නේපාල අරගලය අස්සේ හිටපු ඡනපතිවරුන්ගේ තටු කැපේ.

ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ පසුගිය සතියේ වැඩි අවධානයක් යොමු වී තිබුණේ නේපාලය දෙසටය. නේපාලයේ සිදු වූ අරගලයෙන් විශාල පිරිසක් මියගොස්, දේපළ විශාල ප්‍රමාණයක්ද විනාශ වී ඇති අතර, පාර්ලිමේන්තුව අධිකරණය විනාශ කර ඇති නිසා නේපාලයට රට පාලනය කරගැනීමටද ප්‍රා‍යෝගිකව නොහැකි තත්ත්වයක් උදා වී ඇත. මේ වන විට නේපාලය පාලනය වන්නේ හමුදාව යටතේය.

නේපාලයේ අරගලය ගැන මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ වැඩි අවධානයක් යොමු වූයේ, මීට වසර තුනකට පෙර ශ්‍රී ලංකාවේද අරගලයක් සිදු වූ නිසාය.

.මාලිමාව ඉටුකළ ලොකුම ඡන්ද පොරොන්දුව

හිටපු ජනාධිපතිවරුන්ට රජයෙන් ලබාදී ඇති නිල නිවාස සහ වෙනත් වරප්‍රසාද තම රජයක් යටතේ අහිමි කරන බවට ජාතික ජනබලවේගය ඉකුත් මැතිවරණ සමයේ ලබා දුන් ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් ඉටුකරමින් ඉකුත් බදාදා හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කරන පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත විය. පනතට විරුද්ධව ඡන්දය දුන්නේ චාමර සම්පත් මන්ත්‍රීවරයා පමණකි. ඒ අනුව පනත බලාත්මක කරමින් කතානායක ජගත් වික්‍රමරත්න එදින සවසම පනතට තම සහතිකය තැබීය. සම්මත කළ දාම කතානායක අත්සන් කළ පනතක් මෑත කාලයේ තිබුණේද නැත.

‘“මගෙ ඡන්දෙ ප්‍රකාශ කරන්නෙ මම අත උස්සලා. ඒක සටහන් කරගන්න.”

ඡන්දය විමසන අවස්ථාවේ විපක්ෂයේ චාමර සම්පත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

‘“ඔයා පක්ෂද... විපක්ෂද....” මාලිමාවේ මන්ත්‍රීවරු විමසූහ.

‘“මම විපක්ෂයි.” චාමර කෑ ගසා කීවේය. චාමර ඡන්ද විමසීමේදී ඡන්දය දුන්නේ පනතට විරුද්ධවය.

‘“මොකද ඔයා විරුද්ධව දුන්නේ මොකක්ද ලැබෙන ප්‍රතිඵලය?”

“විපක්ෂයේ අනිත් අය එහෙම කළේ නෑනේ.” මාලිමා මන්ත්‍රීවරුන් යළිත් කෑ ගැසූ අතර චාමර කීවේ ‘මම මේකෙ ප්‍රයෝජනය ගන්නේ තව අවුරුදු හතරකින්....’ චාමර ද කෑගැසුවේය.

‘“ඔය කියන්නේ මේකයි. එයාගෙ හිතේ තියෙන්නේ මේ තියෙන නඩුවලින් එයාට ඇතුළට යන්න වෙනවා. ඊළඟ ජනාධිපතිවරණය තව අවුරුදු හතරකින් එනවා. එයා හිතනවා එයාලගෙ කෙනෙක් එයි කියලා. ජනාධිපති සමාවෙන් එළියට එන්න බලාගෙන එයාලගෙ හිත් ගන්න දීපු ඡන්දයක්...” සමන්ත විද්‍යාරත්න ඇමැතිවරයා මාලිමාවේ මන්ත්‍රීවරුන්ට කීවේ ඔවුන් සියලු දෙනාම හිනස්සවමිනි.
පනතට ඡන්දය විමසන අවස්ථාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පාර්ලිමේන්තු සංකීර්ණය තුළ සිටියෝය. විපක්ෂයද පනතට පක්ෂව අදහස් දැක්වූ මුත් ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ සිටියේ නැත. ඡන්දය විමසීමෙන් අනතුරුව පැවැති සභාව කල්තබන අවස්ථාවේ විවාදය සඳහා විපක්ෂනායක ප්‍රමුඛ විපක්ෂයම පැමිණියේය.

‘“ලේකම්තුමා.... මොකද මේ කිරිකොක්කු වගේ එන්නේ. ඡන්දය දෙන්න ආවේ නෑනේ...” සමන්ත විද්‍යාරත්න ඇමැතිවරයා විමසුවේ සජබෙ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙනි.

‘“අපි ඉතින් ඔබතුමාලට නිදහසේ ඕනෑ දෙයක් කරගන්න කියල ඉඩ දුන්නා..” එසේ කී සජබ මහ ලේකම්වරයා තම අසුනේ වාඩි ගත්තේය.

මහින්ද කාල්ටන් නිවසට යයි.

ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කර නව පනත යටතේ එම වරප්‍රසාදවලින් කොටසක් කප්පාදු කරන විටත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහගමසේකර මාවතේ නිල නිවසෙන් පිටව ගොස් සිටියේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද ඉතාම ඉක්මනින් නිල නිවස අතහැර යන බව ප්‍රකාශ කළාය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිල නිවස අතහැර පිටව ගියේ පනත සම්මත වූ දාට පසු දින වූ බ්‍රහස්පතින්දා දිනයේය. ඒ මහතා පිටව ගියේ තංගල්ලේ පිහිටි පෞද්ගලික නිවස වන කාල්ටන් නිවසටය. රාජපක්ෂ පිටව යද්දී පාක්ෂිකයන් විශාල පිරිසක්ද චීන තානාපති ඇතුළු විදේශ තානාපතිවරු කිහිප දෙනෙක් ද පැමිණ සිටියහ.

විශ්වාසභංගය වීසි කරයි.

ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය භාරදුන් විශ්වාසභංග යෝජනාව භාරගැනීම කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඉකුත් සතියේ ප්‍රතික්ෂේප කිරීමත් සමග පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් මතු විය.

එහිදී කතානායකවරයා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව එම විශ්වාසභංග යෝජනාව නොගැළපෙන බැවින් සහ එය නිසි පිළිවෙළකට නොමැති වීම හේතුවෙන් තමාට එය පිළිගත නොහැකි බවය. රජය මුල සිටම කියා සිටියේ එම “විශ්වාසභංග යෝජනාව” නීතිවිරෝධී යෝජනාවක් හෙයින් විවාදය සඳහා භාරගත නොහැකි බවත් අවශ්‍ය නම් නියෝජ්‍ය ඇමැතිවරයාට එරෙහිව “දෝෂාරෝපණ යෝජනාවක්” සඳහා ඉඩ ලබාදිය හැකි බවත්ය. මෙතෙක් ශ්‍රීලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසිම දිනක නියෝජ්‍ය ඇමැතිවරයකුට විශ්වාසභංග යෝජනා ගෙනැවිත් නැති බව කී නියෝජ්‍ය ඇමැති නීතිඥ වටගල එම සම්ප්‍රදාය පිළිගනිමින් රජය මෙම විශ්වාස භංගය නීතිවිරෝධී ලෙස සලකන බව කීවේය. ආණ්ඩුව මතු කළ තවත් තර්කයක් වූයේ නියෝජ්‍ය ඇමැතිවරුන්ට අමාත්‍යාංශ විෂයයන් වෙන්කර නොමැති නිසා මෙම විශ්වාසභංගයට පදනමක් නොමැති බවය.

එම මතයට පිළිතුරු දෙමින් ගයන්ත කරුණාතිලක සහ මුජිබර් රහුමාන් යන විපක්ෂ මන්ත්‍රීවරුන් පැවසුවේ ජනාධිපතිවරයා විදේශ ගතවන අවස්ථාවල වැඩබලන ආරක්ෂක ඇමැතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ අරුණ ජයසේකර වන බැවින් විෂයයන් පවරා නැති බවට වන තර්කය පිළිගත නොහැකි බවය.

මේ පිළිබඳව කතානායක ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තු මහ ලේකම් ඇතුළු ලේකම්වරුන්ගෙන්ද කරුණු විමසා තිබුණි. ඒ අනුව මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට පදනමක් නොමැති බව කියමින් කතානායකවරයා තම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

ජනපති ආණ්ඩුකාරවරුන්ට කීවේ මොනවාද?

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන මනා සම්බන්ධීකරණයකින් යුතුව ඒකාබද්ධව කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. දේශපාලන අධිකාරිය තම බලය රඳවා ගැනීම වෙනුවෙන් පළාත් පාලන ආයතන භාවිත කළ සංස්කෘතිය වත්මන් රජය යටතේ අවසන් කර ඇති බව අවධාරණය කළ ජනාධිපතිවරයා, රට සංවර්ධනය කිරීමේ ජාතික සැලැස්මක් කරා ගමන් කිරීම වෙනුවෙන් මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ උපදෙස් දුන්නේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම ආණ්ඩුව සහ පළාත් පාලන ආයතන අතර මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට සහ පළාත් පාලන ආයතන සඳහා 2025 වසරේ වෙන් කෙරුණු අය-වැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනයට මෙන්ම, 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාවකට පසුගියදා (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

අධ්‍යාපන, සෞඛ්‍ය සහ මහාමාර්ග වැනි ක්ෂේත්‍රවලට අදාළව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන අතර මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, ඊට අදාළ විසඳුම් සහ යෝජනා පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

විදේශ ණය සහ ආධාර යටතේ මෙරටට හිමි වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී විශේෂ ව්‍යාපෘති කාර්යාල ගොඩනඟමින් ඒ වෙනුවෙන් විශාල පරිපාලන වියදමක් දරනවා වෙනුවට පවතින පරිපාලන ව්‍යුහය තුළ කටයුතු කර, අදාළ ව්‍යාපෘති නිසි කාලය තුළ අවසන් කරමින් එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී පළාත් ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

පාසල් පද්ධතිය විධිමත් කිරීමේ සැලසුම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර කලාප මට්ටමින් එක් එක් පාසල් වෙත ගොස් එම පාසල් පිළිබඳව සමීපව අධ්‍යයනය කර සියලු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් හොඳම විසඳුම ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අමෙරිකානු වෙළෙඳ ප්‍රධානීහු ජනපති හමුවට.

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතනයේ ප්‍රධානීහු පිරිසක් පසුගියදා (11) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී සාකච්ඡා පැවැත්වූහ.

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ මත පැනවූ තීරුබදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලද නියෝජිත කණ්ඩායම ඇගයීමට ලක් කළ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතන ප්‍රධානීහු රටක් ලෙස ශ්‍රී ලංකාව මේ වන විට අත්පත් කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය පැසසුමට ලක් කළහ.

ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සඳහා එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතනය (USTR) මෙතෙක් දුන් සහාය පිළිබඳව මෙන්ම, අනාගතයේදී අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගැනීමට නියමිත වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකාව යනු සුවපත් වෙමින් පවතින කුඩා ආර්ථිකයක් සහිත රටක් බවත්, බාහිරින් එල්ල වෙන කුඩා බලපෑමක් වුව ශ්‍රී ලංකාවට විශාල ලෙස බලපෑම් සිදු කළ හැකි බවත් එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතන කණ්ඩායමේ අවධානයට යොමු කළ ජනාධිපතිවරයා, ඒ සියලු සාධකද සලකා බලමින් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා ඉදිරියටද සිදු කළ යුතු බව පෙන්වා දුන්නේය. එසේම සියලු තීන්දු තීරණ ගැනීමේදී දෙරටේ දිගුකාලීන සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි අවධානයට යොමු කිරීම වැදගත් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

අමෙරිකා එක්සත් ජනපද තානාපති ජූලි චංග්), එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතන අධ්‍යක්ෂ (දකුණු ආසියාව) එමිලි ඈෂ්බි, සහකාර එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත (දකුණු සහ මධ්‍යම ආසියාව) බ්‍රෙන්ඩන් ලින්ච්, ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආර්ථික සහ වාණිජ නිලධාරි ඩැනියෙල් ජැක්සන් සහ දේශපාලන හා ආර්ථික උපදේශක ඇන්තනි පියර්නොට් සමඟ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

පාතාලය හා සම්බන්ධ දේශපාලනඥයෝ කවුද?

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් මැලේසියාවටම ගොස් කුදලාගෙන ඒමට සමත් වීම සමඟ පාතාලය හා දේශපාලන සබඳතා ගැන අලුත් කතාබහක් නිර්මාණය වී තිබේ.

“පාතාලයට සම්බන්ධ දේශපාලනඥයන් විස්සක් විතර ඉන්නවා…” පොලීසිය භාර ඇමැති ආනන්ද විජයපාල කීවේය.

“හරියට හොයලා බලලා හරි විදිහටම ගන්න, නැත්නම් ලොකු අපරාධයක්,” ඇමැති බිමල් රත්නායක එහෙම කියන විට ඇමැති විජිත හේරත් කියා සිටියේ මෙහෙම කතාවකි:

“දැන් පොලීසියට ස්වාධීනව කටයුතු කරන්න නිදහස තියෙනවා. ඒ නිසා වැඩ ටික හොඳට යනවා.”

විදේශවල සිටින තවත් රතු වරෙන්තුකරුවන් 70ක්

දැනට විදේශගතව සිටින පාතාලය හා මත්කුඩු සම්බන්ධ රතු වරෙන්තුකරුවන් 70කට අධික පිරිසක් සොයා මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඒ සඳහා දැනටමත් අන්තර්ජාතික පොලීසියේ සහාය ලැබී තිබෙන බවත් ශ්‍රී ලංකාවේ පොලීසියේද සහාය ඇතිව මෙම මෙහෙයුම් සාර්ථකව සිදු වන බවත් පොලීසිය භාර අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මාස හයකට පසු සජබ කෘත්‍යාධිකාරිය රැස්වෙයි.

සමගි ජනබලවේගය පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම ඉකුත් අඟහරුවාදා සවස පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. සාමාජිකයන් අසූ දෙනකු පමණ වූ සංඛ්‍යාවෙන් පනස් දෙනක් පමණ එදින රැස්වීමට පැමිණ සිටියහ.

පක්ෂය ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා ගත යුතු මාර්ග ගැන එහිදී සාකච්ඡා විය. මේ දිනවල පොදු විපක්ෂයක් ලෙස කටයුතු කිරීම සඳහා වරින්වර සාකච්ඡා සිදුවන්නේ රජයෙන් සිදුවන මර්දනකාරී කටයුතුවලට හා ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතුවලට එරෙහිව බවත් ඒ හැර එම පක්ෂ සමග එක්ව මැතිවරණ මුහුණ දීමේ අදහසක් නැති බවත් එහිදී පැහැදිලි කෙරිණ. වෙනත් පක්ෂවලින් එන අය ප්‍රවේශමෙන් කළමනාකරණය කරගෙන මැතිවරණවලට සම්බන්ධ කරගත යුතු බවට මත පළවිය. පොහොට්ටුවට මේ දිනවල යම් යම් චෝදනා එල්ල වන අතර එවැනි අපේක්ෂකයන් පැමිණෙන්නේ නම් එවැන්නක් ගැන කල්පනාකාරීව විමසා බලා කටයුතු කළ යුතු බව සාකච්ඡාවට ලක් විය.

පක්ෂය තුළ විනය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවත් පක්ෂ නායකයන් පිටතදී විවේචනය කරන අය සිටී නම් එවැනි අය ගැන දැඩි විමසිල්ලෙන් සිටින බවත් විනය කමිටුවක් මගින් දැඩි පියවර ගන්නා බවත් එහිදී කියැවිණ. පැමිණ සිටි සියලු දෙනාම පාහේ එම මතය අනුමත කළහ.

‘සමහරු පක්ෂ නායක, මහලේකම්ව වගේම මන්ත්‍රීවරුන්වත් තැන තැන විවේචනය කරල තිබුණා. ඒක පක්ෂයට හොඳ නෑ. විවේචන තියෙනවා නම් මේ කෘත්‍යාධිකාරියේදී හරි, කළමනාකරණ කමිටුවේදී හරි එහෙමත් නැතිනම් මන්ත්‍රී කණ්ඩායමේදී හරි කරන්න. එහෙම නැතිව එළියේදි ඒ දේ කරන්න එපා. ඒක පක්ෂයේ ඉදිරි ගමනට බාධාවක්.’ පක්ෂ ප්‍රධානීහු කියා සිටියහ.

 ‘“මේ සාකච්ඡාවලින් පස්සේ හැමෝම මාධ්‍යයට කතා කරන්න එපා. එතන විනයක් තියෙන්න ඕනෑ. කතා කළ දේවලින් එළියට දැනුම් දෙන්න ඕනෑ දේ ගැන මහලේකම් හරි ජාතික සංවිධායක හරි අදහස්  ප්‍රකාශ කරනවා මිස වෙනත් අය මත පළකරන්න එපා...’ පක්ෂ නායකයන් කළ දැනුම් දීමට සියලු සාමාජිකයන්ගේ එකඟතාව පළ විය.

මෙම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත්වුණේ මාස හයකට පසුවය. අවසන් රැස්වීම් පැවැත්වුණේ ඉකුත් මාර්තු මාසයේය. මෙම රැස්වීමේදී එළඹ ගත් තීන්දුවක් වූයේ මාසයකට වරක් කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්විය යුතු බවය.

එජාපයෙන් පත්වූ හිටපු මැති ඇමැතින්ගේ හමුව.

එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී විශ්‍රාමිකව සිටින සහ දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන මන්ත්‍රීවරුන්ගේ සුහද හමුවක් ඉකුත් සඳුදා පැවැත්වුණේ විපක්ෂනායක සහ සජබ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනි. හිටපු අභ්‍යන්තර ආරක්ෂක ඇමැති අනුර බැස්ටියන්, ලක්ෂ්මන් සෙනෙවිරත්න, උපාලි පියසෝම, උපාලි අමරසිරි, අර්ල් ගුණසේකර, විජයපාල හෙට්ටිආරච්චි ඇතුළු හිටපු මැති ඇමැතිවරු විසි දෙනෙක් පමණ මෙම හමුවට සහභාගි වූහ.

දිගු කලකින් මෙම කණ්ඩායම සමග සාකච්ඡාවක් නොපැවැත්වුණු නිසා පක්ෂයේ ජයග්‍රහණය සඳහා ඔවුන් ළඟ ඇති අදහස් ලබාගැනීම මෙම හමුවේ අරමුණ විය. ‘තමුන්නාන්සේලා අපේ දේශපාලනයේ ජ්‍යෙෂ්ඨයෝ. පාර්ලිමේන්තු සම්ප්‍රදායයන් ගැන. දේශපාලනය ගැන පක්ෂයේ වැඩ ගැන හොඳ අවබෝධයක් තියෙන අය. පක්ෂය වෙනුවෙන් ලොකු දායකත්වයක් තමුන්නාන්සේලාට කරන්න පුළුවන්. ඒ ගැන කතා කරන්නත් එක්ක තමයි මේ හමුව යොදා ගත්තෙ....’ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කියා සිටියේය. උපාලි අමරසිරි එම කණ්ඩායමේ සභාපති ලෙසත් ලක්ෂ්මන් සෙනෙවිරත්න කැඳවුම්කරු ලෙසත් භාණ්ඩාගාරික ලෙස අර්ල් ගුණසේකර හිටපු ඇමැතිවරයාත් පත්කර ගැනිණි.

“යූ.ඇන්.පී එකත් එක්ක එකතු වෙන්න කරන්න සාකච්ඡාව හොඳයි. ඒ පක්ෂය අමතක කරන්න බෑ. ඒක අපේ මව් පක්ෂය...’ අර්ල් ගුණසේකර කිවේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ අවස්ථාවේ එතුමා වෙනුවෙන් වහා ක්‍රියාකාරිවීම ගැන එහි සිටි බොහෝ දෙනා සජිත්ට ප්‍රශංසා කළහ. යළිත් මාස දෙකකින් රැස්වීමටත් ඒ අවස්ථාවේ පක්ෂය ජයග්‍රහණය කිරීම සඳහා යෝජනාවලියක් සකසා ලබා දීමටත් මෙහිදී හිටපු මන්ත්‍රීවරු එකඟ වූහ.

වතු කම්කරුවන් ලක්ෂයට බැහැලා.

වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් එක්දහස් හත්සියය දක්වා ඉහළ නංවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත් වසරේ අයවැය කතාවේදී කියා සිටියේය. ඉකුත් සතියේද වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට වැවිලි සමාගම් ප්‍රධානීන් ගෙන්වා මේ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වුණේ ඉතාම ඉක්මනින් එම මුදල වතුකම්කරුවන් වෙත ලබා දීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹ සිටින නිසාය.

වැවිලි කර්මාන්ත ඇමැති සමන්ත විද්‍යාරත්න, කම්කරු ඇමැති අනිල් ජයන්ත, නියෝජ්‍ය ඇමැතිවරුන් වන සුන්දරලිංගම්, ප්‍රදීප් සහ මහින්ද ජයසිංහ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ වතු සමාගම් විසිතුනේම ප්‍රධානීන් මෙම සාකච්ඡාවට කැඳවා තිබිණ.

‘අපි ප්‍රතිපත්තිමය තීන්දුවක ඉන්නවා වැටුප වැඩි කරන්න. රාජ්‍ය සේවක වැටුපත් අපි ඉහළ නැංවුවා. වතුකම්කරු වැටුප වැඩි කරන තීන්දුව ගන්න ඕනෑ වතු සමාගම්. එම තීන්දුව ගන්න කියා අපි යළිත් ඉල්ලා සිටිනවා...’ ඇමැති සමන්ත විද්‍යාරත්න කීවේය.

වතුකම්කරු වැටුප දැනට රුපියල් එක්දහස් තුන්සිය පනහකි. රජය ඉල්ලා සිටින්නේ තවත් තුන්සිය පනහකින් දිනක වැටුප වැඩි කරන ලෙසය. වතු සමාගම් පෙන්වා දුන්නේ එසේ වැඩිකළහොත් තමන්ට වාර්ෂිකව රුපියල් බිලියන දොළහක පමණ මුදලක් අමතරව වැය වන බවය.

.නේපාල අර්බුදයෙන් ඉතිහාසයේ රැලි යළි මතුවීම

සොබාදහම ඉතිහාසයේ දිය රැලි නැවත නැවත මතුකරමින් අනාගතයට පාඩම් උගන්නමින් සිටියි.එලෙස උගන්වන ලද අලුත්ම පාඩම නේපාල අර්බුදයයි. නේපාල අර්බුදය විසින් ලක්වැසියන්ට තද ටොක්කක් ඇන ඉතිහාසය නැවත මතක් කර දෙනු ලැබීය.රනිල් හිටියේ නැතිනම් නේපාලයේ ඒ පාර්ලිමේන්තුව, ශ්‍රේෂ්ඨාධිකරණය, තවත් රාජ්‍ය ගොඩනැගිලි ගිනි ගත් අයුරින් ඊටත් වැඩියෙන් ජීවිත දේපොළ හානියක් සිදුවිය හැකි බව ඇස් පනා පිට පෙන්නුම් කරමින් සිටී.

මේ කාලයේ සිදුවෙමින් පවතින මේ අර්බුදයත් සමඟ සමාජ මාධ්‍යයේ මෙන්ම ගමේ ගොඩේ කඩ පොළේ නැවතත් රනිල් ගැන ඇගැයුම් ගායනා මතුවෙන්නට පටන්ගෙන ඇත.

මරු කටේ තිබූ රටක් භාර ගෙන “සීයා”‍ කළ පෙළහර පිළිබඳව නැවතත් මේ ඇගැයුම් ගායනා අසන්නට ලැබෙන්නේ ලන්ඩන් විශ්ව විද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයකට ගියේයැයි චෝදනා ගොනු කොට තිබෙන පසුබිමක වීම දෛවයේ තවත් සරදමකි.

“ඔබතුමා නේපාලයේ ජනාධිපති කරන්න යෝජනා ඇවිත් තියෙනවා”‍ රුවන් කීවේ සමාජ මාධ්‍යයේ පැතිරෙමින් පවතින මතවාදයක් රනිල්ට පෙන්වා දෙමිනි.

“මම ලංකාවේ ජනාධිපති වෙලා අර්බුදයෙන් මිනිස්සු බේරගෙන අන්තිමට ලංකාවෙ හිරේට ගියා. නේපාලෙ ජනාධිපති වෙලා එහේ හිරේට යන්න ද කියන්නේ”‍ රනිල්ගේ කතාවට එහි සිටි සියල්ලන්ටම සිනා පහළ වූයේ නිරායාසයෙනි.

හිමිකම් කපන පනත 

රනිල්ගේ අගේ සමාජය විසින් යළි යළිත් ඉස්මතු කරමින් පෙන්වන අවස්ථාවකම හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් කපන පනත සම්මත කිරීම දෛවෝපගත සිදුවීමක් විය.

රනිල් ඒ ගැන කිව්වේ වචන දෙක තුනක් පමණි.

“මම කවදත් ව්‍යවස්ථාවට පිටින් වැඩ කරලා නෑ. කවද හරි මිනිස්සුන්ට සත්‍ය තේරේවි. ඒ වගේම මේ රටේ හිටපු හැම ජනාධිපති කෙනෙක්ම රටේ ප්‍රගමනයට නොයෙක් අයුරින් දායක වුණා. ඔවුන්ට ඊට හිමි ගෞරවය තිබිය යුතුයි”‍ රනිල් ඒ ගැන කීමේ එපමණකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *