සියවසකට පසු ජීවන මග දෙස හැරී බලන ශ්‍රී ලාංකික මාතාවක් 

ඇය නමින් නන්දා සමරනායක. 2025 මාර්තු මස 01 වෙනිදාට, ජීවන මගෙහි 103 වැනි සැතපුම් කණුවත් සාර්ථකව නිමකළ වාසනාවන්ත කාන්තාවක්. ටොරොන්ටෝ,  මිසිසාගා ආදී ප්‍රදේශවල ශ්‍රී ලාංකික ප්‍රජාවට ඇය බෙහෙවින් හුරුපුරුදුයි. රෝද පුටුවක ආධාරයෙන්, සිය දියණියගේ සහායෙන් සංස්කෘතික සංදර්ශන, විද්වතුන්ගේ දේශන, ආගමික වැඩසටහන් ආදියට උද්යෝගයෙන් සහභාගිවන ඇය වෙස්ට්-එන්ඩ් බෞද්ධ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සංගමයේද ප්‍රබල සාමාජිකාවක්. ශාරීරික දුබලතා මැද වුවද ඇගේ අධිෂ්ඨාන ශක්තියත්, ස්වාධීනත්වයත්,  ධනාත්මක ආකල්පත්, උත්සාහයත් වයස කියන්නේ අංකයක් පමණක් බව සනාථ කල ආදර්ශමත් කාන්තාවක්. මේ වනතුරුම, නන්දා සමරනායක මෑණියන් බොහෝ වයස්ගත අයට මුහුන දීමට සිදුවන අධික රුධිර පීඩනය, දියවැඩියාව, දණහිස් අමාරු ආදී රෝග පීඩාවන්ට ගොදුරුවී නැහැ. මේ නිරෝගී බවේ රහස කුමක්ද? දීර්ඝායුෂ ලැබීමේ රහස කුමක්ද? මේ පිළිබඳව තොරතුරු සොයා ලිපියක් ලිවීමට මා පෙළඹුනේ අපේ ප්‍රජාවටත් මින් යමක් උකහා ගත හැකියැයි අදහස් කල හේතුවෙන්. එයට ඇයත් ඇයගේ දියණියත් සතුටින්  එකඟ වූවා. පහත සඳහන් වන්නේ අප අතර වූ සංවාදයේ සංක්ෂිප්ත වාර්තාවක්.

මෑණියනි, ඔබගේ උපන් ගම, කුඩා විය, පවුලේ තොරතුරු ආදිය අප සමඟ බෙදා ගත හැකිද?

නන්දා මෑණියන්ගේ මුහුණ පුරා ඇඳුනේ සුන්දර සිනහවක්, “මට තිබුනෙ සුරංගනා කතාවක් වැනි සුන්දර සහ රසවත් ලමා වියක්. ඒ වගේ ළමා කාලයක් අද හැදෙනා ළමයින්ට අත්විඳිනවා යයි  මම හිතන්නේ නැහැ”, ඇය සෙමින් කටහඬ අවදි කළා. “මගේ උපන් ගම ඉහල බෙලිගල්ල. එය හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිබෙනා සුන්දර ගම්මානයක්. වස විස නැති, කුඹුරෙන් ලැබෙන වී  ටික, ගෙවතු වගාවෙන් ලැබෙන එලවලුත් පලතුරුත් නිසා කෑමබීම වල කිසිම හිඟයක් අපිට තිබුනේ නැහැ. පොල්තෙල් හින්දෙත් ගෙදරමයි. එදා අද වගේ හැම දේම කඩෙන් ගැනීමේ සිරිතක් තිබුනේ නැහැ. අපි පිටින් ගත්තේ සීනි තේකොල මාළු ලුණු වැනි සීමාසහිත යමක් පමණයි. ගමේ නිසා පිරිසිදු වාතාශ්‍රය, බීමට සහ නෑමට පිරිසිදු ජලය තිබුනනේ”.

ඔබගේ පවුලේ අය ගැනත් අපට යමක් කියන්න

“මට අක්කලා තුන් දෙනෙකුයි, අය්යලා දෙන්නෙකුයි මල්ලි කෙනෙකුයි හිටියා. දඟ මල්ලක් වූ මම අපේ පවුලෙ හය වැනියා. මම පිරිමි ළමයි කරන හැමදේම කළා. ඒ කාලේ ගස් නගින්නෙ කොල්ලො විතරයි, මම ඒ සම්ප්‍රදාය කැඩුවා. වත්තෙ තියෙන එකම පලතුරු ගහක්වත් අතෑරියේ නැහැ. මේ ගස් නගිල්ලට නම් තාත්තාගෙන් ගුටිත් කාලා තියෙනවා. විවාහ වෙලා මගේ ලොකු දුව ලැබෙන්න ඉද්දි, පේර කඩන්න ගහට නැගපු මාව දැකලා අපේ අම්මා යටි ගිරියෙන් කෑ ගැහුවා. යටගියදා කල දඟකාරකම් සිහිපත්ව නන්දා මාතාවගේ මුහුණේ තිබුනෙ හිතුවක්කාර දඟකාර ජයග්‍රාහී සිනහවක්. 

ඒ කාලේ ගැහැණු ළමයින්ට අනිවාර්යයෙන්ම ඉවුම් පිහුම් ඉගෙනගන්න ඕනෑ. ඔබත් ඔබේ අම්මාට කුස්සියේ වැඩවලට උදව් කලාද?

“මොන පිස්සුද? මම කුස්සියේ පැත්තෙවත් ගියේ නැහැ. ගෙදරට එන කෙල්ලොත් එක්ක දවසෙම සෙල්ලම් කරනවා. ඒ කාලේ හරිම විනෝදයි. බඩගිනි උනාම කුස්සියට වැදිලා කාලා තව ටිකකින් මුත්තලාගේ ගෙදර ගිහින් එහෙනුත් කනවා. මම ඒ කාලෙ හරිම මහතයි. ගෙදර අය කිව්වෙ බතලි කියලා, ශක්තිමත් මම කොච්චර දැඟළුවත් කෙට්ටු උනේ නැහැ.

ඔබේ පාසැල් කාලය ගැනත් අපිට යමක් කියන්න.

මම ඉස්කෝලෙ ගියේ අවුරුදු 3 1\2 න්. ඒ ඉගෙන ගන්න ඕනෑවට නෙවෙයි. අය්යලා අක්කලා  යන නිසා. ඒ කාලේ පෙර පාසැල් තිබුනෙ නැහැ. ඉඳලා හිටලා පොතක් කියෙව්වට ඉස්කොලේදීත් දවසෙම කලේ සෙල්ලම් කරපු එක තමා. ඊට පස්සේ, 6 සිට 8 ශ්‍රේණිය දක්වා ගියේ බෙලිගල්ල මහා විද්‍යාලයට. ඒ පාසලේදී තමයි හරියකට අධ්‍යාපනයක් ලැබුවේ. මේ කාලෙම තමයි, අපේ තාත්තා උණ සන්නිපාතය රෝගයෙන්  මිය ගියේ. මේ දුක්බර සිද්ධියෙන් තමයි මගේ සුන්දර සිහින ලෝකයෙන් මම  බිමට වැටුනේ. තාත්තා අහිමිවීම මගේ ජීවිතයට ලොකු බලපෑමක් කළා”. ඇයගේ දෙනෙතින් කඳුලක් රූරා වැටුනා. මුළු ගෙදරම බර පැටවුනේ ලොකු අය්යාගෙ කරපිට. මගේ අය්යලා දෙන්නාම හොදට ඉගෙන ගෙන ලොකු අය්යා විදුහල්පති වරයෙකුත් පුංච් අය්යා ගුරුවරයෙකුත් උනා. එයාලා මට හොඳ අධ්‍යාපනයක් දෙන්න බොහොම වෙහෙසුනා. බෙලිගල්ල විදුහලට පසුව මම ඉගෙන ගත්තෙ ගම්පහ. මට බැරිම ඉංග්‍රීසි සහ ගණන්. මට උගන්නන්න අය්යලාට තිබුණු උනන්දුවට මම මහාචාර්ය කෙනෙක් වෙලා තියෙන්න ඕන. උසස්  අධ්‍යාපනයක්  දීමට සොහොයුරන් ගත් වෙහෙස ගැන ඇය සදහන් කලේ ඉතා කෘතඥපුර්වකව”. කොහොම නමුත් විභාග සමත් වෙලා ගුරුවරියක් උනා” ඇය හැගීම් බරවයි පැවසුවේ.

මම ඔබගේ ගුරු ජීවිතය ගැන දැනගන්නත් කැමතියි.

“මගේ මුල්ම ගුරු පත්වීම ලැබුනෙ ටිකක් දුර යටිගල විද්‍යාලයට. අද වගේ නෙවෙයි, එදා විභාග සමත් වූ සුදුස්සන්ට පමණයි ගුරු පත්වීම ලැබුනේ. පහුගිය කාලෙ වගේ මන්ත්‍රීවරු පස්සෙ දුවන්න,  පන්දම් වගේ වැඩ කෙරුනෙ නැහැ. ඒ විතරක් නෙවෙයි පත්වීම්, මාරුවීම් භාර උනේ අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට. මගේ මුල්ම පඩිය රුපියල් 95 යි. ඒක ඒකාලේ ලොකු පඩියක්. බෝඩිමට රුපියල් 30 යි, අම්මට රුපියල් 20 කුයි දුන්නම ඉතිරි මුදල මට හොඳටම ඇති. එදා, ඇඳුම් පැළඳුම් සාරි ලාබයි. ගුරුවරු ඇන්දෙත් ළමයින්ට ආදර්ශයක් වෙන විදියට  චාමෙට. පාසලේදී විතරක් නෙවෙයි පිටතදීත් ගුරුවරුන් ආදර්ශමත් විදියට හැසිරෙන්න ඕන. ඒ කාලේ ගුරුකම කියන්නෙ මුළු සමාජයම ගරු බුහුමන් දක්වූ ගෞරවනීය තනතුරක්, එය රැකියාවක් නෙවෙයි, සේවයක්. මම ඒ වකවානුවෙත් කිසිම බරක් නැති කිරිල්ලියක් මෙන් සුන්දර සැහැල්ලු දිවියක් ගත කළා. මගේ පාසල ගෙදරින් දුරස්වීම ගෙදර අයට යම් තරමක කණගාටුවක් වූ හේතුවෙන් මා විවාහයට පත්විය යුතුයි ඔවුන් තීරණය කළා. 

ඔබගේ විවාහ දිවිය සහ සැමියා ගැනත් කතා කරන්න කැමතිද? 

එකල සිරිතට අනුව, මට මංගල යෝජනා ආවත්, එකක්වත් හරිගියේ නැහැ. කාලෙකට පස්සෙ, අපේ ඉස්කෝලෙට කාර් එකක් එහෙමත් තියෙන, ඉංග්‍රීසි ගුරු මහත්මයෙක් ආවා.  එයා මම එක්ක උනන්දුවෙන් කථාකලාට, මම ගනන් ගත්තෙ නැහැ මොකද එයාට තිබුනෙ පොඩි පෙනුමක් නිසා. මම හිතා හිටියෙ හින්දි නළුවෙක් වගේ කඩවසම් කෙනෙක් සමඟ විවාහ වෙන්න” ඇය සිනාසෙමින් පැවසුවා. “පස්සෙ එයා අපේ ගෙදරට යෝජනාව ගෙනල්ලා අය්යලා කැමති කරවාගත්තා. පසුව මම විවාහ උනේ ඒ ඉංග්‍රීසි ගුරු මහත්මයා එක්ක. ඔහු ගුණ යහපත් සැමියෙක් හේතුවෙන් අදටත්, එයාගෙ යෝජනාව ගැන මම සතුටු වෙනවා. එදා පටන් මම ජීවත් වුයේ මාතර දිස්තික්කයේ දෙනගම නම් ගමේ”.

ඔබ අම්මාගේ පවුල් දිවිය ගැන හොදටම දන්නා නිසා ඒ ගැන මට යමක් කිව හැකිද? 

මගේ ප්‍රශ්නය මෙවර යොමු උනේ ඇයගේ  දියණියට.

“විදුහල්පතිවරයෙක් වූ මාගේ පියා  නිතර පොතපත කියවන, හරිම නිහඬ, සංකීර්ණ පුද්ගලයෙක්.  අම්මා කුඩා කල දඟකාර උනත්, විවාහයෙන් පසුව ඇය පියාට ගැලපෙන සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, තැන්පත්, පරිපුර්න බිරිඳක්, මවක්, මෙන්ම සිසු දරුවන්ට දැනුම සහ සෙනෙහස දුන් ආදරණීය ගුරුවරියක් බවට පත් උනා. ඇත්තටම ඇය මානව දයාවේ ප්‍රතිමුර්තියක්. විවාහය, අපේ අම්මාගේ  දිවියේ ප්‍රධානම සංධිස්ථානය වෙන්නැති කියලයි මට හිතෙන්නෙ. දඟකාර, සැහැල්ලු, කෙළිලොල් යුවතිය, ක්‍රම ක්‍රමයෙන් ඒ අභියෝගය භාර ගෙන තම සැමියාගේ පිලිවෙලට හැඩ ගැසීම ඉතාමත් අසීරු කැපකිරීමක් ලෙසයි මම දකින්නෙ”.

ඔබ සිතන විදියට මවගේ නීරෝගීබවට සහ දීර්ඝායුෂ ලැබීමට හේතු සාධක මොනවාද? 

“මගේ මතයට අනුව, ඇය සතු ජානවලට විශේෂ තැනක් ලැබුනද, හැබැහින්ම ඇයගේ ජීවන රටාව නීරෝගී සහ දිගු දිවියකට සම්මාදම් උනා. ඇය නඩත්තු කරනා තරහවක්, වෛරයක් පැලපදියම් නොවූ මෛත්‍රීය, කරුණාව පදනම්වූ ඉවසිලිවන්ත ආත්මය නීරෝගීබව ප්‍රත්‍යක්ෂ කරනා ජීවමාන සාක්ෂියක් විය යුතුයි. අපිටවත් ඇයගේ සිසුන්ටවත් කවදාවත් සැර වැර උනේ නෑ. වෙලාවකට හිතෙනවා අම්මා අපිව කොහොම ආණ්ඩු මට්ටු කරගත්තද කියලා. පාසලේදී සිසු දරුවන්ගේ සෙනෙහස ඇයගේ ගුරු ජීවිතයට දුන්නේ මහඟු ආස්වාදයක්.  උදේ වේලාසනින් පාසලට පැමිණෙන දරුවන් පොත් ටික පාසැලේ තියලා අපේ ගෙදර ඇවිත් පෙරහැරේ අම්මවත් අරගෙන පාසැල් යන හැටි මට අදටත් මැවිලා පේනවා. මේ ලඟදි ලංකාවට ගිය වෙලාවේ සැහෙන සිසුන් ආවා  අම්මා බලන්න, එක්කෙනෙක් වයස 69 ක විශ්‍රාමික විදුහල්පතිවරයෙක්.  

පවුලේ බාල දියණිය ලෙස ආදරය උපරිමව ලැබු ඇය කුඩා කල සිටම ඉතාමත් ක්‍රියාශීලී සහ ආනන්දජනක ලමා කාලයක් ගෙවූ දැරියක්. අද පර්යේෂනවලින් ඔප්පුකරලා තියෙනවා, මෙවැනි පසුබිමක් තිබු දරුවන්ගේ වැඩිහිටි දිවියට ඒ අතීතය ධනාත්මක බලපෑමක් ඇතිකරනවා කියලා.  අප ගෙවත්තේ තිබු විවිධ වර්ග පලතුරු නිසා අපි ප්‍රධාන ආහාරයට වඩා කෑවෙ පලතුරු. ඒ වගේම වස විස නැති වත්තෙ එළවලු, ගොටුකොල පලා වලින් තමයි වැඩිහරියක්ම අපේ ආහාර වේල සැකසුනේ. අදටත් උදේ ආහාරයට ගොටුකොළ කරපිංචා කැඳ බීම අම්මගේ මතක ශක්තියෙ කිසිම අඩුවක් නැතිවීමට ප්‍රබලම හේතුව වෙන්න ඇතියි කියලා මම විශ්වාස කරනවා. එදා අපේ ඉතාම සරළවු ජීවිත පරිචය අපිට දායාද කල නීරෝගීකමේ වටිනාකම ප්‍රත්‍යක්ෂ වන්නේ අදයි.

මම අම්මගෙ චරිතයේ දකින සුළු අඩුපාඩු දෙකක් තියෙනවා. එයා ගෙදර පිළිවෙලට තියාගන්න ඒ හැටි උනන්දුවක් දැක්කුවේ නෑ. ඒවා පොඩි කාලේ ඉඳලා නොකල නිසා වෙන්නැති. අනික, දරුවන්ට සහ ශිෂ්‍යයන්ට වැරැද්දකදී සුළු වශයෙන් හෝ තදින් නොහිටපු එක. 

විශාල දරු මුනුබුරන් කැලකට අත්තම්මා වීම සහ බොහෝ සිසු දරුවන් සංඛ්‍යාවකට ගුරු මව වීමේ වරප්‍රසාදය ඉතා සතුටින් භුක්ති විඳිනා මගේ අම්මා, අද ගෙවන්නෙ ඇයගේ ජීවිතයේ සැදෑ සමය. මගේ ආකල්පයට අනුව, අම්මා ගත කලේ පරිපුර්න ජීවිතයක්. අපේ තාත්තාගේ අසනීපය  හේතුවෙන් එයාගේ ජීවන ගමන් මඟේ  සිදුවූ දුක් කම්කටොලුවලටත් ඇය මුහුණ දුන්නෙ උපේක්ෂාවෙන්. වටිනාම දේ තමයි, හැම විටම, එයා ඒ දුක්බර අවස්ථාවන්ට වඩා ප්‍රීතිමත් අවස්තාවන් මතකයේ තබාගෙන සතුටින් සිටීමට උත්සාහ ගැනීම.

අදටත් ඇය, රෝද පුටුවෙන් ගමන් බිමන් කලත්, බොහෝ දුරට තමන්ගෙ වැඩ සිහි කල්පනාවෙන් තනියම කර ගන්නවා. තවමත්, පොත්පත් කියවීමට, කැටවල හේමාලෝක හාමුදුරුවන්ගෙ බණ ඇසීමටත්, චමින්ද සමරනායක, මිල්ටන් මල්ලවාරච්චි, අමරදේව ගීත ඇසීමටත්, Chocolate කෑමටත් ප්‍රියතාවයක් දක්වනවා. මීට අමතරව අද ලංකාවේ පවතිනා දේශපාලන පරිවර්තනය දැකීම  ඇය ලැබූ විශාල වරප්‍රසාදයක් බවයි ඇයගේ මතය. අදටත් සුභවාදී ඇය සුළු දේකට එළියට යාමට පවා, මාලය, මුද්ද, ඔරලෝසුව පැළඳ  ප්‍රියමනාප ඇඳුම් පැළදුම් ඇඳීමට ප්‍රියකරනා කෙනෙක්. ඒ වගේම Tim Hortons පසු කරගෙන යනකොට කෝපි ගැනත් අපිට මතක් කරදෙන්න අමතක කරන්නෙ නැහැ” දියණිය කතාව අවසන් කළා..

නන්දා සමරනායක මෑණියන්ට තුති පුද කර ඇයට නිදුක් නිරෝගී සුව පතමින් මගේ සංවාදයට විරාමය තැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *