
තැපැල් සේවකයන් පසුගිය (20 වැනිදා) තුන් වැනි දිනයටත් ක්‍රියාත්මක කරනු ලැබූ අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් විදේශ රටවල්වලින් එවනලද කිලෝග්‍රෑම් පන්දහසකට අධික ලිපි තැපැල්, පාර්සල්, ලියකියවිලි රැසක් කටුනායක ගුවන්තොටුපළේ ගුවන් ගමන් භාණ්ඩ ගම්මානයේ සිරවී ඇතැයි තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසීය.
මීට අමතරව ලිපි තැපැල්, පාර්සල්, ගමන් මලු රැසක් ද දුම්රිය ස්ථානවල හා තැපැල් කාර්යාලවල සිරවී ඇති බවත් ඒවා මෙතෙක් ගණනය කර නොමැති බවත් තැපැල්පතිවරයා කීය.මෙම වැඩවර්ජනය හේතුවෙන් තැපැල් කාර්යාලවල මහජන සේවා කටයුතු මෙන්ම ලිපි බෙදා හැරීමේ කටයුතු සියල්ල ද අඩපණ වී තිබිණි.
තැපෑලේ සේවා කටයුතු කරගැනීමට පැමිණි මහජනතාවට සිය අවශ්‍යතා ඉටු කරගත නොහැකිව ආපසු හැරී යෑමට සිදුවිය. සිය කාර්යයන් ඉටු කරගත නොහැකිවීම හේතුවෙන් ජනතාව තැපැල් සේවකයන්ට දැඩි අප්‍රසාදය පළ කරන අයුරු දක්නට ලැබිණි.
මේ අතර තැපැල් සේවකයන් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජී.ජී.පී.සී. නිරෝෂණ මහතා පැවසීය.ඇඟිලි සලකුණු යන්ත්‍රය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්පූර්ණයන්ම අසත්‍ය බවද හෙතෙම කීය.
නියෝජ්‍ය තැපැල්පතිනි චමීෂා ද සිල්වා මහත්මිය පවසා තිබෙනවා ඇඟිලි සලකුණු යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම මේ වර්ජනයට හේතුව කියලා. ඒක පට්ටපල් බොරුවක්. එතුමියට දේශපාලන හිතවත්කම් තියෙනවා. මේ ඇඟිලි සලකුණු යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්නෙ 2012 සිට. ඇත්තටම ගැටලුව මේක නොවේ. අතිකාල දීමනා, සේවක හිඟය, වැඩබලන තැපැල් අධිකාරි ශ්‍රේණි තනතුරු ස්ථිර කිරීම, තැපැල් නිලධාරීන් දෙදහසකගේ හිඟයක් තියෙනවා. තැපැල්කරුවන් තුන්දහසකගේ හිඟයක් තියෙනවා. මේ ගැටලු මැද තමයි තැපැල් දෙපාර්තමේන්තුව දුවන්නේ. සේවක හිඟයක් තියෙනකොට දැනට ඉන්න සේවක පිරිසගේ වැඩ ප්‍රමාදය වැඩි වෙනවා. ඒ අයට අමතරව වැඩ කරන්නත් වෙනවා. එතකොට ඒ අයට අතිකාල දීමනා ලබාදිය යුතුයි.
අමාත්‍යවරයා සමග අපට විධිමත් සාකච්ඡාවක් ලබාදෙන්න. එතකොට අපි එතුමාට මෙහි ඇත්ත පහදලා දෙන්නම්. අපිට සාධාරණයක් වන තුරු මේ තැපැල් වර්ජනය දිගටම අරගෙන යනවා.
මේ අතර වර්ජනය අත්හැර කිසිදු සාකච්ඡාවකට තැපැල් වෘත්තීය සමිති සූදානම් නොමැති බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසීය.අඛණ්ඩව ක්‍රියාත්මක වන තැපැල් වර්ජනය සම්බන්ධයෙන් සිදුකළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මේ දක්වාත් විෂය භාර අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදී නොමැති බව සඳහන් කළ චින්තක බණ්ඩාර පෙන්වා දෙන්නේ, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අත්හැර සාකච්ඡාවකට පැමිණෙන ලෙස තැපැල්පතිවරයා සහ විෂය භාර අමාත්‍යවරයා ඉල්ලීමක් සිදුකර ඇති බවය.
කෙසේවෙතත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හැර කිසිඳු සාකච්ඡාවක් සිදුකිරීමට තැපැල් වෘත්තීය සමිති සූදානම් නොමැති බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේය.
මේ වනවිටත් ලක්ෂ 17කට ආසන්න තැපැල් මලු ප්‍රමාණයක් තැපැල් ස්ථාන ආශ්‍රිතව ගොඩගැසී ඇති බවද ඔහු පැවසීය.


