ලෝක මල්ලවපොර ක්‍රීඩාවේ විශිෂ්ටයකු වූ හල්ක් හෝගන් මියයයි.

සමස්ත ඇමරිකානු මල්ලවපොර ශූරයකු මෙන්ම 80 හා 90 දශකවල මල්ලවපොර ක්‍රීඩාව ලොව පුරා ජනප්‍රිය කරලීමට දායක වූ වෘත්තීමය මල්ලවපොර ක්‍රීඩකයකු වන හල්ක් හෝගන් හෘදයා බාධයකට ගොදුරු වී පසුගිය (24) වැනිදා මියගොස් තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පිහිටි සිය නිවසේදී හෘදයා බාධයකට ගොදුරු වීම් හේතුවෙන් සන්ස්ටාර් ටු මොටෝන් ප්ලාන්ට් රෝහල වෙත ගෙන යන අවස්ථාවේදී ඔහු මියගොස් තිබේ. මියයනවිට 71 හැවිරිදි වියෙහි පසු වූ හෝගන් ටෙරී බෝල්ලියා නමින් 1953 වසරේ අගෝස්තු 11 වැනිදා උපත ලබා තිබේ. 1980 හා 90 දශකවල සිටි දැවැන්තම වෘත්තීමය මල්ලවපොර ශූරයා වූයේ ඔහු වන අතර 2005 වසරේ දී ඔහු සිය ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශිෂ්ටතමයා යන අරුත දෙන ”හෝල් ඔෆ් ෆෙම් ” යන ගෞරවනීය නාමයෙන් පිදුම් ලැබීය. කෙසේ වුවද පිටතට කාන්දු වූ ඔහුගේ ලිංගික විඩියෝ පටයක් හා වාර්ගික අදහස් පළ කිරීම හේතුවෙන් අදාළ ගෞරවනීය නාමය හල්ක්ගෙන් ඉවත් කිරීමට මල්ලවපොර සංගමය විසින් පියවර ගෙන තිබූ අතර පසුව ඔහු 2015 වසරේදී ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අයැදීම හේතුවෙන් 2018 වසරේ දී එම ගෞරව නාමය නැවත ඔහුට ලබා දී තිබිණි.

බොහෝ දෙනකු හල්ක් හෝගන්ව හඳුන්වනු ලබනුයේ ඇමරිකානු පොප් සංස්කෘතියේ මිශ්‍රණයක් ලෙසිනි. මල්ලවපොර ක්‍රීඩාවෙහි යෙදෙනවිට රතු හා කහ ඇඳුම්වලින් සැරසුණු ඔහු වයස අවුරුදු 50 ඉක්මවන තෙක්ම ක්‍රීඩාවේ නිරතව සිට තිබේ. ඔහු සිය වෘත්තීය දිවිය තුළ දිනා තිබූ මල්ලවපොර ශූරතා සංඛ්‍යාව හයකි. ඔහු පසුගිය කාලයේදී හෘදයවස්තුව ආශ්‍රිත සැත්කම් කිහිපයකට ලක්ව සිටි අතර පසුගිය වසරේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ වේදිකාවටද නැඟ ඔහුට සහය පළ කර තිබිණි. හල්ක් හෝගන් ගේ මරණය සැල වීමත් සමගම මල්ලවපොර ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයෙන් හා හොලිවුඩ් සිනමාවෙන් ශෝක පණිවිඩ ගලා එමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. හල්ක්ගේ මරණය සම්බන්ධයෙන් ශෝක පණිවිඩයක් නිකුත් කර ඇති ලොව තිබෙන දැවැන්තම වෘත්තීමය මල්ලවපොර ක්‍රීඩා සංගමය වන ජගත් මල්ලවපොර විනෝදාස්වාද සංගමයේ (ඩබ්ලිව් ඩබ්ලිව් ඊ ) සම නිර්මාතෘවරයා වන වින්ස් මැක්මහොන් පවසා ඇත්තේ සිය සංගමයේ සිටි විශිෂ්ටතම මල්ලවපොර ශූර සුපිරි තරුව හල්ක් බවයි. ඔහු ගෝලීය සංසිද්ධියක් වින්ස් පවසා තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *