
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන 13 වැනි කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පසුගිය (30) වැනිදා ඉන්දියාවේදී ආරම්භ විය.
ලොව ප්‍රබලම රටවල් 8ක් තරග වදින මේ තරගාවලියේ මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් 7 සමඟින් තරග වැදීමට නියමිතය. අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 4 අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන අතර, එහිදී පළමු සහ සිවුවැනි ස්ථානවල පසුවන කණ්ඩායම් දෙකක්, දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවන කණ්ඩායම් දෙකක් එම වටයේදී එකිනෙකා සමඟින් තරග වදිනු ඇත.
සමස්ත තරගාවලිය තරග 31කින් සමන්විත වන අතර, ඉන් මූලික වටයේ තරග 11ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. එහිදී පාකිස්තානය ක්‍රීඩා කරන සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා – පාකිස්තාන තරගයට අමතරව ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තවත් තරග 4ක් ද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ඊට අමතරව ඉන්දු – පාකිස්තාන දේශපාලන අර්බුදය හේතුවෙන් මේ තරගාවලියේදී පාකිස්තානය අවසන් පූර්ව වටයට හෝ අවසන් තරගයට සුදුසුකම් ලැබුවහොත් එම තරග ද ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇත.
මූලික වටයේ තරග ඔක්තෝබර් 26 වැනිදා දක්වා පැවැත්වෙන අතර, අනතුරුව අවසන් පූර්ව වටයේ තරග ඔක්තෝබර් 29 සහ 30 දෙදිනත්, අවසන් මහා තරගය නොවැම්බර් 2 වැනිදාත් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙවර තරගාවලියේ තරග 31 අතුරින් 30ක්ම දිවා රාත්‍රී තරග ලෙස පස්වරු 3.00ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයකි. එංගලන්තය සහ නවසීලන්තය අතර ඔක්තෝබර් 27 වැනිදා විශාකාපට්නම්හිදී පැවැත්වෙන තරගය පමණක් පෙරවරු 11.00ට ආරම්භ කිරීමට නියමිතය. 1997 වසරේ සිට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිවලට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් වරට පැවති තරගාවලියට එක්වීමේ අවස්ථාව අහිමි විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙවර ප්‍රධානතම බලාපොරොත්තුව වී ඇත්තේ ඉතිහාසයේ පළමු වරට අවසන් කණ්ඩායම් 4ට එක්වීමය.
දොළොස්වරක් පැවති ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේදී කණ්ඩායම් 3ක් පමණක් ලෝක කුසලාන පහස ලබා තිබේ. ඉන් අවසන් වරට පැවති තරගාවලියේ ශූරතාව ද සමඟ ඔස්ට්‍රේලියාව 7 වරක් කිරුළ දිනා ඇති අතර, එංගලන්තය සිවුවරක් ශූරියන් වී තිබේ. නවසීලන්තය 2000දී ශූරියන් වී ඇත.
මෙවර තරගාවලියේදී ත්‍යාග මුදල් සිවු ගුණයකින් වැඩි කිරීමට අයිසීසීය කටයුතු කර තිබීම ද කැපී පෙනේ. ඒ අනුව මෙවර තරගාවලියේ සමස්ත ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් මිලියන 13.88ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 418ක්) පමණ වන අතර, 2022 වසරේ පැවති කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පිරිනැමුවේ අමෙරිකානු ඩොලර් මිලියන 3.5කි.
මෙවර ලෝක ශූරියන්ට අමෙරිකානු ඩොලර් මිලියන 4.48ක් හෙවත් ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 135ක දැවැන්ත මුදල් ත්‍යාගයක් හිමි වනු ඇත. අවසන් වරට (2022) ලෝක කුසලානයේදී ශූරියන්ට හිමි වූයේ අමෙරිකානු ඩොලර් මිලියන් 1.32කි. අනුශූර කණ්ඩායමට අමෙරිකානු ඩොලර් මිලියන 2.24ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 68ක්) හිමි වේ.


