ස්වර්ණ පුස්තක සම්මානය චන්ද්‍රරත්න බණ්ඩාරගේ “පියාසර සමය”ට

චන්ද්‍රරත්න බණ්ඩාර විසින් රචිත 'පියාසර සමය' නවකතාව, 2024 වසරේ පළවූ විශිෂ්ටතම සිංහල නවකතාව ලෙස 19 වන ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කළ මෙම සම්මාන උලෙළ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා සහභාගී විය.

මෙවර සම්මානය සඳහා අවසන් වටයට නිර්දේශ වූ කෘති පහ අතරට, මනෝහරි ජයලත්ගේ ‘අබාසාත්ති’, මහින්ද චන්ද්‍රසේකරගේ ‘වාපි’, පී. බී. ජයසේකරගේ ‘සිතේ කෙටුණු දේවනාගර’ සහ සුනේත්‍රා රාජකරුණානායකගේ ‘පරිකර්ම’ යන නවකතා ද ඇතුළත් විය. අවසන් වටයට තේරීපත් වූ ලේඛකයන් පස්දෙනා සඳහා රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමුණු අතර, ජයග්‍රාහකයා වූ චන්ද්‍රරත්න බණ්ඩාර මහතාට හිමි වූ මුළු ත්‍යාග මුදල රුපියල් අටලක්ෂ පනස් දහසකි.

මෙවර උලෙළට නව අංගයක් එක් කරමින්, ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන 'ස්වර්ණ තිළිණ සම්මානය' ද හඳුන්වා දී තිබිණි. රුපියල් ලක්ෂ පහක මුදල් ත්‍යාගයකින් සමන්විත එම සම්මානය ප්‍රථම වරට දිනා ගැනීමට ජ්‍යෙෂ්ඨ ලේඛක උපාලි වනිගසූරිය සහ ජ්‍යෙෂ්ඨ ලේඛක එඩ්වඩ් මල්ලවආරච්චි යන මහත්වරු සමත් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *