
පළමු ඇඟළුම
සුදු වූල් පසුබිම
සිඟිති නිල් තරු ඉහිරුණ
මේ පුංචි කමිසය
පුතු නුඹ පළමු ඇඟළුම
සිඹින විට ළං වී
දැනේ මතකෙක උණුහුම
පුංචි අත් මිටි කර
මහමෙරක් ගෙන ආ දින
සඳ!
චෙරි ගසක් පාමුල
පොරවා විසිරි මල් රැස
දිය කඩිත්තක් මැද
වෙහෙසවී නිදියයි, සඳ!
ලස්සන!
අධිවේගයක කලබල
යන එන තීරු මැද ඉඩ
පෙනෙන නොපෙනෙන දුරකට
හිස මල් ගැවසි තුරු පෙළ
හඳුනමි කනේරු ම බව
ඒත් හිනැහෙද්දී නුඹේ ලස්සන!
හෙල්මලී ගුණතිලක - Hot Chocolate days
https://hotchocolatedays.blogspot.com

බාමියන් නෙළුවෙ ඇයි අපි

අව්කනදි අපි නෙළුවේ
බුදු රදුන් නිදන ඒ
සන්සුන් වූ පිළිරුව
භාවනා කරමින්ය
උතුම් වූ බුදු ගුණම
නිවන විමසා ලබන්නට නම්
දර පලන්නම්
දිය ගෙනෙන්නම්
අපි
නිවන සිතටම අවබෝධයක් නම්
ඉනික්බිති නැවත නැවතත්
දර පලන්නම්
දිය ගෙනෙන්නම්
රජ වරුන්ගේ සිටු වරුන්ගේ
කහවනු නොමැතිවම
සසරින් එතර වන්නටම
භාවනාවන් කරමින්ම
නෙළුවෙමු ඒ මහා ප්‍රතිමා
අත රැදුණු කහවනුව
කුසගිනි නිවන අහර ටික
දුප්පතුන්ටම දෙමින්
අවකන් රටේදී ඒ
මිසදිටුවන් හිරි හැර
කරන විට මහණුන් ට
සටන් ක්‍රම උගත්තෙමු
බේර ගන්නට උන්ගෙන්
දම් පුරන අප මහ සඟුන්
දන් ටික උනුට බෙදනා
දිළිඳු අප බාමියන් ජනයා
වෙලා තියෙනා වෙලාවට
භාවනාවේ යෙදෙමින්ම
නෙලුවෙමුය ගල් කුලේ
බාමියන් මහා ප්‍රතිමා
දර පලන්නට මෙන්
දිය ගෙනෙන්නට මෙන්
සම්මා සමාධිය වඩා
උතුම්වූ ආලෝකය ලබන්නට
ලක්ෂ දහසක් යොදා ඒ හැදු
ලොව ලොකුම ඒ ශෛල පිළිමේ
හැදුවේ මහා ගලකත් නොවේමය
ඇතුන්ගේ ගල් පුරයේ දී ඒ
කන්නට දෙයක් නැති නිසා
දරුවන් ද කළු ගඟට
විසිකර තමන්ගෙද පන
නසා ගන්නා මව්වරුන්
සිටින්නා වූ රටකමය..........
-මෙය ලියුවේ ඇෆ්ඝනිස්ථානයේ බාමියන් අවට පැතිරුණ සෙන් බුදු දහම හා ඔවුන් සම්මා සමාධිය හා සම්මා සතිය වැඩුවේ සාමාන්‍ය ජිවිතයේ කාර්යයන් වල යෙදෙමින් ම යන්න ඉස්මතු කිරිමටයි. වැඩ කිරීම තුලින් සමාධිය වඩා නිවනට යන්න යනු ඔවුන්ගේ ස්ථාවරයයි.
බුදුන් ගේ ප්‍රතිමා ගල් කුළු වල නෙළුවේ භාවනාවට ආධාරයක් පිණිස බවට මතයක් පවතී.
"For the enlightenment chop wood, carry water. After enlightenment chop wood carry water."
වඩා දැන ගැනීමට මෙතනට යන්න .http://lifehacker.com/four-confusing-zen-quotes-and-what-you-can-learn-from-1676177538
අජිත් ධර්මකීර්ති - කොළඹ ගමයා බ්ලොග් අඩවියෙන්
https://kolambagamaya.blogspot.com

රස්සාව සරසවිය
අතර සිරවුණු සිතට
දහස් වරකට වඩා,
දැණුනා ජීවිතේ රළුකම
ජීවිතේ මහ දුකක්
සිතෙන හැම විටකදි ම
සිතේ රැඳි හැම දුකම
ඔහේ කීමට ඇවැසි
මිතුරෙක් උනා නුඹ
නමක් නැති මිතුරුකම
යහපතක් නොවන බව
දැනුණ හැම මොහොතෙදි ම
මැකුවා නුඹේ නොම්මරය,
රවා දුරකථනයට
දින ගණන් ගෙවී ගොස්
සිව්වසක් ගෙවුණු තැන
දුන්නා නුඹ ලොකු නමක්
අපේ මිත්‍රත්වයට
වසර ගණනක් ගියත්
දැනුණු විටකදී දුකක්
රවටගෙන මගේ හිත,
කියනවා අඩ අඬා
දරුවා මට ඇති කියා
එදා වාගෙම අදත්,
අසා ඔබ මගේ දුක,
හදනවා මගේ හිත
එතෙන ලෙස ගසට වැල
ඩ්‍රැකී - ඩ්‍රැකී ගේ අඩවිය බ්ලොග් අඩවියෙන්
පතිරූප දේශය

ලංකාව පතිරූප දේශයක්ද තව දුරටත්
නූගතුන් විසින් උගතුන්ව පාළනය කරන
මරණය සුලබ මිනිස්කම දුලබ
ජාති ආගම් භාෂා වලින් කොටු සදාගෙන
එකිනෙකා සැක කරන
එකිනෙකා මරා ගන්නා
විනාශය කරා ඇදෙන දේශය
නිශ්ශබ්ද වූ යහපත් මිනිසුන්ගේ නිසල හඞ පරයා
ඇසෙයි මහ හඞ ක්‍රියාශ්‍රීලී අතලොස්සක් වූ
සමාජයට මාරාන්තික අනර්ථකාරී අන්තවාදීන්ගේ
ඒ අතර වැදි බණ දෙසයි යථාවාදී තථාකාරී බවින්
බොහෝ සෙයින් ඈත් වූ කාමාග්නියේ ගැළුණු
පරපුටු පූජක හමුදාව
ගසාකයි දේශයේ සම්පත්
මහජන මුදලින් යාන වාහන මන්දිර
පිනට ලබාගත් දේශ පාළුවන්
මිරිකා යුශ උරා බොයි වවුල් හපයක් සේ
වෛද්‍ය රුවන් එම්. ජයතුංග - Transylvania බ්ලොග් අඩවියෙන්


