කැනඩාවේදී වැඩිහිටියන්ට සැලසෙන විශේෂ සේවාවන්

බොහෝ දියුණු රටවල් සමඟ සංසන්දනය කර බැලීමේදී, කැනේඩියානු වැඩිහිටියන්ගේ ආදායම ඉතා ඉහල මට්ටමක තිබෙනා බව අප කවුරුත් දන්නා කරුණක්. අද මම මේ සටහන තබන්නේ කැනඩාවේ වැඩිහිටියන්ට ඔවුනගේ විශ්‍රාමික අවධියේදී ලැබෙනා ප්‍රතිලාභ ගැන.

නමුත් මේ මාතෘකාවකට ප්‍රථම, රැකියාවක් කරනා කාලය තුලදී තමාගේ විශ්‍රාමික අවධිය වෙනුවෙන් කැනේඩියානුවන් කරනා දායකවීමද සාකච්චා කල යුතුමයි. 

සියලුම කැනේඩියානු රැකියාවල නියුතු අය සේවා කාලය තුලදී, තමාගේ වැටුපෙන් CPP, ඒ කියන්නෙ Canada Pension Plan එකට, EI ඒ කියන්නෙ රැකියා රක්ෂණයට(Employment Insurance) සහ කැනේඩියානු ආදායම් බදු(Income Tax) ගෙවිය යුතුමයි. CPP අරමුදලට ගෙවනා මුදල පසුව එම සේවාදායකයාට ලබා ගන්න පුළුවන්. රැකියා රක්ෂණයට ගෙවපු මුදල ලැබෙන්නෙ එම සේවාදායකයාට රැකියාව අහිමිවූ විට, රැකියාවක් ලැබෙන තෙක් ලැබෙන දීමනාවක් හැටියට. රජය එකතු කරන බදු මුදල්(Income Tax)  භාවිතා කරන්නේ කැනේඩියානුවන් දිනපතා භුක්ති විඳින පොදු පහසුකම්, වැඩසටහන් සහ සේවාවන් සඳහා වගේම අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, ප්‍රවාහන වැනි  අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා.

කැනේඩියානු වැඩිහිටියන්ට රජයේ විවිධ ප්‍රතිලාභ තිබෙනවා. ප්‍රධාන වශයෙන් මහලු වියට ලැබෙන ආරක්ෂාව (OAS හෙවත් Old Age Security) සහ කැනඩා විශ්‍රාම වැටුප් සැලැස්ම (CPP හෙවත් Canada Pension Plan) කියනා දීමනා වර්ග දෙක. ඉතා අඩු ආදායම් ලබන අයට GIS(Guaranteed income supplement) නමින් තවත් අතිරේක ආදායමක් ලැබෙනවා. 

අපි ප්‍රධාන ප්‍රතිලාභ එකින් එක බලමු:

  • Old Age Security හෙවත් මහලු වියේ විශ්‍රාම වැටුප – මේ විශ්‍රාම වැටුප ලැබීමට කැනඩාවේ වයස අවුරුදු 18 න් පසු අවම වශයෙන් අවුරුදු 10ක කාලයක් ජීවත්ව සිට වයස අවුරුදු 65 ක් වූ කැනේඩියානු පදිංචිකරුවකු (Permanent resident or Canadian citizen) විය යුතුමයි. ඒත් එක්කම ඔවුන්ගේ ආදායම $91,000ට(2024 වර්ෂය සදහා) වඩා අඩුවිය යුතු අතර මේ ආදායම වාර්ෂිකව වෙනස් වෙනවා.
  • CPP – Canada Pension Plan- මෙම අරමුදලට දායක වූ මුදල ආපසු ලබාගැනීමට අවම වශයෙන් දායක වූ පුද්ගලයාට අවුරුදු 60ක් විය යුතුයි. නමුත් CPP(Canada Pension Plan) ප්‍රතිලාභය ලැබීමට වෙන කිසිම කොන්දේසියක් නැහැ. එයට හේතුව සෑම පුද්ගලයෙක්ම රැකියාව කරන අතරතුර CPPයට ගෙවන ලද මුදලයි මේ නැවත ලැබෙන්නේ. නමුත් ඒ ගෙවීමටත් සීමාවක් තිබෙනවා-2025 වසර සඳහා එම මුදල $1433 යි. කෙතරම් මුදලක් Canada Pension Plan එකට සම්මාදම් වී තිබුනත් $1433 ට වඩා වැඩි මුදලක් ලබා ගත නොහැකියි.
  • GIS – Guaranteed income supplement- මෙය වයස 65ට වැඩි කැනඩාවේ අවුරුදු 10කට වඩා ජීවත් වූ, සියළුම ආදායම් මාර්ග තුලින් ලැබෙන ආදායම $22,272 (2025දී)ට වඩා අඩු විශ්‍රාමිකයින්ට ලැබෙනා අමතර මුදලක්. 2025 වසර  තුළ තනිකඩ, වැන්දඹු හෝ දික්කසාද වූ පුද්ගලයෙකු සඳහා උපරිම මාසික GIS ගෙවීම ඩොලර් 1,097ක් වනවා.

මේ විශ්‍රාම වැටුප් අතරින්, විශ්‍රාමිකයා මිය ගිය පසු, අඩු ආදායම් වැන්දඹු අයට, අවුරුදු 18ට අඩු දරුවන්ට දීමනා ලැබෙන්නේ CPP අරමුදල මගින් පමණයි. අනික් සියලුම දීමනා ජීවත්ව ඉන්න තාක් කල් විශ්‍රාමිකයාට ලැබෙන දීමනා පමණයි. 

දැන් බලමු කැනඩාවේ වැඩිහිටියන්ට ලැබෙනා මුදල් නොවන ප්‍රතිලාභ මොනවද කියලා.

  • මුලින්ම සඳහන් කල යුතුයි විනාඩි කිහිපයක් වැනි සුළු කාලයකින් හදිසි අසනීපයක් වැළඳුනු පුද්ගලයෙකු වෙනුවෙන් පැමිණෙන කැනේඩියානු Ambulance සේවාව ගැන. මෙය වැඩිහිටියන්ට පමණක් නොව සෑම අවශ්‍ය කෙනෙකුටම ලැබෙනා ප්‍රතිලාභයක්. 
  • දන්ත ප්‍රතිලාභය නොහොත් දත් සෞඛ්‍ය ආරක්ෂාව – වැඩිහිටියන්ගේ විශ්‍රාමික ආදායම $90,000 ට වඩා අඩුනම් සහ ඔවුනට පෞද්ගලික දන්ත ප්‍රතිලාභයක් නොමැති නම් වැඩිහිටියන්ට දන්ත අවශ්‍යතාවයන් නොමිලේ කර ගැනීමට මින්  අවස්තාව තිබෙනවා.
  • යම් වැඩිහිටියකුට තමාගේ වැඩ කටයුතු ස්වාධීනව කරගත නොහැකි නම්, පෞද්ගලික රැකවරණය, ගෘහ පාලනය සහ විශේෂිත සත්කාර ඇතුළු විවිධ ගෘහස්ථ සේවාවන් නොමිලේ ලබා ගැනීමට  කැනේඩියානු වැඩිහිටියන් සුදුසුකම් ලබනවා. ඒ සාත්තු සේවකයින් නිවසටම පැමිණ නෑවීම්, ආහාර පිළියෙළ කිරීම්, කෑම කැවීම්, ගෙදර දොර පිරිසිදු කරදීම්, රෙදි සේදීම් වැනිදේ කර දෙනවා.
  • අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ට බොහෝ ඖෂධ වර්ග මසකට $2 වැනි සුළු මුදලකට වෛද්‍ය වරයකු නියම කල බෙහෙත් ලබා ගත හැකියි.
  • එමෙන්ම Wheelchair වැනි වැඩිහිටියන්ට අත්‍යාවශ්‍ය ආම්පන්න ඉතාමත් සුළු මුදලකට හෝ නොමිලේ ලබා ගන්නත් පුළුවන්.
  • වාහනය පදවා ගෙන යම් තැනකට යාමට අපහසු වැඩිහිටියන්ට එක් එක් ප්‍රාන්ත මගින් ප්‍රවාහන පහසුකම් සලසන්නේ බස් ටිකට් එකට සමාන ඉතා සුළු මුදලක් අය කිරීමෙන්. ඇවිදීමට නොහැකි වැඩිහිටියා රෝද පුටුව පිටින්ම ආරක්‍ෂිතව ඇතුලට ගත හැකි ආකාරයට තාක්ෂනික පහසුකම් මේ වාහනවල සවිකර තිබෙනවා.
  • අඩු ආදායම් ලබන වැඩිහිටියන්ට ඉතාමත් අඩු කුලියකට නිවාස සැපයීමත් කැනේඩියානු රජය සහ නගර සභා මගින් සිදු කරනවා. ඊට අමතරව, ඔවුනට වැඩිහිටි නිවාසයකට යාමට අවශ්‍ය නම් ඒ පහසුකමත් නොමිලේ ලබා ගැනීමට පහසුකම සලසා තිබෙනවා.  
  • අඩු ආදායම් ලබන වැඩිහිටියකු මිය ගිය පසු  මූලික අවමංගල්‍යයක්, භූමදානයක් හෝ ආදාහනයක් ඒ වැඩිහිටියාට දරාගත නොහැකි නම්, ඒ සඳහා මුල්‍යමය ආධාර බොහෝ නගර සභාවලින් හෝ කලාපීය වැඩසටහන් මගින් සපයනු ලබනවා. නමුත් මිය යාමට පෙර ඒ සඳහා ඉල්ලුම් කර තිබිය යුතුයි.
  • සෑම පොදු ප්‍රවාහන සේවයකම, Wheelchair එක සමගින්ම ගමන් බිමන්  යාමේ පහසුකම් වැඩිහිටියන්ට(සහ ආබාධිත පුද්ගලයින්ට) ලබා දී තිබෙනවා. Wheelchair එක බසයට ඔසවා තැබීම එහිදී තාක්ෂණිකව සිදු කරනවා. එමෙන්ම පොදු ප්‍රවාහන සේවය තුල ඔවුන් සඳහාම විශේෂ ආසන වෙන් කර තිබෙනවා. 
  • වැඩිහිටි සහ ආබාධිත අය තමාගේ සහායට කැටුව යන පුද්ගලයාට (Support Person) රජයේ බොහෝ පොදු ප්‍රවාහන සේවාවල සහ  බොහෝ කැනේඩියානු ගුවන් සේවාවල කැනඩාව ඇතුලත හෝ කැනඩාව ඇමෙරිකාව අතර නොමිලේ යාමට පුළුවන්. නමුත් ඒ ටිකට් පතට බදු මුදල් ගෙවිය යුතුයි. ඒ වගේම බොහෝ කැනේඩියානු කෞතුකාගාර, සිනමා ශාලා, අනෙකුත් විනෝදයට යන තැන්වලට මේ සහකාර පුද්ගලයාට නොමිලේ යාමට පුළුවන්. ඒකට The Access 2 Program යටතේ card එකක් ලබා ගත යුතුයි.
  • රථවාහන ගාල්වල(Parking Lots), ආසන්නයේම තිබෙනා Parking spots ආබාධිත වැඩිහිටියන් සහ ආබාධිතයින් වෙනුවෙන් වෙන් කර තිබෙනවා.
  • ඒ වගේම, වයෝවෘද්ධ වැඩිහිටියන් වෙනුවෙන් ඔවුන්ගේම භාෂාවෙන් පවත්වාගෙන යන නොයෙකුත් විනෝද, අධ්‍යාපන වැඩ සටහන්, විවිධ සංස්කෘතික ප්‍රසංග වැනිදේ පන්සල්, පල්ලි, ප්‍රජා මධ්‍යස්ථාන වැනි ස්ථානවල පවත්වාගෙන යනවා. මෙයට හොඳම උදාහරණය තමයි, මිසිසාගා වෙස්ට් විහාරස්ථානය පවත්වාගෙන යන “වැඩිහිටි වැඩසටහන”. 

මේ සියළුම දේ සැපයීමෙන් කැනේඩියානු රජය බලාපොරොත්තු වන්නේ, රට වෙනුවෙන් සේවාවක් කල වැඩිහිටියන්ට ඔවුනගේ වයෝවෘද්ධ අවධියේදී, ස්වාධීන, සුරක්ෂිත සහ ගෞරවනීය විවේක සුවයක් ලබා දීම මෙන්ම ඔවුනට වටිනාකමක් සහ අභිමානයක් ලබා දීමට. 

කැනඩාවේ වැඩිහිටියන්ගේ ආදායම අනිකුත් දියුණු රටවල වැඩිහිටියන්ගේ ආදායමත් සමඟ සංසන්දනාත්මකව බැලුවොත් 

මේ සමඟම, ලංකාවේ වැඩිහිටියන්ගේ තත්වය ගැනත් කතා කිරීම උචිතයි නේද?

අධ්‍යයනයකට අනුව, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 10% සිට 15% දක්වා පිරිසකට පමණක් යම්කිසි  ආකාරයක පොදු විශ්‍රාම වැටුපක් සඳහා ප්‍රවේශය ඇති බව ඇස්තමේන්තු කර තිබෙනවා. ලංකික ජනගහණයට සාපේක්ෂව මෙය ඉතා කුඩා ප්‍රතිශතයක්. විශ්‍රාම වැටුප් ලබන අයට පවා බොහෝ විට ඔවුන්ගේ ආදායම් මට්ටම, වියදමට සාපේක්ෂව ඉතා පහල මට්ටමකයි පවතින්නේ. 

මේ වගකීම දැරිය යුත්තේ කවුරුන්ද?

මුලින්ම, එය වැඩිහිටියන් විසින් තමා වෙනුවෙන් තමාම සිදු කරගත යුතු වගකීමක්. අනිවාර්යයෙන්ම, තමාගේ අවසන් කාලය වෙනුවෙන් යම් මුදලක් ඉතිරිකර තබා ගැනීමට ඔවුන් අදිටන් කර ගත යුතුයි. අවම වශයෙන්, තමාට අයිති ගේ දොර වතුපිටි, දරුවන්ට පවරන්නේ නම්, ප්‍රාණ භුක්තිය තමා සතුව තබා ගැනීමට ඔවුන් බුද්ධිමත් විය යුතුයි. එවිට වැඩිහිටියන්ට දරුවන්ටවත් බරක්, කරදරයක් නොවී ජීවත්වීමේ හැකියා ලැබෙනවා. එසේ නොවුනාවූ බොහෝ අවස්ථාවල, දෙමාපියන් තම නිවසින් පලවා හරින ලද දරුවන් සම්බන්ධ සිද්ධීන් පුවත්පත්වලින් අපට දැක ගන්න ලැබී තිබෙනවා.

දෙවනුව, තමා ඇති දැඩි කල දෙමාපියන් තමාට හැකි පමණින් රැක ගැනීම දරුවන්ගේ යුතුකමක්. එමගින්, ඔවුන් තමාගේ දරුවන්ටද ඉතාමත් අගනා ආදර්ශයක් ලබා දීම හේතුවෙන්, ඔවුනගේ විශ්‍රාමික සමයටද තම දරුවන්ගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලබා ගත හැකි වෙනවා. 

තෙවනුව, සරණක් නොමැති වැඩිහිටි පුරවැසියන් රැක බලා ගැනීම සහ ඔවුනගේ සුභ සිද්ධිය එම රටේ රජයේ වගකීමක්. මේ වැඩිහිටියන් තම ජීවිත කාලයම කැප කලේ තම දරු මුණුබුරන් ඇති දැඩි කිරීමට පමණක් නොවේ. රටේ ආර්ථිකය වෙනුවෙන්ද අපේ ශ්‍රී ලාංකික දෙමාපියන් අතින් මහඟු සේවාවක් සිදු වෙනවා. එයට කලගුණ සැලකීමක් වෙනුවෙන් ඔවුන්ගේ  විශ්‍රාමික දිවිය සුවසේ ගතකිරීමේ අයිතිය ඔවුනට ලාබාදීමේ භාර දූර වගකීම රජයට පැවරෙනවා.

මේ අයුරින් සෑම පාර්ශවයක්ම එකමුතුව වගකීමෙන් කටයුතු කරන්නේ නම්, යමක් කරගත නොහැකි අවධියේ සිටිනා වැඩිහිටියන්ට සැනසිල්ලේ ගෞරවයක් සහ  අභිමානයක් ඇතිව ජීවත්වීමට හැකි සෞභාග්‍යමත් පරිසරයක් ගොඩ නගා දෙන්න පුළුවන්. 

නැවතත් රසවත් ලිපියකින් හමුවන තෙක් ඔබට ආයුබෝවන්!

Access2card info:

CPP(Canada Pension Plan), OAS(Old Age Security) and GIS(Guaranteed Income Supplement) contact information:

Canada and the United States Toll-free: 1-800-277-9914

Canadian Pensions-OAS

https://www.canada.ca/en/services/ben…

Canadian Pensions-CPP

https://www.canada.ca/en/services/ben…

Canadian Pensions-GIS

https://www.canada.ca/en/services/ben…

PSW Care at Home Part 1: Home & Community Care Support Services:

   • PSW Care at Home Part 1: Home & Community …  

Ontario Disability Support Program eligibility for income support

https://www.ontario.ca/page/ontario-d…

Few airlines provide free air tickets(except HST for the ticket) for the support person(Person accompanying the disabled person). This information only for Air Canada:

https://www.aircanada.com/ca/en/aco/h…

Benefits from the Canadian government for Canadian seniors and Resources for accessibility needs

Leave a Reply

Your email address will not be published. Required fields are marked *