සිංහල බ්ලොග් කවි මුතු

බොල් පිළිම

ඔවුන් සුවිසල් පිළිම ලෙස අප අතර සැරිසරති
ඔවුන්ව වන්දනා කිරීමටද අපව පොලඹවති
මහා පුරුෂයන් ලෙස පෙනී සිටියත්
ඔවුන් දේශපාලන අන්තේවාසිකයින් වෙති

නිවාස, ඉඩකඩම්, රථවාහන, තානාන්තර හමුවේදී
ඔවුන් කුක්කන් ලෙස නගුට වනති
අන්ධ මීයන් ලෙස රැලේ යති
දේශපාලකයන් හමුවේ දණ නමති
ඔවුන්ව පැදකුණු කරති
තම ආත්මය ඔවුන්ට පාවා දෙති

කලාව හා සංස්කෘතිය පෝෂණය කිරීම
ජනතා කලාවක් ගොඩනැගීම පසෙක ලා
අනවතරයෙන්ම වන්දිභට්ටයින් බවට පත් වෙති

මොවුන් අතර වික්ටර් හාරාලා නැත
බොබ් ඩිලන්ලා විසෝස්කිලා නැත​
ඇත්තේ අත්තෙන් අත්තට පනින
ඇක්‍ෂන් ජැක්සන්ලා හා දීන කලා මනප්පුලා පම​ණි

දීනත්වයෙන් තොර
ස්වාධීන කලාකරුවන් ගේ කාන්තාරයක් වූ මේ දේශයේ
කලාකරුවන් ලෙස හඳුන්වන මේ බොල් පිළිම​
ජීවත්වන කාලයේ රජයෙන් නොමිලේ ගෙවල්ද අයදිති
එපමණක්ද නොවේ සබඳ
මියගිය පසු ඔවුන් දෙපැයක්ද​ කලාභවනේ වැතිර සිටිති

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Transylvania බ්ලොග් අඩවිය https://transyl2014.blogspot.com/

අකමැතිම

පෙනේ නම් ඔබට මා දැන්
ඔබ කැමතිම රතු ගවුම ඇඳ
ඇවිද යන හැටි තවමත්
මල් ඉහුනු තණ බිම මැද
පාවහන් රහිතව,
ඔබ අකමැතිම විදිහට

පෙනේ නම් ඔබට මා දැන්
තවම සක්මනට යනහැටි
අප ගිය අතුරු මං වල
නවතිමින් ඉඳහිට
දොඩන්නට නාඳුනන කුක්කෙකුට,
ඔබ අකමැතිම විදිහට

පෙනේ නම් ඔබට මා දැන්
වැහි බීරමක් එනවිට
නොඉඳ උණුහුම් වී
ඔබ දුන් නිල් පොරෝනය මැද
තෙමෙන්නට යන හැටි
ඔබ අකමැතිම විදිහට

හෙල්මලී ගුණතිලක - Hot Chocolate days

https://hotchocolatedays.blogspot.com

ඉපැරණි !!

මලකඩ කෑ ඉන්බොක්ස් ඉතිහාසයකි
ඉපැරැණි  සල්ලාප
තැනින් තැන... කඩින් කඩ....
විසිරුණු

බොහෝ තැන් ම'ඟැර
ඉස්සරෝම තැනට යමි

..........ඔයා  !

ඒ විශ්මයාර්ථය ඔබේ අදිසි
මුණගැසීම වෙනුවෙන්...
සතුටය..සිනහවය
ආගිය තොරතුරුය...
ඒ හිමිදිරිය ...මිහිරි ය...

මුලම සිට නැවත පැමිණෙමි !

අතරින් පතර
දුරින් සිට හාදුය
විහිලුය...විනෝදය...
ඔය දෑසට දෑස සම්මුඛ  
වෙන තුරුම....එකී බැඳීම
නොකිලිටිය...පිවිතුරුය..
හදවත නතර වූයේ
ඒ ඇස් අසලමය...
ඒ මද්දහන..පෙම්වත් ය...

අමතක කරන්'නෙපා
මේ ආපස්සට ගොස් නැවත
එන අතරමගය !

වැඩි වැඩියෙන් හාදුය
ආදරය ය...අනුරාගය ය..
ඉදහිටක ඊරිසියා සහහත
නෝක්කාඩුය...පලිගැනීම්‍ ය
රණ්ඩු ය...මුරණ්ඩු ය.
බ්ලොක් කිරීමට අධිපතිය
සටනට සෙන්පතිය
නිහඬවීමට රුසිය
ඉතින් බැලූ බැලූ අත
කඳුළුය...විරහවය
ඒ පස්වරු ය ...ගිනියම්‍ ය...

ආපස්සට ගොස් නැවත අවසානයට පැමිණීමේ
අවසන් අදියර !

එකී සියල් සිප ගැනුම්
තාමත් උණුය..උණුසුම්ය
ඔය සුවඳ තාමත්
මෙතැනය...මෙතැනය....
සම්මතය බිඳහෙලූ තැනද
ප්‍රේමය ප්‍රේමයම ය...
ඒ හැන්දෑව..අතිශෘංගාරය..

ඉතින් මේ එකී කතාවේ අවසානය, නොහොත්
කෙලවරය !

හිස් ය...හිස්ම හිස්‍ ය
ප්‍රේමය උත්කර්ෂයට නැගූ තැනම
සාහසික නිහඬවීම් ය.
මේ සා කුරිරු රිදවුම්‍ ය..
අත් හරින්නට හෝ අත් හැරෙන්නට
ඕනෑ තරම් හේතුය
එහෙත්
යලි යලිත් යලි යලිත්
බැඳෙන්නට තරම් ප්‍රේමණීය ය...

ප්‍රියය ,
එතැන් සිට ගෙවන
මේ බොහෝ තත්පර
රළුය...කලුය...

ඉතින් පවසන්න..
ඔබට මා අමතක කර සැනසෙන්නට හැකිද ?

ශානිකා ශෂිප්‍රියා

සොඳුරු සඳවතී බ්ලොග් අඩවිය https://kavisandalla.blogspot.com/

බස්සට පොඩි හැලුප් එකක්

සතියේ දිනවල බස්සා 

සරල අනුවර්තී චලිතයක
ජීවිතේට කිසිම අලුත්
ගැම්මක් නෑ බං

යංතං ඇති,අද ඉරිදා
වැඩට යන්නෙ හෙට සඳුදා
කඩල කකා දෙකක් නැමුවෙ
ඒක නිසයි බං

බොරු කියන්නෙ මොකටෑ බං
හි‍ටු කියලා මරාගත්ත
සුනාමි කාලෙත් ඉඳහිට
මතක් වෙනව දැං

වලියක් නැති ජීවිතයත්
පරිප්පු නැති හෝටලයක්
කියල කව්ද ගල් ඉබ්බෙක්
කිව්ව නේද බං

පල්ලම ඉවරයි දැන්නම්
නිශ්චිත නෑ ඉදිරියෙ මග
ඇන්ජිම නැවතිලා වගෙයි
ගෑසුත් නෑ බං

හොඳ වෑයින් පයින් එකක්
දෙන්න ඕනෙ මයෙ පස්සට
ඇංජිම කික් ස්ටාර්ට් වෙන්නෙ
එතකොට නෙව බං

කිව්වා වගේ නෙවෙයි බොලේ
වැඩේ අමාරුයි කරන්න
බස්සට පොඩි හැලුප් එකක්
දෙන්න බැයිද බං

හවුස් බස්තියන්

බකමූණු කතා බ්ලොග් අඩවිය https://frozenlazyowl.blogspot.com/

පරිපූර්ණ…..

රන් පාට පෙණ බිංදු මුමුණමින් ගී ගයන
බීර වීදුරු දෙකක්….
පසුපසින් හිනහෙනා රතුවිච්ච වතින් යුතු
නොනැවතී තතු අහන නොනැවතී තතු කියන
බොහෝ කලකින් දුටුව මිත්‍රයන්
දෙදෙනෙක්….

මොකද උඹ තනිකඩව පාළුවෙන් මහ ගෙදර
තව නැද්ද අදහසක් කරගන්න පෙලවහක්….

නැහැනේ මට හමුවුනේ සිත ඇඳුන රුව තවම
වෙන ලඳක් කෙරෙහි නෑ දෙන්නෙ මම ආදරය….

පුදුමයෙන් මෙන් විවර දෙනෙත ඔහු දෙස යොමා
එළඹ ගත් සිහි ඇතිව නැවත ඔහු විමසුවා….

සොයන රුව පවසපන් දැනගන්න මටත් එය
දනිමිනම් එවන් රුව මට හැකිය පවසන්න….

හඬන දිය ඇල්ල සේ කඩාවැටෙනා වරල
අඩ සදත් පරදනා නෙත් පිනන ඇගෙ නලල
සත් වර්ණ දේදුන්න සේ පෙනෙන බැමි යුගල
දුටු ගමන් විකල් වන නීල උත්පල දෙනෙත
අල්ලන්න ලොභ සිතෙන මටසිළිටු කොපුල් තල
නා දලුත් විලි වදින රත් පැහැති දෙතොල් මන
දුටු ගමන් සිපගන්න සිතෙන උරහිස් යුගල
ඇල්ළුවොත් රිදෙයි'යැයි බය සිතෙන රණතිසර
ගෑවුනොත් කිති කැවෙන සුදුපාට ඉඟ නෙරිය
දෑතින්ම වැලඳ ගත නොහැකි ඇගෙ පුළුලුකුල
රඹ කදක් ලෙස පෙනෙන ලප නොමැති දඟ යුගල
පිරුණ ……………………………….

මොකද උඹ බයවෙලා වගේ නෙතු යොමන්නේ
දාඩියත් දාලා නොවැ වෙරි වැඩිද කියන්නේ….

අනේ නෑ දැන් මතක් තිබු මතත් බැස්සනේ
පවසාපු සියල්ලම ඇත්තදයි කියන්නේ….

අනේ ඔවු ඇයි මචං මොකක් හරි අවුලක්ද
අනිත්'වුන් වගෙ නෙමෙයි මගෙ නැනේ කිසි බොරුව….

තනිකඩව ඔය ගෙවන දිවිය ඔය විදිහටම
ගෙවාපන් කිසිම දින එපා මගුලක් කන්න
උඹ කියපු විස්තරය ඇත්තනම් ඒ ලෙසට
යකින්නක් පමනක්ය බඳින්නට හැකි නුඹට
ඔය විදිහෙ කෙල්ලොනම් තවම නැහැ මෙහි ඉපිද
බැඳගනින් රඹ ගහක් හදාගන හිලක් මැද……

කටුස්සා….

කටුසු හදවත බ්ලොග් අඩවියෙන් https://katusuhadawatha.blogspot.com/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *