

මුදල් සැපයුම තීරණය කරන්නේ කවුද?
උද්ධමනය, අවධමනය, සාමාන්‍ය මිල මට්ටම, දළ දේශීය නිෂ්පාදිතය, මුදල් සැපයුම වගේ ආර්ථික විද්‍යාවේදී කතා කරන ගොඩක් දේවල් වියුක්ත සංකල්ප. මේ වගේ වියුක්ත සංකල්ප ඇසුරෙන් ආර්ථික විද්‍යා ප්‍රවාද ගොඩ නගන්න පුළුවන්. ඒ ප්‍රවාද ඇසුරෙන් නිගමන වලට එළැඹෙන්නත් පුළුවන්. නමුත්, එවැනි නිගමන නිවැරදි බවක් එයින් අනිවාර්යයෙන්ම අදහස් වන්නේ නැහැ. ප්‍රවාදයක් හෝ ප්‍රවාදයක් අනුව යමින් එළැඹුණු නිගමන නිවැරදි බව තහවුරු කරගන්නනම් සැබෑ ලෝකය තුළ ඒ ප්‍රවාද පරීක්ෂාවට ලක් විය යුතුයි.
මුලින් වියුක්තව ඉදිරිපත් කෙරෙන සංකල්පයක් සැබෑ ලෝකය හා ගැලපීම සඳහා යම් නිශ්චිත අර්ථ දැක්වීමක් අවශ්‍ය වෙනවා. එසේ නොකර මිනුම් හෝ නිරීක්ෂණ ලබා ගන්න බැහැ. නිරීක්ෂණ ලබා නොගෙන ප්‍රවාදයක් සැබෑ ලෝකය තුළ පරීක්ෂාවට ලක් කරන්න බැහැ.
වියුක්ත සංකල්පයක් සැබෑ ලෝකය තුල නිරීක්ෂණය කළ හැකි මිනුමක් සේ අර්ථ දක්වන්න උත්සාහ කරද්දී ඇති වන මූලිකම ගැටලුවක් වන්නේ අදාළ වියුක්ත සංකල්පය හා හරියටම ගැලපෙන ප්‍රපංචයක් සැබෑ ලෝකයේ දකින්න නොලැබීමයි. ඒ නිසා, වඩාත්ම ගැලපෙන තෝරා ගැනීමක් කරන්න වෙනවා. මෙය කියන තරම්ම පහසු නැහැ. බොහෝ වෙලාවට මුලින්ම තෝරා ගැනෙන හොඳම මිනුමට වඩා හොඳ මිනුම් ඇති බව පසුව පැහැදිලි වෙනවා.
හේතු දෙකක් නිසා මෙවැන්නක් සිදු වෙන්න පුළුවන්. පළමුව, මුලින්ම තෝරාගත් මිනුම හෝ අර්ථදැක්වීම ඒ මොහොතේ වුවත් හොඳම මිනුම නොවූ නිසා. ඒ කියන්නේ විනිශ්චයේ ප්‍රශ්නයක් නිසා. දෙවනුව, එය ඇත්තටම ඒ මොහොතේ පැවති තත්ත්වයන් තුළ හොඳම මිනුම වුවත් පසුකාලීනව ඒ තත්ත්වයන් වෙනස් වීම නිසා.
මුදල් සැපයුම කියන වියුක්ත සංකල්පය ඇසුරෙන් මේ කරුණ පැහැදිලි කරන්න පුළුවන්. මුදල් සැපයුම ගැන ගොඩක් අය කතා කරනවා. කතා කරද්දී මුදල් සැපයුම වගේ වචන දෙකක් භාවිතා කරන එක ඕනෑම කෙනෙකුට කළ හැකි පහසු වැඩක්. එසේ කිරීම සඳහා මුදල් සැපයුම කියන්නේ කුමක්ද කියා නිශ්චිතව දැන ගන්න අවශ්‍යම නැහැ. නමුත් තමන් කතා කරන මුදල් සැපයුම කියන්නේ කුමක්ද කියා නිදහසේ හිතා බැලුවොත්, පහසුවෙන්ම තමන්ගේ අර්බුදය තේරුම් ගන්න පුළුවන්. ඇතැම් විට තමන් කලින් ඉගෙන ගෙන තිබෙන හෝ කට පාඩම් කර තිබෙන අර්ථ දැක්වීමක් මතක් කරගෙන අර්බුදයෙන් නිදහස් වෙන්න පුළුවන්. නමුත් මුදල් සැපයුම වගේ දෙයක් සැබෑ ලෝකය තුළ අර්ථ දක්වන එක පෙනෙන තරම්ම පහසු වැඩක් නෙමෙයි.
ලංකාවේ සන්දර්භයට ආවොත්, අඩු වශයෙන් අසූව දශකය වන තුරු, ලංකාව තුල සිදු වන ගනුදෙනු පියවීම සඳහා තිබුණේ ප්‍රධාන ක්‍රම දෙකක් පමණයි. පළමු ක්‍රමය නෝට්ටු හා කාසි. දෙවන ක්‍රමය චෙක්පත්. නෝට්ටු හා කාසි වලින් ගෙවීමක් පියවද්දී අදාළ වත්කම වන නෝට්ටුව හා කාසිය සෘජුවම හුවමාරු වෙනවා. චෙක්පතකින් පියවීමේදී සිදු වන්නේ තරමක් වෙනස් දෙයක්. චෙක්පතක් කියන්නේ මූල්‍ය වත්කමක් නෙමෙයි. එය මූල්‍ය වත්කමකින් ගෙවීම පියවීම සඳහා තමන්ගේ බැංකුවට කරන දැනුම් දීමක්. මෙහිදී අවශ්‍ය පියැවීම සිදු කෙරෙන්නේ තමන්ගේ ජංගම ගිණුමක තිබෙන ශේෂයෙන්.
ඉහත හේතුව නිසා නෝට්ටු හා කාසිත්, ජංගම ගිණුම් තැන්පතුත්, කියන සංරචක දෙක මුදල් සැපයුමෙහි කොටස් සේ සැලකුණා. අනෙකුත් බොහොමයක් රටවල මුදල් සැපයුම අර්ථ දක්වනු ලැබුවේද සංසරණයේ ඇති නෝට්ටු හා කාසි ප්‍රමාණයේත්, ජංගම ගිණුම් තැන්පතු වලත් එකතුව ලෙසයි.
ජංගම ගිණුම් වලට අමතරව ඉතිරි කිරීමේ ගිණුම් ආදියේත් මිනිසුන්ගේ මුදල් තිබුණා. ඒවාත් මූල්‍ය වත්කම්. එහෙත්, මෙවැනි අනෙකුත් මූල්‍ය වත්කම් මුදල් සේ සැලකීමට හේතුවක් තිබුණේ නැහැ. ඊට හේතුව ඉතිරි කිරීමේ ගිණුමක ඇති මුදල් වලින් සෘජුවම ගෙවීම් කිරීමේ හැකියාවක් නොතිබීමයි. එසේ කිරීමටනම් මුලින්ම වැඩ කරන දිනක බැංකුවට ගොස් මුදල් ලබා ගත යුතුයි. ජංගම ගිණුම් හා අදාළව මෙවැනි සීමාවක් තිබුණේ නැහැ. තමන් සතුව චෙක් පොතක් ඇත්නම්, ඕනෑම මොහොතක චෙක්පතක් ලියා එමගින් ගෙවීමක් කළ හැකියි.
ලෝකයේ අනෙකුත් බොහොමයක් රටවල් සැලකුවත්, පසුගිය සියවසේ තුන් වන කාර්තුව පමණ දක්වා මුදල් ලෙස සැලකිය හැකි වූයේ ඉහත සංරචක දෙක පමණයි. මෙම සංරචක දෙක අතරින් පළමු සංරචකය වන නෝට්ටු හා කාසි ප්‍රමාණය තීරණය කිරීමේ හැකියාව මහ බැංකුවක් සතුයි.
ඉතිහාසයේ යම් යුග වල විවිධ රටවල විවිධ පාර්ශ්ව විසින් කාසි හා නෝට්ටු නිකුත් කර තිබෙනවා. ඇමරිකාවේ වගේම ලංකාවේත් පෞද්ගලික වාණිජ බැංකු විසින් මුදල් නෝට්ටු නිකුත් කළ කාලයක් තිබුණා. නමුත් ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව ස්ථාපනය කිරීමෙන් පසුවත්, ලංකාවේ මුදල් මණ්ඩලය පිහිටුවීමෙන් පසුවත්, රට තුල මුදල් නෝට්ටු නිකුත් කිරීම සිදු වූයේ එක් තැනකින්. ලංකා මහ බැංකුව (පසුව ශ්‍රී ලංකා මහ බැංකුව) පිහිටුවීමෙන් පසුව, ලංකාව තුළ කාසි හා නෝට්ටු නිකුත් කිරීම සිදු කරන්නේ එම ආයතනය විසින් පමණයි. ඒ නිසා, මුදල් සැපයුමෙහි එම සංරචකය මහ බැංකුවට තීරණය කළ හැකියි.
කෙසේ වුවද, අප පෙර කතා කළ, මුදල් සැපයුමෙහි අනෙක් සංරචකය වන ජංගම ගිණුම් ශේෂය තීරණය කරන්නේ මහ බැංකුව විසින් නෙමෙයි. එම සංරචකය මත මහ බැංකුවේ සෘජු පාලනයක් නැහැ. මෙය තීරණය වන්නේ වාණිජ බැංකු වල සහ ඔවුන්ගේ පාරිභෝගිකයින්ගේ ක්‍රියාකාරකම් මතයි. සමාජවාදී රටවල හැර, මහ බැංකුවක් තිබුණු සෑම රටකම මෙන් පැවතුණේ මේ තත්ත්වයයි.
ආර්ථික විද්‍යා ආකෘති වල රටක මුදල් සැපයුම තීරණය කරන්නේ මහ බැංකුව විසින්යැයි සරලව උපකල්පනය කරනවා. එහෙත් ඇත්තටම, මහ බැංකුවක් විසින් සෘජුව තීරණය කරන්නේ මුදල් සැපයුමෙහි එක් සංරචකයක් පමණයි. මහ බැංකුවකට මුදල් සැපයුම මුළුමනින්ම තීරණය කළ හැක්කේ නියාමන කාර්යයක් පමණක් වන මහ බැංකුවක සාමාන්‍ය කාර්යයට අමතරව වාණිජ බැංකු කටයුතු හා අදාළවද මහ බැංකුවට ඒකාධිකාරයක් තිබේනම් පමණයි. සමාජවාදී රටවල එවැනි තත්ත්වයක් පැවතුණා.
කොමියුනිස්ට් ප්‍රකාශනය මගින් රජයක් නැති කොමියුනිස්ට් සමාජයක් කරා යාමේ අතරමැදි පියවරක් ලෙස සමාජවාදී රාජ්‍ය ක්‍රමයක් යෝජනා කරද්දී එහි එක් අංගයක් ලෙස රටේ සමස්ත ණය දීමේ ක්‍රියාවලිය එක් රාජ්‍ය බැංකුවක් මගින් සිදු කිරීම යෝජනා වුනා. සෝවියට් දේශය පිහිටුවීමෙන් පසුව මෙවැනි එක් මධ්‍යගත බැංකුවක් පිහිටවනු ලැබුවා. මෙම බැංකුව (එක්සත් සෝවියට් සමාජවාදී ජනරජයේ රාජ්‍ය බැංකුව) සෝවියට් මධ්‍යගත ආර්ථික සැලසුම් ක්‍රමයේ එක් ප්‍රධාන කුළුණක්ව පැවතුණා. සෝවියට් දේශය බිඳ වැටීමට ආසන්න කාලයේදී පෙරස්ත්‍රොයිකා ප්‍රතිසංස්කරණ සිදු වන තුරුම පැවතුණේ මෙම මධ්‍යගත ආකෘතියයි.
චීනයේ මුලින් පැවතුනේද ඉහත ක්‍රමයයි. චීන මහජන බැංකුව මුල් කාලයේදී මහ බැංකු කටයුතු මෙන්ම වාණිජ බැංකු කටයුතුද මධ්‍යගත ලෙස සිදු කළා. එහෙත්, පසුව එම බැංකුවේ අනෙකුත් කාර්යයන් එකින් එක ඉවත් කිරීමෙන් පසුව, මේ වන විට එම ආයතනය සාමාන්‍ය මහ බැංකුවක් පමණයි. අනෙකුත් සමාජවාදී රටවලද මෙවැනි තත්ත්වයක් පැවතුනත්, මේ වන විට මෙවැනි මධ්‍යගත බැංකු ක්‍රමයක් (monobank system) පවතින්නේ උතුරු කොරියාවේ පමණයි. කියුබාව පවා, රාජ්‍ය අයිතිය යටතේම වුවත්, මහ බැංකු කටයුතු සහ වාණිජ බැංකු කටයුතු වෙන් කර තිබෙනවා.
ආර්ථික විද්‍යාව යනුවෙන් අප මෙම ලිපි වල සඳහන් කරද්දී එයින් අදහස් කරන්නේ ධනවාදී ආර්ථික විද්‍යාවයි. මිල වෙනස් වීම මගින් ඉල්ලුම හා සැපයුම ගැලපීමට ඉඩකඩ ඇති ඕනෑම ආර්ථිකයක් ධනවාදී ආර්ථික විද්‍යාව ඇසුරෙන් විස්තර කළ හැකියි. එසේ නොවන ආර්ථිකයන් ලෙස වත්මන් ලෝකය තුළ හඳුනා ගත හැක්කේ උතුරු කොරියාව වැනි සීමිත රටවල් කිහිපයක් පමණයි.
අප නිතර කතා කරන උද්ධමනය, අවධමනය, සාමාන්‍ය මිල මට්ටම, දළ දේශීය නිෂ්පාදිතය වැනි සංකල්ප වලට අර්ථයක් තිබෙන්නේ මිල වෙනස් වීම මගින් ඉල්ලුම හා සැපයුම ගැලපීමට ඉඩකඩ ඇති වෙළඳපොළ ආර්ථිකයක් තුළ පමණයි. මේ සංකල්ප කිසිවක් ශුද්ධ විද්‍යා වල ඇති සංකල්ප මෙන් විශ්වීය සංකල්ප නෙමෙයි. ඒ නිසා, මධ්‍යගත ආර්ථික සැලසුම් ක්‍රමයක් තුළ මේ වචන වලට අර්ථයක් නැහැ. උද්ධමනයක් හෝ අවධමනයක් පැවතිය හැක්කේ වෙළඳපොළ අර්ථක්‍රමයක් පවතින්නේනම් පමණයි. මධ්‍යගත සැලසුම් ක්‍රමයක් තුළ භාණ්ඩ හිඟය හෝ අතිරික්තය ප්‍රශ්නයක් විය හැකි නමුත් උද්ධමනය හෝ අවධමනය ප්‍රශ්නයක් වන්නේ නැහැ.
උද්ධමනය හා අවධමනය වරින් වර ඇති වීම වෙළඳපොළ ආර්ථික ක්‍රමයක ස්වභාවික ලක්ෂණයක්. මීට හේතුව, වෙළඳපොළ ක්‍රමය තුළ අනෙක් භාණ්ඩ හා සේවාවන් වල මිල මෙන්ම මුදල් වල මිලද ඉල්ලුම හා සැපයුම අනුව තීරණය වීමයි. මහ බැංකුවක් විසින් කරන්නේ නියාමනය මගින් මෙම විචලනයන් පාලනය කිරීමයි. මුදල් වල මිල විචලනය වීම ධනවාදී ක්‍රමයේ ප්‍රශ්නයක් බැවින් මිල නියාමනයක් අවශ්‍ය වන්නේද ධනවාදී අර්ථ ක්‍රමයක් පවතින්නේනම් පමණයි. මධ්‍යගත සැලසුම් ක්‍රමයක් තුළ එම කාර්යය සඳහා මහ බැංකුවක් අවශ්‍ය වන්නේ නැහැ. එවැනි රටවල පැවති මධ්‍යගත සැලසුම් බැංකු මගින් සිදු වූයේ ඊට වඩා පුළුල් වෙනත් කාර්යයයක්.
කාලයක්ම මුදල් සැපයුමේ ප්‍රධාන සංරචක දෙක වූ මුදල් නෝට්ටු සහ ජංගම ගිණුම් ශේෂ වලින් එක් කොටසක් මහ බැංකුවට සෘජුව පාලනය කළ හැකි වුවත්, දෙවන කොටස එසේ සෘජුව පාලනය කළ හැකි වූයේ නැහැ. එහෙත්, මුදලේ මිල නියාමනය කිරීම සඳහා එම දෙවන කොටසද කිසියම් ආකාරයකින් පාලනය කළ යුතු වුනා. මහ බැංකු විසින් මේ සඳහා ප්‍රයෝජනයට ගත් උපකරණය වූයේ සංචිත අවශ්‍යතාවයයි. මේ අනුව, නියාමන අධිකාරිය වන මහ බැංකුවට වාණිජ බැංකු මත අවම සංචිත අවශ්‍යතාවයක් නියම කිරීමට බලය ලැබුණා.
සාමාන්‍යයෙන් මෙම සංචිත අවශ්‍යතාවය පනවනු ලැබූයේ ජංගම ගිණුම් ශේෂ මතයි. ලංකාවේදී මෙය ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය සේ හැඳින්වුනා. මේ මගින්, මහ බැංකුවකට ජංගම ගිණුම් ශේෂ ප්‍රමාණය තීරණය කළ නොහැකි වුවත්, ඒ මත බලපෑමක් කිරීමට හැකි වුනා. ඒ මගින් සහ නෝට්ටු සැපයුම පාලනය කිරීම මගින් මුදල් සැපයුම මත සැලකිය යුතු බලපෑමක් සිදු කළ හැකි වුනා.
ලංකාවේ සන්දර්භයට නැවත පැමිනුණහොත්, අසූව දශකයේ මැද භාගයේදී ලංකාවට ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර හඳුන්වා දෙනු ලැබුවා. අනූව දශකයේදී මේ යන්ත්‍ර රට පුරා ව්‍යාප්ත වුනා. මේ එක්කම, මුදල් සැපයුම පිළිබඳ අර්ථකථනය ගැන නැවත සිතීමේ අවශ්‍යතාවයක් ඇති වුනා. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර පැමිණීමත් එක්කම වාණිජ බැංකු නිරන්තරව විවෘතව තිබීම වැනි තත්ත්වයක් ඇති වෙනවා. අවශ්‍ය අයෙකුට තමන්ගේ ගිණුමෙන් මුදල් ආපසු ගැනීම සඳහා බැංකුවට යන්න අවශ්‍ය වන්නේ නැහැ. ජංගම ගිණුම් වලින් වගේම ඉතිරි කිරීමේ ගිණුම් වලිනුත් අවශ්‍ය වෙලාවක මුදල් ලබා ගන්න පුළුවන්.
ඉන් පසුව, ඩෙබ්ට් කාඩ් ක්‍රමය හඳුන්වා දෙනු ලබනවා. සංකල්පීය වශයෙන් ඩෙබ්ට් කාඩ් එකකින් වෙන්නෙත් චෙක්පතකින් සිදු වන දෙයම වුවත්, මුදල් සම්ප්‍රේෂණය එසැණින් සිදු වන නිසා චෙක්පත් ගෙවීම් වල මෙන් අවදානමක් නැහැ. ඒ වගේම, ලංකාවේ බැංකුවක ජංගම ගිණුමක් විවෘත කර ගැනීම ඕනෑම කෙනෙකුට කළ හැකි දෙයක් වී තිබුණේ නැහැ. නමුත්, ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම ඩෙබ්ට් කාඩ් එකක් ලබා ගන්න පුළුවන් වුනා.
ඊටත් පස්සේ ජංගම දුරකථන ගෙවීම්, අන්තර්ජාල ගෙවීම් ආදිය හඳුන්වා දෙනු ලැබුවා. මේ එක්ක බැංකුවට යාම කියන සංකල්පය අහෝසි වුනා. දැන් බැංකුව තියෙන්නේ තමන්ගේම අතේ. අඩු වැඩි වශයෙන් පසුගිය දශක කිහිපය තුළ මේ දේවල් ලෝකය පුරාම සමාන්තරව සිදු වුනා.
දැන් අපි ලංකාවේ මුදල් සැපයුම පිළිබඳ මිනුම් කිහිපයක් දෙස බලමු.
M0 - සංචිත මුදල් = මහ බැංකුවට සෘජුව සැපයුම පාලනය කළ හැකි මුදල්
M1 - පටු මුදල් සැපයුම = සංසරණයේ ඇති මුදල් සහ ජංගම ගිණුම් තැන්පතු
M2 - පුළුල් මුදල් සැපයුම = M1 + ඉතිරි කිරීමේ ගිණුම් සහ ස්ථිර තැන්පතු
M2b - පුළුල් මුදල් සැපයුම = M2 + විදේශ විණිමය තැන්පතු වලින් කොටසක්
මේ මිනුම් අතරින්, M1 කියන්නේ මුදල් වල සම්ප්‍රදායික අර්ථකථනය. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආදිය පැමිණීමට පෙර කාලයට ඒ අර්ථකථනය ගැලපෙනවා. ඒ කාලයේදී උද්ධමනයට හෝ අවධමනයට බලපෑවේ මේ පටු මුදල් සැපයුම. නමුත් ඒ කාලයේදී වුවත් මහ බැංකුවට සෘජුව පාලනය කළ හැකි වූයේ එම පටු මුදල් සැපයුමෙන් එක් කොටසක් පමණයි. කෙසේ වුවත්, ඒ කොටස සැලකිය යුතු කොටසක්.
මුදල් සැපයුම පිළිබඳ ඉහත අර්ථ දැක්වීම පසුකාලීනව ප්‍රමාණවත් වුණේ නැහැ. පසුකාලීනව මහ බැංකුව විසින් ඉලක්ක කළේ M2b පුළුල් මුදල් සැපයුමයි. 2010 පමණ වන තුරු M2b පුළුල් මුදල් සැපයුමේ වර්ධනය නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය එක්ක සෑහෙන තරම් හොදින් ගැලපුනා. නමුත්, සංචිත මුදල් වර්ධනය හෝ පටු මුදල් සැපයුමේ සැපයුමේ වර්ධනය එසේ ගැලපුනේ නැහැ. ඊට හේතුව එම අර්ථකතන ඒ වෙද්දී ඕනෑවට වඩා සීමාකාරී වී තිබීමයි.
මේ සමඟ පළ කරන ප්‍රස්ථාරයෙහි දැකිය හැක්කේ 1950 සිට එක් එක් දශකයේදී මුදල් සැපයුම පිළිබඳ විවිධ මිනුම් වල සහ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වෙනස් වීම. 1950 සහ 1960 දශක වලදී මුදල් සැපයුමේ වර්ධන වේගය අඩුයි. ඉන් පසු කාලයේදී එම වර්ධන වේගය වැඩියි. කවර මිනුම දෙස බැලුවත් මේ කරුණ පැහැදිලිව පෙනෙනවා. මෙය මුදල්වාදීන්ගේ තර්කය හා ගැලපෙනවා. දළ අදහසක් ලෙස මුදල්වාදීන්ගේ තර්කය නිවැරදියි. එහෙත්, වඩා විමසුම් සහගත ලෙස බලද්දී එක් එක් නිර්ණායකයේ වෙනස් හැසිරීම් දැක ගන්න පුළුවන්.
ඔබට සිදු කළ හැකි සාමාන්‍ය නිරීක්ෂණයක් ලෙස, සංසරණයේ ඇති මුදල් ප්‍රමාණය, සංචිත මුදල් සහ පටු මුදල් සැපයුම බොහෝ දුරට එකට යන බව දකින්න පුළුවන්. එයින් අදහස් වන්නේ මහ බැංකුවේ සෘජු පාලනය යටතේ ඇති සංචිත මුදල් සැපයුම පාලනය කිරීම මගින් පටු මුදල් සැපයුම පාලනය කිරීමට මහ බැංකුවට හැකි වී ඇති බවයි. එහෙත්, පුළුල් මුදල් සැපයුමේ හැසිරීම ඊට වඩා වෙනස්. ඒ කියන්නේ පුළුල් මුදල් සැපයුම වෙනස් වී තිබෙන්නේ බොහෝ දුරට මහ බැංකුවේ පාලනයකින් තොරව කියන එකයි. විශේෂයෙන්ම 1990 හා 2000 දශක තුළ මේ තත්ත්වය දැකිය හැකියි. 1990 දශකය මුල M2b පුළුල් මුදල් සැපයුම හඳුන්වා දීමට හේතු වන්නේද පෙර භාවිතා කළ අර්ථකථන අනුව මනින මුදල් සැපයුමේ වෙනස නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය හා නොගැලපීමයි. M2b පුළුල් මුදල් සැපයුමෙහි එවැනි ගැලපීමක් දැකිය හැකිව තිබුණා.
කෙසේ වුවද, 2010 වසරෙන් පසු කාලය සැලකුවහොත් පෙනී යනු ඇත්තේ M2b පුළුල් මුදල් සැපයුමෙහි වර්ධනය වුවද නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය හා නොගැලපෙන බවයි. මීට එක් හේතුවක් වන්නේ 2010 වසරෙන් පසුව විනිමය අනුපාතය පාලනය කිරීම මගින් උද්ධමනය යටපත් කරනු ලැබීම සහ පසුව එය පුපුරා යාමයි. 2020-2024 කාලය තුළ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය, කවර මිනුම සලකා බැලුවද, මුදල් සැපයුමේ වර්ධනය ඉක්මවා යන්නක්. මෙසේ නාමික දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වී තිබෙන්නේ උද්ධමනය නිසා මිස මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය නිසා නොවන බව අප දන්නා කරුණක්. උද්ධමනයට හේතුව මුදල් සැපයුමේ වර්ධනය පමණක් නොවන බව ප්‍රස්ථාරය දෙස බලද්දී පැහැදිලිව පෙනෙනවා.
මෙතෙක් විස්තර කළ කරුණු අනුව පැහැදිලි විය යුත්තේ මුදල් සැපයුම වැඩි වීම උද්ධමනය කෙරෙහි බලපාන නමුත් එය සරල රේඛීය සම්බන්ධයක් නොවන බවයි. මුදල් සැපයුම වැඩි වීම උද්ධමනය කෙරෙහි බලපාන ප්‍රධානම හේතුව වුවත්, වෙනත් කරුණු ගණනාවක්ද ඒ කෙරෙහි බලපෑම් කරනවා. නූතන මහ බැංකුවකට උද්ධමනය පාලනය කිරීමට සිදු වන්නේ එම සියලු කරුණු විමසා බලමින් ආර්ථිකයේ සමස්ත චිත්‍රය නිරීක්ෂණය කිරීමෙන් පසුවයි. එමෙන්ම මහ බැංකුවක් විසින් මේ කාර්යය කරන්නේ සරල ආර්ථික විද්‍යා ආකෘතියක ඇති අයුරින් මුදල් සැපයුම පාලනය කිරීම මගින් පමණක් නෙමෙයි.
පසුගිය වසර 34ක කාලය, එනම්, M2b පුළුල් මුදල් සැපයුම හඳුන්වා දීමෙන් පසුව ගත වූ කාලය සැලකුවහොත්, මහ බැංකුවට සෘජුව පාලනය කළ හැකි සංචිත මුදල් සැපයුම 4.23 ගුණයකින් වර්ධනය වී තිබෙනවා. එම කාලය තුළ M2b පුළුල් මුදල් සැපයුම 11.90 ගුණයකින් වර්ධනය වී තිබෙනවා. සංචිත මුදල් සැපයුම හා පුළුල් මුදල් සැපයුම අතර සම්බන්ධය පැහැදිලි කෙරෙන මුදල් ගුණකය ලෙස හැඳින්වෙන සංකල්පයක් තිබෙනවා. එයින් අදහස් කෙරෙනුයේ පුළුල් මුදල් සැපයුම සංචිත මුදල් සැපයුමෙහි අනුපාතයක් බවයි. මුදල් ගුණකය යනු මෙම අනුපාතයයි.
මුදල් ගුණකය නියතව පැවතියේනම් පුළුල් මුදල් සැපයුම වර්ධනය විය යුත්තේද සංචිත මුදල් සැපයුම වර්ධනය වන වේගයෙන්මයි. එහෙත් එය එසේ සිදු වී නැහැ. එයින් පෙනී යන්නේ මුදල් ගුණකයද කාලයත් සමඟ ඉහළ ගොස් ඇති බවයි. මුදල් ගුණකය කෙරෙහිද මහ බැංකුවේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග බලපෑම් කරන නමුත් අවසාන වශයෙන් මුදල් ගුණකය තීරණය වන්නේ වාණිජ බැංකු වල සහ ඔවුන්ගේ පාරිභෝගිකයන්ගේ හැසිරීම මතයි. තාක්ෂනය වැඩි දියුණු වීමද මේ කෙරෙහි බලපානවා.
ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවන විට, 1950දී, සංචිත මුදල් ප්‍රමාණය පුළුල් මුදල් සැපයුමෙන් (M2) 54.5%ක්. ඒ කියන්නේ මුදල් සැපයුමෙන් එපමණ පංගුවක් සෘජුව පාලනය කළේ මහ බැංකුව විසින්. 1991දී M2b පුළුල් මුදල් සැපයුම හඳුන්වා දෙන විටද, එම මුදල් සැපයුමෙන් 33.3%ක්ම සංචිත මුදල්. එහෙත්, 2024 වන විට මහ බැංකුවේ සංචිත මුදල් යනු M2b පුළුල් මුදල් සැපයුමෙන් 10.7%ක් පමණයි. වෙනත් විදිහකින් කිවුවොත්, මේ වෙද්දී රටේ මුදල් සැපයුමෙන් 90%ක්ම තීරණය වන්නේ මහ බැංකුවෙන් බාහිරවයි.
ලෝකයේ අනෙකුත් රටවල් වල ප්‍රවණතා දෙස බලද්දී වුවත් මේ තත්ත්වය හඳුනා ගන්න පුළුවන්. වර්තමාන සන්දර්භයේදී මහ බැංකුවක කාර්ය භාරය වී තිබෙන්නේ මුදල් සැපයුම නිර්ණය කිරීම නොව මහ බැංකුවෙන් බාහිරව සිදු වන මුදල් සැපයුමේ වර්ධනය නියාමනය කිරීමයි. මේ නියාමනය නිසියාකාරයෙන් සිදු වන්නේද යන්න විමසා බැලීමටනම් මුදල් සැපයුම දෙස නොව උද්ධමනය දෙස කෙළින්ම බලන්නට සිදු වෙනවා.
උද්ධමනය කියන්නේ වෙළඳපොළ ආර්ථික ක්‍රමයක සාමාන්‍ය අංගයක් මිසක් මහ බැංකු පැවතීමේ ප්‍රතිඵලයක් නෙමෙයි. උද්ධමනය යන්නට අවධමනයද ඇතුළත්. රටක මහ බැංකුවක් තිබුණත් නැතත්, වෙළඳපොළ අර්ථ ක්‍රමයක් ඇත්නම්, චක්‍රීය ලෙස උද්ධමනය සහ අවධමනය ඇති වෙනවා. මහ බැංකුවක් කරන්නේ නියාමනය මගින් මේ චක්‍රීය විචලනයන්ගේ අහිතකර ප්‍රතිඵල සීමා කර ආර්ථිකය ස්ථාවර කිරීමයි. එය එසේ සිදු නොවන්නේනම්, එයින් අදහස් වන්නේ මෙම නියාමනය නිසියාකාරයෙන් සිදු නොවන බවයි. එය එසේ සිදු වන්නේනම්, එය මහ බැංකුවක කාර්ය සාධනය පිළිබඳ දර්ශකයක්.

මුදල් ප්‍රමාණ සමීකරණය
මේ කොටසින් අපි අර්වින් ෆිෂර්ගේ මුදල් ප්‍රමාණ සමීකරණය ගැන කතා කරමු. දැන් ඒ තරම්ම භාවිතයට ගන්නේ නැතත්, කාලයක් මහ බැංකු විසින් මුදල් සැපයුම තීරණය කිරීම සඳහා මේ සමීකරණය යොදා ගත්තා.
මුදල් ඉල්ලුම කිසිවෙකුට තනිව තීරණය කරන්න බැහැ. නමුත් කිසියම් ප්‍රදේශයක තිබෙන්නේ එකම මුදල් වර්ගයක් පමණක්නම් සහ එම මුදල් වර්ගය සපයනු ලබන්නේ මහ බැංකුවක් විසින්නම්, ඒ මහ බැංකුවට මුදල් සැපයුම තීරණය කරන්න පුළුවන්. ඒ නිසාම, මුදල් ඉල්ලුම හරියටම දන්නවානම්, මුදල් ඉල්ලුම හා මුදල් සැපයුම ගලපන්න පුළුවන්. මුදල් සැපයුම තීරණය වන්නේ රන් හෝ රිදී සැපයුම වැනි බාහිර සාධකයක් මතනම්, මෙවැනි ගැලපීමක් සිදු කිරීමේ හැකියාවක් නැහැ.
ප්‍රශ්නය වන්නේ මුදල් ඉල්ලුම දැන ගන්නේ කොහොමද කියන එකයි. මුදල් ප්‍රමාණ සමීකරණය මේ සඳහා ප්‍රවේශයක් සපයනවා.
අපි පෙර කොටසේ කතා කළ පරිකල්පනීය දූපතට යමු. මේ දූපතට පැමිණෙන ආක්‍රමණිකයින් පිරිසක් විසින් දූපත් වැසියන්ට මුදල් භාවිතය හඳුන්වා දෙනවා. දූපත් වැසියෝ මුදල් වලින් ගනුදෙනු කරන්න ඉගෙන ගන්නවා. නමුත් කිසියම් හේතුවක් නිසා ටික කාලයකට පස්සේ ඔවුන් දූපතෙන් යනවා. ඒ යන්නේ දූපතේ සංසරණයට එකතු කර තිබුණු මුදල් ටිකත් එකතු කරගෙන.
කෙසේ වුවත්, ආක්‍රමණිකයින් දූපතෙන් ගියාට පස්සේ එහි වැසියෙකු වූ ජෝන්ට ඔවුන්ට අමතක වී දමා ගොස් තිබුණු මුදල් ටිකක් හමු වෙනවා. අපි රුපියල් කාසි කියලම කියමු. රුපියල් කාසි දහයක මල්ලක්. මේ රුපියල් කාසි වලට දැන් දූපත ඇතුළේ වටිනාකමක් තිබෙනවා. ඒ දූපත් වැසියන්ගේ පිළිගැනීම නිසා ඇති වූ වටිනාකමක්.
ජෝන් මේ මුදල් වලින් කාසි අටක් වැය කර බර්නිගෙන් එළදෙනක් මිල දී ගන්නවා. බර්නි අතට රුපියල් අටක් යනවා. ටික කාලයකට පසුව බර්නි එම මුදලින් රුපියල් හයක් වැය කර රුපියල් තුන බැගින් එමලිනාගෙන් එළුවන් දෙදෙනෙකු මිල දී ගන්නවා. එමලිනා එම රුපියල් හයෙන් රුපියල් තුනක් වැය කර බර්නිගෙන් කුකුළන් තුන් දෙනෙක් මිල දී ගන්නවා. ඉතිරි රුපියල් තුන වැය කර ජෝන්ගෙන් මාස තුනක් දිනපතා කිරි මිල දී ගන්නවා. වසරක කාලයක් තුළ සිදු වන්නේ මෙම ගනුදෙනු ප්‍රමාණය පමණයි.
දැන් මේ විදිහට වසරක කාලයක් ඇතුළත සිදු වූ මුළු ගනුදෙනු ප්‍රමාණයේ වටිනාකම රුපියල් 20ක් (= 8 + 6 + 3 + 3). එහිදී හුවමාරු වූයේ රුපියල් දහයක මුදලක් පමණයි. ඇත්ත වශයෙන්ම රුපියල් දහයෙන් රුපියල් දෙකක් හුවමාරු වුනේම නැහැ. රුපියල් දහයක් වෙන්නේ ඒ රුපියල් දෙකත් එක්ක. ඉතිරි රුපියල් අටෙන් හයක් තුන් වරක් අතින් අත මාරු වුනා. අනෙක් රුපියල් දෙක එක් වරක් අතින් අත මාරු වුනා. ඒ කියන්නේ අවස්ථා 20කදී රුපියලේ කාසි අතින් අත මාරු වී තිබෙනවා. සාමාන්‍ය අගයක් ලෙස එක් රුපියලේ කාසියක් (දිගටම ජෝන් අතේම තිබුණු රුපියල් දෙකද ඇතුළුව) දෙවරක් අතින් අත මාරු වී තිබෙනවා.
ෆිෂර්ගේ මුදල් ප්‍රමාණ සමීකරණයෙහි මුදල් වල සංසරණ ප්‍රවේගය කියා සංකල්පයක් තිබෙනවා. කෙටියෙන් මුදල් ප්‍රවේගය කියා කියමු. මෙයින් අදහස් වන්නේ නිශ්චිත කාලයක් තුළ, එක් රුපියලක් (හෝ එවැනි වෙනත් මුදලක්) සාමාන්‍ය වශයෙන් කොපමණ වාරයක් ගනුදෙනු සඳහා භාවිතා වුනාද කියන එකයි. මෙම අගය සංසරණයට එකතු කර තිබෙන මුදල් ප්‍රමාණයෙන් ගුණ කළ විට ලැබෙන පිළිතුර, අර්ථදැක්වීම අනුවම, අදාළ කාලයේදී සිදු වූ මුදල් ගනුදෙනු වල වටිනාකමට සමානයි.
කිසියම් රටක ගනුදෙනු සිදු වන්නේ එක් මුදල් වර්ගයකින් පමණක්නම් සහ එම මුදල් සංසරණයට එකතු කර තිබෙන්නේ මහ බැංකුවක් වැනි ඒකාධිකාරයක් විසින්නම්, සංසරණයේ ඇති මුදල් ප්‍රමාණය පහසුවෙන්ම, හරියටම දැනගන්න පුළුවන්. බිට්කොයින් වැනි නූතන මුදල් වර්ග කිසියම් නිශ්චිත කාලයක් තුළ කොපමණ වාරයක් අතින් අත මාරු වුනාද කියලා පහසුවෙන්ම හරියටම දැන ගන්න පුළුවන් වුනත්, ලෝහ කාසි වැනි සම්ප්‍රදායික මුදල් හා අදාළව මෙවැන්නක් පහසුවෙන් කරන්න බැහැ. නමුත් කිසියම් කාලයක් තුළ සිදු වූ මුළු ගනුදෙනු ප්‍රමාණයේ වටිනාකම දන්නවානම්, එම අගය මුදල් සැපයුමෙන් බෙදලා මුදල් ප්‍රවේගය වක්‍ර ලෙස හොයා ගන්න පුළුවන්.
කිසියම් කාලයක් තුළ සිදු වූ මුළු ගනුදෙනු ප්‍රමාණයේ වටිනාකම මැනිය හැකි ක්‍රමයක් තියෙනවද?
රටක නාමික දළ දේශීය නිෂ්පාදිතය ආසන්න වශයෙන් කිසියම් කාලයක් තුළ සිදු වූ මුළු ගනුදෙනු ප්‍රමාණයේ වටිනාකම සේ සලකන්න පුළුවන්. විශේෂයෙන්ම හුදෙකලා දූපතක් වැනි සංවෘත ආර්ථිකයක් සැලකුවොත්, ගනුදෙනු ලෙස හුවමාරු වෙන්නේ කිසියම් කාලයක් තුළ රට තුළ නිපදවනු ලබන භාණ්ඩ හා සේවා ප්‍රමාණයයි. නාමික දළ දේශීය නිෂ්පාදිතය කියා කියන්නේ එම භාණ්ඩ හා සේවා වල තත්කාලීන වෙළඳපොළ වටිනාකමයි. ඒ නිසා, නාමික දළ දේශීය නිෂ්පාදිතය ගනුදෙනු ප්‍රමාණයේ වටිනාකම පිළිබඳ ඇස්තමේන්තුවක් සේ සලකන්න පුළුවන්. මේ අනුව, නාමික දළ දේශීය නිෂ්පාදිතය මුදල් සැපයුමේත්, මුදල් ප්‍රවේගයේත් ගුණිතයට සමාන විය යුතුයි.
නාමික දළ දේශීය නිෂ්පාදිතය = මුදල් සැපයුම x මුදල් ප්‍රවේගය
සාමාන්‍යයෙන් වසරෙන් වසර රටක නාමික දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කරනවා. ඒ වගේම, මුදල් සැපයුමේ වෙනස් වීම පිළිබඳවත් දත්ත තිබෙනවා. ඒ නිසා, ඔය සංඛ්‍යාලේඛණ දෙක ඇසුරෙන් මුදල් ප්‍රවේගය ඇස්තමේන්තු කර එහි වෙනස්වීම පරීක්ෂා කරන්න පුළුවන්. මේ පරීක්ෂාව මගින් තහවුරු කර ගැනීමෙන් පසුව, එක්තරා කාලයකදී පිළිගැනීමට ලක් වූ කරුණක් වන්නේ දිගුකාලීනව නාමික දළ දේශීය නිෂ්පාදිතය හා මුදල් සැපයුම වෙනස් වන පරිමාණයට සාපේක්ෂව මුදල් ප්‍රවේගය වෙනස් නොවන බැවින් මුදල් සැපයුම පාලනය කිරීම හා අදාළ ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී මුදල් ප්‍රවේගය නියතයක් සේ සැලකිය හැකි බවයි. එසේ උපකල්පනය කිරීමෙන් පසුව මුදල් ප්‍රවේගය මැනීමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ.
මුදල් ප්‍රවේගය වෙනස් නොවන නියතයක්නම්, මුදල් සැපයුම වැඩි වන විට නාමික දළ දේශීය නිෂ්පාදිතයද ඉහළ යා යුතුයි. ඒ නිසා, මුදල් සැපයුම වර්ධනය වන වේගයෙන්ම නාමික දළ දේශීය නිෂ්පාදිතයද වර්ධනය විය යුතුයි. එහෙත්, නාමික දළ දේශීය නිෂ්පාදිතය හේතු දෙකක් නිසා වර්ධනය විය හැකියි. පළමුවැන්න මූර්ත ආර්ථික වර්ධනයයි. දෙවැන්න උද්ධමනයයි.
මුදල් සැපයුමේ වර්ධන වේගය = මූර්ත ආර්ථික වර්ධන වේගය + උද්ධමනය
මේ අනුව, අපේක්ෂිත මූර්ත ආර්ථික වර්ධන වේගය මත පදනම්ව, මුදල් සැපයුමේ වර්ධන වේගය පාලනය කිරීම මගින් උද්ධමනය පාලනය කිරීමට හැකි විය යුතුයි.
උද්ධමනය = මුදල් සැපයුමේ වර්ධන වේගය - අපේක්ෂිත මූර්ත ආර්ථික වර්ධන වේගය
මුදල් සැපයුමේ වර්ධනය මූර්ත ආර්ථික වර්ධන වේගය කෙරෙහි බලපාන බව ඩේව්ඩ් හියුම්, රිචඩ් කැන්ටලින් වැනි අය වැනි අය පවා පෙන්වා දී තිබුණු පැරණි අදහසක් වුවත්, මෙය සිදු වන යාන්ත්‍රනය විස්තර කරමින් එම අදහසට ජවයක් ලබා දුන්නේ ජෝන් මෙනාඩ් කේන්ස් විසිනුයි. ඒ මහා ආර්ථික අවපාතය සමයේදී. ඒ වන විට පිළිගැනුණු අදහස වූයේ මුදල් සැපයුම මූර්ත ආර්ථික වර්ධන වේගය කෙරෙහි බලපෑමක් සිදු නොකරන බවයි. මුදල් සැපයුම වර්ධනය වෙද්දී, ඒ වේගයෙන්ම මූර්ත නිෂ්පාදිතයද වර්ධනය වේනම්, ඒ හේතුවෙන් උද්ධමනයක් ඇති වීමේ ඉඩක් නැහැ.
කේන්සියානු අදහස් ප්‍රචලිත වීමට පෙර ප්‍රධාන ධාරාව තුළ පිළිගැනීමට ලක්ව තිබුණු, මුදල් සැපයුම මූර්ත ආර්ථික වර්ධන වේගය කෙරෙහි බලපෑමක් සිදු නොකරන්නේය යන සම්භාව්‍ය ආර්ථික විද්‍යා අදහසේ පදනම වූයේ මුදල් සැපයුම වැඩි වීම නිසා නිෂ්පාදන සාධක වල හෝ තාක්ෂණයේ වෙනසක් සිදු වීමේ හැකියාවක් නොතිබීමයි. මෙම අදහස අනුව, මූර්ත ආර්ථික වර්ධන වේගය ආර්ථිකයක් සතු නිෂ්පාදන සාධක ප්‍රමාණය මත තීරණය වන්නක් බැවින් මුදල් සැපයුම වැඩි කර ආර්ථිකය වර්ධනය කිරීමේ හැකියාවක් නැහැ. එහෙත් කේන්ස් විසින් පෙන්වා දුන්නේ ආර්ථිකය තුළ නිෂ්පාදනය සඳහා යොදා නොගැනෙන නිෂ්පාදන සාධක තිබේනම්, මුදල් සැපයුම වැඩි කිරීම මගින් එම නිෂ්පාදන සාධක නිෂ්පාදනය සඳහා යොදා ගැනීම උත්තේජනය කර මූර්ත ආර්ථික වර්ධන වේගය වැඩි කළ හැකි බවයි.
සම්භාව්‍ය අදහස අනුව, මුදල් සැපයුමේ වර්ධන වේගය මූර්ත ආර්ථික වර්ධන වේගය කෙරෙහි බල නොපාන බැවින් එහි අවසන් ප්‍රතිඵලය වනුයේ උද්ධමනයයි. කේන්සියානු අදහස අනුව, මුදල් සැපයුම වැඩි කිරීම මගින් යම් තත්ත්වයන් යටතේදී, යම් සීමාවක් දක්වා මූර්ත ආර්ථික වර්ධන වේගය ඉහළ දැමිය හැකියි. එසේ වුවද, එම සීමාවෙන් ඔබ්බට මුදල් සැපයුම වැඩි කිරීමෙන් සිදු වන්නේ උද්ධමනය ඉහළ යාම පමණයි.
මේ අනුව පෙනී යන පැහැදිලි කරුණක් වන්නේ, ඉහත කවර මතවාදය අනුව වුවද, මුදල් සැපයුමේ වර්ධන වේගය මූර්ත ආර්ථික වර්ධන වේගය ඉක්මවා යන්නේනම්, මුදල් ප්‍රමාණ සමීකරණය අනුව, එම වෙනසට සමාන උද්ධමනයක් ඇති විය යුතු බවයි. ඒ නිසා, මුදල් සැපයුමේ වර්ධන වේගය පාලනය කිරීම මගින්, මහ බැංකුවකට උද්ධමනය පාලනය කළ හැකි විය යුතුයි.
නමුත් මෙහිදී මතු වන ඊළඟ ප්‍රශ්නය වනුයේ මුදල් සැපයුම කියන්නේ කුමක්ද කියන එකයි. අපේ පරිකල්පනීය දූපතේ සරල උදාහරණයෙහි මුදල් කියන්නේ ලෝහ කාසි වර්ගයක්. එකම වර්ගයක කාසි වෙනුවට විවිධ වටිනාකම් වල කාසි සංසරණයට එකතු කළත්, කාසි වෙනුවට නෝට්ටු එකතු කළත්, මූලික අදහසේ වෙනසක් සිදු වෙන්නේ නැහැ. රුපියල් සීයක මුදල් නෝට්ටුවක් අතින් අත මාරු වීම රුපියලේ කාසි සීයක් අතින් අත මාරු වීමට සමාන සේ සලකන්න පුළුවන්. නමුත්, වාණිජ බැංකු බිහිවීමෙන් පසුව ඇති වන තත්ත්වයන් සලකා බලද්දී, මුදල් වල ඉහත අර්ථ දැක්වීම පිළිබඳ ගැටලුවක් මතු වෙනවා.
විශේෂයන්ම ගනුදෙනු සඳහා චෙක්පත් භාවිතා කිරීම ප්‍රචලිත වී තිබීම තුළ ගනුදෙනු පියවීම සිදු වන්නේ කාසි හා නෝට්ටු වලින් පමණක් නෙමෙයි. ආකෘතිමය ලෙස වෙනස් කාසි හා නෝට්ටු ගෙවීම් සහ චෙක්පත් ගෙවීම් යන අවස්ථා දෙකේදීම යම් ආකාරයක මුදල් භාවිතයක් සිදු වෙනවා.
වාණිජ බැංකු වල මුදල් තැන්පත් කිරීමෙන් පසුව එම මුදල් මුදල් සේ ආපසු ලබා නොගෙන චෙක්පත් මගින් ගෙවීම් කිරීම ප්‍රචලිත වීමෙන් පසුවද මුදල් සැපයුම සංසරණයේ ඇති කාසි හා නෝට්ටු ප්‍රමාණය පමණක් සේ සැලකුවහොත් ගනුදෙනු පරිමාවෙන් කොටසක් මග හැරෙනවා. එම කොටසද නාමික දළ දේශීය නිෂ්පාදිතයට අයත් කොටසක්. ඒ නිසා, කාසි හා නෝට්ටු වලට අමතරව චෙක්පත් හරහා ගෙවීම් සඳහා යොදා ගත හැකි ජංගම ගිණුම් තැන්පතුද මුදල් සැපයුමෙහි කොටසක් සේ සලකන්නට සිදු වෙනවා. එහෙත්, කාසි හා නෝට්ටු මෙන්, මෙම ජංගම ගිණුම් තැන්පතු ප්‍රමාණය ඒකාධිකාරී මහ බැංකුවකට වුවද සෘජුව පාලනය කිරීමේ හැකියාවක් නැහැ.
මේ වන විට මේ තත්ත්වය වඩා සංකීර්ණ වී තිබෙනවා. දැන් බොහෝ දෙනෙකු ගෙවීම් කරන්නේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්, අන්තර්ජාලය හරහා කරන ගෙවීම්, ජංගම දුරකථනය හරහා කරන ගෙවීම් ඇතුළු විවිධ ක්‍රම වලින්. ඒ නිසා, මුදල් සැපයුමේ අර්ථදැක්වීම විශාල ප්‍රශ්නාර්ථයක්. මේ හේතුව නිසාම බොහෝ රටවල මුදල් සැපයුම පිළිබඳ අර්ථදැක්වීම් එකකට වඩා තිබෙනවා. උද්ධමනය පාලනය කිරීම සඳහා මුදල් සැපයුම පාලනය කළ යුත්තේනම්, මහ බැංකුවක් විසින් ඉලක්ක කළ යුත්තේ විවිධ මුදල් සැපයුම් අතරින් කවර මුදල් සැපයුමද? මෙය ප්‍රශ්නයක්.
තමන්ගේ දේශපාලනික හෝ වෙනත් අභිලාශ හා ගැලපෙන ප්‍රවාද ආගමික ලෙස අදහන පිරිස් අපට බොහෝ විට දකින්නට ලැබෙනවා. මේ සඳහා හොඳම උදාහරණය මාක්ස්වාදීන්. මෙවැනි අය තමන් අදහන ප්‍රවාදයේ සීමාවන් පැහැදිලිව දෘශ්‍යමාන වෙද්දී පවා ප්‍රවාදයේ සීමාවන් හඳුනා ගන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කරන්නේ ප්‍රවාදය ඇත්ත සේ සලකමින්, දෘශ්‍යමාන තත්ත්වය විකෘතියක් ලෙස අර්ථ දැක්වීමයි. මෙවැනි පිරිස් වාමාංශික අන්තයේ මෙන්ම දක්ෂිණාංශික අන්තයේද ඉන්නවා. මුදල්වාදය අදහන ඇතැම් අයට අනුව, මුදල් සැපයුම කවර ආකාරයෙන් මැන්නත් එහි වෙනසක් නැහැ. මෙය සාවද්‍ය අදහසක්.
මේ සමඟ පළ කරන ප්‍රස්ථාරය දෙස බලා ඉහත කරුණ සනාථ කරගන්න අමාරු නැහැ. ඒ අනුව, පැහැදිලි වන්නේ මුදල් සැපයුම පිළිබඳ විවිධ මිනුම් කාලයත් සමඟ විචලනය වී තිබෙන්නේ එකම ආකාරයකින් නොවන බවයි. එසේනම්, මුදල් ප්‍රමාණ සමීකරණය අනුව යමින් මහ බැංකුව විසින් ඉලක්ක කළ යුත්තේ කවර මුදල් සැපයුමද?
මුදල් ප්‍රමාණ සමීකරණය මගින් විස්තර කරන්නේ මුදල් සැපයුම දිගුකාලීනව උද්ධමනය කෙරෙහි බලපාන ආකාරයයි. ඒ නිසා, කෙටිකාලීනව විවිධ මුදල් මිනුම් වල හැසිරීම් වෙනස් වීම හේතුවෙන් ප්‍රවාදය අභියෝගයට ලක් වන්නේ නැහැ. නමුත් මෙහිදී සලකා බලා තිබෙන්නේ වසර 34ක් වැනි දීර්ඝ කාලයක්. මෙම කාලය තුළ සංසරණයේ ඇති මුදල් ප්‍රමාණය 4.23 ගුණයකින්ද, සංචිත මුදල් (M0) 3.84 ගුණයකින්ද, පටු මුදල් සැපයුම (M1) 4.13 ගුණයකින්ද ඉහළ යද්දී, M2 පුළුල් මුදල් සැපයුම 11.4 ගුණයකින්ද, M2b පුළුල් මුදල් සැපයුම 11.9 ගුණයකින්ද ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා, මුදල් සැපයුම සේ සැලකිය යුත්තේ කවර මිනුමද යන්න මත පෙනෙන චිත්‍රය සැලකිය යුතු ලෙස වෙනස් වෙනවා.
කෙසේ වුවද, අවසාන ඉලක්කය වන්නේ උද්ධමනය පාලනය කිරීම නිසා අපට ඉහත මිනුම් අතරින් නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය හා වඩා හොඳින් ගැලපෙන මිනුම තෝරා ගත හැකියි. එහෙත්, මෙයද කියන තරම් පහසු වැඩක් නෙමෙයි.
ඉහත කාලයේදී නාමික දළ දේශීය නිෂ්පාදිතය 8.03 ගුණයකින් වර්ධනය වී තිබෙනවා. වසරකට 14.2%ක සාමාන්‍ය වර්ධන වේගයක්. මෙම වේගය මූර්ත ආර්ථික වර්ධන වේගයේ සහ උද්ධමනයේ එකතුවයි. මේ අනුව පෙනී යනු ඇත්තේ මහ බැංකුව විසින් සංසරණයේ ඇති මුදල් ප්‍රමාණය, සංචිත මුදල් හෝ පටු මුදල් සැපයුම ඉලක්ක කළේනම්, ඉලක්ක කළ උද්ධමනයට වඩා වැඩි උද්ධමනයක් ඇති විය හැකිව තිබුණු බවයි. එමෙන්ම, M2 පුළුල් මුදල් සැපයුම හෝ M2b පුළුල් මුදල් සැපයුම ඉලක්ක කළේනම්, ඉලක්ක කළ උද්ධමනයට වඩා අඩු උද්ධමනයක් ඇති විය හැකිව තිබුණු බවයි.
ඉහත කිසිදු මිනුමක් මුදල් ප්‍රමාණ සමීකරණය හා හරියටම ගැලපෙන්නේ නැහැ. ඒ නිසා, හුදෙක් මුදල් සැපයුමේ වර්ධනය දෙස පමණක් බලමින් උද්ධමනය ප්‍රශස්ත ලෙස කළමනාකරණය කිරීමේ හැකියාවක් නැහැ. මෙයට එක් හේතුවක් ලෙස පෙන්වා දිය හැක්කේ ඇතැම් මුදල්වාදීන් විසින් උපකල්පනය කරන පරිදි මුදල් ප්‍රවේගය නියතයක් නොවීමයි. විවිධ මුදල් සැපයුම් හා අදාළ මුදල් ප්‍රවේග එකම ආකාරයකින් වෙනස් නොවීම මේ තත්ත්වය වඩා සංකීර්ණ කරනවා.
මුදල් ප්‍රමාණ සමීකරණයේ ප්‍රයෝජ්‍ය වටිනාකම සීමා කරන තවත් සාධකයක් වනුයේ ජාත්‍යන්තර වෙළඳාමේ බලපෑමයි. ලෝකයේ කිසිම රටක අපේ උදාහරණයෙහි ඇති පරිකල්පනීය දූපතේ වැනි හුදෙකලා වූ ආර්ථිකයක් නැහැ. ලංකාව වැනි බොහොමයක් රටවල් වල දළ දේශීය නිෂ්පාදිතයෙන් කොටසක් පරිභෝජනය කරන්නේ රටින් පිටත සිටින අයයි. එමෙන්ම රට තුළ පරිභෝජනය කෙරෙන බොහෝ දෑ ආනයනික භාණ්ඩයි. ඒ නිසා, රට තුළ සිදු වන ගනුදෙනු ප්‍රමාණය සහ රටේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රමාණය අතර සම්බන්ධය කැඩී යනවා.
රට තුළ ආනයනික භාණ්ඩ මිල දී ගන්නා ලංකාවේ පාරිභෝගිකයෙකු විසින් ඒ වෙනුවෙන් මුදල් ගෙවන්නේ රුපියල් වලින් වුවත් අවසාන වශයෙන් අදාළ භාණ්ඩයේ නිෂ්පාදකයාට මුදල් ගෙවන්නේ රුපියල් වලින් නොවන නිසා රුපියල් වලින් විදේශ විණිමය මිල දී ගන්නට සිදු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස විණිමය අනුපාතයද උද්ධමනය කෙරෙහි බලපෑම් කරනවා. වෙනත් විදිහකින් කිවුවොත් රුපියල් ගනුදෙනු ප්‍රමාණය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් කොටසක් පමණයි.
ඇමරිකාව වැනි රටකට මේ ප්‍රශ්නය වෙනත් ආකාරයකින් බලපානවා. ඇමරිකාව විදේශ රටවල් සමඟ කරන ගනුදෙනු සිදු වන්නේද ඔවුන්ගේ මුදල් ඒකකය වන ඇමරිකන් ඩොලර් වලින්. එහෙත් ඇමරිකන් ඩොලර් භාවිතා වන්නේ ඇමරිකාව තුළ හෝ ඇමරිකාව සමඟ සිදු කෙරෙන ගනුදෙනු සඳහා පමණක් නොවන බැවින් ඩොලර් සඳහා වන ඉල්ලුම ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ පරිමාව ඉක්මවා යන්නක්.
වෙනස තිබෙන්නේ කවර අතට වුවත්, අවසාන ප්‍රතිඵලය වනුයේ ගනුදෙනු වල වටිනාකම දළ දේශීය නිෂ්පාදිතය ඇසුරෙන් මැන ගත නොහැකි වීමයි. ඒ නිසාම, මුදල් ඉල්ලුම නිවැරදිව තක්සේරු කළ නොහැකි වීමයි.
මුදල් ඉල්ලුම මෙන්ම මුදල් සැපයුමද නිවැරදිව මැන ගැනීම පහසු නොවන්නාක් මෙන්ම මුදල් ප්‍රවේගය නියතයක්ය යන්න ඒ තරම් නිවැරදි උපකල්පනයක් නෙමෙයි. ආර්ථිකයේ චක්‍රීය විචලනයන් සමඟ මුදල් ප්‍රවේගයද වෙනස් වෙනවා. මේ හේතූන් නිසා, මුදල් ප්‍රමාණ සමීකරණයේ පදනම අභියෝග කළ නොහැකි සර්වසාම්‍යයක් වුවද, ප්‍රායෝගික භාවිතාවේදී එය උපයෝගී කර ගත හැක්කේ කිසියම් මාර්ගෝපදේශනයක් සපයා ගැනීම සඳහා පමණයි.
මහා අවපාතයෙන් පසුව, 1930 දශකයේදී කේන්සියානු අදහස් ආර්ථික විද්‍යාවේ ප්‍රධාන ධාරාව බවට පත් වුනා. එහෙත්, 1950 පමණ වන විට ප්‍රධාන ධාරාව තුළ මිල්ටන් ෆ්‍රීඩ්මන්ගේ මුදල්වාදය ඉස්මතු වෙන්න පටන් ගත්තා. 1970 දශකය මුලදී ඉහළ උද්ධමනයක් තිබියදී විරැකියා අනුපාතයද ඉහළ මට්ටමක පැවතීම තුළ කේන්සියානු අදහස් පහසුවෙන්ම අභියෝගයට ලක් කළ හැකි වාතාවරණයක් ඇති වීම නිසා මුදල්වාදයට විශාල පිළිගැනීමක් ලැබුණා. මෙම කාලයේදී ලෝකයේ ප්‍රධාන මහ බැංකු ගණනාවක්ම මුදල් ප්‍රමාණ සමීකරණය අනුව යමින් සෘජුව මුදල් සැපයුම පාලනය කිරීම හරහා උද්ධමනය පාලනය කිරීමට උත්සාහ කළා.
මිල්ටන් ෆ්‍රීඩ්මාන්ගේ උපදෙස් පරිදි, එවකට ෆෙඩරල් සංචිත බැංකුවේ අධිපතිව සිටි පෝල් වෝකර් විසින් 1979-1982 කාලයේදී උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාතික වෙනුවට කෙළින්ම මුදල් සැපයුම ඉලක්ක කිරීමට තීරණය කළා. මීට පෙර මෙන්ම මෙම අසාර්ථක පරීක්ෂණයෙන් පසු කාලයේදීද මහ බැංකු විසින් සාමාන්‍යයෙන් උද්ධමනය පාලනය කළේ පොලී අනුපාතික පාලනය කිරීම මගිනුයි. ඒ හා අදාළ වැඩි විස්තර වෙනත් ලිපියකින්.
පෝල් වෝකර් පරීක්ෂණය සිදු කළ 1979-1982 කාලය තුළ ඇමරිකාවේ පොලී අනුපාතික ඉතා විශාල ලෙස විචලනය වීම නිසා මූල්‍ය ක්ෂේත්‍රයේ විශාල අස්ථාවරත්වයක් ඇති වුනා. අවසන් වශයෙන් මේ පරීක්ෂණය අත හැර දමනු ලැබුවා. මීට සමාන්තරව මාග්‍රට් තැචර්ගේ ආණ්ඩුව යටතේ එක්සත් රාජධානියේද, ජර්මනිය, කැනඩාව, ස්විට්සර්ලන්තය වැනි රටවලද මේ පරීක්ෂණය සිදු කෙරුණා. එහෙත් ඒ කිසිදු තැනක මුදල් සැපයුම පාලනය කිරීම මගින් සෘජුව උද්ධමනය පාලනය කිරීමේ උත්සාහයන් සාර්ථක වූයේ නැහැ. සෘජුව මුදල් සැපයුම පාලනය කිරීම මගින් උද්ධමනය කළමනාකරණය කිරීම ලෝකයේ ප්‍රධාන ආර්ථික ගණනාවකම ප්‍රයෝගිකව පරීක්ෂා කරනු ලැබ, ඉතා කෙටි කලකින්ම අත හැර දමා ඇති අසාර්ථක ක්‍රමයක්.
මෙයින් පෙන්වා දෙන්නේ මුදල් සැපයුම වැඩි වීම උද්ධමනයට හේතු නොවන බව හෝ මුදල් සැපයුම පාලනය කිරීම මගින් උද්ධමනය පාලනය කළ නොහැකි බව නෙමෙයි. මූලික අදහස මුදල් සැපයුම සෘජුව පාලනය කිරීම මගින් උද්ධමනය පාලනය කරන්නට උත්සාහ කිරීම සාර්ථක ක්‍රමයක් නොවන බවයි. ඊට සාපේක්ෂව, පොලී අනුපාතික පාලනය කිරීම මගින් උද්ධමනය පාලනය කිරීම දශක ගණනාවක් තිස්සේ අත්හදා බලා තිබෙන සාර්ථක ක්‍රමයක්. එහිදීද අවසාන වශයෙන් මුදල් සැපයුම පාලනය කිරීමක් සිදු වන නමුත් එය සිදු වන්නේ වක්‍ර ලෙසයි. මේ ගැන ඉදිරි ලිපියකින් වැඩි විස්තර කතා කරමු.
https://economatta.blogspot.com, ඉකොනොමැට්ටාගේ බොජුන්හල වෙබ් අඩවියෙන්
* අවසර ඇතිව උපුටා ගත්තකි .


