ගයන,රඟන , ඔබව අමතන වදන් කෝෂයක් වන් සංජීව

ටොරොන්ටෝව කේන්ද්‍ර කර ගනිමින් වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත විවිධ මාධ්‍යයන් හරහා සන්නිවේදන කටයුතුවල නිරත වන වැඩිපුර කතා බහට ලක් නොවන පිරිසක් ඉන්නවා . සමහර වෙලාවට සංවිධායක භවතුන්ට ඔවුන් මතක් වෙන්නේ ඔවුන්ගේ වචනවලින් කියන විදිහට " වැඩේ ඇදගෙන යන්නයි " . අඩුම තරමින් ඔවුන්ට කන්න බොන්න යමක් ලැබුණාද කියා හොයා ,  බලන්නටවත් ,  ස්තූතියි කියා කියන්නට වචන ගලපා ගන්නටවත් ඔවුනට වැඩසටහන  අවසානයේදී ඉස්පාසුවක් නැහැ . අප මේ ලිපි පෙල හරහා ඔවුන් ගැන ඔබ නොදත් තොරතුරු බෙදාගන්නට හිතුවා. අපේ වැඩේ සාර්ථක වෙන්නෙ ඔවුන්ගේ මහන්සියට ඔබේ පුංචි හිනාවකුත් එක්ක ඔබට දැනුනු අඩුපාඩු පෙන්නා දෙන එකින්. වෘත්තීය සන්නිවේදකයින් නොවන නමුත්  ඔවුන් ඒ ප්‍රතිචාර වලින් ඔබට කරන මෙහෙවර වැඩි දියුණු කරගන්නවාට කිසිම සැකයක් නැහැ.  ඒ වගේම ඔබට කිවයුතු තවත් කාරණාවක් තියෙනවා. අපේ මේ ලිපි පෙලට විවිධ වයස් කාණ්ඩවල, විවිධ ආගම් සහ දර්ශන අදහන, විවිධ ජාතීන්ට අයත් කැනේඩියානු ශ්‍රී ලාංකික පුද්ගල චරිත එකතු කර ගන්නේ කිසිදු පිලිවෙලකින් තොරවයි. ඒ වගේම කැනඩාවේ මේ වනවිටත් ක්‍රියාත්මක වන අපේ සහෝදර පුවත්පත් හරහා ඔබට මුන නොගැසුණු චරිතත්  මේ වෙනුවෙන් එක් කරගන්න අපි හැමවිටම උත්සාහ කරනවා. 

අද මම ඔබට හඳුන්වා දෙන්නේ  ටොරොන්ටෝව කේන්ද්‍ර කර ගනිමින් වෙසෙන ‍ශ්‍රී ලාංකික ප්‍රජාව  වෙත විවිධ මාධ්‍යයන් හරහා සන්නිවේදන කටයුතුවල නිරත වන කතාබහට ලක් නොවන "වැඩේ ඇදගෙන යන්න"  යොදා ගන්නා තවත්  අති දක්ෂ,  පූර්ණ කාලීනව නිවේදකයකු නොවන ප්‍රජා සම්ප්‍රේෂකයෙක්. විටෙක ඔහු ගායකයෙක්, තවත් විටෙක නිවේදකවරයෙක්. ඒ  වගේම තවත් වෙලාවක රංගන ශිල්පියෙක් ඒ කොහොම කිව්වත් ශ්‍රී ලාංකික ප්‍රජාවේ ටොරොන්ටෝ අවට උත්සවවලට නැතුවම බැරි කෙනෙක්. හිනාවෙන් මුව පුරවා ගත්, සරල, නිරහංකාර සංජීව අබේරත්නයන් එක්ක කල  කෙටි සංවාදයකින් මේ සටහන ලියැවෙනවා.

සංජීව නම් වූ ඒ අපූරු මිනිසා ඉපදෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ  මනරම් මාතලේ නගරයේ.  ඔහුගේ මව ගුරුවරියක්. ඔහුගේ පියා සීමාසහිත ගලෙන්බිඳුණු වැව සමූපාකාර සමීතියේ සාමාන්‍යාධිකාරවරයෙක්. ඔහු තදින්ම දේශපාලනයේ යෙදුණු නිසා ‍ඔහුට විවිධ අපහසුතාවයන්ට මුහුණ දෙන්නට සිදුවුනා වගේම  ඔහුගේ මවට ඉන් වුනු බලපෑමෙන්  මාතලේ දිස්ත්‍රික්කයේ තිබෙන සියලුම දුෂ්කර පාසල් වලට වරින් වර මාරු කිරීම සිදුවුණා. ඒ නිසා කුඩා සංජීව හැදී වැඩුනේ තම සහෝදරියත් සමඟ උඩුපිහිල්ල නම් ග්‍රාමයේ  පිහිටි ඔහුගේ ලොකු අම්මාගේ නිවසේ.  ඒ කාලේ ටොරොන්ටෝවේ මහා විහාරයේ  උඩුපිහිල්ල හාමුදුරුවනුත් පුංචියි කියල පොඩි මතකයක් ඔහුට තියෙනවා. කාලයක් ඔහු ජීවත් වුණේ ඇල්කඩුව ප්‍රදේශයේ ඔහුගේ තවත් ලොකු අම්මා කෙනෙකුගේ නිවසේයි. ඇල්කඩුව කියන්නේ ඉතාමත් සුන්දර හුන්නාස්  ඇල්ල ලඟ තිබෙන අති රමණීය ගම්මානයක්. ඉතා විශාල පරිසර විවිධත්වයක් ඇති නකල්ස් කලාපයේ ඒ පරිසරයේදී වෙනස් වෙනස් දේවල් දැක්ක ගන්න පරිහරණය කරන්න  අවස්ථාව ඔහුට ලැබී තිබුණා. ඒ පුංචි සංජීව හැමදාම ඔහුගේ මව පාසැල වෙත රාජකාරිය සඳහා පිටත් වන විට  දූක හිතිලා අඬනවා.  ඒ වෙලාවට ඔහුගේ ලොකු අම්මාගේ දියණියන් පුංචි  සංජීව නලවගත්තේ ගමේ පහළින් ගලා යන ඔයට අරගෙන ගිහින්. ඔයේ නානවා කියන එක තරම් දෙයක් පුංචි සංජීවට තවත් තිබුණේ නෑ. ඒ ඔහුගේ මතකයෙන් බිඳක්.  

ඔහුගේ පියා අවුරුදු විසිතුනක් අනුරාධපුරේ වාසය කල  නිසා ගලෙන් බිඳුනුවැව ව්‍යාපෘතියේ වැඩ කරන කාලයේ අනුරාධපුරයේ කොකා වැව ගම්මානයේ ඔවුන්ටම කියා නිවසක් තිබුනා. පාසල් නිවාඩු කාලයේදී ඒ ගෙදර වාසය කරන්නට ඔහුට තිබුණේ දැඩි ආසාවක්.  වැව් මාළු වල රස බලන්නත් , වැවේ කුඹුරේ පැන නාලා දඟලන්නත් ඔවුන්ට එහිදී ඕනෑවටත් වඩා ඉඩකඩ ලැබුනා. නිවාඩු කාලය ඔවුන්ට ඉතාමත් සුන්දරයි.  ගම්වැසියන් ඔවුන්ව බලන්න ගෙදරට එන්නේ කිරි මුට්ටියක් හෝ මාළු වැලක් එල්ලා ගෙන. අනුරාධපුරය  ඔහුගේ නිර්මාණ ජීවිතයට බොහෝ අත්දැකීම් එකතු කල කලාපයක් . ඒ පරිසරයේදී ලැබුණු  අත්දැකීම් හරිම සුන්දරයි. බයිසිකල් පැදීම, වැවේ පීනීම ඇළ දොළොවල්වල නැටීම පොළවල්වලට යෑමත්  නිසා මනසට ලැබුන නිදහසත්  පසු කාලීනව ඔහු කල නිර්මාණ කලාවට බලපාන්න ඇති.  

මාතලේ ශාන්ත ඇග්නස් කන්‍යාරාමය ඔහුගේ ප්‍රථම පාසැලයි. පළමුවන පන්තියේ සිට පස්වෙනි පංතිය දක්වා ගැහැණු ළමයින් පමණක් නොව  පිරිමි ළමුන් ද එහි ඉගෙන ගත්තා. එය කතෝලික පාසලක් වුණත් එහි සිංහල, දෙමළ මුස්ලිම් ළමයින්ද එම පාසලේ ඉගෙන ගත්තා. ඒ ඒ අය තම තමන්ගේ ආගම සිහි කරන විට  නිශ්ශබ්දව ඔවුන්ට සහයෝගය දෙන්න අපිව පුරුදු පුහූණු කරලා තිබුණා. ඒ නිසා එකිනෙකාට ගෞරව කරන්න හොඳ විනයක් පවත්වාගෙන යන්න අඩිතාලම වැටෙන්නේ එතැනින්. අදටත් ඔහුගේ මිතුරන් අතර ඒ පාසලේ ඉගෙන ගත්තු යහළුවන්ද තවමත් රැඳී සිටින බව පැවසුවේ හරිම සතුටින්. සමහරු රටේ ඉහළ තැන්වල ඉන්න අය.කතිකාව අතරතුරු ඔහු තුසිත් රොෂාන්  ද සිල්වා මතක් කරන්න අමතක කළේ නෑ. තුසිත් කියන්නේ හෝඩියේ පන්තියේ පළවෙනි දවසේ එක ඩෙස්ක් එකේ වාඩි වුනු යාළුවො හතර දෙනාගෙන් එක් කෙනෙක්. ඒ යාළුකම කිසිදු අඩුවක් නැතුව අදටත් ඒ විදිහටම තියෙනවා. ගැහැණු පිරිමි කියල භේදයක් ඔවුන් අතර තිබුණේ නෑ. ඒ හැමෝම ඔහුගේ  මිතුරු මිතුරියන්. ජීවිතය වෙනස් කළ  කඩඉම, පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි ඔහු එයින් විශිෂ්ඨව සමත්ව, 1982 මැයි මාසේ 25 වැනිදා දෙවැනි වාරයේ මැද හරියෙදි වගේ ඔහුට කොළඹ  නාලන්දා විද්‍යාලයට ඇතුලත්වීමයි .  ඔහු හයවැනි ශ්‍රේණියට  ඇතුළත් වුණු ගමන්ම වාගේ ඔහුට සිදු වුණේ වාර විභාගයකට මුහුණ දෙන්න. එහිදී ඔහුට ඉතාම දක්ෂ ලෙස බුද්ධාගම  විෂයට ලකුණු 84ක් ලබා ගන්නට හැකියාව ලැබුණා. ඒ ලෙස වැඩි ලකුණු ගන්නට හැකි වුණේ කතෝලික පාසලක් වුවත්  මුල් පාසැලේදී බුද්ධගම  විෂය කිසිම අඩුපාඩුවක් නැතුව හොඳින් ඉගැන්වූ නිසා.  ඔහුට  බුද්ධාගම ඉගැන්වූයේ ප්‍රියානි මිස්. 

වර්තමානයේදී මෙන් ඒ කාලෙදි්  ශිෂ්‍යත්ව විභාගයට ළමයින්ව වෙහෙස කළේ නෑ. නමුත් පාසල්වල උපරිමයෙන්ම ඉගැන්වුවා. සංජීවට තවමත් තුන්වෙනි පන්තියේ ඇන්ජලා ගුරුමෑණියන් සහ හතරවැනි පන්තියේ ත්‍රීසා කන්‍යා සොහොයුරියන්ගේ නම් මතක තියෙනවා. ලිලියන් අමරතුංග නම් වු ගුරු මෑණියන්  ඔහුගේ පස්වන ශ්‍රේණියේ ආදරණීය ගුරුතුමියයි. එතුමිය නුවරඑළිය ප්‍රදේශයේ වාසය කළත් නිවාඩු කාලයේදී තම අතින් බෝඩිමට මුදල් ගෙවා ගෙන නේවාසිකව ඔවුන්ට උගන්වන්න රැඳී සිටියා. ඒ කාලයේ අමතර   ටියුෂන් පන්ති තිබුනේ නැහැ. ඒ වගේම කවුරුත් අමතර පන්ති සඳහා මුදල් අය කළෙත් නෑ.  ගුරුවරුන් ඔවුන්ට ලැබෙන මාසික මුදල වියදම් කරගෙන තමයි මේ පුංචි දරුවන්ට ඉගැන්වීම් කටයුතු කළේ . නිවාඩු කාලයේ ශිෂ්‍යත්ව පන්තිය පටන් ගන්න කලින් උදේම පාසලට එන ඔවුන්  එල්ලේ වැනි ක්‍රීඩා කරන්න පුරුදු වී සිටියා. ඒ කාලය හරිම සුන්දරයි.  තමන්ට කොළඹ නාලන්දාවට එන්නට මග පාදා දුන්නේ ආදරණීය ලිලියන් මිස් බව සංජීව පවසන අතර අදටත් එම ගුරුවරුන් සමඟ ඔහුගේ සම්බන්ධතාවයන් පවතිනවා.

ඔහුගේ එකල විදුහල්පති තුමිය ලිලියන් මෙන්ඩිස් කන්‍යා මව්තුමිය මීට වසර කිහිපයකට පෙර අප අතරින් සමුගත් බව ඔහු පැවසුවේ ඉතාමත් දුක් මුසු ස්වරයකින්. එතුමිය මිය යන තුරුම එතුමියට කතා කරන සෑම අවස්ථාවකම දුරකථනය තබන විට ජේසු පිහිටයි කියා, පුතාට ඉතින් බුදුන්ගේ පිහිට කොහොමත් තියනවානේ කියල කියන්න ඇය  පසුබට වෙන්නේ නැහැ. දැන් කාලෙයේ ළමයින්ට කලාවට සම්බන්ධ වෙන්න  බොහෝ අවස්ථා තිබුනත් ඒ කාලෙ  එහෙම අවස්ථාවල් තිබුණේ නෑ. වර්ෂාවසානයේ  විවිධ ප්‍රසංගය තමයි ඔවුන්ට තිබුණ ලොකුම උත්සවය. ඔහු මතක් කලේ සුන්දර අත්දැකීමක්. දෙවන පන්තියේදි උත්සවයට පෙරහරක් තිබුණා.  සරමක් ඇඳලා, පටියක් සහ  සුම්බරයකුත් බැඳලා වෙස්ට් එකක් ඇඳලා තමයි ඔහු කසකාරයට සැරසී සිටියේ.ඒ වගේම සංජීව ඉතාමත් ආදරයෙන් මතක් කල තවත් ගුරුතුමියක් හිටියා. ඒ තමයි මාතලේ චිත්‍රා ඒකනායක සංගීත ගුරුතුමිය. ඇත්තටම කියනවා නම් ඇය ඔහුගේ අක්කාගේ  සංගීත ගුරුතුමියයි. අපොස සා පෙළ සංගීත ප්‍රායෝගික  පරීක්ෂණ වලට සුදානම් කලේ ඇය තමයි.    

තවත් ලස්සන මතකයක් ඔහු එක්කලා. ඔහුගේ උඩුපිහිල්ලේ ලොකු අම්මාගේ ගෙදර කුස්සියේ කොට බැම්ම උඩ ඉඳගෙන ඇය ආහාර පිලියෙල  කරන තුරු සිංදු කියන එක තමයි ඔහුගේ විනෝදාංශය.  මොහිඳීන් බෙග්  මහත්මයාගේ " සකල සතම බොදු බැතියෙන් "  ගීතය තමයි ඔහු නිතරම මුමුණන්නේ. ඔහු ඒ කාලයේ දැනෙ සිටියේ සිංදු දෙකක් විතරයි ඒ " ඔබ කළ පාපේ දිළිඳුකමයි සහ සකල සතම බොදු බැතියෙන් " . ඔහුගේ ලොකු අම්මා මුළුතැන්ගෙයි වැඩ අවසන් වන තෙක් එම ගීත දෙක පනස් වරකට වඩා ගයනවා. ලොකු අම්මාත් ඔහු නවත්වන සෑම වාරයකදීම ආපහු කියන්න කියලා කියනවා. ඒ නිසාම ඔහුගේ ලොකු අම්මා තමයි ඔහුගේ මුල්ම රසිකාවිය ඔහුට ගීත ගැයීමට ආසාව ඇති කළේත් ඇයයි. ඔහුගේ මවට සහ පියාටත් හොදින් ගී ගයන්න පුළුවන්. පවුලේ හැම උත්සවයකදීම තාත්තා ගී ගයනවා. ඔහු වැඩිපුරම ගයන ගී දෙක තමයි නටපන් නයි හාමි සහ කුරුළු ගමේ කුරුළු ගෙදර කියන ගීත.

තවත් සිහි කළ යුතු සිද්ධියක් තමයි ඔහු ශිෂ්‍යත්ව  ප්‍රතිඵල එනතුරු මාතලේ  ශාන්ත තෝමස් විද්‍යාලයේ මාස එකහමාරක් පමණ ඉගෙනුම කර තිබුණා. ඒ අතරේ ලොකු අම්මාගේ පුතා, කුමාර අයියා නාලන්දා විද්‍යාලයට ඇතුලත් වන්නට අවශ්‍ය කරන  ඉල්ලුම් පත්‍ර සොයාගෙන ඉල්ලුම් කර තිබුණා.  එම පාසලේ ඉන්න ටික කාලෙදි කළ සංගීත පංතිය සහ කෘෂිකර්ම පංතියත්  හොඳට ඔහුට මතකයි. ඔහු මිරිස් පැළ සහ පොඩි පොඩි ගස් ජාති වවන්න පුරුදු වී සිටියා පමණක් නොව සාමාන්‍ය බෙහෙත් වර්ග කාබනික පොහොර වර්ග භාවිතය පාසලේදි ඉගැන්නු බව ඔහු පැවසුවා.  ඔහුට මතකයි පැල පණුවෝ කනවට දුම්කොළ තම්බලා වතුර දාන්න ඕනේ කියල.  ඒ කාලයේදී ඔහුගේ සීයා සුරුට්ටු බීලා කෑල්ලක් විසි කරනවා ඒව එකතු කරලා තම්බලා ඒ වතුර පැල වලට දාන්න පුරුදු වෙලයි ඔහු සිටියේ.  ඔහුට තවමත් මතකයි ඔහුගේ ළමා කාලයේ හරිම සුන්දර තැන්.  දෙකේ පන්තියේදී සංජීව මාතලේ දඹුල්ල පාරේ වල්ලිල ගමේ ඉදි වුනු තමන්ගේම නිවසකට පැමිණෙනවා එතැන් පටන් සංජීවගේ ගම තමයි වල්ලිවෙල . වල්ලිවෙල ගම නුවර දඹුල්ල මාර්ගය නිසා ගල්වඩුකුඹුර සහ ගල්අමුණ වත්ත ලෙස කොටස් දෙකකට බෙදුනා. ඒකට හේතුව අපේ වතු වල තියෙන්නේ තනිකරම හුණු ගල්. මාතලේ කොහොමත් ඩොලමයිට් වලට ප්‍රසිද්ධයිනෙ. ගම මැදින් ගලා යන ඇලට උඩින් තිබෙන පාලම සහ කුඹුරු යායත් එක්ක දිස්වෙන මාර ගස් පේළිය නිසා දකින්න ලැබුණේ හරිම සුන්දර දර්ශනයක්.

අපේ වතුවල ලිඳවල් තිබ්බට වතුර බොන්න බෑ. ඒවායේ වතුර කිවුල් රහයි හුණු ගල් නිසා. මුළු ගමම වතුර බිව්වේ සහ නෑවේ ගමේ තිබුණු ලස්සන උල්පතකින්. ඒ උල්පත තිබුනේ නල්ලසාමි මාමගේ වත්තේ. ඔහු මුළු ගමටම වතුර බොන්න නාන්න උල්පත භාර දීලා තිබුණේ. අපි උල්පතට යන ගමන් ඔවුන්ගේ වත්තේ තියෙන පලතුරුත් කඩාගෙන කාලා සමහර වෙලාවට ඔවුන්ගේ ගෙදර ගිහිල්ලා ටිකක් වෙලා ඉඳලා යන්නේ. ලොකු රාජා අයියා, පොඩි රාජා අයියා, උංගා අක්කා, තේජා අක්කා කියන්නේ අපේම අය. 

ලොකු අම්මා හිටියේ අපේ ඉස්සරහ ගෙදර. එහේ නංගිලා මල්ලිලා තුන්දෙනයි. නැන්දලාගේ ගෙදර තිබුණේ දඹුල්ල පාර අයිනේ කන්ද උඩට වෙන්න. එහේ අයියලා අක්කලා අටදෙනයි. ඒ අතරින් පොඩිම හතර දෙනා තමයි තිස්ස අයියයි, බන්දු අයියයි, චූටි අක්කයි ,රේණු අක්කයි. ඒගොල්ලෝ තමයි අපිත් එක්කම හිටියේ. තිස්ස අයියයි බන්දු අයියයි තමයි ඒ කාලේ අපේ වීරයෝ. අධ්‍යාපන කටයුතු නිසා මගේ අක්කා ඒ වෙනකොටත් හිටියෙ උඩුපිහිල්ලේ ලොකු අම්මලාගේ ගෙදර . ඒ නිසා ගෙදර ආවෙ ඉඳල හිටලා. ඒ කාලෙ එයා හරි සැරයි. ඒ නිසා අපි වැඩියෙ එකතු නැන්දලගේ කට්ටියට. ඒත් අනේ දැන්නම් එහෙම නැහැ . ඔය කාලෙ තමයි අපේ මල්ලිත් ඉපදුනේ.

තිස්ස අය්යලා වැස්ස කාලේ ළඟ එනකොට කෙහෙල් කොටන් වලින් ලස්සනට පහුරු හදනවා. වැස්සට කුඹුර පිරුනහම පහුරු පදින්න අපි හරි ආසයි. කාඩ් ගහන්න, දාන් අදින්න, අමුණේ නාන්න, මාර ගස් උඩ ආට්ටාල හදන්න ඔවුන් දන්නවා.  අපිත් ඔවුන් සමග ඒ දේවල් කරල ඉගෙන ගත්තා.

එයාලා වෙසක් එකට කූඩු විස්සක් තිහක් විතර හදනවා. මුල් කාලේ අපිට හදලා දුන්නෙත් එයාලා තමයි.

මහ පාර අයිනේ   ලොකු මාර ගස් තිබෙන නිසා වෙසක් කාලයට ඔට්ටු පාල වලින්  ගැටගසා වෙසක් කූඩු සාදා  මාර ගස් වල කඹ දමා  එල්ලුවාම  අනුරාධපුර පාරේ යන මිනිස්සුන්ට  පේන්නේ මාර ගස් වල එල්ලල තියෙන ලොකු කූඩු.  එල්ලන්නේ බස් වලට උඩින් නිසා ඒව මිනිස්සු බල බල යද්දී ඔවුන්ට ඇති වන්නේ පුදුම ආසාවක්.  විවිධ වර්ගයේ වෙසක් කූඩු  හදන්නෙත් ලොකු අයියල. ඔවුන් දන්නවා අවුරුදු කාලෙට උණ වෙඩි දාන්නත්. උණබටය පදන් කරන හැටි හරිම අපූරුයි.  නැන්දලා ගෙදර තියෙන්නේ කන්ද උඩ නිසා එහි ඉඳලා උණ වෙඩි දානකොට මුලු ගමටම හොඳට ඇහෙනවා. අවුරුදු කාලෙට මුළු ගමම ප්‍රබෝධමත් ඒ නිසා ගමේ හැමෝම කුඹුරට එනවා එල්ලේ ගහන්න.  කුඹුරේ අනික් පැත්තෙ තියෙන්නෙ වොලිබෝල් ක්‍රීඩා පිටියක්.

කට්ටිය සෙල්ලම් කරනකොට  සමහර දිනවලට විදේශිකයන්ද නවත්වන්නේ ඒ ගම ලස්සන නිසාම විතරක් නෙවෙයි ලංකාවේ ගැමි ක්‍රීඩා බලන්නත් එක්කයි.   විදේශකයන් බස් එකෙන් බැස්ස ගමන්ම බන්දු අයියා කෙසෙල්  ඇවරියක් අරන් ඔවුන් වෙත දුවන්නේ ඉංග්‍රීසි කතා කරන්න තියෙන ආසාවට.ඒ දවස්වල කැඩි කැඩී ඉංග්‍රීසි කතා කරපු ඔහු තමයි පසු කාලෙක මාතලේ හිටපු හොඳම ඉංග්‍රීසි ගුරුවරයා වුණේ.

ලොකු ඉස්කෝලෙකට එනවා කිව්වම දෙමව්පියන්ට ඒක ලොකු දෙයක්.  ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා කියල උදම් ඇනුවාට ළමා මනසට  එය  දැනෙන්නෙක මහා පවක් කළා වගේ හැඟීමක්.  අදට ඔහුට  නාලන්දයට පැමිණීම ලොකු දෙයක් උනාට මුල් කාලයේදී ඔහු අඬපු නැති දවසක් නැති තරම් අඬපු නැති කෙනෙක් නැති තරම්.  අඬපු වාර ගාන බොහෝමයි අම්මා තාත්තාගෙන් වෙන් වෙලා ආවම ළමයින්ට දැනෙන්නේ එය මහා පාපයක් ලෙසට.  ඔහුට නේවාසිකාගාර පහසුකම් ලැබෙන තුරු  ගෙවල් තුනක හතරකවත් ඔහුට බෝඩිං ජීවිතය ගත කරන්නට සිදුවී තිබුණා.  ඒ ඔහු අසාධාරණය වෙනුවෙන් පෙනී සිටීම  නිසා.  බෝඩිම් ජීවීතයේදී හරිතාල් ප්‍රධානියා වී බෝඩිං වෙනස් කරපු වාර අනන්තයි. නේවාසිකාගාරයට ඇතුල්වීම  ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයයි. නාලන්දයේ හයේ පන්තියට සංගීතය ඉගැන්නුවෙ විශාරද එඩ්වඩ්  ජයකොඩි මහත්මයා   පුංචි කාලෙ සිට සංජීව ගායනා කළේ බෙග් මාස්ටර්ගේ ගීත දෙක. ඔහු වෙනත් ගීත පැත්තට හැරුනේ එඩ්වඩ් ගුරුතුමා හමු වුණාට පස්සේ.  හැමෝටම එඩ්වඩ් සර් තමයි අපේ සංගීත සර් කියලා කියන්නෙ හරි ආසාවෙන්. විනීතා කුරේ නම් තවත් සංගීත ගුරුතුමියක් ඔහුට මුණ ගැසී තිබුණා. එතුමිය ඔවුනට අම්මා වගේ . ඔහු හත්වැනි පන්තියේ සිටින කාලයේදී නේවාසිකාගාරයේ  ශිෂ්‍ය සංගමයක් තිබිලා තියෙනවා. එහි කටයුතු කාලයක්  නැවතී  තිබී   ජේෂ්ඨ ශිෂ්‍යයන් විසින් ආපසු සංගමය පටන් ගත්තා.  සංජීව ඔවුන්වද මතක් කළේ ඉතාමත්ම සතුටින්. වජිර,  ලිච්ඡවී, කපිල , අරුණ   නම් ඔවුන්  වචනයේ  පරිසමාප්ත අර්ථයෙන්ම සහෝදරයන්. ඔවුන් සමඟ ගතකළ ඒ සුන්දර අතීතයේ තවත් මතක සිටින තැන් ඇති බව ඔහු පැවසුවා. සමහර දිනවල නේවාසිකාගාරයේ විදුලිය විසන්ධි වෙනවා ඒ වෙලාවට කබඩ් වලට තට්ටු කර කර සිංදු  ගැයිමයි ඔවුන්ගේ  සතුට. ඒ ගායනාවත් සකල සතට  බොදු බැතියම තමයි. ඒ කාලයේදී නේවාසිකාගාර ශිෂ්‍ය සංගමයේ මුල්ම රැස්වීමේදී  ලිච්ඡවී විජේකෝන් සහෝදරයා ඔහුට පවසා තිබෙනවා උඹත් සින්දුවක් කියපන් කියලා.  පුංචි සංජීව ඒ වෙලාවේ එය තරයේම ප්‍රතික්ෂේප කර තිබුනේ, ඉදිරියට ඒමට තිබුණ බයට , ලැජ්ජාවකට. ඒ වෙලාවේදී ලිච්ඡවී අයියා ඔහුට ටිකෙන් ටික  සැරවෙලා අවසානෙදි කුණුහරුපෙනුත් බැනලා දුන්නු කනේ පාර නිසා  තමයි වේදිකාවට නැගල " සකල සතම " කිව්වෙ .  ඒ කාලයේදී ප්‍රවීන රංගන ශිල්පී වික්‍රම සෙනෙවිරත්න මහත්මයා ඔහුගේ නේවාසිකාගාරයේ නැවතී සිටියෙක්.  ඊට අමතරව රංගන ශිල්පී දිලීප් රෝහණ මහත්මයාද  නේවාසිකව සිටිය. ඒ තමයි එදා දරුවන්ගේ කලා කටයුතු අගය කල ගුරුවරු . එදා හොඳම ගායකයා බවට පත් වී තිබුණේ සංජීව.  නාට්‍ය තරඟයේදීත් ලකුණු අනුව රජතුමාගේ චරිතය නිරූපණය කළ ඔහුට තමයි වැඩිම ලකුණු තිබිලා තියන්නේ.  නමුත් අසාධාරණයක් නොවන පරිදිම සංජීව   හොඳම ගායකයා වූ නිසා වෙනත් ශිෂ්‍යයකුට හොඳම නළුවාට හිමි ත්‍යාගය පැවරී තිබුණා. ඒ අවස්ථාව තමයි ඔහුගේ ජීවිතයේ වෙනස් කළ දවස. ඊට පසුවයි පාසලේ කලා වැඩ කටයුතුවලට සහභාගිවීමටද  අවස්ථාව ලැබුණේ.  පුංචි  සංජීව ලොකු පන්ති වලට ඔහු පැමිණෙන විට හිටපු නැති  සංගමයක් නැති තරම්. ඒ නිසා ඔහුත් කොලු බාසාවෙන් “ සංගම් පාලුවෙක්” . ඒ කාලයේ හිටි තවත් සංගම් පාලුවෙක් තමයි මහාචාර්ය ජානක රුවන්පුර. ඒ සංගම් පාලුවෙක් වීමම සහ ඒ පළපුරුද්ද අදට සෑහෙන්න වටින බව ඔහු පැවසූවේ හරිම උද්දාමයෙන් . ඊට අමතරව විශාරද  එඩ්වඩ්  ජයකොඩි  ගුරුතුමා හමුවීම තවත් ඔහුගේ ජීවිතය වර්ණවත් කරන්න මඟ පෑදූ තවත් කාරණයක්. එඩ්වඩ් ජයකොඩි ගුරුතුමාට ඔවුන්ට උගන්වන්නට ලැබී තිබුණේ එක පාසල් වාරයක් පමණයි. ඔහුගේ ජීවිතේ දරාගත නොහැකිවු අවස්ථාවක් ගැන පැවසුවේ මදක් වේදනාත්මකව. ඒ ඔහු අට වැනි පන්තියේ ඉගෙනුම ලබන  අතර නිවාඩු කාලයේ ගමට ගිහින් ආපසු නේවාසිකාගාරයට පැමිණියේ දරාගත නොහැකි දුකකින්, වේදනාවකින්. ඒ දුක තුනී වෙන්නත් එක්ක   පාඩම් කරන වෙලාවේදී  ඔහුගේ ඩෙස්ක් එකේ යට තට්ටුවේ හොරෙන්ම කොලයක් හංගගෙන අම්මා ගැන සිංදුවක් ලියා තිබුණා. ඒ තමයි ඔහුගේ පළවෙනි නිර්මාණය. සංජීව එහි පළවෙනි පද දෙක මෙමිනුවේ හරිම ආදරයෙන් "ඔබ ගැන සිතනා මොහොතක් පාසා මගේ නෙතට කඳුලැලි එනවා.....,      අම්මේ   ඔබේ මුදු  වදන් ඇසෙන විට මගේ දුක තව තව වැඩි වෙනවා...."

ඒ සින්දුවෙන් කියවෙන්නේ අම්මල තමුන්ගේ දුක සඟවාගෙන ආසාවෙන් දරුවන්ව ළමයින්ව ඈත පාසලකට එව්වාට, ළමයාට  දැනෙන්නේ ළමයා කර්මයක් කරලා තියෙනවා වගේම හැඟීමක්. ඉන්පසු ඔහු දහය පන්තියේ අධ්‍යාපනය ලබන විට එඩ්වඩ් ගුරුතුමා දිනක් පාසැලට  පැමිණ තිබෙනවා. ඒ වෙලාවේ සංජීව ඔහු ලියු ගීතය කියා,  ඊට තනුවක් දමා හදල දෙන්නයි ඉල්ලීමක් කර තිබුණා.  ඒ කාලෙයේ එඩ්වඩ් ගුරුතුමා නැවතී හිටියේ තිඹිරිගස්යායේ පොලිස්  නිවාස වල ඔහුගේ අක්කාගේ නිවසේ.  ඔහුට එය පැවසු සැණින් සංජීවට කියා තිබුණේ සෙනසුරාදා දිනයක හමුවන ලෙස. ඒ අනුව කලින් කතා  කර ගත් පරිදි සංජීව, එඩ්වඩ් ගුරුතුමාගේ අක්කගේ නිවසට ගිහින් තිබුනා. එවිට ඔහු කිව්වේ මෙහෙ කලබල නිසා අපි චරිතාගේ ගෙදර යමු කියලා. ඊට පස්සේ දෙන්නම  චරිතා ප්‍රියදර්ශනී  පීරිස් මහත්මියගේ ගෙදරට ගිහින් තිබුණා. සංජීවට සර්ගේ කාර් එකේ නොම්බරය පවා මතකයි. 31 ශ්‍රී 6848 නිශාන් බලූබර්ඩ් කාර් එක.” මම ඒ වන විට චරිතා අක්කා ගැන අහල තිබුණේ හරි ආඩම්බරකාරියක් විදිහට නමුත් එයා ඉතාමත්ම නිහතමානීව එන්න මල්ලි ගෙට කියලා මාව පිළිගත්තා”  .  චරිතා මහත්මියගේ ගෙදර පරණ ගාම්භීර ගතියක් පෙනෙන ගෙයක්. ඇය ඔහුව පිළිගත් ආකාරය ඔහුට අදහගන්න බැරි තරම්. එදා ඒ ඇතිවුණු සහෝදරත්වය අදටත් පවතින බව සංජීව  පැවසුවේ හරිම ලෙන්ගතු බවකින්. පසුව ඔහුට ඒක පුද්ගල සංගීත ප්‍රසංගයක් පවත්වන්න තරම් දැවැන්ත කොටසක් කර ගන්න මුල පිරුණේ එතැනින්. පාසැල් කාලයේදී  ඔහු හිතුවේ පාසලෙන් ගන්න පුළුවන් උපරිමය රැගෙන ඒ වගේම දෙන්න පුළුවන් උපරිමයත් පාසැලට දෙනවා කියල. ඔහු කොයිතරම් පාසලේ බාහිර වැඩ කළාද කියනවා නම් ඔහුට 1999 දී පැවති උසස් පෙළ විභාගයට පෙනී සිටින්නට තරම් ශක්තියක් තිබුනේ නෑ. ඒ අවස්ථාවේදී එවකට හිටපු  ධර්මා ගුණසිංහ විදුහල්පතිතුමන් ඔහු පාසල වෙනුවෙන් කළ සේවයට කරන ගෞරවයක් ලෙස 1989 දී විභාගයට පෙනී නොසිට 1990 දී පළමුවතාව ලෙස පාසලෙන් ඉදිරිපත් වීමට අවස්ථාව දුන්නා. ඒ විතරක් නෙවෙයි නේවාසිකාගාරයේ වැඩිපුර අවුරුද්දක් ඉන්නටත් අවසර දුන්නා සංජීව පවසන විදියට මේ අවස්ථාව මීට පසු තව කෙනෙකුට ලැබුනාදයි යන්න ඔහුටත් සැකයි. ඔහු ස්තූති පූර්වකව මතක් කලේ . විජයපාල සිල්වා  ගුරුතුමාව. ඒ තමයි ඔහුගේ පාසැලේ තාත්තා.  නේවාසිකාගාරය භාරව හිටියේ ඔහු.  අම්මල තාත්තලා වගේ නිතරම ඔවුන් පිටිපස හෙවනැල්ලක් මෙන් ඉඳලා තිබුනේ එතුමයි. ඒ වගේ ගුරුවරුන් අද විරල බව සංජීව පැවසුවේ වේදනාත්මකව. ධර්ම ගුණසිංහ නම් වු නාලන්දා විදුහල්පතිතුමා නැවතී සිටියේත් පාසලේම නිසා පැය විසි හතරම වාගේ ඉස්කෝලේ හැමදේම කළා. විනීතා ගුරුවරිය තමයි ඔවුන් පාසැලේදී  අම්මා ලෙස සැලකුවේ.  උසස් පෙළ පන්තිවලදී ඔහුට තවත් අම්මා කෙනෙකු හමුවෙනවා. ඒ තමයි ඔවුන්ගේ උසස් පෙළ පන්තිභාර ගුරුතුමිය එහෙමත් නැත්නම් සිංහල ගුරුතුමිය ලතා මළලසේකර මහත්මිය. අපි බොහෝ දෙනෙකු දන්නා තුසිත මළලසේකර මහතාගේ ආදරණීය බිරිඳ. මුලින්ම හංස සංදේශය පොතේ කවි එකසිය අටක් තියෙනව දැකලා අපි හොඳටම බය වුණා. ඒ කිසි දෙයක් අපිට තේරෙන්නේ නැති නිසා. නමුත් ලතා ටීචර් අපිට හංස සංදේශය දිය කරලා පෙව්වා. සිංහල භාෂාව කියන එක අපේ ඇගේම කොටසක් බවට පත් කළා. පාසලේ සෑම උත්සවයකදීම සංජීව නිවේදකයෙකු ලෙස පුහුණු කරන්නට එතුමිය විශාල උත්සාහයක් දැරුවා. එතුමිය සංජීවට නිවේදකයකු ලෙස ඉදිරියට එන්නට උපරිම සහයෝගය දුන්න කෙනෙක්. අනෙක් ගුරුවරුන්ට හිස නොනමන චන්ඩි කොල්ලන් පවා ලතා ටීචර්ගේ වචන ඉදිරියේ පූස් පැටව් මෙන් දමනය වුණා. නාලන්දාව වැනි පිරිමි පාසලක උසස් පෙළ දරුවන්ගෙන් “අම්මා”  කියා අසා ගන්නට තරම් ඇය කොතරම් උසස් ගුරුවරියක් ද යන්න ඔබට සිතාගන්නට පුළුවන්.

කලා විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරූ ඔහු ගායකයෙක් විදිහටත් නිවේදකයෙක් විදිහටත් එවකටත් නමක් සාදාගෙන තිබුණා. සාමාන්‍ය පෙළ කරන කාලයේදී  කනිෂ්ඨ අංශයේ ශිෂ්‍ය නායකයෙකු ලෙස කටයුතු කර තිබුණු ඔහු ශරීරයෙන්  කුඩා නිසා එකළ  සමහර ගුරුවරුන් ඇසුවේ  ඔහුට වගකීමක් ගන්නට පුළුවන්ද කියන සැකෙන් නමුත් පන්තිභාර කුමාරසිංහ සර් සහ බාල දක්ෂ කණ්ඩායම භාරව සිටි සෙනෙවිරත්න සර් ඔහු ඒ කාර්යයට සුදුසු බව තීරණය කළා. බාලදක්ෂ  කණ්ඩායමේත් කැපී පෙනෙන සාමාජිකයෙක් වූ ඔහු තම කණ්ඩයේ නායකත්වයද දරා තිබෙනවා. 

සංජීව නාලන්දාවේදී ලැබූ ලොකුම ජයග්‍රහණයක් ලෙස ඔහු විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් බවට පත්වීම ඔහු සඳහන් කරනවා. ඒ තුළින් විද්‍යාලය තුළ ඔහුට ලැබුණු අභිමානය සහ පිළිගැනීම ගායකයකු සහ නිවේදකයකු ලෙස විද්‍යාලය තුළ ඉස්මතු වෙන්නටත් විශාල පිටුවහලක් වූ බව ඔහු සඳහන් කරනවා. ඒ කාලේ prefect බැජ් එක ගහගෙන අනිත් ළමයි ඉස්සරහ ඉන්නකොට දැනුනේ පුදුම අභිමානයක්.

ඒ වගේම පාසලේ ජන සන්නිවේදන ඒකකය භාරව ඉඳලා තිබුනේත් ඔහුම තමයි.  උදෙන්ම පාසලට ගොස්  දේශාභිමාන ගීත වාදනයට සැලැස්‌වීම ඔහුට පැවරී තිබුණු විශේෂ කාර්යක්. ඒ මතක ඔහු ළඟ ආසාවෙන් තාම තියාගෙන ඉන්නවා. කපිල චින්තක නම් වූ අද ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා "වඳුරු හබය" නම් නාට්‍යයක් නිර්මාණය කළ වේදිකාගත කලේ සමස්ත ලංකා නාට්‍යයක් ලෙස.  සංජීව නිරුපණය  කලේ පොතේ ගුරාගේ චරිතය. ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු කලේ ප්‍රවීණ රංගන ශිල්පි වික්‍රම සෙනෙවිරත්න ගුරුතුමා. සුන්දර මිනිසුන් සමඟ මාස ගණන් පුහුණුවීම් කටයුතුවල යෙදෙන්න දැඩි ප්‍රියතාවයක් දැක්වු සංජීව හොස්ටල් එකේදී "පාතාලයෙන් කලා ලොවට" නම් නාට්‍යයක් රචනා කොට අධ්‍යක්ෂණය  කර තිබුණා. ඒ කාලේ ගැහැණු චරිත කළෙත් පිරිමි ළමයින්ම තමයි.    

1986 දී නාලන්දාවට අවුරුදු හැටක් පිරීම නිමිත්තෙන් කානිවල් එකක් සංවිධානය කර තිබුණා. එහි සිංදු කියන්න ආසාවෙන් හිටියත් ඔහුට  වයසින් අඩු නිසා අවස්ථාවක් ලැබුණේ නෑ. නමුත් රොහාන් බුලේගොඩ තරුණයාට අවස්ථාව ලැබී තිබුනා. කානිවල් එකේ පස්වෙනි දිනයේ ගීතයක් ගායනා කරන්න කියලා ඔහුට අවස්ථාව ලැබුණා.  වේදිකාවට නගිද්දී පය වෙව්ලලා වැටෙන්නත් ගිහින් බේරුනේ අමාරුවෙන්.  චම්ලි පලිහේන නම් වූ අද ප්‍රධාන පෙළේ පොලිස් නිලධාරියකු වන එදවස සිටි දක්ෂ නිවේදකවරයා ඔහුව වේදිකාවට ගොඩකරවා ධෛර්යය ලබාදී තිබුණා.  එයයි ඔහු මුලින්ම එළිමහන් වේදිකාවේ ගීතයක් ගායනා කරපු දිනය.  “ සුපර් තරංගා”  නම් වාද්‍ය වෘන්දයත්  සමඟ  ගීත ගායනා කිරීම එතරම් අපහසු වී නෑ. නෙල්සන් අබේකෝන් නම් නිවේදකයා ඔහුගේ නම කතා කළ විට දැනුනේ විශාල චකිතයක් බයක්. නේවාසිකාගාරයේ මිතුරන් “ කමෝන් අබයා කමෝන්”  කියල කෑ ගහද්දි ඔවුන් දෙස බලාගෙනම දැඩි සෙනඟක් මැද්දේ පින්න මලේ ගීතයේ ගායනා කලා.

ඒ කාලයේ තමයි රොහාන් බුලේගොඩ නම් දක්ෂ ගායන ශිල්පියා නාලන්දයේ ප්‍රථමයෙන්ම උසස් පෙළට සංගීතය හදාරා තිබුණේ.  දෙවැනියට  සංගීතය හැදෑරූ ශිෂ්‍යයා තමයි සංජීව. ඒ බුලේගොඩගේ දැඩි පෙලඹවීම නිසයි . ඒ සංජීවගේ  ගැටවර කාලය  නිසා  වෙනත් පාසැලක කලා උලෙළකට ගිහින් සිංදු කිව්වාම ගැහැණු ළමයි ඉදිරියේ හරි ආඩම්බරයි ඔහු. ඒ අතරතුරුට දෛවෝපගත සිද්ධියක් ඔහුගේ මතකයට නැඟුනා. එවකට මළලසේකර ශාලාවේ පැවැති    වේදිකා නාට්‍යයක  නිවේදන කටයුතු බාරව සිටියේ ඔහුයි. නාට්‍ය  අවසානයේ ආපසු නේවාසිකාගාරයට එද්දි ඔහුගේ කබාය අමතක වී ආපසු ශාලාව වෙත ගිය  ඔහුට එතැනදී මුණ ගැසෙන්නේ  නාට්‍යයට පැමිණි සංගීත ශිල්පිනියක වූ චලනී  වික්‍රමසිංහ. ඇය ගෙදර යන්න සුදානම්යව ඇයගේ මිතුරියන්  එනකම්  බලාගෙන සිටි සංගීත විද්‍යාලයේ අවසාන වසරේ ශිෂ්‍යයාවක්.  එතැනදී ඇතිවු කෙටි හඳුනාගැනීමෙන් ඇය පවසා තිබුණේ අවුරුදු තුනකට පෙර තමන්ගේ උසස් පෙළ සංගීත පොත මිතුරියක් ඉල්ලාගෙන ගොස් එදින ඇයට ආපසු ගෙනත් දුන් බවයි. සංජීවට එය ඉහේ මලකි. ඔහු උසස් පෙල විභාගයට ඒ පොත භාවිතා කරමින් තමයි සංගීතය විෂයට තිබු ලිඛිත  පරීක්ෂණ කර තිබුණේ. ඒ කාලයේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව මඟින් කරගෙන ගිය මුතුහර ළමා සමාජයට එකතු වන්නට ඔහුට තිබුණේ බලවත් ආසාවක්.  ඒ ගැන සොයමින් ඉන්නා විට හෝමාගම මුතුහර ළමා සමාජය මඟින් සංවිධානය කල භක්ති ගී වැඩසටහනට සම්බන්ධ වන්නට ඔහුට අවස්ථාව  ලැබී සෝමසිරි ඉලේසිංහ  නම් වූ  අපුරු සංගීත ගුරුවරයාගේ පුහුණුවීමකට යන්න අවස්ථාව ඔහුට ලැබුණා. එවකට ඔහු ළමා සමාජයේ සාමාජිකයෙක් නොවුනත් සාමාජිකයෙක් වගේ ඉන්න කියලා උපදෙස් ලැබුණේ ඔහුව ඒ භක්ති ගී  කණ්ඩායමට ඔහුව  ඇතුළත් කර  ගත යුතුව තිබු අවශ්‍යතාවය නිසාමයි. සංජීවගේ බලවත් උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස නාලන්දා නේවාසිකාගාර රූපවාහිනි මුතුහර ළමා සමාජය අංකය 598  යටතේ  ආරම්භ කිරීමට ඔහුට  හැකි වී තිබුණා. ඉන් අනතුරුව උදාර වැඩසටහනේ ඔහුගේම ගීතයක්  ගායනා කරන්නට ඔහු සමත් වුණා. උදාර වැඩසටහනේ සින්දු ලිවීම,  ගායනය සහ සංගීතය සැපයීම යන සියලු දෑ කර තිබුණේ  ළමයින් විසින්මයි.  ඒ අතරින් මාතලේ නුවන්කා එරමුදුගොල්ල නම් උසස් පෙළ හැදෑරූ ළමයකු විසින් තමන් රෑ නිදි මරාගෙන පාඩම් කරන අතරතුර පුංචි කාලයේ මතක ඇසුරින්  රචිත ගීතයක් සංජීවට ලැබී තිබුණා. එහි පළමුවැනි පද හතර ඔහු ගයා පෙන්නුවේ මෙලෙසින්.  

"පොතපත අතරේ  නෙත රඳවා, 

පහන් කරන කළරැය නොනිදා, 

සිහිවේ සුන්දර ඒ බාලේ 

පියැඹු සමනලයන් වගේ".

මේ ගීතයට සංගීතය සපයා තිබුණේ දැනට අප අතර සිටින ජනප්‍රිය සංගීතඥයෙක් වන මහේන්ද්‍ර  පැස්කුවල්. ඔහුත් එවකට උදාර වාද්‍ය  වෘන්දයේ සාමාජිකයෙක්. උදාර වැඩසටහන පටිගත කලේ  1990 අගෝස්තු දහවෙනි දා. හරියටම උසස් පෙළ විභාගයට දින තුනකට පෙර. ඒ නිසා ඔහු ඒ ගීතය හදවතින්ම  ගැයුවා. ඇසේ මධුර ගී වැඩසටහන්වලටත් සහභාගී වෙන්න අවස්ථාව ඔහුට ලැබී තිබුණා. එකල ඔහු ගුවන් විදුලියේ සී  ශ්‍රේණියේ ගායකයෙක්. පාසල් කාලය නිමා කර විශ්ව විද්‍යාලය කරා යන්න තමයි ඔහුගේ බලාපොරොත්තුව වී තිබුණේ.  එයට හේතුව ඔහුගේ එකම බලාපොරොත්තුව  රූපවාහිනී මාධ්‍යවේදියෙක් වීම හන්දයි . කැලණිය විශ්ව විද්‍යාලයේ මාධ්‍යවේදී උපාධියක් ආරම්භ කර තිබුණේ ඒ කාලයේදි. විද්‍යා අංශයෙන් ම ඉදිරියට යන්න දෙමව්පියන්ගේ ඇවටිල්ල තිබුණත් කලා අංශයෙන්ම ඉදිරියට යෑම ගැන තිබුනේ අපමණ සතුටක්. දොස්තරලා වගේද එඩ්වඩ් ජයකොඩි සර්, කොයිතරම් පිළිගැනීමක් තියෙනවද ඔහු අම්මාට දීපු උත්තරේ එයයි.   උවමනාව හින්දාවෙන්ම කලා අංශයෙන්ම උසස් පෙළ කරන්න යෙදුන නිසා විශ්ව විද්‍යාල ඉල්ලුම් පත්‍ර සකස් කිරීමේදී  කැලණිය විශ්ව විද්‍යාලය පමණක් ම සටහන් කිරීමට ඔහු වග බලා ගත්තේ ඔහුගේ එකම බලාපොරොත්තුව ඉෂ්ඨ කිරීමේ මුවාවෙන්. එවකට ශ්‍රී ලාංකාවේ පැවැති  වාතාවරණය අනුව විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්නට අවුරුදු ගණන් ඔහුට බලා ඉන්නට වුනා. ඒ වනවිට ඔහු නැවතී සිටියේ ප්‍රවීණ ගායක මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ගෙදරයි . එය ඔහුගේ ජීවිතයේ තවත් කඩඉමක්. " ස්වර්ණා ඇන්ටියි , මිල්ටන් අංකලුයි මාව හොදින් බලාගත්තා. එතකොට රනිලුයි, තාරක මල්ලියි , හර්ෂණී නංගියි, තනූජා නංගියි මගේම සහෝදර සහෝදරයින් වගේ." එතැන භීෂණ සමයේ ගමේ සිටියාට වඩා ඔහුට වැඩි ආරක්ෂාවක් ලැබුනා.

නමුත් ඒ කාලයේ හොඳ දෙයකට වැය කරන්න ඔහුට අවස්ථාව ලැබුණා. බොහෝ වෙලාවට විහාරමහා දේවී උද්‍යානයේදී පැවතුණු ආදි ශිෂ්‍ය  සංගමයේ සංදර්ශනවලට දයාසිරි ගුණවර්ධනයන් ඔහුව නිතරම වේදිකාවේ රඳවා ගෙන තිබුණා. ආදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකත්වය ලැබීමෙන් සහ දයාසිරි ගුණවර්ධනයන්ගේ උදව්වෙන් මිනිස්සු අතරට යන්න, ගීත ගායනා කරන්න සහ නිවේදන කටයුතු වලට අවස්ථාව ලැබුණ ඔහුට කණිෂ්ට ආදී ශිෂ්‍ය සංගමයේ උප ලේකම් තනතුරට පත්වීම නිසා  වයසින් අඩුම තනතුරක් දැරූ පුද්ගලයා බවට පත්වී තිබුණා. ඒ හරහා සෑහෙන සම්බන්ධතා. ගොඩ නගා ගැනීමටද ඔහුට අවස්ථාව ලැබී තිබුණි. විශ්ව විද්‍යාල ප්‍රවේශය  ලැබෙන තෙක් සිටි ඔහුගේ අභිප්‍රාය වුයේ ඒක   පුද්ගල සංගීත ප්‍රසංගයක් පැවැත්වීමටයි.  ගෙදර පවුලේ උදවිය සමග සාකච්ඡා කරන අවස්ථාවක ඔහුගේ මව කියා තිබුණේ “ ලොකු මිනිස්සු කරන වැඩ ඔයා කරන්නෙ නැතුව නිකන් ඉන්න කියලා” . නමුත් එඩ්වඩ් ජයකොඩි ගුරු මහතාණන් සහ චරිතා සහෝදරියගේ උනන්දුවෙන් ගීත රචනා කිරීම, සංගීතය  යෙදවීම වැනි ප්‍රධාන දේ වලට ඔහුට උදව් කර තිබුණේ ලංකාවේ බොහොම දක්ෂ ජනප්‍රිය සංගීතඥයන් සහ ගීත රචකයන් වන රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර ,  අමරසේන කංකානම්ගේ, එච්. එම් ජයවර්ධන, බණ්ඩාර ඇහැලීගොඩ, චන්දික විජේසේන  වැනි ප්‍රවීණයන්. එය ඔහු ලද විශාල භාග්‍යයක්.  ප්‍රසංගය සඳහා ඔහුට අනේකවිධ සහයෝගයන් ලබාදුන්නේ නේවාසිකාගාරයේ සිටි යාළු මිත්‍රාදීන්ගෙන්.  කොළඹින් පටන් ගත් ඔහුට බෙන්තර, අම්බලන්ගොඩ, ගාල්ල,  මාතර, වලස්මුල්ල, ඇඹිලිපිටිය ඇහැළියගොඩ හරහා ආපසු කොළඹට එන විට සෑහෙන ප්‍රමාණයකින් වෙළඳ දැන්වීම් ලබා ගන්නට හැකි වී තිබුණා. පාසැලේ තිබුන “ Early Breeze”  නම් වූ සංගීත කණ්ඩායම සමග නායක චන්දික විජේසේනයන්ගේ උදව්වද ප්‍රසංගය සාර්ථක වීමට හේතුවක් උනා. ඒ කාලයේදී ඒක පුද්ගල ප්‍රසංග  ඕනෑ තරම් තිබුණත් තමන්ගේම ගීතයේ සංයෝජනයක් තිබුණේ නැහැ. 

ඔහුගේ පළවෙනි ප්‍රසංගයේ ගීත 16ම මුල් ගීත. සංගීත කණ්ඩායම ඔහුගේ පුහුණුවීම් වලට කිසිම අය කිරීමක් කර තිබුනේද නැහැ. 1992 ජූනි   26 වෙනිදා නාලන්දාවෙහි මළලසේකර ශාලාවේ  ඔහුගේ මංගල සහ දෙවන ප්‍රසංගයන් ඉදිරිපත් කළ  අතර එය මළලසේකර ශාලාවේ පැවැත්වූ ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගයයි.  ඔහු ඒ සඳහා යොදාගෙන තිබුනේ "රස පවස ඇත්තවුන් උදෙසා සංජීව අබේරත්නගේ  සවන මියුරු ගී" යනුවෙනි.  එහි ලෝගෝවද ඔහුට සාදා දී තිබුණේ හෝඩිය පන්තියේදී පළවෙනි දවසෙ හඳුනාගත්ත ඔහුගේ මිතුරා තුසිත් . බැනර්  ඇඳ දී තිබුණේ යාළුවන් මගින් හඳුන ගත්ත කැළණියේ නිමල් අය්යා .  නොවැම්බර් 27 වැනිදා  ප්‍රසංගය ඉදිරිපත් කළේ මාතලේ නගර ශාලාවේ දී.  ඒය සංවිධානය කර තිබුනේද ඔහුගේ මිතුරා තුසිත් බව ඔහු පැවසුවේ හරිම ආඩම්බරයෙන්.  ඔහුගේ සිව්වැනි ප්‍රසංගය 1996 නොවැම්බර් 24 වෙනි දින බොරැල්ල YMBA ශාලාවේදී පැවැත්වී තිබූණා..  අවුරුදු තුනක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා බලා සිටි ඔහු ඒ කාලය මිඩංගු කර තිබුණේ ඒ ආකාරයට. 1993 දී විශ්ව විද්‍යාලයට ප්‍රවේශ වීමත් ප්‍රසිද්ධ චරිත රැසක් ඇසුරු කරන්න අවස්ථාව ලැබුණේ තැනක්. නාලන්දාවේ 1990 පන්තියේදී හමුවූ සෙනේෂ් දිසානායක සහ විශ්ව විද්‍යාලයේදී හමු වූ සමන්ත  මල්ලවාරච්චි සමඟ  රැග් කාලයේ ඉතාම විනෝද ජනක ලෙස ගතකරන්නට ඔහු අවස්ථාව කර ගෙන තිබූණා. විශ්ව විද්‍යාලයේ සිටි අසූ නම්ය කණ්ඩායමේ මිතුරෙක් ඔහුට කියා තිබුණේ ගම මාතලේ නොකියා මරදානේ කුප්පියාවත්ත කියන ලෙසයි. සමන්ත ජීවත් වුණේ කොටුවේ සාංචිආරච්චි වත්තේ. සෙනේෂ් ද කුප්පියාවත්තේම වූ නිසා ඔවුන් තිදෙනා කොළඹ අයියලා ලෙස නම් කොට තිබුණා. ඒ නිසා ජ්‍යෙෂ්ඨ සිසුන් ඔවුන්ට ටිකක් බයවූ බව ඔහු පවසනවා.  ඒ කාලයේ වත්මන නම් වූ පත්තරේ නිදහස් ලේඛකයෙක්  විදිහට වැඩ කරන්න බලෙන් වගේම අවස්ථාව ලැබුණා.  ක්‍රීඩාවලට, පිහිනුමට දක්ෂතා තිබුණත් හොකීවලට යන්න කැමැත්තක් ඔහුට  තිබී නැහැ . පාසැල් හොකී ක්‍රීඩාවේදී වැඩි අනතුරු සංඛ්‍යාවකට මුහුණ පා හිටි නිසා.  මාතලෙන් ආපු නිසා බලෙන් වගේම හොකී කණ්ඩායමට ඇතුලත් කරගන්න ඔවුන්ගේ  කටයුතු කළා.  අකමැත්තෙන් පටන් ගත්තත් සංජීව සරසවි හොකී ගමන අවසන් කලේ කණ්ඩායමේ නායකත්වය දරමින් වර්ණ ලාභියෙකු ලෙසයි .

වැඩිපුර දේශනවලට සහභාගි නොවුනත්  හොකී පුහුණුවීම්වලට යන්න ඔහු අමතක කළේ නැහැ. ඔහුගේ දේශනවල සටහන් නිතරම ඔහුට ලැබී තිබුණේ යාළු ගැහැණු ළමයින්ගෙන්. ඔවුන් ඔහුගේ සහෝදරියන් වගේ හිටියා. සිතාරී,  ආශි, බට්ටි, චමිලා එහෙම ගොඩක් ළගින් හිටි අය. අපේ හැම දේටම සහය දුන් සංගීතවේදියා තමයි සිසිර ලියනවත්ත. ජනසන්නිවේදන අංශයේ අවසන් වසරේ ශිෂ්‍යාවක් වූ චූටි කුසුම් අක්කා හෙවත් කුංෆු කුසුම් අක්කා අමතක කරන්නම බැරි කෙනෙක් . අපි හැමෝටම විභාග කාලයේදී ගොඩ දාන්න උදව් කලේ ඇය තමයි.

කලා කටයුතු වලදී  සහ නාට්‍ය උළෙලට  මහන්සි වෙලා ලස්සන නාට්‍යයක් කර තිබුණා. " අව " නම් එම නාට්‍යය කලේ සෙනේෂ් දිසානායක, සංජීව එහි ප්‍රධාන චරිතයක් රඟ දක්වන ගමන්ම පසුතල නිර්මාණයත් කලා.  ඒ  කාලයේ භාෂා  අංශය සහ අනෙක්  අංශ අතර එතරම් සබඳතාවයක් තිබී නැහැ. නමුත් භාෂා අංශයේ ගැහැණු ළමයෙකු  වූ ශාමිනී  නාට්‍යයේ ප්‍රධාන චරිතයට පණ පෙවීම ඒ අංශ දෙක අතර සම්බන්ධය වැඩි දියුණුවට හේතු වී තිබුනා. නාට්‍යයේදී හොඳම දෙවන අධ්‍යක්ෂණයට සෙනේෂ්ට ලැබීමත්, හොඳම පසුතල නිර්මාණයට හිමි සම්මානය  සංජීවට ලැබීමත් එදා සිද්ධ උන විශේෂ සිදුවීම්. එම නාට්‍යයේ පසුබිම වුණේ ආදි ගෝත්‍රික චරිත  අළලා කරපු පරීක්ෂණයක්.  සංජීව ගේ චරිතය වුණේ ගෝත්‍රික නායකයාගේ චරිතය.  චාරී නම් වැදි ගෝත්‍රික කාන්තාවගේ චරිතය ඉදිරිපත් කළේ අර කියපු ගෑණු ළමයා ශාමිනී. ගෝත්‍රික පසුබිමක් වටා යමින්  පසුතලය සකස් කිරීම වෙනුවෙන් නාට්‍ය උළෙලේ හොඳම පසුතල නිර්මාණමාපකයා  බවට පත්වූයේද ඔහුමයි.  පාසල් කාලයේදී, පාසලෙන් ගන්න පුළුවන් දේ රැගෙන පාසලට දෙන්න පුළුවන් දේ දෙනවා යන අදහස සරසවියේදී වෙනස් කරන්නට සිදුවුනා . උපරිමය ගන්නවා යන අරමුණයි ඔහුට  තිබුණේ.  පාසැලේදී තර්ක ශාස්ත්‍ර විෂය  ඔහු කැමති විෂයක් නොවුනත්  බන්දුලසේන  ගුරුවරයාගේ  ඉගැන්වීමම  එම විෂයට කැමති වීමට සහ A සාමාර්ථයක් ලබා ගැනීමට හේතු වී තිබුණා. ඒ ගුරුතුමා ඔහුට කියා තිබුණේ ඔහුගේ පන්තියට ඉස්කෝලෙන් පස්සේ පැමිණෙන ලෙස.  පන්සලකයි ඒ පන්තියපැවැත්වුණත්   ඔහු මුදල් අය කර තිබුණේ නැහැ. පසු කලකදි සංජීවගේ මිත්‍රයෙක්ගේ නැගණියන්ට තර්ක ශාස්ත්‍ර විෂය ඉගැන්වීම සඳහා එම ගුරුවරයාට කතා කළ විට ඔහු කියා තිබුණේ ඔය ළමයම ඕක කරන්න කියලායි. ඉන් අනතුරුව  තර්ක ශාස්ත්‍ර විෂය අමතර පන්තියක් ලෙස සංජීව පටන් ගෙන වසර ගණනාවක්ම කර තිබුනා.

ඔහුගේ කථා වපසරිය පුළුල් නිසාවෙන්ම අපට මේ සටහන එක කලාපයකට සීමා කරන්නට බැහැ.සංජීව අබේරත්න  මහතා ශ්‍රී ලංකාවේදී ලැබූ මාධ්‍යය පන්නරය සහ කැනඩාවේ මාධ්‍ය සම්මාදම  ගැන වැඩිදුර විස්තර කියවන්න ලබන කලාපවලින් ඔබට කියවන්නට පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *