2025 සරසවි සම්‍මානනීය ගායකයා ටොරොන්ටෝවේ අපේ කිත්සිරි

2025 සරසවි සම්මාන උළෙලේ හොඳම ගායකයා වුයේ ගුරු ගීතය සිනමා පටයේ “ඉපල් රිකිලි සුළං” ගීතය ගැයූ කිත්සිරි ජයසේකර. මගේ ආකල්පයට අනුව, ඉතාමත්  අහම්බයෙන් ගායකයෙකුට ලැබෙනා ආදරණීය භාග්‍යයක් තමයි ජයසේකර කලාකරුවානන්ට ලැබුනෙ. 

එයට හේතුව කිමෙක්දැයි කියනවා නම්, මේ ගීතය පිටුපසත් ඉතාම අපූරු පෙරළිකාර පෙළ ගැස්මක් තියෙනවා. නුවන් ලියනගේ “ඉපල් රිකිලි සුළං” ගීපද  රටා මැවුයේ සිනමා පටයක් සඳහා නොවේ. ජයසේකරයන්  ඔහුගේ “කෙටිම කෙටි කතාවක්” ගීත එකතුවට ගීත සොයද්දී, ඒ ඉල්ලීම සපිරීමටයි. ඒත් එක්කම  කිත්සිරි ජයසේකර ඒ පදවලට පණ පෙවුයේ  “ගුරු ගීතය” සිනමා පටයක් ගැන සිහිනෙකින්වත් දැන නොවේ. ඒකයි මා කීවේ මෙය අහඹු වාසනාවක් යැයි කියා.

ගීතය පටි ගත කළාටත් පසුව, නුවන් ලියනගේ ගී රචකයාට දැනගන්න ලැබුනා උපාලි ගම්ලත් නම්වූ චිත්‍රපට අධ්‍යක්ෂකවරයා “ගුරු ගීතය” පදනම් කරගෙන සිනමා සිත්තමක් නිෂ්පාදනය කරන බව. ඔවුන් දෙදෙනා අතර ඇතිවූ කතා බහකට අනතුරුවයි මේ ගීත රචකයා එහි ගායකයා වූ කිත්සිරිගෙන් ඒ සඳහා අවසර ඉල්ලුයේ. ඒ සැනෙන්ම ඊට එකඟවූ කිත්සිරිට දැනුනේ ඒ අවස්තාව ලැබීමට ඔහු කෙතරම් වාසනාවන්තයෙක්ද කියලයි.  

අනික් විශේෂම කරුණ වන්නේ, “ගුරු ගීතය” කියන්නේ දාර්ශනික රුසියානු සාහිත්‍ය ගර්භය තුල වාමාංශික දේශපාලන සංදර්භය පෝෂණය කල අතලොස්සක්  කෘතීන්ගෙන් එකක්. ගුරු ගීතය ශ්‍රී ලාංකික අප හදවත් තුල ලැගුම් ගත් ගෞරවනීය කෘතියක් වුයේ එය අප විශ්වයටම උතුරා ගිය මනුස්සකම කියා දුන් නිසයි. එවැනි උසස් කෘතියකට තේමා ගීතය ගැයීම ගායකයෙකුගේ ජීවිතයේ ඔහු ලබනා විශිෂ්ඨම  අවස්ථාවක් නොවේද?

හොඳම ගායකයාට හිමි සරසවි සම්මානය ලැබූ බව කණ වැකුණු සැනෙන් අප පුවත්පත තීරණය කළා ඔහු සමඟ කෙටි පිළිසදරක යෙදීමට. මෙතරම් කලක් සිනමාවේ හෝ පුංචි තිරයේ ඕනෑ තරම් කලාකරුවන් සම්මානවලින් පුද ලැබුවා. නමුත් ඇයි කිත්සිරි ජයසේකරයන් පමණක් අප විද්‍යුත් ප්‍රකාශනයේ  සටහනක් තැබීමට තරම් වැදගත් වනුයේ කියා ඔබ සිතට කුකුසක් ඇති වෙනවා නොඅනුමානයි. 

එක පැත්තකින් කිත්සිරි ජයසේකරයන් කියන්නේ අප කැනේඩියානු ශ්‍රී ලාංකික සාමුහික සමාජය සමඟ හුස්ම ගන්නා කළාකරුවෙක්. ඊට එහා ගියහොත්, ඔහු ශ්‍රී ලාංකික දේශපාලනයට සෘජුවම සම්බන්ධ නොවුනත්, පසුකාලීනව සමහර දේශපාලන තීන්දු තීරණ ගත්තේ ඔහුගේ කළා ජීවිතයට විය හැකි හානිය තඹ සතයකටවත් මායිම් නොකර, හුදෙක් ශ්‍රී ලාංකික සමාජය යහපත් තැනකට ගෙන ඒමේ  අරමුණ උදෙසායි. සැබෑ ගෞරවනීය කළාකරුවකුගේ යුතුකමයි ඔහු ඉටු කළේ. යම් විදියකින් ලාංකික දේශපාලන මුහුණුවර වෙනත් අතකට යොමු වුවා නම්, ඔහු ජීවිත කාලයක්ම උපයාගත් කළා දිවිය හා ගෞරවය සම්පුර්ණයෙන්ම ඝාතනය වීමට බොහෝ දුරට ඉඩකඩ තිබුනා.  මේ කරුණු කාරනා හේතුවෙන්, කිත්සිරි ජයසේකර නම්වූ, මිනිසා සහ කළා කරුවා කැනේඩියානු අප සමාජයට අතිශයින් වැදගත් වනවා.

පුවත්පතට මේ ලිපිය ලිවීමට පෙර මා අප කතා නායකයා වූ කිත්සිරි ජයසේකරයන් සමග කල කතා බහේදී, “ඉපල් රිකිලි සුළං” ගීතය සම්බන්ධව ඔහු සිහිපත් කලේ ඉතාමත් ආදරණීය මෙන්ම උද්යෝගීමත් හඬකින්. ඔහුගේ අලුත් ගීත එකතුවට නුවන් ලියනගේ මේ ගීතය දී කියා ඇත්තේ, “මේක ගුරු ගීතය පාදක කරගෙන ලියූ මරු ගීතයක්” කියලා බව ඔහු මට සදහන් කලේ ඉතාමත් සතුටින්. ඔවුන් “වසන්තය යලිත් එනවාමයි” කියන කොටස විශේෂයෙන්ම ඉහල ස්වරයකට ගෙන තිබෙන්නෙ, මේ ගීතයේ අපුර්වත්වය වැඩි කරන්න. ලෙලුම් රත්නායකගේ දක්ෂ සංගීත නිර්මාණයත්, නුවන්ගේ පද පෙළත් මේ ගීයට ලබා දුන්නේ අපුර්වත්වයක් යැයි කිත්සිරි කලාකරුවා නිහතමානීව පැවසුවද, ඇත්තටම ඒ අපුර්වත්වයට ඔහු හුස්මදී ඒ ගීතය සත්‍ය වශයෙන්ම ගීත සංගායනාවක් බවට පත්කලා කියා පාඨක අපට  හිතෙන්නෙ නැද්ද? 

මම ඔහුගේ පවුලේ වත ගොත විමසීමටත් අමතක කලේ නැහැ. සොහොයුරන් සය දෙනෙකු සහ සොහොයුරියකගේ ආදරයකුත් සමඟ කුරුනෑගල හෙට්ටිපොල උපත ලැබූ කිත්සිරි දරුවා, සින්ඩෙරෙල්ලා නම්වු සුරංගනා කතාවක වීරවරියකට පෙම් බැඳිම ඔහුගේ සාහිත්‍ය දිවියේ ආරම්භයද විය හැකියි. ගී ගායනයට හැකියාවක් තිබු ව්‍යාපාරික පියා සහ ගුරු මවගේ හිත මිතුරන් ඉදිරියේ ගී ගායනා කිරීමෙන් ඔහුගේ සංගීත වේදිකාව ආරම්භ වුයේ නිවසේදීමයි.  ගී ගායනය සදහා පුංචි කිත්සිරිට රුපියල් පහක් වැනි දීමනාවක් දීමෙන් ඔහුගේ ගායන හැකියාවට දෙමව්පියන්ගෙන් ලැබුනේ මහත් දිරියක්. 

උසස් පෙළ අධ්‍යාපනයෙන් පසුව ලැබූ වෘත්තීය අධ්‍යාපනය අවසානයේ කිත්සිරි තරුණයා හෝටල් ක්ෂේත්‍රයට සම්බන්ධ වුයේ කුඩා කල සිට ඔහු තුල තිබු බලවත් ආශාවක ප්‍රතිඵලයක් ලෙසට. නමුත් ඔහුගේ ලේවල තිබු සංගීතය හේතුවෙන් ඔහු ඒ අතරතුරම සංගීත කණ්ඩායම් දෙකක ගායකයකු ලෙසද ගායනා ක්ෂේත්‍රයේ රැඳී සිටියා. කාලයක්, රැකියාවත් සංගීතයත් දෙකම සමබරව පවත්වා ගෙන ගියත්, ඔහුට මේ ක්ෂේත්‍ර දෙකින් එකක් තෝරා ගත යුතුයි කියනා ප්‍රබල අභියෝගයට මුහුණ දීමට සිදු වුයේ රැ නිදිවරා ගී ගායනයෙන් පසුව, අලුයම හිමිදිරියේ රැකියාව සඳහා යාම ඉතා දුෂ්කර කාර්යයක් වූ නිසයි.

අපි අහලා තියෙනවනෙ කතාවක්, පටන් ගැනීමට විශිෂ්ඨ තැනක් අවශ්‍ය නොවුනත්, යමක් පටන් ගැනීමට හැකි නම් ඒ පුද්ගලයා විශිෂ්ඨයෙක් කියලා. 1994 දී, ඒ කියමනට සාධාරණත්වයක් ඉටු කිරීමට දෝ, සංගීත ගමන යායුතුයි කියනා දැඩි අධිෂ්ඨානය පෙරදැරිව ඔහු හෝටල් රැකියාවට සමුදීමේ දරදඬු තීරණය ගත්තා.  1995දී, ගිනි මලක් ගීත එකතුවේ “ගිණිමලක්” ගීතයෙන් එක් රැයකින් “ගීත තරුවක්” කියනා මුද්‍රාව ඔහුට හිමිවීමට තරම් ඔහු වාසනාවන්තයෙක් උනා. රුපවාහිනී සංස්ථාවේ, සෙනේෂ් දිසානායක කල “යාත්‍රා” වැඩ සටහනින් ඒ ගීතය ජනගත වු බව ඔහු පැවසුවේ ඉතාමත් නිහතමානීව.  

“ගිනි මලක්” ගීතයට පසුව ඔහු අතින් නිර්මාණය වුයේ හින්දි තනුවලට සිංහල පද පෙළ ගැසුණු CD පටයක්. හින්දි තනුවලට සිංහල පද පෙළ නිර්මාණ කලේ කැළුම් ශ්‍රීමාල් ගීත රචකයා. ඉන්පසුව කිත්සිරි සහෘදයා “මී පැණි රහසක්” නම්වූ ගීත එකතුව එලි දැක්වුවා. පසුකාලීනව, හරියටම කියනවානම් ඉන් අවුරුදු 4කට පසුව කිත්සිරි, සින්ඩෙරෙල්ලා නම්වූ නව ආරක පර්යේෂණාත්මක ගී එකමුතුවක්, ඔහුගේම ශබ්දාගාරයේම ඔහු විසින් නිෂ්පාදනය කර හදුන්වා දුන්නා. ඇත්තටම එය,  2000-2004 දක්වා වූ දීර්ඝ කාලයක් මිඩංගු කල නිර්මාණයක්. අමීෂා, රංගධරයා,  සින්ඩෙරෙල්ලා වැනි ගීත ඇතුළු වුයේත් “සින්ඩෙරෙල්ලා” ගී ගොනුවටයි. 2010 වසරේදී, “කෙටිම කෙටි කතාවක්” නම්වූ සම්ප්‍රදායික සහ සරල ගී ඇතුලත් CD තැටියක්ද කිත්සිරියන් විසින් නිර්මාණය කළා. 

මා සමඟ කතා බහේදී, කිත්සිරි ජයසේකරයන් ඔහු අද ලබාගත් සෑම ජයග්‍රහනයකටම පිටුපසින් සිට උපකාර කල මහින්ද බණ්ඩාර, ආනන්ද පෙරේරා, ජයන්ත රත්නායක, නදීක ගුරුගේ, නදීක ජයවර්ධන, සංගීත් වික්‍රමසිංහ, මහේන්ද්‍ර පැස්කුවෙල් නම්වූ සංගීත ශිල්පීන්ද, ඔහුගේ බිරිඳ උපේඛාද මතකයට නැගුවේ ඉතාමත් ආදරයෙන්. 

අප ප්‍රේක්ෂකයින් වෙනුවෙන් කිත්සිරිගේ කැනේඩියානු ආගමනය ගැනත් මා විපරම් කළා. ජයසේකර පවුල 2012 දී කැනඩාවට සේන්දු වුයේ එවකට රටේ පැවැති දේශපාලන සහ සමාජයීය පසුබිම තුල දරුවන් දෙදෙනාට අනාගතයක් ගොඩ නගා දිය හැකි යැයි  විශ්වාසයක් නොතිබුණු නිසයි. ගායකයෙකු ලෙස ගායනා ගිරි ශිඛරයේ උච්චතම ස්ථානයේ සිටියදීයි ඒ තීරණය ඔවුනට ගැනීමට සිදු වුයේ. මේ දුරු රටකට යාමේ තීරණය සෘණත්මක ලෙස බලපෑවේ ඔහුට පමණක් නොවේ, ප්‍රතිභාපුර්ණ නර්තන ශිල්පිනියක් වන ඔහුගේ බිරිඳ උපේඛා ගංගොඩවිලටත් ඇයගේ ආදරණීය වෘත්තියට ආයුබෝවන් කීමට සිදු උනා.

කිත්සිරි ජයසේකර කළා කරුවා, ඔහුගේ ප්‍රිය බිරිඳ වූ උපේඛා ගංගොඩවිල සහ පුතුන් දෙදෙනා සමඟ කැනඩාවේ Burlington නගරයේ ජීවත්වෙන්නේ අදටත් ලාංකික චාරිත්‍ර වාරිත්‍ර අකුරටම පිළිපදිමින්. සංගීතයට අමතරව Ontario ප්‍රාන්තයේ Interior Designer කෙනෙක් ලෙස සේවය කරනා කිත්සිරි ඊට අමතරව විවාහ මංගල උත්සවයන්හිදී, අපගේ ලංකික සාම්ප්‍රදායික සිරිත් විරිත් ශ්‍රී ලාංකිකයින්ගේ හදවතට යාකරනා පෝරුවේ චාරිත්‍ර ඉටු කිරීමද සිදු කරනවා.

ඔහු සමඟ සාකච්චාවේදී, ඔහුගේ අනාගත බලාපොරොත්තු සමුදායන්ද මා සමඟ බෙදා හදා ගැනීමට ඔහු අමතක කලේ නැහැ. නැවත ලංකාවට ගොඩ බැස, ඔහුගේ කළා දිවිය තව දුරටත් පෝෂණය කිරීමටයි ඔහුගේ අරමුණ.  ඔහුගේ අවසානම සිහිනය වන්නේ ඔහුගේ ගීත ඔහුගේම පුතුන් දෙදෙනාගේ හඩින් ඇසීම බවත් ඔහු මට පැවසුවා.  

මහා බ්‍රිතාන්‍යයේ ගී සන්ධ්‍යාවකට සහභාගිවීමට පෙර දිනයේ බොහෝ කාර්ය බහුල මධ්‍යයේ වුවත්, අප පුවත්පත වෙනුවෙන් මා සමඟ කතාබහකට එකඟවීම පිළිබඳව අප ආදරණීය කළාකරු කිත්සිරි ජයසේකරයන්ට අපගේ පුවත්පත වෙනුවෙන් හෘදයාංගම  ස්තුතිය පුද කල අතරම, ඔහුගේ කළා සහ පෞද්ගලික දිවි සැරියේ අරමුණු ඉටුවේවා යැයි ප්‍රේක්ෂකයින් වෙනුවෙන් සුභ පතා අප පිළිසඳර ඉතා සතුටින් නිම කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *