ලන්දේසි කාරයින්ගේ රටේදී, චීස් කා ලී සපත්තු දමාගත් දවසක් ......

නෙදර්ලන්තයේ සංචාරයක මතක 2.

ලන්දේසි කාරයින් ශ්‍රී ලංකාවේ ඉතිරි කර ගිය දේ ගැන කතා කරන්නට ගොඩක් දේ තිබෙනවා. කදු සහ පහත්බිම් වල ජීවත් වුණු යුරෝපා ජාතීන් අතරින් තැනිතලා බිම්වල දිවි ගෙවූ මිනිසුන් හදුන්වන්නට අතීතයේදී Dutch කියන වචනය භාවිතා වූ බවත් ජර්මනියේ සමහර කොටස් සහ නෙදර්ලන්තයට මුලින් ඒ වදන යෙදුනු බවත් අන්තර්ජාලයේ සදහන් වෙනවා. කලක් නෙදර්ලන්තය හදුන්වන්නට Holland යන වචනය භාවිතා වුනේ North Holland සහ South Holland කියන පලාත් දෙක හින්දයි.වර්තමානයේ භූගෝලීය වශයෙන් නෙදර්ලන්තය පලාත් 12 කින් සැදුනු රටක්.

වෙනස්ම ආකාරයේ ගෘහ නිර්මාණ ශිල්පයක් තිබෙනා නෙදර්ලන්තයේ වෙනස ඔබට යුරෝපයේ අනෙක් රටවලින් එය වෙන්කර හදුනා ගන්නට පහසු කරනවා. අප මේ සංචාරයන් කලේ 2019 වසරේ ගිම්හානයේදී හින්ද අනාගතයේ දවසක ඔබ මේ ගමන් යද්දී සංචාරක ක්‍රමවේද වෙනස් වී තියෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් දසත කියවන ඔබ වෙනුවෙන් ලන්දේසිකාරයින් අතරේ ඇවිද යන්නයි මගේ මේ සුදානම.
ගම්බද පරිසර කිහිපයක සහ වෙරළබඩ ගමක සංචාරය කල අපි ආපහු නවාතැනට ආවා. අද අපේ සූදානම උදෙන්ම චීස් කර්මාන්ත ශාලාවක් බලන්න යන්න.

Clara Maria Cheese Farm/Clog Factory

Amsterdam නගරයේ ඉදන් පැය භාගයක විතර දුරින් තියෙන මේ චීස් කම්හල අවුරුදු 170 ක් විතර පැරණි එකක්. වර්තමානයේදී එය පවත්වා ගෙන යන්නේ නෙදර්ලන්තයට පෙම් බැදි ඇමෙරිකානු කතක් සහ සම්ප්‍රදායික නෙදර්ලන්ත ජාතිකයෙකු වුණු ඇගේ සැමියා.


ගවයින්ගෙන් කිරි ගන්නා තැන පටන් සාම්ප්‍රදායික ක්‍රමයට චීස් නිපදවන ආකාරය පියවරෙන් පියවරට දකින්නට එහිදී ඔබට පුළුවන්. වසරේ ජුනි මාසයේ සිට ඊළග අවුරුද්දේ මාර්තු මාසය තෙක් කාලය තුල ක්‍රියාත්මක වන ඔවුන්ගේ සංචාර වලදී ඔබට විවිධ වර්ගවල චීස් සාම්පල කිහිපයක රස බලන්නත් පුළුවන්. ගමන මතක් වෙන්නත් එක්ක අපිත් කල්ගත වුණු චීස් බෝලයක් මිලදී ගත්තා. ඔවුනට ඔබ ගුවනින් විදේශ රටකට ගෙනයන බව කියන්නට අමතක නොකල යුත්තේ චීස් රටකින් රටකට ගෙනයාමේදී පවතින ආගමන විගමන නීති රීති හින්ද විශේෂ විදිහකට ඇසිරුම් කල යුතු හින්දයි.

Clogs (Klompen)
අපි ලී සපත්තු ගැන අහල තිබුණට කවදාවත්ම ඒවා දාල තිබුණෙ නැහැනෙ. සම්ප්‍රදායික විදිහට සැහැල්ලු ලී වලින් , ලී සපත්තු හදන්නෙ වගුරුබිම් සහිත නෙදර්ලන්තයේ ගොවිපොල වල කටයුතු කරන ගොවීන් සහ ගෙවිලියන් වෙනුවෙන්. Alder, Willow හෝ Poplar ලී කැබැල්ලකින් සපත්තුවක් නිර්මාණය කරන්න ඔවුන් භාවිතා කරන්නේ අතින් ක්‍රියාත්මක කරන සරල උපකරණ. ඔප දමා ගන්නා ඒ ලී සපත්තු වලට විවිධ වර්ණ වගේම සිතුවම් යොදා හැඩ කරන්නේ ඊට පස්සෙ. ප්‍රායෝගික භාවිතය නිසා අපි ඒ සපත්තු මිලදී නොගත්තත් කුඩා යතුරු රදවනයක තරමේ එකක් සිහිවටනයක් විදිහට ගත්තා.යෝධ ලී සපත්තු යුගලක් පය ලා ගෙන නෙදර්ලන්තයට යන සංචාරකයින් සේයාරූ ගන්නා සිරිත අනුගමනය කරමින් අපිත් ෆොටෝ කිහිපයක්ම ගත්තා.


Zuiderzee Museum

Amsterdam වල ඉදන් විනාඩි 45 ක තරමේ දුරක තියෙන මේ කෞතුකාගාරය නෙදර්ලන්තයේ නාවික සහ ධීවර කටයුතු පිළිබද ඉතිහාසය නිරූපණය වන තැනක්. ධීවර යාත්‍රා, ධීවර ආම්පන්න වගේම සම්ප්‍රදායික ධීවර ගම්මානයක ක්‍රියාකාරීත්වය නිරූපණය කෙරෙන මේ පරිශ්‍රයේදී මට සිහියට ආවෙ ටොරොන්ටෝවේ Black creek pioneer village වෙත ඔබව ගෙනගිය ගමනයි. 15 වන සියවසේ ඉදිකෙරුණු පල්ලිය වගේම 17 වන සියවසේ කල නගර දොරටු සහ තාප්ප ලංකාවේදී ලන්දේසීන් ඉදිකර තිබුණු බලකොටු සිහි ගන්වනවා. නගරයේ තිබෙන Dromedaris කුළුණත් බලන්න වටින තැනක්.


Delft and Delftware

VOC ( Vereenigde Oostindische Companie) එහෙමත් නැත්නම් ලන්දේසි සමයේදී ලංකාව පාලනය කල පෙරදිග ඉන්දීය වෙළද සමාගම යුරෝපයට ගෙනගිය චීනයේ පෝසිලේන් පිගන් නෙදර්ලන්තයේ Delft ප්‍රදේශයේ මැටි භාණ්ඩ කරුවන්ට අළුත් අදහස් ඇතිකලා. තවමත් ලංකාවේ දකින්නට ලැබෙන Delftware පැරණි මැටි භාණ්ඩ නිපදවුනේ ඒ අනුවයි. Amsterdam වල ඉදන් පැයක තරමේ දුරින් තියෙන Delft ඔබ එවන් මැටි භාණ්ඩ වලට ඇළුම් කරන්නෙක් නම් යා යුතුම තැනක්. Royal Delft කර්මාන්ත ශාලාවේ චාරිකාවක් තුලින් ඔබට ඒ නිර්මාණ සකස් වෙන හැටි දැකගන්න පුළුවන්.


ඔබ කැමති නම් මේ ගමනටම හේග් සාම මාලිගාව සහ කුඩා පරිමාණයට සැබෑ නගරයක අංග ඇතුලත් කොට තනා තිබෙන Madurodam බලන්නත් සංවිධානය කෙරෙන දිනක චාරිකාවක් සදහා Amsterdam නගරයෙන් පිටත් වෙන්නත් පුළුවන්.

හේග් සාම මාලිගාව

Madurodam

ලබන මාසයේදී Amsterdam නුවර නගර සංචාරයකින් හමුවෙමු.
සටහන - අනුරුද්ධ වැලිගමගේ
සේයා රූ - හෙසදි වැලිගමගේ සහ අන්තර්ජාලයෙන්
Agawa Canyon Tour Train එකේ රවුමක් යමුද ?


කැනේඩියානු සංචාරයක මතකය

Sault Ste Marie නගරයට සංචාරය සදහා එන අය බලන්න යන ප්‍රධාන සංචාරක ආකර්ශන 2 ක් තියෙනවා. ඉන් පළමුවැන්න Agawa Canyon දුම්රිය චාරිකාවයි.

Agawa Canyon Tour Train

අතීතයේදී මේ ජනශුනය ප්‍රදේශය තුල තිබුණු ප්‍රධාන ව්‍යාපාරික කටයුතු වුනේ දැව සහ යපස් කර්මාන්තයයි. ඒවා ලබාගන්නා තැන ඉදන් වරායට ඒවා ප්‍රවාහනය කිරීමේ අරමුණින් නිර්මාණය වුනු පෞද්ගලික දුම්රිය මාර්ගය පසුකාලීනව CN Rail මගින් ක්‍රියාත්මක වුනු මගී ප්‍රවාහන මාර්ගයක් වුනා. මධ්‍යම රජයේ ප්‍රතිපාදන ඉවත්වීමත් එක්ක වසා දමන්නට නියමිතව තිබුණු ඒ සේවාව මේ වනවිට ජනප්‍රිය සංචාරක දුම්රියක් බවට පත්ව තිබෙනවා.

සෑම වසරකම අගෝස්තු මාසයේ පටන් ඔක්තෝබර් දක්වා ක්‍රියාත්මක වන මේ සංචාරක දුම්රිය සදහා යොදා ගැනෙන්නේ එසේ වසා දමන්නට නියමිතව තිබුණු දුම්රිය සේවාවේ තිබුණු සංරක්ෂණය කල සම්පත්. හැල්මේ දුවන ලෝකයෙන් මිදිලා කලබලයක් නැති දවසක අපූරු අත්දැකීමක් ගෙන එන එක මේ සේවයේ ව්‍යාපාරික අරමුණ. සැප්තැම්බර් මාසෙ අග ඉදන් ඔක්තෝබර් මාසෙ මැද වෙනකම් ගස්වල කොල රතු, තැබිලි, කහ පාටින් දිලෙන කාලයට මේ කලාපයේ අසිරිය බලන්න විශාල පිරිසක් ඇදිලා එන හින්ද අන්තර්ජාලයට ගිහින් කලින්ම ටිකට් වෙන්කරවා ගන්න එක හොදයි.
.webp)
.webp)
දවසේ දුම්රිය ගමන පටන් ගන්නේ උදේ 8 ට. ඒ හින්ද නවාතැනින් පිටත් වෙලා පැය භාගයකට කලින් එතැනට ගිහින් ඉන්න එක හොදයි. යාබද රථගාලේ වාහනය නවත්වලා Canal Street එකේ තියෙන ප්‍රතිනිර්මාණය කල දුම්රිය ස්ථානයට ගියාම ඒක බලන්න ලස්සනයි. 2020 වසරේදී ගෘහ නිර්මාණ ශිල්පය හින්ද සම්මානයට පාත්‍ර වුනු මේ ගොඩනැගිල්ල හරියට කලාගාරයක් වගේ. ස්වදේශික චිත්‍ර ශිල්පී John Laford ගේ බිත්ති චිත්‍රයක්( Wall Mural ) වගේම ස්වදේශික චිත්‍ර ශිල්පී Thomas Sinclair ගේ බිම් චිත්‍රයකුත් ( Floor Mural ) එතැනදී දකින්නට පුළුවන්. එහි සමරු වෙළදසැල ( Gift shop) වගේම භෝජනාගාරය හරි අපූරුවට නිර්මාණය කරලා තියෙනවා. ඔබ දුම්රිය ලෝලියෙකු නම් එළිමහනේ නවතා තිබෙන දුම්රිය ගැල් අතරේ තිබෙන ACR 10557 BoXcar ඔබට අපූරු ඉතිහාස කතාවක් කියාවි.

.webp)
1918 දී Lawren Harris, J.E.H MacDonald, Frank Johnston කියන චිත්‍ර ශිල්පීන් තුන් දෙනා අල්ගෝමා ප්‍රදේශයට ගිය චිත්‍ර සංචාරයෙන් පස්සෙ ඒ පරිසරයට පිස්සු වැටිලයි හිටියෙ. ඒ කාලයේ ඒ ප්‍රදේශයට යන්න තිබුණු එකම මාර්ගය වුනේ අල්ගෝමා දුම්රිය මාර්ගය විතරයි. දුම්රිය සමාගමට කථා කරලා Boxcar එකක් කාලෙකට කුලියට ගන්න ඔවුන්ට පුළුවන් වුනා. සුදුපාට ACR 10557 රතුපාටින් පාට කරපු ඔවුන් එයට ඇද , මේස,පුටු , කුඩා ලිපක් එකතු කරලා පොඩි නවාතැනක් හදාගත්තා. පොඩි Canoe එකක් වගේම රේල් පාරේ කුඩා දුරක් යන්නට පුළුවන් Handcar එකකුත් ඒකට ඇදා ගත්තා. පස්සෙ කාලෙක ජනප්‍රිය වුනු Goup of Seven චිත්‍ර එකතුව බිහිවුනේ එහෙමයි. අද ඔබට දකින්නට ලැබෙන්නේ Painted Land: In Search of the Group of Seven කියන වාර්තා චිත්‍රපටය සදහා ප්‍රතිනිර්මාණය කල දුම්රිය ගැලයි.

ඩීසල් දුම්රිය එන්ජින් 3 කින් හෝ 4 කින් බලය සපයන මේ දුම්රියට භෝජන රථ ඇතුළුව මැදිරි 14 ක් ඇතුලත් වෙනවා. ඒ මැදිරි නම් කරලා තියෙන්නේ මේ ප්‍රදේශයේ තිබෙන විල් සහ ගංගා වල නම් වලින්. මේ දුම්රිය එන්ජින් සහ මැදිරි කලක් තිස්සේ පාවිච්චි කල සම්පත් සංරක්ෂණය කල ඒවා. අළුත්ම ඒවා යොදවන්නට ඕනෑ තරම් ඉඩ තිබියදී යලි යලිත් ඒවා යොදා ගනිමින් කරන පරිසර පාඩම හින්ද ඒවා තවත් වටිනවා.

සැතපුම් 114 ක් ( කිලෝමීටර 183.5 ක් ) දුරක් ගෙවා යන මේ දුම්රිය චාරිකාව යන්නේ ජනශුනය දුම්රිය මගින් පමණක් යා හැකි කැලෑ ප්‍රදේශයක් හරහා. සුපිරියර් විල ආශ්‍රිත Canadian Shield කලාපයේ විවිධ භූ විෂමතා ලක්ෂණ දරන කලාපය හරහා ඔබට පරිසරය විදින්නට ඉඩ සලසමින් අඩු වේගයකින් යන දුම්රියට ඒ දුර ගෙවන්න පැය 4 ක් විතර යනවා. Group of Seven සිත්තරුන් තමන්ගේ නිර්මාණ රැසකට පාදක කරගත් ඉසව්වක තනා තිබෙන Agawa Canyon Park නැවතුම එහි ගමනාන්තය වෙනවා. ඒ නැවතුමේ දුම්රිය විනාඩි 90 කට නවතා තැබෙනවා. එදා සිත්තරුන් දුටු අසිරිය අද දවසේ ඔබට කැමරා හෝ ජංගම දුරකථන කාච වලට එකතු කර ගන්නත් , ඒ මගේ තිබෙන ගංගා, දියඇලි අසිරිය විදින්නත් ඔබට පුළුවන්. දුම්රිය නවතා තැබෙන උද්‍යානයේ කෙටි ඇවිදින මංපෙත් හරහා ගිහින් ඔබට Black Beaver Falls සහ Bridalveil Falls කියන දියඇලි බලන්න පුළුවන්. ඒ උද්‍යානය Picnic Facilities තියෙන තැනක් හින්ද ඇවිදින්නට අකමැති නම් ඔබට විවේකයෙන් ඉදගෙන පරිසරය රස විදින්නත් පුළුවන්.


ඒ විවේකයට පස්සෙ දුම්රිය ආපහු එන්න පටන් ගන්නවා. දුම්රිය නැවත ගමන පටන් ගත් දුම්රිය පලට එන්නෙ සවස 5.30 ට විතර . දවසේ උදේ , දහවල් සහ සවස් කාලයේදී කැනඩියානු පරිසර පද්ධතියක විවිධත්වය මේ ගමනේදී ඔබට අත්විදින්නට පුළුවන්. ලංකාවේ දුම්රිය සේවයටත්, සංචාරක අංශවලටත් මේ වගේ දේවල් කරන්න පුළුවන් නේද කියලත් හිතුනා. ඔබේ කැමැත්ත අනුව ඉංග්‍රීසි, ප්‍රංශ , ජර්මන් , ජපන් ,කොරියන් සහ චීන භාෂාවලින් කරන විස්තර කථන මා මෙහි ලියූ දේටත් වඩා වැඩි විස්තර ඔබට ලබා දෙනවා. පහසුවෙන් කල හැකි වුණත් Wifi පහසුකම් දෙන්න දුම්රිය සංවිධායකයින් උත්සාහ නොගෙන ඉන්නේ බාධාවකින් තොරව නිදහසේ පරිසරය විදින්න ඉඩ දෙන්නයි.

Robertson Cliffs

Sault Ste Marie ඉදන් පැය බාගෙක විතර දුරින් තියෙන මේ කදු මුදුන ඇවිදින්නට වටිනා ලස්සන තැනක්. රථගාලේ වාහනය නවත්වලා විනාඩි 45 ඉදන් පැය 2 ක තරමේ කාලයක් ඇවිදින්නට පුළුවන් ඇවිදින මංපෙත් ( Walking Trails) කිහිපයක්ම මෙතැන තියෙනවා.Goulais ගඟ සහ සුපිරීයර් විල ඇතුළු ලස්සන පරිසර පද්ධතියක් මේ ගමනේදී ඔබට දකින්නට පුළුවන්. බටහිර සහ නැගෙනහිර (Western & Eastern Lookouts) වලදී ඔබට දකින්නට ලැබෙන දසුන් ඔබව ප්‍රබෝධවත් කරාවි. වැඩි විස්තර ඔබට Algoma Highlands Conservancy වලින් ලබාගන්නට පුළුවන්.
.jpg)

Ermatinger Clergue National Historic Site

1812 දී එවක බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති වර්තමාන කැනේඩියානු බිම් ප්‍රදේශවලට ඇමෙරිකාව එල්ල කල දරුණු ප්‍රහාරයට ලක්වුණු ප්‍රමුඛ ප්‍රදේශයක් විදිහට මේ කලාපය හැදින්වෙනවා. ඇමෙරිකානු දේශ සීමාව බොහෝ කිට්ටුවෙන් තිබීම ඊට හේතුවෙන්නත් ඇති.

2023 සැප්තැම්බර් 20 සිට 23 දවස්වලදී ඔබ මේ ප්‍රදේශයට යනවා නම් වාර්ෂිකව සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන Fall Rendezvous උත්සවය බලන්නට අමතක කරන්නට එපා. ප්‍රංශ බස කථාකරන පිරිස් සහ ස්වදේශික පිරිස් ඉදිරිපත් කරන විවිධ ඉදිරිපත් කිරීම් ඇතුළුව 1800 කාලයේ කදවුරු ලාගෙන සිටි බ්‍රිතාන්‍ය හමුදා සෙබළුන්ගේ ක්‍රියාකාරකම් නිරූපණය කරන්නට විවිධ පිරිස් දායකත්වය දක්වනවා. ගවේෂකයින්ගේ අත්දැකීම් , කාලතුවක්කු වෙඩිමුර ඇතුළු වැඩසටහන් පෙලේ වැඩි විස්තර ඔබට අන්තර්ජාලයෙන් හොයා ගන්න පුළුවන්.
.webp)
අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


