
දේශපාලන ක්ෂේත්‍රයේ පසුගිය සතියේ වැඩිපුර උණුසුම් වූයේ දියවන්නාව පැත්තෙනි. ඊට හේතුව, පසුගිය සතියේ පාර්ලිමේන්තුව රැස්වීමයි. විවිධ මාතෘකා ඔස්සේ විරුද්ධ පක්ෂය එල්ල කළ චෝදනාවලට ආණ්ඩු පක්ෂය පිළිතුරු දීමත් සමඟ යම් යම් උණුසුම් තත්ත්වයන් මැතිසබය තුළ ඇති විය. පොලිස් මාරුවීම්, අල්ලස් කොමිසමේ ක්‍රියාවලිය, පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු යන මාතෘකා ඔස්සේ මේ උණුසුම් තත්ත්වයන් ඇති විය.
IMF එකෙන් කියන්නේ මොනවාද?
මෙරටට පැමිණ සිටින අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ නියෝජිතයන් (IMF) ප්‍රකාශ කරන කාරණා සම්බන්ධයෙන්ද සමාජය තුළ මෙන්ම දේශපාලන ක්ෂේත්රයේද දැඩි අවධානය යොමු විය. රටේ ආර්ථිකය ස්ථාවර සහ ශක්තිමත් කරගැනීම සඳහා ආණ්ඩුව පසුගිය වසර තුළ සාධනීය පියවර ගෙන ඇති බව ලෝක බැංකු නියෝජිතයන් ප්‍රකාශ කිරීම විශේෂත්වයකි. මෙරටට පැමිණ සිටින IMF සහ ලෝක බැංකු නියෝජිතයන් ආණ්ඩුවේත් විපක්ෂයේත් පිරිස් මුණගැසුණු අතර ආණ්ඩුවේ වසරක ශේෂපත්රය සහ වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන්ද ඔවුන්ගේ දැඩි අවධානය යොමුව තිබීම විශේෂත්වයකි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පසුගියදා (7) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ හයවැනි වාරිකය ලබා දීමට පෙර පැවැත්වෙන පස්වැනි සමාලෝචනයේ මධ්‍යම අදියර වෙනුවෙන් මේ සාකච්ඡාව සිදු විය.
ආර්ථික වශයෙන් බංකොලොත් වී තිබූ රට ඉන් මුදා ගෙන සංවර්ධනය කරා රැගෙන යෑම රජයේ ප්‍රධාන අරමුණක් බවත්, ඒ සඳහා උපායමාර්ගික වැඩපිළිවෙළක් රජයට පවතින බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. මේ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමේ ක්‍රියාවලියේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදල දක්වන සහාය ඉතා අගය කරන බවද ඔහු සඳහන් කළේය. ආර්ථික පුනර්ජීවනයක් අත්පත් කර දිය හැකි රටක් ලෙස මේ රට සංවර්ධනය කිරීමට නම් අන්තර්ජාතික මූල්‍ය අරමුදල දී ඇති ඉලක්කද අබිබවා යෑමේ අවශ්‍යතාව රජය හඳුනාගෙන ඇති බවද ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් රජය සතුව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. ආර්ථික පුනර්ජීවනයක් අත් කරගැනීමේ ඉලක්කය සපුරාගැනීමට නම් දේශීය හා විදේශීය ආයෝජකයන් තවදුරටත් කැඳවාගත යුතුව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ආයෝජනයට හිතකර පරිසරයක් රට තුළ නිර්මාණය කළ යුතුව ඇති බවද අවධාරණය කළේය.
බිඳවැටී තිබූ මෙරට ආර්ථිකය ගොඩගැනීමට රජය ගෙන ඇති පියවර පිළිබඳ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අගය කළ අතර, ඒ සඳහා ඉදිරියේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද දෙපාර්ශ්වය තවදුරටත් සාකච්ඡා කළහ.
AIIB බැංකුවේ ලොක්කෝ ජනපති හමු වෙති
ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සහය දෙන බව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (Asian Infrastructure Investment Bank – AIIB) සභාපති ජින් ලික්‍යුන් (Jin Liqun) මහතා පැවසීය. සභාපතිවරයා ඇතුළු ආසියානු යටිතල පහසුකම් අයෝජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය පසුගිය (7වැනිදා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කරනු ලැබීය.
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ණය මුදල් යටතේ මෙතෙක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කෙරුණු අතර, ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව කටයුතු කරමින් රටේ ඉදිරි ගමනට සහය දෙන බව සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. ඒ අනුව ශ්‍රී ලංකාවේ බලශක්ති ස්ථායිතාව වෙනුවෙන් හරිත බලශක්තිය, හරිත ප්‍රවාහන පහසුකම් ආදි ක්ෂේත්රයන් කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරමින් ඉදිරියේදී සහය දැක්වීමට කටයුතු කරන බවද සඳහන් කළේය.
පොලී අනුපාත පහත හෙළීම, උද්ධමනය පාලනය ඇතුළු ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථික වශයෙන් ලබා ඇති ප්‍රගතිය මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා ජාතික ආර්ථිකයේ ප්රතිලාභ රටේ සාමාන්‍ය ජනතාව අතරට ගෙන යෑම රජයේ අපේක්ෂාව බවද සඳහන් කළේය. එහිදී රාජ්‍ය අංශය ප්‍රතිව්‍යූහගත කරමින් කාර්යක්ෂම සහ ඵලදායි රාජ්‍ය සේවාවක් ඇති කිරීමේ සැලසුම්ද පැහැදිලි කළ ජනාධිපතිවරයා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් සැපයීමේදී කෘත්‍රිම බුද්ධිය සහ ඩිජිටල්කරණය පිළිබඳ අවධානය යොමු කර තිබෙන බවද පැවසීය. ඒ අනුව ජනතාවට සේවා සැපයීමේදී ගම සහ නගරය අතර දුරස්ථභාවය අවම කරගැනීමට මෙන්ම අන්තර්ජාතික වශයෙන් සිදු කෙරෙන ගනුදෙනු පහසු කරගැනීමේ හැකියාවද සාකච්ඡාවට ලක් විය.
පිරිවැය අවම වූ විදුලි සැපයුමක් සහිත කලාපයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීම සඳහා විදේශ ආයෝජන කැඳවාගැනීමේදී දත්ත මධ්‍යස්ථානයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවත්, කෘෂිකර්ම, ධීවර ආදි ක්ෂේත්රවල ඵලදායිතාව ඉහළ නැංවීමට සැලසුම්සහගත වැඩපිළිවෙළක් රජය සතුව තිබෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කෙරෙන නව ප්‍රතිසංස්කරණ පිළිබඳවද හෙතෙම මෙහිදී ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ නියෝජිත පිරිස දැනුවත් කළේය.
J.C.ට AKD කිවුවේ මොනවාද?
පසුගිය (7වැනිදා) පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයාට සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල හමු විය. එදින සවස 1.30ට පමණ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී භෝජනාගාරයෙන් දිවා ආහාරය ගෙන ඉදිරියට පැමිණෙන විට එම ආලින්දයේදී ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයාද ඉදිරියට පැමිණෙමින් සිටියේය. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවේ එහි සිටියහ.
“ඉතින් කොහොමද මන්ත්‍රීතුමා මාවතගම තත්ත්වය?” යනුවෙන් ජනාධිපතිවරයා විමසුවේය.
“වරදක් නැහැ ජනාධිපතිතුමා, වැඩ ටික කරගෙන යනවා…”
“මං නුවර යන ගමන් ඔබතුමාලාගේ ගෙවල් ගාවින් නේ යන්නේ. මං ගෙවල් පැත්ත බලාගෙන තමයි යන්නේ” ජනාධිපතිවරයා මෙහිදී ඉතා සුහදව ප්‍රකාශ කළේය. මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල පිවිසුමේ සිට මහනුවර දක්වා යන විට තුන්වැනි කිලෝ මීටර් කණුව අසල අලවතුවල මන්ත්‍රීවරයාගේ නිවෙස පිහිටා තිබේ.
ජිනීවා ප්‍රශ්නයට ඇමැති විජිතගෙන් පිළිතුරු
“ගරු කථානායකතුමනි, පසුගිය මාසයේ පැවති 60 වැනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරය සහ එහි අවසානයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාව ගැන අදහස් කිහිපයක් ප්‍රකාශ කිරීමට මා අදහස් කරනවා,” යනුවෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ගැන ශ්‍රී ලංකා රජයේ ස්ථාවරත්වය ඉදිරිපත් කරමින් ඇමැති විජිත හේරත් පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.
“ප්‍රථමයෙන් මා කිව යුතුයි මෙය ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවලියක් සම්මත වූ පළමු අවස්ථාව නොවේ. 1980 දශකයේත්, 2009දී යුද්ධය අවසන් වූ පසුවත්, වර්තමාන මානව හිමිකම් කවුන්සිලය සහ එහි පැරණි ව්‍යූහය වූ මානව හිමිකම් කොමිසම මඟින් ශ්‍රී ලංකාවේ යුද්ධයට සම්බන්ධ සහ අනෙකුත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන යෝජනාවලි ගණනාවක් සම්මත වී තිබෙනවා. 2009 සිට පමණක් ගත හොත් මේ වන විට ශ්‍රී ලංකාව ගැන සම්මත වී තිබෙන යෝජනා ගණන 11ක්. 2009, 2012, 2013, 2014, 2015, 2017, 2019, 2021, 2022, 2024 සහ මෙවර සම්මත වූ යෝජනාවලිය. මේ යෝජනා සඳහා ඒ ඒ කාලවල සිටි රජයන් විවිධ ප්‍රතිපත්ති අනුගමනය කර තිබෙනවා.
ඉතිහාසයේ පැටිකිරිය විජිත දිගහරී.
“ඇතැම් විටෙක එම රජයන් එම යෝජනාවලට සහාය පළ කර ඒවායේ හවුල්කරුවන්ද වී තිබෙනවා (2015, 2017, 2019). තවත් අවස්ථාවල එවකට පැවති රජයන් යෝජනාවලිය සම්බන්ධයෙන් ඡන්ද විමසුම්වලට ගොස් තිබෙනවා (2012, 2013, 2014, 2021, 2022). තවත් අවස්ථාවල ශ්‍රී ලංකා රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමන් විසින්ම යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා (2009). තවත් අවස්ථාවල එවකට පැවති රජයන් ඡන්ද විමසුම්වලට නොගොස් යෝජනාවලියේ ඇති ඇතැම් පරිච්ඡේදවලට පමණක් විරෝධය පළ කර තිබෙනවා. කෙසේ වෙතත් මේ සියලු යෝජනාවලින් ගම්‍ය වන පොදු කරුණු දෙකක් තිබෙනවා. ඉන් පළමුවැන්න තමයි ජිනීවාවල සිදු වන මේ ක්‍රියාදාමයට පාදක වන ජාතික ප්‍රශ්න මින් පෙර පැවති කිසිදු රජයක් විසින් නිසි ලෙස කළමනාකරණය නොකිරීම. මේ යෝජනාවලියන් අවුරුදු 16කට අධික කාලයක් තිස්සේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වන්නට ප්‍රධාන හේතුව එයයි. ලෝකයේ ඕනෑම රටක ඇති වන යුද ගැටුම්වලදී මානව හිමිකම් පිළිබඳ ගැටලු පැනනඟින බව අප සියලු දෙනා දන්නවා. එහෙත් ඒ බොහෝ රටවල එම මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් තමන්ගේම දේශීය ආයතන මඟින් කටයුතු කර ඒවා විසඳාගන්නවා; ජාතික සමඟිය තව තවත් ප්‍රවර්ධනය කරගන්නවා. එහෙත් අපේ රටේ පසුගිය රජයන් විසින් සිදු කළේ මොකක්ද? මානව හිමිකම් ගැටලු දේශීය වශයෙන් විසඳා, සමඟිය ගොඩනඟනවා වෙනුවට ඔවුන් කළේ ජාතිවාදි, වර්ගවාදි සහ ආගම්වාදි දේශපාලනයේ නිරත වෙමින් රට භේදභින්න කරමින් සියලු ජාතීන් සහ ආගම්වල ජනතාවගේ අයිතීන් තව තවත් සීමා කරමින් සහ උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාව අන්තර්ජාතික වශයෙන් නොපිළිගන්නා රටක් බවට පත් කිරීමයි.
දේශීය යන්ත්‍රණය.
“සැප්තම්බර් 8 වැනිදා ශ්‍රී ලංකාව පිළිබඳ සංවාදයේදී මා කළ කතාව සහ ඔක්තොබර් 6 වැනිදා ජිනීවා නිත්‍ය නියෝජිතවරිය යෝජනාවලිය ගැන කළ ප්‍රකාශය මම සහාගත කරනවා. හය වැනිදා ඉදිරිපත් කළ යෝජනාවලියේ මීට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවලියන් සමඟ සසඳන විට ධනාත්මක ලක්ෂණ ගණනාවක් තිබුණා. ශ්‍රී ලංකාවේ සිදු වී ඇති ප්රජාතන්ත්රවාදි පරිවර්තනය, ආර්ථික අර්බුදය විසඳාගැනීමට ගෙන ඇති පියවර, දූෂණය පිටුදැකීම හා මානව හිමිකම් සුරැකීම මෙන්ම සංහිදියාව සඳහා ආරම්භ කර ඇති ජාතික වැඩපිළිවෙළ එහි ප්‍රශංසාවට ලක් කර තිබෙනවා. දේශීය ආයතන මඟින් ගැටලු විසඳාගැනීමට එහි අවකාශය සලසා දී තිබෙනවා. ඒ වගේම මේ යෝජනාව 2021 යෝජනාවේ දිගුවක් වන නිසා, එහි අවසන් පරිච්ඡේදය මඟින් Sri Lanka Accountability Project එකේ කාර්යය පවත්වාගෙන යෑමට අනුමැතිය ලැබී තිබෙනවා. මා කලින් සඳහන් කළ ආකාරයට මේ Accountability Project එක දේශීය යන්ත්‍රණයක් නොවන බැවින් අපේ රජය එය ප්‍රතික්ෂේප කරනවා.
“මේ බව ඉතා තදින් අපි 6 වැනිදා මේ යෝජනාව සාකච්ඡා කරන අවස්ථාවේ කළ ප්‍රකාශයෙන් අවධාරණය කළා. එමඟින් සිදු වන්නේ බෙදීම් තීව්‍ර වීම සහ රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළවල් අඩාළ වීම බව අප පෙන්වා දුන්නා. රජය ආරම්භ කර තිබෙන දේශීය වැඩපිළිවෙළ සහ ඒ සඳහා මානව හිමිකම් කවුන්සිලයේ රටවල ඇති වෙමින් තිබෙන විශ්වසනීයත්වය පදනම් කරගෙන, 2021 ස්ථාපිත කළ මෙම Accountability Project එක අවසන් කර අපේ ප්‍රශ්න අපටම විසඳාගත හැකි තත්ත්වයක් නුදුරේදීම ඇති කරගත හැකි බව අප තරයේ විශ්වාස කරනවා. හය වැනිදා සාකච්ඡාවේදී යෝජනාව ඉදිරිපත් කළ රටවල් කණ්ඩායම වෙනුවෙන් අදහස් දැක්වූ එක්සත් රාජධානිය සිදු කළ ප්රකාශයෙන්ද රජය විසින් අත් කරගෙන තිබෙන දැවැන්ත ප්‍රගතිය පිළිබඳ ප්‍රශංසාවට ලක් කිරීමෙන් මෙය පැහැදිලි වනවා. ඒ කණ්ඩායමට අමතරව ලෝකයේ විවිධ කලාප නියෝජනය කරමින් චීනය, බංග්ලාදේශය, මාලදිවයින, කියුබාව, ජපානය, දකුණු කොරියාව, යුරෝපා සංගමය, ඉතියෝපියාව, කොස්ටරිකා රාජ්‍යය ඇතුළු කවුන්සිලයේ සාමාජිකත්වය දරන රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ප්‍රගතිය පසසමින් ප්‍රකාශ සිදු කළා. තවද, සැප්තැම්බර් 08 වෙනිදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවැත්වූ සංවාදයේදී රටවල් 43ක් පමණ අදහස් ප්‍රකාශ කළ අතර ඔවුන් සියල්ලන්ම පාහේ දේශීය ක්‍රියාවලි මඟින් රජය ගෙන ඇති පියවර අගය කළා. අපේ රජයේ අරමුණ වන්නේ අපේම ජනතාවගේ මානව හිමිකම් දේශපාලනීකරණය කරමින් ජිනීවා යක්ෂයකු හෝ ජිනීවා දෙවියකු මවාපාමින් පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීම නොවේ.
ජිනීවා අභියෝගය ජය ගැනීම
“ගරු කථානායකතුමනි, අපේම ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම අපි මෙම ගරු සභාවේ විවාදයට ලක් කළ යුතු දෙයක් නොවේ. ඒ අයිතීන් සුරක්ෂිත කිරීම, මහජන නියෝජිතයන් වන අපගේ පරම යුතුකම හා වගකීමයි. එයට ඔබ සියලු දෙනා එකඟ වනු ඇතැයි මා සිතනවා. ගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කර ඇති ආකාරයට සියලු ශ්‍රී ලාංකිකයන් එකමුතුව නිදහසේ ජීවත් වන සාමකාමි සෞභාග්‍යවත් රටක් පිළිබඳ අපට සිහිනයක් තිබෙනවා. සියලු පාර්ශ්වකරුවන් සහ අන්තර්ජාතික ප්රජාවද සමඟ සාධනීය ලෙස ගනුදෙනු කරමින් අපගේ අනාගත පරපුර වෙනුවෙන් මේ සිහිනය යථාර්ථයක් කරගැනීමේ ගමන යෑමට අප කැප වී සිටිනවා. මේ ජාතික ප්රයත්නය සඳහා සහයෝගය දීම අප සැම දෙනාගේ වගකීමක් බව සිහිපත් කරමින් මගේ කථාව අවසන් කරනවා.”
වාහන හුටපටේ.
“මහින්දට වාහනේ දුන්නොත් අනෙක් හිටපු ජනාධිපතිවරුන්ටත් ඒක දෙන්න වෙනව නේ… එතකොට ඉන්ධනත් දෙනවද? දෙන්න පුළුවන්කම තියෙනව නම් අයින් කළේ ඇයි? පනතක් ගෙනාවෙ ඇයි? ඔය වගේ ප්‍රශ්න ගණනාවක් ඊට පස්සේ එනවා…” රනිල් කීවේ ආණ්ඩුවේ දුරදිග නොබලා ගන්නා තීරණ ගැනය. කලින් මාලිමාවේ උදවිය කීවේ සමුපකාර ඡන්දවලින් පිළිබිඹු වන්නේ සැබෑ ගමේ මතය බවයි. “හිටි ගමන් අංක එකට ආපු මාලිමාව ඔන්න දැන් පොඩි කාලෙකින් ආපහු පන්තියේ අන්තිමයා වෙලා!” තලතා කීවේ මෑතකදී පැවැත්වුණු සමුපකාර ඡන්ද තුනක ප්‍රතිඵල උපුටා දක්වමිනි. එහි පොදු විපක්ෂය සියලු ඡන්ද ලබාගෙන තිබූ අතර මාලිමාවෙන් පත් වූ සභික සංඛ්‍යාව බිංදුවකි.
“ආණ්ඩුවකුත් තියාගෙන මෙහෙම අබග්ගයක් කවදාවත් වෙලා නෑ නේ දැ?” යි මන්ත්‍රීවරුන් පැවසුවේ පුදුමයෙනි.
ජනාධිපති තනි දහිරියක් දමා ආණ්ඩුවක් ගත්තා සේ දැන් ඔහුට තනිවම තමන්ගේ ආණ්ඩුවේ උදවිය නාන රෙදි සියල්ල හෝදන්න වී ඇති බව පෙනෙන්නට ඇත. ඇමැතිවරුන් ඇතුළු අනෙක් උදවිය කසාය බීපු ගොළුවන් බවට පත් වී සිටිති.
රනිල් අලුතෙන්ම කරන්න යන වැඩේ.
රනිල් මේ සතියේ දෙරණේ දිලිත්ගේ ආරාධනය පරිදි සාදමය උත්සවයකට සහභාගී විය. දෙමළ මාධ්‍යවේදියකුට දිලිත්ගේ මාධ්‍ය ආයතනයක ඉහළ තනතුරක් පිරිනැමීම උත්සවයේ නිමිත්ත විය. ඊට සහභාගි වූ බහුතරය දෙමළ දේශපාලකයෝ වූහ. ජීවන් තොණ්ඩමන්, රාසමානික්කම්, මනෝ ගනේෂන්, දිගම්බරන්, ශ්‍රීදරන්, අලි සබ්‍රි, රවුෆ් ෆකීම් ඇතුළු දෙමළ පක්ෂවල නියෝජිතයෝ එහි වූහ. සිංහල සමාජය නියෝජනය කරන දේශපාලකයන් වශයෙන් මීට සහභාගී වූයේ රනිල් සහ දිලිත් පමණි. රනිල් ජනපති සමයේ මාධ්‍ය අධ්‍යක්ෂ ශානුකද එහි වූහ.
“සර් මට ඉන්ටවීව් එකක් දෙන්න පුළුවන් දැයි එහි සිටි මාධ්‍යවේදියෙක් නායක රනිල් අමතමින් විමසීය.
“ඇයි මගෙන් ඉන්ටවීව් ගන්නේ, යූඑන්පී එකේ පාර්ලිමන්ට් ලීඩර්ගෙන් ගන්න පුළුවන් නේ” රනිල් ඇඟටපතට නොදැනී කී කතාවට සියල්ලෝම පුදුමයට පත් වූහ. කවුද ඒ ලීඩර්, අපි දන්නේ නෑනේ එහෙම එකක්!” එහි සිටියෝ විමසිලිමත් වූහ.
ජීවන් දෙසට අත දිගු කළ රනිල් “ඇයි මේ ඉන්නේ, මෙයා තමයි ලීඩර්,” යනුවෙන් පැවැසීය.
“පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සටන ඉස්සරහට ගෙනියන්නේ දැන් කීප දෙනෙක් විතරයි. මේ සටන දිනුවොත් ආණ්ඩුව වට්ටන්නත් පුළුවන්,” යනුවෙන්ද රනිල් කීය.
එජාපය සමඟ යාමට සජිත්ට බලය.
ආණ්ඩුවට එරෙහිව ඉදිරියේදී සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කිරීමේදී එම කටයුතු විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ සිදුවිය යුතු බවට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගිය 9 වෙනිදා තීරණය කරන ලදී.
ඒ කෘත්‍යාධීකාරී මණ්ඩලය සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය.
රනිල්, වජිරට අලුතින්ම පවරපු වැඩේ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සහ පක්ෂ සභාපති වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ 25ක පමණ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ රැස්වීමක් සහ භෝජන සංග්‍රහයක් පසුගිය සතියේ කොළඹ පුද්ගලික හෝටලයකදී පැවැත්විණි.
කෙසේ වෙතත් මේ විශේෂ රැස්වීමෙන් අනතුරුව සහභාගී වූ සියලුදෙනාම පාහේ එකඟවුණේ මෙම සුසංයෝගය එකම එකඟතාවයකින් දිගටම පවත්වාගෙන යා යුතු බවයි. ඒ අනුව නායක රනිල් මෙම හමුවෙන් අනතුරුව පක්ෂ සභාපති වජිරට පවසා තිබුණේ ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙළ සකස් කරමින් මේ එකමුතුව ඉදිරියට ගෙන යන ලෙසයි.
එසේම විවිධ දේශපාලන පක්ෂවලට සම්බන්ධ විවිධ කණ්ඩායම් වෛද්‍ය, නීතිඥ, වෘත්තීයවේදීන් ආදි වශයෙන් වෙන වෙනම සම්බන්ධ කරගනිමින් රටේ පවතින දේශපාලන තත්ත්වය සහ පිරිහෙන ආර්ථිකය පිළිබඳව ඔවුන් දැනුවත් කර, ඒ සම්බන්ධ ඔවුන්ගේ අදහස්ද විමසමින් ජනතාව මාධ්‍ය මඟින් දැනුවත් කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් නායක රනිල් වජිරට පවසා තිබිණි.
නායක රනිල් දුන් උපදෙස් ක්‍රියාත්මක කරමින් වජිර ඊට අවශ්‍ය පසුබිම සූදානම් කළේය. ඒ අනුව විපක්ෂයේ දේශපාලන පක්ෂවල විවිධ කණ්ඩායම් එකතු කරමින් රැස්වීම් මාලාවක්ම සංවිධානය කිරීමට වජිර සැලසුම් සකස් කළේය. එහිදී මේ සතිය අවසානයේදීද එවැනි රැස්වීම් කිහිපයක් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී පැවැත්වීමට සියලු කටයුතු ලකලැහැස්ති කළ අතර, මේ රැස්වීම් සියල්ල නායක රනිල්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.
විජයගේ ගුණසැමරුමට දේශපාලනඥයෝ රැසක්.
මේ අතර ප්‍රවීණ රංගන ශිල්පී අභාවප්‍රාප්ත විජය කුමාරතුංගයන්ගේ ජන්ම දින සැමරුම වෙනුවෙන් මරදාන එල්ෆින්ස්ටන්හි සංවිධානය කර තිබූ ‘විජය අනුස්මරණ වේදිකාව 2025’ කෙටි නාට්‍ය තරගාවලියේ සම්මාන ප්රදානෝත්සවය සඳහා වජිර අබේවර්ධන පසුගිය බදාදා සවස සහභාගි විය. මෙහිදී කෙටි නාට්‍ය තරගාවලියේදී ජයග්‍රහණය කළ අය වෙනුවෙන් සම්මාන ප්රදානය කිරීම සඳහාද සහභාගි වී තිබිණ. මේ අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු කථානායක කරු ජයසූරිය, හිටපු අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා, ලසන්ත අලගියවන්න සහ තිලංග සුමතිපාලද සහභාගි වී සිටියහ.*


