
ෆ්‍රැන්සිස් බේකන් නම් ඉංග්‍රීසි ජාතික පඬිවරයා විසින් කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන කියමන ප්‍රකාශයට පත්කළේ මීට සියවස් ගණනාවකට පෙර යි. එලෙස බේකන් විසින් ප්‍රකාශයට පත්කළ කියමන එදාට මෙන්ම අදටත් වලංගු යි. එම නිසා බොහෝ දෙනෙකු පොත් කියවීම ඔවුන්ගේ විනෝදාංශය බවට පත්කරගෙන තිබෙනවා. එසේ පොත් කියවීම තම විනෝදාංශය කරගත් අය සැප්තැම්බර් මාසය හෙවත් සාහිත්‍ය මාසය එන තුරු උනන්දුවෙන් බලා සිටිනවා. ඒ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන නිසා යි.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය.
සැප්තැම්බර් මාසයේ 27 වැනිදා සිට ඔක්තෝබර් 06වැනිදා දක්වා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පවත්වනු ලබන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී යි. පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම පොත් ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 26 වැනි වරට යි. 1999 වසරේ දී මුල්ම වරට පැවැත්වුණු මෙම පොත් ප්‍රදර්ශනය අඛණ්ඩව වසර 26ක් පුරාවට පැවැත්වුණා. මෙම ප්‍රදර්ශනය සඳහා ලංකාවේ ප්‍රසිද්ධම පොත් සමාගම් සියල්ලම වාගේ සහභාගි වනවා. එසේම රජයේ සමහර ආයතන ද ඔවුන්ගේ ප්‍රකාශන අලෙවි කිරීම සඳහා කුටි වෙන්කරගෙන තිබෙනවා. මහ බැංකුව, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ඊට උදාහරණ ලෙසින් දැක්විය හැකියි. මෙවැනි පොත් ප්‍රදර්ශනයකින් පොත් මිල දී ගැනීමේ දී ඉතාමත් ඉහළ වට්ටම් හිමිවනවා. එසේම සමහර ගත් කතුවරුන් මෙම ප්‍රදර්ශන භූමිය තුළ රැඳී සිටින නිසා පාඨකයන්ට ඔවුන්ව මුණ ගැසීමේ අවස්ථාව හිමිවනවා. සෑම වසරකම සැප්තැම්බර් මාසයේ දී පැවැත්වෙන මෙම පොත් ප්‍රදර්ශනය නිසා පොත් කියවීමට පුරුදුව සිටින බොහෝ දෙනෙකුට විශාල වශයෙන් ප්රතිලාභ ලැබෙනවා.
සාහිත්‍ය මාසයේ දී පිරිනමන ප්‍රධාන සම්මාන
1956 වසරේ දී බලයත් පත් බණ්ඩාරනායක රජය සංස්කෘතික අමාත්‍යාංශයක් පිහිටවනු ලැබුවා. ඉන් වසර 3කට පසුව ලංකාවේ මුල්ම රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ආරම්භ වුණා. එදා සිට අද දක්වා අඛණ්ඩව එම සම්මාන උළෙල පැවැත්වීම ඉතාමත් සුවිශේෂී සිදුවීමක් ලෙසින් දැක්විය හැකියි. 1998 වසරේ දී ගොඩගේ ග්රන්ථ ප්‍රකාශන සමාගම විසින් ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙල ලෙසින් නව සම්මාන උළෙලක් ආරම්භ කළා. එම සම්මාන උළෙලත් පසුගිය වසර 26ක තුළ අඛණ්ඩව ක්‍රියාත්මක වුණේ මෙරට සාහිත්‍යකරුවන්ට දිරියක් ලබාදෙමින්. පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ කළේ 1999 වසරේ දී යි. එම ප්‍රදර්ශනය ආරම්භ කර වසර 8ක් ගතවන විට එම ප්‍රදර්ශනයට සමගාමීව ස්වර්ණ පුස්තක සම්මානය නමින් සම්මානයක් පිරිනැමීම ආරම්භ කළා. ඒ අනුව සාහිත්‍ය මාසයේ දී ප්‍රධාන වශයෙන් සාහිත්‍ය සම්මාන උත්සව 4ක් පැවැත්වෙනවා. එමඟින් මෙරට සාහිත්‍යකරුවන්ට නිර්මාණ සිදුකිරීම සඳහා හොඳ පන්නරයක් ලැබෙනවා.
රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල (හොඳම නවකතාව)
1957 වසරේ දී ශ්‍රී ලංකාවේ මුල්ම රාජ්‍ය සාහිත්‍ය උළෙල කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනේ දී පවත්වනු ලැබුවා. ඉන් වසර 2කට පසුව එනම් 1959 වසරේ දී රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ආරම්භ වුණා. එදා සිට අද දක්වා පැවැත්වෙන මෙම සම්මාන උළෙලේ දී බොහෝ දෙනෙකුගේ අවධානය හිමිවන්නේ හොඳම නවකතාව සඳහා සම්මානය දිනාගන්නා කෘතිය පිළිබඳව යි. එදා සිට අද දක්වා නම් දැරූ ගත් කතුවරුන් රැසක් එම සම්මානය දිනාගෙන තිබෙනවා. 1968, 1994, සහ 2004 යන වසරවල මෙම සම්මානය පිරිනමා නැහැ. එසේම වසර 11ක දී දෙදෙනෙලුට මෙම සම්මානය පිරිනමා තිබෙනවා. එහි දී වැඩිම වාරයක් මෙම සම්මානය දිනාගත්තේ කේ ජයතිලක යි. ඔහු 1963, 1966, 1972, 1975, සහ 1980 යන වසරවල දී එම සම්මානය දිනාගෙන තිබෙනවා.
මෙම සම්මානයට අමතරව තවත් සම්මාන 20ක් මෙම සම්මාන උළෙලේ දී පිරිනමනු ලබනවා. රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය විසින් එම සම්මාන උළෙල සංවිධානය කරනු ලබන බව මෙහි දී සඳහන් කළ යුතු යි.
ගොඩගේ සම්මාන උළෙල (හොඳම නවකතාව)
ගොඩගේ සම්මාන උළෙල මුල්ම වරට ආරම්භ වුණේ 1998 වසරේ දී යි. මුල්ම සම්මාන උළෙලේ දී සම්මාන ප්රදානය කළේ ගොඩගේ ග්රන්ථ ප්‍රකාශන සමාගම මඟින් ප්‍රකාශයට පත්කරන ලද ග්රන්ථ සඳහා පමණ යි. සේන තෝරදෙනිය සහ ටෙනිසන් පෙරේරා යන විද්වතුන් එම සම්මාන උළෙල පැවැත්වීම සඳහා මූලිකත්වය ගත්තා. ඒ වන විට ලංකාව තුළ ක්‍රියාත්මක වුණු ප්‍රධානතම සාහිත්‍ය සම්මාන උළෙල වුණේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල යි. එම නිසා ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙල ආරම්භ වීම මඟින් මෙරට සාහිත්‍යකරුවා වඩාත් දිරිමත් වුණා. ආරම්භයේ දී ගොඩගේ ප්‍රකාශන සඳහා පමණක් පිරිනැමුණු මෙම සම්මානය 2000 වසරේ සිට ඕනෑම ග්රන්ථ ප්‍රකාශන සමාගමකින් නිකුත්වන ග්‍රන්ථයකට ලබාදීම ආරම්භ වුණා. එම කාර්යය සඳහා මැදිහත් වුණේ සේන තෝරදෙනිය සහ ටෙනිසන් පෙරේරා යන විද්වතුන් දෙදෙනා යි. එදා සිට අද දක්වා ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙල ඉතාමත් සාර්ථකව පැවැත්වුණා. එම නිසා අද වන විට රාජ්‍ය සාහිත්‍ය සම්මාන උත්සවය හැරුණු කොට සිංහල දෙමළ ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම ලියන සාහිත්‍ය කරුවන්ට සම්මාන ලබාදෙන එකම ප්‍රධාන සාහිත්‍ය සම්මාන උළෙල වන්නේ ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙල යි.
ස්වර්ණ පුස්තක සම්මානය
ස්වර්ණ පුස්තක සම්මානය පිරිනමනු ලබන්නේ ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව යි. එම සම්මානය මුල්මවරට පිරිනමන ලද්දේ 2007 වසරේ දී යි. එම වසරේ දී ග්රන්ථ 5කට සම සම්මානය හිමි වුණා. නමුත් 2008 වසරේ සිට එක් ග්‍රන්ථයකට පමණක් මෙම සම්මානය හිමිවුණා.
රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් සහ ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලද පොත් වගේ ම විවිධ විෂයයන් යටතේ ලියැවුණු තවත් පොත් බොහෝමයක් සහ පාසල් උපකරණ ඉතාමත් ආකර්ශණීය වට්ටම්වලට යටත් ව මිල දී ගන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී අවස්ථාව ලැබෙනවා.
පොත් ප්‍රදර්ශනය බලන්න අය අයට වැදගත් වෙන උපදෙස් කිහිපයක්
- කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගන්න යන කෙනෙක් කළ යුතු වැදගත් ම කටයුත්තක් තමයි තමන් මිල දී ගන්න අදහස් කරන පොත්වල ලැයිස්තුවක් කලින් ම සකස් කර ගෙන යන එක. පොතේ නම, කතුවරයා, මිල සහ ප්‍රකාශන සමාගම එම ලැයිස්තුවට ම ඇතුළත් කර ගැනීමෙන් නිකරුණේ රස්තියාදු නො වී තමන්ගේ කාලය ඉතිරි කර ගන්න පුළුවන්. එහෙම නොවුණොත් දකින දකින පොත අරගෙන අවසානයේ දී ගන්න හිතේ තියාගෙන ගිය පොත් මිල දී නොගෙන ගෙදර එන්න යි වෙන්නේ.
- තමන්ට හැකියාවක් තියෙනවා නම් තමන්ගේ ආහාර වේල නිවසින් අරගෙන යන්න. එහෙම නොවුණොත් වෙන්නේ ඉතාමත් දියාරු විදියට සකස් කරපු බත් පතකින් හෝ බාගෙට තම්බලා දෙන නූඩ්ල්ස් වේලකින් කුස ගින්න නිවා ගන්න යි.
- තමන් අරගෙන යන මුදල් සියල්ල ම පසුම්බියේ නොතියා කිහිප පොළක තබා ගැනීම නුවණට හුරු යි. ඒ වගේ ම ATM යන්ත්‍ර ගැන වැඩි විශ්වාසයක් තියන්න අමාරු නිසා අතේ සල්ලි අරගෙන යන්න පුළුවන් නං වඩාත් හොඳ බව කියන්න ඕනේ. පොත් මිල දී ගෙන වෙළඳ කුටියෙන් එළියට එනකොට බිල පිරික්සා බලලා ඉතිරි මුදල් නිවැරදි බව තහවුරු කර ගන්න.
- පොත් මිල දී ගැනීමේ දී ලබාදෙන බිල්පත සෑම විට ම ළඟ තියා ගන්න. එක ම පොත වෙළඳ කුටි බොහෝමයක විකිණීමට තියෙන නිසා පරීක්ෂා කිරීමේ දී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ම පසු ව පොත මාරු කිරීමට අවශ්‍ය වුණොත් බිල්පත ඉදිරිපත් කළ යුතු යි.
- පොත් මිල දී ගන්න කලින් ලැබෙන වට්ටම ගැන විමසා බලන්න. අදාළ ප්රකාශකයින්ගේ වෙළඳ කුටියෙන් ම මිල දී ගන්නවා නං අනෙක් තැන්වලට වඩා වැඩි වට්ටමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේ ම පොත මිල දී ගන්නකොට කලබල නො වී පිටු නිවැරදි ව මුද්‍රණය වෙලා තියෙනවා ද බලන එක වැදගත්. එහෙම නොවුණොත් පොත මාරු කරන්න ආයෙමත් රස්තියාදු වෙන්නයි වෙන්නේ.
- ඒ වගේ ම මෙවර පොත් ප්‍රදර්ශනය නරඹන්න යන අයගෙන් කළ යුතු කාරුණික ඉල්ලීමක් තියෙනවා. ඒ තමයි පොත් තෝරන අතරතුර දී ඔබ ආහාරයට ගන්න දේවල්වල දවටන, පොලිතීන් කවර සහ අනෙකුත් බැහැර කළ යුතු දෑ තැන තැන දාල පරිසරය අපිරිසිදු නොකරන ලෙස.
ඉතින් හොඳ පොත් ටිකක් බලාගන්න කැමති නම් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියන්නේ ඔබ යායුතුම තැනක්.


