රට පැන්න ක්‍රීඩකයන් අල්ලන්න රතු නිවේදන.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදෙස් රටවල තිබෙන ක්‍රීඩා තරගාවලි සඳහා සහභාගි වීමට ගොස් යළි මෙරටට නොපැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර පොලිසිය මාර්ගයෙන් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන ලබා ගන්නා බව ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය සඳහන් කරයි.

මේ අනුව 2022 වසරේදී එංගලන්තයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගිවීමට ගොස් එම තරගාවලියට පවා සහභාගි නොවී නැවත මෙරටට නොපැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සම්බන්ධයෙන් පළමුව විමර්ශනය පවත්වා ඔවුන් ජාත්‍යන්තර පොලිසියේ සහායෙන් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ වි​ශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුපුන් විදානගේ පැවසීය.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කරනලද පැමිණිල්ලකට අනුව ඊට අදාළ විමර්ශන පවත්වන බව කී ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ වි‍ශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රියාවන් නිසා පමණක් රජයට රුපියල් කෝටි 05 ක පමණ පාඩුවක් සිදුව ඇතැයි ද සඳහන් කළේය.

එංගලන්තයේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා තරගවලියට සහභාගිවීමට ගොස් යළි මෙරටට නොපැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එරෙහිව ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා දැක්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද පනවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *