ස.ඡ.බ යේ කහ එළියයට එ.ඡා.ප.යෙන් කොළ එළියක්.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අතර පවතින දුරස්ථභාවය නැතිකරමින් එකමුතුව ක්‍රියාකිරීම වෙනුවෙන් කැප වී සිටින බව එක්සත් ජාතික පක්ෂය විසින් විශේෂ නිවේදනය නිකුත් කරමින් පවසයි. 

එම නිවේදනයේ සඳහන් වන්නේ, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවකට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බවය.

එබැවින් බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීමේදී දේශපාලන පක්ෂවල අනන්‍යතාවය සහ ප්‍රතිපත්ති රැකෙන ලෙස කටයුතු කිරීම වැදගත් බව එම පක්ෂය පවසයි.එමෙන්ම මේ ස්ථාවරයට පැමිණෙන ලෙස ද අනෙකුත් සියලු පක්ෂ වලින් ඔවුන් ඉල්ලා සිටියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන කමිටුවේ සාකච්ඡා සඳහා එක්සත් ජාතික පක්ෂය සහභාගී වන බවත් අනෙකුත් දේශපාලන පක්ෂ සමගද සිය පක්ෂ සාකච්ඡා කළ යුතුව පවතීන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

තවද පක්ෂ දෙක අතර සාකච්ඡා කිරීම සඳහා කමිටුවක් පත් කිරීමේ යෝජනාවට ද එකඟත්වය පළ කර ඇත.සමගි ජනබලවේගය මෑතකදී කළ ප්‍රකාශත්, එක්සත් ජාතික පක්ෂයේ මූලික අරමුණත් සලකා බලා ඉදිරි වැඩසටහන් සකස් කළ හැකි බවද වැඩිදුරටත් දැනුම් දී තිබේ.

මේ අතර සමගි ජන බලවේගයේ නායකත්වයෙන් සහ මෙහෙයවීමෙන්, එක්සත් ජාතික පක්ෂය සමග පොදු වැඩපිළිවෙළකට දේශපාලන වශයෙන් ප්‍රවේශවීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා ප්‍රකාශ කලා.

සමගි ජන බලවේගය පසුගිය (09)වැනිදා පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී සහ ඊට පෙර පැවැති කළමනාකරණ කමිටු රැස්වීම් දෙකකදී මේ පිළිබඳව ඒකමතිකව තීන්දු කළ බව ඔහු සඳහන් කර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසුවේ රටටත් ජනතාවටත් බලපාන කරුණු කාරණා ගැන සහ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට ප්‍රායෝගික හා ජනතාවාදී ප්‍රතිපත්තිමය එකඟතාවයන් මත පක්ෂ දෙකේ අනන්‍යතාව පවත්වා ගනිමින් ඉදිරියට කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *