බෝට්ටු හෝටලයකින් කාලා බයිසිකලෙන් Amsterdam බලන්න යමුද ? වෙරළ කොනක හිද බලා හිදින්නට හියුරන් විලට යමුද ?

නෙදර්ලන්ත සංචාරයක මතකය

Amsterdam යුරෝපයේ තිබෙන ප්‍රධාන නගරවලින් එකක් වගේම සංචාරක වශයෙනුත් ඉතා වැදගත් තැනක්. ලන්දේසීන් ලංකාව පාලනය කල වකවානුවේ ප්‍රවාහන කටයුතු සදහා ඇල මාර්ග භාවිතා කල බව මා කියවා තිබෙනවා. Amsterdam නගරයේ ඇල මාර්ග ප්‍රවාහන කටයුතු සදහා භාවිතා කෙරෙන නිසා අපේ සංචාරයටත් බෝට්ටුවක තිබෙන අවන්හලක රාත්‍රී ආහාර වේලක් සදහා ඉඩ වෙන්වුණා. අපි ඒ ගැන පසුවට කථා කරමු.

Museum Square ( Museumplein)

ප්‍රධාන කෞතුකාගාර 3 ක් මැදි කරගෙන වෙන්වුණු මේ ඉඩ Amsterdam නගරයට එන කවුරුත් අතපසු නොකරන පොඩි විවේකයක් ගන්නට කියාපු තැනක්.The Rijks Museum, Van Gogh Museum සහ Stedelijk Museum මේ වටා තිබෙන අගනා කෞතුකාගාර 3 යි. ලෝකයේ ඉතාමත් වැඩි පිරිසක් පාපැදි ප්‍රවාහන කටයුතු සදහා භාවිතා කරන නගර අතුරින් එකක් ලෙස පරණ ඉංග්‍රීසි පාඩම් පොතක තිබුණු කථාව ඇත්තමයි කියල අපට තේරුණා.ඉතා අඩු මුදලකට පහසුවෙන් ඔබටත් එක තැනකින් අරගෙන තවත් තැනකින් දමා යාහැකි පාපැදි සේවා රැසක් සේම ඒ බයිසිකල් සදහා වෙනම මං තීරු, නැවතීමේ පහසුකම් හින්ද මෙහි තිබෙන පහසුම ප්‍රවාහන මාධ්‍යය බයිසිකල් තමයි.

 Van Gogh Museum

ඉතා ජනප්‍රිය චිත්‍ර ශිල්පී  Vincent Van Gogh විසින් කල සිතුවම් රැසක් එක්තැන් වූ මේ පරිශ්‍රය බිහිවුණේ 1962 දී Stedelijkකෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබුණු චිත්‍ර වෙනමම තැනකට ගෙන යාමෙන්. වැන්ගෝ ජීවත්ව සිටියදී අඩුවෙන් කතාවුණු ඒ චිත්‍ර පසු කාලීනව ජාත්‍යන්තර අවධානයට යොමුවුණු නිසා මේ පරිශ්‍රයේ ප්‍රවේශ පත්‍ර කලින්ම වෙන්කරවා ගන්න එක හොදයි.

Sex Museum ( Venustempel)

රාගික සහ ලිංගික කාර්යයන් නිරූපණය වන උපාංග සහ චිත්‍ර ඇතුලත් ලොව පළමු සහ පැරණිතම කෞතුකාගාරය වන මෙය වැඩිපුර කතා නොකරන , එහෙත්  මිනිසුන් සහ ගැහැණුන් වැඩිපුර හිතන ක්ෂේත්‍රයක් ගැන නිදහසේ හිතන රටක් ලෙස නෙදර්ලන්තය ලොවට පෙන්වන ප්‍රතිරූපය හුවා දක්වන එකක්. වයස අවුරුදු 16 ට වැඩි පිරිස් සදහා මේ පරිශ්‍රය තුලට යන්නට අවසර තිබෙනවා. ඉතා ජනප්‍රිය ලිංගික සේවා සදහා ලොව විවිධ රටවලින් පැමිණි ශ්‍රමිකයින්ගේ ආශ්වාදය ලැබිය හැකි රතු එළි කලාපය ( Red light District ) පිහිටා තිබෙන්නේත් මේ කිට්ටුවමයි.

Hash Marihuana & Hemp Museum

කංසා සහ ගංජා යන මත්ද්‍රවය නෙදර්ලන්තයේ නීතිගත කර ඇති නිසා පෞද්ගලික භාවිතය සදහා ඒවා  මිලදී ගත හැකි තැන් Amsterdam නගරයේ බහුලයි.ඒවායේ ඉතිහාසය සහ භාවිතය ගැන නිරූපණය වන කෞතුකාගාරයක් පවා මෙහි තිබෙන්නේ ඒ හින්දයි.පොදු පුවත්පත් මාධ්‍යයක තිබෙන සීමා මායිම් හින්ද ඒ ගැන සුළු සටහනක් පමණක් තබන්නට හිතුවේ අවශ්‍ය නම් ඔබට ඒ ගැන මෙවන් සංචාරයකදී තොරතුරු ලබාගත හැකි හින්දයි.

Heineken Beer Factory Tour

බීර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ලෝකයේ ප්‍රමුඛ පෙලේ ආයතනයක් ලෙස Heineken ප්‍රකටයි. බාර්ලි වලින් බියර් නිපදවෙන ආකාරය පියවරෙන් පියවරට ඔබට මේ සංචාරයේදී දැකගන්නට පුළුවන්. බීර ඉතිහාසය දැනගන්නා අතරේම බීර වීදුරුවක රස බලන්නත් ඔබට පුළුවන්. මෙතැන තිබෙන එක් විශේෂත්වයක් වෙන්නෙ විශේෂ නැරබුම් මැදිරියකදී හැම පැත්තෙන්ම විදුලි රූපවාහිනී තිර වලින් වටවුණු පරිසරයකදී ඔබට ලැබෙන ඩිජිටල් ප්‍රයෝග අත්දැකීමයි.

Anne Frank House

Annelies Marine Frank දැරිය ලියු දිනපොත දෙවන ලෝක සංග්‍රාමය සමයේ යුදෙව්වන්ට වූ හිරිහැර ගැන ලියැවුණු දුක්බර සටහනක්. 1945 පෙබරවාරි මාසෙ දවසක මියගිය ඒ දැරිය වෙනුවෙන් Anne Frank House

 නමින් මධ්‍යස්ථානයක් Amsterdam වල තිබෙනවා. දෙවන ලෝක යුධ සමයේ නාසි පාලනය හා යුදෙව් සංහාරය ගැන හද කකියවන තොරතුරු රැසක් නිරූපණය වන තැනක් විදිහට මෙතැන ලොව පුරා ජනප්‍රියයි.

 නෙදර්ලන්තයේ  Pancakes එහෙම කාල අපි මේ තැන් බලල එනකොට හොදටම හවස් වෙලා. අපි නගරයේ පැරණි දුම්රිය පොල ගාව තොටුපලේදී අවන්හල් යාත්‍රාවකට ගොඩ වුනේ ඇලවල් දිගේ ගිහින් නගරයේ අසිරිය බලන්න.

යාත්‍රාව නගරයේ විවිධ ප්‍රමාණයේ ඇල මාර්ග දිගේ හෙමින් යනවා. රෑ කළුවර වටපිට වෙලාගෙන තිබුණත් විදුලි බුබුළු වලින් නගරයම එළිය වෙලා. කෑම මේසවල දැල්වෙන කුඩා ඉටි පන්දම් එළි රතුපාට මේස රෙද්දත් එක්ක රෝමාන්තික පරිසරයක් මවනවා. හීන් සංගීතයක් පසුබිමින් වාදනය වෙනවා. යාත්‍රාවේ නියාමක වරිය නගරයේ විවිධ තැන් ගැන විස්තර කරනවා. ඒ අතරේ නවත්වලා තිබෙන විවිධ බෝට්ටු ගෙවල් ගැන කියනවා. වයින් වීදුරු එක්ක රෑ කෑම මේසවලට ගේනවා. අපි ඇලවල් දිගේ නගරය රස විදින ගමන් නෙදර්ලන්ත කෑම වේලක රහ බැලුවා, ඉඩක් ලැබුණොත් ඔබට මේ අත්දැකීම හැබැහින්ම විදගන්න කියල ආරාධනා කරනවා.

වෙරළ කොනක හිද බලා හිදින්නට හියුරන් විලට යමුද ?

ගිම්හානයේ  ජූලි සහ අගෝස්තු මාසවල සති  අන්තවලදී ටොරොන්ටෝ අවට ජීවත්වන ඔබට මේ ලිපියෙන් අළුත් තැනක් එහෙමත් නැත්නම් තැන් කිහිපයකට හරි ගිහින් පිරිසක් එක්ක විනෝද වෙන්න පුළුවන් නම් හොදයි. උදෙන්ම ගියොත් මේ තැන්වලදි ඔබට හොද ඉඩ කඩක් වෙන්කර ගන්න පුළුවන් වේවි.    

උතුරු ඇමෙරිකාවේ ඇති පංච මහා විල් අතරින් 4 ක කොටස් කැනඩාවට අයිති වෙනවා . මේ සටහනෙන් මම උත්සාහ කරන්නේ ලෝකයේ පිරිසිදු මිරිදිය පිරුණු විශාල විලක් වන හියුරන් විල ආශ්‍රිත තැන් කිහිපයක් ගැන කථා කරන්නයි. නිදහසේ එළිමහනේ ගතකරන්නට පුළුවන් ගිම්හාන කාලයට ගුල්වලින් එලියට ඇදෙන සත්තු වගේ නගරවල නිවාස වලට ගුලි ගැහුණු පිරිස් හොදම තැනක් හොයාගෙන සති අන්තවලට මේ විල්තෙර වලට යන්නෙ අපි වගේමයි .

දසත සංචාරයක මතකය මේ වෙනකොට පුරා අවුරුදු 5 ක් ඔබව විවිධ ඉසව් රැසක මතකයන් දිගේ දිගු ගමනක් ගිහින් තිබෙනවා . කැනඩාවේ රොකී කදුවැටිය වටා ගිය ගමනටත් , ඇමෙරිකාවේ  Grand Canyon වටා ගිය ගමනටත් ඉතා ඉහල ප්‍රතිචාර ලැබුණා . කැනඩාවේ බටහිර කොනේ වැන්කුවර් දූපතට ගිය අයත් , නැගෙනහිර කොනේ එඩ්වඩ් කුමාර දිවයිනට ගිය අයත් වගේම , ඇමෙරිකාවේ ඩිස්නි ලෝකය , නාසා , නිව්යෝර්ක් , වොෂින්ටන් , බොස්ටන් , ලොස් ඇන්ජලීස් නගර සංචාරය කල අයත් දැක්වූ අදහස් දසත අගය කරනවා . ඒ වගේම පැරීසියේ සංචාරක මතක සැබැවින්ම අත්විදි අය අප කල උත්ප්‍රේරණය වෙනුවෙන් ස්තූතිය පල කර තිබුණා . තවත් සමහරු කියල තිබුනෙ තවමත් ලංකාවේ පවුල් වෙනුවෙන් තියෙන කැපවීම් හින්ද වාර්ෂිකව ලංකාවට යනව මිසක් වෙනත් සංචාර සදහා ආයෝජනය කරන්න තරම් මුදලක් අතේ ඉතිරි වෙන්නෙ නැහැ කියල . මේ ඒ පිරිස වෙනුවෙන් ලියැවුණු ලිපි ගොන්නට වැටෙන තවත් එකක්. 

ටොරොන්ටෝ නගරයේ ඉදන් පැය 2 ක දුර රථ ධාවනයකින් ඔබට හොද විල් තෙරක් හොයාගන්න අමාරු නැහැ 

හියුරන් විල ( Lake Huron)

භූ විද්‍යාත්මකව එය පිහිටා තිබෙන්නේ උතුරින් සහ නැගෙනහිරින් කැනඩාවේ ඔන්ටාරියෝ පලාතට සහ බටහිරින් සහ දකුණු දෙසින් ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයට මායිම්වයි. එයට හියුරන් කියන නම ලැබිලා තියෙන්නෙ ප්‍රංශ දේශ ගවේෂකයින් එය සොයා ගනිද්දී එම ප්‍රදේශයේ සිටි ස්වදේශිකයින් සිහි වෙන්නයි. වර්ග කිලෝමීටර 59 590 ක විශාලත්වයෙන් යුත් මේ විලෙන් වර්ග කිලෝමීටර 36,010 ක් ඔන්ටාරියෝ පලාතට අයත් වෙනවා.සානියා (Sarnia) නගරය හැරුණාම මේ විලේ වෙරළ  තීරයේ බොහෝ කොටස් ජන ශුන්‍ය රක්ෂිත හෝ පෞද්ගලික ඉඩම් වලින් මායිම් වෙනවා . මේ විලේ උතුරු ප්‍රදේශයට අපි තවමත් සංචාරය කර නැහැ. ඒ ප්‍රදේශ වල සංචාරයක් කල අවස්ථාවක ඒ ගැන සටහනක් එක් කරන්නම්. 

විලේ නැගෙනහිර කොටසේ හියුරන් විලේ සීතල විදින්නට පුළුවන් ප්‍රධාන වෙරළ තීර කිහිපයක් තිබෙනවා .   The Pinery, Macgregor Point,Wasaga Beach, Grand bend,  Sauble Beach, Killbear මේ අතර ප්‍රමුඛත්වය ගන්නවා .  මේ අතරින්  වැඩි දෙනෙකුගේ කැමැත්තට අපි වැඩිපුර යන්නේ  Sauble Beach එකටයි . ඒ එහි වෙරළ තීරය පලල් හින්ද කට්ටියට හොදින් එකතුවෙන්න ඉඩ තියෙන නිසා සහ සෑහෙන ඉඩක් තියෙන නොගැබුරු දියතලය පහසුවෙන් නාන්න ඉඩකඩ සලසන හින්ද .

Pinery Provincial Park

කිලෝමීටර 10 ක් දිගට විහිදෙන වෙරළ තීරයක් තිබෙන මේ උද්‍යානය National Geographic සගරාව කියන විදිහට ලෝකයේ හිරු බැසීම බලන්නට පුළුවන් ලස්සනම තැන් 10 න එකක් . මනරම් වැලි කදු රැසක් තිබෙන මෙහි කිලෝමීටර 14 ක බයිසිකල් මං පෙත්, වගේම  ඇවිදින මංපෙත් 10 ක් තියෙනවා. ශීත කාලයට හිම මත ලිස්සා යන්නට මෙහි සකස් වෙන පාලිත හිම මංපෙත් කිලෝමීටර 38 ක් දිගයි

.

ඔබ මෙහි කදවුරු බිමක් හෝ RV Motorhome ජංගම නිවාස ඉඩක් වෙන් කර ගත්තොත් ශාක විශේෂ 800 ක් පමණ වගේම කුරුළු විශේෂ 300 කට වැඩි ගනනක් දකින්නත් පුළුවන්. දින කිහිපයක් කදවුරු බිම් හෝ ජංගම නිවාස වල පරිසරය විදින්නට ගත්තොත් ඒ සදහා අවශ්‍ය වැසිකිළි, නාන කාමර සහ මල ද්‍රව්‍ය බැහැර කරන පහසුකම්, ජලය සහ විදුලිය පහසුකම් මෙහි හොදින් තිබෙනවා. ඉඩ කඩ සීමිත හින්ද  කලින් අවුරුද්දේ දෙසැම්බර් මාසයේදී වෙබ් අඩවියට ගියොත් පහසුවෙන් ඉඩක් වෙන් කර ගන්න පුළුවන්.

( Day use Area ) දින පහසුකම් තිබෙන පරිශ්‍ර සුරතල් සතුන් ( Pet friendly ) සදහා පහසුකම් ඇති සහ නැති ලෙසින් වෙන්කර තිබෙනවා. ඒවායේත් මේස, කෑම සකස් කර ගත හැකි තැන් , ජලය සහ වැසිකිළි  පහසුකම් සහ රථ ගාල් මනා ලෙස සකස් කර තිබෙනවා. මේ උද්‍යානයේ තිබෙන වගුරුබිමේ සකස් කර තිබෙන ඇල මාර්ගයේ ඔබට කුලියට ගත්  Canoe, Paddleboat, Single or Double Kayak පදින්න පුළුවන්. බයිසිකල් මංපෙත් වල යන්නට සාමාන්‍ය, ද්විත්ව  සහ විදුලි බයිසිකල් කුලියට ගන්නත් පුළුවන්.     

https://www.ontarioparks.com/park/pinery

Macgregor Point Provincial Park

කිලෝමීටර 7 ක් දිග වෙරළ තීරයක් තිබෙන මේ උද්‍යානය මනා ජෛව විවිධත්වයකින් යුතු එකක්. කදවුරු බිම්, RV Motorhomes ජංගම නිවාස සදහා මෙන්ම දිනක කෙටි වෙරළ සංචාරයකට අවශ්‍ය මේස, කෑම පිසීමේ පහසුකම්, ජලය සහ වැසිකිලි පහසුකම් සහිත මෙහි සුරතල් සතුන් සමග මෙන්ම සුරතල් සතුන් සදහා පහසුකම් නැති පරිශ්‍ර තිබෙනවා. ප්‍රදේශයට ආවේණික සුවිශේෂ ශාක මෙන්ම ඉබි විශේෂත් මේ උද්‍යානයේ ඉන්නා හින්ද ඔබට මේ පරිශ්‍රය සතුටින් ගත කරන්නට පුළුවන් තැනක්.

ඉඩ කඩ සීමිත හින්ද  කලින් අවුරුද්දේ දෙසැම්බර් මාසයේදී වෙබ් අඩවියට ගියොත් පහසුවෙන් ඉඩක් වෙන් කර ගන්න පුළුවන්.

https://www.ontarioparks.com/park/macgregorpoint

Killbear Provincial Park

මේ උද්‍යානයේ නම් දිගු වෙරළ තීරයක් දකින්නට නැහැ. ගල්පර ගහණ මෙතැනට බොහෝ දෙනෙක් යන්නෙ ගල් උද ඉදන් වතුරට පනින්න. ඒ වුණත් තැනින් තැන වෙරළ කොටස් තියෙනවා. විදුලිය සහිත සහ රහිත කදවුරු බිම්  වගේම  රේඩියෝ සහ ශබ්ද වලින් නිදහස් කදවුරු බිම්,     ජංගම නිවාස සදහා අවශ්‍ය සියළු පහසුකම් මෙහි තිබෙනවා. ගල් සහිත කුඩා දූපත්වල තිබෙන පයින් ගස් බලන්න හරිම ලස්සනයි. ඇවිදින්න, බයිසිකල් පදින්න කිලෝමීටර 6 ක් දිග මංපෙත් මේ උද්‍යානයේ තිබෙනවා.

උද්‍යාන බලපත්‍ර,  වැඩි විස්තර සහ පහසුකම් වෙන්කරවා ගැනීම් සදහා  ඔන්ටාරියෝ උද්‍යාන වෙබ් අඩවියට යන්න.  

https://www.ontarioparks.com/park/killbear

Wasaga Beach 

කිලෝමීටර් 14 ක් දිගට විහිදෙන Wasaga Beach වෙරළ ලෝකයේ දිගම Freshwater Beach විදිහට වාර්තාගත වෙනවා . බොහෝ ක්‍රියාකාරකම් කරන්නට පුළුවන් මේ වෙරළ තීරය ටොරොන්ටෝ 

සහ තදාසන්න නගර වලට කිට්ටු හින්ද ගිම්හානයේදී හැමදාම කාර්ය බහුල වෙනවා 

මේ උද්‍යානය තුල කිලෝමීටර 50 ක් දිග ඇවිදින සහ බයිසිකල් මංපෙත් තිබෙනවා. ශීත කාලයට ඉන් කොටසක් Ski සදහාත් භාවිතා කරන්නට පුළුවන්. 2012 දී ඉදිකෙරුණු තොරතුරු මධ්‍යස්ථානය 1812 යුධ මතක සේම ප්‍රදේශයේ පාරිසරික සහ සංස්කෘතික වටිනාකම් දක්වනවා. මේ උද්‍යානය Blueflag ජාත්‍යන්තර තත්ව සහතිකය හිරකර ගත් පළමු පළාත් උදයානයද වෙනවා.

https://www.ontarioparks.com/park/wasagabeach

Sauble Falls Provincial Park

ඔබ මෙහි කදවුරු බිමක් හෝ RV Motorhome ජංගම නිවාස ඉඩක් වෙන් කර ගත්තොත්  ඒ සදහා අවශ්‍ය වැසිකිළි, නාන කාමර සහ මල ද්‍රව්‍ය බැහැර කරන පහසුකම්, ජලය සහ විදුලිය පහසුකම් මෙහි හොදින් තිබෙනවා. ඉඩ කඩ සීමිත හින්ද  කලින් අවුරුද්දේ දෙසැම්බර් මාසයේදී වෙබ් අඩවියට ගියොත් පහසුවෙන් ඉඩක් වෙන් කර ගන්න පුළුවන්. .Canoe, Single or Double Kayak කුලියට ගන්නත් පුළුවන්.

Sauble Beach Day use Area 

( Day use Area ) දින පහසුකම් තිබෙන කොටස වෙන් කරවා ගැනීමට වෙබ් අඩවියක් නැහැ. එය  පාලනය වන්නේ  Saugeen nation මගින්. නියමිත දිනයේදී එතැනට ගිහින් ඔබට වාහනයක් සදහා ප්‍රවේශ පත්‍රයක් ගන්නට පුළුවන්. ඊට පස්සෙ ඉඩ තියෙන විදිහට වෙරළ කොනක වාහනය නවත් වලා දවස විදින්න පුළුවන්. සීමිත වැසිකිළි පහසුකම් ප්‍රමාණයක් එහි තිබෙනවා.   

මේ ඉස්සව්වෙත් බොහෝ ක්‍රියාකාරකම් කරන්නට පුළුවන්. Sauble Sandfest මගහරින්නට නම් හොද නැහැ .

වාහන කිහිපයක්ම වුණත් එක ලග නවත්වලා හුළං වලින් ආවරණය වෙලා ගැහැණු උදවියට කරදරයක් නැතුව ඇදුම් මාරු කරගන්න වගේම එකට කෑම ගන්නත් පුළුවන් විශාල වෙරළක් Sauble beach වල තියෙනවා. සෙල්ලම් කරන්නත් වැඩි ඉඩක් හොයා ගන්න අමාරු නැහැ. ඒ වගේම සෑහෙන දුරකට කාට වුණත් නොගිලී නාගන්න පුළුවන් නොගැබුරු ලස්සන ජල තලයක් මෙතැන තියෙනවා.

Huron විල ආශ්‍රිතව තිබෙන තවත් ජනප්‍රිය වෙරළ තීරයන් කිහිපයක් ....

                      Providence bay Beach

Hilton Beach

Awenda Provincial Park

Sturgeon Bay provincial Park

SouthHampton Beach 

Kincardine's Station Beach

Inverhuron Provincial park

Lion's Head Beach

Grand bend Beach

ඒ කොහොම වුණත් මේ ගමන්වලදී  අපට බලපාන ප්‍රධාන කාරණය වෙන්නේ කාලගුණය තමයි . හොදින් පායලා තියෙන දවසක නම් ටිකක් උදෙන්ම යන්න වෙන්නෙ හොද තැනක් අල්ලගන්න . ඒත් එක්කම දැඩි සුළං තියෙන දවසක් නම් වැලි විසිවෙන හින්ද Barbaque කරන්න එහෙම අසීරු වෙනවා . ඒ හින්ද ඒ වෙනුවෙන් විකල්ප වලට සුදානම් වෙලා යන එක නුවණට හුරුයි .

සටහන අනුරුද්ධ වැලිගමගේ

 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *