සිංහල කෙටිකතාව

නහය කාරවන ඉස්පිරිතාල ගඳ. හැමතැනම එල්ලෙන මූණු. වේදනාවෙන් රැලි වැටුනු, තෙහෙට්ටුවෙන් දිග ඇදුනු මූණු. හැබැයි බලන්ටෙපායැ, ඒ ඇස් තමා ඇස්! බලාපොරොත්තුවේ ආලෝක පුංජයන් හංගාගත්තු, මරකත මැණික් වගේ දිලිහෙන ඇස්. තැනින් තැන අළුත පායපු චූටි තරු ඇස්!
ලුම්බිණී සල් උයන. සල් අතු එකකට එකක් කිටිකිටියේ බදාගෙන, වෙලාගෙන. හුලං පොදකට එන්න ඉඩක් නෑ.
“කොන්ක්‍රීට් තාප්පයක් බැඳලා වගෙයිනෙ.” මහාමායා කීවේ රැලි ගැන්වුන නළල අගිස්සෙන් කඩාවැටෙන ඩා දිය බිංදුවක් පිහදාන ගමන්. නළල රැලි වැටුනෙ රස්නෙත් එක්ක හිතේ බුබුළු දාන්න ගත්ත නොරිස්සුමෙන්.
තටු කැරකෙන්නැති අංගවිකල විදුලිපංකාවක් සීලිමේ එල්ලිලා මහමායා දිහා බලාගෙන උන්නේ කම්පාවෙන්. ඉතින් මේක ඉස්පිරිතාලයක්. අංගවිකල විදුලිපංකාවකට ගැලපෙනම තැන ඉස්පිරිතාලෙ. ඇරත් සල් මල් සුවඳ තිබුනෙ පුංචි කාලේ ආත්තම්ම කියාදීපු කතන්දරවල. පස්සෙන්පහු සුනන්දගෙ උරබාහු උඩ නින්දට වැටුනම හීනෙනුත් සල්මල් සුවඳ දැනුනා තමයි. ඒත් උදේ පාන්දර බත් හට්ටියෙ හුමාලෙ මූණට වදිනකොට බඩ පෙරලවාගෙන එන ඔක්කාරෙත් එක්ක සල්මල් සුවඳ සැනෙන් අතුරුදහන් වුනා.
ගලගල ගගා වතුර වැටෙන සද්දෙ. අනෝතප්ත විලේ වතුර කම්මුල්වල වදිනකොට හීතලයි. දාඩිය දියවෙච්ච පළවෙනි වතුර දෝත තොල්වල වැදුනෙ යාන්තම් ලුණු රහකුත් එක්ක. මහාමායට හිතුනෙ වතුරට පැනලා නාන්න. ඒත් වතුර ගැලුවේ බොහොම හෙමින්. මහාමායා බෙල්ල වටේ වතුර අතක් තවරගත්තා. සිමෙන්ති ගැට්ටේ වැලමිට වැදුනම ඇස් ඇරුනා.
එහා පැත්තේ සින්ක් එකට බරවුනු ගෑණු ළමේක් අඬනවා. කම්මුල් ඉදිමිලා, නහය රතුවෙලා, සුරුස් සද්දෙන් සැරෙන් සැරේ හොටුත් ඉහල අදිනවා.
මායා හෙමින් සැරේ අඬන ළමයගෙ වම් උරිස්ස මිරිකුවා. ඇයි අඬන්නේ කියල අහන්නැහේ ඔළුව ගැස්සුවා.
“ඒගොල්ලො සුදු නෙළුම් පිපෙන්නෙ නෑ කියල හොයාගෙන” ගෑණු ළමයා ඇඬුමක් අතරෙන් කිව්වා. “මේ බලන්න අක්කා, මේ විලේ වතුර ලුණුම ලුණු රහයි. එක නෙළුමක්වත් පේන්න තියනවද? ආසාවට බලන්න එකම එක සුදු නෙළුමක්?”
මහාමායා බෙල්ල දික්කරගෙන අනෝතප්ත විලට එබුනේ සුදු නෙළුමක් හොයාගත්තොත් ගෑණු ළමයගෙ ඇඬිල්ල නවතින බව සහසුද්දෙන්ම තේරුම් ගිය හින්දයි. විල පතුලේ ඇලිච්ච දත් බෙහෙත් කලිලයක් නෙළුමක හැඩේ අරන් මොහොතකට ඇහැ රැවැට්ටුවා.
“ඒක නිකම්ම නිකම් ෆයිබ්‍රොයිඩ් එකක්.” ගෑණු ළමයා බර හුස්මක් හෙළුවා. “සුදු ඇත්තු කැරකේවි. නෙළුම් නොපිපෙන නිසා ඇති පදම් කැරකේවි. ඒත් ඉතින් හැමදාම එච්චරයි. එච්චරෝම එච්චරයි.”
“නංගිගෙ නම මොකක්ද?” මහාමායා ඇහැව්වෙ වෙන කතාකරන්න දෙයක් මතක් කරගන්න බැරි වෙච්ච තැන.
“ගෝතමී.” ඈ හිස් බැල්මෙන් අනෝතප්ත විල දිහා බලාගෙන උන්නා. කිලිටි වතුර සුලි කැරකෙමින් දිය ඇලිය දිගේ පහළට බැහැගෙන බැහැගෙන ගියා.
මහාමායා ඔළුව බරකරගෙන ආපහු යන්න හැරුනා. කොරිඩෝවේ කොට බිත්තියට උඩින් බේත් සැර හුළඟක් ඇඟේ හැපුනා. සල් අතු සිලි සිලි ගෑවා. යටිබඩේ ඉඳන් පා පතුල් වෙනකල් එක සීරුවට අකුණක් ඇදීගෙන යනකොට මහාමායා වේදනාවෙන් ඇඹරෙමින් සල් අත්තක් අල්ලා ගත්තා.
සේවිකාවො මීමැස්සියො වගේ. නිතරෝම ගුමුගුමු ගගා බැන්නට කඩිමුඩියේ දුවගෙන ඇවිත් මහාමායව ට්‍රොලියක දාලා තල්ලු කරගෙන ගියා. ඇඳට දාලා වටතිර ඇද්දා. සල් අත්ත වෙනුවට ඇඳ විට්ටම අල්ලගත්තු මායා යටි උගුරෙන් විලාප දුන්නා.
“මේ මොන මල සමයමක්ද? අපිද කිව්වෙ ළමයි හදාගන්න කියල?” සේවිකාවකගෙ වචන විස දළ පාරක් මහාමායගෙ කන්පෙත්තේ ඇනුනා. ශ්‍රවණ නාලය දිගේ හදවතට විස කාන්දු වෙන අතරේ කම්මුල් දිගේ කඳුළු බේරුනා. වේදනාව ඉවසගන්න බැරිව ඈ තවත් හරියෙන් කෑගැහැව්වා.
“ගාය වැඩිවෙලා අහවල් වැඩේ කරනකොට මේවා මතක නෑ. දැන් එනවා බබා වෙන්න. බොරුවට බෙරිහන් දෙන්නෙ නැතුව කටපියාගන්නවා” ඒ පාරනම් විස දලේ ඇනුනෙ පපුව මැද්දෑවට. එතන කඳුළු කැටයක හැඩෙ ලේ කැටියක් හිරවුනා. ලේ නහර ඉදිමුනා. සල් මල් මැලවෙන්න ගත්තා.
ඇඳ කෙලවරේ “Peripartum cardiomyopathy” කියලා ලියපු චිකිත්සක සටහනක් ඒ අතට මේ අතට පැද්දුනා. ලා දුඹුරු පාට ගැහිච්ච, ඇකිලිච්ච, සල්මල් පෙති එකින් එක සේලයින් බෝතලයක් දිගේ පහලට වැටුනා.
*******************
ස්කෑන් කාමරේ ඇඳ උඩ යශෝධරාවක් වෙවුලමින් හිටියා. අවුරුදු හතහමාරක් තිස්සේ බෝධියට වක්කරපු පැන් කල ගාන හිතෙන් ගණන් හද හදා, දේවාලවලට දහනමයකට පොරොන්දු වුන බාරහාර වෙන වෙනම මතක් කරගනිමින් ඈ දෙවියන්ට තොල් මතුර මතුරා අඬ ගැහුවා.
“අල්ට්‍රා සවුන්ඩ් එක පැහැදිලි නෑ. බබාගෙ හාර්ට් එක නැවතිලා වගේ.” ජීවක ඇඟට පතට නොදැනි කියලා දැම්මෙ තිරය දිහා බලාගෙන. ඇස් මුණ නොගැහෙන්න පරෙස්සම් වෙමින්. කුසල් මදිව එලවා දැමුනු ගන්ධබ්බයා යශෝධරාගෙ කුස දිහා හොරහොරෙන් බලමින් ඉහලට ඉහලට පාවෙලා ගියා.
මහාමායා එල්ලිලා උන්නු සල් අත්ත ‘ජරස්’ ගාලා කඩා වැටුනා. ඊට මිලිතත්පර කාලකට පස්සේ ඈ නෙළුම් මලින් කල ඔටුන්නක් ඉහේ පැළඳගෙන අනෝතප්ත විලට පැනලා කිමිදුනා. ඒත් එක්කම හිරවුනා. අතංගුවකට අහුවුනා වගේ ඈ එක්වරම හිරවුනා.
ජීවක ආයෙම වතාවක් තිරය දිහා බැලුවා. යශෝධරා හුස්ම තදකරගෙන දිගටම තුන්සූත්තරේ මැතිරුවා.
"අහා බයවෙන්න දෙයක් නෑ. බබාගෙ හාර්ට් සවුන්ඩ්ස් තියෙනවා." ජීවක සුපුරුදු ඒකාකාරී ස්වරයෙන්ම කිව්වා. ඒක හැඟීම් වේලිච්ච කටහඬක්. ඒත් යශෝධරාගෙ හිතේ හොල්මන් කරපු දත්කූරු හපන නැන්දම්මගෙ මූණ ඒ වචන ටිකත් එක්ක වාෂ්ප වෙලා ගියා.
මහාමායා අළුත් කළල රූපයක හැඩ ඇතිව ඉහල පහල පීනමින් උන්නා. ලබ්ඩබ් සද්දෙට ගැබ ඇතුලේ කුඩා හදවතක් ආයෙමත් ගැහෙන්නට පටන් අරගෙන. යශෝධරා කුස අතගගා සල් උයනෙන් පාරට බැස්සා.
"ඔබේ රාහුලයා ඔබට මැණිකකි"
සල් උයනට ඇතුල්වෙන තැන එල්ලාපු ලෝහ අකුරු පොදිය ඉර එළිය වැදිලා දිලිහෙනවා. තව තවත් මහාමායලා, ගෝතමීලා, යශෝධරාලා සල් උයනට ඇතුලට එනවා. එනවා - යනවා, යනවා - එනවා. එනවා - යනවා - එනවා.
යශෝධා සම්මානි ප්‍රේමරත්න ( බස්සී ).
බස්සීගේ නවාතැන බ්ලොග් අඩවිය https://bassigenawathana.blogspot.com/ * අවසර ඇතිව උපුටා ගත්තකි .
ජීවන කතන්දර

‘අලුත් මිස්ගේ’ පුහු ආඩම්බරය තුනී වුනු හැටි.
නව වර්ෂයට විදුහල පටන් ගත් මුල්ම දිනය එය විය. විදුහල් කාර්යාලයට වැඩ අධික දිනයකි. අලුතින් මාරුවීම් ලැබ පැමිණි ගුරුවරු ගුරුවරියන් කිහිපදෙනෙකි. ඒ සමගම නව පත්වීම් ලබා පැමිණි කිහිප දෙනෙක්ද වුහ. නව පත්වීම් ලබා පැමිණි ගුරු මහත්මියන් තිදෙනාම කළා උපාධිධාරිණියන් වීය. ඒ කාලයේ විදුහලේ කාල සටහන සකස් කළේ මා ය. මට නිළ නොලත් නීයෝජ්‍ය විදුහල්පති ලෙස කටයුතු කිරීමට සිදුවී තිබිණ. එදින උදයේම මට කතාකළ විදුහල්පතිතුමා, අලුතින් පැමිණෙන අයට වැඩ භාරගැනීමේ කටයුතු සදහා අවශ්‍ය උදව් කරණ ලෙසටත්, කාල සටහන සකස් කිරීමට අවශ්‍ය තොරතුරු ඔවුන්ගෙන් ලබාගන්නා ලෙසටත් මට පවරා සහාය පිණිස රෝහණ හවුල් කරගන්නා ලෙසද කීවේය.
වැඩිපුර ඉඩකඩ නොතිබුණු විදුහල් කාර්යාලයේ පැත්තක තිබුණු කුඩා මේසය මත අත්සන් පොත, පන්ති නාමලේඛන. පාසැල් සීනුව වශයෙන් භාවිත කළ, එල්ලා තිබෙන පැරණි ලොරි ‘රිම්’ එකට ගසා නාද කිරීමට යොදා ගන්නා ‘බෙල් පොල්ල’, ගම් බෝතලය, කර්යාල සහායක තිසේරා අයියාගේ බුලත් මඩිස්සලය වැනි කී නොකී ලට්ට ලොට්ට සියල්ලම තිබෙන්නේ ඒ මේසය උඩය. නාමලේඛන සහ අත්සන් පොත හොරෙන්ම ලිපිකරු මහතාගේ මේසය උඩ පැත්තකින් තබා, අපගේ රාජකාරිය සඳහා ඒ කුඩා මේසය මත ඉඩකඩ සලසා ගතිමි. විදුහල්පති තුමා, අලුත් ගුරුවරුන් එක් එක්කෙනා සමග කථා කර, මාරු හෝ පත්වීම් ලිපි බලා ඔවුන් අප වෙත යොමු කළහ.
අපවෙත එන අයගේ ලිපිලේඛන ගොනුවකට දැමීම, වෙනත් අවශ්‍ය තොරතුරු සටහන් කර ගැනීම, පන්ති භාරව සිටින අයට පැවරෙන වැඩ කටයුතු ආදිය පැහැදිලි කරදීම රෝහණ විසින් කරනලදී. කාල සටහන සකස් කිරීමට අවශ්‍ය තොරතුරු වන උපාධි විෂයයන් හෝ ගුරුපුහුණු ක්‍ෂේත්‍රය, ඉගැන්වීමට ප්‍රිය කරන විෂයය අනුපිළිවෙල ආදී තොරතුරු මම ලබාගතිමි. එදින අලුතින් පැමිණ සිටි අයගේ මුලික තොරතුරු ලබාගැනීමට පැය එකහමාරක් පමණ ගතවිය. ස්ථාන මාරු ලබා පැමිණි අය, රාජකාරි කටයුතු ගැන දන්නා නිසා ඔවුන්ගේ තොරතුරු සපයා ගැනීම පහසු විය.
නවක උපාධිධාරිණියන් තිදෙනාගෙන් තොරතුරු සඳහා ධනාත්මක ප්‍රතිචාර නොලැබිණ. ඒ තිදෙනාගෙන් පළමු ගුරු මෙනෙවිය උසස් පෙළ ආර්ථික විද්‍යාව පමණක් ඉගැන්විය හැකි බව තරයේම කියා සිටියාය. සිංහල සහ ඉතිහාසයද ඇයගේ උපාධි විෂයය විය. කෙසේ වෙතත් ඇයට සාමාන්‍ය පෙළ බුද්ධාගම, සිංහල, සාහිත්‍යය වැනි විෂයයක්ද ඉගැන්වීමට සිදුවන බව දැන්වූ විට එය ප්‍රතික්ෂේප කළාය. මේ නිසා ප්‍රශ්නය විසඳීම විදුහල්පතිට භාරකළ අපි අනිත් දෙදෙනාගේ තොරතුරු ලබාගෙන කාල සටහන සැලසුම් කළෙමු.
විදුහල්පතිතුමා ඇය සමග අප සිටි තැනට පැමිණ ‘මේ අලුත් මිස් වෙනුවෙන් වෙනසක් කරන්න බැරිද?’ කියා මගෙන් ඇසීය.
කළහැකි වෙනත් දෙයක් නොමැති නිසා
‘උසස් පෙළ ආර්ථික විද්‍යාව සියලුම පන්තිවල තිබෙන්නේ කාල ඡේද දහසයක් විතරයි’ මම කීමි.
‘මට ඉන්ග්ලිෂ් විතරක් දෙන්න’ ඇයගේ ඊ ළඟ ඉල්ලීම විය.
‘එහෙම කරන්න බැහැ. ඔය මිස්ගේ උපාධි සහතික අනුව උගන්නන්නට වෙනවා.’ විදුහල්පති කීය.
‘ඒ උනාට මට ඉන්ග්ලිෂ් හොඳට පුළුවන්’ ඇය නැවතත් කීවාය.
‘ලබන මාසේ විශ්‍රාම යන පොන්සේකා ගේ ඉන්ග්ලිෂ් කාල සටහන මේ මිස්ට දෙන්න පුලුවන්ද?’ විදුහල්පති මගෙන් ඇසීය.
කාල සටහන් සාරාංශය (synopsis) පෙරලා බැලු මට පොන්සේකා මහතාගේ සාමාන්‍ය පෙළ පන්ති පහක කාල ඡේද විස්සක් ඇති බව දැකගන්නට ලැබිණ.
‘එහෙනම් කාල ඡේද විස්සම දෙන්න වෙනවා’. එතකොට උසස් පෙළ ආර්ථික විද්‍යාව දහසයයි. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විස්සයි. සියල්ලම තිස් හයයි’ මම කීමි.
‘හා, එහෙම හොඳයි’ විදුහල්පති එකඟ විය.
එහෙත් නවක ගුරු මහත්මියගේ මුහුණ ඇඹුල් විය. එම වෙනසටද ඇය එකඟ නොවන හැටියක් පෙනේ. විදුහල්පති තුමා පණිවුඩයක් යවා පොන්සේකා මහතා කැඳවීය.
‘පොන්සේකා, මේ අලුත් මිස්ට ඉංග්‍රීසි පන්ති කිහිපයක් ඉල්ලනවා. ඔයාගෙන් කාල ඡේද විස්සක් ගන්නවා . කැමතිද?’ කියා ඇසීය.
ඔහු ඩබ්ලිව්. ඩබ්ලිව්. පොන්සේකාය. කවුරුත් ඔහු හැඳින්වුයේ වැඩි වැඩ (W.W) පොන්සේකා කියාය. ඔහු ඉගැන්වීම සැලකුවේ තමන්ට අයිති වැඩවලින් පස්වෙනි හෝ හයවන අංකය ලෙසටය. පළමුවෙනි දෙවැනි සියල්ල වැඩක් නැති වැඩි වැඩය.
‘කමක් නැහැ සර්, ඔක්කොම ගත්තත් කමක් නැහැ. මම අලුත් මිස්ට උදව් කරන්නම්’ කීවේය.
කෙසේ වෙතත් කාලඡේද තිස් හයක් ලැබුණු අලුත් මිස් අප දෙස රවා බලා, ගස්සමින්, යමක් මුමුණමින් පිටව ගියාය.
ඇය සමගම විදුහලට පැමිණි අනිකුත් ගුරු මෙනෙවියන් දෙදෙනාට උසස් පෙළ පමණක් විෂයය තිස් දෙක බැගින් ලබාදීමට හැකිවිය.
තමන්ට පමණක් කාල ඡේද තිස් හයක් දීම ගැන කිහිප වරක්ම විදුහල්පතිට විරෝධය පා ඇති ඇය අප දෙදෙනා සමගත් තරහකින් සිටියාය. ඈතින් ඇයගේ ඥාති වරියක් වන ගුරු මණ්ඩලයේ වෙනත් මහත්මියක් සමග අපට තදින්ම දොස් කියා ඇති බවද දැනගන්නට ලැබිණ. දැන් ඇය අපගේ මුහුණ බලන්නේවත් නැත.
විශ්ව විද්‍යාලයේදීද කිසි කෙනෙකු සමග වැඩි ආශ්‍රයක් නොමැතිව සිට ඇති ඇය, වැඩිපුර සිංහල නොදන්නා, හොඳින් ඉංග්‍රීසි කතා කරන කෙනෙකු බවට පෙන්වන පුහු උඩඟු කමකින් යුක්ත තැනැත්තියක බව දැනගන්නට ලැබිණ. ඒ ඉංග්‍රීසියට ‘කඩුව’ යන අන්වර්ථ නාමය පටබැඳුන අලුතමය. ඇය එතරම් ප්‍රසන්න පෙනුමක් නොමැති අතර තරමක් කාල වර්ණ ශරීර පැහයකින්ද යුක්තය. ඇයගේ ඉංග්‍රීසියට ආවැඩිම නිසා පළමුව ‘කඩුව’ වූ අතර පසුව, සරීර පැහැයත් එයට එකතු වී, විශ්ව විද්‍යාලයේදී ඇය ‘බලු කඩුව’ වී ඇත. මේ විහිලුවට ඇය තදින්ම කේන්ති ගන්නා බවද ආරංචි විය.
සති කිහිපයක් ගතවිය. ඇය කිසිම කෙනෙකු සමග ආශ්‍රයක් නොමැති බව කාගේත් නිරීක්ෂණය විය. කෙසේ හෝ ඇයගේ මේ මුරණ්ඩු කම මෙල්ල කළ යුතු බව කාටත් වැටහිණ.
එක් දිනක උදය කාලයේ ගුරු විවේක කාමරයේ ඇය සහ තව දෙතුන් දෙනෙක් පමණක් සිටින විට කාමරයට පැමිණි රෝහණ ප්‍රවෘත්ති පත්‍රයක්ද රැගෙන අයට ඉදිරිපසින් වූ සැප පුටුවෙහි වාඩිවී කකුල් හොඳින් උස්සා දිගහැරගෙන සිටියේය. ‘වනචර මිනිස්සු’ කියමින් කේන්තියෙන් නැගිට ගත් ‘අලුත් මිස්’ කෙලින්ම විදුහල්පති කාර්යාලයට ගොස් හඬමින් යමක් විදුහල්පතිට පවසා, ඇයට ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඇත.
ගුරු කාමරයේ සිටි තවත් කෙනෙකුට කකුල උස්සා තම සෙරෙප්පු අඩිය පෙන්වූ රෝහණ
‘බලා ගනිමු. දැන් ලොකු ජංජාලයක් වෙයි’ කීවේය.
සෙරෙප්පු දෙකේ අඩි වල ලියා තිබුණු වචන කියවූ කාටත් සිනා නවත්වා ගත නොහැකිවිය. මොහොතකින් තිසේරා අයියා ගුරු කාමරයට පැමිණ රෝහණට කතා කර,
‘සර්ට ප්‍රින්සිපල් සර් එන්න කියනවා’ යයි
පණිවුඩයක් කීවේය. විදුහල්පති කාර්යාලයට ගිය ඔහුට වියරු මුහුණක් ඇතිව සිටින ‘අලුත් මිස්’ දකින්නට ලැබිණ.
‘ආ.... රෝහණ මොකක්ද ඔයාගේ සෙරෙප්පු කුට්ටම ගැන මේ මිස් මොනවද කියනවා?’
‘මගේ සෙරෙප්පු කුට්ටම අලුත් එකක්. ඒක ‘බාටා’. තව මොනවද දැනගන්නට ඕනෑ?’
‘නැහැ ඕයි, ඕකේ අඩිය’
‘හා... අඩියද? අඩිය රබර්, මම හිතන්නේ ‘ආර්පිකෝ’, මිස්ට ගැලපෙන ඒවත් සාප්පුවේ තිබුණා.’ ඔහු එක දිගටම කියාගෙන ගියේය.
විදුහල්පතිතුමා අමාරුවෙන් සිනහව මැඩ ගනිමින්, තරමක් සැරෙන් මෙන්
‘ඔය සෙරෙප්පුවක් මට මෙහාට දෙනවා’ යයි කීය
‘ඇයි සර් මගේ සෙරෙප්පුව අතට ගන්නවද?
කියමින් සෙරෙප්පුවක් ගලවා ඔහු තම අතට ගත්තේය.
‘මට ඕකේ අඩිය පෙන්වන්න.’ කී විදුහල්පති
අහක බලා ගනිමින් සිනහව මැඩ ගත්තේය. රෝහණ උපහාසාත්මක හිනාවක් දමා, සෙරෙප්පු අඩිය විදුහල්පති තුමා පැත්තට හැරවීය.
‘ඔය මොකක්ද අඩියේ ලියලා තියෙන්නේ?’
විදුහල්පති, (මවාගත්) කේන්තියකින් ඇසීය.
සෙරෙප්පුව තමන් වෙතට හරවා බැලු රෝහණ මහත් පුදුමයකින් මෙන්
‘මෙහා.... මමත් දැනුයි දැක්කේ. “බලු කඩුව”........ අලුත් කඩු ජාතියක් වගෙයි. කවුද මේක විහිලුවකටද කොහෙද මගේ සෙරෙප්පු අඩියේ ලියලා’
කියන විටම අලුත් මිස් විදුහල්පති කාර්යාලයෙන් පිටතට ගියාය.
‘මෙන්න සර්, අනිත් සෙරෙප්පු අඩියේත් ඒකම ලියලා. මේක ගැන වහාම පරික්ෂණයක් පවත්වන්නට ඕනෑ’ යයි මහා හඬින් සිනාසෙන්නට විය.
‘මේ......රෝහණ, ඔය විකාර නවත්තලා දානවා. මම ඒ මිස්ට ගුරු මණ්ඩලයත් එක්ක සිටින හැටි කියා දෙන්නම්’
විදුහල්පති අවධාරණයෙන් කීවේය.
රෝහණ ගුරු කාමරයට නොගොස් කෙලින්ම සංගීත කාමරය පැත්තට ගියේය.
තවත් සති කිහිපයක් ගතවිය. අලුත් මිස් ටිකින් ටික කා සමගත් කුළුපග වෙන්නට විය. ඇය ජීවත්වීමේ අලුත් පිටුවක් පෙරලුවාය. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන්වත් නොලත් පන්නරයක් සමාජ ආශ්‍රයෙන් සති කිහිපයකදී ලබාගත්තාය.
පසු කලකදී ඇය ඉතාමත් මිත්‍රශීලී විෂයය බාහිර ක්‍රියාකාරකම් වලද නියැලුණු ගුරු මහත්මියක් වුවාය. සියල්ලන්ටම ‘කඩුව’ අමතක විය.
දයාරත්න වීරසේකර
අධ්‍යාපන රසකතා බ්ලොග් අඩවිය https://dayawee2.blogspot.com* අවසර ඇතිව උපුටා ගත්තකි .
පරිවර්තිත කෙටිකතාව

මම මගේ පිටිසරබද නිවහනේ සිටිමි. ඒ ඔක්තෝබර් මාසයේ අග හරියයි. වැස්ස ඇද හැලෙයි. මගේ නිවෙස පිටුපස කැලෑවකි. නිවෙස ඉදිරිපසින් පාරක් දිවෙන අතර ඉන් ඔබ්බෙහි ඇත්තේ විවෘත කෙත්වතුය. මේ පළාතේ නූස් කඳු ඇති අතර එක්වරම ඒවා තැනිතලා බවට පත්වෙයි. තැනිතලා භූමියෙහි සැතපුම් විස්සක් පමණ එහායින් චිකාගෝ නම් සුවිසල් නගරය පිහිටා ඇත.
මේ වැසි දවසේ, මගේ නිවෙස ඉදිරිපිට පාර දෙපැත්තේ වැවුණු ගස්වල කොළ වැස්ස මෙන් බිම ඇද හැලෙයි. කහ, රතු සහ රන් පැහැති කොළ කෙලින්ම වේගයෙන් බිම පතිත වෙයි. වැස්ස සිත්පිත් නැති ආකාරයෙන් ඒවා බිම පතිත කරවන හෙයින් අවසන් වතාවට රන් පැහැයෙන් දිලි දිලී පොළොවට පතිත වීමේ අවස්ථාව කොළවලට අහිමිය. ඔක්තෝබර් මාසයේදී මෙසේ පතිතවන කොළ තැනිතලාවලට ඉහළින් සුළඟේ ගසා ගෙන යා යුතුය. ඒවා ඉවත ගසා ගෙන යා යුත්තේ නර්තනයක යෙදෙමිනි.
ඊයේ උදෑසන පාන්දරින්ම අවදි වූ මම ඇවිදින්නට ගියෙමි. ඝනැති මීදුමක් වූ අතර මම එතුළ අතරමං වීමි. තැනිතලාව දෙසට ඇවිද ගිය මම පෙරළා කඳු වෙත පැමිණියෙමි. ගිය සෑම තැනෙකම මීදුම පවුරක් පරිද්දෙන් මා ඉදිරිපිට නැගුණේය. මීදුම මැදින් එක්වරම අස්වාභාවික ලෙස ගස් මතු වූයේ මැදියම් රැයේ නගරයේ වීදියක ඇති වීදි පහනක ආලෝක කවය වෙත අඳුරෙන් මතුවූ මිනිසුන් එක්වරම පැමිණියාක් මෙනි. ඉහළින්, දිවා ආලෝකය සෙමෙන් මීදුම විනිවිද එන්නට පටන් ගෙන තිබිණි. මීදුම ඉවත් වූයේ මන්දගාමීවය. තුරු මුදුන් සෙමෙන් සැලිණි. ගස් යට වූ මීදුම ඝනැතිද දම්පැහැතිද විය. එය කම්හල් නගරයක වීදිවල පැතිර පවතින දුම මෙන් වූයේය.
මීදුම මැදින් මහලු මිනිසෙක් මා කරා ආවේය. මම ඔහු හොඳින් දනිමි. මෙහි වසන මිනිස්සු ඔහු උමතු යැයි කියති. “ මිනිහගෙ මොළේ හොඳ නෑ,” ඔවුහු කියති. ඈත කැලයේ ඇති කුඩා නිවෙසක තනිවම ජීවත් වන ඔහු කුඩා බල්ලෙකු නිතරම වඩාගෙන යයි. බොහෝ දිනවල උදෑසන ඇවිදින විට මට ඔහු මුණ ගැසී ඇති අතර තම සහෝදර සහෝදරියන්, නෑනා මස්සිනාවරුන්, නැන්දා මාමාවරුන් වන මිනිසුන් ගැහැනුන් ගැන ඔහු මට කියා ඇත. මෙය මනස අවුල් කරවයි. තමා අසළ සිටින මිනිසුන් ගැහැනුන් වෙත සමීප වීමට නොහැකි බැවින් පුවත්පතකින් නමක් අහුලා ගන්නා ඔහු එය සමග මනසින් ක්‍රීඩා කරයි. කොක්ස් නමැත්තා තමාගේ මස්සිනා කෙනෙකැයි එක්තරා උදෑසනක ඔහු මා සමග කීවේය. මා මෙය ලියන මොහොත වන විට ඒ කොක්ස් නමැත්තා ජනාධිපතිවරණයට තරග කරයි. තවත් උදෑසනක ඔහු මා සමග කීවේ කරූසෝ නමැති ගායකයා ආවාහ කොට ගෙන සිටියේ ඔහුගේ නෑනා බවයි. “ ඒ මගේ නෝනගේ නංගී,” කුඩා බල්ලා තුරුලු කරගෙන ඔහු කීවේය. ඔහුගේ අළුවන් තෙත්බරිත දෑස මා දෙස ආයචනාත්මක ලෙස බලා සිටියේය. මා එය විශ්වාස කරනු දකින්නට ඔහුට ඇවැසි විය. “ මගේ නෝනා හරිම ලස්සණ කෙට්ටු කෙල්ලක්,” ඔහු පැවසීය. “ අපි ජීවත් වුණේ විශාල ගෙදරක. උදේට අපි අත් අල්ලාගෙන ඇවිද්දා. දැන් එයාගේ නංගි කරූසෝ කියන ගායකයාව බැඳලා. කරූසෝ දැන් අපේ පවුලෙ කෙනෙක්.”
කවුරුන් හෝ පැවසූ පරිදි මේ මහල්ලා කිසි දිනෙක විවාහ වූයෙක් නොවේ. මම ඉවත හැරී යන්නට ගියෙමි. සැප්තැම්බර් මාසයේ මුල් හරියේ දිනෙක එක් උදෑසනක සිය නිවෙස අසළින් දිවෙන පාරේ පසෙක ගසක් යට හිඳගෙන සිටින ඔහු මට හමුවිය. මට බුරා හැලුණු බල්ලා දිවගොස් ඔහුගේ දෑතෙහි සැඟව ගත්තේය. නිළියක සමග පැවැත්වූ හාදකමක් හේතුවෙන් සිය බිරිය සමග ප්‍රශ්නයකට මැදිවූ කෝටිපතියෙකුගේ කතාවෙන් ඒ දිනවල චිකාගෝ නුවර පුවත්පත් පිරී තිබිණි. ඒ නිළිය තමාගේ සොහොයුරියකැයි මහල්ලා මට කීවේය. ඔහුට වයස අවුරුදු හැටක් සහ පුවත්පත්වල සඳහන් වූ නිළියගේ වයස අවුරුදු විස්සක් වුවද ඔහු ඔවුන් එක්ව ගත කළ ළමා කාලය ගැන කතා කළේය. “ මේ දැන් අපි දිහා බලපුවම එහෙම නොපෙනුණත් ඒ කාලෙ අපි දුප්පත්,” ඔහු කීවේය. “ ඒක ඇත්ත. අපි ජීවත් වුණේ කඳු බෑවුමක හදාපු පුංචි ගෙදරක. එක පාරක් තද කුණාටුවක් ඇති වෙච්ච දවසක හුළඟට අපේ ගේ ගහගෙන යන්නම ගියා. අප්පේ හුළඟ හමාපු තරමක් ! අපේ තාත්තා වඩුවෙක්. උන්දෑ අනුන්ගේ ගෙවල් හයියට හැදුවට අපේ ගෙදර හයියට හදලා තිබුණේ නෑ.” ඔහු ශෝකයෙන් යුතුව හිස සෙලවූයේය. “ අන්තිමට මගේ නංගී අමාරුවේ වැටුණා. අපේ ගෙදර හයියට හදලා තිබුණේ නෑ.” මා එතැනින් නික්ම ඇවිද යත්ම ඔහු පැවසීය.
********
අපගේ ගම්මානයට සෑම උදෑසනකම බෙදා හරිනු ලබන චිකාගෝ පුවත්පත් මාසයක් දෙකක් යනතුරු එක්තරා මිනීමැරුමක විස්තරවලින් පිරී තිබිණි. චිකාගෝ නුවර එක් මිනිසෙකු සිය බිරිය මරා දමා තිබුණු අතර එම මිනීමැරුමට හේතුවක් තිබෙන බවක් නොපෙනුණි. ඒ කතාව මීට සමාන යමකි:
දැනට නඩු විභාගයට මුහුණ දෙමින් සිටින, නිසැකවම එල්ලා මරන්නට නියම වනු ඇති ඒ මිනිසා පාපැදි කම්හලක ෆෝමන්වරයෙකු වූ අතර සිය බිරියද ඇගේ මවද සමග තිස් දෙවැනි වීදියේ වූ මහල් නිවාසයක ජීවත් විය. තමා සේවය කළ කම්හලේ කාර්යාලයේ වැඩ කළ තරුණියකට ඔහු ආදරය කළේය. අයෝවා පෙදෙසේ නගරයක සිට පැමිණි ඇය මුලින්ම චිකාගෝ නුවරට පැමිණි කාලයේ සිය නැන්දා කෙනෙකු සමග ජීවත් වූවාය. පසු කලෙක නැන්දණිය මිය ගියාය. අළුවන් දෙනෙතක් ඇති, දැවැන්ත සිරුරැති දරදඬු පෙනුමෙන් යුක්ත මිනිසෙකු වූ ෆෝමන්වරයාට පෙනුණේ මෙලොව සිටින රූමත්ම කාන්තාව ඇය බවයි. කම්හලේ එක් කොණක් පිටතට නෙරා යාමෙන් සෑදුණු ස්ථානයක ජනේලයක් අසළ ඇයගේ මේසය විය. ඊට පහතින් වූ වැඩපොළේ ජනේලයක් අසළ ෆෝමන්වරයාගේ මේසය තිබිණි. තමාගේ අංශයේ සෑම කම්කරුවෙකු විසින්ම කරන ලද වැඩවල වාර්තා සකස් කරමින් ඔහු සිය මේසය අසළ වාඩි වී සිටියේය. ඔහු සිය කාර්යයෙන් හිස නගා බලන විට ඇය තම මේසයෙහි හිඳගෙන වැඩ කරන සැටි දුටුවේය. ඇය අසාමාන්‍ය ලෙස සුන්දරය යන අදහස ඔහුගේ හිසට ඇතුළු විය. ඇය වෙත ළඟා වීමට හෝ ඇයගේ ආදරය දිනා ගැනීමට ඔහු කල්පනා නොකළේය. යමෙකු තාරකාවක් දෙස බලන ලෙස හෝ ඔක්තෝබර් මාසයේදී ගස්වල කොළ රතු සහ කහ රන් පැහැයට හැරුණු විට මිටි කඳුවලින් හෙබි පිටිසරබද භූමිභාගයක් දෙස බලන ලෙස ඔහු ඇය දෙස බලා සිටියේය. “ඈ පිවිතුරු, නොඉඳුල් වස්තුවක්,” ඔහු කල්පනා කළේය. “ ජනේලය අසළ වාඩි වී වැඩ කරන අතරතුර ඈ මොනවා ගැන සිතමින් සිටිනවා විය හැකිද?”
සිය කල්පනා ලෝකයේදී ඔහු අයෝවාහි සිට පැමිණි මේ තරුණිය තිස් දෙවැනි වීදියේ පිහිටි තම තට්ටු නිවහන වෙතද සිය බිරියගේ සහ නැන්දණියගේ අභිමුවටද රැගෙන ගියේය. මුළු දවස තිස්සේම කම්හලේදීත් වැඩ නිමවී ගිය පසු නිවහනේදීත් ඇගේ රුව ඔහු සිය මනසේ රඳවා ගෙන සිටියේය. සිය තට්ටු නිවහනේ ජනේලය අසළ සිට ගෙන ඔහු ඉලිනොයි දුම්රිය මාර්ගයේ රේල් පීලි දෙසද ඉන් ඔබ්බෙහි වූ විල දෙසද බලන කල තරුණියද ඔහු පසෙකින් සිටගෙන සිටියාය. පහළ මාර්ගයෙහි කාන්තාවන් ඇවිද ගිය අතර ඒ සෑම කාන්තාවක් තුළම ඔහු අයෝවාහි සිට පැමිණි තරුණියගේ යම් අංග ලක්ෂණයක් දුටුවේය. එක් කාන්තාවක් ඒ තරුණිය මෙන් ඇවිද ගිය අතර තව එකියක් ඇය සිහි ගන්වන ආකාරයේ හස්ත මුද්‍රාවක් පෑවාය. ඔහුගේ බිරිය සහ නැන්දණිය හැරුණු කල ඔහු දුටු සියලුම කාන්තාවන් ඔහුගේ මනසේ විසූ තරුණියට සමාන විය.
ඔහුගේ නිවෙසේ හුන් කාන්තාවෝ දෙදෙන ඔහු ප්‍රහේළිකාවකට පත්කොට වික්ෂිප්තභාවයට පමුණුවාලූහ. හදිසියේම ඔවුහු ආදරය නොහිතෙන සාමාන්‍ය වස්තූන් බවට පත් වූහ. විශේෂයෙන්ම ඔහුගේ බිරිය සිය සිරුරට ඇලුණු අසාමාන්‍ය, විරූපී මස් වැදැල්ලක් ලෙස ඔහුට පෙනිණි.
සවස වැඩ නිමවීමෙන් පසුව නිවෙසට ගිය ඔහු තමාට සුපුරුදු තැන හිඳගෙන රාත්‍රී ආහාරය අනුභව කළේය. ෆෝමන්වරයා සාමාන්‍යයෙන් නිහඬ මිනිසෙකු බැවින් ඔහු කතාබහේ නොයෙදීම ගැන කිසිවෙක් සැලකිල්ලක් නොදැක්වූහ. රාත්‍රී ආහාරයෙන් පසුව ඔහු සිය බිරිය සමග චිත්‍රපටියක් බැලීමට ගියේය. ඔවුන්ට දරුවන් දෙදෙනෙකු වූ අතර ඔහුගේ බිරිය තවත් දරුවෙකු අපේක්ෂාවෙන් සිටියාය. පෙරළා තට්ටු නිවහනට පැමිණි ඔවුහු හිඳගත්හ. පියගැටපෙළවල් දෙකක් නැගීමෙන් ඕ වෙහෙසට පත්ව සිටියාය. වෙහෙසෙන් කෙඳිරිගාමින් ඇය සිය මව අසලින් පුටුවක හිඳගෙන සිටියාය.
ඔහුගේ නැන්දණිය ඉතා යහපත් කාන්තාවක වූවා කිසිදු වැටුපක් නොලබා මෙහෙකාරියක ලෙස ගේ දොර සියලු වැඩපළ කළාය. සිය දියණියට චිත්‍රපටියක් බලන්නට යන්නට ඕනෑ වූ විට ඇය සිනාසී එසේ කරන ලෙස කීවාය. “ ඔයා යන්න. මට බෑ. මෙතන වාඩිවෙලා ඉන්න එක වැඩිය හොඳයි.” කී ඇය වාඩිවී පොතක් කියවන්නට වූවාය. අවුරුදු නවයේ පිරිමි ළමයා නැගිට සෙල්ලම් අශ්වයා පදින්නට ඕනෑ වී හැඬුවේය. නැන්දණිය ඔහු එහි රැගෙන ගියාය.
ෆෝමන්වරයා සහ ඔහුගේ බිරිය වැඩ නිමවී පැමිණි විට මේ වැඩිහිටියෝ තිදෙනා නින්දට යන්නට පෙර පැයක් දෙකක් නිහඬව හිඳගෙන සිටිති. මිනිස් පුවත්පතක් කිවයන බවක ඇඟවීය. ඔහු සිය දෑත දෙස බැලුවේය. ඒවා කෙතරම් හොඳින් සේදුවද පාපැදි රාමුවල වූ ග්‍රීස් ඔහුගේ නියපොතු යට අඳුරු පැල්ලම් ඉතිරි කළේය. යතුරුලියනයේ යතුරුපුවරුව මත නර්තනයේ යෙදෙන අයෝවා තරුණියගේ සුදු කඩිසර දෑත ඔහුට සිහිපත් විය. ඔහුට අපුලක්ද අපහසුබවක්ද දැනිණි.
ෆෝමන්වරයා තමන්ට ආදරය කරන බව දැනගත් කම්හලේ තරුණිය ඒ සම්බන්ධයෙන් මඳක් උනන්දු වූවාය. සිය නැන්දණිය මියගිය පසු ඕ වෙනම කුලී කාමරයක පදිංචියට ගිය අතර ඇයට සවස් වරුවේ කරන්නට කිසිදු කාර්යක් නොවීය. ෆෝමන්වරයා ඇයට වැදගැම්මකට නැති කෙනෙකු වුවද එක්තරා ආකාරයකින් ඇයට ඔහුගෙන් ප්‍රයෝජනයක් ගැනීමට පුළුවන. ඇයට ඔහු එක්තරා ආකාරයක සංකේතයක් බවට පත් වූයේය. ඇතැම් විටෙක ඇයගේ කාර්යාලයට එන ඔහු දොර අසල මඳ වේලාවක් සිටගෙන සිටියි. ඔහුගේ විශාල දෑත කලු පැහැති ග්‍රීස්වලින් වැසී ඇත. ඇය ඔහු දෙස බැලුවද ඇය ඔහු නොදුටුවාය. ඇයගේ මනෝ ලෝකයෙහි එතැන සිටගෙන සිටියේ උස, හීන්දෑරි තරුණයෙකි. ඇයට පෙනුණු එකම දෙය වූයේ අසාමාන්‍ය ගින්නකින් දැවෙන්නට පටන්ගෙන ඇති ෆෝමන්වරයාගේ අළුවන් දෑස පමණෙකි. ඒ දෑසින් පළවූයේ දැඩි ආශාවකි; නියාලු, භක්තිමත් ආශාවකි. එවන් දෑසක් සතු මිනිසෙකු ළඟ සිටින විට තමන්ට බියවීමට කිසිදු හේතුවක් නැති බව ඇයට දැනිණි.
එවැනි පෙනුමක් දෑසෙහි රඳවාගත් ආදරවන්තයෙකු තමා ළඟට පැමිණීම ඇයට අවශ්‍ය විය. ඉඳහිට, එනම් සති දෙකකට වරක්වත්, අවසන් කළ යුතු වැඩ ඇති බව අඟවමින් ඇය මඳක් රෑ බෝ වනතුරු කාර්යාලයේ රැඳී සිටියාය. ෆෝමන්වරයාද කම්හලේ රැඳී සිටින සැටි ඇයට ජනේලයෙන් පෙනිණි. සියලු දෙනාම නික්ම ගිය පසු ඇයද සිය වැඩ නිමකර වීදියට පිළිපන්නාය. ඒ මොහොතේම ෆෝමන්වරයාද කම්හලේ දොරටුවෙන් පිටතට ආවේය.
ඇය ට්‍රෑම් රථයට ගොඩවන ස්ථානය දක්වා ගොඩනැගිලි පේළි හයක පමණ දුරක් ඔවුහු එක්ව වීදිය දිගේ ඇවිද ගෙන ගියහ. කම්හල පිහිටා තිබුනේ සවුත් චිකාගෝ නම් ස්ථානයෙහි වූ අතර ඔවුන් ඇවිදගෙන යත්ම සැන්දෑ කරුවල වැටෙන්නට පටන් ගත්තේය. පින්තාරු නොකළ ලෑලි ගෙවල් වීදිය දෙපැත්තේ විය. අපිරිසිදු මුහුණුවලින් යුත් ළමයි කෑ කෝ ගසමින් දූවිලි වැකුණු පාර දිගේ දිව ගියෝය. ඔවුහු පාලමක් පසු කළහ. ගල්අඟුරු ගෙන යන බත්තල් දෙකක් අත්හැර දමනු ලැබ පහත වූ ඇළෙහි දිරා යමින් තිබිණි.
ඔහු බර අඩි තබමින් ඇය පසෙකින් ඇවිද්දේ සිය දෑත් සඟවා ගන්නට වෑයම් කරමිනි. කම්හලෙන් පිටවීමට ප්‍රථම හොඳින් අතුල්ලා පිරිසිදු කළද සිය දෑත බරැති අබලි ද්‍රව්‍ය කැබලි දෙකක් මෙන් සිය සිරුර දෙපසින් එල්ලා වැටෙන බව ඔහුට පෙනිණි. එක් ගිම්හාන ඍතුවක කිහිප වතාවක් පමණක් ඔවුන් මෙලෙස එක්ව ඇවිද ගොස් තිබිණි. “හරි ග්‍රීෂ්මයි,” ඔහු කීවේය. කාලගුණය ගැන හැරුණු විට වෙන කිසිදු දෙයක් සම්බන්ධයෙන් ඔහු ඇය හා කතා නොකළේය. “හරි ග්‍රීෂ්මයි. මං හිතන්නේ වහියි.” ඔහු කීවේය.
කවදා හෝ තමා වෙත පැමිණෙනු ඇති පෙම්වතා ගැන; උස සුදු තරුණයා ගැන, ඉඩම් හිමි ධනවතා ගැන ඇය සිහින මැව්වාය. ඇය පසෙකින් ඇවිද යන මේ කම්කරුවා ආදරය සම්බන්ධයෙන් ඇයගේ මනසෙහි වූ සංකල්පය සමග කිසිසේත් ගැළපුණේ නොවේ. ඇය ඔහු සමග ඇවිද ගියේත්, කිසිවෙකුගේ දෑසට නොපෙනී ඔහු සමග ඇවිද යන්නට අනෙක් අය පිටව යනතුරු කාර්යාලයේ රැඳී සිටියේත් ඔහුගේ දෑස නිසාය; ඔහුගේ දෑසෙහි වූ ආශාවෙන් පිරුණු එමෙන්ම නියාලු බවින් ඇය වෙත නැවුණු යමක් නිසාය. ඔහු අසලදී කිසිදු අන්තරායක් නොවුණු අතර එවැන්නක් නොතිබෙනුද ඇත. තමාට ඕනෑවට වඩා සමීප වීමට, තමා ඇල්ලීමට කිසිදා ඔහු උත්සාහ නොකළේය. ඔහු සමග සිටියදී ඇය ආරක්ෂිත විය.
සන්ධ්‍යා කාලයේදී සිය තට්ටු නිවහනේ විදුලි බුබුල යට ඔහු සිය බිරිය සහ නැන්දණිය සමග හිඳ ගෙන සිටියේය. යාබද කාමරයේ ඔහුගේ දරු දෙදෙනා නිදාගෙන සිටියෝය. ටික කලෙකින් ඔහුගේ බිරිය තව දරුවෙකු බිහිකරනු ඇත. ඔහු සහ ඔහුගේ බිරිය චිත්‍රපටියක් නරඹා පැමිණ තිබූ අතර තව ටික වේලාවකින් ඔවුන් නිදන්නට යනු ඇත.
ඇඳෙහි වැතිර නොනිදා කල්පනා කරමින් ඔහු සිටිනු ඇත. යාබද කාමරයේ නිදන නැන්දණිය ඔබ මොබ පෙරළීමෙන් ඇඳෙහි දුනු කිරි කිරි ගායි. ජීවිතය ඕනෑවට වඩා හුරුපුරුදු එකක් විය. උනන්දුවෙන් යුතුව යමක් අපේක්ෂාවෙන් ඔහු නොනිදා වැතිර සිටියේය- එහෙත් කුමක් අපේක්ෂාවෙන්ද ?
අපේක්ෂා කරන්නට කිසිවක් නොවීය. එක් දරුවෙක් හඬන්නට විය. ඇඳෙන් නැගිට සෙල්ලම් අශ්වයා පදින්නට ඔහුට වුවමනාය. කිසිදු අසාමාන්‍ය හෝ ප්‍රියජනක දෙයක් සිදු නොවනු ඇත. එසේ සිදුවීමටද බැරිය. ජීවිතය ඕනෑවට වඩා හුරුපුරුදු එකක් විය. මේ තට්ටු නිවහන තුළ සිදුවන කිසිම දෙයක් කිසිම ආකාරයකින් ඔහු ප්‍රබෝධවත් කිරීමට සමත් නොවීය; ඔහුගේ බිරිය පවසන දේවල්, ඉඳහිට ඇය කෙරෙන් ප්‍රකාශවන උනන්දුවෙන් තොර ආල හැඟීම්, කිසිදු ගෙවීමක් නොලබා මෙහෙකාරියකගේ වැඩපළ කරන සිය නැන්දණියගේ යහපත්බව මේ කිසිවක් ඔහු ප්‍රබෝධවත් කිරීමට සමත් වූයේ නොවේ.
තට්ටු නිවහනේ විදුලි බුබුල යට වාඩිවී ඔහු පුවත්පතක් කියවන බව ඇඟවූයේය. එහෙත් සැබවින්ම ඔහු කල්පනා කරමින් සිටියේය. හෙතෙම සිය දෑත දෙස බැලීය. ඒවා විශාල හැඩයකින් තොර කම්කරුවෙකුගේ දෑත් විය.
අයෝවා සිට පැමිණි තරුණියගේ රුව කාමරයේ ඔබ මොබ සක්මන් කළේය. ඇයත් සමග තට්ටු නිවහනෙන් පිටවූ ඔහු නිහඬව සැතපුම් ගණනාවක් පාරවල් දිගේ ඇවිද්දේය. වචන ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවක් නොවීය. ඔහු ඇයත් සමග මුහුදු තෙරද කඳු ශිඛරවලද ඇවිද්දේය. රාත්‍රිය පැහැදිලිද නිහඬද වූ අතර තාරකා දිලිසිණි. ඇයද තාරකාවක් විය. වචන ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවක් නුවූයේය.
ඇගේ දෑස තාරකා බඳු විය. ඇයගේ දෙතොල සහන් එළියෙන් යාන්තමින් ආලෝකවත් වූ තැනිතලාව පරයා නැගුණු මෘදු කුඩා කඳු වැනි වූයේය. “ මට ඇය ලබා ගන්න බෑ. ඇය තාරකා වගේ බොහෝම ඈතයි ඉන්නේ,” ඔහු සිතුවේය. “ඇය තාරකාවක් වගේ ලබාගන්න බැරි දෙයක්. ඒත් තාරකා වගේ නොවෙයි. ඇය හුස්ම ගන්නවා. ජීවත් වෙනවා. මට වගේම ඈටත් ආත්මයක් තියෙනවා.”
මීට සති හයකට පමණ උඩදී, එක්තරා සන්ධ්‍යා කාලයක, පාපැදි කම්හලක ෆෝමන්වරයෙකු ලෙස සේවය කළ මිනිසා සිය බිරිය මරා දැමූ අතර දැන් ඔහුට විරුද්ධව මිනීමැරුම් නඩුවක් විභාග වෙයි. සෑම දිනෙකම පුවත්පත් පිරී තිබුණේ මේ පුවතෙනි. මිනීමැරුම සිදු වූ දා සවස සුපුරුදු පරිදි ඔහු සිය බිරිය චිත්‍රපටියක් නරඹන්නට රැගෙන ගොස් තිබිණි. ඔවුහු රාත්‍රී නවයට පමණ පෙරළා නිවහනට එන්නට පටන් ගත්හ. ඔවුන්ගේ තට්ටු නිවහන පිහිටා තිබූ ගොඩනැගිල්ල අසල තිස් දෙවැනි වීදියේ එක් වංගුවකදී පටු වීදියකින් හදිසියේම මතුවූ මිනිස් රුවක් එසැණින්ම යළි ඒ පටු වීදියටම වැදිණි. සිය බිරිය මරා දැමීමේ අදහස ඔහුගේ ඔලුවට වැටෙන්නට ඇත්තේ මේ සිද්ධියෙනි.
තට්ටු නිවහන පිහිටා තිබූ ගොඩනැගිල්ලට සමීප වූ ඔවුහු බිම්මහලෙහි අඳුරු ශාලාවට ප්‍රවේශ වූහ. ඉන් අනතුරුව එක් ක්ෂණයකින් ඔහු සිය සාක්කුවෙන් පිහියක් එළියට ගත්තේ පැහැදිලිවම ඒ ගැන නොසිතාය. “ අර පටු වීදියට වැදුණු මිනිහා අප මරන්නට හිතාගෙන හිටියා නම්,” ඔහුට සිතිණි. පිහිතලය දිගහැරගෙන වේගයෙන් හැරුණු ඔහු ඉන් සිය බිරියට ඇන්නේය. එක් වරක් දෙවරක්---- දොළොස් වතාවක් උමතුවෙන් මෙන් ඔහු ඇයට පිහියෙන් ඇන්නේය. විලාප හඬක් නැගිණි. ඉන් අනතුරුව ඔහුගේ බිරියගේ මළ සිරුර බිම පතිත විය.
බිම්මහලෙහි ගෑස් ආලෝකය දැල්වීම ගොඩනැගිල්ල පිරිසුදු කරන්නා විසින් අතපසු කරනු ලැබ තිබිණි. පසුව, මිනීමැරුම කරන්නට තමාට හේතු කාරක වූයේ මෙසේ ගෑස් ආලෝකය නොදැල්වීමත්, අඳුරු මිනිස් රුවක් පටු වීදියකින් මතුව යළි එය වෙත පළායාමත් බව ෆෝමන්වරයා තීරණය කළේය. “ගෑස් ආලෝකය දල්වලා තිබුණා නම් මම කවදාවත් එහෙම දෙයක් කරන්නේ නෑ,” ඔහු තමාටම කියා ගත්තේය.
ඔහු කල්පනා කරමින් බිම්මහල් ශාලාවෙහි සිටගෙන සිටියේය. ඇයගේ බිරිය මිය ගොස්ය. ඒ සමගම ඇගේ නූපන් දරුවාද මිය ගොස්ය. ඉහළින් වූ තට්ටු නිවහන්වල දොරවල් ඇරෙන හඬ ඇසිණි. මිනිත්තු කිහිපයක් යන තුරු කිසිවක් සිදු වූයේ නැත. සිය බිරිය සහ ඇගේ නූපන් දරුවා මිය ගොස් තිබුණා පමණය- එපමණය.
ඉක්මනින් සිතමින් ඔහු උඩ තට්ටුවට දිවුවේය. පිය ගැට පෙළෙහි පහළ කොටසේ තිබූ අන්ධකාරය තුළ ඔහු පිහිය යළි සිය සාක්කුවට දමා ගත්තේය. පසුව අනාවරණය වූ ආකාරයට ඔහුගේ දෑත්වලවත් ඇඳුම්වලවත් රුධිරය තැවරී තිබුණේ නැත. තැතිගැන්ම මඳක් පහවූ පසු නානකාමරයට ගිය ඔහු පිහිය ප්‍රවේසමෙන් සේදුවේය. ඔහු සියලු දෙනාටම කීවේ එකම කතාවය. “ අපිව මගදී අල්ලා ගත්තා,” ඔහු පැහැදිලි කළේය. “ පටු වීදියකින් මතු වෙච්චි මිනිහෙක් මායි මගේ නෝනයි පිටිපස්සෙන් ගේ ළඟටම ආවා. ඒ මිනිහා පහළ ශාලාව ඇතුළටත් අපි පස්සෙන් ඇතුළු වුණා. කිසිම එළියක් තිබුණේ නෑ. ගොඩනැගිල්ල පිරිසිදු කරන මිනිහා ගෑස් එළිය පත්තු කරන එක අතපසු කරලා තිබුණා.”- ඉදින්, අන්ධකාරයේ සටනක් සිදු වී තිබූ අතර ඔහුගේ බිරිය මරා දමා තිබිණි. එය සිදු වූයේ කෙසේ දැයි කියන්නට ඔහුට නොහැකි විය. “කිසිම එළියක් තිබුණේ නෑ. ගොඩනැගිල්ල පිරිසිදු කරන මිනිහා ගෑස් එළිය පත්තු කරන එක අතපසු කරලා තිබුණා,” ඔහු දිගින් දිගටම කියන්නට විය.
දවසක් දෙකක් යනතුරුම ඔවුන් ඔහුගෙන් විශේෂයෙන් ප්‍රශ්න නොකළ බැවින් පිහිය වීසි කර දමන්නට ඔහුට කාලය ලැබිණි. දිගු වේලාවක් ඇවිද ගිය ඔහු පාලම යට ගල් අඟුරු බත්තල් දිරාපත්වමින් තිබුණු සවුත් චිකාගෝහි ගඟට පිහිය වීසි කළේය. පිවිතුරු මෙන්ම නොඉඳුල්, ලබා ගත් නොහැකි ඈතක විරාජමාන වූ, තාරකාවක් බඳු මෙන්ම තාරකාවක් බඳු නොවූ තරුණිය ට්‍රෑම් රථය නැවතුමට කැඳවාගෙන යෑමට ගිම්හානයේ සැඳෑ කාලවල ඔහු ඇය සමග තරණය කළ පාලම තිබූ ගඟට ඔහු පිහිය වීසි කළේය.
ඉන් අනතුරුව ඔහු අත් අඩංගුවට ගනු ලැබූ අතර ඔහු සියල්ල පාපෝච්චාරණය කළේය. තමන් සිය බිරිය මැරුවේ මන්දැයි කියන්නට තමන් නොදන්නා බව කී ඔහු කාර්යාලයේ සිටි තරුණිය සම්බන්ධයෙන් කිසිවක් නොකියන්නට ප්‍රවේසම් විය. අපරාධයට හේතුව සොයන්නට පුවත්පත් උත්සාහ කළේය. ඒවා තවමත් ඒ උත්සාහය දරමින් සිටියි. ඇතැම් සන්ධ්‍යා කාලයක ඔහු ඇය හා ඇවිද යනු කිසිවෙකු දැක තිබූ අතර ඇයගේ නමද මේ සිදුවීම හා ගෑවී ඇගේ ඡායාරූපය පුවත්පත්වල පළ විණි. සිය ඡායාරූපය පුවත්පත්වල පළවීම සම්බන්ධයෙන් ඇය දැඩි ලෙස කෝපයට පත්වූයේ මේ මිනිසා සමග තමාගේ කිසිම සම්බන්ධයක් නුවූ බව ඔප්පු කරන්නට ඇයට හැකි වූ බැවිනි.
********
නගර සීමාවට ඔබ්බෙන් පිහිටි අපේ ගම්මානය වසාගෙන ඊයේ උදෑසන තද මීදුමක් පැතිරුණු අතර මම උදෑසනින්ම බොහෝ දුර ඇවිදින්නට ගියෙමි. පහත් බිම්වලින් පෙරළා පැමිණ කඳු දෙසට ඇවිද ගිය මට ඉතා පුදුම සහගත නෑදෑ පරපුරක් ඇති මහල්ලා මුණ ගැසිණි. කුඩා බල්ලා තුරුළු කරගෙන ඔහු ටික වේලාවක් මා පසෙකින් ඇවිදගෙන ආවේය. අධික ශීතල කරණ කොට ගෙන බල්ලා කෙඳිරිගාන්නටත් වෙවුලන්නටත් පටන් ගත්තේය. මීදුම නිසා මහල්ලාගේ මුහුණ මට හරි හැටි නොපෙනිණි. මීදුම් වළා මැදින් එය ඉදිරියටත් පසුපසටත් චලනය විය. අපේ ගම්මානයට සෑම උදෑසනකම පැමිණි පුවත්පත්වල සඳහන් වූ, සිය බිරිය මරා දැමූ මිනිසා ගැන ඔහු කතා කරන්නට වූයේය. තමාත්, දැන් මිනීමරුවෙකු බවට පත්වී සිටින තම සහෝදරයාත් එක්ව වරක් ගෙවූ ජීවිතයක් ගැන දීර්ඝ කථාන්තරයකට මා පසෙකින් ඇවිදිමින් ඔහු අවතීර්ණ විය. “ ඒ මගේ මල්ලී.” ඔහු සිය හිස වනමින් යළි යළිත් කීවේ මා එය විශ්වාස නොකරතැයි සිතුවාක් මෙනි. ඔහු කියන කාරණාව තහවුරු කරන්නට ඔහුට වුවමනා විය. “ ඔය මිනීමැරුමට අහුවෙලා ඉන්න මල්ලියි මායි පොඩි කාලෙ ගෙව්වෙ එකට.” හෙතෙම යළිත් කතාව පටන් ගත්තේය. “අපේ තාත්තාගේ ගෙදර අටුව පිටිපස්සේ අපි එකට සෙල්ලම් කළා. අපේ තාත්තා නැවක නැගලා යන්න ගියා. ඒ නිසා තමයි අපි දෙන්නගේ නම් වෙනස් වුණේ. මහත්තයට තේරෙනවා ඇතිනේ? අපි දෙන්නගෙ නම් දෙක වෙනස්. ඒත් අපි සහෝදරයෝ.අපි දෙන්නගෙම තාත්තා එක්කෙනෙක්. අපේ තාත්තාගේ ගෙදර අටුව පිටිපස්සේ අපි එකට සෙල්ලම් කළා. අපි පැය ගාණක් අටුවෙ පිදුරු ගොඩ උඩ වැතිරිලා ඉන්නවා. එතැන හරිම උණුසුම්.”
මීදුම තුළ මහල්ලාගේ සිහින් සිරුර ගැට සහිත කුඩා ගසක් බඳු තත්ත්වයකට පත් විය. ඉන් අනතුරුව එය අහසේ පාවෙන වස්තුවක් බවට පත් වූයේය. පෝරකයක එල්ලෙන සිරුරක් මෙන් එය පසුපසටත් ඉදිරියටත් පැද්දෙන්නට විය. ඔහුගේ තොල්වලින් මුමුණන කතාව විශ්වාස කරන ලෙස ඔහුගේ මුහුණ ආයාචනා කළේය. මගේ මනස තුළ, ගැහැනුන් හා මිනිසුන්ගේ ඥාති සබඳතා සියල්ල එකම අවුල් ජාලයක් බවට පත් විය. සිය බිරිය මරා දැමූ මිනිසාගේ ආත්මය මා පසෙක සිටි කුඩා මහල්ලාගේ සිරුර වෙත පැමිණියේය.
නගරයේ අධිකරණයදී විනිශ්චයකාරවරයෙකු ඉදිරිපිට කියන්නට නොහැකි කතාවක් මා හා පවසන්නට එය දැඩි ප්‍රයත්නයක් දැරීය. මිනිස් වර්ගයාගේ හුදෙකලාබවෙහි සම්පූර්ණ කතාව, ප්‍රාප්ත කර ගත නුහුණු සුන්දරත්වයට ළඟා වන්නට දැරූ ප්‍රයත්නය, හුදෙකලාබවින් උමතුව බල්ලෙකු තුරුළු කරගෙන මීදුම පිරි උදෑසනක පිටිසරබද පළාතක පාරක් අද්දර සිටගෙන සිටි යමක් මුමුණන මහල්ලෙකුගේ තොල්වලින් ප්‍රකාශ වීමට යත්න දැරීය.
මහල්ලා කෙතරම් තදින් බල්ලා තුරුළු කරගෙන සිටියේද යත් ඌ වේදනාවෙන් කෙඳිරි ගාන්නට පටන් ගත්තේය. එක්තරා ආකාරයක කම්පනයක් ඔහුගේ සිරුර සොලවාලීය. ඔහුගේ ආත්මය සිරුරින් මිදී මීදුම මැදින් තැනිතලාව උඩින් නගරය වෙත, නගරයේ සිටින ගායකයා වෙත, දේශපාලනඥයා වෙත, කෝටිපතියා වෙත, මිනීමරුවා වෙත, සොහොයුරන් වෙත, මස්සිනාවරුන් වෙත, සොහොයුරියන් වෙත යන්නට දඟලන බවක් පෙනිණි. මහල්ලාගේ අභිලාෂයෙහි තීව්‍රබව කෙතරම් වැඩිවීද යත් අනුකම්පාවෙන් මගේ සිරුර වෙවුලන්නට පටන් ගත්තේය. ඔහුගේ දෑත කුඩා බල්ලාගේ සිරුර වටා කෙතරම් තදින් වෙලුණේද යත් ඌ වේදනාවෙන් කෑ ගැසීය. මම ඉදිරියට පැන ඔහුගේ දෑත බල්ලාගෙන් ඉවතට ඇද දැමීමි. බිම වැටුණු බල්ලා කෙඳිරි ගාමින් වැතිර සිටියේය. ඌට තුවාල වී ඇති බවට සැකයක් නොවීය. සමහරවිට උගේ ඉල ඇට බිඳී ගොස් තිබෙන්නට හැකිය. මහල්ලා සිය දෙපා අසල බිම වැතිර සිටින බල්ලා දෙස බැලූයේ පාපැදි කම්හලේ ෆෝමන්වරයා තට්ටු නිවහන් ගොඩනැගිල්ලේ බිම්මහල් ශාලාවේදී සිය බිරියගේ මළසිරුර දෙස බැලූ ආකාරයෙනි. “අපි සහෝදරයෝ,” ඔහු නැවතත් කීවේය. “ අපේ නම් වෙනස්. ඒත් අපි සහෝදරයෝ. මහත්තයට තේරෙනවා ඇතිනෙ? අපේ තාත්තා නැවක නැගලා යන්න ගියා.”
********
මම පිටිසරබද පිහිටි මගේ නිවෙසේ හිඳගෙන සිටිමි. වැස්ස ඇද හැලෙයි. එක්වරම මගේ දෙනෙත් ඉදිරිපිට නූස් කඳු අතුරුදන්ව ගොස් තැනිතලාවද තැනිතලාවෙන් ඔබ්බෙහි නගරයද මට පෙනෙයි. කැලෑවෙහි පිහිටි නිවෙසෙහි වසන මහල්ලා මීට පැයකට පෙර මගේ නිවෙස පසුකොට ඇවිද ගෙන ගියමුත් කුඩා බල්ලා ඔහු සමග නොවීය. ඇතැම්විට මීදුම තුළ අප කතා කරමින් සිටින අතරතුර ඔහු සිය සගයාගේ ප්‍රාණය සිරුරෙන් නිරුද්ධ කළා වන්නට පුළුවන. ඇතැම්විට ෆෝමන්වරයාගේ බිරිය සහ ඇයගේ නූපන් දරුවා මෙන් බල්ලාද දැන් මළවුන් අතර වන්නට පුළුවන. මගේ නිවෙස ඉදිරිපිට පාර දෙපැත්තේ වැවුණු ගස්වල කොළ වැස්ස මෙන් බිම ඇද හැලෙයි. කහ, රතු සහ රන් පැහැති කොළ කෙලින්ම වේගයෙන් බිම පතිත වෙයි. වැස්ස සිත්පිත් නැති ආකාරයෙන් ඒවා බිම පතිත කරවන හෙයින් අවසන් වතාවට රන් පැහැයෙන් දිලි දිලී පොළොවට පතිත වීමේ අවස්ථාව කොළවලට අහිමිය. ඔක්තෝබර් මාසයේදී මෙසේ පතිතවන කොළ තැනිතලාවලට ඉහළින් සුළඟේ ගසා ගෙන යා යුතුය. ඒවා ඉවත ගසා ගෙන යා යුත්තේ නර්තනයක යෙදෙමිනි.

ෂර්වුඩ් ඇන්ඩර්සන් (1876-1941)
නිලූක කදුරුගමුව
පරිවර්තන බ්ලොග් අඩවියෙන් . http://nilukakadurugamuwa.blogspot.com/
අවසර ඇතිව උපුටා ගත්තකි .


