ඩොන් බ්‍රැඩ්මන්ගේ තොප්පියට ඩොලර් 438,550ක වටිනාකමක්.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පුරාවෘත්තයක් වන ඩොන් බ්‍රැඩ්මන් විසින් පැළඳ සිටි ලා කොළ පැහැති ටෙස්ට් තොප්පියක් එරට ජාතික කෞතුකාගාරය විසින් ඔස්ට්‍රේලියානු ඩොලර් 438,550 (අමෙරිකානු ඩොලර් 287,000) කට මිලදී ගෙන තිබෙනවා.

ටෙස්ට් තරගවලදී 99.94ක සාමාන්‍යයක් වාර්තා කළ නායක බ්‍රැඩ්මන්, දෙවන ලෝක යුද්ධයෙන් පසු දෙපාර්ශ්වය අතර පළමු වරට පැවති 1946-47 අළු බඳුන ඔස්ට්‍රේලියාවේ සංචාරයේදීයි මෙම හිස් වැසුම පැළඳ ඇත්තේ.ෆෙඩරල් රජය මෙම වියදමෙන් අඩකට දායක වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂිකා කැතරින් මැක්මහෝන් පැවසුවේ, යුද්ධය අතරතුර ක්‍රිකට් ක්‍රීඩාව ජනතාවගේ මනසින් ඈත් වී තිබූ බැවින්, ටෙස්ට් තරගාවලිය බලාපොරොත්තුවේ සහ ශුභවාදීත්වයේ ලකුණක් නියෝජනය කළ බවයි.
පෞද්ගලික හිමිකරුවෙකුගෙනුයි මෙම තොප්පිය මිලදී ගෙන ඇත්තේ.

1934 අළු බඳුන තරගාවලියේදී නොටින්හැම් හි ට්‍රෙන්ට් බ්‍රිජ් හි පැවති පළමු ටෙස්ට් තරගයේදී අත්සන් කරන ලද පිත්තක් ඇතුළුව අනෙකුත් බ්‍රැඩ්මන්ගේ සිහිවටන සමගින් මෙම තොප්පිය කැන්බරා හි ජාතික ඓතිහාසික එකතුවට ඇතුළත් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *