හිතන්න ඕන නැහැ, ඔයාගේ අලුත් රස්සාව ගැන මට කියන්නකෝ.”
ඉනික්බිති ඔහු තමන්ගේ ආයතන ප්‍රධානියා ගැනත්, ගෙවල් අයිතිකරු ගැනත්, මිතුරන් ගැනත් කතා කරද්දී ඈ උස් වීදුරුව වෙත දෑස යොමු කරගෙනම එය තම ඇඟිලි අතර කරකැවූයේ එය ඔවුන් දෙදෙනාගේ අනාගතය පෙන්වන පළිඟු බෝලයක් වූ ලෙසිනි. ඇගේ ඒ ක්‍රියාව ඔහුගේ අවධානය තදින් පැහැර ගත්තේය. ඇගේ පැහැපත් දෑත ඔහුගේ දෑස ඉදිරියේ රැඟුමක් පාන බවක් ඔහුට දැනුණි. අවන්හලෙන් පිටත අහස කළුවර වෙමින් තිබිණි. ඇගේ සන්සුන් බව දෙස පුදුමයෙන් බැලු ඔහුට ඇගේ දෑසත් කෙමෙන් අඳුරු වෙනවාදැයි සිතාගනු නොහැකි විය. හැම්බර්ගරයෙන් අඩක් පිඟාන මත ඉතිරි කළ ඔහු තම මුව පිසදා ගත්තේය.
“මේ හැම්බර්ගර් එක හරි නැහැ, මම හිතන්නේ නැහැ මට ඒක කාලා ඉවර කරන්න පුළුවන් කියලා.” ඔහු කීවේය.
ඇය සිනාසුනාය. “දැන් මට යන්න වෙලාව හරි.” ඈ කීවාය.
තව ටික වෙලාවකින් ඔවුහු එක්ව මුහුදුබඩ අවන්හලේ පඩි පෙළ බසිමින් සිටියහ. එහි බුමුතුරුණු රටාවේ හැඩ අගය කරමින් ගිය ඈ, පිවිසුම් ශාලාවේ වූ පොත් හලේ නැවතී, සඟරාවක පිටුවක් දෙකක් පෙරලා බලා, හෝටලයෙන් පිටව යන්නට සැරසුණා ය.
“ඔයාට මම ඒ සඟරාව අරන් දෙන්නද?” ඔහු උනන්දුවෙන් ඇසුවේය.
“එපා, එපා, ඕවා බොහොම මිළ වැඩියි, ඒ වුනාට ස්තූතියි” ඈ කිරිගරුඬ පියගැට පෙළ මත නැවතී කීවාය.
සුළඟ සමඟ ඉගිලෙන්නට වූ ඇගේ කෙහෙරැළි මොහොතකට ඇගේ මුහුණ වසා පැතිරී, නැවත සන්සුන් විය. ඈ දිස් වූයේ බෙහෙවින්ම සුන්දර ලෙසයි. තම ජීවිතයේ තිබෙන සුන්දරත්වය ඈ සමඟ අතුරුදන් වන්නට යන බව තම හද රිදුම් දෙද්දී ඔහුට වැටහිණි. ලිපියක් ගැන හෝ නැවත මුණ ගැසීමක් ගැන සඳහනක් රහිතව ඈ ඔහුගෙන් ඉවත් වෙමින් සිටින්නීය. සියල්ල අවසන් වී තිබිණි.
කලබල වූ ඔහු, “ඔයා කැමති තැනකට මට ඔයාව බස්සන්න පුළුවන්” කීවේය.
එහෙත් ඈ හිස සැලුවාය. “නැහැ මට ඇවිදින්න ඕන,” අගේ කටහඬේ සිනාවක් මතු වෙමින් තිබිණි. “නැත්නම් මේ ලස්සන හවස් වරුව අපරාදේ, මට බොහොම දුරක් ඇවිදගෙන යන්න ඕන, ස්තූතියි ඔයාට.”
ඉනික්බිති ඈ වමට හැරී ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලය පසුකර, සන්ධ්‍යා සුව විඳින්නන් සහ සිප්පි කටු බෝනික්කන් විකුණන වෙළෙන්දන් අතරින් ඇවිද ගොස් නොපෙනී ගියා ය. ඉන් අනතුරුව අඳුර එළඹිණි.

‘Sea Lounge’ is from the book ‘Padmavati the Harlot & Other Stories’ by Kamala Das, Aleph Book Company. First published 1994
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Hot chocolate days බ්ලොග් අඩවියෙන් , අවසර ඇතිව උපුටා ගත්තකි
http://hotchocolatedays.blogspot.com/