ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් හැලිලද? නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සංවාදයක්.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් ඉදිරියේදී විභාග ක්‍රමය වෙනස්කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළ කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනකට එක්වෙමින්.

කෙසේනමුත් ජාතික අධ්‍යාපන ආයතනය, පාසල් පැවැත්වෙන කාලය උදෑසන 8.00 සිට 4.00 දක්වා දීර්ඝ කරන ලෙස යෝජනා කර තිබුණද ඒ සඳහා දායක වන අනෙකුත් පද්ධති තවමත් එයට සූදානම් නොමැති නිසා එය තරමක අපහසු කාරණයක් බවයි අගමැතිවරිය පවසා සිටියේ.

එමෙන්ම ඇය සඳහන් කළේ කාල පරිච්ඡේදය, පවතින කාලසීමාවට වඩා දීර්ඝ කිරීමට අපේක්ෂා කරන බවයි.විභාග අන්තර්ගතය පාසල් සිසුන්ට පීඩාකාරී නොවන ආකාරයෙන් වෙනස් කිරීමේ ක්‍රියාවලිය 2028 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍යතුමිය පවසනවා.

වාර විභාග සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීම සඳහා සාකච්ඡාවක් පැවැත්වෙන බවත් ඇය එහිදී සඳහන් කළා.එමෙන්ම 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමට තීරණයක් ගෙන නොමැති බවයි අගමැතිතුමිය වැඩිදුරටත් සඳහන් කළේ.

 මේ අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත් නොවන බවට ඇතැම් පිරිස් දේශපාලන අරමුණින් යුතුව සාවද්‍ය ප්‍රකාශ සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පළාත් හා කලාප නිලධාරීන් දැනුම්වත් කිරීමේ විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය පැවසුවේ ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් විෂයමාලාවෙන් ඉවත්කර නොමැති බවයි.

2026 වසරේ සිට පාසල්වල කාලපරිච්ඡේද සංඛ්‍යාව අටේ සිට හත දක්වා අඩු කිරීමත්, එක් කාලපරිච්ඡේදයක කාලය මිනිත්තු 50 දක්වා වැඩිකිරීමත් ඇතුළු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාවට නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

මේ පිළිබඳ අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ,

“අපි මේක හැදුවෙම තමාගේ ක්ෂේත්‍රයට විතරක් කොටු නොවන ළමයෙක් කොහොමද නිර්මාණය කරන්නේ කියලා. එතකදී අපි අනිවාර්යය‍ෙන් සාකච්ඡා කරපු දෙයක් තමයි ඉතිහාසය හා සෞන්දර්යය කියන විෂයන් දෙක හරිම වැදගත් කියන එක. stem subjectවලට යන දරුවෙක්ට වුණත් ඉතිහාසය හා සෞන්දර්යය තෝර ගන්න වෙනවා. කළමනාකරණය තෝර ගන්න ළමයාටත් ඉතිහාසය සෞන්දර්යය අනිවාර්යයි. skills sector එකේ යන ළමයට වුණත් ඉතිහාසය සහ සෞන්දර්යය අනිවාර්යයි. හරිම අවාසනාවන්ත විදියට මේ මුළු කතන්දරය කියන්නේ නැතුව අර මැද්දේ තියෙන එක විතරක් දාලා ඉතිහාසය සහ සෞන්දර්යය විෂය මාලාවෙන් හලලා කියලා ඉතාම අසත්‍ය මතයක් සමාජයේ තුළ ගොඩනගන්න හදනවා. මේක ඕනෑකමින් මේක කඩාකප්පල් කරනවා. ඒක හරිම වැරදියි. අපි දේශපාලනය කරමු. අධ්‍යාපනය හා දරුවන්ගේ ජීවිත එක්ක දේශපාලනය ගාව ගන්න එපා. ඉතිහාසය සහ සෞන්දර්යය කොහෙන්වත් අපි හලලා නෑ”

මේ අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අවසන් කෙටුම්පතක් හෝ නිශ්චිත යෝජනාවලියක් මෙතෙක් සකස් කර නොමැති බව සභානායක සහ අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව (24) වැනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරනු ලබන ‘පවර් පොයින්ට්’ ඉදිරිපත් කිරීමක් හෝ වෙනත් ලියවිල්ලක් මත පදනම්ව දැනට සාකච්ඡා සිදුවෙමින් පවතින බව අමාත්‍ය රත්නායක මහතා පැවසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් විය යුත්තේ අධ්‍යාපන විශේෂඥයන්, විෂය ප්‍රවීණයන් සහ විවිධ සමාජ කණ්ඩායම්වල අදහස් මත පදනම්ව බවද ඔහු අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසා සිටියේ, පැවැත්වෙන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා යම් නිශ්චිත පත්‍රිකාවක් හෝ ලියවිල්ලක් නොමැතිව විවාදය ඉදිරියට ගෙන යා හැකිද යන්නයි. මන්ත්‍රීවරුන්ට මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිශ්චිත යෝජනාවලියක් හෝ සටහනක් ලබා දී නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *