
යාපනය ප්‍රදේශය කේන්ද්‍රකොට අංගසම්පූර්ණ ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට කටයුතු යොදා ඇතැයි ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය. මෙතෙක් ගෘහස්ථ ක්‍රීඩාංගණ ඉදිකොට නැති ප්‍රදේශවලට හොඳ තත්ත්වයේ ගෘහස්ථ ක්‍රීඩාංගණ පහසුකම් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව ඇමැතිවරයා පැවසීය.
“ඔබ විශ්වාස කරන එකක් නෑ. යාපනය ප්‍රදේශයට ගෘහස්ථ ක්‍රීඩාංගණයක් නෑ. ඒ නිසා මේ වසරේ ප්‍රදේශ කිහිපයකට ගෘහස්ථ ක්‍රීඩාංගණ ලබා දීම කෙරෙහි අපේ අවධානය යොමුකොට තිබෙනවා. යාපනය ගෘහස්ථ ක්‍රීඩාංගණය මේ වසරේදී ඉදි කිරීමට සැලසුම් කොට තිබෙනවා” ඇමැතිවරයා කීය.
එමෙන්ම රටපුරා ක්‍රීඩාව නංවාලීමේ අදහසින් ක්‍රීඩාංගණ 100ක් සංවර්ධනය කිරීමේ කටයුතු මේ වසරේ ආරම්භ කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. ඉදිරි අය – වැය මඟින් ප්‍රතිපාදන වෙන්කොට උසස් ප්‍රමිතියේ සින්තටික් ධාවන පථ 2ක් ඉදි කිරීමට ද කටයුතු යොදා ඇත. එක් සින්තටික් ධාවන පථයක් මහනුවර ප්‍රදේශයේ හා අනෙක් සින්තටික් ධාවන පථය කිළිනොච්චියට හෝ අනුරාධපුරයට ලබාදීමට සැලසුම්කොට ඇත.
පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති හෙයින් ඒ යටතේ දැනටමත් ක්‍රීඩා භාණ්ඩ බෙදාදීම සිදු කරමින් පවතින බවත් නිසි ප්‍රමිතියෙන් යුත් ක්‍රීඩාංගණ ඉදිකිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත් ඇමැතිවරයාගේ අදහස විය.
“ශ්‍රී ලංකාවේ සින්තටික් ධාවන පථ දෙකයි තියෙන්නේ. කොළඹ සුගතදාස හා දියගම ක්‍රීඩාංගණවල කෘත්‍රිම ධාවන පථ තියෙනවා. සුගතදාස ධාවන පථයේ දැන් දුවන්න බෑ. අපි බලාපොරොත්තු වෙනවා අලුතින්ම සුගතදාස ධාවන පථය ඉදි කරන්න. අපිට පොරොන්දු වෙන්න අමාරුයි හැම තැනකම සින්තටික් ධාවන පථ හදනවා කියලා. නමුත් ඉදිරි අය – වැය ප්‍රතිපාදන ලබා ගෙන මහනුවරට හා කිළිනොච්චියට හෝ අනුරාධපුරයට උසස් ප්‍රමිතියේ සින්තටික් ධාවන පථ 2ක් ලබා දීමට කටයුතු කරනවා. මහනුවර සින්තටික් ධාවන පථයක් ඉදි කළාම දිස්ත්‍රික්ක කිහිපයකට එයින් පහසුකම් ලබා ගැනීමේ වාසිය තියෙනවා” ඇමැතිවරයා පැවසීය.
පාසල් මට්ටමේ දක්ෂතා දක්වන දරුවන්ට ප්‍රාදේශීය මට්ටමේ දක්ෂතාවලින් ජාතික තලයට පැමිණ අනතුරුව ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබා ගැනීමට නම් කෘත්‍රිම ධාවන පථවල පුහුණුව අත්‍යවශ්‍ය වේ. මේ හේතුව නිසාම අවශ්‍ය පුහුණු පහසුකම් සංවර්ධනය කිරීම අරමුණු කර ස්ථාන කිහිපයක හෝ උසස් ප්‍රමිතියේ සින්තටික් ධාවන පථ ඉදි කළ යුතුව ඇත.


