සිංහල කෙටිකතාව - කළු කූඹි

ඇබිත්තං කළු කූඹියෙක් කම්පියුටර් ස්ක්‍රීන් එක දිගේ ඉබාගාතේ ඇවිදිනවා. කූඹියා වගේ තුන් හතර ගුණයක් විශාල අකුරු ටයිප් කිරීම එහෙමම නවත්තල මම උගේ අමන රස්තියාදුව දිහා බලන් ඉන්නව. ඉන්නෙ කොහෙද, යන්නෙ කොහෙද කියල තඹේකට මායිම් නොකරන නිදහස්, හිතුවක්කාර ප්‍රාණියෙක්, කම්පියුටර් ස්ක්‍රීන් එකෙන් ලක්ෂෙන් පංගුවක් තරම්වත් විශාල නොවෙන ක්ෂුද්‍රප්‍රාණියෙක් නිසා මගේ රාජකාරිය ලත් තැනම ලොප් වෙලා.
ඔන්න මට මේ කුඩා අමනයා ගැන කේන්තියක් මතුවෙනවා. දබරැඟිල්ලයි මහපටැඟිල්ලයි කූඹියා පිටිපස්සෙ පන්නනවා. ඌ පිටිපස්ස හැරෙන්නෙවත් නැතුව දුවනවා. දිවිල්ලෙන්ම අතුරුදහන් වෙනවා.
ඌ අතුරුදහන් උනේ කොහොමද? මම ඇඟිලි දෙක ඇහැට ලං කරල බලනවා. නියතුඩුවල කළුපාටට හිරවෙලා තියෙන්නෙ කළුකූඹියාගෙ අඬු කෑලිවත් ද? සමහරවිට මට නොදැනිම ඌ මහපටැඟිල්ල යට ඇඹරෙන්න ඇති. තලපයක් වගේ!
එහෙමත් නැත්නම් දබරැඟිල්ලෙ හැප්පිලා කම්පියුටරෙන් පහලට පෙරළුනා වෙන්නත් පුලුවනි. කම්පියුටර් ටේබල් එකෙනුත් බිමට වැටුනනම් ඌ දැන් අළු පාට කාපට් එක උඩ මුණින් අතට වැටිලා අඬු පඬු හතර අතේ විසිකරකර ලතෝනි දෙනව ඇති. එහෙමත් නැත්නම්. . . .
“සර්ගෙ කොෆී එක.”
සිරිපාලගෙ කටහඬට මම ගැස්සිලා පිටිපස්ස බැලුවා. කළු කූඹියව සිරිපාලගේ සෙරෙප්පුවලට අහුවෙලා තැලිලා ගියාවත්ද?!
“ඔහු බූවල්ලෙක් වැන්න. එක් පාදයකින් සහෝදර පුවත්පත් කලාවේදී වගීෂ තිලකරත්නගේ ලයට ගිනිබිඳින මේ කෲර පාලකයා තවත් අඬු යුගලකින් ගමේ පන්සලේ නව ධාතු මන්දිරයට මුල්ගල තියයි, සිල් ඇත්තන්ට තම උඩුකය සේයාරුව මුද්‍රිත බිත්ති ඔරලෝසු බෙදයි.”
අකුරු පේළිය ඇකිලිලා කුඩා කූඹි පේලියක්බවට රූපන්තරණය වුනා. ඉන් පස්සෙ ස්ක්‍රීන් එක පුරාම වමට, දකුණට, ඉහළට, පහළට, කෙලින් සහ ඇදේට ඉබාගාතේ ඇවිදින්න වුනා.
මම ඇස් දෙක තදින් පියාගෙන කෝපි උගුරක් උගුරෙන් පහලට තල්ලු කලා. උණු කෝපි දියරය උගුර පුච්චාගෙන පහලට ගලාගෙන යනවා.
“මචං, මට උඹ ගැන බයයි.”
වයිබර් චැට් බුබුලක් මොබයිල් ෆෝන් එක දෙදරවාගෙන පොප්-අප් වුනා.
“ලන්ච් ගත්තද?”
ඒක නොගැලපෙන ප්‍රතිචාරයක් තමයි. ඔළුව පුරා කළුකූඹි දුවන වෙලාවක ඒ අස්සට පත්තෑයෙක් වගේ නලියනලියා දෂ්ඨ කරන්න සම්භාවිතාවක් ඇති සංවාදයක් ඔබ්බවාගන්න මට කොහෙත්ම වුවමනාවක් තිබුනෙ නැහැ.
“මට උඹ ගැන බයයි. මං මහ නරක හීනයක් දැක්කා.”
ආයෙමත් මොබයිල් ෆෝන් එක දෙදරන්නේ මේසයත්, කීබෝඩ් එකත්, ඒ උඩ එහෙමෙහේ දුවන අත්දෙකත් කම්පනය කරවගෙන. මොබයිල් එකේ දෙදරිල්ලට කී බෝඩ් එක සහකම්පනය වෙනවා. එතකොට වගීෂගේ මරණය ගැන? සෙනෙවිගෙත්, තාරිගෙත් අතුරුදහන්වීම් ගැන?
මම අහක බලාගෙනම වයිබ්‍රේශන් ඕෆ් කලා. ඒ කියන්නෙ කම්පනය අවසන් කලා.
“නිදා සිටින්නන් ඇහැරවීම අපහසුය, එහෙත් ඒ නොකල හැක්කක් නොවේ. වඩා දුෂ්කර කාර්යය වන්නේ නිදා සිටින්නාක් මෙන් රඟපාන උදවිය ඇහැරවීමයි. මිනී කන ව්‍යාඝ්‍රයෙක්, සුරතලයට ඇතිකරන බළල් පැටවෙක් ලෙස කරන මාධ්‍ය සංදර්ශනය නිද්‍රාවෙන්ම අනුමත කරන ජනතාවක් යනු. . . . .”
ආයෙමත් කළු කූඹි. මම ලියලියා උන්නු ලිපිය එහෙමම නවත්තලා බැල්කනියට ගියා. එතනට බම්බලපිටියේ මුහුද පේනවා. මුහුදෙන් මිලියනේකින් පංගුවකටත් වඩා කුඩා බෝට්ටුවක් විසාල රළගෙඩි අතරේ ඉහල පහල යනවා.
අත් ඔරලෝසුවක් බඳින පුරුද්දක් මට කවදාවත් තිබුනෙ නැහැ. මේ වෙලාවෙ අතේ මැණික් කටුව වටේ එතිල තියෙන්නෙ මැදපු පොල්කටු කෑලිවලින් හදාපු බ්‍රේස්ලට් එකකුයි, රොකීගෙ බෙල්ලෙ තියන එකට වඩා පොඩ්ඩක් හීනි ඇලුමිනියම් පාට දම්වැලකුයි. පුරුද්ද මොබයිල් එකේ වෙලාව බලන එක. තුනයි හතලිස්පහයි.
මිස්ඩ් කෝල් දෙකක්. උණ සන්නිපාතෙ හැදිලා වගේ දඟලන වයිබර් සහ මැසෙන්ජර් අයිකන්. යූ ගොට් අ නිව් ටෙක්ස්ට් මැසේජ්.
“කෝල් කරපියකො. තමුසෙ මැරිලද ඕයි. මට බයයි.”
සුලු නොරිස්සුමක් එක්කයි මම ඇමතුම ගත්තෙ. ඒත්, ටකරං වහලෙකට වැහි බිංදු වැටෙන්නා වගේ හෙලෝ කියන්නෙවත් නැතුව ඒකි බනින විදියට මට හිනා ගියා.
“ඔලමොට්ටලයෙක් වගේ හිනා වෙන්න එපා ඕයි. තමුසෙට ඇත්තටම තමුසෙගෙ ජීවිතේ වටින්නෙ නැද්ද? අනික, අනික, ඇයි යකෝ අච්චර මැසේජ් එවද්දි කෝල් කරද්දි උන්නද මලාද නොකිය ගල්බීත වෙලා ඉන්නෙ?”
“මට ඇහුනෙ නෑ බං.”
“ඈ ඕයි, තමුසෙ බීරෙක්ද? හා. හා, එහෙනම් උඹ බීරෙක්මයි කියමු. මැසේජ් නොපෙනෙන්න ඇස් දෙකටත් හෙන ගහලද?”
ඒ වෙලාවෙ මට ටිකක් හයියෙන් හිනා ගියා. හිතල කල දෙයක් නෙමෙයි. හැබැයි නොහිතා කල දෙයක් කියන්නමත් බැහැ. කොහොමහරි මට හකහක ගෑවිල්ලේ හිනා ගියා. අන්න ඒ නිසයි එකපාරටම ඉකිබිඳුමක් පුපුරා හැලෙන්න ගත්තේ.
"ඒයි, හරකි, අඬන්න එපා බං. මොන මගුලක්ද?"
"උඹට, උඹේ ලිපිවලට උන් ඇහැගහගෙන ඉන්නෙ ආදිත්‍ය. ඇයි දෙයියනේ මම කියන දේ තේරෙන්නෙ නැත්තෙ? උඹට උඹේ ජීවිතේ වටින්නෙ නැද්ද ආදි? මං අහන්නෙ, ඇයි අර විශේෂාංග පිටුවට තීරු ලිපියක් දෙකක් ලියාගෙන පාඩුවෙ ඉන්න බැරි උඹට?"
ඒ ඒකි අඬනව මට ඇහුන පළමුවෙනි වතාව. ඒ නිසා මම තරමක් කලබල වුනා. ටිකක් නෙමෙයි, මම සෑහෙන්න කලබල වුනා.
"ආදිත්‍ය, මේ අහපන්. උඹට උඹේ ජීවිතේ වටින්නේ නැති වෙන්න පුලුවන්. ඒත් මට, මට උඹව වටිනවා."
අන්න ඒ වෙලාවෙ තමයි අකුණක් කෙටුවෙ. හරියටම මුහුද මැදට. මම වමට, දකුණට, මුහුද පේනතෙක්මානෙට ඇස් දිවෙව්වේ අර තනි බෝට්ටුවේ සලකුණක් හොයාගන්න. ඒත් සලකුණක් නොතියාම ඒක අතුරුදහන් වෙලා තිබුනා. සමහරවිට ඒ බෝට්ටුව රළගෙඩිවලට පැරදිලා දියබත් වෙන්න ඇති. එහෙමත් නැත්නම් මගෙ ඇස් මානෙන් එහා, මුහුදෙ කෙනහිලිකම් මැද්දෙ තවමත් යාත්‍රා කරනව ඇති.
"මං හවසට එනවා. දැන් ඔය චුරුචුරුව නවත්තගන්නවා." මම බෝට්ටුවේ ඡායාවක් ඇහැට අහුකරගන්න, මුහුද පුරා දුවන අතරේ කිවුවා.
"මටත් ආසයි නයෙක් අරින්න." ප්‍රාර්ථනා අහස දිහා බලාගෙන කියනවා. මම බලාගෙන හිටියේ මූදු හුලඟ එක්ක ඉහළ යන්න පොරබදින ඒකිගෙ ලා දුඹුරුපාට කොණ්ඩ කැරලි දිහා. කෘතිමව වර්ණ ගන්වලා තිබුනත්, ඒ කොණ්ඩ කැරලිවලින් මට දැනුනෙ ස්වාභාවික සුන්දරත්වයක්.
"ඕයි, මටත් ආසයි" ඒ කඩාපැනීම ඉවරවෙන්න කලින් මම අනපේක්ෂිත විදියට ඒකිගෙ තොල් දෙක හරහට දබරැඟිල්ල තියල තද කලා. වෙනදා වගේ කට මිරිකීමක්, නැත්නම් කුඩා කම්මුල් පහරක් නෙමෙයි. ඒ නිසා වෙන්න ඕනෙ ඒකි ඇස් දෙක දොඹ ගෙඩි වගේ ලොකු කරගෙන මගෙ දිහා බලාගෙන හිටියේ.
"ඇයි නයෙක්? කොම්බුවෙක්, උකුස්සෙක්, නැත්නම් ප්ලේන් එකක් අරින්න කැමැත්තක් නැද්ද?" මම මෙලෝ රහක් නැති ප්‍රශ්ණයක් ඉතාම රොමෑන්තික විදියට ඒකිගෙ කන ගාවට පහත් වෙලා අතඇරියා.
"කෙහෙල්මල"
එකි එහෙම කියන්නෙ කියාගන්න දෙයක් නැතිවුනාම කියල මම අත්දැකීමෙන් දැනගෙන හිටියා.
"නයෙක් උනත්, හුලං හමන අතට ඔහේ පාවෙන්න ඉඩදෙන්නෙ නැතුව, ඊට ප්‍රතිවිරුද්ධ අතට හුලං කපාගෙන යන්න ඉඩදෙන්න බැරිද?"
ප්‍රාර්ථනා ඇස්දෙක හීනි කරල, දෙබැම එකට ගෑවෙන නොගෑවෙන තරමට ලං කරන් මගේ සිතුවිලි පරිලෝකනය කරන්නා වාගෙ බැල්මක් වීසිකලා.
"පණ්ඩිත කතා" ඒකි ඊගාවට කිවුවා. "පැහිච්ච මෝඩ කතා."
මිනිස්සු, නානාප්‍රකාර මිනිස්සු මුහුදු වෙරළ පුරාම නිදහසේ එහෙ මෙහෙට ඇවිදිනවා. සරුංගල් අරිනවා. රැල්ල පාගනවා. පැටි වයසේ එවුවො වගේම හිතෙන් පොඩි ළමයි වුන මහ එව්වොත් තරඟෙට වැලි මාලිගා හදනවා. කඩල කනවා. අන්නසි අච්චාරු කනවා. පාට පාට අයිස්පලම් කනවා. හාදු දෙනවා.
මම ප්‍රාර්ථනාගෙ පිරුණු කම්මුලකට හාද්දක් දුන්න. හාද්දක් කියනවට වඩා දෙතොල් පහරක් කිව්වොත් තමයි වඩා නිවැරදි. කැළල් නොහිටින පහරක්.
ඉන් පස්සෙ ඒකි දෙබැම ඇකිලුවෙ නෑ. ඇස්ගෙඩි දෙක තඩි කරන් කන්න වගේ බලන් උන්නෙත් නෑ. වෙනෙකක් තියා ඇස් හීනි කලෙත් නෑ. ඒ වෙනුවට බෙල්ල පැත්තකට ඇල කරල, මූණ වම් පැත්තට හරවලා, විනිවිදින සුළු බැල්මකින් මාව සිදුරු කරන්න වුනා.
අන්න ඒ වෙලාවෙ ආයෙමත් අපි වටේ කළුකූඹි කැරකෙන්න පටන් ගත්තා. සරුංගල් අරින, රැල්ල පාගන, වැලි මාලිගා හදන, කඩල, අන්නාසි අච්චාරු, අයිස්පලම් කන කළු කූඹි. තම තමන්ගේ ලෝකවල ඉබාගාතෙ ඇවිදින කළුකූඹි. තම තමන් තුලටම, වඩවඩාත් ගැඹුරට ඇතුලුවෙන, තම තමන් තුලම සඟැවෙන කලු කූඹි. උන්ගෙන් අබැටක් තරම්වත් අවධානයක් නොලැබෙන නිසාම මට ඒකිගෙ ස්ට්‍රෝබෙරි සුවඳ දෙතොල ආක්‍රමණය කරන්න හිතුවටත් වඩා පහසු වුනා. කළු කූඹි ස්තර ගණනාවක් මැද්දෙන් අපි දීර්ඝ හාදුවක් තුලට කිමිදෙන්න ගත්තා.
ප්‍රාර්ථනාගෙ පිරුණු රෝස පාට තොල් අතරින් සිගරැට්ටුව ඇතුලටත් පිටතටත් ගමන් කරන හැටිත්, ඒ වඩවඩාත් දීප්තිමත්ව දැල්වෙන හැටිත්, උණුහුමැති දුම් වළලු ඉහළ නගින හැටිත් සමාධියකට සමවැදෙන්න අපූරු කමටහනක්. ඉතින් මම එරමිණිය ගොතාගෙන සමාධිගත වෙන්න උත්සහ කලා. ඇස් අඩවන් කරගෙන, කුඩා කෙඳිරීමක්වත් නොනගා ඉන්න තතනමින්, වරින් වර බර හුස්ම පහරවල් පමණක්ම පිට කරමින් මම සමාධිගත වුනා. තවදුරටත් ඒකිගෙ දෙතොලින් ස්ට්‍රෝබෙරි සුවඳ නොහමන එකම මට සමාධිගත වෙන්න උපකාරයක් වුනා.
ප්‍රාර්ථනා දෙතොල් උල් කරලා මගේ පපුව මැදට විසාල දුම් ගුලියක් පිම්බා. එක්වරම දරුණු ඇවිලීමක් හටගත්තා. උස් ගිනිදළු සිරුර පුරා විහිදෙනකොට, මද ගැස්සීමක් සහිත විදුලි කාන්දුවකින් සමාධිය අවසන් වුනා.
ඒකි නිකට දෙ'අත්ල මත තියාගෙන මා දිහා බලන් උන්නා.
"මමත් කළු කූඹියෙක් වෙනවා." මං පිරිසිදු සුදු තුවායක් ඉනවටා දවටා ගනිමින් කිවුවා.
"ම්හ්?"
"මමත් අර විශේෂාංග පිටුවට තීරු ලිපියක් දෙකක් ලියාගෙන පාඩුවෙ ඉන්න කළු කූඹියෙක් වෙනවා."
"ඒ ඇයි?"
"මට ජීවත් වෙන්න සිද්ධවෙලා තියෙනව. ප්‍රාර්ථනාවක් තියෙනව. නැද්ද? මම හිතන්නෙ, අද දවල් මගේ කම්පියුටර් ස්ක්‍රීන් එක උඩ අරගල කරපු කළු කූඹියට දැන් මොනව වෙලා ඇතිද? මට හිතෙන්නෙ, ඌ කම්පියුටර් ටේබල් එකෙන් පහල වැටිල සිරිපාලගෙ සපත්තුවට පෑගෙන්න ඇති. මට මේ වෙනකම් ඒක කල්පනා උනේ නෑ."
ප්‍රාර්ථනා මගේ උරහිසට උඩින් නැමිලා කනට කිට්ටු වුනා. කන් පෙත්තෙ තොල් ගෑවෙන නොගෑවෙන තරමටම.
"මම එහෙම හිතන්නෙ නැහැ."
"ම්හ්?"
"ඒ කළු කූඹියා මේ වෙද්දිත් උඹේ කම්පියුටර් එක ඇතුලට රිංගගෙන කෑල්ලෙන් කෑල්ල හෙමින් කාල දානව ඇති. සමහරවිට ඌගෙ වම් පැත්තෙන්, ගෑවි නොගෑවි ඉන්න පෙම්වතියකුත්, හරි හරි, අපි කියමු ජීවන සහකාරියක් එහෙමත් නැත්නම් සයිඩ් කික් එකක් කියල. ඒ දෙන්න දෙපැත්තකින් කම්පියුටරේ කාල දානව ඇති. කොහොමද ඒක?"
ඈ අඩක් හමාර කල සිගරැට්ටුව මා අතට දුන්නා. මම උස් වීදුරු දොර විවර කරගෙන බැල්කනියට ඇතුල් වෙද්දි මුහුදු හුලං වලට වඩා සියුම් හුස්ම පහරක් ගෙල පිටුපස උණුහුම් කරන්න වුනා. බැහැගෙන යන ඉර වියරු රත් පැහැයෙන් දැල්වෙනවා. කළු කූඹි පිච්චි පිච්චි ක්ෂිතිජය අද්දරින් මුහුදට වැටෙනවා.
"තනි කූඹියෙක්ට කරන්න බැරි ගොඩක් දේවල්, හවුල් සමාගමකට කරන්න පුලුවනි."
මම ලොකු දුම් ගුලියක් පිම්බා. වියරුවෙන් ගිනි ගනිමින් තිබුණු ඉර, ඒ දුම් ගුලියෙ දියවෙලා මුහුදට වැක්කෙරෙන්න පටන් ගත්තා
යශෝධා සම්මානි ප්‍රේමරත්න ( බස්සී )
බස්සීගේ නවාතැන https://bassigenawathana.blogspot.com/ බ්ලොග් අඩවිය
* අවසර ඇතිව උපුටා ගත්තකි .
ජීවන කතන්දර

තංගවේලු සර්
ඒ කාලයේ මා ඉගෙනීම කළේ ප්‍රදේශයේ තිබුණු උසස්ම විදුහල වන මතුගම මධ්‍ය විද්‍යාලයේය. ඒ 1952 වසරේදීය. පසු කාලයේදී, නිදහස් අධ්‍යාපනයේ පියාගේ නමින් එම විදුහල ආචාර්ය. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය ලෙස නම් කරන ලදී. මේ විස්තර කරන සිද්ධිය සිදුවන කාලයේ මා සිටියේ හත්වන ශ්‍රේණියේය. එවකට එම ශ්‍රේණිය නම් කරන ලද්දේ ‘ෆෝම් 2’ (Form 2) ලෙසටය. හයවන ශ්‍රේණිය ‘ෆෝම් 1’ (Form 1) විය. සාමාන්‍ය පෙළ ‘සීනියර් ස්කූල් සර්ටිෆිකට් ‘ (SSC) පන්තිය වූ අතර උසස් පෙළ හැඳින්වුයේ ‘හයර් ස්කූල් සර්ටිෆිකට්’ සහ ‘යු ඊ’ (HSC and UE) පන්තිය යන නමිනි.
අප ඉගෙන ගත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. ලීවීම, කියවීම, කතාබහ ආදී සියල්ලම ඉංග්‍රීසියෙනි. අපට සිටි ගුරුවරුද ඉංග්‍රීසි ව්‍යක්තව දන්නා අය වුහ. මේ කිසිවෙක් දැනට ජීවතුන් අතර නැත. අපගේ ගුරුවරු බොහෝ දෙනෙක් දෙමළ ජාතිකයින් වූ අතර පන්තියේද දෙමළ සිසුන් කිහිප දෙනෙක් සිටියහ එම සිසුන් සියලු දෙනාම විදුහල කිට්ටුව තිබුණු සෙන්ට් ජෝජ් වත්තේ වැඩකළ සේවකයින්ගේ දරුවන්ය. අප කිසි කෙනෙකු අතර ජාති භේදයක් හෝ පන්ති භේදයක් නොවීය.
අපට ‘ෆෝම් 2’ පන්තියේ ගණිතය ඉගැන්වූයේ තංගවේලු නම් දෙමළ ගුරුවරයෙකි. ඔහුගේ ගම් පළාත අපි නොදත්තෙමු. ඔහු ඉතාමත් දක්ෂ ගුරුවරයෙකු වූ අතර තරමක් කම්මැලි කෙනෙක් ලෙසද ප්‍රසිද්ධය. විනාඩි 40 ක පමණ ගණිත පාඩමෙන් විනාඩි 20 ක් පමණ ඉතාමත් හොඳින් උගන්වන ඔහු පන්තියට, පොතෙන් ගණන් 10 ක අභ්‍යාසයක් දී ඉතිරි කාලය මේසයට හිස තබාගෙන ගොරව ගොරවා නිදාගනියි. විනාඩි 15 කට පමණ පසු අවදි වන ඔහු පන්තියට මෙසේ ආමන්ත්‍රණය කරයි.
(මේ කතාබහ සියල්ල ඉංග්‍රීසියෙන් වුවත් සිංහලෙන් ලිවීමට කල්පනා කළා.)
“ළමයි දැන් වැඩ නවත්වන්.....න.....”
“අභ්‍යාසයේ ගණන් වලට හරි උත්තර මම කියනවා. රතු පැන්සලෙන් හරි වැරදි ලකුණු කර ගන්න.”
අප එම කාර්යය අවසන් කළ පසු ඔහු තවත් අමතක නොවන දෙයක් කරයි.
“ දැන් අභ්‍යාසයේ සියල්ලම හරි අය අත් උස්සන්න.”
අපේ පන්තියේ සිටි සියලු දෙනාම වාගේ පහේ ශිෂ්‍යත්ව ධාරීන්ය. පන්තියේ බොහෝ අය හරි උත්තර ලබාගනිති. ඒ කාලයේ කිසිම ශිෂ්‍යයෙකු බොරු කීමට හෝ කිරීමට යොමු වූයේ ද නැත.
“ඒ සියලු දෙනාම අභ්‍යාසයට යටින් වම පැත්තට වෙන්නට රතු පැන්සලෙන් ‘වෙරි ගුඩ්’ කියා ලියාගන්න”.
ඒ සමගම ඔහු එම වචන අකුරෙන් අකුර කියවයි . “වී ඊ ආර් ව්‍යි - වෙරි, ජී ඩබල් ඕ ඩී - ගුඩ්”. “වී කැපිටල්, ජී කැපිටල්”. “දැන් එයට යටින් කෙටි ඉරක් අඳින්න”
“ඊළඟට උත්තර පහ සිට නවයක් දක්වා හරි අය “ගුඩ්” කියා ලියාගන්න. අමතක කරන්න එපා, ජී කැපිටල්”.
“අනිත් අය කී දෙනෙක් ඉන්නවාද?. ඒ අය කිසි දෙයක් ලියන්න එපා”.
ඊට පසු ඔහු තවත් හාස්‍ය ජනක දෙයක් කරයි.
“දැන් කවුරුත් අභ්‍යාසයට යටින් මගේ අත්සන දමාගන්න”
මෙසේ කියන ඔහු පුටුවේ වාඩිවී සිටිමින්ම දිගාවී කළු ලෑල්ලේ කොනක ලොකුවට ඔහුගේ අත්සන ලියයි. ලියන ගමන්ම ශබ්ද නගා කියවයි.
“ කැපිටල් සී ඩොට් කැපිටල් ටී, (C.T) සීටී, ......... “සී. තංගවේලු”
“ඊට යටින් අද දිනය දමාගන්න”
පන්තියේ කව්රුත් රතු පැන්සලෙන් තංගවේලු සර්ගේ අත්සන ඔහු කී ආකාරයට යොදා, දිනය දමා ගනිති.
මෙම සත්‍ය සිද්ධිය අදට නම් නොගැලපෙනු ඇත. එසේ වුවත් මා දකින ආකාරයට ඔහු ඉගැන්වීම, අභ්‍යාසයක් කරවීම, ලකුණු කිරීම, ඇගයීම යන සියල්ලම පාඩමේදී කර තිබේ.
මේ වකවානුවේදී පන්තියක සිසුන් විසිපහකට වඩා සිටියේ නැත. එසේම ගුරු ගෝල සම්බන්ධයද දැනට වඩා වැඩිය. සිසුන්ද පෞද්ගලික ඉගැන්වීම් ගැන දන්නේවත් නැත. උත්තර හරි වැරදි බැලීමේදී රතු පැන්සලයක් යොදා ගත්තේ ඒ කාලයේ ‘බෝල් පොයින්ට්’ පෑන් නොතිබුණු නිසාය.

රන්ජනීගේ ආප්ප සාදය ..........
මෙයද විදේශයක ගුරු සේවයේ යෙදී සිටියදී සිදුවූ රසවත් සිද්ධියකි. ඒ කාලයේ විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි වැනි විෂයයන් සඳහා විශේෂ සුදුසුකම් ඇති අයට ‘වැටුප් රහිත නිවාඩු’ ලබා විදේශ රට වලට යාමට අවස්ථාවක් උදාවී තිබුණි. වසර දෙක තුනකට සීමාවූ මෙම කාලයෙන් පසුව ආපසු පැමිණ, මව් රටෙහි සේවය කිරීමට පහසුකම් සැලසිණ.
එසේ විදේශ ගතවී සිටි අප කිහිප දෙනෙකුට එකම වසරක අවසානයේදී තුන් අවුරුදු ‘කොන්ත්‍රාත්තුව’ අවසන්විය. මෙසේ සේවා කාලය අවසන් කර ආපසු එන අයට රටෙහි ඉතිරිවී සිටින අය කෑම වේලකින් සංග්‍රහ කිරීම පිළිගත් චාරිත්‍රයකි.
මෙවැනි සාදයක් සඳහා මටත් තව කිහිප දෙනෙකුටත් ආරියරත්න නිවසින් ආරාධනයක් ලැබිණ. ආරිගේ බිරිඳ රන්ජනීය. පවුලේ දියණියන් දෙදෙනෙකු සහ පුතෙක්ද විය. එවකට බාලම පුතාගේ වයස අවුරුදු හයක් පමණ විය.
රන්ජනී ගණිත ගුරුවරියකි. බොහෝවිට, කැපී පෙනීම සඳහා වැඩ කරන තැනැත්තියකි. එසේම තරමක් සැර කටක්ද ඇය සතු විය. රන්ජනීගේ ආරාධනය ලැබුනේ ‘ආප්ප ඩිනර්’ එකකටය. ආරි ගෙන්ද මේ බව දන්වා ටෙලිෆෝන් පණිවුඩයක් ලැබිණ. එසේ කෑම වේලක් සඳහා යනවිට තෑග්ගක්ද රැගෙන යා යුතු විය. එසේ නොකලොත් එම පුද්ගලයා ‘ඒ ඩබ්ලිව්. ඩබ්ලිව්’ (AWW) ‘අත වන වන’ එන අයගේ ගණයට වැටේ. (AWW ඒ රටේ සිංහල අය අතර භාවිත වූ යෙදුමකි)
මමද ගැලපෙන ආකාරයේ තෑග්ගක්ද, ළමයින් සඳහා චොකලට් ද රැගෙන සවස හය පමණ වන විට රන්ජනීලාගේ ගෙදරට ගියෙමි.
ගෙට ගොඩ වන විටම රන්ජනී කට පුරා සිනාසී මා පිළිගත්තාය. මම, ගෙනගිය තෑගි පාර්සලය ඇයගේ අතෙහි තැබුවෙමි. තෑගි බලාපොරොත්තු නොවන බවක් මෙන් පෙන්වූ රංජනී
‘මේ මොනවද? අපට තෑගි මොනවටද? මීට පස්සෙනම් අපේ ගෙදර එන කොට මේ තෑගි ගේන්න එපා’
කියමින් පාර්සලය අතට ගත්තාය.
කොහොමත් තව දින දෙකකින් ආපසු ලංකාව බලා පිටත් වන නිසා නැවත වරක් ඒ ගෙදරට ඒමට අවස්ථාවක් නොලැබෙන බව හොඳාකාර දන්නා මමද
‘හොඳයි ඊ ළඟ පාර ‘ඒ ඩබ්ලිව්. ඩබ්ලිව්’ එන්නම්කෝ’ යි
කියමින් සාලයේ පුටුවක හිඳ ගතිමි.
ඒ වන විටත් ආරාධිත අමුත්තන් තව කිහිප දෙනෙක්ම පැමිණ සිටයහ.
‘කතා කරකර ඉන්න. අපට ආප්ප හදන්න තිබෙනවා’
කී රන්ජනී කුස්සියට ගියාය. ආරාධනා ලබා පැමිණ සිටි තවත් කාන්තාවක්‌ද කුස්සියේ සිටින බව දැන ගතිමි. ආරිද සිසිල් බීම රැගෙන සාලයට පැමිණියේය. ආරාධිතයින් සියලු දෙනාම පැමිණි පසු රන්ජනීද වරින් වර සාලයට පැමිණ අදාළ නොවන යමක් පවසා කුස්සියට ගියාය. ගෙදර දරු දැරියන් සහ අමුත්තන්ගේ දරුවන්ද යාබද කාමරයක සාමුහික ළමා ක්‍රීඩාවක යෙදී සිටින බව වරින් වර ඇසෙන ඝෝෂාව නිසා සිතා ගත හැකි විය. දරුවන්ගෙන් බාලයා ම විය හැකි රංජනීගේ පුතා සිසිර නම් වරින්වර රන්ජනී ලඟටත් ආරි ලඟටත් යමින් යම් යම් දේ කොඳුරමින් සිටියේය. ඔහු කුඩා නිසා අන් අයගේ ක්‍රීඩාවෙන් ඉවත්කර ඇතැයි මම සිතුවෙමි.
තව ටික වෙලාවකින් ආප්ප පිරවූ බන්දේසියක්, කෑලිවලට කපන ලද හකුරු, කට්ට සම්බෝලයක් සහ තෝරමාලු කිරි හොද්දක්‌ද සමග සාලයේ පැත්තක තිබුණු මේසය මත තැබූ රංජනී සැමටම සප්පායම් වන ලෙස ආරාධනා කළාය. ළමයින්ද සමග පිරිස දොළොස් දෙනෙක් පමණ සිටියහ.
කව්රුත් ආප්ප දෙක තුන බැගින් බෙදාගත් විට, මොහොතකින්, පළමු ආප්ප තොගය අවසන්විය.
‘කව්රුත් හෙමිහිට කන්න. ආප්ප හදන්න තිබෙන්නේ තාච්චි දෙකක් විතරයි’ කී රංජනී ආරිට යමක් කණ ට කොඳුරා ගියාය.
‘ආප්ප කඩේ වහන්නද හදන්නේ. මම නම් තවම කෑවේ ආප්ප දෙකයි’ ‘එක්කෙනෙකුට ආප්ප දහයක් වත් කන්න වෙනවා බඩ පිරෙන්න’
සිරිල් ශබ්ද නගා කීය.
මේ වෙලාවේ සාලයට දුවගෙන ආ සිසිර පොඩි පුතා
‘අංකල්ලා ආප්ප ඔක්කොම ඉවර කරළා. අද දවල් ආප්ප මුට්ටියට වැටිලා හිටිය මීයාව අපේ අම්මා නැට්ටෙන් අල්ලලා මෙන්න මෙහෙම වීසි කරනවා දැක්කනම් ඔච්ච්ච්ර කන්නේ නැහැ’
කියා දකුණු අතේ මහපට ඇඟිල්ලේ සහ මැද ඇඟිල්ලේ තුඩු එකතු කර අත උස්සා, ගස්සමින් මීයා වීසි කළ හැටි පෙන්වීය.
මෙයින් කලබලවූ රංජනී, දුවගෙන පැමිණ, පුතා කුස්සියට ඇද ගෙන ගියාය. රන්ජනී පොඩි එකාගේ කට මිරිකනු දොර අස්සෙන් දුටු බව සිරිල් පසුව කීවේය.
සාලයේ වාඩිවී සිටි අප අන්දුන්කුන්දුන් විය. එකිනෙකාගේ ඇඹුල් වී ගිය මුහුණු දෙස බැලුවා විනා කිසිවෙකු කිසිවක් කතා නොකළහ. ආරිගේ ඇස් උඩ ඉන්දුනා වැනි දෙයක් මම දුටුවෙමි.
නිහඬතාව බිඳිමින් කතාකල සිරිල්
‘ආරි..., ආප්ප හට්ටියට මීයෙක් වැටුනාද?’
කියා ඇසීය.
මඳ වෙලාවක් නිරුත්තරව සිටි ආරි
‘මේ අද හවස ඔය ආප්ප පිටි මුට්ටිය අස්සේ මීයෙක් ඉඳලා රන්ජනී අල්ලලා වීසි කළා. පුතාව රවට්ටන්න මුට්ටිය ඇතුලට වැටුනා කිව්වා’.
කිසිම වැරද්දක් වී නැති අයුරින් ආරි කාරණය කෙටියෙන් විස්තර කරණ ලදී
කිසිවෙක් වෙන යමක් ප්‍රශ්න කළේ නැත.
මේ වන විට තවත් ආප්ප පිරවූ බන්දේසියක් මේසය මත ය.
ආප්ප දෙකක් හෝ තුනක් පමණක් කෑ අය හෙමිහිට නැගිට ගොස් වතුර බී ආප්ප කෑම අවසන් කළහ.
ආප්ප සෑහෙන ප්‍රමාණයක් ඉතිරි වී තිබීම ගැන රංජනී හෝ ආරි කිසිම ප්‍රශ්නයක් කළේ නැත. සියලු දෙනාම කීමට ඇති බොහෝ දේ නොකියා කරබාගෙන සිටියහ.
තව ටික වෙලාවක් ආගිය තොරතුරු (ආප්ප හැර) ගැන දොඩවමින් සිටි කවුරුත් රංජනී සහ ආරිට ස්තුති කර ටිකින් ටික ආපසු තම ගෙවල් බලා යන්නට පිටත් වුහ. තව දින දෙකකින් රටින්ම සමු ගන්නා අප කිහිප දෙනාට රන්ජනීලාගෙන් විශේෂ තිළිණය බැගින්ද ලැබිණ.
මිදුලට බැස්ස සිරිල්
‘රංජනීගේ ආප්ප කෑවා වගෙයි’
කියා ‘ප්‍රස්තාව පිරුළක්’ යෙදිය හැක්කේ මොකකට දැයි මගෙන් අසා මහ හඬින් සිනාසෙනු දකින්නට ලැබිණ.
අපට සමු දෙන්නට දොරකඩට පැමිණ සිටි රංජනීට සහ ආරිටද සිරිල් කී දේ ඇසෙන්නට ඇත.
දයාරත්න වීරසේකර
අධ්‍යාපන රසකතා බ්ලොග් අඩවිය https://dayawee2.blogspot.com/ * අවසර ඇතිව උපුටා ගත්තකි .
පරිවර්තිත කෙටිකතාව
ස්නයිපර් තුවක්කුකරුවා

දීර්ඝ ජූනි සන්ධ්‍යාව රාත්‍රිය තුළ ගිලී ගියේය. වීදිවලට උඩින් සහ ලිෆේ ගංගාවේ ජලය මතින් උදාවන අරුණාලෝකයට සමාන මන්දාලෝකයක් දුන්, වලාකුළු කැටිති මැදින් දිලුණු සඳෙහි මළානික එළිය හැරුණු කොට මුළු ඩබ්ලින් නගරයම අඳුරෙහි ගැලී තිබිණි. සටන්කාමීන් විසින් වටකරනු ලැබූ චතුර් අධිකරණ සංකීර්ණය අවට කාලතුවක්කු හඬින් ගිගුම් දුන්නේය. තැන් තැන්වල පිහිටි ගොවිපොළවල සිටින බල්ලන් බුරන්නාක් මෙන් විටින් විට නගරයේ තැන තැන ඇසුණු මැෂින් තුවක්කු සහ රයිෆල හඬින් රාත්‍රියේ නිහඬබව බිඳිණි. ජනරජවාදීහු සහ නිදහස් රාජ්‍යවාදීහු සිවිල් යුද්ධයක පැටලී සිටියෝය.
ඔ’කොනෙල් පාලම අසළ වූ නිවෙසක වහළය මත ජනරජවාදී ස්නයිපර් තුවක්කුකරුවෙක් සැඟවී බලා සිටියේය. ඔහු පසෙකින් රයිෆලය වූ අතර ඔහුගේ උර මතින් එල්ලුණු දුර බලන කණ්ණාඩියක් විය. ඔහුගේ මුහුණ ශිෂ්‍යයකුගේ මෙන් සිහින්ද ශාන්තද වූයේය. එහෙත් ඔහුගේ දෙනෙත්වල වූයේ උමතුවූවකුගේ බඳු හැඟීම් විරහිත දීප්තියකි. ඔහුගේ දෑස ගැඹුරුද කල්පනාභරිතද විය. ඒවා මරණය දෙස බලාසිටින්නට පුරුදු මිනිසෙකුගේ දෙනෙත් වූයේය.
හෙතෙම ගිජු ලෙස සැන්ඩ්විචයක් අනුභව කරමින් හුන්නේය. උදෑසන සිට ඔහු කිසිදු අහරක් ගෙන නොතිබිණි. ආහාර ගැනීමට තරම් චිත්ත විවේකයක් ඔහුට තිබුණේ නැත. සැන්ඩ්විචය අනුභව කොට අවසන් කළ ඔහු සිය සාක්කුවෙන් කුඩා විස්කි බෝතලයක් ගෙන එයින් උගුරක් බීවේය. ඉන් අනතුරුව ඔහු බෝතලය යළි සාක්කුවේ දමා ගත්තේය. දුම්වැටියක් දැල්වීමේ අවදානම ගන්නේදැයි සිතමින් ඔහු මඳකට චින්තාපර විය. එය භයානකය. සතුරන් බලා සිටි අතර දුම්වැටියේ දැවෙන දඹුව ඔවුන්ට පෙනෙනු ඇත. එහෙත් ඒ අවදානම ගැනීමට හෙතෙම තීරණය කළේය.
සිය දෙතොල මත දුම්වැටියක් රඳවා ගත් ඔහු ගිනිකූරකින් එය දල්වා වේගයෙන් දුම් උගුරු කිහිපයක් ඇද ගිනිකූර නිවා දැමීය. එසැණින්ම පාහේ පියාඹා ආ උණ්ඩයක් ඔහු අසළ වූ කුඩා තාප්පයෙහි වැදී නතර විය. තවත් දුම් උගුරක් ඇද්ද ඔහු දුම්වැටිය නිවා දැමීය. පහත් හඬින් ශාප කළ ඔහු වම් පසට බඩගෑවේය.
ප්‍රවේසමින් නැගී සිටි ඔහු වහළෙහි කෙටි තාප්පයට උඩින් එබී බැලීය. එකවරම ක්ෂණික ආලෝක ධාරාවක් නැගුණු අතර උණ්ඩයක් ඔහුගේ හිසට උඩින් පියාඹා ගියේය. ඔහු වහා පහත් විය. ඔහු ආලෝක ධාරාව නැගුණු තැන දුටුවේය. එය පැමිණියේ වීදියේ අනෙක් පැත්තේ සිටය.
වහළෙහි පසුපස කොටසෙහි වූ චිමිනි කණුවක් වෙත බඩගාගෙන ගිය හෙතෙම ඊට මුවා වී කෙටි තාප්පයෙහි මට්ටමට සිය දෑස එසෙවුවේය. ඔහුට කිසිවෙක් නොපෙනිණි. නිල් අහස පරයා නැගුණු ඉදිරිපස නිවෙසේ අඳුරු ඡායාව පමණක් පෙනෙන්නට තිබිණි. ඔහුගේ සතුරා වෙඩි තබන්නේ සැඟවුණු තැනක සිටය.
එවිටම පාහේ පාලමෙන් එතෙර වූ යුද ටැංකියක් වීදිය දිගේ සෙමෙන් උඩහට ඇදෙන්නට විය. යාර පණහක් පමණ ඈතින් වීදියේ අනෙක් පැත්තේ එය නැවතිණි. යුද ටැංකි ඇන්ජිමෙහි නොපැහැදිලි හති හඬ තුවක්කුකරුවාට ඇසිණි. ඔහුගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. එය සතුරාට අයත් වාහනයකි. ඔහුට වෙඩි තැබීමට අවශ්‍ය වුවද එය නිෂ්ඵල කාර්යයක් බව හෙතෙම දත්තේය. මේ අළු පැහැති රාක්ෂසයා වසා සිටි වානේ ආවරණය විනිවිද යාමට ඔහුගේ උණ්ඩවලට නුපුළුවන.
ඒ මොහොතෙහි, වීදියේ පටු මගකින් මතු වූ මහලු කාන්තාවක් පැමිණියාය. ඇයගේ හිස වැරහැලි වී ගිය සාලුවකින් ආවරණය වී තිබිණි. යුද ටැංකිය මුදුනෙහි වූ කුටිය තුළ සිටි මිනිසා සමග ඕ කතා කරන්නට වූවාය. ස්නයිපර් තුවක්කුකරුවා සැඟව සිටි වහළය වෙත ඇය සිය ඇඟිල්ල දිගු කොට පෙන්වූවාය. ඇය ඔත්තු සපයන්නියකි.
යුද ටැංකිය මුදුනෙහි වූ කුටිය විවෘත විය. තුවක්කුකරුවා වෙත හැරුණු මිනිසෙකුගේ හිසක් සහ උරැහිස් එයින් මතු විය. සිය අවිය මෑනූ තුවක්කුකරුවා වෙඩි තැබීය. මතු වූ හිස යුද ටැංකි කුටි බිත්තියෙහි තදින් වැදිණි. ගැහැනිය වේගයෙන් පටු මග දෙසට දිව ගියාය. තුවක්කුකරුවා යළි වෙඩි තැබීය. කැරකී ගිය ගැහැනිය වේදනාවෙන් කෑ ගසා ගෙන කාණුවට වැටිණි.
එක්වනම වීදියේ ප්‍රතිවිරුද්ධ පැත්තෙහි වූ වහළ මතින් වෙඩි හඬක් නැගුණු අතර ස්නයිපර් තුවක්කුකරුවා අතින් ගිනි අවිය ගිලිහිණ. ඔහු ශාප කරමින් කෑ ගැසුවේය. ගිනි අවිය මහ හඬින් වහළ මත වැටිණි. ඒ ශබ්දයට මළවුන් පවා නැගිටිනු ඇතැයි තුවක්කුකරුවාට සිතිණි. ගිනි අවිය අහුලා ගැනීමට ඔහු නැවුණේය. එහෙත් එය එසවීමට ඔහුට නොහැකි විය. ඔහුගේ අතෙහි ප්‍රාණය නිරුද්ධ වූ සෙයකි. “ මට වෙඩි වැදිලා” යි ඔහු තමාටම මුමුණා ගත්තේය.
වහළ මත දිගාවුණු ඔහු පෙරළා වහළේ කෙටි තාප්පය වෙත බඩ ගාගෙන ගියේය. ඔහු සිය වම් අතින් තුවාල වූ දකුණු අත අල්ලා බැලීය. කබා අත අතරින් රුධිරය වෑස්සෙමින් තිබිණි. ඔහුට වේදනාවක් නොදැණිනි. ඔහුට දැනුණේ හරියට අත කපා දැමුවාක් මෙන් වූ හැඟීමක් පමණි.
සැණෙකින් සාක්කුවෙන් පිහිය ඇදගෙන එය තාප්පයට තබා තද කරමින් විවෘත කළ ඔහු කබායේ අත ඉරා දැම්මේය. උණ්ඩය ඇතුළු වූ කුඩා සිදුරක් අතෙහි විය. එහෙත් එය පිටවූ ලකුණක් අනෙක් පස නොවීය. උණ්ඩය අතෙහි අස්ථිය තුළ සිරවී තිබිණි. උණ්ඩය වැදී අස්ථිය බිඳී ගොස් තිබෙන්නට පුළුවන. තුවාලයට යටින් ඔහු අත නවා බැලුවේය. එය ඉතා පහසුවෙන් නැවිණි. නැගුණු වේදනාව ඉවසා ගන්නට ඔහු තදින් දත් සපා ගත්තේය.
ප්‍රථමාධාර කට්ටලය ගත් ඔහු එය බහා තිබූ කවරය පිහියෙන් ඉරා දැම්මේය. අයඩීන් බෝතලයේ කට බිඳ එහි වූ තිත්ත දියරය තුවාලයට වැටෙන්නට ඉඩ හළේය. අධික වේදනාවක් ඔහුගේ සිරුර පුරා දිව ගියේය. පුළුන් පිරවුමක් තුවාලය මතින් තබා වෙලුම් පටියෙන් වෙලූ ඔහු දත්වලින් අල්ලාගෙන එහි කෙළවර ගැට ගැසීය.
ඉන් අනතුරුව තාප්පයට හේත්තු වී වැතිරුණු හෙතෙම දෑස පියාගෙන වේදනාව මැඩලන්නට උත්සාහයක යෙදුණේය.
පහතින් වූ වීදිය නිසොල්මන්ව තිබිණි. මැෂින් තුවක්කුකරුවාගේ පණ සුන් හිස මුදුනෙහි වූ කුටියෙන් එළියට එල්ලෙමින්ම යුද ටැංකිය ඉතා වේගයෙන් පාලම හරහා පසුබැස ගොස් තිබිණි. ගැහැනියගේ මළ සිරුර තවමත් කාණුවේ විය.
තුවක්කුකරුවා සිය තුවාල වූ අත පිරිමදිමින් හා පළා යන මගක් සැලසුම් කරමින් බොහෝ වේලාවක් නිසලව වැතිර සිටියේය. තුවාලව සිටින ඔහුට උදෑසන වනතුරු මෙහි සිටීමට නොහැක. ප්‍රතිවිරුද්ධ පැත්තේ වහළය මත සිටින සතුරු තුවක්කුකරුවා ඔහු පළායන මං අවුරා තිබුණේය. ඔහු මේ සතුරා මරා දැමිය යුතුය. එහෙත් ඔහුට රයිෆලය පාවිච්චි කිරීමට නොහැකිය. එය කිරීමට ඔහු සතුව තිබූ එකම ආයුධය වූයේ රිවෝල්වරයයි. ඒ අනුව ඔහු සැලසුමක් සකස් කළේය.
සිය කැප් තොප්පිය ගැලවූ ඔහු එය රයිෆලයේ මුවෙහි රඳවා වීදියේ ප්‍රතිවිරුද්ධ පැත්තේ සිට බලන විට පෙනෙන පරිදි තාප්පයට උඩින් එසවීය. එසැණින්ම පාහේ ඊට පිළිතුරු ලැබිණි. උණ්ඩයක් පැමිණ කැප් තොප්පියෙහි මධ්‍යය සිදුරු කළේය. කැප් තොප්පිය පහත වූ වීදියට වැටෙන ලෙස ඔහු රයිෆලය මඳක් ඉදිරියට ඇල කළේය. ඉන් පසුව රයිෆලය මැදින් අල්ලා ගෙන ඔහු සිය වම් අත තාප්පයට උඩින් දමා එය පණ සුන්ව එල්ලා වැටෙන්නට ඉඩ හළේය. තවත් ටික වේලාවකින් ඔහු රයිෆලයද පහත වීදියට අත හැරියේය. ඉන් පසුව එළියට එල්ලුණු අතත් ඇදගෙනම ඔහු වහළය මත දිගා විය.
වේගයෙන් බඩගාගෙන වහළෙහි කෙළවරට ගිය ඔහු ප්‍රති විරුද්ධ පැත්තේ වූ වහළය දෙස බැලීය. ඔහුගේ උපක්‍රමය සාර්ථක වී තිබිණි. කැප් තොප්පිය සහ රයිෆලය බිම වැටෙනු දුටු සතුරු තුවක්කුකරුවා ඔහු මිය ගියේ යැයි සිතුවේය. චිමිනි පේළියක් අසළ සිටගත් ඔහු දැන් මේ පැත්ත බලා සිටින්නට වූයේ ඔහුගේ හිස බටහිර අහස පරයා ඉතා පැහැදිලිව පෙනෙන්නට සලස්වමිනි.
සිනාවක් පෑ ජනරජවාදී ස්නයිපර් තුවක්කුකරුවා සිය රිවෝල්වරය තාප්පයේ ගැට්ටට උඩින් එසවීය. මෙතැන සිට සතුරා සිටි තැනට දුර යාර පණහක් පමණ වන්නට ඇත. මන්දාලෝකය පමණක් තිබියදී එසේ වෙඩි තැබීම ඉතා අසීරු කටයුත්තකි. ඒ මදිවාට ඔහුගේ දකුණු අතෙන් උග්‍ර වේදනාවක් නැගෙමින් තිබිණි. ඔහු ඉලක්කය ගත්තේය. දැඩි උනන්දුවෙන් ඔහුගේ අත සැලිණි. දෙතොල තදින් වසාගෙන සිය නාස්පුඩුවලින් ගැඹුරු හුස්මක් ගත් හෙතෙම වෙඩි තැබුවේය. කන් බිහිරි කරවන තරම් හඬක් නැගුණු අතර පසුපසට විසිවූ ගිනි අවිය කරණ කොට ගෙන ඔහුගේ අත ගැස්සී ගියේය.
දුමාරය මැකී ගිය පසු තාප්පයෙන් එබී බැලූ ඔහු ප්‍රීතිමත් රාවයක් නැගීය. ඔහුගේ සතුරාට වෙඩි වැදී තිබිණි. මර වේදනාවෙන් ඇලලුණු ඔහු තාප්පය දිගේ රූරා වැටෙමින් සිටියේය. තාප්පයේ පය ගසා ගන්නට දඟලමින් සිටියද ඔහු සිහිනයකදී මෙන් සෙමෙන් පහළට වැටිණි. ඔහුගේ ග්‍රහණයෙන් ගිලිහුණු රයිෆලය තාප්පයේ වැදී බාබර් සාප්පුවක හරස් කණුවක ගැටී පදික වේදිකාව මතට වැටිණි.
ඉන්පසුව මියයමින් සිටි මිනිසා ගුලි වී ඉදිරියට වැටුණේය. අවකාශයේ කැරකුණු සිරුර අවසානයේ ‘තඩ්’ යන අනුකරණයෙන් පොළොවට පතිත විය. ඉන් අනතුරුව එය නිසොල්මන්ව බිම වැතිර තිබිණි.
සිය සතුරා ඇද වැටෙනු දුටු ස්නයිපර් තුවක්කුකරුවා වෙව්ලා ගියේය. සටන් වැදීමට ඔහු තුළ වූ ආශාව වියැකී ගියේය. පසුතැවිල්ලෙහි ප්‍රහාරයට ලක්වූ ඔහුගේ නළලත ඩා බිඳු නැගිණි. සිය තුවාලයද කිසිදු ආහාරයක් නොමැතිව වහළක් මත රැඳී සිටින්නට සිදු වූ දීර්ඝ ගිම්හාන දිනයද කරණ කොට ගෙන දුර්වලව සිටි ඔහු සිය මියගිය සතුරාගේ සිඳී බිඳී ගිය සිරුරෙහි දර්ශනයෙන් බලවත් පිළිකුළට පත්විය. ඔහුගේ දත් ‘කට කට’ ගා ගැහිණි. නොතේරෙන බසකින් තමාටම කතා කර ගත් ඔහු යුද්ධයටද තමන්ටද සියලු දෙනාටමද ශාප කරන්නට විය.
දුම් දමන රිවෝල්වරය දෙස බැලූ ඔහු එය සිය දෙපා අසළ වූ වහළය මතට වීසි කළේ ශපථයක්ද සමගිනි. මහත් හඬක් නගමින් එය පත්තු වූ අතර ඔහුගේ හිස ළඟින්ම උණ්ඩයක් වේගයෙන් පියාඹා ගියේය. ඒ කම්පනයෙන් ඔහු පියවි සිහියට පැමිණියේය. ඔහුගේ ස්නායු නිශ්චල වූ අතර ඔහු වසා සිටි භීතියේ වලාව විසිරී ගියේය. හෙතෙම සිනාවක් නැගීය.
සාක්කුවෙන් කුඩා විස්කි බෝතලය ගත් ඔහු එක උගුරට එය හිස් කොට දැමීය. මධ්‍යාසාරයේ බලපෑමෙන් ඔහුට සැහැල්ලුවක් දැනිණි. වහළයෙන් බැස ගොස් සිය අණ දෙන නිලධාරියාට වාර්තා කිරීමට ඔහු තීරණය කළේය. මුළු වටාපිටාවම නිසොල්මන් විය. වීදි ඔස්සේ ඇවිදගෙන යෑම එතරම් අවදානම් සහගත නොවනු ඇත. සිය රිවෝල්වරය අහුලා ගත් හෙතෙම එය සාක්කුවේ ලා ගත්තේය. ඉන්පසුව වහළෙන් හිරු එළිය ඒම පිණිස තැනූ ජනේලයෙන් ඔහු පහත පිහිටි නිවෙස තුළට බැස්සේය.
වීදිය මට්ටමට ළඟා වූ විට තමා විසින් මරා දැමුණු සතුරු තුවක්කුකරුවාගේ අනන්‍යතාව දැන ගැනීමේ හදිසි කුතුහලයක් ඔහු තුළ ජනිත විය. මරා දමනු ලැබූ තැනැත්තා කවුරුන් වූවද එය ඉතා හොඳ වෙඩි තැබීමක් බව ස්නයිපර් තුවක්කුකරුවා තීරණය කළේය. ඔහු තමා දන්නා කෙනෙකුදැයි ඔහු මඳකට කල්පනා කළේය. ඇතැම්විට යුද හමුදාව දෙකට බෙදෙන්නට ප්‍රථම ඔහුද සිය සේනාංකයේම සේවය කරන්නට ඇත. වීදියේ අනෙක් පසට ගොස් මරා දැමුණු සතුරාගේ මුහුණ බැලීමේ අවදානම ගැනීමට ඔහු තීරණය කළේය. ඔහු ඔ’කොනෙල් වීදියට බටුයේය. වීදියෙහි ඈත කෙළවරෙහි තවමත් දැඩි සටන් ඇවිලුණද මේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම නිසල විය.
ස්නයිපර් තුවක්කුකරුවා වීදිය හරහා වේගයෙන් දිව ගියේය. මැෂින් තුවක්කුවකින් ඔහු වටා තිබූ පොළොවට උණ්ඩ වර්ෂාවක් එල්ල විය. එහෙත් ඉන් ඔහුට හානියක් නොවීය. ඔහු මුහුණ බිමට හොවාගෙන සතුරාගේ මළ සිරුර අසළ බිම වැතිරුණේය. මැෂින් තුවක්කුවෙන් වෙඩි තැබීම නතර විය.
ස්නයිපර් තුවක්කුකරුවා මළ සිරුර පෙරළා බැලුවේය. සිය සොහොයුරාගේ මුහුණ තමා දෙස බලා සිටින සැටි ඔහුට පෙනිණි.

ලියාම් ඔ’ෆ්ලැහර්ටි (1896-1984)
නිලූක කදුරුගමුව
පරිවර්තන බ්ලොග් අඩවියෙන් . http://nilukakadurugamuwa.blogspot.com/
අවසර ඇතිව උපුටා ගත්තකි .