” ආදරණීය සැඳෑවක්” බන්දුල කුරුවිට ආරච්චි ප්‍රණාම උත්සවයේ සේයා රූ මතක

බන්දුල අයියාට ටොරොන්ටෝවේදී පිදුනු  මල් පොකුර,  " ආදරණීය සැඳෑවක්" 

බන්දුල ජයන්ත කුරුවිට ආරච්චි කියල කියන්නේ ටොරොන්ටෝ නගරය ආශ්‍රිත ශ්‍රී ලාංකික සිංහල ප්‍රජාවේ සංස්කෘතික කටයුතුවලදී නැතුවම බැරි කෙනෙක්.  " බන්දුල අයියා"  කියලා අපි ආදරේට කියන ඔහු  පන්සලක වැඩක් තිබුනත්, ප්‍රසංගයක, උත්සවයක වැඩක් තිබ්බත්,  ඔය කොයි වැඩෙත් හොඳට,  ලස්සනට , සාක්කුවට හරියන විදිහට , ගොඩදාලා දෙන කෙනෙක්.

ඔය මුහුණු පොතේ ලයික් එකක් දැම්මට,  මූණට දැක්ක තැන " ෂා නියමයි"  කියලා කිව්වට,  වැඩක් කරවගන්න ඕනෙ වුනාම  මතක් උනාට, අපේ ගොඩ දෙනෙක් තවත් කෙනෙක්ගේ දේවල් අගය කරන්න එච්චර පුරුදු නැති සමාජ කොට්ඨාසයක් කියලයි මගේ අත්දැකීම් වල නම් තියෙන්නෙ. ඒ වගේම අපි බහුතරයක් කෙනෙක්ව අගය කරන්නේ ඒ අය මිය පරලොව ගියාමයි. ඒ ගුණ ගායනා, ප්‍රදර්ශන වැඩ එකක් වත් ඒ මනුස්සයට පේන්නේ නැති නිසා මට නම් හිතෙන්නෙ ඒවා ජීවත් වෙලා ඉන්න අය තමන්ගෙ පැවැත්ම තහවුරු කරගන්න කරන තවත් කාර්යයක් කියලයි.

ඔය  වගේ පසුබිමක තමයි 2025 ඔක්තෝබර් 4 වන සෙනසුරාදා සහෘද පිරිසක් Brampton නගරයේ Jim Archdekin  ශාලාවට එකතු වුණේ. ඒක නම් හරිම රසවත් හැන්දෑවක්.  උත්සවය නම් වුණේ " ආදරණීය සැඳෑවක් " යන නමින්. ඒක සංවිධානය කරලා තිබුණේ පාලිත සෙනෙවිරත්න, අජිත් විජේරත්න, චන්දික රත්නමලල, සමන්ත කරුණාරත්න, අමරසේන දහනායක කියන මහත්තුරු පස්දෙනා.  කලාවට නිතර අතහිත දෙන " සුදේශ් මුතු "  කියන ව්‍යාපාරික මහත්මයා සහ අර්ජුන ගමගේ  මහත්මයා එයට අනුග්‍රාහකත්වය දරලා තිබුණා.

ශ්‍රී ලාංකික සිංහල ප්‍රජාවේ සැමට ආදර්ශයක් දෙමින් ඔවුන් බන්දුල අයියා ඒ හැන්දෑවේ හොඳට සතුටු කළා කියලා මම දන්නෙ ඊට පස්සේ දවසේ ඔහු බොහොම සතුටු හඬින් දුන් දුරකතන පණිවිඩය නිසා.

ඔහු නිතර විවිධ කටයුතුවලදී සහාය වන පන්සල් තුනේම ස්වාමීන් වහන්සේලා ඔහුට ගෞරවය පුද කරන්න ඇවිත් හිටියා වගේම අනුශාසනා කතා උත්සව සභාවට එකතු කලා. මේ උත්සවයේදී ගයන්න  ඔහු වෙනුවෙන් උපහාර ගීතයක් ලියවිලා තිබුණා(  ඒ ගැන ඉදිරි සටහනකදී ඔබට දැනගන්නට පුළුවන් වේවි ). සංකලන නර්තන කණ්ඩායම පූජා නර්තනයක්, යෙනුලි මැඩෝරා කොතලාවල වගේම  නිලන්ත කරුණාරත්නගේ රිද්ම්ටික් කණ්ඩායම ඔහු වෙනුවෙන් උපහාර නර්තන දෙකක් ඉදිරිපත් කෙරුණා. . සුනිල් තෙන්නකෝන් ඔහුගේ ගමන්මග ගැන පැය භාගයක්ම කතා කළා.  මම හිතන්නේ ඔහු ගැන කියන්න තවත් තොරතුරු සුනිල් ගාව තිබුණා. ශ්‍රී ලාල් අමරජීව ෆොන්සේකා, රිසෙදි රුවන්සා කරුණාරත්න,අනෝජා මකුලොළුව,සමන්ත ජයසූරිය,රෝහණ දිසානායක,  හසන්තිකා කොඩිතුවක්කු, ඔෂානි කුරේ  ඔහු ලියූ ගී  අතුරින් කිහිපයක් අපට සිහිපත් කලා. මේ උත්සව  සභාව මෙහෙයවීම කළේ සුනිමල් බාලසූරිය සොයුරා.

සංවිධායක කණ්‌ඩායමේ සමරු තිළිණය , තෑගි වලට අමතරව රූපණ කණ්ඩායමෙන් සහ රුක් සෙවණ සංවිධානයෙන් බන්දුල අය්යාට උපහාර තිළිණ ප්‍රදානය කෙරුනා. රූපණ නියමු වීරා  ෆොන්සේකාගේ කෙටි කථාවෙන් පස්සේ බන්දුල අයියා ලියූ රූපණ තේමා ගීතය ඇතුළත් වීඩියෝව  සභාව සතුටු කළා. බන්දුල අය්යා මතක අතරේ  කිමිදෙනවා අපට පෙනුනේ ඔහුගේ හැඟීම්බර බවින්.

බන්දුල අයියාගේ ජපුර විද්‍යාර්ථීන්  නියෝජනය කරමින් විල්සන් සුරවීර මහතා කළ කතාව අප දැන නොසිටි බොහෝ තොරතුරු හැමටම කිව්වා. පේරාදෙණියේ විශ්ව විද්‍යාලයේ විවිධ සංස්කෘතික කටයුතුවලදී ආචාර්ය  ජයලත් මනෝරත්නයන්ට සහාය වෙමින් බන්දුල අයියා කළ මෙහෙවර ජයලත් සමරක්කොඩි  මහතා සිහිපත් කළා. බන්දුල අයියාගේ ලංකාවේ සහ කැනඩාවේ නිර්මාණ දායකත්වය ගැනීම් කල්ප සමරතුංගගේ හඬින් සමන්ත කරුණාරත්න සොයුරාගේ සටහනක් වීඩියෝවකට සංස්කරණය කර තිබුණේ දිනේෂ් පීරිස්  සොයුරා.

හිතුවට වඩා ටිකක් වෙලා ගියත් ශාලාව පිරිලා  හිටිය පිරිස වැඩසටහනේ අන්තිම වෙනකම් හිටියා.පියුමලී  ජයසිංහ,  ජනක මොහාන්, මේපල් ටීවී,  කලා කවය රූපවාහිනිය, රූපණ මාධ්‍ය ජාලයේ  වීරා ෆොන්සේකා, එරංග හිදෙල්ල  ආරච්චි වැඩසටහන  වීඩියෝ ගත කළා වගේම සොයාරූ මතක එකතු කරගත්තා.

ඒ වීඩියෝ මතක ළගදීම රූපණ අන්තර්ජාල රූපවාහිනියෙන් ඔබට බලන්න පුළුවන්

 ඒ සේයාරූ මතක ළගදීම  ශ්‍රී ලංකැන් නිව්ස් වෙබ් පුවත්පත තුළින් ඔබට බලන්න පුළුවන්

ආයෙත් වතාවක්, මේ වගේ වැඩක් කරන්න බර කරට ගත්ත පාලිත සෙනෙවිරත්න, අජිත් විජේරත්න, චන්දික රත්නමලල, සමන්ත කරුණාරත්න, අමරසේන දහනායක මහත්තුරු පස්දෙනාට අපේ හද පිරි ප්‍රණාමය පුද කරන්න කැමතියි. ඔය පස්දෙනා ටොරොන්ටෝ ඒ ශ්‍රී ලාංකික ප්‍රජාවට දුන් ආදර්ශය මිළ කළ නොහැකි එකක්. 

අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් අඩවියේ සටහනකින්

https://ahasgawwenehalokaya.blogspot.com/

සේයාරූ - මේපල් සිලෝන් මුහුණු පොත් පිටුවෙන්
https://www.facebook.com/mapleceylon

වචන දහසක් කියන පින්තූර - ශ්‍රී ලංකැන් නිව්ස් සේයාරූ ප්‍රතිපත්තිය

ඩිජිටල් අවකාශයේ තිබෙන ඉඩකඩ සීමාවන් හේතුවෙන් අප පලකිරීම සඳහා තෝරාගන්නා සීමිත සේයාරූ මුල් හිමිකරුවන්ගේ අවසරයෙන් ලබාගෙන ඇති අතර කිසිදු පුද්ගල චරිතයක් ඉස්මතු කිරීමේ හෝ පහත හෙලීමේ අරමුණකින් තොරව අදාල සිදුවීම වාර්තා කිරීමේ පොදු තේරීමට යටත්ව පළකර ඇති බව සටහන් කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *