මෙලීසාගෙන් ජැමෙයිකාවට හා කියුබාවට දැඩිහානි. මොන්තා ඉන්දියාව කළබයි.කැනඩාවෙන් මානුෂීය ආධාර

ජැමෙයිකාවට බලපෑ මෙලීසා සුළි කුණාටුව ‍මේ වන විට කියුබාවට බලපෑම් කර ඇත. මෑත ඉතිහාසයේ දූපත් රාජ්‍යයකට කඩා වැඳුණු දරුණුතම සුළි කුණාටු අවස්ථාව ලෙස මෙය හැදින්වෙන අතර එය මේවන විට සිව්වැනි කාණ්ඩයේ විනාශකාරී කුණාටුවක් දක්වා ශක්තිමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“මෙලිසා” සුළි කුණාටුව පසුගිය 28 වැනිදා සවස් කාලය වන විට ජැමෙයිකාවේ ප්‍රදේශ රැසකට බලපෑම් සිදු කළ අතර, පැයට කිලෝ මිටර 300කට ආසන්න වේගයකින් හමා ගිය බව වාර්තා වේ.

මෙලීසා සුළි කුණාටුව 7 දෙනෙකුට මරු කැඳවමින්, ජැමෙයිකාවට ගංවතුර සහ ව්‍යසනකාරී සුළං ගෙනවිත් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

සුළි කුණාටුවේ බලපෑමෙන් ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්දි වී ඇති අතර, 15,000 කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ.

අමෙරිකානු ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය අනතුරු ඇගවීම් නිකුත් කර ඇත්තේ, සුළි කුණාටුව මොන්ටේගෝ බොක්ක හරහා දකුණු දෙසින් කිලෝ මිටර 62 ක් පමණ දුරින් පිහිටි නිව්හෝප්ස් නගරය ආසන්න ගොඩබිමට පැමිණි ඇති බවයි.

සුළි කුණාටුවෙන් බලපෑමට ලක්විය හැකි කියුබානු රාජ්‍යය මේ වන විට අනතුරු ඇගවීම් නිකුත් කර ඇති අතර, රට පුරා හත් ලක්‍ෂ 35,000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට ඊයේ රාත්‍රියේ සිට ක්‍රියා කළ බව, වාර්තා වේ.

මේ අතර ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයට කඩා වැදුණු මොන්තා සුළි කුණාටුව හේතුවෙන් පසුගිය (28)වැනිදා රාත්‍රියේ දී ධාරානිපාත වර්ෂාව සහ තද සුළං සමඟ කුණාටු තත්ත්වයක් ඇති වූ බව වාර්තා වේ.

බෙංගාල බොක්ක හරහා භ්‍රමණය වන මොන්තා, රාත්‍රිය පුරා දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් සහ අසල්වැසි ප්‍රාන්තවල පහත් බිම් ප්‍රදේශවලට ගංවතුරට තර්ජන ද එක් කරමින් දරුණු සුළි කුණාටුවක් දක්වා තීව්‍ර වී තිබූ බව සදහන්ය.

එසේම සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ගස් කඩා වැටීම් රැසක් ඇතුළු ආපදා තත්ත්වයන් ඉන්දියාවෙන් වාර්තා වී ඇත. මොන්තා සුළි කුණාටුව හේතුවෙන් ආන්ද්‍ර ප්‍රදේශ් හි බොහෝ මාර්ග ජලයෙන් යටව පවතී.

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නවතම ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ මෙම සුළි කුණාටු ක්‍රියාවලිය ඉදිරි පැය තුන හතර තුළ පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මොන්තා සුළි කුණාටුවේ බලපෑමට මුහුණ දීම සඳහා පූර්වාරක්ෂක පියවරක් ලෙස ඉන්දියානු බලධාරීන් පාසල් වසා දමා පහත් බිම් වෙරළබඩ ප්‍රදේශවලින් දස දහස් ගණනක් ජනතාව ඉවත් කිරීමට ද පියවර ගෙන තිබුණි.

මේ අතර මෙලිසා සුළි කුණාටුව හේතුවෙන් කැරිබියානු කලාපයට එල්ලවු දැඩි බලපෑම් වලට මුහුණ දීමට  මානුෂීය ආධාර සඳහා ඩොලර් මිලියන 7 ක අරමුදලක්  ප්‍රකාශයට පත් කිරීමට කැනඩාව පියවර ගෙන ඇත..

මෙම මුදලින් ඩොලර් මිලියන 5 ක් මානුෂීය හවුල්කරුවන්ට හදිසි ආහාර, ජලය, සනීපාරක්ෂක සහ සෞඛ්‍යය සේවා මෙන්ම ආරක්ෂාව සහ සැපයුම් සේවා වැනි ජීවිතාරක්ෂක ආධාර සැපයීම සඳහා වෙන් කරනු ඇත. ඉතිරි ඩොලර් මිලියන 2 ක ජැමෙයිකාවට ආහාර සහ සහ අනෙකුත් සහන ලබාදීම සදහා ලෝක ආහාර වැඩසටහනේ (WFP) කැරිබියානු කලාපීය සැපයුම් මධ්‍යස්ථානය වෙත වෙන් කර ඇත.

කැනඩාව සිය හදිසි තොගවලින් සහන සැපයුම් ඉල්ලා සිටියහොත් රතු කුරුස ව්‍යාපාරය හරහා සහයවීමටත්  ඉදිරිපත් වී තිබේ.මේ අතර දේශගුණික ආශ්‍රිත ස්වාභාවික විපත් ඉහළ යාම සහ ගෝලීය උණුසුම ඉහළ යාම හා නිවර්තන කුණාටුව වැඩි වීමට හේතු වීමත් සමඟ, කැනඩාව දරුණු කාලගුණික අර්බුදවලින් පීඩාවට පත් වූවන්ට සහාය වීමට සූදානම් වන අතර සැමට ආරක්ෂිත අනාගතයක් සහතික කිරීම සඳහා දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සහ හදිසි සූදානම පිළිබඳ හවුල්කරුවන් සමඟ දිගටම වැඩ කිරීමට සූදානම් බව ප්‍රකාශ කර ඇත.

කැනඩාව කැරිබියානු කලාපයේ තත්වය අඛණ්ඩව නිරීක්ෂණය කරන අතර වර්ධනය වන අවශ්‍යතා තක්සේරු කිරීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා පළපුරුදු හවුල්කරුවන් සමඟ සමීප සම්බන්ධතා පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *