ලංකාවේ ජනගහනයේ අඵත් තොරතුරු මෙන්න.

දකුණු ආසියාවේ ප්‍රථම ජන සංගණනය 1871 වර්ෂයේදී ශ්‍රී ලංකාවේදී විද්‍යාත්මක පදනමකින් පවත්වන ලදි. 1871 සිට පවත්වනු ලැබූ ජන සංගණන මාලාවේ 15 වැනි සංගණනය 2021 වර්ෂයේ පැවැත්වීමට සැලසුම් කර තිබුණද, කොවිඩ් වසංගත තත්ත්වය නිසා එය කල් දමා 2024 වර්ෂය තුළ පවත්වන ලදි. මෙහි මූලික සැලසුම් 2016 වර්ෂයේදී ආරම්භ කළ අතර අදියර 4ක් ඔස්සේ පැවැත්වීය.

2024 වර්ෂයේ පවත්වන ලද ජනගහන හා නිවාස සංගණනයේ මූලික තොරතුරු ඉදිරිපත් කිරීමක් පසුගියදා කොළඹදී ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලදි. එය පවත්වන ලද්දේ ඩිජිටල් සිතියම් භාවිත කරමිනි. ඒ සඳහා ටැබ් පරිගණක 16,000ක් සහ ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කර ඇත.

2012 වසරේ සිදු කරන ලද ජන හා නිවාස සංගණන වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය 20,359 439කි. 2024 සංගණන වාර්තාව අනුව මෙරට ජනගහනය, 21,781,800කි. එනම් 2012 – 2024 කාලය තුළ ජනගහනය මිලියන 1.4කින් වර්ධනය වී ඇත.

2012 වර්ෂයේ සංගණන වාර්තාව අනුව වැඩිම ජනගහනයක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එය 2,375,415කි. 2024 වාර්තාව අනුව වැඩිම ජනගහනය වාර්තා වනුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එහි ජන සංඛ්‍යාව 2,436 142කි. එනම් කොළඹ දිස්ත්‍රික්කයට වඩා ගම්පහ දිස්ත්‍රික්කයේ ජනගහනය 60,727කින් ඉහළ ගොස් ඇත.

2024 වාර්තාව අනුව මෙරට පිරිමි ජනගහනය 10,512,344ක් වන අතර, එය ප්‍රතිශතාත්මකව 48.3%කි. ගැහැනු ජනගහනය 11,269,456කි. එය 51.7%ක ප්‍රතිශතයකි. 2012 වර්ෂයේ පුමිතිරි අනුපාතය හෙවත් සෑම කාන්තාවන් සියයකට සිටින පිරිමින් සංඛ්‍යාව 93.8 %ක් වූ අතර 2024 සංගණන වාර්තාව අනුව එය 93.3% දක්වා අවම වී ඇත. වැඩිම පුමිතිරි අනුපාතිකය මොනරාගල දිස්ත්‍රික්කයෙන් පෙන්නුම් කරන අතර අවම අනුපාතිකය මඩකලපුව දිස්ත්‍රික්කය පෙන්නුම් කරයි. ශ්‍රී ලංකාවේ සියලු දිස්ත්‍රික්කවල පුමිතිරි අනුපාතිකය සියයට වඩා අඩු අගයක් පෙන්නුම් කරනු ලබයි.

වයස අවුරුදු 0-14 අතර පුද්ගලයන් ජනගහනයෙන් 20.7%ක් වන අතර 4, 506 839කි. වයස අවුරුදු 15- 59 අතර ප්‍රතිශතය 61.3%ක් වන අතර, පුද්ගලයන් සංඛ්‍යාව 13,353,837කි.

වයස අවුරුදු 60- 64 අතර ජනගහන ප්‍රතිශතය 5.4%කි. එම ජනගහනය 1,183,310කි. වයස අවුරුදු 65 හෝ ඊට වැඩි පුද්ගලයන් සංඛ්‍යාව 2, 737,814කි. එහි ප්‍රතිශතය 12.6%ක් වේ. 2012 වර්ෂයේ සංගණන වාර්තාව අනුව වයස අවුරුදු 65 සහ ඊට වැඩි ජනගහනය 1, 602,633කි. එනම් සංඛ්‍යාත්මකව 1,135,151කින් ඉහළ ගොස් ඇත.

මෙවර සංගණන වාර්තාව අනුව සිංහල ජන සංඛ්‍යාව 16,144,037කි. එම ජන සංඛ්‍යාව 2012දී 74.9%ක්ව පැවති අතර, 2024 වන විට 74.1% දක්වා ප්‍රතිශත ඒකක 0.8කින් අඩු වී ඇත. මෙවර දෙමළ ජන සංඛ්‍යාව 2, 681,627කි. ශ්‍රී ලංකා දෙමළ ජනගහන ප්‍රතිශය 2012දී 11.1%ක් වන අතර, 2024දී 12.3% දක්වා ප්‍රතිශත ඒකක 1.2කින් වැඩි වී ඇත. 2024 වාර්තාව අනුව ඉන්දීය දෙමළ ජන සංඛ්‍යාව 600, 370කි. ශ්‍රී ලංකා යෝනක මුස්ලිම් ජන සංඛ්‍යාව 2024 වාර්තාව අනුව 2,283,264කි. ජන වර්ග අතුරින් 2012-2024 කාලය තුළි ජනගහනය වැඩිම වර්ධන වේගයක් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකා යෝනක/ මුස්ලිම්ය. එහි වර්ධන වේගය 1.5කි. එය රටෙහි මුළු ජනගහනයෙහි වර්ධන වේගය මෙන් තුන් ගුණයකි. ඉන් පසු වැඩිම වර්ධන වේගයක් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකා දෙමළ ජනගහනයෙහිය.

රටෙහි මුළු ජනගහනයෙන් 69.8%ක් බෞද්ධ වන අතර, හින්දු ජනගහනය 12.6%කි. 10.7%ක් ඉස්ලාම් වන අතර, 5.6 %ක් රෝමානු කතෝලික වේ. වෙනත් ක්‍රිස්තියානි ප්‍රමාණය 1.3%කි.

2024 සංගණන දත්ත අනුව නාගරික ජනගහනය 3,807,153කි. ග්‍රාමීය ජනගහනය 17, 096,918කි. වතු නාගරික ජනගහනය 12,068කි. වතු/ වතු ග්‍රාමීය ජනගහනය 865,679කි. නාගරික අංශයේ 51.9%ක් ස්ත්‍රීන් වන අතර, පුරුෂ ප්‍රතිශතය 48.1%කි.

2024 සංගණනය අනුව වාර්තා වී ඇති මුළු සංක්‍රමණික ජනගහනය 3, 167,263කි. එය ප්‍රතිශතයක් ලෙස දැක්වුව හොත් රටෙහි මුළු ජනගහනයෙන් 14.5%කි. ශ්‍රී ලංකාවේ සංක්‍රමණික මුළු ජනගහනය සැලකිල්ලට ගත් කළ් ඉන් වැඩිම පිරිසක් සංක්‍රමණය වී ඇති දිස්ත්‍රික්ක වනුයේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක දෙක අතර, කුරුණෑගල, කළුතර, මහනුවර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලද මුළු සංක්‍රමණික ජනගහනයෙන් 5%කට වැඩි ජනගහනයක් සංක්‍රමණය වී ඇත. අඩුම සංක්‍රමණිකයන් පිරිසක් වාර්තා වන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයෙනි. එහි ප්‍රතිශතය 0.7%කි. වැඩිම පිරිසක් සංක්‍රමණය වීමට හේතුව වී ඇත්තේ තම විවාහයයි. එය 40.6%කි. ඒ හැරුණු විට රැකියාව නිසා හෝ රැකියක්වක් සෙවීම සඳහාද ඉන් පසුව පවුලේ සාමාජිකයකුගේ අවශ්‍යතා සඳහා, ස්ථිර පදිංචියට පැමිණීම නිසා, අධ්‍යාපන කටයුතු නිසා, අවතැන්ව සිට නැවත පදිංචි කිරීම නිසාද සංක්‍රමණය වී ඇත. මේ හේතුවලට අමතරව, පෙර සිටි ස්ථානය ආපදාවකට ලක් වීම හෝ අවදානමකට ලක් වීම නිසා සංක්‍රමණය වූ පිරිස 1.6%ක් වන අතර, සංවර්ධන ව්‍යාපෘති නිසා 1.3%ක් සංක්‍රමණය වී ඇත. ආගමික කටයුතු සඳහා සංක්‍රමණය වූ පිරිස 2.1%කි.

යම් රටක් සිදු කරන සංකීර්ණම සහ විශාලතම තොරතුරු රැස් කිරීමේ ක්‍රියාවලිය ජන හා නිවාස සංගණනයයි. 2024 වර්ෂයේ දී ශ්‍රී ලංකාව තුළ සිදු කරන ලද මේ සංගණනය ශ්‍රී ලංකාවේ ඉදිරි කටයුතු සඳහා මහත් රුකුලක් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *