ටොරොන්ටෝ සිට වැන්කුවර් දක්වා Via-Rail දුම්රිය ගමන- The Canadian

පසුගිය මාසයේ මම කතා කලේ ටොරොන්ටෝ නගරවාසීන් අමන්දානන්දයට පත් කරනා චෙරි මල් ගැන. අද මම කතා කරන්න යන්නේ කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ සිට වැන්කුවර් නගරය දක්වා කිලෝමීටර් 4,822 (සැතපුම් 2,999), දින 4 ක් සහ රාත්‍රී 4 ක කාලයක් ගතවන මනස්කාන්ත Via-Rail දුම්රිය ගමන ගැන. "The Canadian" නමින් හදුන්වන මේ මනස්කාන්ත චාරිකාව කැනඩාවේ ඉතාම ජනප්‍රිය සහ ලොව දෙවන දිගම දුම්රිය ගමනයි. මේ දුම්රිය පටන් ගන්නෙ වසර 100 කට වඩා පැරණි ටොරොන්ටෝ යුනියන් දුම්රිය ස්ථානයෙන්. අවසන් වෙන්නෙ British Columbia ප්‍රාන්තයේ වැන්කුවර් නගරයෙන්.

මෙම සංචාරය සතියකට දෙවරක්, සෑම ඉරිදාවකම සහ බදාදා දිනකම පෙ.ව. 9.45ට පිටත් වෙනවා වගේම එය අතරමග නැවතුම් හතක නවත්වනවා. ඒවා තමයි Ontario හි sudbury Junction, Ontario හි Sioux Lookout, Manitoba ප්‍රාන්තයෙහි Winnipeg නගරය,  Saskatchewan හි Saskatoon නගරය,  Alberta ප්‍රාන්තයෙහි Edmonton නගරය,  Alberta ප්‍රාන්තයෙහි Jasper නගරය සහ British Columbia හි Kamloops නගරය.

අවංකවම කිව්වොත්, Union Station වලින් දුම්රියට අතුල්වනවාත් එක්කම තමයි මේ චමත්කාර ගමන පටන් ගන්නෙ. යුනියන් දුම්රිය ස්ථානයෙන් පිටව මිනිත්තු 10 ක් ඇතුළත ඔබ නාගරික පරිසරයෙන් මිදී ඊළඟ දිනයේ දහවල් Winnipeg වෙත ළඟා වන තුරු, කෙත්වතු, විල්, වනාන්තර වැනි ඉතාමත් සුන්දර දර්ශන සැතපුම් දහස් ගණනින් පසුකරද්දී අපට ඇතිවෙන්නෙ භාවනාත්මක හැගීමක්. ඇත්තටම මේ දුම්රිය අපට ලබා දෙන්නෙ බොහෝ දුරට විශ්වයේ සෙසු ප්‍රදේශවලින් වෙන්වූ වෙනස්ම ලෝකයක්. 

අපි කවුරුත් දන්නවා කැනඩාවට තියෙන්නෙ ඉතාමත් ස්වභාවික සහ සිත් ඇදගන්නා සුළු සුන්දරත්වයක්. නගරයේ තදබදයෙන් ඈත්වෙලා සශ්‍රීක වනාන්තර, තණබිම්, ගංගා, නිල් පැහැති  විල්, විශාල තණබිම් හරහා ගමන් කරන කොට ඔබට දැනෙන සන්සුන්භාවය සහ සාමකාමී හැඟීම ආශ්චර්යමත්. ඒ වගේම දුම්රියේ චලනයේ  රිද්මයානුකූල ඝෝෂාව, ස්ථාවර වේගය, ඇස් ඉදිරිපිට නිරන්තරයෙන් වෙනස් වන අවට දර්ශනය සමඟ ඒකාබද්ධව අද්විතීය හා විනෝදජනක අත්දැකීමක් අපට නිර්මාණය කරලා දෙනවා. මේ දර්ශන හේතුවෙන් ඔබට Phone අක්‍රිය කලාප හෝ Phone දුර්වල සංඥා කිසිවිටකත් මග හැරෙන්නේ නැහැ.

දුම්රිය සාමාන්‍යයෙන් රාත්‍රියේදී පැයට කිලෝමීටර 130ක් පමණ වේගයෙන් ගමන් කරන අතර දිවා කාලයේ වේගය පැයට කිලෝමීටර 60ක් දක්වා අඩු කරන්නෙ මගීන්ට අවට සුන්දරත්වය නිස්පාසුව විඳගැනීම සඳහා. සාමාන්‍යයෙන්, ඉන්ධන සහ අනෙක් සැපයුම් සඳහා ද දුම්රිය දිනපතා දෙතුන් සැරයක් නතර කරනවා.

මේ "කැනේඩියානු දුම්රිය" ඊලග දවසේ දහවල් විනිපෙග් දුම්රිය ස්ථානයට ලගා වෙන්නෙ පැය 3ක විවේකයක් සදහා. එය වසර 100 කට පෙර ඉදිකරන ලද දුම්රිය ස්ථානයක්. ඒ වගේම විනිපෙග් 1900 මුල් භාගයේදී ප්‍රවාහන මධ්‍යස්ථානයක්ව තිබුනු නගරයක්. මේ තමයි කෝච්චිය නගරයක නවත්වන එකම අවස්තාව. ඉතින් මගීන් Winnipeg නගරයට ගිහිල්ලා කෙටි City tours වල යන්න මේ කාලය යොදා ගන්නවා. Winnipeg වලින් පිට උනාට පස්සේ සම්පුර්ණයෙන්ම වටපිටාවේ දක්නට ලැබෙන්නේ සැතපුම් ගණන් දුරට විහිදුනු ඉතා විශාල  සිහිලක් දැනෙන වනාන්තර සමූහයන්.

 මේ දුම්රිය ගමනේ වඩාත්ම දර්ශනීය කොටස එළඹෙන්නේ Edmonton වලින් පස්සෙ. එඩ්මන්ටන් station එක තමයි වැන්කුවර්වලට පෙර නවත්තන අවසාන නැවතුම. අප ටිකට් එකට ගෙවන මුදල මෙතැන් සිට Vancouver දක්වා ටිකටම වටිනවා. දුම්රිය Jasper වලට ලගා වන විට, ඔබට ඇස් අදහා ගත නොහැකි තරම් මනස්කාන්ත අභිමානවත් සහ විශ්මයජනක රොකීස් කඳුවැටියේ පළමු දර්ශන පටන් ගන්නෙ. ඇත්තටම ඒ දර්ශනයට වසඟ වන අපිට ඇසි පිය හෙලන්නටත් අමතක වෙනවා.

VIA රේල් දුම්රියෙහි තිබෙනා විශාල ගෝලාකාර, කවුළු සහිත වීදුරුවලින් සැදු උඩමාලයට කියන්නේ panoramic cars කියලා. මේවා මගීන්ට පුර්ණ දසුනක් ලබාගන්න පුළුවන් විදියටයි හදලා තියෙන්නෙ. ඒකෙ ජනේල අඩි 6 ක් පළල සහ අඩි 6.5 ක් උසයි. ඇත්තටම, panoramic car එකේ ඉදගෙන පිටත නරඹන අතරතුරේ, ස්වර්ගයේ ඉන්නවා වැනි හැගීමක් තමයි අපිට දැනෙන්නේ.

Sleepers Plus පන්තියේ තිබෙනා නිදන කාමර සහ භෝජන රථයේ ආහාර හරිම අපුරුයි. උදෑසන ආහාරයේ සිට රාත්‍රී ආහාරය දක්වා, ඔබට එහි සිටින සූපවේදීන් විසින් නැවුම් ලෙස සකස් කරන ලද රසැති ආහාර වේල් තුනක් ලැබෙනවා. සෑම ආහාර වේලක්ම දුම්රියේදීමයි  පිළියෙළ කරන්නෙ. ඒවා ඉතා උසස් ඝනයේ ගුණාත්මක ආහාර. මීට අමතරව ඕනෑම වෙලාවක පරිභෝජනය කල හැකි පලතුරු, කෝපි, තේ, පලතුරු බීම වර්ග සහ අතුරුපස සඳහා පහසුකම් සපයා තිබෙනවා. තුන්වැනි පන්තියේ මගීන්ටත් ඉතා සාධාරණ මිලකට හොඳ ආහාර වේලක් මිලදී ගන්න පුළුවන්.

කැනඩාව හරහා යන මේ ගමනේදී, මොහොතින් මොහොතට අප ඇස් ඉදිරිපිට වෙනස් වන දැවැන්ත පරිසරයේ අතිවිශාල විවිධත්වය අපට ලබාදෙන්නෙ අපුර්වතම අත්දැකීමක්. කැනඩාවේ ස්වාභාවික පරිසරයෙහි  වටිනාකම ඔබට පෙන්වා දෙනවා වගේම ඒ මනරම් දර්ශන නැරඹීමේ වාසනාවද ලබා දෙනවා. දුම්රිය තුල ඔබට තියෙන්නේ පුදුම නිදහසක්, විවේකීව  panoramic car එකට ගිහින් පරිසරය විදගන්න පුළුවන් එහෙමත් නැත්නම්, ඒ ඒ කලාපයට විශේෂිතව හදාපු රසවත් ආහාර වේලක රස බලන්න පුළුවන්. නැත්නම් නිහඩ තැනකට වී පොතක් කියවන්න පුළුවන්. බොහෝ ලේඛකයින් මේ දුම්රියේ ගමන් කරන්නේ ස්වභාවධර්මයේ පරිසරයෙන් ලැබෙනා  මානසික සන්සුන් භාවය තුලින් නිර්මාණවලට පණ පෙවීමටයි.

සන්සුන් සුන්දරත්වය, පුළුල් තණබිම්, දිදුලන ජලය ඇති Louis විල, රොකී කඳුවැටියේ විශ්මයජනක දසුන් සහ වැන්කුවර් වෙරළබඩ චමත්කාරය වැනි විවිධාකාර භූ දර්ශන, සංස්කෘතික අත්දැකීම් සහ කැනඩාවේ සුන්දරත්වය ගවේෂණය කිරීමට ඇති අද්විතීය අවස්ථාව මේ ගමනින් ඔබට ලැබෙනවා. රටක් හරහා ගමන් කරනවා කියන්නේ ත්‍රාසජනක අත්දැකීමක්. නමුත් මේ ගමන  ඔබේ සුවපහසු කලාපය තුලම සදාකාලික මතකයන් නිර්මාණය කිරීමට මහගු අවස්ථාවක් කර ගන්න පුළුවන්. ඇත්තටම  එය සැබවින්ම අමතක නොවන වික්‍රමාන්විත සංචාරයක්.

මෙය සෑම කනේඩියානුවකගේම සිහින නිවාඩු සංචාරයක් උනත්, එහි මිල ගණන් හේතුවෙන් බොහෝ අය මේ ගමන මග හරිනවා. VIA Rail මගින් ගමනට ආසන්න දින ලගා වනවිට ටිකට් මිල අඩු කිරීමක් කරනු ලබන නිසා ඔබ නම්‍යශීලී නම්, අඩු මුදලකට මේ ගමන යා හැකියි. තුන්වැනි පන්තියේ නිදා ගැනීමේ පහසුව සදහා ඇදන් නොතිබුනත්, දිග හරිය හැකි ආසනව තරමක් පහසුවට නිදා ගත හැකියි.  

අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ, Toronto වේ සිට Vancouver දක්වා යන මේ ගමන තුලින් ඔබ ලබනා විවේකය, සෞන්දරාත්මක තෘප්තිය සහ සතුට ඔබ ගෙවනා මුදලට කෙතරම් සාධාරණයක් ඉටු කරනවාද කියා දැනගැනීමට නම් මේ ගමන අවම වශයෙන් ජීවිතයේ එක් වරක් පමණක්වත් අත්විඳිය යුතු යුතුයි කියලා. ඒ ගමන අවසානයේ ඔබට සහතික වශයෙන්ම දැනේවි මෙය කෙතරම් ආකර්ශනීය සහ සුන්දර ගමනක්ද කියලා.

නැවතත් හමුවනතුරු ඔබට ආයුබෝවන්!

මේ සටහන හා සබැදි යූ ටියුබ් දිගුව

ටොරොන්ටෝ-වැන්කුවර් Via Rail දුම්රිය ගමන-Amazing Via rail Train trip from Toronto to Vancouver🌎🌐🍁

https://www.youtube.com/watch?v=MvP7u_E0ga0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *