
එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසරයට සහ ආර්ථිකයට සිදුවූ දැවැන්ත හානියට වන්දියක් ලෙස ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් රජයට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය (24) වැනිදා නෞකාවේ හිමිකාර සමාගමේ දේශීය නියෝජිතයාට නියෝග කළේය. වසරක් ඇතුළත මෙම වන්දි මුදල මහා භාණ්ඩාගාරයට ගෙවා අවසන් කළ යුතු අතර, එහි පළමු වාරිකය ලබන සැප්තැම්බර් 23 වන දිනට පෙර ගෙවිය යුතු බවටද අධිකරණය නියම කළේය.
අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්
මෙම ඒකමතික තීන්දුව ප්‍රකාශයට පත් කළේ, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවය.
මෙම ව්‍යසනය වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීම තුළින් එවකට විෂයභාර අමාත්‍යවරයා, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය සහ වරාය අධිකාරියේ වගකිවයුතු නිලධාරීන් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවටද ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කළේය.
තවද, ගිනි ගනිමින් තිබූ නෞකාවට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවීමට අවසර දීම පිටුපස අල්ලස් ගනුදෙනුවක් සිදුවී ඇති බවට පාර්ලිමේන්තුවේ සහ සමාජය තුළ මතුවූ කතිකාවත සැලකිල්ලට ගත් අධිකරණය, ඒ පිළිබඳව මාස තුනක් ඇතුළත විමර්ශනය කර ප්‍රගතිය වාර්තා කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළේය. ඊට සමගාමීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද විධිමත් විමර්ශනයක් පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙස නියම කෙරිණි.
නැව් සමාගම විසින් ගෙවිය යුතු වන්දි මුදල් කළමනාකරණය සහ හානියට පත් පාර්ශ්ව සඳහා බෙදා දීම අධීක්ෂණයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුත් වන්දි පූර්ණ කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමටද නියෝග කෙරුණු අතර, පෙත්සම්කරුවන්ගේ නඩු ගාස්තු රජය විසින් ගෙවිය යුතු බවටද තීන්දු විය. මෙම නියෝග ක්‍රියාත්මක වන ආකාරය සමාලෝචනය කිරීම සඳහා නඩුව ලබන සැප්තැම්බර් 25 වන දා යළි කැඳවීමට නියමිතය.


