කැනඩාවේ සරණාගතයින්

කැනඩාව සංක්‍රමණිකයින් සහ සරණාගතයින් පිළිගන්නා ඉහළම රටක් ලෙස කීර්තියක් ලබා තිබෙනා බව අප කාටත් නොරහසක්. ඒ කෙසේ වෙතත්, 2022 සිට කැනඩාවේ සරණාගතභාවය ඉල්ලා සිටින පුද්ගලයින් සංඛ්‍යාව අහස උසට ඉහළ යමින් පවතිනවා. 2025 ජූලි 1දා වන විට, කැනඩාවේ සරණාගතභාවය සඳහා ඉල්ලුම් කරන පුද්ගලයින් 497,000 කටත් වඩා වැඩිවී තිබෙන බවයි දත්ත පෙන්වා දෙන්නෙ. එය පෙර වසරට වඩා 25% කට ආසන්න ප්‍රමාණයක වැඩිවීමක්.

අපි පළමුවෙන්ම කැනඩාවේ සරණාගතයෙකු වන්නේ කවරෙක්දැයි විමසා බලමු. තම මව් රටෙන් පිටත සිටිනවා වගේම ජාතිය, ආගම, ජාතිකත්වය, විශේෂිත සමාජ කණ්ඩායමක සාමාජිකත්වය හෝ දේශපාලන මතයක් හේතුවෙන් හිංසා පීඩා පිළිබඳව බියක් ඇති සහ ආපසු තම නිවසට යාමට හෝ තම රටෙන් ආරක්ෂාව ලබා ගැනීමට නොහැකි පුද්ගලයෙක් සරණාගතයෙක් ලෙසයි කැනඩාව සරණාගතයින්  නිර්වචනය කරන්නෙ.

කෙසේ වෙතත්, පසුගිය වසරේ කල සමීක්ෂණයකට අනුව, කැනේඩියානුවන්ගෙන් 43% ක් විශ්වාස කරනවා සරණාගතයින් යැයි කියා ගන්නා බොහෝ දෙනෙක් සැබෑ සරණාගතයින් නොවන බව, විශේෂයෙන්ම බටහිර රටවලට පැමිණෙන සරණාගතයින්. මෙම සරණාගත වැඩසටහන් සඳහා ප්‍රවේශ වීමට සැබෑ සරණාගතයින්ට ඉතා සීමිත සම්පත් සහ දැනුමක් ඇති බැවින් මෙම තර්කය සත්‍යයැයි අපට පිළිගන්න පුළුවන්. ඇත්තටම, ආර්ථික හේතූන් මත කැනඩාවට සංක්‍රමණය වීමට කැමති පුද්ගලයින් විසින් කැනේඩියානු සරණාගත ක්‍රමය අපයෝජනයට ලක් කර ඇතැයි පැවසීම අසත්‍යයක්ම නොවෙයි. ඒ වගේම මෑත කාලයේදී, කැනඩාවට පැමිණෙන සමහර ජාත්‍යන්තර සිසුන් පවා අවසානයේ සරණාගතභාවය ඉල්ලුම් කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා. එයට මුලිකම හේතුව තමයි, ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව විශ්මයජනක ලෙස ඉහළ මට්ටමක පැවතුනත්, ස්ථිර පදිංචිය, ඒ කියන්නෙ Permanent Residence  සඳහා ඇති අවස්ථා ඉතා අඩු වීම. මෙය සරණාගත කතාවේ එක් දෘෂ්ඨි කෝණයක් පමණයි. 

කැනඩාවේ සරණාගත පද්ධතිය තවමත් සාධාරණ හා තිරසාරද කියා අපි සලකා  බලමු.

මෑතකදී පැවති කැනේඩියානු උණුසුම් පාර්ලිමේන්තු විවාදයකදී, විපක්ෂ මන්ත්‍රීවරු ආගමන අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේ  වසර 4 ක් පමණ ගොඩගැසී ඇති සරණාගත ඉල්ලුම් පත් ප්‍රමාදයන් හේතුවෙන් ඩොලර් මිලියන 800 ක් ඉක්මවන සමාජ ප්‍රතිලාභ සහ අතුරු සෞඛ්‍ය සේවා සඳහා අහස උසට නැඟෙන පිරිවැය ගැන.

ඇත්තටම කැනඩාවේ සරණාගත පද්ධතිය පැහැදිලිවම අභියෝගවලට මුහුණ දෙමින් සිටිනවා. මෑත වාර්තා පෙන්වා දෙන ආකාරයට එහි තිබෙනා සැලකිය යුතු පසුබෑම්, ක්‍රියා පටිපාටිය තුල ඇති සාධාරණත්වය පිළිබඳ ගැටළු සහ ප්‍රධාන ඩිජිටල්කරණ ව්‍යාපෘතියක් අතර මඟ නැවත්වීම වමි කරුණුයි මේ පසුගාමී වීමට හේතු බව. 

කැනඩාව දස දහස් සංඛ්‍යාවක් වූ සංක්‍රමණිකයින් සහ සරණාගතයින් පිලිගෙන ඔවුනට නිදහස්ව ජීවත්වීමට ඉඩ සලසන රටක් ලෙස ලොව පුරා ප්‍රචලිතයි. ඒ ක්‍රියාදාමය දිගටම් කරගෙන යාම සඳහා කැනඩාවේ සරණාගත ඉල්ලුම් පත් කළමනාකරණය සිදු කරන පද්ධතිය නවීකරණය කිරීමට සහ තිරසාරභාවය වැඩි දියුණු කිරීමට සැලසුම් කර ඇතත්, එයට මුහුණ පෑමට සිදුව ඇති  අඛණ්ඩ ගැටළු හේතුවෙන් එම කාර්යභාරය සිදුවන්නේ ඉතා මන්දගාමීව. මෙම පද්ධතිය යාවත්කාලීන කළ පසු, මේ කාර්යාවලිය ඉතා සාර්ථකව කරගත හැකි වේයැයි රජය බලාපොරොත්තු වෙනවා.

සරණාගතයින් කැනඩාවට දිගුකාලීන බරක්ද? 

ඇත්තටම නැහැ, දිගුකාලීනව ඔවුන් කැනේඩියානු ආර්ථිකයේ දායකයින් බවට පත්වෙනවා. කැනඩාවේ වසර පහක් හෝ ඊට වැඩි කාලයක් සිටිනා සරණාගතයින් මධ්‍යම පාන්තික ආදායම් උපයන අය. ඔවුන් කැනේඩියානු ශ්‍රම බලකායට ලබා දෙන්නේ ඉතා වටිනා දායකත්වයක්. කාලයත් සමඟ ඔවුන්ගේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු වී, දශක දෙකකට වැඩි කාලයක් ලබා ගත් පොදු ප්‍රතිලාභ සහ සේවාවන්ට වඩා වැඩි ප්‍රමාණයක් කැනේඩියානු බදු ගෙවීම කරනවා. එයට අමතරව, ඔවුන් භාණ්ඩ, නිවාස, ප්‍රවාහන වැනිදේ සඳහා මුදල් විය හියදම් කිරීම හේතුවෙන් කැනේඩියානු ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙනවා. විවිධ කුසලතා ඇති මේ සරණාගතයින් අතරේ  තමන්ට සහ අනෙකුත් කැනේඩියානුවන්ට රැකියා ලබා දීමට දායක වන ව්‍යවසායකයින් සහ ව්‍යාපාර හිමිකරුවන් බොහොමයක් සිටිනවා. එමෙන්ම ඒ අය අතරින් සැලකිය යුතු කොටසක් කළමනාකරණය, වෙළඳාම සහ වෘත්තීය සේවාවන් වැනි විවිධ ක්ෂේත්‍රවල ඉහළ කුසලතා තනතුරු දරන අය.

වර්තමානය සහ 2100 වර්ෂය අතර ගෝලීය ජනගහන සහ ආර්ථික ප්‍රවණතා ප්‍රක්ෂේපණය කරන නව අධ්‍යයනයකට අනුව, සියවසේ ඉතිරි කාලය සඳහා ලොව විශාලතම ආර්ථිකයන්ගෙන් එකක් ලෙස පවත්වා ගැනීමට අවශ්‍ය නම්, කැනඩාවේ සංක්‍රමණ සඳහා වත්මන් විවෘතභාවය දිගටම පැවතිය යුතුව තිබෙනවා. කැනේඩියානු ජනතාව වැඩි වැඩියෙන් වයස්ගත වී ශ්‍රම බලකායෙන් ඉවත් වන විට, එය රටේ ශ්‍රම බලකායට දැඩි පීඩනයක් එල්ල කරනවා මෙන්ම එය ආර්ථික වර්ධනයට අහිතකර ලෙස බලපානවා. කැනඩාවේ 2022 දී පැවති මහලු විය සහ ඔවුන් යැපීම සදහා අවශ්‍ය ශ්‍රම අනුපාතය පවත්වා ගැනීම සඳහා 2040 වන විට වැඩ කරන වයසේ ජනගහනය වසරකට 2.2% කින් වර්ධනය විය යුතුයි. නමුත් කැනඩාව කියන්නෙ උපත් අනුපාතය ක්‍රමයෙන් ඉතාමත් පහත් මට්ටමකට පත්වීගෙන යන රටක්. ඒ  වගේම වාර්ෂිකව නව සේවකයින් අවශ්‍ය වන විශාල කාර්මික හා තාක්ෂණ අංශයක් සහිත දියුණු විශාල රටක්. එමනිසා කැනඩාවට මේ සරනාගතයින්ගෙන් ලැබෙනා ශ්‍රමයේ විශාල වටිනාකමක් තියෙනවා.

ඉහත සාධක වලට අමතරව, සංක්‍රමණිකයන් සහ සරණාගතයින් කැනඩාවේ සංස්කෘතියට ගැඹුරු සහ බහුවිධ බලපෑමක් ඇති කරනවා.  ඔවුන්ගේ විවිධාකාරවූ භාෂාවන්, කෑම බීම, කලාවන් සහ විවිධ දෘෂ්ටිකෝණ හරහා කැනඩාව පොහොසත් සහ වර්ණවත් සංස්කෘතිකත්වයක් නිර්මාණය කිරීම හේතුවෙන් කැනේඩියානු ජාතික අනන්‍යතාවය හැඩ ගස්වනවා. සෑම සංක්‍රමණ රැල්ලක්ම රටේ ජනවාර්ගික හා සංස්කෘතික සැකැස්මට යමක් එකතු කරන අතරේ කැනේඩියානු අත්දැකීමේ මූලික අංගයක් වන ගතික සහ විවිධාකාර ජාතික විශේෂත්වයන් නිර්මාණය කරනවා.  

මෙම කරුණු කෙසේ වුවත්, අපරාධකරුවන් සහ ත්‍රස්තවාදීන් සරණාගතයින් හෝ සංක්‍රමණිකයන් ලෙස රටට ඇතුළු වීම වැළැක්වීම අතිශයින් වැදගත් කාර්යාවලියක් බව සදහන් කල යුතුමයි. කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර දේශසීමාවේ ආරක්ෂාව සඳහා කැනඩාව මෑතකදී හඳුන්වා දුන් පනත් කෙටුම්පත C-2 මෙම අර්බුදයට විසඳුමක් විය හැකි නමුත් එයට බොහෝ විරෝධතාවයන් පැන නැග තිබෙනවා. 

මහජන සේවාවන්, නිවාස, මූලික පිරිවැය සහ සමාජ හා සංස්කෘතික ඒකාබද්ධතාවය ඇති කිරීමේදී සරණාගතන් අනුගත කිරීමට අභියෝග තිබුණද, සරණාගතයින් සහ සංක්‍රමණිකයින් දිගු කාලීනව කැනේඩියානු ආර්ථිකයට අහිතකර බලපෑම් ඇති කරනවා කියලා අපට කියන්න බැහැ. අපගේ සංක්‍රමණ පද්ධතිය කාර්යක්ෂම වුවහොත්, සරණාගතයින් කැනඩාවට ඉතා ප්‍රයෝජනවත් සම්පතක් කර ගන්න පුළුවන්.  

කැනඩාවේ පදිංචි වී පුරවැසියන් බවට පත්වීමෙන් පසු බොහෝ සරණාගතයින් කැනඩාවට දැඩි ආදරයක් දක්වනවා මෙන්ම කැනේඩියානු පුරවැසිකම ලබාගන්නා සියලු සංක්‍රමණික කාණ්ඩ අතර ඔවුන් ඉහලම ස්ථානයේ සිටිනා බව සමීක්ෂණවලින් පෙන්වා දී තිබෙනවා. ඉන් පෙනී  යන්නේ ඔවුන්ගේ නව නිවස කෙරෙහි ඇති ඇප කැපවීමයි.

කැනඩාවට ලැබෙන ප්‍රතිලාභවලට අමතරව, මානුෂීය ආධාරයක් ලෙස, කැනඩාව පීඩාවෙන් පලා යන පුද්ගලයින්ට ආරක්ෂිත තෝතැන්නක් සමගම ඔවුන්ගේ ස්ථාවරත්වය සහ ජීවිත නැවත ගොඩනඟා ගැනීමට අවස්ථාවක් ලබා දීමෙන් මුළු විශ්වයටම පෙන්වා දෙන්නේ කැනේඩියානුවන්ගේ ආදරණීය හදවත නොවේද? 

මේ ලිපි හා බැදුණු මාගේ යූ ටියුබ් වැඩසටහන සදහා පහත දිගුවෙන් ඔබට පිවිසෙන්නට පුළුවන්

මෙම විද්‍යුත් පුවත්පත් කිසිදු කැනඩා රජයේ නියෝජිත ආයතනයකට හෝ ආගමන නීතිවේදීන්ට සම්බන්ධයක් නැත. මෙම ලිපියේ තොරතුරුවලට පදනම් වී ඇත්තේ විවිධ Online වෙබ් අඩවිවලින් ලබාගත් තොරතුරුයි. එබැවින් ඔබේ විශේෂිත අවශ්‍යතා සඳහා විශේෂඥ ආගමන  නීතීඥවරයෙකු හෝ උපදේශකවරයෙකු මුණ ගැසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *