දෙවන වරටත් රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් සහ ස්වර්ණ පුස්තක සම්මානයෙන්පුද ලද අපේ බණ්ඩාර අය්යා.

කැනඩාවේ ජීවත්වන ඕනෑම කලාකරුවෙකුගේ ජයග්‍රහණයක් සැමරීමට Sri Lancan විද්‍යුත් පුවත්පත සැදී පැහැදී සිටින්නේ ඉතා ප්‍රෞඩත්වය පෙරදැරි කරගත් හදවතකිනුයි. මෙවර අප පුවත්පතට ප්‍රස්තුතය වන්නේ 2025  වසර සඳහා  හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය සහ ස්වර්ණ පුස්තක සම්මානය  “පියාසර සමය” කළා කෘතියට ලැබූ මානවීය චන්ද්‍රරත්න බණ්ඩාර නවකතා කරුවා.  2025 සරසවි සම්මාන උළෙලේදී, ගුරු ගීතය සිනමා පටයේ “ඉපල් රිකිලි සුළං” ගීතය සඳහා  කිත්සිරි ජයසේකර  “හොඳම ගායකයා සම්මානය” ලැබූ මොහොතේදීත්, ඔහු වෙනුවෙන් අප පුවත්පත සටහනක් තැබුවේ ඉතා සාඩම්බරවයි. 

දැනට වසර තුනකට පෙර, එනම්  2022 දී ගත්කතු චන්ද්‍රරත්න බණ්ඩාර විසින් රචිත සරසවි ප්‍රකාශනයක් වන “ප්‍රේමනිශංස” හොඳම නවකතාවට හිමි 2022 “විද්‍යෝදය සාහිත්‍ය සම්මානය” සහ “ස්වර්ණපුස්තක සම්මානය” යන සම්මාන දෙකම ලබා ගැනීම නිමිත්තෙන් වීඩියෝ සටහනක් තැබීමේ වාසනාව මට ලඟා වුයේ මා සිහිනයකින්වත් බලාපොරොත්තු නොවූ ආකාරයකටයි(ඔබගේ සන්තුෂ්ඨිය සඳහා එය මේ ලිපියට  සම්බන්ධ කරන්නෙමි). මා පන්හිඳ පසෙක තබා හුස්මක් ගැනීමටත් පෙර, එනම් 2024 වර්ෂය සඳහා “ප්‍රේමනිශංස” කෘතිය අවසානයේ ඔහු ලියු  “පියාසර සමය” නම්වූ කෘතියට ස්වර්ණ පුස්තක සම්මානය ලැබීමේ අභිමානය හිමිව තිබෙනවා. එම සම්මාන උළෙල පැවැත්වුයේ 2025 වසරේ සැප්තැම්බර් මාසයේදීයි. කැනඩාවේ ටොරෝන්ටෝවෙහි වෙසෙන බණ්ඩාරයන් හට ඔහුගේ ස්වීය කෘතීන් සඳහා සම්මාන පිට සම්මාන ලැබීමෙන් කැනේඩියානු ශ්‍රි ලාංකික අපිට ලබා දෙන්නේ ඉතාමත් ආඩම්බරයක් සහ ගෞරවයක්.

සත්‍ය වශයෙන්ම, ශ්‍රී ලාංකික ග්‍රන්ථ සම්මාන ඉතිහාසයේ, එකක් පිටුපස අනෙක් ග්‍රන්ථයක් ලියු ලේඛකයෙකුට එම කෘතීන් දෙකටම සම්මාන ලැබීමක් සිදුවූ ප්‍රථම අවස්ථාව මෙය වීම තවත් අපුර්වතම සංසිද්ධියක්.

ඔහුගේ නවකතාවල මතුපිටින් දිවෙනා කථා වස්තුව කිමෙක් වුවත්,  ඒ පතුලේ තිබෙනුයේ ප්‍රබල දේශපාලන උත්තේජනයක්.  “වනසපුමල” කෘතියේදී, ඒ උත්තේජනය වුයේ “ජාතිවාදය”. ප්‍රේමානිශංස” යේදී, ශ්‍රී ලංකාවේ උත්පත්තිය ලබා  මව් රටට කීර්තියක් ගෙන දුන් ඉතිහාසඥ ආනන්ද කුමාරස්වාමිතුමාගේ නමින් තිබු මාර්ගයක් “නෙලුම් කුළුන” යැයි නම් කිරීමෙන් පටු දේශපාලකයින් කරනා ලද ඉතා අශික්ෂිත, ආත්මාර්ථකාමී ක්‍රියාවක් හේතුවෙන් ඔහුට ඇතිවූ සන්තාපය. “පියාසර සමය”කෘතියේදී, ඒ දේශපාලනික උත්තේජනය වනුයේ “අරගලය”නම්වූ කැරලිකාර මෙන්ම සෞන්ද්‍යර්යාත්මක සිදුවීම. ඔහුගේ අර්ථකථනයට අනුව, එය  “පුරවැසි නැගිටීමක්”. 

“පියාසර සමය” කතුවරයා මෙම කෘතිය තුලින් හාත්පසින්ම විරුද්ධ සංස්කෘතික සහ දේශපාලන පසුබිම්වලින් පැමිණි චමත් සහ මිලංකා නමින් ප්‍රධාන චරිත දෙකක් හඳුන්වා දී ඒ චරිත හරහා ඔහුගේ දේශපාලනික ප්‍රවිෂ්ඨය සිදු කරනු ලබනවා. චමත් කියන්නෙ අරගල ව්‍යාපාරයට සම්බන්ධ වීම නිසා අත්අඩංගුවට ගැනීමේ තර්ජනය හේතුවෙන් තම දිවි රැක ගැනීමේ අරමුණ උදෙසා කැනඩාවට පලා ගිය තරුණ උපාධිධාරියෙක්. මිලංකා යනු විවාහය හේතුවෙන් දේශපාලන සම්බන්ධතා ඇති විශ්ව විද්‍යාල ශාස්ත්‍රාලිකයෙක්. ඇගේ මව අයුතු ලෙස බලය හෙබවූ ශ්‍රී ලංකා දේශපාලනයේ බලගතු කාන්තාවක්.  ඒ සම්මත ජීවිතය තහවුරු කර ගැනීමේ අරමුණින් තම අවජාතක දියණිය බිල්ලට දීම හේතුවෙනුයි මිලංකාට පුෂ්පේ නම්වූ දූෂිත දේශපාලනඥයෙකු සමඟ විවාහ වීමට සිදු වුයේ.  එවකට රට තුල සිදුවූ දේශපාලන කැලඹීම් සහ ඇගේ සැමියා පුෂ්පේගේ අශිෂ්ඨ ක්‍රියාදාමයන් හේතුවෙන් මිලංකාද ශ්‍රී ලංකාවෙන් පිටව කැනඩාවට පැමිණෙනවා. 

චමත්ගේ පෙම්වතිය උදේශිකාගේ වියෝවෙන් සන්තාපයට පත්ව සිට විවිධ මානයන් ඔස්සේ දෝලනය වූ චමත් ගේ ආත්මයට මිලංකාගේ සෙනෙහස රස මසවුලක් වුයේ ඔහුටත් නොදැනුවත්වමයි. එක් නොවීම ඉර හඳ මෙන් ස්ථීර බව ඔවුන් දෙදෙනාම දැන සිටි මුත්, මිලංකා සහ චමත්ගේ ප්‍රේමය ඉතා කෙටි කලකින් දළු ලා වැඩුනේ දෙදෙනාම තුල වූ වියෝව, පාළුව තනිකම හේතුවෙන් ශේෂවූ ආත්මීය හිස් බවයි.  අතිශයින් වෙනස් සමාජ වටපිටාවකින් පැමිණි මිලංකා සහ චමත් දෙදෙනා හරහා බණ්ඩාරයන් ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලනික භූ දර්ශනයේ ඇතැම් අංශ ගවේෂණය කිරීමට දැඩි උත්සාහයක් දරනවා. 

මා ඔහුගෙන් විමසු කරුණක් තමයි මේ කෘතියට ඩයස්පෝරාව සම්බන්ධ කරගැනීම පිටුපස ඔහුගේ චින්තන ක්‍රියාවලිය. මොහොතක්වත් නොසිතා ඔහු දුන් පිළිතුර තමයි “මමත් ඩයස්පෝරාවේ කෙනෙක්නෙ”. මෙම චරිතවල අත්දැකීම් හරහා කතුවරයා යමෙකුට ඩයස්පෝරාවේ කොටසක් වන්නේ කෙසේද යන්න පිළිබඳව පාඨකයා දැනුවත් කිරීමට ගන්නා උත්සාහය මේ වෘතාන්තය තවත් තලයකට ගෙන යනවා. 

මිලංකා චමත් අතර ප්‍රේම ගනුදෙනුවට සමාන්තරව, ඒ ඒ පසුබිම්වලට අදාළ විදේශ සාහිත්‍යයන්ට පොදු වන ඇතැම් තේමාවන් ගවේෂණය කිරීම හේතුවෙන් නවකතා කරුවා ඓතිහාසික සහ දේශපාලන කරුණු සම්බන්ධයෙන්ද පාඨකයින් ඉතා විශිෂ්ඨ අයුරින් දැනුවත් කරනවා. මේ නවකතා කරුවාගේගේ කෘතිවල දෘශ්‍යමාන වන තවත් රසවත් කරුණක් වනුයේ ඔහු මෑත කාලයේ ලියු සෑම කෘතියක්ම සාක්ෂි දරන ප්‍රේමය පිළිබඳව ඇති වෙනස්ම කියවීමයි.

“පියාසර සමය” ගැබ්බර වූ ආකාරයත් හරිම අපුරුයි. 2021 “ප්‍රේමානිශංස” කෘතිය එලි දැක්වීමෙන් අනතුරුව,  ඔහු තවත් නවකතාවක් ලියමින් සිටිනා අතරතුරදීයි මේ “ගෝල්ෆේස් අරගලය” සිදු වුයේ. ක්ෂණිකවම ඔහු තීරණය කළා, ඔහුගේ පන්හිඳ වෙනත් දිශානතියකට යොමු කිරීමට. ඒ පිළිබඳව ඔහුගේම නිර්වචනය වුයේ මෙයයි, “මම මේ විපර්යාසය දිහා බලන්නේ වෙනමම කෝණයකින්. “අරගලය එහෙම නැත්නම් පුරවැසි නැගිටීම” කියන්නේ පසුගිය දශක ගණනාවක් තුල සිදුවූ වැදගත්ම දේශපාලන සංසිද්ධිය. එතෙක් කල් නිද්‍රාශීලීව සිටි ලාංකික පුරවැසියන්ගේ නිරායාස නැගිටීමක් මේක. Utopian රාජ්‍යයක් පැතූ පීඩාවට පත් විශ්ව විද්‍යාල සිසුන්ගේ සහ මධ්‍යම පංතිය ඇතුළු සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රර්ථනා, සුසුම් එකට එක්වූ ක්ෂේම භූමියක් ලෙසයි මම “අරගලය” දකින්නේ. එය පන්ති භේද නොතිබුණු 1915 සිදුවූ රුසියානු විප්ලවය සහ ප්‍රංශ විප්ලවවලට සම කල හැකියි. ලංකාවේ පුරවැසියන් මෙන්ම මා ඇතුළු විදෙස් රටවල සිටි ශ්‍රී ලාංකිකයිනුත් මේ “අරගලය” වෙත අනුරාගයෙන් බැඳුනා. ඒ නිසා, එහි උණුසුම යාමට ප්‍රථම ඒ ගැන ලිව යුතුයැයි කියා  මට සිතුනා”. 

මේ කෘතිය තුලින් ඉතා දුශ්චරිත පැවැත්මක් ඇති ඇමති භාර්යාවන් දෙසත් ඔහු සානුකම්පිතව බැලීමට උත්සාහයක් ගත් බව පාඨකයාට ඉතා පැහැදිලිව දක්නට ලැබෙනවා. ඇත්තටම මා ඔහුගෙන් මේ සම්බන්ධව විමසූ විට, ඔහු දුන් පිළිතුර වූ, “ඇත්තටම ඇමති බිරින්දෑවරුන් පමණ දුක් දෝමනස්සයන්ට මුහුණ දෙනා කාන්තාවන් ලංකාවේ තවත් නැතිව ඇති. මේ පිරිමි ඇමතිවරුන් ගෙවනා අවලම් ජීවිතය, ආත්ම ගෞරවය සහ දිවි පැවැත්ම වෙනුවෙන් විඳ දරා ගැනීමට ඔවුනගේ බිරින්දෑවරුන්ට සිදුව තිබෙනවා.  ඇත්තටම ඔවුන් තමයි මේ ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපයන්ගේ වින්දිතයින් එහෙම නැත්නම් බිල්ලන් වන්නේ”. පියාසර සාමය කෘතියේ ඇමති බිරිඳ වූ මිලංකාගේ චරිතයට බණ්ඩාරයන් ලබා දී තිබුනේ ඉතාමත් වටිනාකමක්. සමස්තයක් ලෙස ගත්තොත්, බණ්ඩාරයන්ගේ පොත්පත් පරිශීලනය කරනු ලබන පාඨකයින්ට ඔහු විග්‍රහ කරනා කාන්තාවගේ සුකුමලත්වය, කාරුණිකභාවය, මානව හිතවාදය එක් පසකිනුත්, අනික් පසකින් ඔහු දකිනා ඇයගේ ප්‍රබල පෞරුෂයත් මනාව පැහැදිලි වනවා. ඒ තුලින් ඔහු ඔසවා තබන උතුම් ස්ත්‍රීත්වය අප සැම ඉතාමත් භක්ති පුර්වකව අගය කල යුතුයි. පුරුෂාධිපත්‍ය මතවාදයන්ගෙන් හිස උදුම්මවාගෙන, නොදියුණු, අශීලාචාර අදහස් උදහස් දරමින් කාන්තාවන්ට ඉතා පහත් ලෙස සලකන ශ්‍රී ලාංකික සමාජයක, මෙවැනි ප්‍රගතිශීලී අදහස් ඇති පුරුෂ කතුවරුන් සිටීම ශ්‍රී ලාංකික අපි කාටත්  ආඩම්බරයක්.                                                                                                                                                          

අවසානයේ, ග්‍රන්ථ කතෘත්වයට හෝ සාහිත්‍යකරණයට සම්බන්ධවීමට අභිප්‍රායයක් ඇති ආධුනිකයින්ට සම්මානිත බණ්ඩාරයන් ඉතා ධනාත්මක උපදෙසක් ලබා දුන්නා, “යම්කිසි කෘතියක් ලියා අවසන් කල පසු එම ග්‍රන්ථයෙහි පරිසමාප්තය සඳහා එම විෂයට අදාළ සංස්කාරයකයින් පාවිච්චි කල යුතුමයි” කියනා උපදේශය. “එම සංස්කරණය, ව්‍යාකරණය, දේශපාලනය එසේත් නැත්නම් වෙනත් කිසියම් මුල ධර්මයක් සඳහා විය හැකියි. යමෙකුට ලිවීමේ සාක්ෂරතාවය උරුම වුවත්, ඔහු හෝ ඇයට එම කෘතිය තුල ලියැවෙන විෂය පථයන් සම්බන්ධව පෘථුල අවබෝධයක් නොතිබිය හැකියි.  එම නිසා කෘතියක සාර්ථකතාවය සාක්ෂාත් කර ගැනීමට සංස්කාරකයින්ගෙන් ලැබෙන්නේ ඉමහත් දායකත්වයක්” ඔහු කතාව නිම කළා. 

චන්ද්‍රරත්න බණ්ඩාරයන් “පියාසර සමය” ලිවීම සඳහා ඔහු ලියමින් සිට අතරමඟ නතරකල කෘතිය නැවත ආරම්භ කර 2026 වසරේ අවසන් කිරීමට තීරණය කර ඇති බව මා සමඟ පැවසුවේ ඉතාමත් අධිෂ්ඨානශීලීව. ඒ සඳහා ඔහුට දිරිය විරිය සහ ශක්තිය ලැබේවා’යි පාඨක අපි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු. 

ඉතා කුඩා කාලයේ මළ ගෙවල්වල ශෝක ප්‍රකාශ ලියැවීමෙන් ආරම්භ කල ඔහුගේ ලේඛන කලාව අද සම්මාන පිට සම්මාන  දක්වා ගමන් කල මාර්ගයේ තිබු ගිරි දුර්ග ඉතා අසීරුවෙන් තරණය කර, කටු අකුල් මතින් සීරුවෙන් පා ඉවතට තබමින් එම මාවත ඉතාමත් සුන්දරව ඔහු සකසා තිබෙනවා. අප ආදරණීය බණ්ඩාර කළා කරුවාගේ අනාගත ලේඛන කලාව සහ අනෙකුත් කලාවන් සඳහා අප පුවත්පතේ ආශීර්වාදය ප්‍රර්ථනා කරමින් මා මේ සටහන නිමා කරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *