
දේශපාලන ක්ෂේත්රයේ පසුගිය සතියේ බොහෝ කතාබහට ලක් වූයේත් තවමත් සංවාදයට ලක් වෙමින් පවතින්නේත් නිදහසින් පසු ඉදිරිපත් කෙරුණු 80 වැනි අයවැයයි. වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුවේ දෙවැනි අයවැය වන මෙය මුදල් ඇමැතිවරයා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුයේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසිනි. ඉකුත් 7 වැනිදා සවස 1.35ට ජනාධිපතිවරයා අයවැය කතාව ආරම්භ කළ අතර, සවස 5.55ට අයවැය කතාව අවසන් කළේය.
මේ අයවැය අංශ කිහිපයකින්ම රටට වැදගත් වන අතර, පැය 4යි විනාඩි 20ක කාලයක් තුළ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හමුවේ තැබූ කරුණු කෙරෙහි මෙරට ආර්ථික විශේෂඥයන්ගේ වැඩි අවධානයක් යොමු වී තිබිණි. රට ආර්ථික වශයෙන් ස්ථාවර කිරීමට ගනු ලැබූ සාධනීය පියවර රැසක් මෙවර අයවැයට ඇතුළත්වී ඇති බව ආර්ථික විශේෂඥයින් මෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් පෙන්වා දී තිබීම විශේෂත්වයකි.
ජනපති විපක්ෂය සමග සංවාදයක
ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කරද්දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ අදහස් හුවමාරු කරගැනීම යහපත් දේශපාලන කතිකාවක් ගොඩනැඟීමට හේතු වන බව දේශපාලන විචාරකයන්ගේ අදහස විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත මුදල් සඳහා රු. මිලියන 10ක මුදලක් දෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමත් සමගම මුජිබර් රහුමාන්, මනෝ ගනේශන්, හර්ෂණ රාජකරුණා, දයාසිරි ජයසේකර, ප්‍රසාද් සිරවර්ධන ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම විමසා සිටියේ 2025 වර්ෂය සඳහා එම මුදල් නොලැබුණු බවයි. එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ 2026 වසරේදී එය අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන බවයි.
පළාත් සභා ඡන්දය ගැනද ජනධිපතිවරයා ප්‍රකාශ කරනවාත් සමඟම විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැකි ඉක්මනින් පළාත් සභා ඡන්දය පවත්වන ලෙස ප්‍රකාශ කරන්නට වූහ.
“පළාත් සභා ඡන්දය කල් දැම්මේ කවුද? පළාත් සභා ඡන්දය එපා කියපු පළාත් පාලන ඇමැතිවරයකුත් හිටියා මං හිතන්නේ. දැනුත් ඉන්නවා” යනුවෙන් ප්‍රකාශ කළ ජනාධිපතිවරයා විරුද්ධ පක්ෂය දෙස ඕනෑකමින් බැලුවේ එම හිටපු අමාත්‍යවරයා සිටින පැත්ත දෙසයි.
“ආ… මේ ඉන්නේ ෆයිසර් මුස්තාපා” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන විටම මුළු සභාවටම සිනා පහළ විය.
“ඔබතුමාට පුළුවන් නේ පළාත් සභා ඡන්දය ඉක්මනට තියන්න” යනුවෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරන විට ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ “බය වෙන්න එපා. අයවැයෙන් රු. බිලියන 10ක් පළාත් සභා ඡන්දෙට වෙන් කරලා තියෙනවා. දැන් තියෙන නීති අනුව ඡන්දෙ තියන්න බැහැ. ඒක නිසා ඡන්දේ තියන්න නීතිය පාර්ලිමේන්තුවේ අනුමත කරලා දෙන්න” යනුවෙනි.
තේ පැන් සංග්‍රහයේදී ජනපති වට කරගනී.
අයවැය කතාවෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භෝජනාගාරයේදී තේපැන් සංග්‍රහය ආරම්භ වූයේ සවස 6.15ට පමණය. ජනාධිපතිවරයා පැමිණීමට පෙර මුලින්ම තේ පැන් සංග්‍රහයට පැමිණ සිටියේ චාමර සම්පත් දසනායක සහ දිලිත් ජයවීර මන්ත්‍රීවරුය. ජනාධිපතිවරයාගේ පැමිණීමත් සමඟම තානාපතිවරුන් ඇතුළු ආරාධිතයන් විශාල පිරිසක් පැමිණ ජනාධිපතිවරයා සමග කතාබහ කළහ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තේ පැන් සංග්‍රහයට පැමිණ නොසිටියද රංජිත් මද්දුමබණ්ඩාර, ගයන්ත කරුණාතිලක, කබීර් හෂීම්, ආචාර්ය හර්ෂ ද සිල්වා, ජේ.සී. අලවතුවල, දයාසිරි ජයසේකර, කිංස් නෙල්සන්, රවී කරුණානායක ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් ජනාධිපතිවරයා සමඟ තේ පානය කරමින් සුහදව කතාබස් කරන අයුරු දක්නට ලැබිණි.
හර්ෂ, කබීර් ජනපතිට කිවුවේ මොනවාද?
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතුරින් ජනාධිපතිවරයා සමඟ වැඩිම වේලාවක් කතාබහ කළේ ආචාර්ය හර්ෂ ද සිල්වා සහ කබීර් හෂිම් ය.
“ජනාධිපතිතුමා, සුවසැරිය නම් වෙනස් කරන්න එපා” යනුවෙන් හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේය.“හර්ෂ බය වෙන්න එපා බය වෙන්න එපා. සුවසැරියේ කිසිවක් වෙනස් කරන්නේ නැහැ” යනුවෙන් ජනාධිපතිවරයා සිනා සෙමෙන් පැවසීය.
“හුඟ දෙනකුට වැට් බද්ද ගෙවන්න වෙන විදිහට වැට්බද්ද සංශෝධනය කරන්න එපා” යනුවෙන් ඉල්ලීමක් කළේ කබීර් හෂීම් මන්ත්‍රිවරයායි. ඊට අමතරව බදු සංශෝධන පිළිබඳව හර්ෂ ද සිල්වා සහ කබීර් හෂීම් දීර්ඝ ලෙස ජනාධිපතිවරයා සමඟ කතාබස් කරන අයුරු දක්නට ලැබිණි.
ජනාධිපතිවරයා පිටත්ව යෑමට සූදානම් වන අවස්ථාවේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මුණගැසුණේය.
“මොකද පාර්ලිමේන්තුවේ සද්දේ?” යනුවෙන් අර්චුනාගෙන් ජනාධිපතිවරයා විමසුවේ සිනා මුසු මුහුණිනි. අර්චුනා ඊට සිනා සුණා මිස, කිසිවක් ප්‍රකාශ කළේ නැත.
ජනපතිගේ අයවැය කතාව විපක්ෂ නායක කාර්යාලයේ සිට නැරඹුවේ කවුද?
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ සිට විවිධ ක්ෂේත්රවල ආර්ථික විශේෂඥයන් පිරිසක් ජනාධිපතිවරයාගේ අයවැය කතාවට අවධානය යොමු කර තිබේ.
පසුගියදා (7) ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සිට අයවැය කතාව ඉදිරිපත් කරද්දී විපක්ෂ නායක කාර්යාලයේ සිටි ආර්ථික විශේෂඥයන් පහළොස් දෙනකු පමණ එම කතාව හොඳින් අධ්‍යයනය කර ඇති බව වාර්තා වේ. ඉන් අනතුරුව එදින සවස 6.00ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම ආර්ථික විශේෂඥයන් විසින් මෙම අයවැය කතාවේ තිබෙන කාරණා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර තිබේ.
හර්ෂගේ සහතිකය.
පාර්ලිමේන්තුවේ අයවැය විවාදය ආරම්භ කළ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පළමු දිනයේම කියා සිටියේ භාණ්ඩාගාරය පිරිලා ඉතිරිලා යන බවත්, ට්‍රිලියන ගණන් මුදල් ලැබී ඇති බවත්ය. හර්ෂගේ මෙම කතාවෙන් ගම්‍ය වන්නේ මාලිමා ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ සාර්ථක බවයි. විපක්ෂයේ සිටින ප්‍රධානම ආර්ථික න්‍යායාචාර්යවරයාගේ මේ ප්‍රකාශය හේතුවෙන් ආණ්ඩුවේ ඇමැතිවරුන් පවා අපි සාර්ථකයි වැනි හැඟීමකින් ප්‍රීතිමත් තත්ත්වයකට පත්ව හර්ෂගේ ප්‍රකාශය උපුටා දක්වමින් පාර්ලිමේන්තුව තුළ කතා කළහ.
කෙසේ වෙතත් හර්ෂගේ කතාව සම්බන්ධයෙන් මරික්කාර් සහ සුජීව සේනසිංහ මන්ත්‍රීවරුන් බෙහෙවින් කලබල වී තිබේ. ‘හර්ෂ මොකටද එහෙම කතාවක් කිවුවේ? ඕවා කියන වෙලාවක්ද මේ? ඔය ආර්ථික න්‍යායන්ගෙන් වැඩක් නෑ. අපි ආණ්ඩුවට කුඩු වෙන්න ගහන්න ඕනෑ’ වැනි ස්ථාවරයක සිටිමින් මේ දෙදෙනා හර්ෂට විරුද්ධව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා ඇත. සුජීව සේනසිංහ කළ කතාව ඇතුළේ හර්ෂවද විවේචනය වන්නේ මේ පසුබිමෙහිය.
රනිල් අයවැය ගැන කතා කරයි.
“මූලික අයිතිවාසිකම් අනුව හැමෝටම එක විදියට සලකන්න අවශ්‍යයි නේ. තේ වතුවලට සලකනවා නම් රබර් වතු, ඇඟලුම් කම්හල්, ඔය වගේ මේ ක්‍රමය නවත්වන්නේ කොහෙද? සමාගම් කිහිපයකට විතරක් මේ සහනය දීල නවත්තන්න බැරි වෙනවා” රනිල් ඒ ගැන පුළුල් විවරණයක් කළේ එසේය.
“මෙතන කියන්නේ මහජනතාව එක කොටසක් ගෙවන සල්ලි අරගෙන තව කොටසකට දෙන්න කියලා” රුවන් පැහැදිලි කිරීමක් කළේය.
“ජනාධිපති අයවැයේදී කිවුවේ කම්කරුවන් විදේශ විනිමය ගෙනෙන්න වතු ජනතාව සුවිශේෂ කැප කිරීමක් කරන නිසා මේ දීමනාව දිය යුතු බවයි” රජයේ හිටපු ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් කරුණාරත්න කීය.
“ඒ තර්කෙට අනුව ටුවරිසම්වල ඉන්න අයට මේක නොදෙන්නේ ඇයි? එහෙම බැලුවොත් මීගමුවේ ඉන්න වෛශ්‍යාවන්ටත් මේක දෙන්න ඕන නේද?” මුඛරි මන්ත්‍රීවරයකු ඒ කී කතාවට රනිල්ටත් සිනා පහළ විය.
“නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටෙකුයි තව ටිකකුයි ඕන කියනව වගේ, වතු කම්කරුවන්ගේ මේ පඩි වැඩි වීමත් ඇත්තටම කෙරෙන විදිහට කළොත් හොඳයි” රනිල් කීවේ තමාගේ කාලයේ වතු සේවක පඩි වැඩි කිරීමට ගත් සාධනීය පියවර පිළිබඳවද මතක් කර දෙමිනි.
“පඩි වැඩි කරන්න බැරි නම් වතු අපිට ආපහු දෙන්න කියලා මම කිව්වා” රනිල් කීවේය.
රනිල් නොදුන් වාහන දැන් මේ ආණ්ඩුව විසින් මන්ත්‍රීවරුන්ට ලබාදීමට යයි. මේ වැඩ පිළිවෙළින් වන්නේ අවුරුදු පහේම ආණ්ඩුව විසින් මේ වාහන නඩත්තු කළ යුතු වීමයි.
“තමන්ගේ කියල හැඟීමක් නැති නිසා ඔය වාහනවලින් ගල්, සිමෙන්ති, ගොම වගේ දේවලුත් අදීවි” චාමර සම්පත් එසේ කීවේ ආණ්ඩුවේ පුතයන්ගේ පැටිකිරිය ගැන ඔහු හොඳාකාරවම අධ්‍යයනය කර සිටි නිසාය.
හරීන් වැඩට බහී.
හරීන් එජාප නියෝජ්‍ය මහලේකම් ධුරයේ වැඩ භාර ගත්තේ පිට කෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදීය. මාස 6ක් යෑමට පෙර එක්සත් ජාතික පක්ෂයේ බලවේගයක් නිර්මාණය කරන බව හරීන් වැඩ භාර ගනිමින් කීවේය. හරීන් එහිදී තවත් අලුත් කතාවක් හෙළිදරවු කළේය. ඒ, ලබන දෙසැම්බරයේ සිට අරඹන්න යන වැඩකි. ‘රනිල්ගෙන් ඉගෙන ගන්න’ ඒ වැඩසටහනේ නමයි. තරුණයන්ට රනිල්ගෙන් ප්‍රශ්න අසමින් දේශපාලනය ඉගෙන ගැනීමට අවස්ථාව සලසා දීම ඒ වැඩසටහනේ ව්‍යූහයයි. මේ අවස්ථාවට සභාපති වජිර, අකිල, තලතා, සාගල ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු එක් වුහ.
එජාප කළමනාකරණ කමිටුව නායක රනිල්ගේ ප්‍රධානත්වයෙන් මල් පාර කාර්යාලයේදී පැවැත්විණි. පක්ෂය ප්‍රතිසංවිධානය, නව දිස්ත්‍රික් කළමණාකරුවන් පත් කිරීම සහ දිස්ත්‍රික් ලේකම්වරුන් පත් කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡ කර තිබිණි.
නාමල් රනිල්ගේ මල් පාරට.
“ජන පීඩක ආණ්ඩුවලට එරෙහිව ලෝක දේශපාලනයේ විපක්ෂ බලවේග එකට වැඩ කරලා තියෙන්නෙම එකිනෙකා අතර පවතින ප්‍රතිපත්තිමය වෙනස්කම් සහිතව.
අපි අතරෙත් ප්‍රතිපත්තිමය වෙනස්කම් තියෙනවා. විපක්ෂයේ සියලු පක්ෂ එක ප්රතිපත්තියකට එකඟ වන තුරු බලා සිටියොත් මේ ආණ්ඩුව පුරවැසියාගේ සහ ජාතියේ අනාගත අපේක්ෂා බිමටම සමතලා කරලා විනාශම කරලා තියෙයි” යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.
ඔහු මේ කතාව පැවසුවේ කොළඹ මල් පාරේ පිහිටි, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලයේදී පසුගිය බදාදා හවස එජාපය සමඟ පැවති විශේෂ රැස්වීමේදීය. 21 දින නුගේගොඩ රැලියේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පැවති මේ රැස්වීමට පොහොට්ටුව වෙනුවෙන් නාමල් රාජපක්ෂ, සාගර කාරියවසම්, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සංජීව එදිරිමාන්න සහභාගි වූහ. රනිල් වික්‍රමසිංහ, සාගල රත්නායක, රෝසි සේනානායක, සුනේත්‍රා රණසිංහ සහ කොළඹ දිස්ත්‍රික්කයේ එජාප ප්‍රාදේශීය නියෝජිතයෝ පිරිසක් එජාපය වෙනුවෙන් එහි රැස් වී සිටියහ. පිවිතුරු හෙළ උරුමයේ නායක ගම්මන්පිල ද විශේෂ ආරාධිතයකු ලෙස රැස්වීමට ඇවිත් සිටියේය.
‘21 නුගේගොඩ එන්න හේතු 21ක්’ සංජීව එදිරිමාන්න විසින් මෙහිදී එළිදක්වනු ලැබීය.
“ඔබතුමාලගෙ ප්‍රවාහන සැලසුම කල් ඇතිව අපට දෙන්න. එතකොට අපට පුළුවන් අපේ අයවත් ඒ බස්වලට එකතු කරවන්න.” සාගල රත්නායක එසේ පැවසුවේ නාමල් අමතමිනි.
“එහෙනම් අපි තව බස් කීපයක් කොළඹට වැඩි කරන්නම්. නැත් නම් ෆුට්බෝඩ් තමයි එන්න වෙන්නෙ!” නාමල් එහෙම කිවුවෙ සාගලගෙ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්.
“ඊළග පාර මම කැමතියි ඔබව සිරිකොතේදී හමු වෙන්න. මම කවදාවත් සිරිකොත ඇතුළට ගිහිල්ලත් නෑ. කළු කෝපි එකක් බීල අපි ආයෙ දවසක මුණගැහිල කතා කරමු.”
නාමල්ගේ සිරිකොත කතාවෙන් මුළු සභාවම උද්යෝගිමත් වූ බව පෙනීගියේ ඒ අත්පුඩියට විසිල් හඬකුත් මුසු වූ බැවිනි.
කතාව ඉවර කළ නාමල් රැස්වීම් ශාලාවෙන් පිට වීමට සූදානම් වෙද්දී උදා වුණේ සෙල්ෆි ජායාරූප අවස්ථාවය. සභාවේ සිටි හැමොම වගේ නාමල් සමඟ සෙල්ෆි ගහන්න පටන් ගත්හ.
සවුදියෙන් ඇමැති විජිතට සහතිකයක්.
රියාද්හි පිහිටි සවුදි වාණිජ මණ්ඩල සම්මේලනය මූලස්ථානයේදී, සවුදි වාණිජ මණ්ඩල සම්මේලනය (FSC) සහ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (SLFCC) අතර අවබෝධතා ගිවිසුමක් මඟින් ඓතිහාසික ශ්‍රී ලංකා – සවුදි අරාබි ඒකාබද්ධ ව්‍යාපාරික කවුන්සිලය ආරම්භ කිරීමේ අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගි විය.
අර්චුනාට ඩුබායි ගුවන්තොටේදී ඇබැද්දියක්.
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාට ඩුබායි අන්තර්ජාතික ගුවන්තොටුපළේදී පසුගිය 06 වැනිදා පැය 19ක කාලයක් රැඳී සිටීමට සිදුව තිබේ. ඊට හේතු වී ඇත්තේ ඔහුට ප්‍රංසයේ සිට ඩුබායි දක්වා පැමිණෙන විට සිදුවූ යම්කිසි ඇබැද්දියකි. ප්‍රංසයේදී ඔහු ගුවන්තොටුපොළ පරීක්ෂාවට ලක් කරන අවස්ථාවේ ඔහුගේ ලැප්ටොප් යන්ත්‍රය පරීක්ෂා කර ඇති අතර, ආරක්ෂක අංශවලට නැවත එය අර්චුනාට භාර දීමට අමතක වී තිබේ.
තමාගේ ලැප්ටොප් යන්ත්‍රය ප්‍රංසයේ ආරක්ෂක අංශ විසින් තමාට යළි ලබා නොදුන් බව අර්චුනා මන්ත්‍රීවරයා දැන ගත්තේ ඩුබායි ගුවන්තොටුපොළට පැමිණි පසුවය. එම නිසා ඔහු ඩුබායි සිට ප්රංසය දැනුම්වත් කර තමාගේ ලැප්ටොප් යන්ත්‍රය ලබා දෙන ලෙස ඉල්ලා තිබේ. තමාගේ රාජකාරී කටයුතුවලට අදාළ දත්ත රැසක් ලැප්ටොප් යන්ත්‍රයේ තිබෙන නිසා එය තමාට අත්‍යවශ්‍ය බව රාමනාදන් අර්චුනා පැරිස් ගුවන් තොටුපොළේ බලධාරීන්ට දන්වා ඇත. ප්රංස බලධාරීන් මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ ප්‍රංසයේ සිට ඩුබායි දක්වා පැමිණෙන ගුවන් යානයක මෙම ලැප්ටොප් යන්ත්‍රය එවන බවයි. එම ගුවන් යානය පැමිණෙන තුරු අර්චුනා මන්ත්‍රීවරයාට ඩුබායි ගුවන්තොටේ රැඳී සිටීමට සිදු විය. මේ හේතුවෙන් ඔහුට ඩුබායි සිට කොළඹ දක්වා නියමිත ගුවන් යානයෙන් පැමිණීමට නොහැකි වී ඇති අතර, පැය 19ක කාලයක් ඔහුට ඩුබායි අන්තර්ජාතික ගුවන් තොටුපොළේ රැඳී සිටීමට සිදු විණි.
Youth Link Sri Lanka
මේ දිනවල ජාතික තරුණ සේවා සභාව ශ්‍රී ලංකේය ජාතිය ගොඩනැඟීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කරන ‘Youth Link Sri Lanka’ තරුණ හුවමාරු වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන ‘Connect – 2025 YOUTH Clubs’ යන නමින් ක්‍රියාත්මක වන අතර, එහි පළමු අදියර පසුගිය 7 වැනිදා සිට ආරම්භ ව 12 වැනිදා දක්වා ක්‍රියාත්මක විය.
එහි දෙවැනි අදියර මේ වන විට ආරම්භ කර ඇත. එය ලබන 22 වැනිදායින් අවසන් වීමට නියමිතය. තෙවන අදියර 20 වැනිදායින් ආරම්භ කර දෙසැම්බර් 06 වැනිදායින් අවසන් කිරීමට සැලසුම් කර ඇත. එම වැඩසටහනට අනුව පළමු අදියර යටතේ දකුණේ සිට තරුණ තරුණියේ විශාල පිරිසක් උතුරට ගියහ. දෙවන අදියර යටතේ මන්නාරම, මුලතිව්, අම්පාර හා මඩකලපුව දිස්ත්රිතක්කවලට දකුණේ තරුණ තරුණියෝ සහභාගී වූහ. තෙවැනි අදියර යටතේ උතුරු නැඟෙනහිර තරුණ තරුණියන් දකුණට පැමිණිමට නියමිතය.
මෙම වැඩසටහන සඳහා දකුණේ දිස්ත්‍රික්ක 5ක තරුණ තරුණියන් සම්බන්ධ වන අතර, සෑම කණ්ඩායමක්ම තරුණ තරුණියන් 25 දෙනෙකුගෙන් සහ නිලධාරීන් 2 දෙනෙකුගෙන් සමන්විත වේ. දින 6ක කාලය තුළ තරුණ තරුණියන් විවිධ සංස්කෘතික හා සමාජයීය ක්‍රියාකාරකම්වල නිරත වීමට සැලසුම් කර ඇති අතර, දින 6ක කාලය තුළ නවාතැන් ගන්නා නිවැසියන් සමඟ එක්ව ආහාර පිළියෙල කිරීම, ශ්‍රමදාන වැඩසටහන්, ආගමික වැඩසටහන්, රුක් රෝපණ වැඩසටහනක්, සංස්කෘතික වැඩසටහන්, ජන ක්‍රීඩාවල නිරත වීම සහ සත්කාරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඓතිහාසික හා සෞන්දර්යාත්මක ස්ථාන නැරඹීමට “මිතුදම් චාරිකාවක” නිරත වීමට නියමිතය.
තරුණ තරුණියන් හිටපු එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන්ගේ නිවාසවල.
මෙහිදී ඇතැම් තරුණ තරුණියන් නවාතැන් ගෙන තිබුණේ එල්ටීටිඊයට සම්බන්ධ වී කටයුතු කර මිය ගිය පුද්ගලයන්ගේ මෙන්ම එල්ටීටිඊ ක්‍රියාකාරීන් විම නිසා අත්අඩංගුවට පත්ව පුනරුත්ථාපනය කළ පුද්ගලයින්ගේ නිවාසවලය. එලෙස එක් තරුණියක තමන් ලද අත්දැකීමක් විස්තර කළේ මෙලෙසිනි:
“මම නවාතැන් ගත්ත නිවෙසේ දෙමළ ජාතික සහෝදරියගේ තාත්තා එල්ටීටීඊයේ හිටපු ක්රියාකාරිතයෙක්. එයා අත්අඩංගුවට පත්ව පුනරුත්ථාපනයට ලක් කරලා. දැන් එයා ගොඩක් වෙනස් වෙලා. අපෙන් විශේෂ ඉල්ලීමක් කළා එයාලත් එක්ක මේ ගොඩනඟාගන්න හිතවත්කම අත්අරින්න එපා කියලා. අපි ඔයාලා ගැන හරියට දැනගෙන හිටියේ නෑ. අපේ නායකයෝ කියපු හැටියට තමයි අපි වැඩ කළේ. අනේ දුවේ ආයේ නම් ඒ වගේ යුද්ධයක් ඇති වෙන්න ඉඩ දෙන්න එපා කියලා ඒ තාත්තා බොහොම සංවේදී විදිහට කතා කළා. එයාලව දාලා එන්නත් දුක හිතෙනවා සමහර කියන දේවල් එක්ක” යනුවෙන් ඇය පැවසුවාය.
“අපි නවාතැන් ගත් ගෙවල්වල සමහර අම්මලා අපි ප්‍රමාද වුණොත් හෙයා බලනවා. සමහර මවපියෝ අපිව ඇවිදින්න එක්ක යනවා. එයාගේ පවුලේ ඥාතියෙක් ගෙදරට ආවා වගේ තමයි අපිට සැලකුවේ” යැයි තවත් තරුණියක් සිය අත්දැකීම් විස්තර කරමින් සඳහන් කළාය.
වජිර කියන 66 මොකක්ද?
පක්ෂ ක්‍රියාකාරීන්ගේ රැස්වීම අතරතුර වජිර වෙනත් රාජකාරී කටයුත්තක් සඳහා පිටත්ව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන්ට මුණගැසුණු නිසාවෙන් මාධ්‍යවේදීන්ට කාර්යාලය තුළ සිදු වන දේ පිළිබඳව මුලින්ම දැනගැනීමට ලැබුණේ වජිරගෙනි.
“ඇමතිතුමා, මොකද්ද අද මේ වෙන්නේ? නාමල් රාජපක්ෂ මහත්මයත් එනවා අපි දැක්කා…” මාධ්‍යවේදීහු වජිරගෙන් විමසන්නට වූහ.
“මේ මස 21 වැනි දින නුගේගොඩදී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ ‘මහා ජන හඬ’ රැලිය පිළිබඳව අද නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් පැවැත්වුණා.” වජිර පැවසීය.
“මේ සඳහා විපක්ෂයේ පක්ෂ සියල්ලම සහභාගි වෙනවද?” මාධ්‍යවේදීන් නැවත පෙරළා වජිරගෙන් ඇසීය.
“විපක්ෂයේ සියලු පක්ෂ එකට සිටිය යුතුයි. ඒ වගේම විපක්ෂයේ වගකීම සියලු විපක්ෂයේ දේශපාලන පක්ෂ ඉටු කළ යුතුයි.”
“එතකොට ඇමතිතුමා සමගි ජන බලවේගය?”
“ඒකත් ඉතින් විපක්ෂයේ පක්ෂයක්නේ. මේ රටේ ලියාපදිංචි දේශපාලන පක්ෂ 67ක් තිබෙනවා. පාලනය කරන පක්ෂය හැර ඉතුරු 66ම එකට සිට ගත යුතුයි කියන එකයි මේ වෙලාවේ අපි මතක් කරන්නේ.”
කෙසේ නමුත් මාධ්‍යයට ප්‍රතිචාර දැක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් සමග වජිර තවත් විනාඩි දෙක තුනක් කතා කිරීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටත් විය.


