“මියැසි ගී දැහැන” තුලින් නොවැම්බරයේ පිපෙනා හසන්තිකා

අද ඔබත් එක්ක තොරතුරු බෙදාගන්න යන්නේ ටොරොන්ටෝ සහ අවට ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත පමණක් නොව ලෝකයටම මහත් මෙහෙයක් කරන චරිතයක් එක්ක . මේ අපේ ලිපි පෙලේ දී ඔබ හමුවන දෙවන ගායිකාව ඇයයි. කැනඩාවේ ශ්‍රී ලාංකික පිරිස් වෙනුවෙන් මහත් මෙහෙයක් කරන තවත් ගායිකාවන්  රැසක් සිටියදී අප ඇය ගැන මේ මාසයේදී කතාකරන්නේ අගේ සංගීත ජීවිතයේ කැනඩාවේදී පසුකරන විශේෂ කඩඉමක් නිසයි. ඒ වගේම ඔබට කිවයුතු තවත් කාරණාවක් තියෙනවා. අපේ මේ ලිපි පෙලට විවිධ වයස් කාණ්ඩවල, විවිධ ක්ෂේත්‍ර වල, විවිධ ආගම් සහ දර්ශන අදහන, විවිධ ජාතීන්ට අයත් කැනේඩියානු ශ්‍රී ලාංකික පුද්ගල චරිත එකතු කර ගන්නේ කිසිදු පිලිවෙලකින් තොරවයි. ඒ වගේම කැනඩාවේ මේ වනවිටත් ක්‍රියාත්මක වන අපේ සහෝදර පුවත්පත් හරහා ඔබට මුන නොගැසුණු චරිතත්  මේ වෙනුවෙන් එක් කරගන්නට අපි හැමවිටම උත්සාහ කරනවා.  

සංගීතයට මෙන්ම අපුරු ගායනයකටද මිනිසුන්ගේ සිත් සතන් වෙනස් කළ හැකියි. ලගන්නා මියුරු කටහඬකින් අන් අයට ධනාත්මක බලපෑමක් ඇති කිරීම මෙන්ම අප අත්දැකීමෙන් දන්නවා ඉතාමත් වෙහෙසකාරී හෝ අධි මානසික පීඩාකාරී මොහොතක,  හදවතට සමීප වූ ගීතයක් මගින් අපට ලබා දෙන්නේ අපරිමිත සැනසිල්ලක්, සතුටක් පමණක් නොවී, එය අප සියොළඟම සුවකරනා ඖෂධයක් වන බව. එනිසා මියුරු කටහඬක් කියන්නෙ දිව්‍යමය ත්‍යාගයක්, කෙනෙකුට ලැබිය හැකි වාසනාවක්. කටහඬ පුහුණුවකින් දියුණු කර ගැනීමක් කල හැකි වුවද,  එය අපට මිලදී ගත හැකි දෙයක් නොවේ. 

සංගීත පරිසරයක උපත ලබා, රවී ශංකර් වැන්නවුන්ට සම කල හැකි සංගීත දැනුමින් සපිරි ගුරුවරුන්ගේ දෙපා මුල වැටී ඒ ආභාෂය ලැබීමට තරම් වාසනාවක් කරපින්නා ගත් ගායානා වේදිනියක් තමයි අප පුවත්පතේ මේ මස චරිතාපදානයට ප්‍රස්තුතය වන්නේ. සරස්වතී බැල්ම ලැබීම හේතුවෙන් මිහිරි කටහඬක් උරුමවූ මේ රුවැත්තිය ගැන බොහෝ දෑ ලිවීමට පෙරයි මා මේ පුරෝකථනය කලේ. ඇය නමින් හසන්තිකා බිනේෂණී කොඩිතුවක්කු.

වැඩිමහල් සොහොයුරියක් සහ බාල සොහොයුරෙක් සිටිනා හසන්තිකා උපත ලැබුවේ කොළඹ කළුබෝවිල මකුළදුව ගමේ. නමුත් ඇය උපත ලැබීමත් සමඟම ඇයගේ ගුරු දෙමව්පියන් මාරුවක් ලැබ වැඩිමහල් සොයුරියගේ පාසල් ආරම්භය වෙනතෙක්ම ජීවත් වුයේ මවගේ ගම වු අනුරාධපුරයේ හුරුළු මීගහපට්ටිය කියන ප්‍රදේශයේ. ආච්චිගේ තනියට කිසිවෙක් නොසිටි නිසයි ඔවුන් ඒ ගම්පියසට යාමට තීරණය කලේ. ඇත්තටම දරුවෝ තුන් දෙනෙක් ලැබෙන තාක් කල්, ඒ කියන්නෙ හසන්තිකාගේ ජීවිතේ මුල් අවුරුදු පහක පමණ කාලය මේ දරුපවුල ජීවත් වුයේ ගැමි සෞන්දර්යයෙන් පිරි හුරුළු මීගහපට්ටිය නම්වූ සුන්දර ගම්මානයේ. 

මම ඇයට ආරාධනා කළා ඒ ගම ගැන අප පාඨකයින්ට යමක් කියන්න, “හුරුළු වැව කිට්ටුව තමයි අපේ ගෙදර තිබුනෙ. ඒ වගේම ගේ පිටිපස්සෙනුත්, පැත්තකිනුත් ඇලවල් තිබුනා. අපි නෑවේ ඒ වැවෙන්. ඇලවල්වලට බැහැලා නටපු හැටි මතක් වෙනකොට අදත් මගේ හිත පිරෙනවා”, ඇය ඒ සුන්දර අතීතයේ මොහොතක තනි වුයේ ඇයටත් නොදැනුවත්වම.

ඔබට සංගීතය ගැන ආරම්භයක් ලැබුනෙ කවදාද? ඇය සෙමෙන් කතාව නැවතත් පටන් ගත්තා, “මගේ තාත්තා දොන් සරත් චන්ද්‍රසිරි අතපත්තු. ගුරුවරයෙක් වූ ඔහු ගීත ගායනයට උපන් හපනෙක්. රජරට සේවයේ ආධුනික ගී තරඟවලින් ජයග්‍රහණය කල ඔහු බටනලා සහ තබ්ලා වාදනයටත් අති දක්ෂයෙක්. මගේ අම්මා කියනවා මම බහ තෝරපු දවස්වල ඉදන් තාත්තා කියපු සින්දුවල සහ රේඩියෝවෙන් කණ වැකුණාවූ සියලුම සිංදුවල කෑලි කිව්වා කියලා. ඊට පස්සෙ මල්ලිත් යන්තම් බහ තෝරන අවදියේම, තාත්තයි, අක්කයි, මමයි, මල්ලියි හැමදාම හැන්දෑවට සංගීත සාජ්ජයක් දානවා. අක්කා මෙලෝඩිකා එක ගහනවා, මල්ලි තබ්ලාව ගහනවා, තාත්තා බටනලාව පිඹිනවා, මම සිංදු කියනවා. අම්මා විතරයි audience එකේ ඉන්නෙ. මට එතකොට අවුරුදු පහක් විතර ඇති. මම පාසැල් පටන් ගන්න කාලේ තමයි අපි නැවත පිළියන්දල පදිංචියට ආවේ” ඇය එක හුස්මට කියාගෙන ගියා. 

හසන්තිකා මුලික අධ්‍යාපනය ලැබුවේ පිළියන්දල අංක 1 කනිෂ්ඨ විද්‍යාලයේ. ඇය 2 වසරේ සිටිද්දී, ඇයගේ පියා ඇයව මාලනී බුලත්සිංහල ගුරුතුමිය ලඟට ගෙනයාම තමයි ඇයගේ සංගීත ජීවිතයේ නිසියාකාරව ගුරුවරයෙකු යටතේ පුහුණුවක ආරම්භය සිදු වුයේ. එතුමිය තමයි හසන්තිකාට සංගීතයේ මුල් පොත කියැවුයේ. අමරසිරි පීරිස් මහතාත් එතැන වයලීන් ගුරුවරයෙකුව සිටියා. ඇය සහ ඇයගේ සොහොයුරිය යන දෙදෙනාම, එතුමිය ළඟ අවුරුදු තුනක් පමණ සංගීතය හැදෑරුවා. ඊට පසුව ජාතික රුපවාහිනියේ, ගුවන් විදුලියේ  ළමා වැඩසටහන්වලත් මාලනී ගුරුතුමියගේ වාර්ෂික වැඩසටහන් වලත් ගී ගැයීමේ අවස්ථාව හසන්තිකා දැරියට හිමි වුයේ ඇයගේ දක්ෂතාවය නිසාමයි. නමුත් මේ දරුවන්ගේ සංගීත අධ්‍යාපනයට තිත තැබීමට සිදු වුයේ, ඇයගේ වැඩිමහල් සොයුරියගේ ශිෂ්‍යත්ව විභාගයත්, 1987-1989 අතරේ රටේ තිබුනාවූ භීෂණ යුගයත් නිසා.   

හසන්තිකා 6 වසරේ සිට අපොස සාමාන්‍ය පෙළ දක්වා ගියේ පිළියන්දල සෙන්ට්‍රල් එකට. එහිදී, ඇයගේ වාසනාවට ඇයට ඉතා වටිනා සංගීත ගුරුවරියන් කිහිප දෙනෙක් මුණ ගැසුනා. ඇය ඒ සම්බන්ධව කතා කලේ ඉතාමත් උද්යෝගයෙන්, “මම මුලින්ම ඉගෙන ගත්තේ ඉන්ද්‍රානි වික්‍රමසුරිය ගුරුතුමියගෙන්. ඉන්පසුව මගේ ගුරුවරිය උනේ නීතා මංගලිකා ගුරුතුමිය. ඇය තමයි කළා ශුරී සංගීත විශාරද වින්සන්ට් සෝමපාල මැතිතුමාගේ දියණිය. මේ ගුරුවරියන් දෙදෙනාගෙන්ම මගේ සංගීත දිවියට ලැබුණු ආශීර්වාදය කිව නොහැකි තරම් අප්‍රමානයි. ගීත තරඟයන්ට යොමු කිරීමෙන් මාව සංගීත ලෝකයට හඳුන්වා දීමට මේ ගුරු මෑණියන් දෙදෙනාම ප්‍රබල උත්සාහයක් දරුවා. විෂය භාර සංගීතයට අමතරව විනීතා මංගලිකා ගුරුතුමිය මාව ශාස්ත්‍රීය සංගීත දෙසටත් යොමු කළා. ඒ මඟ පෙන්වීම යටතේ මගේ තාත්තා මමත් අක්කවත්, මල්ලිවත් එක්කරගෙන ගියේ අද දවසේ බොහෝ කීර්තිමත් ගායක ගායිකාවන්ට ගුරු පියෙක් වූ ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා ලඟට. අවුරුදු 10ක පමණ කාලයක්, එතුමාගෙන් අපි ශාස්ත්‍රීය සංගීතය හදාරුවා. ඔහු ඉතාමත් දක්ෂ ගුරුවරයෙක්”, කියමින් විරාමයකට ඇය ඉඩ ලබා ගත්තා.

ඇය 10 වසරේ සිටියදී තමයි, මේ සොයුරු සොයුරියන් තිදෙනා ඉන්දියානු සංගීත විභාගවලට ලියන්න පටන් ගත්තේ. සංගීත ප්‍රවේශිකා, ප්‍රථමා, මධ්‍යමා, සංගීත  විශාරද කොටස් 1 සහ 2 විභාගවලට ඔවුන් සහභාගී උනා.

ඉන් පසුව අපොස උසස් පෙළ සඳහා  නුගේගොඩ අනුලා බාලිකාවට ගිය හසන්තිකාට ලංකාවේ ජනප්‍රියම ගායිකාවන්ගෙන් කෙනෙක් වූ දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය මුණ ගැසුනේ වාසනාවකට වගේ. ඇය වැනි ජනප්‍රිය ගුරුවරියක යටතේ අධ්‍යාපනය ලැබීමෙන් බොහෝ තරඟවලට සහභාගී වීමේ අවස්ථාවන් හසන්තිකාට ලැබුනා. මේ දස වසරක පමණ කාලයේ හසන්තිකා සහභාගී වූ සිංහල භාෂා දිනවල ගායනා, ශාස්ත්‍රීය ගායනා, ජන ගායනා වැනි සමස්ත ලංකා ජයග්‍රහණ බොහෝ ලබා තිබෙනවා. ඒත් එක්කම, 2000 වසර වනවිට හසන්තිකා සංගීත විශාරද උපාධියද අවසන් කළා. එයට අමතරව, ඇය එවකට සංගීතය සදහා ලංකාවේ විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වූ ගායන, වාදන ඇතුලත් විභාග මාලාවේ ගායනය සහ වාදනය අවසාන විභාගය සාර්ථකව සමත් වූවා.

ඉන්පසු ක්ෂණිකව මා ඇසුවේ, ඇය වාදනයත් කරනවාද කියලා, “ඔව් මම වයලීනය සිතාරය සහ එස්ට්‍රාජය වාදනය කළා, නමුත් පාසල් අවධියෙන් පසුව, වාදනයට සම්බන්ධවීම හෙමින් හෙමින් මගෙන් මග හැරුනා”, යැයි ඇය මද පශ්වාත්තාපයකින් පැවසුවා.  

හසන්තිකාගෙ ඊළඟ පියවර වුයේ සරසවි අධ්‍යාපනය. ඇය ඒ ජීවිතය ගැනත් කරුණු මා සමඟ බෙදා ගත්තා, “මට සංගීතය හැදෑරීමට උවමනාව තිබුණු නිසා, මම යායුතුව තිබුනේ කැලණිය විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය පීඨයට, නමුත් එයට ඇතුළු වීමට වසරකට වඩා බලා සිටීමට සිදුවීමත්, අනික් අතට මගේ අම්මා තාත්තගේ කැමැත්ත තිබුයේ ගෙදර සිටම උසස් අධ්‍යාපනය හැදෑරීමත් නිසා මම ඇතුල් උනේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට. ඒත් එක්කම මට එහි යාමට හේතු වූ තවත් කරුණු කාරනා දෙකක් තිබුනා. එවකට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලංකාවේ සිටි හොඳම සිතාර් වාදකයා වූ ප්‍රදීප් රත්නායක ගුරුතුමා කථිකාචාර්ය වරයකුව සිටි අතරෙ ප්‍රේමදාස මුදුන්කොටුව ගුරුතුමා බාහිර කථිකාචාර්යවරයකු ලෙස සේවය කළා. ඒ වගේම තවත් ඉතාමත් දක්ෂ කථිකාචාර්යවරුන් එහි සිටියා. මම සංගීත විශාරද උපාධිය හදාරා තිබු නිසා මට කැමැත්තක් ඇති උනා ජනසන්නිවේදනය මගේ විශේෂවේදී උපාධිය සඳහා තෝරා ගන්න. එය මා ගත් බුද්ධිමත් තීරණයක්ද යන්න අදටත් මම මගෙන්ම ප්‍රශ්න කරනවා. ජයවර්ධනපුර සරසවිය ජනසන්නිවේදන උපාධිය ප්‍රථම වතාවටයි ඒ වසරේ හඳුන්වා දුන්නෙ. ගංගානාත දිසානායක, සුනිල් ආරියරත්න, සුගතපාල සෙනරත් යාපා, රංග කලාසුරිය, හර්ෂ අබේකෝන් වැනි මහාචාර්යවරුන් ගුරුවරුන් ලෙස සිටීම ජන සන්නිවේදනය තෝරා ගැනීමට තවත් හේතුවක් උනා. ඒ වෙනකොට මම තමයි අපේ “BatchTop” ඒ නිසා මට අවස්ථාවක් සහ ආසාවක් තිබුනා ජයවර්ධනපුරම කථිකාචාරිනියක් වෙන්න. තවත් යම් දෙයක් මම කිව යුතුයි මේ කාලයේම මම හින්දි භාෂාව අධ්‍යයනය කළා”. ඇය අතීතය සැමරුවේ ඒ සතුට බෙදා ගනිමින්.

නමුත් දෛවය ඇයට මඟ පෙන්නුවේ වෙනම මං සලකුණු. එසමයේදීම, චිත්‍රපට සංස්ථාවේ උපාධිධාරීන් ඉල්ලා තිබු ඇබෑර්තුවට ප්‍රතිචාර දැක්වීම හේතුවෙන්, ඇයට එහි කළමනාකරණ සහායක තනතුරෙහි සේවය කිරීමේ අවස්තාව ලැබුනා. එදා පටන් ඇය සභාපති වූ අසෝක සේරසිංහගේ ලේකම් ලෙස සේවය ආරම්භ කලේ ජීවිතයේ අලුත් පරිච්චේදයකට ආරම්භය දෙමින්. එතැන තිබු අපුර්වත්වය වුයේ සෝමරත්න දිසානායක වැනි බොහෝ කලාකරුවන් මුණ ගැසීමේ අවස්තාව ඇයට ලැබීමයි. ඒ වගේම එහි පැවති උත්සවවලට ගී ගැයීමේ අවස්ථාවද ඇයට ලැබුනා. මේ කාලයේදීම ගාල්ල සවුත්ලන්ඩ් බාලිකාවේ සංගීත ගුරු පදවියක් ලැබීමේ වාසනාවද ඇයට හිමි  වුවා.

හසන්තිකාගේ ඊළඟ සුදානම වුයේ, ඇයගේ ජීවිතය ප්‍රේමය නම්වූ අපුර්වතම සිදුවීම හේතුවෙන් ඇය ආ ගමන අංශක 360 කින් හැරවුණු ආකාරයේ වගතුග අප ප්‍රේක්ෂකයින් සමඟ බෙදා හදා ගැනීමට. ඇත්තටම එය ඇයගේ ජීවිතයේ ප්‍රධානම සන්ධිස්ථානය, “මට ගුරුවරියක වීමේ අරමුණ සාක්ෂාත්වීමත් සමඟම තමයි මට ගයාන් සමඟ විවාහ වීමට සිදු උනේ. වසර කිහිපයක සම්බන්ධයකින් පසුවයි අපි විවාහවීමට තීරණය කලේ. ඔහු සිටියේ දකුණු ඇමෙරිකාවේ Botswana කියන රටේ. මගේ දෙමාපියන්වත් මවිත කරමින් මගේ කළා දිවිය තාවකාලිකව හෝ නවතිනවා යැයි කියා දැන දැනත් මම තීරණය කළා විවාහවී ඔහු සමඟ Botswana වලට යාමට. ඔහු සමඟ ඒ රටට ගියාට පසුව, මට සංගීතයට කිසිම ආකාරයකින් සම්බන්ධවීමට හැකියාවක් ලැබුනේ නැහැ. වසර කිහිපයකට පසුව ඔහුගේ රැකියාව Bermuda වලට මාරුවීම හේතුවෙන්, අපි දෙන්නා එහි අවුරුදු 6 කට වැඩි කාලයක් සිටියා. ඒ කාලයේ තමයි මගේ ලොකු දුව මට ලැබුනේ. එම රටේ කිසි දිනක පදිංචියක් නොලැබෙන නිසා, අපි තීරණය කළා කැනඩාවට එන්න”. ඇය කැනඩාවට පැමිණීමට හේතුව සරලවම පැහැදිලි කළා.

මම ඉතාමත් නොඉවසිල්ලෙන් ඇයගේ කාතාවට බාධා කළා, “හසන්තිකා ඔයා ලංකාවෙ හිටියා නම් ඔයාගෙ ගායන ජීවිතයේ ඉතාමත් ඉහලට යන්න තිබුනා. එයට මේ රටින් පිටවීම විශාල බාධාවක් උනා නේද, එයට හිත හදා ගත්තෙ කොහොමද? ඇය අකමැත්තෙන් වුවද මට පිළිතුරු දුන්නා, “මගේ ප්‍රාණය හා සමවූ සංගීතයෙන් සමු ගැනීමට සිදුවීම ගැන මුලදී පසුතැවිල්ලක් ඇති උනත්, ගැහැනියකට පවුල් ජීවිතය සහ දරුවන් ඉතා වැදගත්. ඉතිං ඒ නිසා ඒ පසුතැවිල්ල කලකින් මඟ හැරුනා”. දකුණු ආසියාතික ගැහැණියක ලෙස ප්‍රේමයට, විවාහ දිවියකට මුල් තැන දීම අප සංස්කෘතික ගුණාංගයක් වීම හේතුවෙන් ඇයගේ ඒ තීරණය ගැන අප පුදුම විය යුතු නැහැ නේද?

මේ යුවතිය කැනඩාවට ආවෙ 2014 වසරේදී. ඉන්පසුව, දෙවන දියණියත් ලැබීම හේතුවෙන් අවුරුදු 3 ක් පමණ ගෙදර දොර දරුවන් සමඟ කාලය ගත කලේ ඇයගේ යුතුකම් ඔවුනට නොපිරිහෙලා ඉටු කරමින්. නමුත් 2019 දී ඇයට අහම්බයෙන් ටොරොන්ටෝ මහා විහාරයේ රුක්සෙවන සංගමය සංවිධානය කල “Talent Show’ එකට සහභාගී වීමේ අවස්තාව ලැබුනා. ඇත්තටම, අවුරුදු 10කට පසුවයි, වේදිකාවකට නැග මෙවැනි ඉදිරිපත් කිරීමකට අවස්තාව ලැබුනේ. ඇය එම තරඟයේදී ලැබූ 4 වැනි ස්ථානයට වඩා, ඒ පුනර්ජීවනය ගැන ඇයට ඇති වුයේ ප්‍රමෝදයක්. ඒ තමයි ඇයගේ ගායනා ජීවිතයේ පුනරුත්පත්තිය. ඉන් ටික කලකට පසුව, ඇයට අවස්තාවක් ලැබුනා උතුරු ඇමෙරිකාවට විවෘතවූ Boston Lanka Media Network සංවිධානය කල “Reality” වැඩසටහනට සහභාගීවීමට. එය සංවිධානය කලේ ඇමෙරිකාවේ පදිංචි චිත්‍රාල් ද මෙල් සහ  වයෝනි ද මෙල් යුවල. එහි පුර්ව කටයුතු සියල්ල සිදුවුයේ Online මගින්. කටහඬ පරීක්ෂාවෙන් සහ වට කිහිපයකින්ම අවසන් වටය දක්වා යාමට හසන්තිකා සමත් වූවා. අවසාන වටය පැවත් වුයේ නිව්යෝක් නගරයේ. මිලාන් රුද්‍රිගුගේ සංගීත කණ්ඩායම තමයි සංගීතය සැපයුවේ. අවසන් පස් දෙනා තේරීමේදී, කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයෙන් ඇය පමණයි තෝරා ගැනුනේ. ඒ තරඟයෙන් මුල් 3 දෙනා අතරට ඇය නොතේරුණත්, ඉන් ලැබුණු ආත්ම විශ්වාසය සහ සතුට හසන්තිකාව දිරිමත් කළා.  ඊට අමතරව, සංගීත සහ ගායන ලෝකයේ බොහෝ දෙනාට ඇයව හඳුනා ගන්න ලැබීම ගැනත් ඇයට ලැබුනේ අප්‍රමාන සතුටක්.  

මේ ධනාත්මක ප්‍රතිචාරවලින් ඇයගේ සැමියා වූ ගයාන්ට හසන්තිකාගේ හැකියාවන් සහ දක්ෂතාවයන් පිළිබඳව බලාපොරොත්තුවක් ඇති වුවා. ඒ නිසා ඔහු තීරණය කළා ඇයට YouTube Channel එකක් නිර්මාණය කරදීමට. හසන්තිකා ජනප්‍රිය ගීත ඇයගේ හඩින් ගයා එයට ඇතුලත් කළා. ඒ කාලයේදීම නැවතත් Boston Lanka Media Network මගින් ඔවුන්ගේ පුවත්පතට ඇයගේ “ගායන චාරිකාව” සම්බන්ධව ලිපියක් පලකලා. එය දුටු “srilancan” digital පුවත්පත ඇයව කැනඩාවට හඳුන්වා දීමට කල හැකි සෑම දෙයක්ම ඉටු කලේ කලාකරුවකු අතින් තවත් කලාකරුවකු ඔසවා තැබිය යුතුයි කියනා මහඟු කාර්යය ඉටු කරමින්. 

ඉන්පසුව නිලුකා ධන්වන්තරී පද පෙළ ලියු, සුනෙත් කැලුම් සංගීතය සැපයු “නුඹ ඉතින් සැනසෙන්න” නම්වූ ඇයගේ ප්‍රථම නිර්මාණය ගුවන් ගත කිරීමෙන් ඇය ගායනා දිවියට ආරම්භයක් ලබා ගත්තා.  ඒත් එක්කම, “Boston Lanka Media Network” ඇය සමඟ කල වීඩියෝ සම්මුඛ පරීක්ෂණය හේතුවෙන් හසන්තිකා තවදුරටත් උතුරු ඇමෙරිකානු ශ්‍රී ලාංකික සමාජය තුල ප්‍රචලිත වුවා. ඒ කාලයේදීම,  “සවන” රේඩියෝ වැඩසටහනේ  නිසදැස් සහ කවි කීමට ඇයට අවස්තාවක් ලැබුනා.

ඒත් එක්කම ඇයට අහම්බෙන් ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර මහත්මිය හඳුන්වා ගැනීමට අවස්තාව ලැබුනා. මවක් ගුරුවරියක් සහ යෙහෙලියක් ලෙසින් එතුමිය ඇයගේ දිවියට ලබා දෙන්නෙ විශාල ආලෝකයක් බව ඇය කෘතඥශීලීව මා සමඟ පැවසුවා. 

හසන්තිකාගේ ගායනා හැකියාව ශ්‍රී ලාංකික සමාජයේ කලඑලි දැකීමට තවත් හේතුවක් වුයේ සවන ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ සුනිමල් බාලසුරිය මහතාගේ “සක්මන් මළුව”හි ඇය සමඟ පැවැත්වූ කතාබහේදී, ඇයගේ හින්දි භාෂාවේ චතුරත්වය හෙළිදරව් වීම හේතුවෙන්, වසන්ත ලංකාතිලක මෙහෙයවූ සවන රේඩියෝවේ සෑම දෙසතියකටම වරක් ඉරිදාවන්හි පැයක හින්දි ගී වැඩසටහනක් කිරීමට ඇයට අවස්තාව ලැබුනේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ආකාරයට. අවුරුදු 3, 4 කාලයක්ම ඇය ඒ වැඩසටහන දිගටම කරගෙන ගියා. කිසි දිනක නිවේදක භුමිකාවක අත්දැකීමක් නොතිබූ හසන්තිකාට තමාම ගීය හඳුන්වා දී, එය ගැයීම කල නිසා, අවුරුදු 10කට වැඩි කාලයක් භාවිතාවේ නොතිබූ ඇයගේ හින්දි භාෂා පරිහරණයට ලැබුනෙ නව ජීවයක්. ඒ පියවරට මුළු හදින්ම අතහිත දුන් වසන්ත ලංකා තිලක ගැන ඇය සදහන් කලේ ඉතාමත් ගෞරවයෙන්. 

ඇය නැවතත් හඬ අවදිකලා, “ඊට පස්සෙ, මගේම ස්වතන්ත්‍ර කිහිපයක් කිරීම ආරම්භ කළා. මගේ දෙවෙනි සින්දුව,"දහස් ගව්” ලිව්වෙ මගේ මහත්තයා, ගයාන් කොඩිතුවක්කු. එය මුදල් ඉපයීමේ අරමුණින් පිටරට යන කාන්තාවන්ගේ ජීවිත ගැන ලියැවු ගීතයක්. එය ගයාන් අතින් ලියැවුනේ අපේ මව්බිම සුරකීමට අනේකුත් දුක් කනදරා මැද දර දිය අදිනා අප ශ්‍රී ලාංකික කාන්තාවන්ට කරනා ගෞරවයක් ලෙසටයි. ඒ ගීතයට සංගීතය සැපයුවේ ලංකාවේ “නාද” කණ්ඩායමේ නයන කරුණානායක”.

හසන්තිකා බිඳුණු හඩින් කතාව නැවතත් ඇරඹුවේ 2021 දී, ඇයගේ ලොවේ ප්‍රදීපාගාරය නිවී යාම හේතුවෙන්, “ඉතාමත් කෙටි කාලයක අසනීපයකින් මගේ තාත්තා නැති උනා. ඒ අවාසනාවන්ත සිද්ධිය මේ තරම් ඉක්මනින් සිදුවේයැයි මා කිසිදිනක බලාපොරොත්තු උනේ නැහැ. කොවිඩ් තත්වය නිසා මට ලංකාවට යන්න බැරිවීම සම්බන්ධව එදා බොහෝ පශ්වාත්තාප වුවත්, මම අද ඒ ගැන සතුටු වෙනවා. මම ඔහුගේ ජීවය නොමැති සිරුර නොදැකීම හේතුවෙන් මට පුළුවන් මගේ පියාගේ ජීවය පිරි ආදරණීය මතක සමඟ  ජීවත්වෙන්න. මගේ තාත්තා නැතිවීම තමයි, මගේ ජීවිතයේ මා මුහුණ දුන් ප්‍රථම ඛේදවාචකය. නමුත් මම තීරණය කළා මේ වේදනාව, ඔහු දුන් හැකියාවට ශක්තියක් බවට පරිවර්තනය කරන්න. අදටත් ඔහු මා ළඟ හැමතැනම ඉන්නවා, ඔහුගෙන් මා ලද දායාදය වූ ඔහුගේ ගායන හැකියාව තමයි මගේ කටහඬ. එයට පණ දෙන්න මම තීරණය කළා”, ඇය එය පැවසුවේ ස්ථීරසාර හඬකින්, “මගේ තාත්තා ජීවත්ව සිටියා නම්, මම ගැන ඉතාමත්ම සතුටු වන බව මම දන්නවා”, ඇය වේදනාවෙන් මා සමඟ පැවසුවා.

විශ්‍රාමික විදුහල්පතිවරයෙක් වූ ඇයගේ පියා ප්‍රසිද්ධියට පත් නොවුනත්, බොහෝ කුසලතාවයන්ගෙන් පිරි පුද්ගලයෙක්. ඔහු ගායනයට වගේම, වාදනයටත් විශේෂ හැකියාවන් තිබු බවට සාක්ෂි අපට අවශ්‍ය නොවනුයේ හසන්තිකාගේ ගායන හැකියාව එයට සාක්ෂි දරන නිසා. එතුමාගේ දක්ෂතාවයන් හෙළිපෙහෙළි කිරීමට ඔහුගේ තරුණ කාලයේ ඔහුට පසුබිමක් නොතිබූ නිසයි, ඔහුගේ දරුවන් තිදෙනාට ඉදිරියට යාමට හැකි සෑම දෙයක්ම ඔහු කලේ. සංගීතය සහ ගායනය පිලිබඳ වැඩිපුර අධ්‍යාපනය දීමට සහ ගී තරඟ වලට, කළා උළෙලවලට, සහභාගී කරවීමට ඔහුට හැකි පමණින් සෑමදේම ඔහු ඉටු කළා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, ඔහු දරුවන්ගේ ජීවිතවල ප්‍රදීපාගාරය වුවා. ඔහු ලියු භක්ති ගීතයක් වන “හිරු නිවුනි අහසේ” ගීතය ඇය  ගායනා කලේ පියාට දක්වන ගෞරවයක් ලෙසට. 

හසන්තිකා නැවතත් කටහඬ අවදි කලේ ඇයගේ තෙවැනි ගීතය වන “නුඹයි නුඹගේ ප්‍රේමයයි” ගැන පාඨකයින්ට සැළකිරීමට, “එය ලියා දුන්නෙ සුගත් නන්දසිරි නම් කළා කරුවා. මගේ කටහඬට සවන් දී පැහැදුණු ඔහු WhatsApp මගින් මට ගීතයක් කරන්නැයි යෝජනාවක් කළා. එඩ්වඩ් ජයකොඩි සංගීතය සැපයුවා වගේම මේ යුග ගීය ගැයීමට මට එකතු උනා. එඩ්වඩ් ජයකොඩි වැනි ප්‍රවීනයෙක් සමඟ ගීයක් ගැයීම ඉතා ගෞරවයක් ලෙසයි මා සලකන්නෙ. මම මෑත කාලයේදීම කල ගීතය තමයි “ස්වේත නීල”, ටොරොන්ටෝවේ ඉතා ජනප්‍රිය වූ එහි පද පෙළ,  තනු නිර්මාණය සහ සංගීතය සැපයුවේ විහඟ ප්‍රසාද් සිරිවර්ධන. ඔහු ලංකාවේ ගීත රචනය සහ සංගීතය කරනා කළා කරුවෙක්.  ඉමේෂා කෙත්මිනි සහ කාවින්ද වීරසේකර තමයි ඉතාමත් සිත්කළු රූප රාමු මවන්නේ. 

මගේ ඊළඟ පැනය වුයේ, “ඔබ මොනවද මේ දවස්වල කරන්නෙ කියලා”, 

“දැනට අවුරුදු තුනකට පමණ පෙර සිට මගේ ගායන හැකියාව දුටු කැනඩාවේ වෙසෙන දෙමව්පියන් කරනා ලද ආරාධනාවකට ප්‍රතිචාරයක් ලෙසට මම ගායනා ඉගැන්වීමේ පන්තියක් පටන් ගත්තා. ගායනය වගේම කටහඬ පුහුණුවත් කරනවා. වයස් භේදයක් නැතිව, මම ඕනෑම කෙනෙකු මගේ ගායනා පන්තිවලට භාර ගන්නවා. දැනට දරුවන් සහ වැඩිහිටියන් 15 ක් පමණ එහි ඉගෙනුම ලබනවා. එයාලා දිනෙන් දින දියුණු වන බව දකින මා ඉන් ලබන්නේ අසීමිත සතුටක්. මගේ ළඟ ඉන්නවා මම යම් මට්ටමකට හැඩ ගස්වා ගත් දරුවන් ටිකක්. එයාලට ශාස්ත්‍රීය සංගීතය උගන්වන්නත්  මම පටන් ගත්තා. ඒ වගේම පසුගිය දිනක, රූපණ මාධ්‍යයේ මම පොඩි ළමයින් සමඟ වැඩ සටහනක් කළා. තවත් එකක් ඉදිරියටත් විකාශනය වෙන්න තියෙනවා.                                                                                                                  

මගේ ඊළඟ ප්‍රශ්නය වූ, “ඔබගේ අනාගත සිහින මොනවාද?” කියන එක.

ප්‍රශ්නයට පිළිතුරට ඇය හෙමින් වචන ගලපා ගත්තා, “මට හුඟක් සිහින නැහැ. ඒත් මට අරමුණු කිහිපයක් තියෙනවා. දැනට කරනා නිර්මාණ දිගටම කරගෙන යාම මගේ ප්‍රධානම අරමුණ. ඒ වගේම, මම ලංකාවේ ඉද්දී කල ජන ගී, නාට්‍ය ගී  වැනි විවිධ ආකාරයේ කළා අංගයන්ට සම්බන්ධ නිර්මාණ කිරීමට හිතේ බොහොම කැමැත්තක් තියෙනවා. ඒ අංශවලින් මම පාසල් අවධියේදීත්, සරසවියෙදීත් සමස්ත ලංකා ජයග්‍රහණ කරලා තියෙනවා. ඒ වගේම හින්දි ගීත එහි තේරුමත් සමඟම ගායනා කරන්නත් මගේ අදහසක් තියෙනවා. ඇත්තටම සිහිනයක් ගැන කියනවා නම් මගේ සංගීත ජීවිතයට මගේ තාත්තායි මමයි හුඟක් කැපකිරීම කළා. තාත්තා වෙනුවෙන් මම ඒ ලැබූ දැනුම නිකම්ම අපතේ නොයවා, මේ ලෝකයේ කාගේ හරි යහපතකට දී යායුතු යැයි කියනා දැඩි බලාපොරොත්තුවක් මට තියෙනවා.ඒ නිසා, මට හැකි පමණින් සංගීතය, ගායනය ඉගැන්වීමට මම අදිටන් කරගෙන ඉන්නවා” යයි ඇය පැවසුවේ අධිෂ්ඨනශීලීව. 

මම දන්නා තරමින් සෑම ගායක ගායිකාවකගේම සිහිනය තමයි, තමාගේ දරුවන් ගී ගායනා ක්ෂේත්‍රයට එළැඹීම, ඔබටත්  ඔබේ දරුවන් සම්බන්ධව එවැනි සුන්දර ආදරණීය සිහින නැද්ද? 

මගේ පැනය අවසන් කිරීමටත් පෙර ඇය කටහඬ අවදි කළා, ”ඔව් මට අවුරුදු 13ක් සහ 10ක් වයසැති දුවලා දෙන්නෙක් ඉන්නෙ, එයාලා දෙන්නටම ලස්සනට සිංදු කියන්න පුළුවන්, මම එයාලව ගායනයට පුහුණු කරන අතරෙ, වාදනය  ඉගෙන ගැනීම සඳහා පිටත ගුරුවරයෙක් ලඟට යවනවා. දෙන්නම Ontario ප්‍රාන්තයේ Championship තරඟයට තේරුනා. අගෝස්තු 15 වෙනිදා, මගේ චුටි දුව, CNE සමාරම්භක උත්සවයේ ගී තරඟයේ ගීත ගායනා කලා. මම හිතනවා එයාලා දෙන්නම ගීත ගායනා පැත්තෙන් ඉදිරියට යාවී කියලා, දැනට උනන්දුවකුත් තියෙනවා. එයාලා ගී ගායනය අමතර වෘත්තියක් ලෙස කලත් මට කමක් නැහැ.

මගේ සුපුරුදු තවත් ප්‍රශ්නයකට කාලය එළැඹුනා, “ඔබට මග හැරුණු සිහින නැද්ද? 

ඇත්තටම තියෙනවා, මගේ තාත්තා මගේ ජයග්‍රහණ දැකීමට ජීවත් නොවීම මගේ ජීවිතයේ බරපතලම මග හැරුණු සිහිනය. මගේ මල්ලි, අසිත් අතපත්තු, ඉන්දියාවේ පවා ගොස් ශාස්ත්‍රීය සංගීතය පරතෙරට අධ්‍යයනය කල, සෞන්ධර්ය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්යවරයෙක්. තාත්තාට මල්ලි දිහා බලලා සතුටු වෙන්න පුළුවන් උනා. ඒත් මගේ නිර්මාණ දකින්න තාත්තා ජීවත් උනේ නැහැ. ඒක මට මග හැරුණු සිහිනයක්, මට ඒ ගැන තියෙන්නෙ වේදනාවක්”, ඇය ඉතා හැගීම්බරව පැවසුවා. 

මගේ අවසාන ප්‍රශ්නය වුයේ, “ඔබට පරමාදර්ශවූ  චරිත ගැන යමක් කියන්න පුලුවන්ද?” කියලා. 

හසන්තිකා කතාව පටන් ගත්තේ තාත්තාගෙන්, “මගේ තාත්තා තමයි මගේ ජීවිතයේ පහන් කන්ද. මට යමක් ලැබුනා නම්, මම අද යම් තැනක සිටිනවා, නම් ඒ සියල්ලටම හේතුව මගේ ආදරණීය තාත්තා. ඒත් එක්කම තාත්තාගෙන් ලැබූ කළා දිවිය ඉදිරියට ගෙන යාමට අපට හැකි වුයේ, අපේ සෙවනැල්ල වගේ සිටි අම්මා නිසා. අම්මා තමයි අපේ කුරුළු කුඩුවේ ආදරය, සාමය, සමගිය රැකගන්න ඇයගේ මුළු දිවියම කැප කලේ. අපි ඔක්කොම එක මිටට තියාගෙන රැක බලා ගත්තෙ. ඊට පසුව මම මතක් කරන්න ඕන මාලනී බුලත්සිංහල ගුරුතුමිය. මම 2 වසරේ සිටයි ඇය ලඟට ගියේ. සංගීතය පිළිබඳ කිසිවක් නොදැන සිටි මට සංගීතයේ හෝඩියෙන් පටන් ගෙන බොහෝ දේ මම ඉගෙන ගත්තේ මාලනී මිස්ගෙන්. කොටින්ම කියනවා නම් මම සංගීතයේ අත්පොත් කියැව්වේ මාලිනී ගුරුතුමියගෙන්. ඊළඟට මම ඉතා ආදරයෙන් මතක් කරන්න ඕන ඉන්ද්‍රානි වික්‍රමාරච්චි ගුරුතුමිය. ඉන්පසුව මම ශාස්ත්‍රීය සංගීතය දෙසටත් යොමුකළ නීතා මංගලිකා ගුරුතුමිය. මේ ගුරුවරියන් දෙදෙනාගෙන්ම මගේ සංගීත දිවියට ලොකු බලපෑමක් කළා. දීපිකා ප්‍රියදර්ශනී කියන්නෙත් ඉතාම පරිනත සංගීත දැනුමක් තිබෙන ගුරුවරියක්. මම ඇයගෙන් සංගීතය පිළිබඳව බොහෝ දේ උගත්තා. මිස් සමඟ අදත් මම කතා බහ කරනවා.  ඊටපස්සේ ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මැතිතුමා තමයි මගේ සංගීත ජීවිතයේ හැරවුම් ලක්ෂය වුයේ.  එතුමාගෙන් මම සංගීතය පිළිබඳව අවුරුදු 10ක් ඉගෙන ගත් කාලයේ තමයි මගේ සංගීත ජීවිතයට අඩිතාලම වැටුනේ.  ඊළඟ ගුරුවරු මට මුණ ගැසුනේ සරසවියේදී. ප්‍රදීප් රත්නායක සහ තිස්ස කාරියවසම් ගුරුතුමන්ගෙනුත් ගෙන් මට බොහෝ ගුරු හරුකම් ලැබුනා”.  

“මම කැනඩාවට පැමිණි පසු මගේ සංගීත ජීවිතයට බොහෝ අයගෙන් උදව් උපකාර ලැබුනා. කැනඩාවේදී මගේ ගායනා ගැන ලාංකික සමාජයට  හඳුන්වා දුන් “srilancan” පුවත්පතට මම බෙහෙවින් ණය ගැතියි. ඊළඟට මට මවක් මෙන් ගුරු හරුකම් දෙන ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර මැතිනිය මගේ ගායනා ජීවිතයට විශාල රුකුලක් උනා. ඒ වගේම සරත් චන්ද්‍රසේකර මහතාත් ආදරයෙන් මතක් කරන්න ඕන. තවත් විශේෂ පුද්ගලයෙක් තමයි, බන්දුල කුරුවිටආරච්චි මහතා. මම පුංචි කාලෙ පිළියන්දල සෙන්ට්‍රල් ඉන්නා කොට බන්දුල සර් අපේ වැඩමුළු සඳහා කිහිප දවසක් ආවා. ඉතින් දවසක් මම කැනඩාවේදී දැක්කහම, ගිහින් කතා කලාමයි අඳුනා ගත්තෙ. අදටත් සර් මට හරියට ගුරු හරුකම් දෙනවා. ඉතිං අන්තිමටම මම කියන්න යන්නෙ තාත්තාගෙන් පසුව මට පහන් කණුවක් වූ මගේ සැමියා වූ ගයාන් කොඩිතුවක්කු ගැන. ඔහු නොසිටින්න, මට මේ කිසිවක් කරන්න බැහැ. මගේ සෙවනැල්ල මෙන් සිට, මට ශක්තියක් වෙන්නෙ ගයාන්. සමහර වෙලාවට මගේ ගමනට සමාජයෙන් ලැබෙනා සමහර ප්‍රතිචාරවලට සිත් අමාරු ඇතිවූ අවස්ථාවල ඔහු තමයි මා නැවත නැගී සිටුවන්නෙ. එදා මාගේ පියාගෙන් ඉටුවූ යුතුකම් අද ඔහුගෙන් ඉටුවන විට දැනෙන හැගීම් ප්‍රකාශ කිරීමට මට වචන නැහැ”, ඇය සුසුමක් පිට කරමින් පැවසුවා.

පසුගිය දිනක, හසන්තිකා කරනු ලබන සංගීත ප්‍රසංගයක් ගැන මට වටින් ගොඩින් දැන ගන්න ලැබුනා. ඒ නිසා මම ඇයට ආරාධනා කළා අප පුවත්පතේ ප්‍රේක්ෂකයින් වෙනුවෙන් යමක් ඒ ගැන සඳහන් කරන්න කියලා. 

“ඇත්තටම, ඔබ මගෙන් ඇහුවා මගේ සිහින මොනවද කියලා, මම සංගීත ගමනේ බොහෝ දුර ගමන් කලාට පසුව මගේම සංදර්ශනයක් කරනවා කියනා එකනම් මට තිබුණු හීනයක් තමයි. මගේම ගීත එකතුවක් සමඟ කරනා මේ “මියැසි ගී දැහැන” සංගීත සංදර්ශනය තියෙන්නෙ Mississauga නගරයේ Eden United Church එකේ. එයට සංගීතය සපයන්නෙ සංගීතය පිලිබඳ මනා පලපුරුදක් ඇති සංගීත ශිල්පීන් කිහිප දෙනෙකුගේ එකමුතුවකින්. මේ ලිපිය කියවන ඔබ සැමට මම ආරාධනා කරනවා”, ඒ ඇයගේ කාරුණික ඉල්ලීම.

ඉතා විශිෂ්ඨ සංගීත අධ්‍යාපනයක්, ඉතා සංයමයෙන් පුරුදු පුහුණු කිරීම්, ඒ වගේම වාසනා ගුණය, සරස්වතියගේ බැල්ම වැනි සියළුම අංගෝපාංගයන්ගෙන් පිරිපුන් වීම කළා කරුවකුගේ සාර්ථකත්වයට අත්‍යාවශ්‍ය කරුණු වෙනවා. ඒ වගේම  හරිමඟ පෙන්වීමට ප්‍රදීපස්තම්භයක් බඳුවූ මාර්ගෝපදේශය තිබීමත් අතිශයින් වැදගත් වෙනවා. මේ සියල්ලටමත් වඩා වටින්නෙ, ඒ කළා කරුවාගේ මනෝභාවය කියලයි කලාව පිලිබඳ බොහෝ දැන උගත් අය පිලිගන්නෙ. කලාකරුවාට සංවේදීබව සහ සංවේදනය තියෙන්න ඕන. දුක වේදනාව දැනෙන්න ඕන. එවිටයි ඉතා උසස් නිර්මාණ ඒ කලාකරුවා තුලින් බිහිවන්නේ. 

හසන්තිකාගේ පීතෘ විරහව හේතුවෙන් ඇයට දැනුනාවූ දුක වේදනාව සත්‍ය වශයෙන්ම ඇයගේ සංගීතය, ගායනයට ඇය ලැබූ ප්‍රතිභාවයන්ට ආලෝකයක් දෙන ගිණි හුලක් වෙන්නට ඇති. ඇයගේ පියතුමා වූ දොන් සරත් චන්ද්‍රසිරි අතපත්තු මහතා මෙලොව හැර ගිය පසු ඇය තුල ජනිත වූ අධිෂ්ඨානය අප දැනට දකිනා ඇයගේ සාර්ථක ගමනේ මුලය සහ ශක්තිය වෙන්න ඇති.

ඇයගේ සංගීත දිවියට අපට කල හැකි අනුබලයක් මෙන්ම ධෛර්‍යය දීමක් ලෙස  2025 නොවැම්බර් 02 වෙනි සන්ධ්‍යාවේ 6.00 ට පැවැත්වෙන හසන්තිකාගේ ගීත ගායනා සංදර්ශනයට සහභාගිවීමට ඔබ සැමටම ආරාධනා කරන්නෙමු. 

ගායනයටම සරිලන ඉතා මුදු මොලොක් කටහඬක් සතු හසන්තිකා කලාකාරිනිය සමඟ හෝරා දෙකක පමණ කාලයක් ගතකල මා අපගේ සුහද කතා බහ නිමා කලේ ඇයගේ අනාගත ගායන සහ වාදන ජීවිතයට අප “srilancan” Digital පුවත්පතේ  ප්‍රේක්ෂකයින් වෙනුවෙන් ආශීර්වාද කරමින් සහ ඇයගේ සිහින සැබෑ වේවා යැයි සුභ ප්‍රර්ථනා කරමින්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *