
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සංවර්ධනයට සහාය දැක්වීමට ඉන්දියාවේ කැපවීම නැවත තහවුරු කර තිබේ.ඒ, නවදිල්ලියේදී ශ්‍රී ලංකා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා හමු වූ අවස්ථාවේදීය.
“ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක @sajithpremadasa හමුවීමට ලැබීම සතුටක්. ඉන්දියා-ශ්‍රී ලංකා සබඳතා සහ අපගේ අසල්වැසියා ප්‍රථමයෙන් ප්‍රතිපත්තිය සාකච්ඡා කරන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සංවර්ධනය සඳහා ඉන්දියාව සැමවිටම සහාය වනු ඇත,” යනුවෙන් ජයිශංකර් අදාළ හමුවෙන් පසු X හි සටහනක් තබමින් පැවසීය.
ඊට පෙර, විපක්ෂ නායක ප්‍රේමදාස ඉන්දීය ලෝක කටයුතු කවුන්සිලය (ICWA) විසින් සංවිධානය කරන ලද සප්රු මන්දිරයේ පැවති දේශනයකට සහභාගී වූ අතර එහිදී ඔහු දිගුකාලීන ධීවර ගැටලුව ඇතුළුව ඉන්දු – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රධාන අංශ ගැන අදහස් දැක්වීය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ධීවර ගැටලුව ඉතා වැදගත් සහ දිගුකාලීන එකක් ලෙස හඳුන්වමින්, ශ්‍රී ලංකා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා ඇත්තේ මෙම ගැටලුව විසඳීම සඳහා අන්තර්ජාතික නීතියෙන් මඟ පෙන්වනු ලබන නිසි, ක්‍රියාත්මක කළ හැකි රාමුවක් ස්ථාපිත කිරීම සඳහා දෙරට සහයෝගයෙන් කටයුතු කළ යුතු බවයි.
“ධීවර ගැටලුව ඉතා වැදගත්. රටවල් දෙක සහයෝගයෙන් කටයුතු කර නිසි, ක්‍රියාත්මක කළ හැකි රාමුවක් ස්ථාපිත කළ යුතුයි. එය කරුණු සහ හරය මත පදනම් වූ එකක්,” ප්‍රේමදාස ‘ඉන්දියා-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා’ යන මැයෙන් පැවති උත්සවයකදී ANI විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.
“මහාද්වීපික පර්වත තලය සහ ඉහළ මුහුද සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මුහුදු නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) යටතේ අන්තර්ජාතික නීති සහ රෙගුලාසි තිබෙනවා, ඒවාට ගරු කළ යුතුයි. නීති විරෝධී, නියාමනය නොකළ සහ වාර්තා නොකළ මසුන් ඇල්ලීම මෙම නීතිමය නියමයන්ට අනුකූලව විසඳා ගැනීම සහතික කිරීම වැදගත්,” ඔහු තවදුරටත් පැවසීය.
ධීවරයන්ගේ ජීවනෝපාය ගැටලු පිළිගනිමින් ප්‍රේමදාස පැවසුවේ ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් නීතියේ පරීක්ෂණයට ඔරොත්තු දෙන බව රජයන් දෙකම සහතික කළ යුතු බවයි.
“මෙයට කුටුම්භවල ජීවනෝපාය සම්බන්ධ බව අපි තේරුම් ගත යුතුයි, නමුත් එවැනි සියලු ආදායම් උත්පාදන ක්‍රම නීත්‍යනුකූල බව සහතික කිරීම සමානව වැදගත්. පැහැදිලි සහ ස්ථිර රාමුවක් නොමැතිව ක්‍රියාත්මක වීමට වඩා, දෙපාර්ශ්වයම කල් පවතින විසඳුමක් සඳහා එක්ව කටයුතු කළ යුතුයි,” ඔහු පැවසීය.
කච්චතිව් අසල ශ්‍රී ලංකා මුහුදු සීමාවට තමිල්නාඩු ධීවරයන් ඇතුළු වීම සම්බන්ධයෙන් දෙරට අතර අඛණ්ඩ ආතතීන් පවතින අතර, එය බොහෝ විට අත්අඩංගුවට ගැනීම් සහ සමුද්‍රීය මායිම් ආරවුල් ඇති කරයි.
ශ්‍රී ලංකා අගමැති හරිනි අමරසූරිය, පසුගිය මාසයේ අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමෙන් පසු, මෙම ගැටලුව ‘සංවේදී එකක්’ ලෙස විස්තර කළ අතර, ප්‍රායෝගික විසඳුමක් සොයා ගැනීම සඳහා දෙරට සාකච්ඡා අඛණ්ඩව කරගෙන යන බව පැවසීය.
“අපේ ධීවරයන්ගේ ජීවනෝපායන් ද ආරක්ෂා කළ යුතුයි, නමුත් එය සංවේදී කාරණයක් බව අපි තේරුම් අරන් ඉන්නේ, අපි ඒ ගැන දිගටම කතා කරනවා,” අමරසූරිය පැවසුවාය.
ඉන්දීය-ශ්‍රී ලංකා සබඳතාවල ධීවර ගැටලුව වඩාත් මතභේදාත්මක අංගයක් ලෙස පවතී.අතීතයේ දී ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ට ඉන්දීය ධීවරයන්ට වෙඩි තබා ඔවුන්ගේ බෝට්ටු අල්ලා ගත් බවට චෝදනා එල්ල විය.ශ්‍රී ලංකාවෙන් තමිල්නාඩුව වෙන් කරන පටු ජල තීරුව වන පෝක් සමුද්‍ර සන්ධිය, දෙරටේම ධීවරයන් සඳහා පොහොසත් ධීවර භූමියකි.
මේ අතර නවීන වෙළෙඳ යථාර්ථයන්ට ගැලපෙන පරිදි ඉන්දු – ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යාවත්කාලීන කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මියගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.ඒ, නවදිල්ලියේදී ඇය සමඟ හමුවකට එක්වූ අවස්ථාවේදීයි.
ඉන්දියාවේ සංචාරයක නිරත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එරට මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය හමුවී තිබුණේ නවදිල්ලියේ පිහිටි මුදල් අමාත්‍යාංශයේදියි.
එහිදී ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව සහ කලාපීය ඒකාබද්ධතාවය ගැඹුරු කිරීම පිළිබඳ සාකච්ඡා පවත්වා තිබෙනවා.
විපක්ෂ නායක මාධ්‍ය අංශය සඳහන් කළේ, ඉන්දියාව වැනි විශාල වෙළෙඳපොළකට ප්‍රවේශ වීමෙන් ශ්‍රී ලංකාවේ කර්මාන්ත වේගයෙන් වර්ධනය විය හැකි බව පැවසූ මුදල් අමාත්‍යවරිය, ශක්තිමත් දේශීය කර්මාන්ත හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික ස්වෛරීභාවය වැඩි දියුණු කළ හැකි බව මෙහිදී අවධාරණය කර ඇති බවයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුද සමයේ ඉන්දියාව ලබාදුන් අමෙරිකානු ඩොලර් බිලියන 4ක සහයෝගයට මෙහිදී විපක්ෂ නායකවරයා සිය ස්තූතිය පළකර තිබෙනවා.
ඒකාබද්ධ ව්‍යාපාර සහ තාක්ෂණ හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියා – ශ්‍රී ලංකා කාර්මික කලාපයක් නිර්මාණය කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කළ අතර, නවීන වෙළෙඳ යථාර්ථයන්ට ගැලපෙන පරිදි ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යාවත්කාලීන කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉන්දීය මුදල් අමාත්‍යවරියගෙන් ඉල්ලා තිබුණා.
මේ අතර ඉන්දියානු කර්මාන්ත සඳහා කැප වූ ඉන්දියා – ශ්‍රී ලංකා ඒකාබද්ධ කාර්මික හා තාක්ෂණ වෙළෙඳ කලාපයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කර තිබෙනවා.
ඒ ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් හමුවූ අවස්ථාවේදීයි.


