සිංහල කෙටිකතාව

පිය සෙනෙහස
එදින මහියංගනය බදුල්ල මාර්ගයේ වාහන තදබදයක් නොමැති වූ නිසා වාහන ධාවනය වූයේ අධික වේගයෙනි. මෙම අවස්ථාව රූටා යාමට නොදුන් පෞද්ගලික බස් රථ වේග සීමාවද ඉක්මවා ධාවනය කිරිමට අමතක නොකළහ. එහෙත් ලංගම බස් රථයක් පැදවූ සීමන් වේග සීමාව කිසිවිටෙක උල්ලංඝනය නොකළේය. ඔහු නිතියට අනුකූල ලෙස නියමිත පරිදි තම බස් රථය පදවමින් සිටියේය.
මහාමාර්ගයේ අධික වේගයෙන් යන්නාවූ වාහන නිසා පොලිස් නිළධාරීහු වහ වහා ක්‍රියාත්මක වූහ. මාර්ගයෙහි තැනින් තැන වේග සීමා පරික්ෂා කිරීමට රථවාහන පොලිසිය පියවර ගත් අතර වේග සීමා උල්ලංඝනය කළ රියදුරන් සඳහා දඩකොළ ලියූහ. ඇතැමෙක් තම තරාතිරම් ගැන පවසා ගැලවී ගියහ. සමහරු නෝට්ටු කීපයක් රථවාහන බලපත්‍රය හා රක්ෂණ ආවරණය සමඟ කලවමේ පොලිස් නිළධාරීන් අතට දී ඔවුන්ගෙන් සමුගත්හ. වඩාත් අවාසනාවන්ත කොටස් දඩකොළ අතට ගෙන සකල පොලිස් වර්ගයාටම සාප කරමින්, වාහනයේ වේගය ඉතා සැලකිල්ලෙන් අඩු කොට ප්‍රවේශමින් තම රිය පැදවූහ.
වේග සීමා පරික්ෂාවේ යෙදී සිටි නිළධාරිහූ සීමන්ගේ අවධානයට යොමු නොවීය. සීමන් නීතිගරුක රියදුරෙකු ලෙස ඩිපෝවේ උස් පහත් සියළුම තරාතිරම්වල පුද්ගලයෝ දැනසිටිමින් ඔහුට සැලකූහ. සියලූම දෙනා ඔහු හැඳින්වූයේ "සීමන් අයියා˜ හෝ "සීමන් ඩ්‍රැයිවර උන්නැහේ˜ යන නමිනි. සීමන් ඩ්‍රැයිවර් උන්නැහේ සියළු දෙනාගේම මිතුරෙකි. ඔහු තම ඩිපෝවේ අනෙකුත් රියදුරන්ගේ ඕනෑම ගැටලූවකදී කර නොහැර ඉදිරිපත් විය. එසේම මගින්ට ඉතා කාරුණිකව හා විශේෂ අවධානයෙන් සැලකුවේය. බොහෝ රියදුරෝ මහළු පුද්ගලයෙකු දුටුවිට රථය නොනවත්වා යාමත්, මගීන් වාහනයෙන් බසින අවස්ථාවේදී ඔවුන්ගේ ආරක්ෂාව ගැන නොසලකා ඉක්මන් බහින ලෙස අණකරමින් රථය ඇද්දීමටත් පුරුදුව සිටිති. සීමන් එවැනි චර්යා විරෝධී කටයුතු කළ බවට කිසිතැනක වාර්තා වී නැත.
සමහර ලංගම රියදුරන් පෞද්ගලික බස් රියදුරන් සමඟ ගජ මිතුරන්ව සිටීමත් ඔවුන්ගෙන් නොමිළයේ ලැඛෙන කෑම පාර්සලයට හා ගල් අරක්කු වීදුරුවට වසඟවී, පෞද්ගලික බසයට සෙනඟ පුරවාගැනීමට ඉඩහැර සිටින බව ඇතැමුන්ගේ මතයකි. මේ නිසා තමාගේ ආයතනයට මුදල් අඩුවී, පාඩු සිදුවූවාට ඔවුන්ට කම්නැත. සමහර ලංගම රියදුරන් පෞද්ගලික බස් රථ සමග තරගයට ගොස් තම බසයේ ආදායම වැඩිකර ගැනීමට වෙහෙසෙමින් මාර්ග අනතුරුවලට පවා භාජනය වේ. එහෙත් සීමන් කිසිදිනක මේ අන්තගාමී පිළිවෙත් අනුගමනය නොකළේය. ඔහු ලංගම හෝ පෞද්ගලික වශයෙන් රියදුරන් ඛෙදීමක් නොකළේය. දෙවර්ගයේම අය කරන්නේ එකම වර්ගයේ රැකියාවක් බව ඔහු කල්පනා කළේය. ඕනෑම අවස්ථාවක රියදුරෙකුට යම් උපකාරයක් අවශ්‍ය වුවහොත් නොපැකිළ එය ඉටුකර වීමට ඔහු ඉදිරිපත්විය.
මෑතකදී පෞද්ගලික බස්රථයක් හදිසි ආපදාවකට ලක්විය. අසරණව සිටි රියදුරු සහ කොන්දොස්තර මගීන්ගේ මැසිවිලිවලට සවන් දෙමින් අබලන් රථය පණගැන්වීමට නොගත් උත්සහයක් නැත. එහෙත් ඔවුන්ගේ ව්‍යායාමය අසාර්ථක විය. මේ අතර එතැනට පැමිණි සීමන් ඩ්‍රැයිවර් උන්නැහේ˜ ඉෂ්ට දේවතාවෙකු ලෙස පිහිට විය. සීමන්ට එන්ජින් සම්බන්ධ සුළු කාර්මික දැණුමක් තිබු‚. එම දැනුම, අත්දැකීම් හා අනුන්ට පිහිටවීමේ උතුම් ගුණය නිසා එන්ජීම යළි පණගැන්වීමට ඔහුට හැකිවිය. මෙහිදී පෞද්ගලික බස් රියදුරු මුව නොසෑහෙනසේ සීමන්ට ස්තූති කළේය.
" සීමන් අයියා නොහිටින්න අපි පාරේ රස්තියාදු වෙනවා˜ යැයි කිව් පෞද්ගලික බස් රියදුරු — මේ කබල විකුණලා අළුත් බස් එකක් ෆිනෑන්ස් කරලා හරි ගන්න˜ කියලා අපි අපේ බොසාට කොච්චර කියනවද යනුවෙන් පෞද්ගලික බස් රියදුරු සීමන්ට කිවේ ඉතා ලෙන්ගතු මෙන්ම දුක් සහිත හඞකිනි.
"ඕවා ගණන් ගන්ට එපා මලේ, පරිස්මෙන් යන්ට. ක්ලච් එක හෙමින් පාගන්ට˜ කියා සීමන් ඔහුට උපදෙස් දුන්නේය.
සීමන් ඩ්‍රැයිවර් උන්නැහේට කිසි දිනෙක පොලිසියෙන් දඩ කොළ ලැබී නැත. එනමුදු පාර අද්දර පොලිස් නිළධාරීන් වේගසීමා පරික්ෂාවේ යෙදී සිටිනවා ඔහු දුටුවහොත් ඉදිරියෙන් එන වාහනවලට තම බස් රථයේ හෙඩ් ලයිටි දල්වා අවදානම පිළිබඳව සංඥා කිරීම ඔහු නිබදවම කළේය. මෙය නීති විරෝධී බව සීමන් නොදනියි.
ඩිපෝවේ නිළධාරිහු සීමන් ඉතා හොඳ රියදුරෙකු ලෙස සැලකූහ. බස්රථවලට අලාභ හානි කිරීම, හොරෙන් ඩීසල් ඇදීම, ඩිපෝවේ වාහන අමතර කොටස් හොරකම් කිරීම වැනි අක්‍රමිකතා සම්බන්ධයෙන් ඔහුගේ නම කිසි විටෙකත් ගෑවී තිබුණේ නැත.
සෑම හොඳ මිනිසෙකුටම යම්කිසි දුර්වලකමක් තිබේ. සීමන් සම්බන්ධයෙන්ද මෙම කරුණ සත්‍ය විය. ඔහු පමණ ඉක්මවා මත්පැන් පානය කළේය. එහෙත් රාජකාරි කරන අවස්ථාවේ ඔහු මත්පැන් බීවේ නැත.
බොහෝ රියදුරන් බස් ධාවනය කළේ ගල්, පොල් හෝ කසිප්පු සප්පායම් වීමෙනි. ඇතැමෙක් ගංජා සුරුට්ටුද පාවිච්චි කළහ. මීට අමතරව මදන මෝදකද හපමින් සුක්කානම කැරකූහ. එහෙත් සීමන් මීට හාත්පසින්ම වෙනස්ය. තමා බස්රථය පදවන අවස්ථා වලදී නොමිළයේ ලැබුණත් මත්පැන් නොබීමට තරම් හොඳ සංවරයක්, ආත්ම දමනයක් ඔහුට තිබුණි.
"කටගොන්නක් බීලා එලවන්නේ කොහොමද?˜ යි ඔහු කියයි.
" සීමන් අයියා ඕක මොකක්ද? පොඩි ෂොට් එකක් දාගන්න, මොකද බිව්ව කියල අපි වාහන හප්පගන්නවද?˜ මෙහි දී කටකාර රියදුරෙක් කියන්නේ අරක්කු බෝතලයේ මූඩිය අරින ගමන්ය.
"බෑ මලේ ඩිපෝවේ මහත්තයත් අද එළියේ. දන්නවනේ˜ ගැලවීමක් වශයෙන් ඔහු ආයතන ප්‍රධානියාගේ නමද පෙරට දමයි. සෙල්ලක්කාර රියදුරන්ට ඩිපෝ අධිකාරිද වලංගු නැත.
"එයා මොනව චැක් කරන්නද? අපි නොදන්නවැයි එයා සෙට්වෙන හැටි, ඕවා ගණන් ගන්න එපා. මෙන්න මේක ඉක්මනට ගහලා යමු.˜ යි එකෙක් කියයි.
"අනේ මලේ උඔලා ඔය බෝතලේ තියා ගනිල්ලා මම හවස එනවා. එතකොට බොමු...˜ එසේ කියමින් සීමන් ඔවුන්ගෙන් මිදී යයි. එහෙත් හවස වැඩ නිම වෙන විට රියදුරන්ද බෝතලයද නැත. එම නිසා සීමන් බස්රථය ඩිපෝවට බාරදී සැමි අයියාගේ බත් කඩයෙන් කාලක් පමණ උගුරට හලාගෙන ගෙදර යයි. රෑ කෑම කෑමෙන් පසු අසල්වාසීන් සමඟ පිළිසඳරට යාමට ඔහු අමතක නොකරයි. එහිදී බෝතලයක් එලියට එන අතර එම බෝතලයද හවුලේ ඉවරකිරීම ඔහුගේ සිරිතය. එහෙත් රෑබෝවෙන විට ඔහු මෙම සංගමයෙන් මිදීමට සමත්වෙයි.
"මට දැන් යන්ට ඕනෑ. හෙට උදේට වැඩට යන්ට තියෙනවා. හෙට හමුවෙමු˜ යි පිටත්වෙන ගමන් කියයි. මේ අතර යම් අයෙක් සීමන් නතර කිරීමට සැරසුනොත් "අනේ මලේ හෙට ඩ්‍රැයිවර්ලත් නැහැ. කොහොම හරි වැඩට යන්ට ඕනෑ.මෙන්න මම ගියා˜ කියමින් වැනෙමින් නිවසට ගොස් මළාක් මෙන් නිදාගනී.
එහෙත් උදේ පහ වනවිට ඔහු අවදි වෙයි. උදෑසන අවදි වී බිරින්දෑ අතට ගෙන දෙන කෝපි කෝප්පය පානය කොට ගෙදර ලිඳෙන් වතුර නා කාකි කමිසය සහ සුදු සරම ඇඳ පාරට බසියි. පාරේ එන ලංගම හෝ පෞද්ගලික බස් සීමන් පාරේ සිටිනවා දුටුවිට වහාම නැවැත්වෙයි. එම නිසා ප්‍රමාදයකින් තොරව හෙතෙම ඩිපෝවට පැමිණේ.සුක්කානම අතට ගත් වහාම තෙවරක් වැඳනමස්කාර කර එන්ජිම පණගන්වයි. "එහෙනම් රන්නත්තරේ සරණිං යං "කියමින් ඩිපෝවෙන් පිටත්වෙයි.
සීමන් වඩාත් ප්‍රිය කළේ කෙට්ටු, වැඩි කතාබහක් නැති තරුණයෙකු වූ පියසාන්ත කොන්දාස්තරටය. ඔහුගේ නියම නම ප්‍රියශාන්ත වුවද ඩිපෝවේ ඇත්තන් ඔහුගේ නම උච්චාරණය කළේ පියසාන්න නමිනි. වැඩි කලබලයක් නැති මෙම තරුණයා මගීන්ට කරුණාවන්තය. කථාබහ අඩු නිසා ඩිපෝවේ සමහරුන් ඔහු හැඳින්වූයේ "බම්මන්නා" නමිනි කෙසේ වෙතත් පියසාන්ත සීමන් ඩ්‍රයිවර උන්නැහැගේ සිත් ගත්තේය. පියසාන්ත නැති දිනවල වැඩට එන අනෙක් කොන්දාස්තරවරු මගීන්ට සැර දමති. නැතහොත් මගියා නැගීමට පෙර බෙල් එක ගසති. එවැනි අවස්ථා වලදී සීමන් උන්නැහේ "මලේ හදිස්සියක් නෑ හෙමිහිට යං˜ යනුවෙන් පවසයි.
නියමිත පරිදි ධාවනයේ යෙදෙන බස් රථය සවස ගාල් කිරීමෙන් පසු සැමි අයියාගේ කඩයට ගොඩවැදී කාලක් සප්පායම් වීම සීමන්ගේ දිනචරියාවේ අංගයක් විය. ඇතැම් දිනවල සැමි අයියා දෙන බඩුවල යූරියා වැඩි යැයි සමහරු පවසති. එවැනි දිනවල සීමන් බුලත් විටක් ද කෑවේ යූරියා ගතිය කටින් පහකර ගැනීමටය. මෙසේ කිසිම වැරුද්දක් දොසක් නැතිව කටයුතු කළ සීමන් උන්නැහේට ඉදහිටවත් දොසක් කිවුවේ ඔහුගේ මායියා පමණකි.
"මේ ඔහේගෙ බීම දැන්වත් නවත්වනවකෝ හැමදාම ගෙදර එන්නේ ගඳ ගස්සාගෙන. දැන් කොලූවත් ලොකුයිනේ "ඇය කියන්නේ තද ස්වරයකින් නොවේ.
"අනේ යෝදියේ නිකං ඉදිං මම ඉදල හිටල අඩියක් ගැහුවට වෙන ඩ්‍රයිවර්ල වගේ කුපාඩිකමේ යනවද? ගෙදරට මදිපාඩු කරනවද?˜ ඊට පිළිතුරු වශයෙන් ඔහු පවසයි.
මින් එහාට යමක් කීමට අපොහොසත් වන ඇඹනිය තමාගේ වැඩක නිරත වන්නීය. සීමන්ට වඩා අවුරුදු අටකින් පමණ බාල ඇයගේ රූ සපුව ලිපේ සහ ගෙවත්තේ වැඩටම දිය වී ගොසිනි. උදයට ලිප සමඟ ඔට්ටුවන ඇය දවල්ට කැත්ත උදැල්ල අතට ගනී. දෙමහල්ලන්ගේ අවධානය හා බලාපොරෙත්තුව තිබුනේ තම එකම පුතු වූ තිලකසිරි කෙරෙහිය. මේ වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්වන තිලකසිරි ඉගෙනීමට සමත්ය. එසේම පාසලේ ක්‍රිඩා කටයුතු වලදීද ඔහු කැපී පෙනෙයි. මේ නිසා සීමන් උන්නැහේ සිටියේ ආඩම්බරයෙනි.
"අපේ පුතා දස්සයා. හොඳට ඉගෙන ගන්නවා විභාගේ පාස් උනහම පුතා ඩිපෝ අධිකාරි කෙනෙක් වෙයි.˜ බස් රථය ධාවනය කරන ගමන් සීමන් තම පුතු ගැන සිහින මැවීය. යන්තම් හතර වැනි පන්තියට උගත් සීමන් අධ්‍යාපනයේ වටිනාකම දන්නෙකි. ඔහුගේ දැනීමේ තරමට ලෝකයේ ඉහලම රැකියාව ඩිපෝ අධිකාරීකමය. එම නිසා පුතාගේ අධ්‍යාපනයට ඔහු ඉතා උනනන්දු විය.
"අපරාදේ කියන්ට බැහැ කොල්ල තනියම පාඩම් වැඩ කරනවා. කිසිම කරදරයක් නැහැ.˜ සීමන් තම බිරිඳ සමඟ පැවසුවේ පාසල් ගිය සමයේ තමා කැලේ පැන්න හැටි මතක්කරමිනි.
"පුතා දැන් ලොකු නිසා ඔහේගේ ඔය බොන පුරුද්ද අඩුකළොත් නරකද?˜ ඇයට කීමට ලැබුනේ මේ වචන ටික පමණයි. සීමන් උරණ විය
" අනේ යෝදියේ උඔ හැමදාම කියන්නේ ඔය බණේනේ. ඒක අහලා මට ඇති වෙලා.˜ මෙසේ කියමින් සීමන් අසල්වැසි සමරේ බාස් සොයාගෙන ගියේය. සමරේ සමඟ අඩිගහන අතරතුර බීම මදක් අඩුකළ යුතුබව ඔහුට සිතුනි. "පුතාට හරිනෑ නොවෑ˜ ඔහු සිතීය . එදින මදක් කළින් සමරේ බාස්ගෙන් මිදී ගෙදරට පැමිනීමට සීමන් සමත් විය.
පසුදින උදයේ වැඩට පිටත්වන විට බිරිය ඔහුට පණිවිඩයක් කීවාය. එනම් එදින දහවල පාසලේ ක්‍රීඩාභාර ගුරුතුමා සමඟ තම පුතා ඇතුළු ළමුන් කණ්ඩායමක් හමුදා කඳවුරට යන බවත්, දින දෙකක් එහි නැවතී පුහුණුව ලබන බවත්ය.
තිලකසිරි පාසලේ ශි්‍යෂ භටයෙකු විය. අධ්‍යාපන ඇමතිවරයා සහභාගීවන උත්සවයකට ආචාර පෙළපාලිය සංවිධානය කිරීම පැවරී තිබුනේ තිලකසිරි ඉගෙනීම ලැබූ පාසලටය. එම නිසා අසල කඳවුරේ අණදෙන නිළධාරි මාර්ගයෙන් ශිෂ්‍ය භටයින්ට ආචාර පෙළපාලිය පිළිබඳ පුහුණුවක් ලබාදීමට විදුහල්පතිවරයා පියවර ගෙන තිබුනි. මේ සම්බන්ධයෙන් සීමන් උන්නැහේ ඩිපෝවේ දී කතා කළේ තම පුතු පිළිබඳ උපන් සෙනෙහස හා ගෞරවයෙන් යුක්තවය.
"අපේ කොල්ලා අද කෑම්ප් එකට ගියා˜ ඔහු අන් රියදුරන් සමඟ කීවේය.
"ඇයි සීමන් අයියේ කොල්ලා හමුදාවට යවන්නද කල්පනාව˜ යැයි ඇසුවේ ඩිපෝ රියදුරෙකු වන ඩේවිඩ්ය. ඔහුගේ පුතුන් දෙදෙනාද හමුදාවේය.
˜නෑ ඩේවිඩ් කොල්ලා කැමති ඉගෙන ගන්ට. මේ ඉස්කොලේ සෙල්ලං වගයකට පුරුදු වෙන්ට ගිහිල්ලා˜ ඔහු ඩේවිඩ්ට පිළිතුරු දුන්නේය.
"එහෙනම් වෙඩි තියන්න පුරුදු කරනවා ඇති.˜ ඩේවිඩ් දැනමුත්තෙකු ලෙස කීවේය.
එදින සීමන් තම බසය පැදවූයේ පුතු ගැන සිතමිනි. "පුතාට මොනවාහරි කෑමක් ගෙනියන්ට ඕනෑ˜ දහවල් කෑමට මාතර බත් කඩේට ගිය සීමන්ට සිතු‚. පුතාට ගෙනයාම සඳහා යමක් සෙවීමට ඔහු යාබද කඩ දෙක තුනකට ගියේය. අවසානයේදී මිලෙන් වැඩි බිස්කට් ටින් එකක් ඒ සඳහා තෝරාගත්තේ කමලා ස්ටෝර්ස් එකෙනි. ඉතා අලංකාර ලෙස මුද්‍රණය කොට තිබූ බිස්කට් ටින් එක රට බිස්කට් ටින් එකක් විය යුතු යැයි ඔහු සිතිය. බිස්කට් ටින් එක ඔතාගත් ඔහු එය බස් රථයේ රියදුරු ආසනයට නුදුරු මුල්ලක තැන්පත් කළේ නැවත දිනමිණ පත්තරයක පිටුවකද ඔතමිනි. මෙම පත්තරය මගියෙකුට අමතකව බස්රථයේ දමාගිය එකකි. එන්ජින් ඔයිල් ගෑවෙතැයි ප්‍රවේසමෙන් පත්තර පිටුවල එතූ බිස්කට් ටින්එක ගමනාන්තය දක්වා ඔහුගේ දෙපාවල දැවටි දැවටී තිබුණේ පූස් පැටවෙකු තම ස්වාමියාගේ දෙපා අසල දැවටෙන්නාක් මෙනි.
පුතාට කන්ට ගෙනියන එක පයේ ගැටෙන්ට හොඳ නැහැ. යැයි සිතූ ඔහු එය උකුළ උඩ තබාගත්තේ බස්රථය ඩිපෝවට ඇතුළු කිරීමට මොහොතකට පෙරය. සවස් වරුවේ වැඩ නිමාවී කඳවුරට යාමට ඉටාගත් ඔහු පොත අත්සන් කළා පම‚. විනෝදකාමී රියදුරෙකු වන කුමාර සීමන් උන්නැහේව නතරකර ගත්තේය.
"සීමන් අයියා, මොකක්ද, බෝම්බයක්ද? ඔහු ඇසුවේ කට කොනකින් සිනාසෙමිනි.
"පිස්සුද මලේ මේක මේ අපේ කොල්ලට ගත්ත බිස්කට් ටින් එකක්. කොල්ලා කෑම්ප් එකේ. මම දැන් යනවා.˜ ඔහු පැවසුවේ කඩිනමිනි. හැකි ඉක්මනින් පුතු බැලීමට යාම ඔහුගේ අභිප්‍රාය විය.
"පොඩිඩක් ඉන්න සීමන් අයියා, දැන් සීමන් අයියට අපිව පේන්නේ නෑ තියෙන ආඩම්බර. දැන් ඉතින් ගණු දෙනු ආම් එකත් එක්කනේ˜ කුමාර කීවේ නොක්කාඩු ස්වරූපයෙන්ය.
"නැහැ මලේ රෑවෙන්ට කළින් යන්ට එපැයි˜
"අයියෝ සීමන් අයියා දැන් කීයද? තවම හය උනෙත් නැහැ පොඩ්ඩක් එන්න මෙහාට අද විල්බට් අයියා පොල් බොතල් දෙකක් ගෙනාවා පොඩ්ඩක් සෙට්වෙමු.˜ කුමාර ඔහුට පෙරැත්ත කළේය.
"හරි, හරි මලේ ඔන්න මම එතන ඉන්නේ පැය බාගයයි. පරක්කු වෙන්ට බැහැ˜ සීමන් පිළිතුරු වශයෙන් කීවේ කුමාර අමනාප වෙතැයි සිතාගෙනය.
"හරි හරි යමුකෝ...˜ කුමාර පය ඉස්සර කළේය. ඔව්හු ඩිපෝවට යාබදව තිබුණු වඩු මඩුවට ගියහ. විල්බට් සහ වඩු මඩුවේ ජයරත්න සීමන් සහ කුමාර පිළිගත්තේ ඉතාම සතුටිනි.
"අනේ සීමන් අයියා දැක්ක කල්. කාලෙකින් අපට ජොලියක් දාන්න බැරිඋනා.˜ විල්බට් කීවේ සීමන්ට තොත්තුවක්ද දෙන ගමන්ය.
"අපි අන්තිමට හමු උනේ සිංහල අවුරුදු දවසේ මතකද?˜ සීමන් විල්බට්ට සොදුරු දිනයක් මතක් කර දුන්නේය.
"හරි හරි සීමන් අයියා මතකයි. එදා අපි නියමෙට සැප ගත්තා. අදත් අපි ආතල් එකක් ගමු˜ විල්බට් බෝතල් දෙකක් වඩු මඩුවේ මුල්ලකින් ගත්තේය. "අද අස්සයෙක් වැඩකළා ඒකේ සතුට අපි ඛෙදා ගමු˜ විල්බට් කීවේ උද්දාමයෙනි.
"හැබැයි මලේ මට පරක්කු වෙන්ට බැහැ.˜ සිමන් පැවසුවේ තම පුතුට ගෙන යන බිස්කටි ටින් එක අතට ගනිමිනි.
"හරි හරි සීමන් අයියා අපි උගුරට දෙකට මේක ඉවර කරමු.˜ එසේ කියමින් විල්බට් කට කැපූ වීදුරුව සීමන්ට පිළිගැන්වීය. එකවරම අරක්කු වීදුරුව උගුරට හලාගත් සීමන් මොහොතක් දෑස් පියා ගත්තේය. ඉන් අනතුරුව කෙළ පිඩක් ගැසූ ඔහු
"මලේ හොඳ බඩු. සැමි අයියාගේ ජරාව වගේ නෙවෙයි.˜ යැයි පැසසුමක් ද කළේය.
"ඔව් සීමන් අයියා මේවා සංස්ථාවේ බඩු. සැමීගේ කුණු ජරාව වගේ නෙවෙයි.˜ විල්බට් කිවුවේ සැමීට පොඩි පහරක්ද ගසමිනි. ඊට හේතුව සැමී,—අද මුදලට හෙට ණයට˜ යන ප්‍රතිපත්තියට වැඩකළ හෙයිනි.
කුමාර, ජයරත්න, විල්බට් සහ සීමන් පළමු බෝතලය හිස්කරන විට හත පසු වී තිබුණි.
සීමන් හදිස්සි කළ සෑම අවස්ථාවකම කුමාර සහ විල්බට් ඔහු නවතා ගත්තේ "මොන පරක්කුවක්ද˜ කියමිනි. මෙසේ බෝතල් දෙක අවසන් වෙද්දී කුමාර සැමීගේ කඩෙන් සුදුවා බෝතල් දෙකක්ද ගෙනාවේ මයියොක්කා පිඟානක්ද සමගිනි.
සීමන් සැමීගේ බෝතලයෙන් කෝප්ප භාගයක් උගුරට හලාගෙන මයියොක්කා කෑල්ලක් හැපුවේ "දිවිය ලෝකේ රහයි මලේ˜ කියමිනි. "අනේ මලේ දැන් හොදටම රෑඋනා. කොල්ලව බලන්ට ඕනේ. මෙන්න මම ගියා˜ මෙසේ කියමින් සීමන් උන්නැහේ සමාගමෙන් ඉවත්වූයේ තවත් පෙරැත්තයකට ඉඩ නොතබමිනි. ගහෙන් ගෙඩි එන්නාක් මෙන් ඔවුන්ගේ සමාගමෙන් ඉවත්වීමෙන් තමාකළේ වැරැද්දක්දැයි සිතමින් සීමන් තැවුනේය. එහෙත් පුතු හමුවීමට ඇති අවශ්‍යතාව නිසා ඒ හැඟීම යටපත් විය.
වේලාව රාත්‍රි නවය පසුවී තිබු‚. පාරේ කිසිදු වාහනයක් නැත. රෑ බෝවීමට කලින් කඳවුරට ගොස් බිස්කට් ටින්එක පුතුට දෙන්නේ කෙසේදැයි ඔහු කල්පනා කළේය. සීමන් උන්නැහේට කැරකිලි ගතියක් දැනිණි. අද ටිකක් වැඩිඋනාවත්ද? ඔහු මදක් බමන ගතියෙන් පාරේ ඉදිරියට ගියේය. හැතැක්ම කාලක් යාමට පෙර අඳුර කපාගෙන වාහනයක් පැමිණි‚ අතර එය නිමල් පදවන පෞද්ගලික බස් රථය බව සීමන් හඳුනා ගත්තේය. වහාම පාරට පැන සීමන් බස් රථය නැවැත්වූයේ පොලිස් භටයෙකු මෙනි.
නිමල් බ්‍රේක් ගැසුවේ කුණුහරුපයක්ද කියමිනි. සීමන් හඳුනා ගැනීමෙන් පසු ඔහුගේ මුහුණේ ස්වරූපය වෙනස් විය.
"ආ මේ සිමන් අයියනේ. මොකද රෑ වෙලා˜ යැයි නිමල් සීමන් ගෙන් ඇසිය.
"පොඩ්ඩක් රෑ උනා මලේ. මාව කෑම්ප් එක ලඟින් බස්සන්ට. අපේ කොලූවා අද එහේ ගිහිල්ලා˜ සීමන් පැවසුවේ බිස්කට් ටින් එක තුරුළු කර ගනිමින්ය.
බස්රථයේ සිටියේ මගීන් ස්වල්ප දෙනෙකි. එම නිසා නිමල්ගේ රියදුරු අසුන අසල සිටම නිදහසේ කථා කිරීමට ඔහුට හැකිවිය.
"සීමන් අයියා අමාරු නම් වාඩිවෙන්න මොනද අද ටිකක් වැඩී වගෙද?˜ නිමල් ඇසුවේ බ්‍රේක් ගසනවිට සීමන් විසිවෙන අයුරු කණ්නාඩියෙන් දැකීම නිසාය.
"නෑ මලේ මොන වැඩියක්ද? මෙහෙම හොඳයි˜ ඔහු එක් අතකින් බිස්කට් ටින් එකද අල්ලාගෙන අනෙක් අතින් රියදුරු අසුනේ දාරය දැඩිව ග්‍රහනය කර ගත්තේය.
"මොකක්ද අද ඩිපෝවේ පාටියක්ද?˜ නිමල් ඇසුවේ කුතුහලයෙනි.
"නෑ මේ විල්බට් බලකරා˜ ඔහු තමා අතේ වරදක් නැති නියායෙන් කිවේය.
"කවුද විල්බට් ආ මේ ඩීසල් විල්බට්ද?˜ නිමල් ඇසුවේ විල්බට්ගේ තෝම්බුව එළියට දමමින්ය.
විල්බට් හොරෙන් ඩීසල් ඇදීම සඳහා නම් දැරුවෙකි. පදවන බස්රථය ගෙන ගොස් ඩීසල් බෑම ඔහුගේ සිරිතයි. එම නිසා අන් රියදුරන් විල්බට් හඳුන්වන්නේ මේ නමිනි.
"මලේ ඔය වංගුව ලඟ නවත්වන්ට, මම බහිනවා.˜ කඳවුර ආසන්න වෙත්ම සීමන් ඉල්ලීමක් කළේය. ඉල්ලීම ඉටු විය. බස්රථය හමුදා කඳවුර ලඟ නවත්වන ලදි. වැනෙමින් සිටි සීමන් නිමල්ට ස්තූති කොට බසයෙන් බැස්සේය.
"අනේ මලේ උඹ නොහිටින්ට මම තාම පාරේ. එහෙනම් දෙයියන්නේ පිහිටෙන් ගිහින් වරෙන්˜ මෙසේ කියා නිමල්ට ඔහු සමුදුන්නේය. බස් රථය පිටත්වූ විගස සීමන් යලි බිස්කට් ටින් එක තුරුල්කර ගත්තේ එය බිම වැටේ යන බියෙනි. බිස්කට් ටින් එක සුරක්ෂිත බව දැනුණු වහාම ඔහු වැනෙමින් කඳවුර ඉදිරියට පියමං කළේය.
පරක්කු වැඩීවත්ද? කොළුවා නිදා ගෙනද දන්නේ නෑ. මෙලෙස තමාටම තොල්මැතුරූ ඔහු "තිලකසිරි පුතේ˜ යැයි උස්හඬින් කෑගැසීමට සිතූ නමුත් එය නුසුදුසු යැයි සිතා කෑම්ප් එකේ මහත්තුරුන්ට කථාකරලම කොල්ලව බලනවා යැයි සිතා මුර කුටිය අසලට පියමැන්නේය.
මුර කුටියේ සිටි සෙබලා නගර් කෝවිල් සිට මෙම කඳවුරට පැමිණ ගතවූයේ සති දෙකක් පම‚. මේ ප්‍රදේශයේ ත්‍රස්තවාදී කලබල අඩු නමුදු ඔහු සෑම රැයේදීම රාජකාරි කළේ සැකයෙනි. පුහුණු සමයේ බංකරයේ නිදා ගැනීම නිසා සාජන්ගෙන් නොසෑහෙන සේ ගුටි කෑ ඔහු සුළු ශබ්දයකදී පවා තිගැස්සුණු අතර තුවක්කුව බඳට තදකරගෙන සූදානමින් සිටියි. වරක් උතුරේදී බංකරයේ නිදා සිටි තම මිතුරන් දෙදෙනෙකුගේ ඛෙලි සතුරන් විසින් කපා දමා තිබීම නිසා ඔහු සිටියේ වඩාත් විමසිල්ලෙනි. තියුණූ වක්පිහිය කටින් ගෙන ශබ්ද නොනැග බඩගාගෙන එන්නා වූ ත්‍රස්තවාදීන් ගැන බලාපෙරොත්තු තබාගෙනය. කොයි මොහොතේ හෝ තම අවිය පාවිච්චි කිරීමට ඔහු සුදානමින් සිටියේය.
මෙම ප්‍රදේශය උතුරු නැගෙනහිර මෙන් අවදානම් නොවුවද සෙබලා සිටියේ සූදා නම් ශරීරයෙනි. දිවා කාලයේදී හරි හැටි විෙවිකයක් නොලත් බැවින් හිටිහැටියේ ඔහුගේ දෑස පියවෙයි. යන්තමින් නින්ද යත්ම ඔහු ගැස්සී ඇහැරෙයි. "නිදිකිරනවා දැක්කොත් පෝරියල් ˜ යැයි තමාටම තොල්මතුරමින් සෝදිසියෙන් වටපිට බැලීය. එහෙත් දැඩි වෙහෙස නිසා සෙබලාගේ දෑස් පියවිණි. තුවක්කුව අඳුරට මානාගත් සෙබලා හිටගෙනම නිදා ගන්නට විය.
මුරකුටිය අසලටම පැමි‚ සීමන් මුරකුටියේ නිදිකිරමින් සිටි සෙබලා දිටීය. "කට්ටිය නිදි වගේ˜ කියමින් සීමන් ඩ්‍රැයිවර් සෙබලාට වඩාත් සමීප විය. එසේ සමිපවී සෙබලාගේ උරහිසට තට්ටුකොට "මහත්තයෝ˜ කිවේ බිය මුසු ගෞරවයෙනි. අඩනින්දේ සිටි සෙබලාට සීතල ස්පර්ශයක් දැනුණි. තිගැස්සුණු ඔහු බිරාන්ත විය. තියුණු වක් පිහිය තම ගෙල හරහා තබන බව සිතාගත් සෙබලා වහාම කය පසුපසට නමා තමා ඉදිරියේ ඇති ඡායාවට වෙඩි තැබීය.
වෙඩි හඞත් සමග කඳවුරේ ඇතිවූයේ ගාලගොට්ටියකි. ටෝච් එළි සමඟ කටහ~වල් මුරකුටිය දෙසට ගලා ආවේය. ටෙරා, ටෙරා, සෙබලා කෑගැසීය,ඒ හඞ පරයා සාජන්ගේ කටහඞ ඇසුණි.
"කවුද? කෝප්‍රල් බණ්ඩාරද ?˜ සාජන් ඇසීය.
"ඔව් සාජන් මම ඩවුන් ගිහිං ඉන්නේ. වටේ බඩු ඇති.˜ මෙසේ කියමින් සෙබලා මුරකුටිය අසල තිබුණු පොල් ගස දෙසට බඩගෑවේය.
විනාඩි විස්සක් පමණ ගතවිය. සීමන්ගේ කෙඳිරිය හැර කිසිදු ශබ්දයක් නොඇසු‚. ඒ අතරතුරේ කඳවුරේ සෙබලූ අවට ප්‍රදේශය පරික්ෂාවට ලක් කළහ.
" කවුද වැටිලා ඉන්නේ සිවිලියන් කෙනෙක්ද?˜ ඛණ්ඩභාර ලූතිනන් වරයා ලේ විලක් මැද කෙදිරිගාමින් සිටින සීමන් දෙස බලා සිට කීවේය.
"කෝප්‍රල් බණ්ඩාර තමුසේ ටෙරා කියලා ෆයර් කරලා තියෙන්නේ සිවිලියන් කෙනෙකුටයි.˜ සාජන් දොස් පවරණ හඬින් කෝප්‍රල්වරයාට කීවේය. කෝප්‍රල් බණ්ඩාර තවමත් පොල් ගසට මුවා වූ ගමන්ය.
"නෑ සාජන් මූ ඇටැක් එකටයි ආවේ. මම හෝල්ට් කිවිවා. ඒත් කෙලින්ම පිහියක්ද මොකක්ද අරගෙන මට අනින්න ආවා.˜ සෙබලා නිදහසට කරුණු කිවේය.
නැටී සිටි මිනිසා පරික්ෂා කල සෙබලූන්ට බිස්කට් ටින් එකක් හැර ආයුධයක් හෝ වෙන කිසිම දෙයන් සොයාගැනීමට බැරි විය.
"කෝප්‍රල් තමුසේ බුලක් ගහලා හොද වටයක් දැන් යන්න වෙයි. තුවාල කාරයා ඉස්පිරිතාලෙට ගෙනියන්න කැබ් එක ගේනවා.˜ යි ලූතිනන් වරයා විධානයක් දුන්නේය. ඉන්පසුව ලූතිනන්වරයා තුවාලකරු අමතා "ඕයි තමුසේ මේ රෑ කෑම්ප් එකට රිංගුවේ මොකද?˜ යි ඇසීය.
තුවාලකරුට කථා කිරීම අපහසු විය. ඔහු අමාරුවෙන් කැස්සේය. කහිනවිට ලේ සහිත කෙළ මුවින් පිටවිය. ඒ අතරවාරයේ කැබ් රථය පැමිණියේය.
"අයිසේ මිනිහව ප්‍රවේශමෙන් උස්සලා කැබ් එකට දානවා˜ ලූතිනන් සෙබලූ දෙදෙනාට අණකලේ හැකි ඉක්මනින් තුවාල කරු රෝහලට පිටත් කිරීම සඳහාය. අනතුරුව පණිවිඩ හුවමාරු යන්ත්‍රයෙන් කඳවුරේ අණදෙන නිළධාරියා ඇමතීය.
"පූමා වන්.....
"පූමා වන්.......˜
"සර් කඳවුරට අනවසරයෙන් ඇතුල්වෙන්න ට්‍රයිකරපු සිවිලියන් කෙනෙකුට වෙඩිතියලා දැන් ඉස්පිරිතාලෙට ගෙනියනවා ඕවර්.˜
ඊට පිළිතුරු වශයෙන් අණදෙන නිළධාරියාගේ හඞ ගොර ගොර˜ ගාමින් පණිවිඩ හුවමාරු යන්ත්‍රයෙන් පිටවිය.
" ඕකේ සර්. මැසේජ් අන්ඩස්ටුඩ් ඕවර්.˜ ලූතිනන් පිළිතුරු දුන්නේ ගෞරවයෙනි.
සෙබලූ දෙදෙනෙක් වැටීසිටි සීමන් ප්‍රවේශමෙන් ඔසවා ගත්හ. කැබ් රථයේ රියදුරා රථයේ පසුපස දොර හැරියේ තුවාල කරු හාන්සි කොට තැබීම සඳහාය. ලේ වැකුණු ශරීරය සීට් එක මත තැබීම නිසා සීට් කවරය ජරාවෙතියි ඔහු සිතිය. සීමන් අමාරුවෙන් දෑස් හැරිය. ගොතගසන ස්වරයෙන් ඔහු අවට සිටි සෙබලූන් අමතා
" අනේ මහත්තයෝ මේ බිස්කට් ටින් එක මගේ පුතාට දෙන්ට. කොල්ලගේ නම තිලකසිරි˜ යැයි කීය. ඒ සමඟම සීමන්ට කැස්සක් ආවේය. හෙතෙම ලේ කැටියක් මුවින් පිටකර නිසල විය.
වෛද්‍ය රුවන් එම්. ජයතුංග
Transylvania බ්ලොග් අඩවිය https://transyl2014.blogspot.com/* අවසර ඇතිව උපුටා ගත්තකි .
ජීවන කතන්දර

දේවතා එළිය
අපේ ගෙදරින් එලියට බහිද්දීම හමු වන කුඩා තාර පාරේ රේසර් රෝද හතරක් සවි කළ ඩක්කු කරත්තය තබා වාඩි වූ විට එය කෙලින්ම ගොස් නතර වන්නේ ආච්චිලා ගෙදර මිදුලේය. ආච්චිලා ගෙදරට අපේ ගෙදර සිට හැතැප්ම කාලක් පමණ තිබ්බත් එය තනි බෑවුමකි. මේ බෑවුම එක දිකට අද්දන්නට හිතාන සැර දමා ගෙන එන කිසියම්ම හෝ වාහනයක් බෑවුම මැදදී, අනේ නතර නොවී තිබුනේ එහෙමත් වෙලාවකය.
අපේ ආච්චි මේ කන්ද බොහොම අමාරුවෙන් නැග දනිස් දෙකට දැත් තියාගෙන අපේ ගෙදරට ගොඩ වෙන දර්ශනය අපේ පවුලේ පමණක් නොව ගමේ හැම දෙනාම පාහේ අනේක වාරයක් දැක තිබේ. ඒත් ඇය වතාවක් ඇඹුල් කැත්තක් කර තබාගෙන මේ කන්ද නොනැවතී දිව ආ අපුරුව දැක්කේ මා පමණකි.
දැනුත් ඉඳ හිට දරු පැටියන් සමග ගමේ ගිය විට මේ පල්ලම දිගේ ගොස් ආච්චිලා ගෙදර තිබු තැන නටබුන් නරඹා කන්ද දිගේ ආපසු දිව එන්නට අපි පුරුදු වී සිටිමු. එවිට ආච්චී මට ඉදිරියෙන් දිව යන්නාක් සේ මට පෙනෙයි.
ආච්චී පිලිබඳ මගේ මතකය පටන් ගන්නේ හැත්තෑව දශකය මුල සිටය.පොඩි මාමාගේ මළගමින් පසු ඇය දිගින් දිගටම හුල්ලමින්, සුසුම් හෙලමින් ලොකු පොරෝනය තුළ වකුටු වී දවසම ගතකල කාලයක් තිබිණි. ගෙදරට කවුරුන් ගොඩ වුවාත් ඇය හඬා වැළපුනාය.අවුරුදු හතරක්ම ඇඳේ වැතිරී ඇය සිය ආදරණීය බඩ පිස්සා, යස ඉලන්දාරියකුව සිටියදී ඇගෙන් උදුරා ගැනීම නිසා හඬ හඬා සිටියාය. වරින් වර ඇතිවන ඇවිලිල්ල හා හතිය නිසා පපුවේ ගාන්නට සිද්දාර්ථ, සර්වවිෂාධී හා කෝළ සෙලෙෂ්මා තෙල් කුප්පි පේලියක් ඇඳ ළඟ කනප්පුවක තබා තිබුනා මතකය.
ආච්චී සිසිර කාරක නින්දෙන් නැගිට්ටා සේ යලි අළු ගසා දමා නැගිට්ටේ සීයා මිය ගිය ගොස් සතියක් දෙකක් යද්දී ගේදොර වතු පිටි අරාජිකා වී යන ශෝකය නිසාය. ඇය මිදුලට වැටෙන කොස් කොළ හා සපු කොළ අතු ගා ගිනි තැබුවාය. ගෙය් දොරකඩටම හොස්ස පොවන්නට ලක ලැහැස්ති වී සිටි ගඳපාන, බුත්සරණ හා ගම්පාලු ලැහැබ් ඇයගේ උදලු කෙටියට බියෙන් ඈතින් ඈතට පලා ගොස් රැ කුමරිය ලන්දේ ඔලුව හංගා ගන්නා හැටි මට පෙනිණි. ඒ වෙනුවට මිදුලට අතු ඉති දික්කර ඇයගේ මල් වට්ටිය පුරවා ලු සේපාලිකා, සමන් පිච්ච හා වතුසුදු පඳුරුවලටද ඇය බුදුන් පුදද්දී පින් දුන්නාය. .
අන්කුරි, රත්ති හා වසුපැටියන් තෙමි තෙමී නිදා ගත් ගාල අලුතින් පිදුරු දමා සෙවිලි කෙරෙව්වාය. කිරි අම්මා දානයක්ද, දේව දානයක්ද, අවුරුදු පතා දෙන මාමාගේ දානයද, සීයාගේ දානයද ලක ලැහැස්ති කරමින් දසත විසිරී පවුල් පන්සල් වී සිටි දරු මුණුපුරන් අවුරුද්දකට අඩුම තරමින් හතරවාරයක් එක් රැස් කෙරෙව්වාය.
මෙකී නොකී කාරිය බහුල කඩිසර දිවි පෙවෙතක් ගෙවූ ආච්චිගේ දෙවන උපත අපේ ජීවිතවලට මිහිර උපරිමයෙන් ගෙන ආවේය. වට වන්දෙනවේ යද්දී අගේ තනියට ගෙදරින් ගියේ මමයි. ඇය සිරීපාදය නැග්ගේ මගේ අතින් අල්ල්ලාගෙනය. නගරයේ පුංචි සිනිමා ශාලාවේදී අජාසත්ත හා සිරිපතුල චිත්‍රපට බලන්නට මම ගියේ ඇය සහ අගේ ම්තුරු උපාසක අම්මලා පිරිසක් සමගය.
අජාසත්තගේ අණින් බිම්බිසාර රජ්ජුරුවන් සිරකොට ඔහුගේ දෙපා පලා ලුණු දමන දර්ශනයේදී ඇය මහා හඬින් බැන වැදුනාය. ' පවුකාරය උඹ දැනගනින් ඔය කරගන්න යන්නේ ආනන්තරීය පාප කර්මයක් බව'. වරින් වර ආච්චී හා ඇගේ මිතුරියන් සාදුකාර දුන්නෝය. සමහර විට ඉකි බිඳ හඬා වලපුනෝය.
ආච්චිගේ කඩිසර එහෙත් ශාන්ත දාන්ත පැවැත්ම වෙනස් වු එක්තරා වකවානුවක්ද විය. එය සිදු වුයේ මහා ඡන්දයකින් පසු අපේ ගෙදර ගිනි තබා සුන්නද්දුලි කරනවායයි පැතිරුණු ආරංචියත් සමගය. පොලිසියටද නිවාඩු දී තිබු ඒ දවස් වල අපේ පිහිටට සිටියේ ආච්චීත්, ගමේ හිතවතුන් පිරිසත්ය. අලවංගු හා එරමුදු පොලු අතේ තියාගෙන තාත්තාත් සමග ගමේ හිතවතුන් ගෙදර රැකවල් කළෝය. හැන්දෑ වන විට ආච්චී ඇඹුල් කැත්තද කර තබාගෙන ඇවිත් අක්කලා හා පොඩිවුන් ආච්චිලා ගෙදරට කැඳවාගෙන ගියාය. ඔවුන්ට නිදන්නට ඉඩ සලසා දී ඇය ගේ වටා හක්මන් කළාය. මේ බියමුසු කාලකන්නි දවස් කීපය ගෙවී යමින් තිබියදී දවසක් ආච්චිලා ගෙදරත් අපේ ගෙදරත් අතර වූ කුඩා හතරමන් හන්දියේ ගොම්මන් අඳුරේ සිටි එකෙක් මට කිව්වේ ‘අන්න අරුන් ඇවිල්ල මල්ලිලා ගෙට පහළ හැංගිලා ඉන්නවලු’. කියලාය.
‘අරුන්’කියද්දී ඒ කවුදැයි මට වැටහිණි. මම වේගයෙන් දිව ගොස් ආච්චීට ආරංචිය කිව්වේ ඇය ඒ වන විට අපේ පවූලේ සිටි කල්පනාකාරීම ආරක්ෂකයා බව මට ඉවෙන් මෙන් දැනී තිබුණු නිසාය.
මගේ ගොතය මැද්දෙන් කියැවුණු පණිවුඩය වහා වටහා ගත් ආච්චී ඒක්ෂණයකින් ඇඹුල් කැත්ත අතට ගත්තාය. ' හත් දෙයියනේ කෙල්ලෝ දෙන්න මට එක්කරගෙන එන්න බැරි වුනා' කියා විලාප දුන්නාය. ඉන්පසු මැරතන් ශුරියක් පරදන වේගයෙන් ඇඹුල් කැත්තද කර තබාගෙන චීත්ත පොටක් උඩට නවාගෙන හැල්මේ කන්ද දිගේ අපේ ගෙදරට දිව්වාය.ඇය කෙලින්ම ගෙදරට දිවගොස් අම්මාද අක්කලාද ඇගේ බාරයට ගත්තාය. එදා මැරයන් අපේ ගේ ගිනි තබන්නට නොආමුත්,වැරදිලාවත් ආවානම් ඉන් එකෙක්වත් ආච්චිගේ ඒක පුද්ගල ආරක්ෂක බලකායේ සීමා බිඳ අප අසලට ළං නොවන බව නම් ස්ථිරය. උන්දෑගේ දෑසේ එවේලේ තිබු අදිෂ්ටාන ශක්තිය දේවතා එළියක් වී හාත්පස ඒකාලෝක කරමින් මා ඉදිරියෙන් ඉඳ හිට දිස් වෙයි.
වට්ටක්කා

අපේ එක අක්කා කෙනෙකුගේ අන්වර්ථ නාමය උනේ වට්ටක්කාය. අක්කා කෙනෙකුට වට්ටක්කා කීම හරිම හුරතල් කතාවක් වුවද ඒ නම කියා අඬ ගැසූ දවසක අපේ අක්කා මට ටොක්කක් ඇන්නාය , ඊළඟට මම අම්මා ලඟට දිව ගියේ 'වට්ටක්කි මට ගැහුවා' කියාගෙන ආන්ගිරි ගාමිණි. අම්මාට මේ කන්කරච්චල් ගැන වද වීමට වෙලාවක් තිබුනේ නැත. ඇය ඒ වන විට රාත්‍රී ආහාර පිළියෙළ කරමින් සිටියාය. ඉදෙමින් තිබු වට්ටක්කා හැලිය දුටු මට ටොකු පාර අමතකව හිතට මහා නොරිස්සුම් ගතියක් ආවේය. මම ආපසු අක්කා ලඟට ගියේ බලන්නකෝ අක්කේ අදත් වට්ටක්ක උයනවා. අක්කා ඒ කතාව ඇයට කළ කවටකමක් ලෙස නොසැලකු මුත් අැයත් මුහුණ නොරොක් කර ගත්තේ ඒ දවස්වල නිතර දෙවේලේ කෑමට එක් වන වට්ටක්කා කෙරෙහි උපන් නොකැමැත්ත නිසාය. අපේ කුඹුරේ වැඩිපුර තිබෙන එළවලුව කාලයෙන් කාලයට අපේ ගෙදර තුන් වේලටම ඉදෙයි. කාලයක් වට්ටක්කා . කාලයක් බෝන්චි , කාලයක් ගෝවා නැත්නම් වම්බටු.
ඒ වනවිට මම ගණන් බලා තිබු හැටියට අපේ ගෙදර පොඩි සාලයේ වට්ටක්කා ගෙඩි හැත්තෑ ගණනක් ගොඩගසා තිබුණි. අපට තිබු කුඹුරේ නම දබර කිතුලය. දබර කිතුලේ හෙල්මළු ලියදි දිගේ බොහෝ විට රනිල බෝගයක් වන බෝංචි වග කෙරුණු අතර නියරි අයිනට වෙන්නට අඩි දහයෙන් දහයට පමණ වට්ටක්කා මණ්ඩි පැල කර තිබුණි.
බෝංචි පල නෙලා ඉවර වූ කුඹුරේ මීළඟට අණසක පතුරවන්නේ වට්ටක්කා වැල්ය . රනිල බෝගයෙන් පොළවට එකතු වූ වැඩිපුර නය්ට්‍රජෙන් පොහොර නිසා වට්ටක්කා වැල සරුවට වැවෙයි.
වට්ටක්කා දළු හීනියට ලියාගෙන පොල් සමග මුසු කර දෙන වට්ටක්ක කොළ මැල්ලුම තරම් රස මැල්ලුමක් මට තරු පහේ හොටලයකදීවත් හමු වුනේ නැත. කුඩා වට්ටක්කා ගැට අපේ අම්ම හඳුන්වන්නේ 'බොරු ගැට; කියලාය. බොරු ගැට හතරට පහට කපා වැඩිපුර අබ දමා තෙලෙන් බැද ගත් විට වට්ටක්කා පිලිබඳ අකමැත්ත හැමෝගෙන්ම ගිලිහී යයි. ඊළඟට හැදෙන මෝරාපු වට්ටක්කා ගෙඩිය අලුත් පිට හඳුන්වන්නේ පිටි වට්ටක්කා කියලාය. තැම්බූ වට්ටක්ක පොල් සහ රතුළුණු සමග උදේ අහාරයට වරින් වර ගන්නා අතර පිටි වට්ටක්කා වෑ න්ජනය ඉතා රසට උයන්නට අපේ අම්මා දැන හිටියාය. එත් ඒ දවස්වල අපට එපා වී තිබුනේ ' පැණි වට්ටක්කා ඇඹුලයි.
මේරු වට්ටක්ක ගෙඩි තෙතමනය නැති තැනක මාස හත අටක් වුවත් කල් තබා ගන්නට පුළුවන් අතර ඒවා හැඳින්වුයේ පැණි වට්ටක්ක කියලාය. ගොරකා හෝ සියඹලා සමග බැදපු තුනපහ දමා සාදන පැණි වට්ටක්කා ඇඹුල දැන් නම් මගේ ප්‍රියතම ආහාරයකි.
උදේට අපේ ගෙදර සියළු දෙනාම ඉස්කෝලේ ගිය ගුරු පවුලක් වූ මුත් හවස සියලු දෙනාම කුඹුරේ සිටි ගොවි පවුලක් විය. අපේ කුඹුරේ හැදුනු වට්ටක්ක ගෙඩි කෙතරම් විශාල වූවාද කියතොත් අම්මා කිව්වේ කවුරුත් දැක්කොත් ඇස්වහ කට වහ වදිනු ඇත කියලාය. ඒ නිසා අපි හවස කුඹුරේ සිට වට්ටක්කා ගෙඩි ගෙනාවේ පරණ සරොම්, ජර්සි හා ගවුම් වල ඔතා කරේ තබා ගෙනය.
ඒවා ගෙදර තබා ගන්නට තරම් මෝරා තිබුනොත් හොඳ මිලක් ලැබෙන තුරු පොඩි සාලයේ බිම දිගේ ඉන්දවා තැබුවෙමු. කල් තබා ගන්නට බැරි යයි සිතෙන ඒවා විකුණා දැමුවෙමු. ඒ අතර හැම කැම වේලකටම වට්ටක්ක මාලුවද එකතු වුනේය.
දවසක් විශාල පිටි වට්ටක්කා ගෙඩියක් විකුණන්නට තාත්තා තීරණය කළේය. තාත්තා සාමාන්‍යයෙන් කරන්නේ ඉස්කෝලේ ඇරලා එන ගමන් හමු වන මය්කල්ලා කඩේට පණිවිඩයක් දෙන එකය. මයිකල් කවුරුන් හෝ ඒවා විකුනන්නට තියෙන දේ රැගෙන යයි. එදා කඩෙන් එවන්නට කවුරුත් සිටියේ නැත. මම මේ කාරියට අති මහත් උනන්දුවෙන් ඉදිරිපත් වුනෙමි.ගේ ලඟින් යන හවස හතරේ බස් එකේ වට්ටක්කා ගෙඩිය පටවා ගෙන මය්කල්ලා කඩේ ලඟින් බා ගත්තේ කාගේ කාගේත් උදවුවෙනි.
කිලෝ හත අටක් වූ වට්ටක්කා ගෙඩිය බදා ගෙන කඩයට ගෙන ගියෙමි. මය්කල් වට්ටක්කා ගෙඩිය කිරුවේය. ඉන් පසු සල්ලි ගැන්නේ ය . නැවත වට්ටක්ක ගෙඩිය දෙස බැලුවේය.
තට්ටුවක් දැමුවේය. පිහියක් ගත්තේය. සිදුරු කළේය. වට්ටක්කා ගෙඩිය ඇල කර බැලුවේය. සිදුරු කළ තැනින් හීනියට ඉස්මක් ගලාගෙන ආ නිසා අනේ ළමයෝ මේක නරක වෙන්න ඇවිල්ලනේ කියා සල්ලි ටික ආපසු ලාච්චුවේ දමා ගත්තේය. දැන් මොනවා කරන්නද ?ආපසු යන්නට බස් එකත් නැත. හැතැප්ම එක හමාරක් වට්ටක්ක ගෙඩියත් කරේ තබා ගෙන මම ගෙදර ගියෙමි.
මම යනවිට තාත්තා මිදුලේ පිච්ච වැල ළඟ බංකුවක් තියා ගෙන පත්තරය බලමින් සිටියේය.
වට්ටක්කා ගෙඩිය කරින් ගෙන දාඩිය පෙරාගෙන එන මා දැක මොකද මොකද මේ කියා ඇසුවේය.
වට්ටක්ක ගෙඩිය නරක් වෙලා .
එහෙනම් මොකටද මනුස්සයෝ විසි කරලා එන් නැතිව මෙච්චර දුර උස්සාගෙන ආවේ කියා වට්ටක්ක ගෙඩිය ගේ ළඟ අකුළට පෙරලා දැම්මේ හිනාව සඟවා ගත් බොරු කේන්තියක් පෙන්වමිනි.
ජේෂ්ට උත්තමයා

නවක වදය ගැන විවිද ආරංචි හා විවිද අදහස් උදහස් දකින්නට අසන්නට ලැබුනත් මේ කියන දේ සිදු උනේද කලකට පෙර නවක වද සමයකදීය.
අක්බාර් ශාලාවේ දිග කොරිඩෝරය මතින් එහා මෙහා යන්නන්ගේ කතා බස් දෙපස කාමරවල සිටි වුන්ට හොඳින් ඇසෙයි . දෙටු සිසුන් නවකයන්ගෙන් විස්තර අහන්නේද මේ කොරිඩෝරයේදීය.
එවන් එක දෙබසක් මෙසේ විය.
ඒයි උඹ කව්ද ?
ජේෂ්ට උත්තමය මම පුංචා
මොන කාමරේද ඉන්නේ?
29 කාමරේ
ගම ?
බදුල්ලේ
බදුල්ලේ කොහෙද ?
ගඟ පාරේ
තාත්තා මොනවද කරන්නේ?
ළමයින්ට අන්ඩර දෙනවා (උගන්වනවා)
තව මොන මොනවදෝ ඇසේ .අඩි පොලවේ හප්පන ජේෂ්ට උත්තමයා බොරු තර්ජනයක් දමා නවකයා පන්නා ගනී
මේ කතා බහ කන වැකුණු අය අතර අසල කාමරයක සිටි පැන්ටියා උත්තමයාද විය .
එදා රෑ බෝ වී අක්බාර් නෙල් එකේ 35 කාමරයේ සිටින ජේෂ්ට උත්තමයා පුංචාට එන්න කියා පණිවිඩයක් ඒවා ඇත . ඔහු පණිවිඩ කරු වූ තවත් නවකයෙකුට කියා ඇත්තේ මෙසේය.
'බදුල්ලෙන් ආපු පුංචා කියල එකෙක් ඇති උගේ තාත්තා ගුරුවරයෙක් . මම හොඳට අඳුනනවා ගඟ පාරේ ගෙවල් තියෙනේ. අන්න ඌට එන්න කියාපන්
මේ පණිවිඩය අසා පුංචා සතුටින් ඉපිලී ගියේ, අඳුනන ජෙෂ්ට උත්තමයකු සිටීම විශාල ආඩම්බරයක් වූ නිසාය. පණිවිඩයේ හැටියට ඔහු පවුලේ සමීප හිතවතෙක් විය යුතුය.
මනා සේ සරසාගත් මුහුනින් යුතුව පුංචා නෙල් ශාලාවේ 35 කාමරයට යයි . දොරට තට්ටු කරයි . දැන් දැන් පැමිණ තම හිතවත් ජෙෂ්ටයා තමන් පිළිගන්නා හැටි ගැන සිහින මවයි.
දොර ඇරිණි.
‘ආ උඹ කාවද හොයන්නේ. කෝකටත් ආව එක හොඳයි. මට මේ පණිවිඩයක් ඇර ගන්න කවුරු හරි එනකන් බලා හිටියේ. ඉක්මනට ගිහිල්ල 29 කාමරේ ඉන්නවා බදුල්ලෙන් ආපු පුංචා කියල එකෙක් මිනිහගේ ගෙවල් තියෙන්නේ ගඟ පාරේ. තාත්ත උගන්වනවා . අනේ හොඳ එකා වගේ ගිහින් ඌ එක්කරගෙන වරෙන්.. ජෙෂ්ටයා එක දිගට කියවයි
දෙටු හිතවතා හමුවේ සිය අනන්‍යතාවය පෙන්නීමට බලාසිටි පුංචා මුවේ මදහසක් නංවාගෙන යමක් කියන්නට උත්සහ ගනියි. 'ජෙෂ්ට උත්තමය මන් ..
ඔහුට කියන්න ලැබෙන්නේ එපමණකි
'උඹට මෙච්චර හොඳින් කියලත් උඹ තව තව ඒවා කියන්න එනවා. කට වහගෙන ගිහින් පුංචාව එක්කරගෙන වරෙන් '
පුංචා ආයෙමත් කට අරින්නට උත්සහ කරයි .
'කට අරින්න එපා. නිදහසට කාරනා එපා. ගිහින් ඌව එක්කරගන වරෙන් '
දෙටු උතුමාගෙන් ගිගිරුමෙන් පුංචා විසි වී යයි. කොරිඩෝව දිගේ මද වෙලාවක් එකෙල මෙකෙල වෙමින් සිටි පුංචා නැවතත් සෙමින් සෙමින් 35 කාමරය බලා පිය නගයි. දොරට සන් කරයි.
' ජේෂ්ට උත්තමයා මන් කියන එක අහන්නකො. මම තමයි .....................
දෙටු උතුමා කේන්තියෙන් වියරු වැටෙයි. කට වහ ගන්නා ලෙස පුංචාට දැඩි ලෙස තර්ජනය කරයි.
"උඹ බොරු කතාවක් හදාගෙන ආවද ආයෙමත්. මම දැක්ක ගමන් හිතුව උඹ ලෝක කපටියෙක් කියල. වහාම පලයන්. තව විනාඩි පහළොවක් ඇතුලත පුංචා එක්කරගෙන නාවොත් මම නරක මිනිහා කියන්න එපා. උඹට වෙන දේ එතකොට දැන ගන්න පුළුවන් '
අනේ දුප්පත් පුංචා !. දැන් මොකද කරන්නේ. ඔහු රෝගියකු මෙන් බිත්ති අල්ල අල්ලා ආපසු කාමරයට යයි.
අඳුනන ජේෂ්ට උත්තමයා හමු වී සතුටින් ආ යුතු පුංචා මෙතරම් විස්සෝපයෙන් හා කනස්සලෙන් පසුවන්නේ මන්ද ?. ඔහු පෙළන පීඩනය කුමක්ද? සගයෝ විමසති.
මංජුල සිදු වූ ඇබැද්දිය සිය සගයන්ට කියයි.දැන් විනාඩි පහළොව ගෙවෙන්නට ළඟය . සගයන් අතර සිටි දැන මුත්තෙකුගේ උපදෙස් පුංචාට ලැබෙයි. ඔහු නැවතත් 35 කාමරය බලා යයි .
දොරෙන් පිට සිටම මහා හඬින් කතා කරයි. " ජේෂ්ට උත්තමය මම ආව .මම තමය පුංචා. බදුල්ලෙ ගඟ පාරේ ඉන්න ඉස්කෝලේ මහත්තයාගේ පුතා".
සෙමින් දොර හැරේයි.
ජේෂ්ට උත්තමයා මදහසක් පායි . 'ආ උඹද පුංචා ? . අනේ බන් උඹව හොයාගෙන එන්න කියල මම දැන් එකෙක්ව පිටත් කලා . ඌ දෙතුන් පාරක් මෙතෙන්ට ඇවිත් වාත වුනා . හොඳ එකා වගේ ගිහින් මිනිහවත් එක්කරගෙන දෙන්නාත් එක්කම වරෙල්ලා ' කියා දොර වසා දැම්මේය.
මෙය මොන විදිහේ නවක වදයක්දැය් කාටවත් තෝරා ගන්නට බැරි විය.
තිලකසිරි ඒකනායක
තිලකසිත බ්ලොග් අඩවියෙන් , අවසර ඇතිව උපුටා ගත්තකි
https://thilakasitha.blogspot.com
පරිවර්තිත කෙටිකතාව
කුරුළු ගීතය

"ඉතින් දැන් මොකක්ද ඔයාගේ තීරණේ?"
රත්-කළු පෑ පිහාටු ඇති රත් මිණිවිත්තෙක්* බොහොම ඉවසීමෙන් ඇගේ හිසට හරියටම ඉහළින් අත්තක ලැග උන්නේ හරියට තමන්ව ඇයට ප්‍රදර්ශනය කරන්නට මෙනි. ඇය තමන්ගේ ඡායාරූපයට ගැලපෙනම කෝණය සොයාගන්නට මහන්සි වෙමින් සිටියාය. සීත ඍතුව එළඹෙන්නට ආසන්න නිසා නිරුවත්ව තිබුණු ගසේ අතු අතරින් කුරුල්ලා ව පෙනුණේ දීප්තිමත් ලෙසිනි.
"උත්තරයක් දෙනවද නැද්ද?"
ඇය කැමරාවේ බොත්තම ඔබන්නට සූදානම් වෙද්දීම පොළොවෙන් පිටට නෙරූ මුලක ඇගේ පය පැටලුණි. මෙතෙක් වෙලා තමන් ඇයට ඇති තරම් කාලය ලබා දුන් නමුත් දැන් නික්මෙන්නට වෙලාව හරි බව වටහාගත් අයුරින් කුරුල්ලා බොහොම පහසුවෙන් ඉගිල ගියේය .
කැමරාවේ තිරයේ ඉතිරි වී තිබුණේ බොඳ වුණු රත් පැහැ පදාසයක් පමණි. ඒ, කේන්තියේත් දරුණු බවේත් පාට. නිතරම ඔහුගේ කටහඬ වර්ණ ගැන්වෙන පාට.
දිය කඩිත්තෙන් එපිට කොස් ගහක අතු අතර රත් පැහැයක් පෙනී නොපෙනී යනු දැක ඈ ඉක්මන් ගමනින් ගස පාමුලට ගියාය. ඇයට ඉහළින් ඇති අත්තක කුරුල්ලා නිසොල්මන්ව ලැග උන්නේ උගේ දිගු පෙඳයෙන් සිරුර සමබර කර ගනිමිනි. ඇය හිස ඔසවා කැමරාව තුළින් එබී බලා ඌව හරියටම රාමුවට හසු කරගන්නට තැත් කළාය.
ඇගේ ගෙලට උණුසුම් හුස්මක් දැනෙන්නට විය.
"මොකක්ද මේ කරන සෙල්ලම?" ඔහු ඇගේ උරයෙන් අදිමින් ඇසුවේය. ඇගේ සිරුරේ සමබර බව නැතිවී යද්දී ඇය අතක් දිගු කර ගසේ කඳ අල්ලාගත් අතර අතුපතරේ සැඟවී සිටි කුරුල්ලා හඬක් නොනඟා ම ඉගිල ගියේය.
"මේ අහනවා, තමුන් කොයි පැත්තට හරි තීරණයක් ගන්නම ඕන" කේන්තියෙන් රළු වූ කටහඬින් ඔහු කීවේය.
ඇය නිසා ඔහුට රූපවාහිනියේ ක්‍රිකට් තරඟය නරඹන්නට අවස්ථාව අහිමි වී තිබිණි. නිවාඩුවක් ගත කරමින් සිටියත්, කැලයක් මැද සිටියත් ඔහුගෙ පුරුද්ද වූයේ රූපවාහිනී තිරයේ ඇලී ගැලී සිටීමයි. එහෙත් ඇයටත් ඔහු නිසා බොහෝ විට කුරුල්ලන් නිරීක්ෂණය කරන්නට අවස්ථාවත් අහිමි වූ බව සිහිවී ඇගේ මුහුණේ මුරණ්ඩු පෙනුමක් මතුවිය. මීට පෙරත් විවිධ අවස්ථාවල -ඇය ඩෙංගු වැළඳී වෙව්ලමින්, බියෙන් වැතිරී සිටිද්දී, ප්‍රසූති සැත්කමේ වේදනාවෙන් පීඩිතව අලුත උපන් දරුවා නළවාගන්නට රෑ තිස්සේ සක්මන් කරද්දී, පක්ෂීන් ගැන රාත්‍රියේදී විකාශය වූ වැඩසටහනක් නරඹන්නට ඈ උනන්දුවෙන් සිටිද්දී- ඔහු රූපවාහිනිය වෙතම ඇලී උන් අවස්ථා ඇයට සිහි විය.
"කෝ අයින් වෙන්න"
කී ඇය ඔහුව තල්ලු කරමින් කුඩා කඳු ගැටය පාමුළ ඇති පියගැටපෙළ වෙතට ගොස් පහසුවෙන් එය තරණය කළාය. ඔහු ද අවලාද කියමින්, හති අරිමින් සෙමෙන් ඇය පසුපස පැමිණියේය.
කඳු ගැටය මුදුණේ තිබුණේ කුඩා වන රොදකි. එහි උස් පුළුන් ගස් පෙළක් වලාකුළු රහිත අහස වෙත විහිදී තිබිණි. ගසක පහත අත්තක වසා සිටි රත් ළයැති කොණ්ඩ කුරුල්ලෙකුගේ කවාකාර තරබාරු පෙනුම දැක ඇයට සිනා නැඟුණි. මේ ගමන පැමිණීම ගැන ඇයට හදිසියේම සතුටක් දැනෙන්නට විය. මේ සති අන්තයේ මෙහි පැමිණ යන්නැයි යෝජනාව යොමු කෙරුණේ ඇගේ අම්මාගෙනි.
"මම නීල් ව බලාගන්නම්. ඔය දෙන්නා කතා කරලා බේරුමක් කරගන්න. දික්කසාද වෙන එක විසඳුමක් නෙමෙයි."
දික්කසාදය. අම්මා ඒ වචනයට දක්වන්නේ පුදුමාකාර බයකි. මුලදී ඇයටත් ඒ බය දැනුණු බව සත්‍යයයි. තාත්තෙක් නොමැති දරුවෙක් උස් මහත් කරන්නේ කොහොමද? "මම නැතිව තමුසෙට කිසි දෙයක් කරගන්න බැහැ" ඔහු කීවේ ආත්ම විශ්වාසයෙන් උද්ධච්ච වෙමිනි.
ඇයට ඔහු නැතිව පුළුවන් ද? ඇය ඒ ගැන හරියටම දැනගෙන සිටියේ නැත. එහෙත් දැන් දැන් ඇයට දික්කසාදය යන වචනයට දැනෙන බිය අඩු වී තිබිණි. කාලයක් තිස්සේ ඈ යන යන තැන ඒ වදනත් ඈ හා පැමිණි බැවින් දැන් එය ඈ ට පුරුදු වී තිබුණු අතර ඉන් තර්ජනයක් දැනුණේ නැත.
ඇය තව තවත් වනය තුළට ගමන් කළාය. දිවා කාලයේ පවා මෙහි තිබුණේ අඳුරකි. අඩිපාර පටු නිසාත්, ගල් බොරළු සහිත නිසාත් ඈ ප්‍රවේසම් විය යුතු ව තිබිණි. වනයේ ඇත්තේ රැවටිලිකාර නිහඬබවකි. තමා දෙස යොමු කෙරුණු නෙත් අවට ඇති බව ඈ දැන සිටියත් ඇයට ඒ කිසිවක් පෙනුණේ නැත.
ඔහු තවමත් පය පැකිලෙමින්, දෙස් කියමින් ඈ පසුපසින් එමින් සිටියේය. ඇයට හදිසියේ කෝපයක් දැනෙන්නට විය.
"එයා නරක කෙනෙක් නෙමෙයිනේ දුවේ," අම්මා හැමදාම කීවාය. නරක නොවීමෙන් හොඳ බව අදහස් නොවේ.
"එයා කවදාවත් ඔයාට නපුරු වෙලා නැහැනේ" අම්මා තවදුරටත් කීවාය. අම්මා ඉන් අදහස් කළේ ඔහු කවදාවත් ඇයට පහර නොදුන් බවයි. එහෙත් කුරිරු බවට විවිධ හැඩතල ඇති බව ඇය දැනගෙන සිටියාය. තමන්ගේ හදවත ශීතලෙන් ගල් කරනු ලබන බැල්මක් ඔහු නිතර තමා වෙත හෙලන අයුරු ඇය සිහි කළාය.
තම පුතුට පියෙක් වුවමනා බව ඇය දැන සිටියාය. දික්කසාදය සත්‍ය වශයෙන්ම විසඳුමක් නොවේ. එය තමන්ට ගැලවීමක් ඇති බවට හිත රවටා ගන්න යොදාගන්නා අදහසක් පමණි.
ඉහළින් කොවුලකුගේ හඬක් රැව් දෙනු ඇසිණි. ඈ සතුටින් එදෙස බැලුවාය. කොවුලා ගසක අතු අතර අඩක් මුවා වී සිටියේය. ඒ එක්කම ඈ රත් පැහැති පෙඳයක දිලිසුමක් ඇස් කොණින් දුටුවාය. මිණිවිත්තා ඈ පසුපසින් පැමිණ ඇති හැඩයි.
ඇය ගෙල දිගු කර කැමරාව ඉහළට එල්ල කරද්දී ඔහුත් ඈ කිට්ටුවටම පැමිණ තිබිණි. මේ වතාවේදී ඔහු නැවතත් ඒ ප්‍රශ්නයම ඇසුවොත් ඈ ඔහුව අතහැර යන අදහස අත් හළ බව කියන්නට ඈ තීරණය කළාය.
ඈ කැමරා කාචය තුළින් එබී බැලුවාය. රත් මිණිවිත්තා ගසේ තද පැහැ පත්‍ර පසුබිමෙන් රාමු වෙමින් ඉවසිල්ලේ බලා සිටිනු පෙනුණි. ඈ ඡායාරූපය ගන්නට සැරසෙද්දීම පුංචි සෙලවීමක් ඇගේ නෙත ගැටිණි. කහ සහ කළු පැහැති කිරිල්ලියක් හදිසියේ මතුවී රත් පැහැ කුරුල්ලා ලඟින් සෙමෙන් නතරවූවාය. ඒ මිණිවිත් කිරිල්ලියක්! කුරුල්ලා නැඹුරු වෙද්දී කිරිල්ලිය තවත් ඔහු වෙත් තුරුළු වනු පෙනුණි.
නොසිතූ ලෙස ඇයට මහත් අසරණ බවක් දැනෙන්නට විය. ඇගේ පපුව සිරවෙන බවක් දැනුණි. ඇය කැමරාව පහත හෙලා ඔහු වෙත හැරුණාය. මේ තමන්ගේ සැමියා ය, තම දරුවාගේ පියා ය.
"හරි එහෙනම්" ඈ කීවාය. "දික්කසාද වෙමු."
* Scarlet Minivet
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Translation of the short story Birdsong by Jahnavi Barua
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Hot chocolate days බ්ලොග් අඩවියෙන් , අවසර ඇතිව උපුටා ගත්තකි


