ප්‍රභාකරන්ට පැනලා යන්න මහින්ද උදව් කළා – ෆොන්සේකාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසි සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ට බේරී පලා යෑම සඳහා  අවස්ථාව ලබා දුන් බව එවකට හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා මහතා පවසනවා.

මිනුවන්ගොඩදී පැවති ජන හමුවකදී ඔහු සඳහන් කළේ, ආරක්ෂක කවුන්සිලයේද මතය නොතකමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම සටන් විරාමය ප්‍රකාශයට පත් කළ බවයි.

එලෙස සටන් විරාමය ලබා දුන්නේ ඇයිදැයි මහින්ද රාජපක්ෂ මහතා ඕනෑම සභාවකට පැමිණ කරුණු පැහැදිලි කළ යුතු බව සරත් ෆොන්සේකා මහතා අවධාරණය කළා.

එමෙන්ම යුද්ධය අවසන් කළේ තමන් බවට රාජපක්ෂලා නිතර පැවසුවත් යුද්ධය අවසන් කළේ කෙසේදැයි ඕනෑම අවස්ථාවක පැහැදිලි ලෙස ප්‍රකාශ කරන ලෙසට මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරන බව ඔහු  පවසනවා.

 ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා :

“ අවුරුදු දෙකකුත් මාස හයක් අපි යුද්ධ කරලා ඉවරයි. ගෝඨාභය රාජපක්ෂ විසි හත වෙනිදා මට කතා කරලා කියනවා සරත් ඔයා මේක අවුරුදු දෙකහමාරක් කළා. දැන් ඔයාට මහන්සි ඇතිනේ. වවුනියාවේ ඉන්න ජගත්  ජය සූරිය කියන මිනිහට ඕක බාර දීලා ඔයා පොඩි විවේකයක් ගන්න   කියලා. අවසාන කොඩිය දාන්න අඩි දෙක තුනයි පනින්න තියෙන්නේ. මට විවේකයක් ගන්නලු. අර මිනිහට කොඩිය දාන්න. ඒ වෙනකොට මේ ගොල්ලන් දැනගත්තා ප්‍රභාකරන් ඇතුළු පිරිස විනාශ වෙනවා කියලා. ඒ විනාශය ප්‍රමාද කරන්න තමයි මට විවේකයක් ගන්න කිව්වේ. මම කිව්වා බෑ කියල. අපි මේක ඉවර කරනවා කියලා කිව්වා. වැඩිම උනොත් මාසයයි.

මහින්ද රාජපක්ෂ ජනවාරි තිස් එක සහ පෙබරවාරි පළවෙනිදා සටන් විරාමයක් දුන්නා. අපි ආරක්ෂක මණ්ඩලයේදී එපාම කිව්වා. කිසිසේත්ම කරන්න එපා කිව්වා කිව්වා පැය 48ක සටන් විරාමයක් දුන්නා. ඒ සටන් විරාමයේදී සංවිධානය වෙලා අපිට ගැහුවා.  මගේ හමුදාව කිලෝමීටර් හතරක් පහක් පස්සට ආවා. සෙබලු පන්සීයක් විතර ජීවිතක්ෂයට පත්වුණා. ඒ සටන් විරාමය දුන්නේ ප්‍රභාකරන්ට සහ නායකයන්ට පැනලා යන්න. එතකොට මේගොල්ලන් සොල්හයිම් වැනි මිනිස්සු එක්ක සාකච්ඡා කරනවා. ප්‍රභාකරන් කියන්නේ අංක එකේ මෝඩයෙක්. මිනිහා හිතුවා මේ දවස් දෙකේ ගහලා කොහොමහරි අල්ලගන්න. මිනිහා පස්සට ගියේ නෑ අපිත් එක්ක ඇවිත් ආපහු පටලගත්තා. ඒක හින්දා තමයි යුද්දෙ ඉවර වුණේ. එදා ඒ සටන් විරාමය දුන්නේ ඇයි කියලා මහින්ද රාජපක්ෂ ඕනම සභාවකට ඇවිල්ල කරුණු පැහැදිලි කරන්න ඕන”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *