සිංහල කෙටිකතාව
ශල්‍ය වෛද්‍යවරයා හා රෝගියා

ශල්‍ය වෛද්‍ය විශේෂඥ පරාක්‍රම වල්ගම්පාය රෝගියා දෙස බැවේ නොරිස්සුම් සහගත ලෙසය. වියලී ගිය දර කැබැල්ලක් වැනි රෝගියා තම ඉරණම අපේක්ෂාවෙන් ඇඳේ වැතිර සිටියි. සුමාන දෙකකින් වත් නොකපන ලද රැවුල දිස්වන්නේ එළි පෙහෙලි නොකරන ලද වගා බිමක් ලෙසටය. හෙතෙම වේදනාවෙන් කෙඳිරි ගෑවේය.
” මේ උන්නැහේ˜ ශල්‍ය වෛද්‍යවරයා රෝගියා ඇමතුවේ පොලිස් නිළධාරියෙක් අත් අඩංගුවට ගත් සැකකරුවෙකුට විධාන දෙන ලෙසටය. — තමුසේ කකුලට පත්තු බැඳලා කකුල වණ කරගත්තානම් පත්තු බැඳපු වෙදාටමකියලා සනීප කර ගන්නවා. විෂ බීජ ඔඩු දුවලා දැන් පරක්කු වැඩියි “
රෝගියා විශාල වරදක් කළ චූදිතයෙකු මෙන් වෛද්‍යවරයා දෙස බැලීය. ඔහුගේ ඇස් දෙක ළිං කුහර දෙකක් වැනිය. ඔහු මලානික හඬින් කථා කළේය.
“අනේ මහත්තයෝ මම ජීවත් උනේ මේසන් වැඩ කරලා. කලවේ විසප්පුවක් ආවා. ඒකට අත් ඛෙහෙත් කරලා සනීප වුන නැති නිසා තමයි මුදියන්සේ වෙදරාළ ලඟට ගියේ. උන්දෑ පත්තුවක් බැන්දා. මගෙ හිතේ පත්තුවේ සැරට කකුලේ හම පිච්චුනා…”
” මෝඩ හරක් …” වෛද්‍ය පරාක්‍රම වල්ගම්පාය කනිෂ්ඨ වෛද්‍යවරුන් දෙස බලා පැවසීය.
අද වාට්ටු දිනය නිසා ඔහු කනිෂ්ඨ වෛද්‍යවරුන් හා හෙදියන් පිරිවරාගෙන වාට්ටුවේ සිටින රෝගීන් සියළු දෙනාම බලයි. ශල්‍යකර්මවලට ලක් කළ යුතු රෝගීන්ට ශල්‍යකර්ම සදහා දින නියම කිරීම ද ශල්‍යකර්ම වලින් පසු රෝගී තත්ත්වය අඩු රෝගීන්ගේ ටිකට් කැපීමද අද සිදු වේ. පිරිවර සමග ඇවිදින යුවරජෙකු සේ ඔහු වාට්ටුවේ සිටින සියළුම රෝගීන්ගේ රෝහල් ආයු කාලය පිළිබඳ තීරණයකට පැමිණෙයි.
වට්ටෝරු වෙදෙකු විසින් ප්‍රතිකාර කරන ලද රෝගියා කෙරෙහි ඔහුට ඇති වූයේ කෝපයකි. — මෝඩ මිනිස්සු..˜ ඔහු මනසින් ප්‍රතිරාව කළේය. —කකුලේ පොඩි ඇබ්සස් එකක් එන්න ඇති. මේ මෝඩයා වෙදා ලඟට ගියා. වෙදා රටේ නැති බේත් ජාති අඹරලා කකුලේ ගාලා තියෙනවා. ඒකට හම පිච්චිලා. දැන් ඉන්ෆෙක්ට්˜ වෙලා. වැඩේ වැරදුණාම අපි ලඟට එනවා.˜
“අයිසේ, ඔහු යළිත් වරක් රෝගියා ඇමතීය. කකුලේ ගෙඩියට ඉස්පි්‍රතාලෙට ආවා නම් ඉවරයිනේ. එතකොට ගෙඩිය පැළුවා. බේත් කළා. එැඩේ අහවරයි. දැන් වැඩේ කෙළවෙලා. මුළු කකුලම පැසවලා. කකුල කපන්න වෙයි.”
රෝගියාගේ මුහුණේ ඇත්තේ තැතිගත් ස්වරූපයකි. ඔහු අසීරුවෙන් හිස එසවීය.
“අනේ මහත්තයෝ මගේ කකුල කපන්න වෙයිද?
“ඔව්˜ ශල්‍ය වෛද්‍ය වල්ගම්පාය ජයග්‍රාහී ලෙස කීවේය. තමුසගෙ ජීවිතය බේරගන්න කකුල කපන්න වෙයි.”
රෝගියාට තමාගේ ලෝකය කඩා වැටුණු බව හැගුණි‚ කකුලක් නැතිව මේසන් වැඩ කරන්නේ කොහොමද? බිරිඳට හා ළමයින්ට කන්න අඳින්න දෙන්නේ කොහොමද? පලංචි වැඩවලට සිරිල් බාස් ගන්නේ හොඳට අතපය හයිය ඇති මිනිසුන්ය. කකුලක් නැතිව ජීවත් වෙන්නේ කොහොමද? මහමඟ සිඟා කෑමට සිදුවීම අනිවාර්යයයි. රෝගියා ශල්‍ය වෛද්‍යවරයා දෙස බැවේ පිහිට අයදින බැල්මකිනි.
“අනේ මහත්තයෝ…, කකුල කපන්න එපා. මම දුප්පත් මිනිහෙක්, කකුළක් නැතිව මට මගේ රස්සාව කරගන්න බැහැ.˜ ඔහුට තව දුරටත් කථා කරගැනීමට නොහැකි විය. උගුරේ පටලයක් බැඳුනා සේ රෝගියාට දැනි‚. ඔහුගේ දෙනෙතින් කඳුළු කැට කඩා වැටුණි‚
මෙවර ශල්‍ය වෛද්‍යවරයාගේ සිතට දැණුනේ කෝපයකි. —අයිසේ˜ ඔහු රෝගියා දෙස එක එල්ලේ බැලීය. රොස් පරොස් වූ විට ඔහු රෝගීන් හෝ කාර්ය මණ්ඩලය අමතන්නේ අයිසේ යනුවෙනි. වෛද්‍ය වල්ගම්පායට තරහා ගියබව දැනගත් කණිෂ්ඨ වෛද්‍යවරු හා හෙදියෝ මදක් ඈත් වූහ.
“තමුසේ එක එක වෙද්දුගෙන් බේත් අරගෙන ලෙඩේ කුණු උනහම අපි ලඟට එනවා. මම දැන් තමුසෙට සුද්ද සිංහලෙන් කිව්වානේ, මුළු කකුළම පැසවලා. කකුළ කපනවා ඇරෙන්න වෙන ප්‍රතිකාරයක් නැහැ. නැත්තං ටිකට් කපාගෙන තමුසෙගෙ වෙදා ලඟට යනවා. ” ඔහු රෝගියාගේ ඇඳ ඉහ පත පසෙකට විසිකොට දැමීය. හෙදියක් පහත් වී එය අසුලාගෙන ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍ය නිළධාරී, වෛද්‍ය සුදර්ශන් අතට දුන්නාය.
රෝගියා අසරණ වූ දෙනෙතින් වෛද්‍ය කාර්ය මණඩලය දෙස බැවේ අනුකම්පාව අයදින්නාක් මෙනි. ඉවත යන විශේෂඥ වෛද්‍යවරයා දෙසට හිස හැර වූ ඔහු දොහොත් මුදුන් දී වැන්දේ තමාව ගලවාගන්නා ලෙස බැගෑපත්ව අයදිමිනි. වෛද්‍ය වල්ගම්පාය එය දුටුවේ ද යන්න සැක සහිතය. ඔහු වෙනත් රෝගියෙකුගේ ඇඳ ඉහපත් වාර්තා පරික්ෂා කළේය.
“කෝ ලෙඩාගේ X-රේ එක..˜ ඔහු නේවාසික වෛද්‍යවරයා දෙස බැවේ ආධිපත්‍ය සහිත බැල්මකි‚.
“සර් X-රේ එක ගන්න ලෙඩා යැව්වේ උදේ, තාම රිපෝට්ස් වාට්ටුවට එවලා නැහැ.˜ නේවාසික වෛද්‍යවරයා බියපත් වූ හඬින් කීය.
“අයිසේ, රිපෝට් කකුල් දෙක ලඟට එනකන් ඉන්නේ නැතුව X-රේ එක වෙට් ප්ලේට් හරි ගේනවා. අද තියටර් ගන්න ඕනෑ. දැන්මම X-රේ එක ගේනවා.˜ ඔහු දුන්නේ දැඩි නියෝගයකි. නේවාසික වෛද්‍යවරයා කඩිනමින ් X- රේ අංශය වෙත දිව ගියේය.
රෝගියාගේ බඩේ නාභිය අසල මඳක් ඇඟිලි තුඩුවලින් තද කළ ඔහු —කැක්කුම˜ දැයි ඇසීය. රෝගියා හොඳට වැඩුණු අතපය ඇති ඉලන්දාරියෙකි . එහෙත් උදරයෙන් එන වේදනාව නිසා ඔහු —අම්මේ˜ යැයි කීය. “හරි දැන් ඔහු තියටර් යවන්න” ශල්‍ය වෛද්‍යවරයා නියෝගයක් දුන්නේය. හෙදියක් සේවකයෙකුට කථා කොට ට්‍රොලියක් ගෙන එන ලෙස කීවාය. යළිත් වරක් රෝගියාගේ ඇස් යට පරික්ෂා කළ වෛද්‍ය වල්ගම්පාය උදේ ඉඳන් මොකුත් කෑවේ බිවේ නෑ නේදැයි රෝගියාගෙන් විමසීය.
“ඩොක්ටර් ආප්ප දෙකකුයි කෝලිකුට්ටු ගෙඩියකුයි කෑවා.˜රෝගියා කීවේ වරදක් කළාදැයි දෙගිඩියාවෙනි.
යළිත් වරක් වෛද්‍ය වල්ගම්පාය කෝප විය. “අයිසේ මං කියලා තියෙනව නේද මං බලනකන් ලෙඩ්ඩුන්ව ෆාස්ටින් තියන්න කියලා..˜ මෙවර ඔහු හැරුනේ හෙද සොයුරිය දෙසටය.
“සිස්ට මේක හැමදාම කරන්න බැහැ. නර්ස්ලා කියන්න න ලෙඩ්ඩුන්ට කන්න එපා කියලා.˜ හෙද සොහොයුරිය වාට්ටුවේ හෙදිය දෙස බැළුවේ චෝදනාත්මක දෙනෙතිනි. වාට්ටු භාර හෙදිය තරුණය, ඇයට ඇත්තේ ප්‍රසන්න මුහුණකි.
“අපි ලෙඩ්ඩුන්ට කියනව සර්…..˜ ඇය බිම බලාගෙන කීවාය.
“ඇයි මිසී කියල තියෙද්දිත් ආප්ප කෑවේ˜ හෙද සොහොයුරිය රෝගියා ගෙන් තදින් ඇසුවාය.
රෝගියා මදක් නොසන්සුන් විය. “නැහැ මිසී මට කවුරුවත් කන්න එපා කිවුවේ නැහැ. මම කෑවේ ආප්ප දෙකක් විතරයි. ඉතුරු ආප්ප තුන මම ඔතනම තිබ්බා ” රෝගියා ඇඳ අසල තිබූ කුඩා කබඩ් එක උඩ තිබූ පාර්සලයට ඇගිල්ල දික් කළේය.
වෛද්‍ය වල්ගම්පාය කිසිවක් නොකීවේය. ඔහු තුළ ඇතිවූයේ කෝපය මත සියල්ල එපා වූ ස්වභාවයකි. මෙම රෝගියා පෙරදින ඔහුගේ චැනල් සේවයට පැමිණියේ පියා සමගිනි. රෝගියාට ශල්‍යකර්මයක් අවශ්‍ය බව ඔහුට වැටහිණි . රෝගියා වාට්ටුවට ඇතුලත් කළේ අද දින උදේ වරුවේ ශල්‍යකර්මය කිරීම සදහාය. ශල්‍යකර්මයෙන් පසු ඔහු මහනුවර බලා යාමට සිටියේ කොළඹින් එන ඥාතීන් පිරිසක් පිළිගැනීමටය. දැන් වැඩ පිළිවෙල කඩාකප්පල් වී ඇත. යළි රෝගියාට ශල්‍යකර්මයක් කළ හැක්කේ සවස දෙකෙන් පසුවය. එය අවසන් වී මහනුවර යන විට බොහෝ සවස් වනු ඇත.
වෛද්‍ය වල්ගම්පාය ලෙඩුන් බැලීම නවත්වා ශල්‍යාගාරයට ගියේ සුළු සුළු ශල්‍යකර්ම නිම කොට දැමීමටය. විසප්පු ගෙඩි, අධෝමාර්ගයේ ගෙඩි, නහර ගැට ගැසුණු රෝගීන් ගේ නහර වලට එන්නත් කිරීම් වැනි කෙටි වේලාවක් ගතවන ශල්‍යකර්ම කිරීම ඔහු ඇරඹීය. අන් දිනවල මෙවැනි ශල්‍යකර්ම කරන්නේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරී සුදර්ශන් විසිනි. එහෙත් අද ඔහු සුළු වැඩවලට අත ගැසීය.
ශල්‍යාගාරයේ නිර්වින්දන වෛද්‍යවරු දෙදෙනා රෝගීන් ගේ රෝග ඉතිහාසය විමසමින් ඔවුන්ව නිර්වින්දනය කළහ. විනාඩි දහයක් පමණ කාලයක් ගත වන මෙම ශල්‍යකර්ම වලට හිරිවැට්ටවීම පමණක් ප්‍රමාණවත්ය. සුදු ඇදුම ඇදගෙන පෙළ ගැසී සිටි රෝගීන් වරකට එක් අයකු බැගින් ශල්‍යාගාරයට ඇතුල් වූහ. සෑම රෝගියෙකුගෙන් ඔහුගේ නම විමසා රෝග ඉතිහාසය ලියා ඇති ලිපි ගොණුව පරික්ෂා කොට බලා කළයුතු ශල්‍යකර්මය කුමක්දැයි අවබෝධකරගත් ඔහු ශල්‍යාගාර හෙදියගෙන් අවශ්‍ය උපකරණ ඉල්ලා ගත්තේය. වෙනදා හෙදියන් සමඟ විහිළු තහළු කරගත් ඔහු අද නිහඞවම තම රාජකාරිය කළේය.
ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරී සුදර්ශන් පැමිණ දෙවැනි ශල්‍යාගාරයේ වැඩ පටන් ගත් අතර රෝගීන්ගේ පෝලිම ක්‍රමයෙන් අඩු විය.
“සර් තේ ලෑස්තියි.˜ හෙදියක් වෛද්‍ය වල්ගම්පායට පැවසුවාය. තේ එකක අවශ්‍යතාව ඔහුට දැනී තිබු‚. ශල්‍යකර්මය අවසන් කළ ඔහු අත්වැසුම් ඉවත් කළේ තේ කෝප්පයක් පානය කිරීම සඳහාය.
“තේ සල්ලි මට මාස දෙකකින් දෙන්න බැරිවුනා.˜ ඔහු හෙදියට කීවේ යමක් අතපසු වූ විලාශයෙනි. —මම යන්න ඉස්සෙල්ලා සල්ලි ඉල්ලා ගන්න.˜
“කමක් නෑ සර් පස්සේ ගමු˜ හෙදිය තාලයට නැලවෙන ස්වරයෙන් කීවාය.
වෛද්‍ය පරාක්‍රම වල්ගම්පාය විශේෂඥ වෛද්‍යවරුන්ගේ විවේකාගාරටය ගියේ යමෙකු ඇතැයි බලාපොරොත්තුවෙනි. ඇතුම් දිනවල නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා තේ බිමට පැමිණෙයි. එවිට ඔවුහු රෝහලේ අඩුපාඩු ගැන කථා කරති. එහෙත් අද ඔහුගේ ක්ලිනික් දවස විය යුතුය. තේ පෝච්චියෙන් කිරිතේ එකක් වක්කර ගත් වෛද්‍ය වල්ගම්පාය හාන්සි පුටුවේ දිගඇදුනේ අද දිනයේ සිදු වූ අප්‍රසන්න සිදුවීම් යළි මතකයට ගනිමිනි.
යමෙකු දොර අසල සිටිනු දැක ඔහු දොර රෙද්ද මෑත් කළේය. ඇද ඉහපත් මිටියක් අතින් ගත් උපස්ථායකවරියක් දොර අසල සිටියාය.
“සර් ලෝකල් පර්චස් වගයකට අත්සන් ගන්න”
ඔහු උපස්ථායකවරියට ඇතුළට එන ලෙස කීවේය. ඇය ලේඛන මිටිය අසල මේසය උඩ තැබුවාය.
“ඉතින් ප්‍රේමා කොහොමද වාට්ටුවල තොරතුරු? වෛද්‍ය වල්ගම්පාය උපස්ථායකවරියගෙන් විමසුවේය.
මැදිවියේ පසුවන උපස්ථායකවරිය වන ප්‍රේමා දිගු කාලයක් පුරා ශල්‍ය වෛද්‍ය අංශයේ වැඩ කරන්නීය. වල්ගම්පාය වෛද්‍යවරයා සීමාවාසික වෛද්‍යවරයෙකුව සිටින කාලයේදී ද ප්‍රේමා කාන්තා වාට්ටුවේ සේවය කළාය. වාට්ටුවේ සිදුවන දෑ පිළිබඳ තොරතුරු ලබාගන්නේ ප්‍රේමාගෙන්ය. කේලම් කිමේ උපන් හපන් කමක් ඇති ඇය ගිරවියක සේ වාට්ටුවේ වන සිද්ධීන් ඔහු සමග පවසන්නීය.
“සර් දර්ශන මහත්තයා ඊයේ අවේ උදේ 10ත් පහුවෙලා. ලෙඩ්ඩු බලනකොට සර්ගේ චිට් එකක් තිබ්බ ලෙඩෙකුටත් කෑගැහුවා.˜
සීමාවාසික වෛද්‍යවරයෙකු වූ දර්ශන නාහෙට නාහන්නෙකි. ඔහු ඇතැම් විට වාට්ටුවට ප්‍රමාද වී පැමිණේ. තමා විසින් චැනල් මධ්‍යස්ථානයේ දී ලෙඩ බලා වාට්ටුටට ඇතුළු කරන ලෙඩ්ඩුන්ට විශේෂ සැළකිල්ලක් වෛද්‍ය දර්ශන නොදක්වන බව මීට පෙරත් ලෙඩුන් කීපදෙනෙකු කිවා මතකය. මොහු සම්බන්ධයෙන් යමක් කළයුතු බව වෛද්‍ය වල්ගම්පාය ඉටාගත්තේය.
“ඉතින් තව මොනවද˜ ඔහු ප්‍රේමා දෙස බැවේ තවත් තොරතුරු දැනගන්නා විලාසයෙනි. ”
“දීපිකා මිස් පෙරේදා රෑ ආවේ නැහැ. ළමයට අසනීපයක් කියලා. හේවාපතිරණ මිස් තමයි තනියම රෑ ඩියුටි කළේ ”
ප්‍රේමා ඔහුට පවුලේ සාමාජිකාවක් මෙනි. ඔහුගේ බිරිඳ ඔහුට මුලින්ම මුණගැසුණේ ශල්‍යාගාරයේදීය. එවකට ඇයද සීමාවාසික වෛද්‍ය වරියකි. ඔවුන් අතර ගොඩනැගුණු සම්බන්ධතාවයට ඇයගේ පවුලේ උදවිය කැමැත්තක් නොදැක්වූයේ කුල ප්‍රශ්ණයක් මතය. තම පෙම්වතියගේ ගෙදරින් ඇති තහංචි නිසා ඔහු එකළ සිටියේ දැඩි මානසික පීඩනයකිනි. ඔවුන් දෙදෙනා පිළිබඳව විමසිලිවත් වන ලෙස ඇගේ පියා රෝහල් දිස්ත්‍රික් වෛද්‍යවරයාට පවා කියා තිබුණි. ප්‍රදේශයේ ධනවතෙකු මෙන්ම බලවතෙකු වූ ඇයගේ පියා වල්ගම්පායට වරක් කුළ මල කියා අපහාස කරන ලදි. මේ කාලය අතර තුර ඔවුන්ගේ පණිවුඩ දෙදෙනා අතර ගෙන ගියේ ප්‍රේමාය. ඔහු විසින් ලියන ලද හසුන් පත් ප්‍රේමා ගෙන ගොස් ළමා වාට්ටුවේ වැඩකරන පෙම්වතියට දෙන්නේ රහසිනි.
කාලය ගත වූයේ කොපමණ ඉක්මනටද? ඇයගේ පියා හෘද්‍යාබාධයක් සෑදී මිය ගියේ අනපේක්ෂිකවය. ඒ වන විට ඇය කොළඹ ළමා රෝහලේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිවරිය වූවාය. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක වීමේ අභිලාෂයෙන් පෙළුන ඇය තම ඉලක්කය කරා ගියේ දැඩි ආත්ම විශ්වාසයකිනි. ගම්පහ රෝහලේ සේවය කරන සමයේ ඔහු ඇය බැලීමට කොළඹ රිජ්වේ රෝහලට නිබඳවම ගියේය. ඇයගේ පියාගේ මරණින් පසු ඔහුට තිබූ ප්‍රධාන බාධකය ඉවත් විය. ශල්‍ය වෛද්‍ය විද්‍යාව කෙරෙහි ඔහු තුළ උනන්දුව තිබුණද විශේෂඥ වෛද්‍ය විභාගය කිරීමට ඔහුව යොමු කළේ ඇයයි. දැන් ඔහු ශල්‍ය විශේෂඥවරයෙකි. ඇය ළමා රෝග විශේෂඥවරියකි. එහෙත් ප්‍රේමා තවම එකම තැනය.
ඔහු ප්‍රේමා විසින් ගෙන එන ලද ලිපි ගොනුවේ අත්සන් කළ යුතු තැන් වල තම කෙටි අත්සන තැබුවේ වාට්ටුව ගැන කල්පනා කරමිනි. ප්‍රේමා පිටත්ව යෑමත් සමග වෛද්‍ය සුදර්ශන් කාමරයට ඇතුළුවිය. කොළ පැහැති ශෛල්‍ය ඇඳුම ඇද සිටි ඔහු තම රෙදි හිස් වැස්ම ගැලවූයේ නළලින් වැගිරෙන දා ඩියද පිස ගනිමිණි.
“සර් ලිස්ට් එක ඉවරයි. අර ෆාස්ටින් නැති ලෙඩා තියටර් අරගෙන ඒක කරන්නද?˜
ඇත්ත වශයෙන්ම මෙය ඔහුට සහනයකි. දහවල් දෙකට සුදර්ශන්ට ශල්‍යකර්මයක් ආරම්භ කළ හැකිය. ඒ සමඟම ඔහුට නුවර බලා යාමට ඉඩ ප්‍රස්ථාව සැලසේ.
” ඉස් දෙයා එනි ප්‍රොබ්ලම් යූ කෝල් මයි ෆෝන්.˜ ඔහු කීවේ සැහැල්ලු සිතෙනි. සුදර්ශන්ගේ ශල්‍ය හැකියාවන් ඔහු විශ්වාස කළේය. ඔහුට මනා අත් ගුණයක් ඇත. එහෙත් ශල්‍ය වෛද්‍ය විද්‍යාව ප්‍රගුණ කිරීමට ඔහු තුළ කැමැත්තක් නැත. සුදර්ශන්ට අවශ්‍ය ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය වරයෙකු වීමටය. දැනටමත් සුදර්ශන් ප්‍රජා වෛද්‍ය විද්‍යාවේ පළමු විභාගය සමත්ව තිබේ. ප්‍රජා වෛද්‍ය විද්‍යාවට ලොල් කරන වෛද්‍යවරයෙකු ශල්‍ය වෛද්‍ය වාට්ටුවක ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරී ලෙස පත් කිරීම ගැන ඔහුට තිබුණේ ගැටළුවකි. එහෙත් වෙනසකින් තොරව සුදර්ශන් වාට්ටුවේ වැඩ හොඳින් කරගෙන යයි.
“සර්, අර මෑන්ගේ කකුළ කපන්නේ නැතුව අපි ට්‍රයි එකක් දෙමුද?˜ සුදර්ශන් ඇසුවේ ශල්‍ය වෛද්‍යවරයාගේ තීරණය අභියෝගයට ලක් නොකරණ ස්වරයෙනි.
“කොයි මෑන්ගේද?˜ ශල්‍යවෛද්‍ය වල්ගම්පායට රෝගියා ගැන හරි හැටි නිච්චියක් නොවීය.
“සර් අර වෙදා ගෙන් බේත් කරලා කකුළ ඉන්ෆෙක්ට් කරගෙන ඉන්න මෑන්, අපි අද උදේ බැළුවේ”
“හරි… හරී…˜ වෛද්‍ය වල්ගම්පාය කීවේ නොරිස්සුම් හඩකිනි. “කකුල ගොඩක් ඉන්ෆෙක්ට් වෙලා. සෙප්ටිසීමියා වලට යන්න ඉස්සෙල්ලා කපන්න වෙයි. මෝඩයෙක්… තුවාලෙට පත්තු බැඳලා. අනෙක් මිනිස්සුන්ට පාඩමකටත් එක්ක මුගෙ කකුල කපන්න ඕන.˜ ඔහු කීවේ යුද්දේ දී අල්ලාගත් සිරකරුවෙකුට සමාව නොදිය යුතුය යන ආකල්පයේ සිටින හමුදා නිළධාරියෙකු මෙනි.
“අනිද්දා තියටර් ගමු..˜ ඔහු සියල්ල තීන්දු කළේය.
වෛද්‍ය සුදර්ශන් කිසිවක් නොකියා විශේෂඥ වෛද්‍ය නිළධාරී කාමරයෙන් එළියට පැමිණියේය. එදින දිවා ආහාරයෙන් පසු ශල්‍යවෛද්‍ය වල්ගම්පාය නුවර ගියේ මදක් දෙගෙඩියාවෙනි. වෛද්‍ය සුදර්ශන්ට ශල්‍යකර්මය කිරීම ගැන ගුරුහරුකම් දුන් ඔහු යම් ගැටළුවක් මතු වුවහොත් දුරකථනයෙන් ඇමතුමක් දෙන ලෙස කීවේය. එහෙත් නුවර ගිය වහාම ඔහුට රෝගියා ගැන මතක් නොවීය. කලෙකට පසු ඥාතීන් දුටු විට ඔහුට සියල්ල අමතක විය. රෝගියාගේ තත්ත්වය විමසීම සඳහා වෛද්‍ය සුදර්ශන්ට දුරකථනයෙන් කතා කිරීමට අමතක වූ නමුදු සවස හතට පමණ සුදර්ශන් වෛද්‍ය වල්ගම්පායට කථා කළේය. ශල්‍යකර්මය සාර්ථක බවත්, රෝගියා දැන් සිහිය ලබා වාට්ටුවට ගෙන ආ බවත්, සුදර්ශන් දැන්වීය. වෛද්‍ය වල්ගම්පායගේ සිතට දැණුනේ සහනයකි.
“තෑන්ක් යූ සුදර්ශන්, මම හෙට එන්නේ නැහැ. පොඩි වැඩ වගයක් යෙදිලා. වෝඩ් එකේ වැඩ බලාගන්න.˜ ඔහු තම ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරියාට කීවේ සැහැල්ලු සිතිනි. ශල්‍ය වාට්ටු වලට නිතිපතා නොගියද, වාට්ටුවේ සිදුවන දෑ සියල්ලම ඔහුට ප්‍රේමා මගින් දැනගන්නට ලැබේ.
ඥාතීන්ට තම නිවසේ අසිරිය පෙන්වා වෛද්‍ය වල්ගම්පාය ලැබුවේ අසීමිත ප්‍රීතියක් හා අභිමානයකි. “පුතා, නුවරට මාරුවක් ගත්තොත් නරකද?˜ විල්බට් බාප්පා ඇසුවේ විටක් කටේ දමා ගනිමිනි.
“පහුවෙලා එනවා˜ ඔහු කීවේ නුවරට මාරුවක් ගැනිමට තමා එතරම් කැමැත්තක් නොදක්වන විලාශයෙනි. මහනුවර රෝහලට පත්වීමක් ලැබුණේ තමාට වඩා කණිෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයෙකටය. ඒ පිළිබඳ විරෝධතා නඩුවක් පැවරුවද තවම තීන්දුව ප්‍රකාශයට පත් වී නොමැත.
“නුවරට ආවා වගේ නොවෙයි. මෙහේ හරියට වැඩ.˜ බිරිඳ කීවේ නුවරට මාරුවක් ගැනීම යනු — තව්තිසා දෙව්ලොවට˜ පැමිණීමවැන්නක් නොවන බව විල්බට් බාප්පාට සනාථ කිරීමට මෙනි.
පසු දින වාට්ටුවේ වැඩ කටයුතු පිළිබඳ වගකීම පැවරුණේ වෛද්‍ය සුදර්ශන්ටය. ඔහු රෝගීන්ව හොඳින් පරීක්ෂා කළේය.
“හොඳ දොස්තර මහත්තයා. ලෙඩුන්ට හරිම කරුණාවයි. දෙමළ මහත්තයෙක් වුනත් හොඳට සිංහල කථා කරනවා.˜ ඇඳක් නොමැතිව බංකුවේ වාඩි වී සිටි උපාරිස් පැවසීය.
උපාරිස්ගේ කකුලේ තුවාලයකි. එය දැනට අවුරුදු තුනකටත් වඩා පැර‚ය. ඔහු වාට්ටුවට ඇතුළුවන්නේ තුවාලය පෙන්වමිනි. ගෙයක් දොරක් නැති උපාරිස්ට වාට්ටුවෙන් තුන් වේලම නොමිලයේ කෑම ලැඛෙයි.
” ඒ උනාට අපි කොහොමද දන්නේ හිත අස්සේ මොනවා තියෙනවාද කියලා. යටින් ඔක්කෝම කොටින්ට සපෝට්.˜ පැවසුවේ උපාරිස් අසල සිටි තරුණ රෝගියෙකි. හමුදාවෙන් පලා ඇවිත් ගමේ චණ්ඩිකම් කළ ඔහුගේ මුහුණ හරහා දැලි පිහි පාරක් වැදී තිබේ. දැන් තුවාලය හොඳටම සුව වී ඇත.
වාට්ටුවේ රෝගීන් සියළු දෙනාවම පරික්ෂා කළ වෛද්‍ය සුදර්ශන් කකුල පැසවා තිබුණු රෝගියා ගැන විශේෂ අවධානය යෙදීය.
“මිස් මේ ලෙඩාට කොහොමද?˜ ඔහු හෙදියගෙන් විමසීය.
“මෙයාට උණ තියෙනවා. දැන් කෑම කන්නෙත් නෑ.˜ හෙදිය පැවසුවාය.
“කෝ දිව පෙන්නන්න…˜ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරි රෝගියාගේ කම්මුලට සිහින් තට්ටුවක් දැම්මේය. අසරණ විලාශයකින් ඇඳේ වැතිර සිටි රෝගියා මුඛය ඇර දිව පෙන්වීය.
“ලේ මදි වගේ.., HB එකක් කරන්න. මොනවද දැන් දෙන ඇන්ටිබයොටික්ස්.˜ ඔහු හෙදියගෙන් ඇසුවේ රෝගියාගේ ඇඳ ඉහපත් වාර්තාව කියවන ගමන්ය. “ඩොක්ටර් මෙයාට දෙන්නේ ඕරල් ඇමොක්සසිලිනුයි, ෆ්ලැජිළුයි”
“ඒක මදිනේ..˜ වෛද්‍ය සුදර්ශන් හෙදියගේ දෑස දෙස එක එල්ලේ බැලීය.
“දන්නැහැ ඩොක්ටර්. සර් දෙන්න කිව්වේ ඒවා තමයි.˜
“බැරිද මෙයාට Zinacef ටිකක් දෙන්න.˜ වෛද්‍ය සුදර්ශන් ඇසුවේ වාට්ටුවේ මෙම ඛෙහෙත නොමැති බව දැනගෙනය.
“ඒකට DMO ට ලියන්න ඕන. සර්ජන් අත්සන් කරලා.˜ හෙදිය කීවේ මෙම ඖෂධය ලබා ගැනීමට වෛද්‍ය වල්ගම්පායගේ අනුමැතිය අවශ්‍ය බව පෙන්වීම සඳහාය.
“සර් එන්නේ හෙට. අදම පටන් ගන්න පුළුවන්නම් හොඳයි,˜ වෛද්‍ය සුදර්ශන් කීවේ රෝගියා දෙස බලමිනි.
“අනේ, දොස්තර මහත්තයෝ මගේ කකුල කපන්න එපා.˜ රෝගියා ආයාචනය කළේය.
“මොකද එහෙනං පත්තු බැන්දේ..˜ හෙදිය රෝගියාට කඩා පැන්නාය.
විශාල වරදක් කර අසුවූවෙකු මෙන් රෝගියා හෙදිය හා ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරියා දෙස බැලීය.
“පලංචියෙන් බහිනකොට උණ කීරක් කකුලේ ඇනුණා. දවස් දෙකකට පස්සේ එතැන ගෙඩියක් ඇවිල්ලා සැරව පිරිලා රිදෙන්න ගත්තා. මගේ අතේ සල්ලි තිබ්බේ නැහැ, ඛෙහෙත් ගන්න යන්න. අපේ අල්ලපු ගෙදර ඉන්නේ වෙදෙක්. උන්දෑ බේත් වගයක් අඹරලා ගෑවා. ඊට පස්සේ කකුලේ හම වණ වෙලා කුද්දටි ආවා…˜ තව දුරටත් කතා කිරීමට ඔහුට නොහැකි බව පෙනුනි. —අනේ.. මහත්තයෝ…. බුදුබව අත්වෙයි මගේ කකුල කපන්න එපා….˜ ඔහුට තව දුරටත් කතා කිරීමට අපහසු විය.
වෛද්‍ය සුදර්ශන් රෝගියාගේ කකුලේ වූ තුවාලය පරීක්ෂා කර බැලීය. කලවේ සිට බත් කෙණ්ඩ දක්වා පැතිරී ගිය විශාල තුවාලයකි. තුවාලය නිසා රෝගියා දිනෙන් දින දුර්වල වෙයි. වෛද්‍ය සුදර්ශන් ඇඳ ඉහපත පරික්ෂාවෙන් බැලීය. රෝගියාට පිටගැස්ම සඳහා එන්නතක් දී නැත. එහෙත් දැන් සතියක කාලයක් පුරා රෝගියා වාට්ටුවේ සිටියි. ඔහු වාට්ටුවේ ඇටන්ඩන්වරයෙකුට කතා කළේය. ඇටන්ඩන්වරයා රෝගියාට ළං වූයේ මුහුණ ඉවතට හරවා ගනිමිනි.
“අපෝ ගඳ.. මස් කුණු වෙලා. මේ කකුල නොකපා බේරා ගන්න බැහැ.˜ ඔහු කීවේ වාට්ටුවේ වැඩ කිරීම නිසා තමන්ද ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැණුමක් ලබා තිබේය යන හැ`ගීමෙනි.
වෛද්‍ය සුදර්ශන් කිසිවක් නොෙදාඩා රෝගියාගේ කකුල අංශක තිහක් පමණ උසකට ඔසවා සිටින ලෙස ඇටන්ඩන්වරයාට නියම කළේය. ඉන් පසු ඔහු හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පෙඟවූ පුළුන් වලින් තුවාලය පවිත්‍ර කළේය. රෝගියා දුබල හඩින් කෑ ගැසුවේ වේදනාව නිසා විය හැක.
“මේක තියටර් ගත්තනම් ඉවරයිනේ ඩොක්ටර්..˜ හෙදිය කීවාය. හෙදිය එසේ කීවේ මෙවැනි වැඩ වාට්ටුවේ නොකළ යුතු බව අනියම් විලාශයකින් කියන්නාක් මෙනි.
“නෑ, දැන් ඉවරයි˜ ඔහු හෙදියට පවසා ගෝස් පටියකින් තුවාලය වෙලීය. —ඛෙහෙත් වෙනස් කරන්න. මෙයාට අයි වී ෆ්ලුවිඩ්ස් එක්ක Zinacef දෙන්න මම ඩී.එම්.ඕ ට කථා කරන්නම්.˜ වෛද්‍ය සුදර්ශන් කීවේ කෙසේ හෝ මෙම ඖෂධය රෝගියාට ලබා දිය යුතු බව දනවන හැඟීමෙනි’
ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරියා දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරියාව දුරකථනයෙන් ඇමතීය. රෝගියා සදහා ප්‍රතිජීවක ඖෂධයක් වන Zinacef අවශ්‍ය බව පවසා එම ඖෂධ පිටතින් මිළට ගැනීමට අවසර ඉල්ලා සිටියේය. මේ සඳහා විශේෂඥ වෛද්‍යවරයාගේ අවසරය හෙට අනිවාර්යෙන්ම ලබා දෙන බවට ඔහු වැඩි දුරටත් කීවේය. මේ පොරොන්දුව මත අවශ්‍ය ඖෂධ නිකුත් කිරිමට දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි එකඟ විය. පැය දෙකක් ඇතුළත දී අදාල ඖෂධ වාට්ටුවට ලැබුණි.
පසු දින සෙනසුරාදාවක් වූ නිසා ශල්‍ය වෛද්‍ය වල්ගම්පාය වාට්ටුවට පැමිණියේ නැත. එහෙත් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරි සුදර්ශන් රෝගියාගේ තුවාලය පෙර සේ සෝදා පිරිසිදු කළේය. පැය අටකට වරක් ඔහුට ප්‍රතිජීවක එන්නත් කරන ලදී.
සඳුදා උදෑසන වෛද්‍ය වල්ගම්පාය රෝගීන් බැළුවේ කඩිනමිනි. හදිසි අනතුරක් නිසා වාට්ටුවට එවන ලද රෝගියෙකු නිසා ඔහු ඔහුගේ අවධානය අනෙක් රෝගීන් කෙරෙහි යොමු කළේ යන්තමිනි.
“සර්, මේ ලෙඩාට මොකද කරන්නේ˜ හෙදිය කෙට්ටු මේසන්වරයා පෙන්වා ඇසීය. හෙට ඇම්පියුටේෂන් එකට තියටර් ගන්න˜ ඔහු පැවසුවේ රෝගියාගේ තුවාලයවත් නොබලමිනි.
” කෝ අර ඇක්සිඩන්ඩ් වෙච්ච ලෙඩා…..˜
“සර්, අර ට්‍රොලියේ ඉන්නවා˜ හෙදිය තරබාරු රෝගියෙකු පෙන්නුවාය. ඉක්බිති හෙදිය මේසන්වරයා දෙසට හැරී —හෙට ඔහේගේ කකුල කපනවා. අද රෑ හතේ ඉදන් මොකුත් කෑමක් බීමක් ගන්න එපා. මෙන්න මෙතන අත්සන් කරන්න.˜ හෙදිය ඇඳ ඉහපත හා බෝල්පොයින්ට් පෑන ඔහුට දික් කළාය.
“අනේ නෝනා, ˜ ඔහු දෑත් එකතු කොට හෙදියට වැන්දේය. —මගේ කකුල කපන්න එපා මම රස්සාව කරන්නේ කොහොමද?˜
“ඒවා මම දන්නේ නෑ, ඇහුණානේ. සර්ජන් මහත්තයා කිව්වා හෙට ඔපරේෂන් කාමරයට ගන්නවා කියලා. දැන් මෙන්න. ඔපරේෂන් එකට කැමැත්ත දීලා මෙතන අත්සන් කරන්න˜ හෙදිය රෝගියාට විධානය කළාය.
රෝගියා ඇඳ ඉහපත හෝ පෑන අතට ගත්තේ නැත. ඔහු දෙනෙත් වසා ගත්තේය. “මගේ කකුල කපන්න දෙන්න බැහැ නෝනා……˜ ඔහු සිහින් හඬින් කියා වැළපුනේය.
රිය අනතුරට ලක් වී රැගෙන ආ රෝගියාගේ තත්ත්වය බරපතල බැවින් හෙදියට මේසන්වරයා සමඟ වාද කිරිමට වේලාවක් නොවීය. ඇය ශල්‍ය වෛද්‍ය විශේෂඥ පරාක්‍රම වල්ගම්පාය අනතුරට පත් රෝගියා පරික්ෂා කරන ස්ථානයට ගියාය. “හෙඩ් ඉන්ජරි එකක්. බර්හෝල් එකක් කරන්න වෙයි.˜ ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ ගැඹුරු බැල්මක් හෙලමිණි.
හදිසි අනතුරකට ලක් වී ඇත්තේ නගරයේ ධනවත් ව්‍යාපාරිකයෙකි. තම වාහනය නවත්වා පාර පනින විට වේගයෙන් පැමි‚ ත්‍රීවිලරයකට ඔහු හැපු‚. විසිවී ගිය ව්‍යාපාරිකයාගේ හිස පදික වේදිකාවේ වැදී එකෙනෙහිම ඔහුට සිහිසන් නැතිවිය. වට වූ පිරිස ත්‍රීවීල් රියදුරාට පහර දෙන අතර, තවත් කිහිප දෙනෙකු ඔහු රෝහලට ගෙන ආහ. එහෙත් ඔවුහු රෝගියා පිළිබඳ වගකිම බාරගැනීම ප්‍රතික්ෂේප කොට රෝගියාගේ ඥාතීන්ට රෝගියා පිළිබඳව දැනුම් දුන්හ.
පැය බාගයක් ඇතුළත දේශපාලඥයන්, ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් රෝහලට ඇමතුම් ගලා ආවේ වක්කඩය කැඩුවා සේය. දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරියාද රෝගියා බැලීමට වාට්ටුවට පැමිණියේය.
රෝගියාට ශල්‍යකර්මයක් කොට මොළයේ ලේ ගැලීම නැවැත්විය යුතු විය. මෙය බරපතල ශල්‍යකර්මයකි. දැන් එය ඇරඹුවහොත් අද සවස් වන තුරුම කිරීමට සිදු වේ. ඇරත් වෛද්‍ය වල්ගම්පායට තම නීතිඥයා හමුවීමට යෑමට තිබේ. වෛද්‍ය වල්ගම්පාය දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරියා දෙස බැලිය. “මේක බොහෝම බරපතල වැඩක්. බර්හෝල් එකක් කරලා ලේ අරන් දාන්න ඕන. අපි කැන්ඩි ට්‍රාන්සර් කරමු ”
“බැරිද අපට මෙහෙ සර්ජරි කරන්න˜ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරියා ඇසුවේ රෝගියා එකවරම නුවරට මාරු කිරීම නුසුදුසු බව සිතූ නිසාය.
තමාගේ මතය අභියෝගයට ලක් කරන විට වෛද්‍ය වල්ගම්පායට ඉවසුම් නොදේ. “ඩොක්ටර් ජයසිංහ…˜ ඔහු දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරියා දෙස බැවේ කෝප වූ දෙනෙතිනි. — මමයි මේ හොස්පිටිල් එකේ සර්ජන්. ලෙඩාට ස්පෙෂල් කෙයා අවශ්‍යයි. ලෙඩාව අපි නුවරට ට්‍රාන්සර් කරනවා.˜ ඔහු සංවාදය නිම කළේ රෝගියා මාරුකිරීමට අවශ්‍ය ලේඛණය පිරවීමට වෛද්‍ය දර්ශනට අණ කරමිණි.
“සර්, ට්‍රාන්සර් කරන හේතු මොකක් කියලද දාන්නේ?˜ වෛද්‍ය දර්ශන ඇසුවේ ඔලොක්කුවට මෙනි.
” අයිසේ දානවා For Special Management කියලා.˜ ඔහු නොඉවසිලිමත්ව පිළිතුරු දුන්නේය.
වැඩි කලබලයකින් තොරව වගකීම නුවර පැටවීමට හැකිවීම ගැන ඔහු සිටියේ උද්දාමයෙනි. හැකි ඉක්මනින් රෝගියා ගිලන් රථයට දමන ලෙස වැඩි දුරටත් පිරිසට අණ කළේය.
“සර්, මාත් ලෙඩා එක්ක යන්නද?˜ දර්ශන ඇසුවේ නුවර සවාරියක් යාමේ අභිලාෂයෙනි.
“හොඳයි දර්ශනත් යන්න. ˜ ඔහු නේවාසික වෛද්‍යවරයාට අවසර දුන්නේය. ඔන්න අපි අපේ යුතුකම කළා. වාට්ටුවේ දොස්තර කෙනෙක් එක්ක ලෙඩා නුවර යැව්වා.˜ වැනි බැල්මකින් ඔහු ලෙඩාගේ ඥාතීන් දෙස බැලීය.
“ඩොක්ටර් ලෙඩාට අමාරුද?˜ රෝගියාගේ ඥාතියෙක් විචාලේය.
“ඔව් ටිකක් අමාරුයි. ඒක නිසයි අපි ලෙඩාව නුවර යැව්වේ. බයවෙන්න එපා අපේ දොස්තර මහත්තෙකුත් ලෙඩා එක්ක ගියා.˜ වෛද්‍ය වල්ගම්පාය කීවේය.
දහවල් කාලය වැඩි කලබලයකින් තොරවම ගෙවී ගියේය. එහෙත් හදිස්සියේම ඔහුට දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරියාගෙන් ඇමතුමක් ලැබුණි .
“සර්, අපි නුවරට ට්‍රාන්සර් කරපු ලෙඩා නුවරට කිට්ටු වෙද්දී මැරිලා. නුවරට ගිහාම කියලා තියෙනවා නුවරට එවන්නේ නැතුව මෙහෙ බර්හෝල් එක කළා නම් ලෙඩා බේරාගන්න තිබුණා කියලා. මැරිච්ච මිනිහා බිස්නස් කාරයෙක්. මේක ඇදෙයිද දන්නේ නැහැ.˜
“ඩොක්ටර් ජයසිංහ, ඔය මිනිස්සු මාත් එක්ක ඇටෑක් එකට ඉන්න නිසා ඔය එක එක කතන්දර කියනවා. අපිට වෙන විකල්පයක් තිබුණේ නැහැනේ. අපි මොනවා කරන්නද?˜ ඔහු රිසිවරය තැබුවේ කැළඹුණු සිතිණි . උගෙ කරුමෙට ඌ මැරිලා. ඒකට මම මොනවා කරන්නද?˜ ඔහු සිතෙන් මළ මිනිසාට දොස් පැවරීය. මියගිය රෝගියාගේ ඥාතීන්ට නුවර රෝහලේ වෛද්‍යවරුන් තමා පිළිබඳව යම් දොසක් පැවසුවහොත් ඔවුන් තමා සමඟ තදින්ම උරණ වනු ඇත. මියගිය තැනැත්තා යමක් කමක් කළ හැකි අයෙකි. —අපරාදේ මම ට්‍රාන්සර් කළේ. මෙහෙ තියටර් ගත්තානම් ප්‍රශ්ණේ ඉවරයි. මෙහිදී මැරුණානම් කියන්න පුළුවන් අපි කරන්න පුළුවන් හැමදේම කළා කියලා. ඔහු හිසට අත තබාගෙන සිතුවේය.
“ඇයි සර් හිසේ ඇම්මද?˜ ප්‍රේමා ඇසුවාය.
“නෑ, නිකං ප්‍රේමා, ඇයි ප්‍රශ්නයක්ද?˜
” සර්, ……˜ ප්‍රේමා රහසක් කියන්නාක් මෙන් ළං වූවාය. —අර හැප්පිලා මැරිච්ච මුදලාලිගේ මල්ලිලා වගයක් OPD එකේ කෑ ගහනවා. අපේ වාට්ටුවේ කවුරු හරි කියලා, සර් ලෙඩ්ඩු හරියට බලන්නේ නැතිව නුවරට යවනවා කියලා. මට හිතෙන්නේ සුගතපාල මහත්තයා වෙන්න ඕන.
සුගතපාල යුනියන්කාරයෙකු නිසා ඔහු සමඟ පැටලීමද සුභ නැත. සුගතපාලට සුභසාධක මුදල් වංචා කිරීමේ චෝදනාවක් තිබේ. මේ දක්වා ඔහු දැක්වූයේ නිහඞ ප්‍රතිපත්තියකි. මුගේ සුභසාධක කේස් එකට ඇටෙන්ඩන්ලාව ෆෝම් කරා නම් හරි. ඔහු සිතුවේ සුගතපාලගේ ඇල්ලිය යුතු නිළය ගැන සිතමිණි. ලබන සැරේ මිනිහව වෙන වෝඩ් එකකට දාන්න කියනවා.
“සුගතපාල මහත්තයා මොකටද ඔය අනවශ්‍ය දේවල් ගැන කියවන්නේ. අර තමන්ට තියෙන සුභසාධක සංගමයේ මුදල් වංචා කිරීමේ චෝදනාව ගැන බලාගත්තානම් ඉවරනේ.˜ ඔහු ප්‍රේමා දෙස යන්තම් බලා කීය. ප්‍රේමා මෙම ආරංචිය රැගෙන රෝහල පුරා යනු ඇත. එයින් වත් සුගතපාල මට්ටු වනු ඇතයි වෛද්‍ය වල්ගම්පායට සිතිණි. අද දිනයේ රෝහලින් බැහැරව යාම සුදුසු නැත. ඔහු අරමුණකින් තොරව වාට්ටුවේ රැදී සිටියේය. නීතිඥයාට දුරකථන ඇමතුමක් දුන් ඔහු නීතිඥයා හමු වීමට වෙනත් දිනයක් ඉල්ලා සිටියේය. —මේ අහක යන කේස් එකක් නිසා මුළු දවසම පාළු උනා.˜ ඔහු සිටියේ නොරිස්සුම් ගතියෙනි.
“සර්, හෙට තියටර් ලිස්ට් එක යවන්නද?˜ නේවාසික වෛද්‍ය නිරූපමා ඇසුවාය. දර්ශන නුවර යාම නිසා ඇය ඔහුගේ වැඩ කොටසද කරන්නීය. “යවන්න˜ ඔහු පැවසූවේ වාට්ටුවේ ප්‍රශ්න විය හැකි රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර වහාම ලබා දිය යුතු බැවිනි. තවත් ප්‍රශ්න වෙන්න ඉස්සරවෙලා වාට්ටුව සුද්ද කරගෙන ඉන්න ඕනෑ. ඔහු අදිටන් කර ගත්තේය.
පසු දින උදෑසන ඔහු ශල්‍යාගාරයට පැමිණියේ වාට්ටුවේ මෙතෙක් ප්‍රමාද වී තිබුණු ශල්‍යකර්ම අවසන් කිරීම සඳහාය. ප්‍රධාන ශල්‍යකර්ම තුනක් කිරීමෙන් පසු ඔහුට මේසන්වරයා මතක් විය. “අර කකුල ඇම්පියුවේට් කරන්න ඉන්න ලෙඩා තවම ගෙනාවේ නැත්තේ ඇයි.? ඔහු ඊළගට මේසන්වරයා ගෙන එන ලෙස නේවාසික වෛද්‍යවරියට නියෝග කළේය. පැය බාගයක් පමණ ගත වුවද රෝගියා වාට්ටුවෙන් එව්වේ නැත. මෙවර ඔහුට කේන්ති ගියේය. “අයිසේ, මොකද මේ වැඩේ?. ඉක්මනට ලෙඩා එවනවා.˜ වෛද්‍ය පරාක්‍රම වල්ගම්පාය වාට්ටුවේ හෙදියට නියෝගයක් දුන්නේ දුරකථනයෙනි.
“සර්, කකුල කපන්න දෙන්න බැහැ කියනවා. BHT එකේ අත්සන් කරලත් නැහැ…˜ හෙදිය පැවසුවේ තම අත වරදක් නැතැයි කියන ස්වරයෙනි. විශේෂඥ වෛද්‍ය වල්ගම්පාය තම හිස් වැසුම හා අත්වැසුම් ගලවා දැමුවේ කෝපයෙනි. අනතුරුව රිසිවරය තදින් අල්ලාගත් ඔහු හෙදිය ඇමතීය. —ඇම්පියුටේෂන් එකට කැමැත්ත දීලා අත්සන් කරන්න බැරිනම් ටිකට් කපාගෙන යන්න කියනවා.˜ ඔහු සංවාදය අවසන් කළේය.
“වෙන ලෙඩෙක් ටේබල් එකට දාන්න..˜ ඔහු නේවාසික වෛද්‍යවරියට පැවසුවේ මුදු ස්වරයෙනි.
“සර්, ලෙඩාගේ වුන්ඩ් එක දැන් ටිකක් සනීපයි. සර් දැක්කේ නැද්ද?˜ ශල්‍ය වෛද්‍ය සුදර්ශන් ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයාට කිට්ටු වී පැවසීය.
“වැඩක් නැහැ. සෙප්ටිසෙමික් ෂොක් එකකට ගියොත් ලෙඩා මැරෙයි. ඒකේ බ්ලේම් එකත් මට ගන්න වේවි˜ ඔහු පිළිතුරු වශයෙන් කීවේය.
සර්, අපි සිනසෙෆ් ස්ටාට් කළා. සුදර්ශන් කීවේ පණ්ඩිත වැඩක් කිරීම පිළිබඳච දොස් ඇසීමට සිදුවේදැයි දෙගඩියාවෙනි.
“මම හැම දාම තුවාලය සුද්ද කරලා දැම්මා….˜ ඔහු කීවේ තම ක්‍රියාව සාධාරණීකරණය කරන විලාශයෙනි.
වෛද්‍ය වල්ගම්පාය කිසිවක් කීවේ නැත. ඔහු නිහව සැතපෙන ශල්‍ය මේසය මත සිටි රෝගියාගේ උදරය හරහා කැපුමක් කළේය.
දිවා ආහාරයෙන් පසු මේසන් රෝගියා බැලීමට ශල්‍ය වෛද්‍ය වරයාට සිත් විය. ඔහු වාට්ටුවට ගොස් රෝගියාගේ තුවාලය පරීක්ෂා කළේය. ගත වූ දින කිහිපය තුළ දී තුවාලයේ යහපත් වෙනසක් වී ඇත. තුවාලය සුව වන ලකුණු පහල වී තිබේ. එහෙත් තමාගේ මුල් තීරණය සිඳ දැමීමට ඔහු සූදා නම් නොවීය. “බලමු තාම සනීප මදි. තුවාලය පැතිරුනොත් කකුල කපන්න වෙයි.˜
“අනේ බුදු දොස්තර මහත්තයෝ, මගේ කකුල බේරලා දෙන්න….˜ රෝගියා යළි ආයාචනයක් කළේය.
“හෙට මෙයාව තියටර් එකට දාන්න. තුවාලය සුද්ද කරන්න.˜ වෛද්‍ය සුදර්ශන් ශල්‍ය වෛද්‍යවරයා දෙස බලා හෙද සොහොයුරියට පැවසුවේ ප්‍රාණවත් හඩකින්ය. වෛද්‍ය පරාක්‍රම වල්ගම්පාය කිසිත් විරෝධයක් නොපෑ බැවින් එම තීරණය සම්මත විය.
” මේ උදේනිස්..˜ සුදර්ශන් රෝගියාට කථා කළේ මෘදු හඩකිනි. “හෙට ඔපරේෂන් කාමරයට ගෙනිහිල්ලා අපි තුවාලය හොඳට සුද්ධ කරමු. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා උදේනිස්ගේ කකුල බේරා ගන්න”
රෝගියා වෛද්‍යවරයා දෙස බැවේ කෘතඥපූර්වකවය. පසු දින උදෑසන රෝගියා ශල්‍යාගාරයට ගෙන ගිය සුදර්ශන් රෝගියාගේ තුවාලය හොඳින් සුද්ද කිරීම ඇරඹීය. හැලොතේන් වායුව ආඝ්‍රාණය කිරීම නිසා රෝගියා සිටියේ නිශ්චලවය. ඒ අතරවාරයේ තුවාලයේ අස්සටම හයිඩි්‍රජන් පෙරොක්සයිඩ් පෙඟවූ පුළුන් දමමින් හෙතෙම තුවාලය පිරිසිදු කළේය. එදින සවස වන විට රෝගියාගේ උණ බැස තිබුණි. සිහිය ආ පසු ඔහු යමක් කෑමට ඉල්ලීය.
සුදර්ශන්ගේ වෑයම නිසා රෝගියාගේ තුවාලය ක්‍රමයෙන් සුව විය. මේ කාලය තුළ දී නොකඩවා ප්‍රතිජීවක රෝගියාට ලබා දෙනු ලැබීය. තම කකුල කපා නොදමන බව රෝගියාට දැන් විශ්වාසය. ඔහු හොඳින් ආහාර ගත්තේය. අනෙකුත් රෝගීන් සමග කථා බස් කළේය.
“මීට පස්සේ පත්තු බඳින්න යන්න එපා ˜ තරුණ හෙදිය වන චිත්‍රාංගනී කීවාය. මෑතකදී පත්වීම ලැබූ ඇය රෝගීන්ට අතිශයින්ම කරුණාවන්තය.
“අනේ නැහැ මිසී, ˜ උදේනිස් කීවේ යළි වැරදි නොකරන බවට පොරොන්දු වන පාසල් දරුවෙකුගේ විලාශයෙනි.
“ඉතිං තමුසෙට වෙදාගෙන් වන්දි ඉල්ලා ගන්න පුළුවන්නේ..˜ කටකාර ඇටන්ඩන්වරයෙකු වූ ජයම්පතී කීවේය.
” නෑ, කංකානම් මහත්තයා, වෙද උන්නැහේ මට බේත් කළේ මයිත්තිරියෙන්මයි.. තුවාලේ සනීප වෙන්න කියලා. මගේ කරුමෙට බේත විස වුනා. ඇරත් ඒ මිනිහා හොඳටම වයසයි. අපේ ගමේ සර්පයි දෂ්ට කරපු ජීවිත කීයක් උන්දෑ බේරාගෙන තියෙනවාද? ˜ ඔහු පිළිතුරු දුන්නේ උපේක්ෂා සහගතවය.
උදේනිස් සම්පූර්ණ සුවය ලැබුවේ තවත් සුමාන හයක් ප්‍රතිකාර ලැබීමෙන් පසුවය. ඔහුගේ තුවාලය සනීප වූ අතර කළුපාට තුවාල කැළල පමණක් ඉතිරි විය. ටිකට් කැපුවාට පසු උදේනිස් වාට්ටුවෙන් පිට වූයේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ පරාක්‍රම වල්ගම්පායගේ දෙපතුල් අල්ලා වැඳ වැටීමෙනි. “මහත්තයාට බුදු බව අත් වෙන්ඩ ඕනෑ…..කකුල නොකපා මාව සනීප කරාට….” ඔහු පැවසුවේ දෙනෙතින් එන කඳුළු කමිස අත්වල පිස දමමිනි. ශල්‍ය වෛද්‍යවරයා කිසිවක් කීවේ නැත. නිහඩව බලා සිටියා පමණි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
Transylvania බ්ලොග් අඩවිය https://transyl2014.blogspot.com/* අවසර ඇතිව උපුටා ගත්තකි .
ජීවන කතන්දර
කරෝලිස් අයියගේ සමුපකාරේ කූපන් හාල්

සේන කුඹුක්ගැටේ ගඩොල් වාඩියේ ගඩොල් කපන්නට ගොස් සති තුන් හතරක් ගතවිය. අපිත් සුපුරුදු ලෙස ඩැනිස්ගේ කාමරයේ ඔහුටද වාතයක් වෙමින් රස්තියාදු ගැසීම කරගෙන ගියෙමු. ඉඳහිට කට්ටිය සේනයා මතක් කළේ උගෙන් කිසිම තොරතුරක් නොමැතිවීම නිසාය. විස්තර අසා ලියුමක් ලියන්නටද බැරි ඉන්නා තැනක ලිපිනයක් නොදන්නා නිසාය. ඔය කාලයේ ආරිගෙ අයියා වන නිළමේ අපේ ගමට එහා ගමේ අතුරක් මදින්නට පටන් ගත්තේ ඔහුට අයත් ඉඩමකය. මදින්නට පටන් ගෙන ටික දවසකින්ම නිලමේගේ රා අතුර ප්‍රදේශවාසී ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය තැනක් බවට පත්විය. නිළමේද ගෙදර එන එක අතහැර දමා ඒ ඉඩමේම වාඩියක් හදාගෙන පදිංචි විය. වැඩ නැති වෙලාවට ඉඩම අයිනේ තිබුණු කුඹුර අස්වැද්දු නිළමේ ගොඩ හරියේ එළවළු වගාවක් දැම්මේය.
අතුරෙන් බාන රා ටික ගහ යටදීම බොන්නට ගමේ අප්පුහාමිලා සැදී පැහැදී සිටි නිසා නිෂ්පාදනය විකුණා ගැනීමේ කිසිදු අපහසුවක් නොවීය. පොඩි අවුලක් තිබුණේ අපේ ගමේ කොල්ලන්ගෙන් හෙවත් අපෙනි. සතියකට දවසක් දෙකක් අපේ කට්ටිය අතුරට ගිහිං රා කල සියල්ලම හිස්කර පැමිණීම ඒ අවුලය. සල්ලි දෙන්නේ අතේ තිබුණොත් විතරය. නැත්නම් රා සියල්ලම බොන්නේ පිනටය. රා නැතත් නිලමේගේ වාඩියට යෑමම සිතට සතුට දනවන කාරණයකි. නිලට නිලේ ලස්සනට හැදී ඇති ගොයම පීරාගෙන කුඹුරු යායෙන් හමා එන මඳ සුළඟ, සරුවට පීදී ගෙඩි, කරල් බරව ඇති මෑ බණ්ඩක්කා වම්බටු පිරි වගාව දකින විටත් සිතට සොම්නස දනවයි. නිලමේගේ වාඩියේ ලී මැස්සට වී කයියක් ගහමින් ඉන්නා අපට බොන්නට රා කලයක් දෙකක් නිලමේගෙන් ලැබෙයි. රා බිස්නස් එක නිසා අතමිට සරුවී ඇති නිළමේට කලයක් දෙකක් පිනට දෙන එක මහ කජ්ජක් නොවේ.
නිළමේගේ වෙලේ ගොයම් කපනදා හරියටම මහ මුදලිගේ බල්ලා මැරුණු දා වගේමය. ඒ ගමේත් අපේ ගමේත් අයගෙන් කුඹුරු යාය පිරී යයි. ඉන්න සෙනගගේ හැටියට වැඩට ගියත් අපට කරන්නට වැඩක් නැත. ඒ නිසා නිළමේ කුඹුරට තේ කහට, බුලත්විටද උදේ දවල් ඇඹුල ද අරගෙන යෑම අපට පවරයි. එදාට බොන්නට දෙන්නේද රා නොව නිළමේ විසින් රා වලින් දේශීයව නිෂ්පාදනය කරන ලද සුමිහිරි පළතුරු පානයකි. ගමේ අය කුඹුරු වැඩට වහ වැටෙන්නේද ඔය කියන පානයේ රස දන්නා නිසාමය. සතුටු සිනහවෙන් කුඹුරු යාය ඉපිලී යද්දී නිළමේ රජෙකු මෙන් නියර උඩ සිට සිනහවෙයි.
මීට පසු වාඩියට පැමිණි අය ඉල්ලා සිටියේ රා නොව නිලමේගේ නව නිෂ්පාදනයයි. නිෂ්පාදනය කුඹුරු වැඩට පමණක් කළ බව කීවත් ඔවුන්ගේ පෙලඹවීමෙහි අඩුවක් නොවීය. ඒ ඉල්ලුම යාචක ඉල්ලුමක් නොව ආර්ථික විද්‍යාත්මක ඉල්ලුමක් බව නිළමේද වටහාගත්තේය. ඉන්පසුව මදින ලද රා වලින් වැඩි හරිය පෙරන්නට යොදාගත් නිළමේ රා වලට කලයක් දෙකක් පමණක් වික්කේය. ටික දවසකින්ම නිළමේගේ අතට සල්ලි ගලන්නට විය. අපි රා බොන්නට එන දාට නිළමේ රා කලයට ස්ප්‍රිට් බෝතලයක් කළවම් කරයි. වෙනදාට රා කල දෙකතුනක් බොන අය එදාට එක කලයෙන්ම කට් වෙයි. තමන්ගේ ගමේ කොල්ලො සෙට් එක නිතරම තම අඩවියේ ගැවසීම නිළමේගේ හිතටත් හයියකි. දවස් තුන හතරකින් ඒ පැත්තේ නොගියොත් නිළමේ පණිවිඩ එවා අපව ගෙන්වා ගනී. ඒ ගමේ කොල්ලන්ටත් අප්පුහාමිලාටත් පෙනෙන්නටය. ඉඳහිට හෝ මොකුත් බොන්නට අතේ සතේ නැතිව සිටි අපට නිළමේ ගේ මෙම ත්‍යාගශීලීබව බොහෝ සැනසුම් ගෙන දෙන්නක් විය.
මෙහෙම කල දවස ගෙවෙද්දී දවසක් මට ලැබුණු ලිපියකි. ලිපිය ලැබුණේ මගේ නමට සහ පොඩි මහින්දගේ ගෙදර ලිපිනයටය. එය අමුත්තක් නොවන අතර අපේ කොල්ලන් සියල්ලන්ටම පාහේ ලියුම් එන්නේ ඒ ආකාරයටය. ලියුම් බෙදන්නාගෙන් ලියුම අරගත් ඩැනිස් ලියුම කාමරයේ තබා තිබු අතර මම ගිය වෙලාවේ ලියුම මට දුන්නේය. මමත් ලියුම එතනදීම කඩා කියවුයෙමි. ලියුම සේනගෙනි, ඔහුගේ විස්තර ලියා අවසානයේ රොටියා ගැනද අසා තිබුණි. වැදගත්ම කාරණය වුයේ සේනයා අසා තිබුණේ “රොටියාගේ අලුත් පෙම්වතා කවුද?” යන්නයි. මම ලිපිය කියවුයේ ඩැනිස්ටද ඇහෙන්නටය. සිනාවෙමින් අසා සිටි ඩැනිස්,
“මූට අපි හොඳ වැඩක් කරමු!” යි කීවේය.
“ඒ කිව්වෙ?
“උඹ ලියපං දැන් රොටියා මගෙත් එක්ක යාළුවෙලා කියල!”
“කමක් නැද්ද?”
“උඹ ලියල දාපංකෝ මොකද වෙන්නෙ බලන්න?”
මමත් ඩැනිස් කී පිළිවෙලටම ලියුමක් ලියා සේනයාට තැපැල් කළෙමි. ටික දිනකින් අපි දෙදෙනාටම ඔය ලියුම් පලහිලව්ව අමතකව ගියේය. සතියක් ගතවන්නට ඇත. දවසක් උදේ නින්දෙන් නැගිට නිදිගැට කඩමින් එළියට එනවිට සේනයා අපේ මිදුලේය.
“මොකද සේන මේ පාන්දර?”
“ඊයෙ රෑ ආවේ, උදේම ඔයා බලන්න ආවා. යමුද පොඩ්ඩක් එලියට?”
“මම තව මුණ හෝදලත් නෑ, උදේට කන්නත් ඕනෑ. සේන යන්න මම ටිකකින් එන්නම්.”
සේන පිටත්වී ගියේය. ඊට පැය බාගයකට පමණ පසු සුදානම් වී මම යද්දී සේනයා පොඩි මහින්දලාගේ ගෙයි කොට බිත්තිය උඩ ඉඳගෙන කකුල් හොල්ල හොල්ලා සිගරැට් එකක්ද අදිමින් සිටියේය. මාව දැකපු ගමන් සිගරැට් පැකට් එක මට දික්කළේය. මමත් එකක් අරගෙන දල්වාගතිමි. කොච්චර ලකේට හිටියත් සේනයා පසුවෙන්නේ ලොකු හිතේ අවුලකින් බව බැලු බැල්මටම පෙනීයයි. ඩැනිස් රෑ වැඩමුරය අවසන් කර ඇවිත් කාමරයේ හොඳටම නිදිය. ආයෙ ඇහැරෙන්නේ දවල් කෑමටය. සේනයාට හදිස්සිය කොච්චරද කිව්වොත් ඩැනිස්ව ඇහැරවමුද කියා මගෙන් අසයි.
“පිස්සුද බං? ඔය මනුස්සයගෙන් බැණුම් අහන්න ඕනැද? පොර නැගිටිනකම් අපි රවුමක් ගහල එමු.”
අපි දෙන්නා කෙළින්ම ගියේ නිළමේගේ පොට් එකටය. ඒ යනවිටත් නිළමේ අතුරෙන් බැස නැත. ලී මැස්ස උඩ හිඳගත් අපි කයියක් ගහමින් ඉන්නවිට, කොටම කොට කොට කලිසමක් ඇඳගෙන මල් කපන මන්න ඇතුළු ආයුධ සෙට් එක තියෙන “උගේ” ඉනේ රඳවාගත් නිළමේ ලොකු මුට්ටියකුත් එල්ලාගෙන ගෙට ගොඩවුනේය.
“මොකද එළිවෙනකොටම මේ පැත්තෙ?” නිළමේ අසයි.
“නිලමේ අයියව බලල යන්න කියල ආවා!”
“ආ..හොඳයි හොඳයි, සේන කවද්ද ගෙදර ආවෙ? ” නිළමේ මුට්ටියේ ඇති රා ටික මටුල්ලකින් කළයකට පෙරයි.
“ඊයෙ රෑ, පොඩි නිමාඩුවක් අරන් ආවා.”
“එහෙනං දෙන්නත් එක්ක තව ටිකක් ඔහොමම ඉන්නවද, මට තව ගස් දෙකතුනක් තියෙනවා කපල එනකල්?”
නිළමේ ආපහු එළියට බැස්සේය. උදේ පාන්දර කොට කලිසම ඇඳගන්නා නිළමේ කොට කලිසම ගලවා සරමක් ඇඳගන්නේ රෑ නින්දට යනවිටය. ඔය විදියටම ඒ කාලේ අපේ මහප්පෙකුත් හිටියේය. මහප්පා උදේට ඇඳගන්නා අමුඩය ගලවා සරමක් අඳින්නේ මහ රෑටය. කුඹුරට යන්නට,හරක් බඳින්න යන්නට,කඩේ යන්නට ආදී වශයෙන් දවල් දවසේ ගම මුලුක්කාදියේ ඇවිදින්නේ ඔය අමුඩය පිටින්ය. අද කාලෙ වගේ නොව ඒ කාලයේ ගැමියන් දවාලේ අමුඩයෙන් සැරසී ගමන් කිරීම කාහටත් අරුමයක් නොවීය. මහප්පාගේ නම ජයලත් රාළලාගේ පුංචි බණ්ඩාරය. එක වතාවක් හාල් පොත් ලියද්දී එතෙක් ලියැවුණු ජේ.ආර් පුංචි බණ්ඩාර කියන නම වෙනුවට අලුත් ග්‍රාම සේවක හාල් පොතේ අමු හිංගලෙන්ම ලියා තිබුණේ ජ.රා පුංචි බණ්ඩාර කියලාය. මහප්පාගේ පමණක් නොව ගෙදර අක්කලා අයියලාගේද නම් ජ.රා ලෙස වෙනස් කර තිබුණි. හාල් පොත් බැලු මහප්පා “මොකා මේවා ලියනවද මං දන්නෑ” කියමින් සිනාසුනේය.
ඒ කාලේ හාල් පොත අද ජාතික හැඳුනුම්පත වගේය. හාල් පොතෙන් නොයෙකුත් ප්‍රයෝජන ගත්තා මෙන්ම නැති බැරි අමාරුවකදී හාල් පොත් උකස් තබා මුදල් ලබාගන්නා අයද එමට සිටියෝය. හාල් පොතේ නිල නාමය හාල් සලාක පත්‍රය විය. කොටස් දෙකකින් යුතු හාල් පොතේ මුල් කොටස රෙදි කූපන් වලටද දෙවෙනි කොටස හාල් කූපන් වලටද වෙන්වී තිබුණි. කූපනයකට මුලදී හාල් සේරු දෙක බැගින් ලැබුණු අතර පසුව එය එක් සේරුවකට කපා දමන ලද්දේ 65 ඩඩ්ලි සේනානායක ආණ්ඩුවේ මුදල් ඇමතිවරයාව සිටි ජේ.ආර් ජයවර්ධන විසිනි. ඔහුගේ එම ක්‍රියාව 70 යු.ඇන්. පී ආණ්ඩුවේ පරාජයට හේතුවූ තීරණාත්මක සාධකයක් විය. 70 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ තුන් හවුලේ ප්‍රධානතම ඡන්ද පොරොන්දුව වුණේ කපා දැමු හාල් සේරුව නැවත ලබා දෙන බවය. “අපෙ අම්මා ළඟ එනවා – හාල් සේරු දෙක දෙනවා” යනුවෙන් උදාන පාඨයක්ද තුන් හවුල් ඡන්ද වේදිකාවේ නිරන්තරයෙන් ගැයුණි. හාල් ගේන්නේ කොහෙන්දැයි යු.ඇන්. පී යෙන් නගනලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් එක් ඡන්ද රැළියකදී සිරිමා බණ්ඩාරනායක මැතිණිය කියා සිටියේ හඳෙන් හරි හාල් ගෙනැත් දෙන බවය. හඳෙන් හාල් දෙන බව කියා බලයට ආවත් තමන් දුන් පොරොන්දුව ඉටු කිරීමට මැතිනියටද නොහැකි විය.
පොතට හාල් සේරු දෙක දුන් කාලයේ හාල් පොත් ටික පන් මල්ලකට දමා ගෝනියක් ද අතට දී සමුපකාරේ හෙවත් අපේ අම්මලා කියූ පරිදි සමාගම් කඩේට හාල් ගේන්නට අම්මා මාව පිටත් කර හරී. මම සමුපකාරෙට යන්නේ සිරිල් මාමලාගේ ගෙදර හිටපු මගේ යාළුවා වන මහතුන්ද කැටුවය. කඩේ අපේ ගෙදර සිට හැතැප්ම දෙකක් පමණ දුර නිසා ඒ දුර හාල් බර මට තනියම කරගහගෙන එන්නට නොහැකි බැවින් මම මහතුන්ද අඬගහගෙන හාල් ගේන්නට යමි. ඒ වෙනුවට මහතුන් හාල් ගේන්නට යන දවසට මම ඌත් එක්ක උදව්වට යමි. අපේ සමුපකාරේ කළමනාකරු හෙවත් මැනේජර් හැටියට මට මතක ඇතිදා පටන් වැඩකලේ කරෝලිස් අයියාය.
කඩේ ගෝල වැඩේටත් කොල්ලෙක් සිටි අතර දැන් මට ඔහුගේ නම අමතකය.
හාල් පොත් ටික අතට ගන්නා කරෝලිස් අයියා පොතකින් කුපනය බැගින් කතුරෙන් සීරුවට කපා ඉවත්කරගෙන කූපන් ටික ඔහුගේ මේස ලාච්චුවේ ඇති පෙට්ටියකට දමයි. ඒ පෙට්ටිය පිරී ඇත්තේ කූපන් වලිනි. ඉන්පසුව ඒ කපාගත් කූපන් ප්‍රමාණයට ලැබෙන හාල්වලට බිල ලියා අතට දෙයි. හාල් වලට අමතරව තවත් දේවල් ගන්නට ඇත්නම් ඒ අවස්ථාවේම කියා බිල ලියවාගත යුතුය. අපි ගන්නේ අම්මාගෙන් ඉල්ලා ගත් සත දහයට මාරි විස්කෝතුය. ඒ අපි දෙන්නාට ගෙදර එනගමන් කකා එන්නටය. බිල් ලියමින් ඉන්නා කරෝලිස් අයියා එක්වරම පුටුවෙන් නැගිට ගොස් කටේ ඇති බුලත්හපය පෘෂ් ගා ඉවතට විසිකර නැවත පැමිණෙයි. බුලත් හපය කිව්වාට හපමින් සිටි බුලත් කොලයද පුවක් කෑල්ලද දුම්කොළ කෑල්ලද මුලින් කටේ දමාගත් ආකාරයටම වීසි කරන විටද තිබෙනු දැකිය හැකිය. එහෙම වෙන්නේ කරෝලිස් අයියාගේ කටේ ඉස්සරහ දතක් ඇරෙන්නට අනිත් දත් සියල්ලම හැලී ගොස් ඇති නිසාය.
බිල අතට ගන්නා අපි ඒ බිල කඩේ අනික් කොටසේ ඉන්න බඩු කිරන ගෝලයාට දුන්න විට ඔහු අර විශාල තරාදියට පඩි දමා හාල් දමා කිරා අපි ගෙනගොස් ඇති ගෝනියට ඇල කර දමයි. එතන ඇත්තේ අමුතුම සුවඳකි. හාල්ද භුමිතෙල්ද කරෝලද සුවඳ එකතුවී එන ඒ අපූරු සුවඳ අදද මට හිතින් ආඝ්‍රාණය කළ හැක. හාල් හැටියට නිතරම පාහේ සමුපකාරයෙන් ලැබෙන්නේ මිල්චාඩ්, රතුම රතු රතු කැකුළු හාල් සහ ඉටිහාල් යනුවෙන් අපේ අම්මලා හැඳින්වූ සුදු හාල් වර්ගයකි. සුදු කැකුළු හාල් ලැබුණේ කලාතුරකිනි. මේ හාල් වලින් අපි වඩාත්ම කන්නට කැමති වුණේ මිල්චාඩ් වලින් පිසූ බතටය. දිග ඇටයකින් යුත් මිල්චාඩ් හාල් පිසෙන විට අමුතුම සුගන්ධයක් හමා එයි. හොඳ පොල් සම්බෝලයකුත් තනා ගත් විට ඒත් එක්ක ලොකු බත් පිඟානක් කිසි අපහසුවකින් තොරව කන්නට පුළුවන. අවුරුද්ද කන්නට ඇතිවෙන්නට වී ටික කුඹුරු වලින් අපට ලැබුණත් සමුපකාරයේ නොමිලේ දෙන හාල් ටික ගේන්නේ කැවිලි වලට පිටි කොටාගන්නටත් වැහි කාලයට වී තම්බාගන්නට බැරිවූ විට ප්‍රයෝජනයට ගන්නටත්ය.
සමුපකාරෙන් ගත්ත හාල් ගෝනියත් කරතියාගෙන මහතුන් එක්ක කැලෑ වැදෙමි. කැලෑ වැදීම කියන්නේ අපි ගෙදර එන ආකාරයයි. ආපහු ගෙදර එන්නට පාරවල් තුනක් ඇත. ඔය පාරවල් තුනෙන් වැඩිපුරම පාවිච්චි වෙන්නේ අලවත්ත පාරත් ගම මැද පාරත්ය. නමුත් අපි දෙන්නා ගෙදර එන්නේ වෙනම පාරකිනි. පාර වන්නේ සමුපකාරය ඉදිරියෙන්ම ඇරඹි අපේ ගම කිට්ටුවටම දිවයන නාරංවත්ත පාරයි. නාරංවත්ත දෙවෙනි ලෝක යුද්ධය කාලයේ මිත්‍ර පාක්ෂික හමුදාවල ලංකාවේ තිබූ විශාල කඳවුරකි. යුද්ධය අවසානයේ විදේශ හමුදාවන් ලංකාවෙන් ඉවත්වූ පසු කඳවුර පාළුවට ගියේය. නාරන්වත්තේ තිබු හොඳින් තාර දැමු පාරවල්, කැලෑ වැහුණු ජල පොකුණු ආදිය බලන්නට අපි කැලේ රිංගා ආපහු එන්නේ කන්නට මොනවා හරි ගඩා ගෙඩිත් අරගෙනය. මහතුන් එක්ක මම ආපහු ගෙදර ආවේ ඔන්න ඔය කියන නාරංවත්තේ තිබු තාර දැමු නමුත් දෙපස වල් වැහුණු පාරදිගේය.
අපි දැන් ඉන්නේ සමුපකාරෙන් කූපන් හාලුත් අරගෙන මහතුන් එක්ක මාරි බිස්කට් කකා නාරන්වත්ත පාර දිගේ ගෙදර යන ගමන්ය. සමුපකාරෙන් දුන්නේ රතු හාල් නම් අපේ ගමන් මග මීට වඩා වෙනස්ය. ඒ රතු හාල් මෝලට දමා තරමක් පොලිෂ් කර ගෙනෙන්නට වෙන නිසාය. දෙවේලට තම්බන ලද කුඹුරු හාල් කන අපේ ගෙවල්වල රතු හාල ගන්නේ පිටි කොටා ආප්ප, ඉඳිආප්ප, පිට්ටු ආදිය හදන්නටත් රසකැවිලි හදන්නටත්ය. ඒ සඳහා තදම තද රතු හාල නොගැලපෙන බැවින් මෝලට දමා පාහා ගත යුතුය. එවිට හාල ලස්සන රෝස පාටක් ගනී.
සමුපකාරෙන් රතු හාල් අරගෙන අපි ඊළඟට යන්නේ මාටිං මාමාගේ වී මෝලටය. එය ඇත්තේත් සමුපකාරයට නුදුරිනි. අපි යද්දිත් මාටිං මාමා වී කොටනවා හෝ හාල් පාහිනවා නම් ටිකක් වෙලා බලා ඉන්නට සිදුවේ. මෝලේ කවුරුවත් නැතත් අපිට තව ටික වෙලාවක් බලා ඉන්නට සිදුවන්නේ එක්කෙනෙකුට පමණක් වී කොටන්නට මාටිං මාමා වී මෝල ස්ටාට් නොකරන බැවිනි. ඒ කාලයේ වී මෝල් අද වගේ විදුලියෙන් ක්ෂණිකව පණ ගන්වන්නට බැරි අති විශාල ඇන්ජිම් සහිත ඩීසල් වලින් ක්‍රියාකරවන මෝල්ය. දෙතුන් දෙනෙක් එකතුවූ විට මාටිං මාමා ඇන්ජිමට ලීවරයක් දමා මුළු ශරීරයේම වෙර යොදා අතින් කරකවයි. දෙතුන් වතාවක් කහින ඇන්ජිම අවසානයේ මහ හඬක් නගමින් දුම් දමා වැඩකරන්නට පටන් ගනී. ඈත තියෙන ඇන්ජිමේ රෝදයට සවි කර ඇති ගනකම් සහ දිග පටිය හෙවත් බෙල්ට් එක වී මෝලේ රෝදයට සවි කර ඇත. අද නම් වී කොටන්නේ මැෂින් තුනකිනි. මුල් මැෂිමෙන් වී ඇටයේ පොත්ත ගැලවී යයි. පොත්ත ගැලවුණු හාල් තවත් මැෂිමකට දමා පොලිෂ් කරගනී. ඉන්පසුව තවත් මැෂිමකින් ගල් වැලි හා කළු ඇට ඉවත් කරයි. මේ ළඟදී මෝලට ගිය මම දැක්කේ ඔය කාර්යයන් තුනම දැන් එකම මැෂිමකින් කරන තරමට මෝල දියුණුවී ඇති බවය.
හැබැයි ඒ මාටිං මාමාගේ මෝල නොවේ. අපේ ගමට එහා ගමේ ඇති මෝලකි. මාටිං මාමාගේ මෝල වැසී ගොස් සහ මාටිං මාමා පරලොව ගොස් දැන් බොහෝ කල් ගෙවී ගොස් ඇත. මාටිං මාමා ඔය කාර්යයයන් සියල්ලම කළේ එකම මැෂිමෙනි. නමුත් ඒ මෝලේ ගල් වැලි ඉවත් කිරීමක් නොවූ නිසා හැමදාම උයද්දී හාල් ගරා ගත යුතු විය. මාටිං මාමා පළමුව වී ටික මෝලේ බක්කියට දමා පොතු ගැලවී ගිය පසු නැවතත් හාල් ටික ආපසු බක්කියට දමා සුදු කර ගනී. ඔය වැඩ දෙකම ඔහු කළේ මැෂිමට සවි කර ඇති ඇණයක් වැනි උපකරණයක් තද කරමින් හා බුරුල් කරමිනි. සමහර වෙලාවට කොටද්දී හාල් ටික කුඩුවී යයි. එවිට මාටිං මාමා කියන්නේ වී ටික වේලිලා වැඩි බවය.
වී කොටද්දී ඉවත යන දහයියා ටික වෙනම කටකින් මෝලට පිටින් ඇති දහයියා ගොඩට වැටේ. ඒ දහයියා ගොඩ අවුස්සමින් දවල් දවස තිස්සේම අහුලා කන කුකුළු කිකිළියන් රෑනකි. උන් එහා වත්තේ පිස්කල්ගේ කුකුළු රංචුවය. උන්ට කන්න දෙන්නට පිස්කල්ට කිසිම වියදමක් දරන්නට වෙන්නේ නැත. ඔය වගේ තව කතාවක් මම කියවපු පොතක තිබුණා මට මතකය. ඒ රොඩ්නි ජොන්ක්ලාස් ලියූ වාලම්පුරි නම් පොතය. එහිද මුහුදෙන් ගොඩට ගෙනෙන හක්ගෙඩි කුණුවෙන්නට දමා තියෙන මඩුව යට කුකුළු රංචුවකි. උන් හක්ගෙඩි කුණුවී වැටෙන පණුවන් අහුලමින් ආහාරයට ගනිති. කුකුළු රංචුව වාඩියේ කෝකියාගේය. කුකුළු රංචුවට කෑම දෙන්නට සත පහක් වත් වියදම් නොකරන කෝකියා බිත්තර සහ සතුන් විකිණීමෙන් ලොකු මුදලක් සොයන බව කියැවිණ.
වී කෙටීමෙන් ලැබෙන මුදලට අමතරව පැත්තක එකතුවෙන වී කුඩු විකිණීමෙන්ද මාටිං මාමාට අමතර මුදලක් ලැබේ. සෙනග වී කුඩු ගෙනියන්නේ පුන්නක්කු සමග කලවම්කර හරකුන්ට කන්නට දෙන්නටය. මෝලට පාහින්නට දුන්න රතු හාල් ටික සුද්දකර ගත් පසු අපි දෙන්නා ගෙදර එන්නේ අලවත්ත පාර දිගේය. ඒ වගේ රතුම රතු හාලක් දවසක් මම මදුරාසියේ කඩේක දැක්කෙමි. ඒ මාටිං මාමාගේ වී මෝලේ හාල් කෙටිල්ලට කාලාන්තරයකට පසුව මම ඉන්දියාවේ හිටපු කාලයේය. ඒ රතු හාල් කිලෝ කීපයක් මිලට ගත් මම එතන ලඟම තිබුණු මෝලකට දී රෝස පාට වෙන්නට පොලිෂ් කරවාගෙන ගෙදර අරගෙන ගියෙමි. ඒවා කොටා පිටි කරගත් විට ඉඳිආප්ප හදන්නට අනර්ඝ බව පෙනීගියේය. එහෙම ඉඳිආප්ප හදන විට පිටි තම්බා ගෙන ඉඳිආප්ප සෑදිය යුතුය. හාල් පිටි වලින් ඉඳිආප්ප හදන ක්‍රම දෙකක් ඇත. එකක් නම් පිටි තම්බා ගෙන ඉඳිආප්ප හැදීමය. අනෙක පිටි බැදගෙන ඉඳිආප්ප හැදීමය. පාන් පිටිවලින් ඉඳිආප්ප හදනවා නම් බැදිල්ලක් නැත. තම්බා ගත යුතුමය.
බැදගත් පිටිවලින් හදන ඉඳිආප්ප වල පිටි තම්බාගෙන හදන ඉඳිආප්ප වල තරම් මෘදු සෞම්‍ය බවක් එන්නේ නැත. පිටි තම්බා සාදාගත් ඉඳිආප්පයේ රැල් බොහොම ලස්සනට රෝස පාටට දැක්ක දුටු ගමන් ඉඳිආප්පය කන්න හිතෙන විදියට පිරුණු බවක් සහිතව තිබේ. දවසක් අපේ ගෙදර රෑ කෑමකට ආපු කේමදාස මාස්ටර්ටද අන්න ඒ විදියට හදපු ඉඳිආප්ප කන්නට දුන්නෙමි. බොහොම සතුටින් ඉඳිආප්ප කෑ කේමදාස මාස්ටර් බොහොම කාලෙකින් රස ඉඳිආප්ප ටිකක් කෑවා කියමින් ඉඳිආප්ප වල අගය පාරට්ටු කළේය. ඔය කතාව මම මීට කලින්ද බ්ලොගේට ලියපු කතාවක ලිව්වෙමි. දැන් නම් ඒක සොයන්නට කම්මැලිය. අපේ නයා ප්‍රසන්නට නම් ඒ කතාව මතක ඇති බව මම සිතමි. දවසක් සුනිල් එදිරිසිංහත් මට කීවේ ඔහුත් රෝස පාට ඉඳිආප්පත් පොල් සම්බෝලත් කන්නට මනාප බවය. ඒ ඕමාන් වල රෑ කෑමකදී අපි හමුවුණු වෙලේය. එදා සුනිල් එදිරිසිංහ ඉඳිආප්ප සහ රතු පොල් සම්බෝලය බොහොම කැමැත්තෙන් අනුභව කළ බව මට මතකය. අපි බෙන් එකේ ටෙලි නාට්‍ය කරන කාලයේ දවසක් උදේ ඉඳිආප්ප කන ගමන් කැමරා ශිල්පී කේ.ඒ. ධර්මසේන කීවේ ඔහු තරුණ කාලේ ලෙස්ටර් මහත්තයාගේ ප්‍රොඩක්ෂන් වල වැඩ කරද්දී උදේට ඉඳිආප්ප හැට හැත්තෑවක් කන බවය. එහෙම නැතිව අලි පත යකඩ බාර්වල සවි කර ඇති විශාල ලයිට් උස්සන්නට බැරි බව ධර්මේ කියපු බව මට මතකය. මේ ළඟකදී ටී වී වැඩ සටහනකට සහභාගී වූ සචිත්‍ර සේනානායක කීවේ ඔහු මාරි පැකට් දෙකක ඔට්ටුවකට ඉඳිආප්ප හැත්තෑපහක් කෑ බවකි. මීටත් වඩා ලොකු ඉඳිආප්ප කෑමේ ඔට්ටුවක් ගැන මා කියවා ඇත. එදා ඉඳිආප්ප කෑමේ ඔට්ටුවේ කතානායක වරයා වන්නේ තුන්වරක් මෙරට අගමැති ධුරය දැරූ ඩඩ්ලි සේනානායක මැතිතුමාය. මේ කතාව 2018 ජුනි මාසයේ ලංකාදීප පත්‍රයකට නිහාල් ජගත්චන්ද්‍ර ලියුවක් බැවින් පත්‍රයේ තිබුණු පිළිවෙලටම උපුටා දක්වමි.
“මේ කාලයේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ නේවාසිකාගාරයේ නතරවී සිටි සිසුන්ට සැපයුනේ බටහිර ක්‍රමයට පිසූ ආහාර පානය. එහෙත් ඒවාට එතරම් ප්‍රියමනාපයක් නොදැක්වූ ඩඩ්ලිගේ ප්‍රියතම ආහාරය වුයේ සිංහල ක්‍රමයට පිසූ බත් සහ මාළු පිණිය. එසේත් නැත්නම් ඉඳිආප්ප හෝ පිට්ටුය.
ඒ අනුව ඩඩ්ලි සහ ඔහුගේ සම වියේ මිතුරන් විසින් පවත්වන ලද උද්ඝෝෂණයක ප්‍රතිපල වශයෙන් ඔවුන්ගේ උදෑසන ආහාරයට ඉඳිආප්ප සහ පිට්ටුද එක්කිරීමට විදුහල්පතිවරයාගේ අනුමැතිය යටතේ නේවාසිකාගාර පාලකයා පියවර ගෙන තිබුණේය. එහෙත් බටහිර කෑම වර්ගද උදෑසන කෑම මේසයට එක්කර තිබුණේ බත් ඉඳිආප්ප හෝ පිට්ටු කෑමට ප්‍රියමනාපයක් නොදක්වන සිසුන් වෙනුවෙනි.
දිනක් නේවාසිකාගාර පාලකයා නිවාඩු ගොස් සිටි අවස්ථාවක උදෑසන ආහාර ගැනීම සඳහා කෑම ශාලාවට ගිය සිසුන්ට දකින්නට ලැබුණේ පෙර පරිදිම ඉඳිආප්ප,පිට්ටු සහ බටහිර ඌරුවට සකසන ලද කෑම වර්ග කීපයක් මේසය මත තිබෙන අයුරුය. එදින වෙනදාටත් වඩා වැඩි ඉඳිආප්ප ප්‍රමාණයක් එහි තිබෙන බවද ඔවුන්ට පැහැදිලිව පෙනෙන්නට තිබුණේය.
ඩඩ්ලිට මෙතන තියෙන ඉඳිආප්ප කොච්චර කන්න පුලුවන්ද? සීයක්…
ඩඩ්ලි එහි තිබූ වෙනත් කෑම වර්ග දෙසවත් නොබලා ඉඳිආප්ප තසිම අසලින් හිඳගත් අයුරු බලා සිටි ඔහුගේ මිත්‍රයෙකු එසේ කීවේ විහිළුවටය. තම මිත්‍රයා බොහෝ අවස්ථාවල දී ඉඳිආප්ප වැඩි ප්‍රමාණයක් කිසිදු අපහසුවකින් තොරව ගිල දමන අයුරු ඔහු කොතෙකුත් දැක තිබුණේය.
‘බැරිකමක් නෑ. ඒත් මම ඒ තරම් ගණනක් කෑවොත් මගේ මේ මිත්‍රයා ඇතුළු වැඩි දෙනෙකුට බඩගින්නෙ ඉන්න සිද්ධ වෙනවා’ යි කී ඩඩ්ලි සේනානායක ශිෂ්‍යයා තම මිත්‍රයින් පිරිස දෙස බලා උපහාසාත්මක සිනාවක් පෑවේය. ‘නෑ…නෑ…ඒ ගැන ප්‍රශ්නයක් නෑ. ඔයා ඉඳිආප්ප සීයකට වඩා කෑවොත් අපි ඔයාට මවුන්ට් ලැවිනියා හොටෙල් එකේ ෆස්ට් ක්ලාස් ලන්ච් එකක් දෙනවා, ඒත් ඔයාට ඉඳිආප්ප සීයක් කන්න බැරිවුණොත් ඔයා අපිට මොනවද දෙන්නෙ?
ඩඩ්ලිට එම අභියෝගය ඉදිරිපත් කරමින් ඔහුගෙන් එසේ විමසන ලද්දේ උඩරට වතුකාර පවුලකට අයත් බ්‍රිතාන්‍ය ජාතික සිසුවෙකි.
‘හරි ප්‍රශ්නයක් නෑ. මම පැරදුනොත් ඔයගොල්ලන්ටත් මවුන්ට් ලැවිනියා හොටෙල් එකේ ඒ ලන්ච් එකම දෙනවා’. යි කී ඩඩ්ලි මුලින් ඉඳිආප්ප පනහක් තම පිඟානට බෙදා ගනිමින් ඒ අසල තිබූ කිරිමාළු තසිම ලඟට ඇද ගත්තේය.
‘හැබැයි මම කන්නේ අතින්, එහෙම නැතුව රස නෑ.’ යි කී ඩඩ්ලි සේනානායක වතුර උගුරක්ද බී තම කාර්යය අරඹන ලද්දේ සෙසු සිසුන් පිරිස වටවී බලාසිටින අතරතුරය. අන්තිමේදී ඉඳිආප්ප එකසිය තිහක් ඉතා පහසුවෙන් ගිල දමා අවසන් කළ ඔහු දෑස් උඩ ඉන්දාගෙන තමන් දෙස බලාගෙන සිටි මිතුරන්ගේ අභියෝගය ජයගෙන හුනස්නෙන් නැගී සිටියේ තම සුරතේ ඇඟිලිද කටින් සූප්පු කරමිනි. “
ඉහත දැක්වෙන කතාව තරමක අතිශයෝක්තියක් බව මට නම් බැලු බැල්මට පෙනේ. ඉඳිආප්ප හැට හැත්තෑවක් කන එක වෙනම දෙයකි. ඒත් පාසැල් ශිෂ්‍යයෙක් ඉඳිආප්ප එකසිය තිහක් කෑවා යනු පිළිගන්නට ටිකක් අමාරු කාරණයකි. සාමාන්‍යයෙන් පත්තරවලට ලියන අයගේ කතාවල තාර බර ඇරගෙන විශ්වාස කරන එක හොඳය. ඩඩ්ලි සේනානායක මහතා හොඳට කාපු කෙනෙක් හැටියට නම් ප්‍රසිද්ධය. මම කියවපු තවත් කතාවකට අනුව ඩඩ්ලි සේනානායක මහතා අවේලාවේ ඇවිත් කහබත් කන්නට ඉල්ලන නිසා ඔහු මැති සබයේ ඉන්නාවිට පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදවිය නිතරම එයට සුදානමින් ඉන්න බවද ඔහු වරකට ලොකු කහබත් පිඟානක් සහ බැදපු කුකුලෙක් කන බවද පත්තරයකට කියා තිබුණේ ඒ කාලයේ පාර්ලිමේන්තු භෝජනාගාරයේ හිටපු සේවකයෙකි.
ඉස්සර අපේ ගෙවල්වල ඉඳිආප්ප හැදුවේ උදේ කෑමටය. දැන් නම් මේ කියන පරක්කුවට ගෙදර කන්නට ඉඳිආප්ප තම්බා ගැනීම සුළු දෙයක් වුණත් දැන් වගේ ගෑස් කුකර් සහ ස්ටීමර් නැති ඒ කාලයේ ගෙදරට කන්නට ඉඳිආප්ප තම්බා ගැනීම ලොකු වැඩකි. වංගෙඩියේ පිටි කොටා තම්බාගෙන මිශ්‍රණය තනාගත් පසු දර ලිපේ මැටි මුට්ටියට වතුර දමා පස්සා ඉඳිආප්ප වට්ටිවලට වක්කර ගත් පසු එකවර මුට්ටිය උඩ තියන්නට හැක්කේ ඉඳිආප්ප වට්ටි හතරක් හෝ වැඩිම වුනොත් පහකි. ඒ වට්ටි පහ මුට්ටියේ කට උඩ තබා ලොකු මැටි මුඩියකින් වැසිය යුතුය. ඉඳිආප්ප තැම්බී හුමාලය මුඩියෙන් පිටතට එන්නට පටන් ගත් පසු ඉඳිආප්ප බාන්නට පදම ඇවිත් බව දැනගනී. අනික ඒ කාලයේ හවසට රෙඩිමේඩ් ඉඳිආප්ප විකුණන කඩ ගැන අහන්නට වත් තිබුණේ නැති බවද කිව යුතුය. ඉඳිආප්ප විස්සක් තම්බා ගැනීමට හතර සැරයක් හෝ පස් සැරයක් ඔය විදියට තම්බාගත යුතුය. කොල්ලා කාලෙ වැඩිපුර කෑවත් දැන් නම් මට ඉඳිආප්ප පහළොවකට වඩා කන්නට අමාරුය. හොඳටම බඩගිනි තිබුණොත් විස්සකි. ඊට වඩා කෑවොත් බඩේ ගල් දැම්මා සේ දැනේ.
ඒ කතාව එහෙමය. ඔය මම කිව්වේ ගෙදර කොටාගෙන හෝ පිටි මෝලෙන් ගන්නා පිටිවලින් හදන ඉඳිආප්ප ගැනය. නමුත් කඩේ විකුණන්නට ඇති ක්ෂණික ඉඳිආප්ප පිටිවලින් හදාගන්නා ඉඳිආප්ප වලින් ඉඳිආප්පයේ ස්වභාවික රසය ගන්නට බැරිය. මන්දයත් ඒවා කල්තබා ගැනීමට හා පිටිවල සුදෝසුදු වර්ණය ලබා ගැනීමට රසායනික ද්‍රව්‍ය බෙහෙවින් මිශ්‍ර කරන බැවිනි. ඉඳිආප්ප කන්නට හදාගන්නා පොල් සම්බෝලයද ඔහේ ආගිය අතේ හදන්නේ නැතිව පිළිවෙලකට හදා ගත යුතුය. රතුලූණු ටිකක් වැඩිපුර දමා උම්බලකඩද ගම්මිරිස් ඇට කීපයක්ද යොදා ගලේ අඹරාගෙන දෙහි ඇඹුල් ටිකකුත් මිශ්‍ර කර සාදාගත් පොල් සම්බෝලය සමග හිතේ හැටියට ඉඳිආප්ප කන්නට හැක. පොල් සම්බෝලවලට අමතරව තිබ්බොටු සහ කුණිස්සන් මිශ්‍රකර සාදාගන්නා කහපොල් මැල්ලුමද ඉඳිආප්ප සමග නැගලා යයි. මේ ළඟකදී අපේ ගෙදර ආපු කොච්චියාටත් මම උදේට කන්නට දුන්නේ ඉඳිආප්පත් කහපොල් මැල්ලුමත්ය. මම කොච්චියාට උදේ කෑම වට්ටෝරු කීපයක්ම ඉදිරිපත් කළෙමි. ඉඳිආප්ප සහ කහපොල් මැල්ලුම්, හීල් බත් එක්ක පොල් සම්බෝල, පාන් සමග කිරිමාළු හොදිත් පොල් සම්බෝලත් ආදී වශයෙනි. කොච්චියා කීවේ හීල් බත් වලටත් කැමති නමුත් මෙදා ඉඳිආප්ප කමු කියලාය.
එදා කොච්චියා ඇවිත් තිබුණේ ජා ඇලින් රා කෑන් එකකුත් වල් ඌරු මසුත් අරගෙනය. මදිපාඩුවට මම ඩීඩී බෝතලයකුත් ගෙන්නෙව්වෙමි. රා බොන්නට නලින්ද අපිත් එක්ක එකතු වෙන්නට නියමිත විය. නලින් කිව්වේ පන්සලේ රැස්වීමකට ගිහින් දවල් වෙනවිට එන බවය. නමුත් රැස්වීමෙන් පසු හාමුදුරුවන්ගේ එක එක ගමන් වලට නලින්ව දවසම බුක් කරගෙන තිබුණු බැවින් නලින්ට වැඩේ මග හැරී ගියේය. වෙනදාට කොච්චියාත් එක්ක එන අයිවන්ටද අසනීප නිසා එදා එන්නට බැරිවිය. අයිවන් කියන්නේ අපිත් එක්ක ඕමාන් වල වැඩකරපු කෙනෙකි. හොඳ බොන්නෙකු, ගිටාර් වාදකයකු සහ නියම විනෝදකාමියකු වූ අයිවන් නැතුවම අන්තිමට අපි දෙන්නා වැඩේ පටන් ගත්තෙමු.
රා බොන ගමන් නියම අතීතකාමියකු වූ කොච්චියා කීවේ අපේ ගෙදර එද්දී ගමට ඇතුල් වුන වෙලේ සිට දැක්ක පිරිමින් ඔක්කොම මාදුවාදැයි ඔහුට හිතුන බවයි. එදා හොඳ වෙලාවට මාදුවලාගේ කුඹුරු යායේ ගොයම් කපන දවසය. කුඹුර තිබුණේ අපි බොන තැනට මීටර් සීයක් පමණ පහලිනි. දැක ගන්නට ඔච්චර ආසා එකේ දැම්මම ගිහින් මාදුවා හමුවෙමුය කියා රා බීම පැත්තක තබා අපි වෙලට ගියෙමු. අපි යනවිට මාදුවාගේ කුඹුරේ ගොයම් කපා ඉවරය. මාදුවා වී ගෝනි කුඹුරෙන් ගොඩට අදිමින් සිටියේය. අපි කතාකරමින් ඉන්න විට මාදුවා කොච්චියාව පෙන්වා ඇසුවේ මේ කවුද කියාය. මම නම් ඔයාව හොඳට දන්නවා යැයි කොච්චියා කී විට බ්ලොග් හෝ අන්තර්ජාලය ගැන මෙලෝ හසරක් නොදත් මාදුවා පුදුමයට පත්ව කීවේ ඒ කොහොමද? මම ඔයාව දැක්කෙත් අදනෙ! කියාය. කෙසේ හෝ උන් දෙන්නාගේ හතර බීරි කතා අසමින් මම ඇතිවෙන්නට සිනාසුනෙමි. මගේ කතාවල මාදුවාද එක් චරිතයක් බව ඌ නොදන්නා එක හොඳය. සුද්දාද එසේමය. මගේ කතාවල තමන්ද චරිතයක් බව සුද්දා නොදනී.
මේ දවස්වල සුද්දා නැවතත් බදු වත්ත වගාකරයි. අයිතිකාරයාගේ ඉල්ලීම අනුව අන්නාසි වගාවෙන් පසුව සුද්දා වත්ත නැවත ඔහුට බාර දුන්නේ අන්නාසි ගස් ගලවාදමා සුද්ද කර අගල් එහෙම කපලාය. ඊට අමතරව බද්දට හිලව්වක් ලෙස සුද්දා වත්තේ පොල් පැළද සිටුවා තිබුණේය. දැන් පොල් පැළද තරමක් ලොකුය. වත්ත ආපසු දුන් සුද්දා තමන්ගේ වැඩක් බලාගෙන සිටියේය. සුද්දා වත්ත ආපසු බාරදුන් පසු පොල් හොරුන් වැඩ පටන්ගෙන වත්ත සුද්ද කරන්නට පටන් ගත්තෝය. තමන්ට වගකීමක් නැති නිසා සුද්දා නිහඬව සිටියේය. ඊට පසු අයිතිකාරයා ආවේ පොල් කඩවන්නටය. වෙනදාට පොල් කඩවා ට්‍රැක්ටරයක පටවාගෙන යන අයිතිකාරයාට මෙදා ඉතුරුවී තිබුණේ ගෝනි කීපයක දාගෙන යාමට සෑහෙන පොල් ප්‍රමාණයකි.
දවස් දෙක තුනකට පසු සුද්දා හමුවන්නට ආ අයිතිකරු වත්ත නැවත බාරගෙන වගා කරන ලෙස සුද්දාගෙන් ඉල්ලා සිටියේය. ඔහු මුදල්ද රැගෙනවිත් සුද්දාට දී තිබුණි. මුදල් අනවශ්‍ය බව සුද්දා කී විට ඔහු කියා තිබුණේ මෙතෙක් කල් වත්ත රැක බලා ගත්තාට ඒ මුදල ගන්නා ලෙසයි. කෙසේ හෝ දැන් සුද්දා වත්ත නැවත වගා කරයි. මෙදා සුද්දා සිටවා තිබෙන්නේ කිරි අල සහ මඤ්ඤොක්කාය. වගා කරන්නට දඬු ලබා ගැනීමේ ප්‍රශ්නයක් සුද්දාට මතුවිය. පළවෙනි කොරෝනා සමයේදී මම වත්තේ මඤ්ඤොක්කා සිටෙව්වෙමි. ඒවායේ දැන් හොඳට අල බැහැලාය. හැබැයි අල ටික ඌරු මීයන්ගෙන් බේරාගන්නට බැරිය. ගෙදර කෑමට ගලවන ගමන් එකතු කළ දඬු ඔක්කොම මම සුද්දාට දුන්නේ මම ආපහු මඤ්ඤොක්කා නොහිටවන නිසා ඒ සමහර හොඳ දඬු වර්ග වඳ නොවී ආරක්ෂා කරගන්නටය. දඬු සියල්ලම සිටවූ සුද්දා මගෙත් එක්ක කීවේ පහුගිය වැස්සත් එක්ක දඬු ටික හොඳට පැළවී ඇති බවය. මම ගෙදර ප්‍රයෝජනයට මඤ්ඤොක්කා හිටෙව්වත් සුද්දා කරන්නේ වාණිජ වගාවකි. සුද්දා මඤ්ඤොක්කා ගැලවූ දාට දඬු ටිකක් ආපහු අරගෙන ඇවිත් වත්තේ හිටවන්නට මම හිතාගෙන ඉන්නෙමි
හැලපයා බ්ලොග් අඩවියෙන් https://helapakade.blogspot.com/ * අවසර ඇතිව උපුටා ගත්තකි .
පරිවර්තිත කෙටිකතාව
අහඹු හමුවීම

එදින මා සිටියේ ව්‍යාකූල වූ සිතිනි. මෙය ඇතැම් දිනවල මා අත්දුටු සංසිද්ධියක් වූ අතර එවිට මට කියවීමට, සිතීමට හෝ කිසිවෙකු සමඟ කතාකිරීමට වුවමනාවක් ඇති නොවේ. එදිනත් මගේ මනස ක්‍රියාකිරීමට අවශ්‍ය ඉන්ධන අවසන් වූ බවක් මට දැනුණු අතර මනසේ දැති රෝද තෙල් රහිත වීමෙන් ක්‍රමක්‍රමයෙන් වියළී, නැවතී ගොස් තිබිණි.
ඒ වෙද්දී මා සිටියේ මගේ පරණ පුරුදු තැනක් වූ ජෙලේපාරා හි කාඩ් සෙල්ලම් කරමින් වූවත් මා ඒ ක්‍රීඩාවෙන් විනෝදයක් ලැබුවේ නැත. වෙනත් වේලාවකදී නම් කාඩ් අතක ජයග්‍රහණය නිසා මා උද්දාමයෙන් උඩ පනින නමුත් එදින නම් මට සිතුණේ දිනුමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද යන බවයි. මා වටා ඇසුණු ඕපාදූප පවා මා රස වින්දේ නැත. අප උන් නූස් සිවිලිමක් සහිත ඒ කාමරයත්, තීන්ත පදාස ගැලවුණු එහි බිත්තිත්, ‘කාලිය නම් සර්පයා මරාදැමීම’, ‘අන්නපූර්ණා දෙවඟන දේ දානය’ වැනි තේමා යටතේ බිත්තිවල එල්ලා තිබුණු පැරණි බාල සිතුවම් කිහිපයත් කිසිම තේරුමක් නැති දේවල් බව මට හැඟිනි. මා වටා ඇසුණු කතාබහ කාලයේ ආරම්භයේ පටන් මා අසා තිබුණු ඒවා බවක් දැනුණි. අලස බවත් උදාසීන කමත් උත්සන්නව දැනෙද්දී අසල උන් පුද්ගලයාගෙන් මම මෙසේ ඇසුවෙමි.
“තමුසේ මේ වැඩෙන් විනෝදයක් ලබනවාද? ඒ බවක් පේන්නේ නැහැ, ඒකයි-”
ඔහු පුදුමයෙන් මදෙස බැලුවේය.
“ඇයි එහෙම අහන්නේ? තමුසේ අකමැත්තෙන්ද ඉන්නේ?”
එය අසා මගේ නොරිස්සුම තවත් වැඩි විය. මට කරන්නට ඇති රාජකාරි ගැන බොරුවක් කියා මා එතැනින් නික්මෙද්දී හවස හතරට පමණ වන්නට ඇත. ඒ වෙලාවේදී අතුරු මාවත් වල වෙළෙන්දන් මහා හඬින් වෙළඳාමේ යෙදී සිටි අතර පොත් පත් අතින් ගත් දරුවෝ පාසල් වලින් නික්ම යමින් සිටියහ. ඈතින් ජල කරාම වලින් දිය වෑස්සෙන හඬ ඇසුණි. ඒ වෙද්දීත් නිවෙස් ඉදිරිපස අගු පිල් වෙතට සහ මාවත් හි මංසන්ධි වෙතට මිනිසුන් කණ්ඩායම් එක් රැස් වෙමින් සිටියේ දවසේ ඉතිරි ටික නිකරුණේ ගෙවා දැමීමටයි.
මේ අතුරු මාවත් අතරින් වඩා පටු, අඳුරු මාවතක් වැටුණේ නගර සභාවෙන් පොදු ස්නාන පහසුකම් සපයා ඇති ස්ථානයක් ඉදිරියෙනි. මා නිතර මේ මඟෙහි ගිය නිසා ස්නානය සඳහා වූ කොටස අසල වූ මඩුවක් මගේ අවධානයට ලක් වී තිබිණි. මෙහි වැසියන්ගේ දින චර්යාව විශ්මයෙන් යුතුව නැරඹූ මට ඒ දසුන කිසිදිනක එපා වූයේ නැත. මේ කුඩා කුටිය අඩි අටක් තරම් දිගින් සහ පළලින් යුතු විය. එහි අඹු සැමියන් යුවළක් සහ කුඩා දරුවන් දෙදෙනෙක් විය. මේ ඉඩකඩ නොදුටු කෙනෙකුට එවැනි කුඩා ඉඩක මේ තරම් ජීවින් ප්‍රමාණයක් ඔවුන්ගේ බඩු මුට්ටුද සමඟ වාසය කරන බවක් අදහනු නොහැකි වනු ඇත. වඩාත්ම පුදුම සහගත කාර්යය නම් මේ කුටියේ එක් කෙළවරක මුළුතැන්ගෙයක් ද තිබීමයි. මා එතැනින් යන එන හැම විටකම එහි යම් ආකාරයක ආහාර පිසීමක් සිදුවෙමින් තිබිණි. ඒ නිවසේ ගෘහණිය කුඩා බිළිඳා ද උකුලේ හොවාගෙන එක්කෝ යම් දෙයක් බදිමින් සිටියාය. නොඑසේ නම් කිරි උණු කරමින් සිටියාය. ඇගේ වයස අනුමාන කිරීම දුෂ්කර විය. ඈ ට වයස 23, 30 හෝ 40 ක් පවා වීමට ඉඩකඩ තිබිණි. ඇගේ කිලිටි සාරියේ හිස වසා තිබුණු කොටස ඉරී ඇති බව පෙනුණි. සාමාන්‍යයෙන් විවාහක ගැහැනුන් පළඳින වර්ගයේ වළලු ඇගේ දෑතේ දක්නට විය. ඇගේ දෑසේ ආලෝකයක් නොවුණු අතර මට හැඟුණේ ඇයගේ මුහුණෙන් මෝඩ පෙනුමක් පිළිබිඹු වූ බවකි. බොහෝවිට ඇගේ සැමියා කොහේ හෝ කර්මාන්ත ශාලාවක රැකියාව කරනවා ඇත. වතාවක් දෙකක්, මා රාත්‍රී කාලයේදී මෙතැනින් යද්දී, දැලි වැකුණු මුහුණක් ඇති අයෙකු අතේ පනිට්ටුවක් ඇතිව මේ මඩුවේ සිට ස්නානය කරන තැන වෙත යනු මා දැක තිබිණි.
එදිනත් මම නැවත ඒ නිවැසියන් දුටුවෙමි. එහි බිරිඳ බිළිඳා ඇකයේ හොවාගෙන දොරකඩ වාඩි වී සිටියාය. ඈ මවෙත හෙලුවේ මෝඩ බැල්මකිනි. එකට ගැට ගැසූ උණ බම්බු සැකිල්ලක් මත කටු මැටි අතුරා, ඇතුළතින් ඒ මත කහ ගැසුණු පත්තර පිටු අලවා තනා තිබුණු ඒ කුටිය පරෙවි කූඩුවක් සේ දිස් විය. එහි එක් පසෙක ගැට ගැසූ රෙදි වැලක් මත කිලිටි ඇඳුම් වනා තිබිණි.
මේ දසුන දැකීමෙන් මා තවත් කළකිරුනි. මෙවැනි ගුබ්බෑයමක මිනිසුන් සතුටින් සිටින්නේ කෙසේද? ඔවුන් මෙහි ජීවත් වන්නේ පවා කෙසේද? ඔවුන්ගේ පැවැත්ම කොයි තරම් අර්ථශූන්‍ය ද! ඒ වෙනුවෙන් ඔවුන් මහන්සි වන්නේ කුමකටද? අර කුඩා දරුවා මතු දිනයක කවරෙකු වනු ඇතිද? ඔහුත් කෙදිනක හෝ කර්මාන්තශාලා සේවකයෙකු වී තම දරු මල්ලන් සමඟ මෙලෙසම කුඩා මඩුවක වාසය කරමින්, මෙවැනිම අඳුරු, අවලස්සන දුක්බර ජීවිතයක් ඒකාකාරී ලෙස ගෙවා නොවැදගත් මරණයකට හිමිකම් කියනු ඇත. එහෙත් ඒ මව දරුවාව සිඹිමින් සුරතල් කළ විලාසයෙන් පෙනුණේ ඇයට ඔහු වෙනුවෙන් සිහින සහ ප්‍රාර්ථනාවන රැසක් ඇති බවකි. නමුත් මේ සිතිවිල්ල සමඟම නැවතත් මගේ සැක සිත මතුවන්නට විය. ඒ කාන්තාවට එවැනි සිහින දකින්නට අවශ්‍ය බුද්ධිය තිබේද? තමන්ගේ අභ්‍යන්තරයේ ඇති ආශාවන් පදනම් කරගෙන, වර්තමානයේ සිටින තත්ත්වයෙන් වෙනස් අනාගත තත්ත්වයක් ගැන සිතුවිල්ලක් ඇතිකරගෙන ඒ ගැන විශ්වාසයක් ගොඩ නඟා ගැනීමට ඇයට පුළුවන් ද? මේ කැත, අප්‍රසන්න වර්තමානය අත්හැර දිදුලන, සිහිනමය අනාගතයක් වෙත මනසින් පිවිසෙන්නට ඇයට හැකියාවක් තිබේ ද?
ඒ අතුරු මාවතෙන් මංසන්ධිය වෙත එළඹුණු පසු එහි සිටි පොත් වෙළෙන්දා ළඟ මම නැවතුනෙමි. මෙහි වූයේ පාවිච්චි කරන ලද පොත් සහ සඟරාවන් ය. ඒ අතරින් වැඩි ප්‍රමාණයක් කුණු ගොඩවල් වූ අතර ඒවා කම්මැලි, නොවැඩුණු මනසින් යුතු අයගේ නිර්මාණ විය. විචිත්‍ර පිටකවර සහිත නිස්සාර විදෙස් නවකතා සහ චිත්‍රපටි සඟරා ආදියද මෙහි විය. වෙනත් දවසක නම් මට ගැලපෙන දෙයක් සොයමින් මා මේවා අවුස්සන්නට ඉඩ තිබිණි. එහෙත් එදින මට ඒ සඳහා ඉවසීමක් තිබුණේ නැත. මගේ මනස අඳුරු ව තිබුණේ අවපැහැති කාසියක් නොඑසේ නම් වැහි බර අහසක් මෙනි.
චිත්‍රපටියක් නැරඹීමට යා යුතු දැයි මම කල්පනා කළෙමි. නොඑසේ නම් අවුට්‍රම් ඝාත් පෙදෙසේ ඇවිදින්නට යා යුතු ද? නැත්නම් කොහේ හෝ වාඩි වී උණුහුම් තේ කෝප්පයක් බීම හොඳ අදහසක් ද? නැත්නම් විල් ඇති පැත්තට ඇවිද යා යුතු ද?
ධර්මතෝලා හි පල්ලිය ඉසව්වේදී සෙනඟක් වටවී සිටිනු ඈතට පෙනුණි. යුරෝපීය ඇඳුමින් සැරසුණු පුද්ගලයෙක් බිම වැටී සිටියේය. ඔහුගේ හිස සිරුරෙන් ඇලවී තිබුණු කෝණය නිසා මට නම් සිතුණේ ඔහු මිය ගොස් ඇති බවයි. පොලිස් නිලධාරීන් දෙදෙනකු ද එහි විය. මේ පුද්ගලයා එතැන නිවසේ පහත මාලයේ නානකාමරයේ වැටී සිටියදී එහි මුරකරු සොයාගෙන ඇති බවත්, ටැක්සියක දමා කොතැනක හෝ යවනු පිණිස ඔහු විසින් අපහසුවෙන් ඒ සිහිසුන් සිරුර පිටතට රැගෙන ආ බවත් කසුකුසුවක් යමින් තිබිණි.
මේ සිරුර දැකීම මා තුළ අනුකම්පාවක් ඇති කිරීමට සමත් විය. කලින් දරුවා සමඟ අගුවේ සිටි මෝඩ කාන්තාව ගැන නොදැනුණු ඒ අනුකම්පාව මේ සිහිසුන් වූ බේබද්දා වෙනුවෙන් මට දැනෙන්නට විය. මොහු යම් ආකාරයක සතුටක් සොයා යාමට අවශ්‍ය මාර්ගය වෙත එළඹ සිටි අයෙකි. ඒ මඟ හරි ද වැරදිද යන කරුණ ඔහු ලද සතුටේ ගුණත්වය මත තීරණය වූවත් ඔහු ගේ අත්දැකීම ගැන දැන සිටියේ ඔහු පමණි. නමුත් ඔහු සිටියේ සිහිසුන්ව යි!
මම කර්සොන් උයන වෙත එළඹුනෙමි. මෙහි පෝසත් පවුල්වල කුඩා දරුවන් බලාගන්නා මෙහෙකරුවන් සහ ආයාවරුන් කිහිපදෙනෙක්ම සිටි අතර වැස්සෙන් මිදීමට ඔවුහු ගරාජ වල පියසි යටට රොක් වී සිටියහ. එන්න එන්නම වැස්ස තද වූ නිසා මම ද එවැනි පියස්සක් යටට ගියෙමි. රන් පැහැති කැරළි හිසකෙස් සහ නිල් දෑස් ඇති වයස අවුරුදු එකහමාරක් දෙකක් පමණ වූ කුඩා දරුවෙක් තම භාරකරු ගේ තොප්පිය අහුලා, වැනි වැනී ගොස් මහත් වෙහෙසක් දරා එය භාරකරුගේ හිස මතට දැමීමට උත්සාහ ගන්නා ජවනිකාවක් එවෙලෙහි මා නෙත ගැටුණි. තොප්පිය හිසේ රැඳවුණු විට කුඩා දරුවා දෑත වනා, මුළු සිරුරම වෙව්ලුවා, ලොඹු කට විදහා මහා හඬින් සිනාසුණේ ය. නමුත් තොප්පිය මෙහෙකරුගේ හිස මතට නියමාකාරයෙන් නොවැටුණු බැවින් මොහොතකින් එය නැවතත් රූරා බිමට වැටුණි. එවිට කුඩා දරුවා පෙර මෙන් මහත් වෙහෙසක් දරා පෙර ක්‍රියාවම කළ අතර, පෙර සතුටත්, සිනහවත් නැටුමත් නැවතත් එලෙසම විය. ඔහු දෙස බලා සිටි කිසිවෙක් නොවීය. ඔහුට කිසි කෙනෙකුගේ අවධානය වුවමනා වූයේද නැත. දරුවාගේ භාරකරුට මේ කිසිවක් ගැන වගක් නොවිණි. ඔහු තමාට අනෙත් පසින් බිම ඇණ තියාගෙන උන් ආයා සමඟ බර කතාවක නියැලී උන් අතර දරුවා කුමක් කරන්නේද, නොකරන්නේද කියා සොයා බැලුවේ නැත. අවට සිටි අනෙත් අයත් බිළිඳුන් වූ නිසා මේ කුඩා දරුවා තනිවම මේ තොප්පි සෙල්ලමේ නියැලෙමින් සිටියේ ය.
මා ඒ දෙස බලා සිටියේ ඊට වශී වූ විලසිනි. ඒ මෘදු, ලපටි අත පයේ කොයිතරම් ලාලිත්‍යයක් වී ද! ඒ අදහසට පණදීමේ හැකියාව, වසන් නොකරන ලද සතුට, සම කළ නොහැකි සුන්දරත්වය කෙතරම් ද! උතුරනා සතුටින් යුතු ව ඒ කුඩා දරුවා තම සිරුර ඉදිරියට නැඹුරු කර දෑත මිටිකර ඔසවා යළි පහත හෙලුවේ මුවේ සිනා ඉහිරෙද්දී ය. ළමාවියේ නොතිත් සතුට වචන රහිත විචිත්‍ර කතාබහකින් එහි ප්‍රකාශ කෙරෙමින් තිබිණි.
මට මේ දසුනින් නෙත් ඉවත් කරගැනීම අපහසු විය. මින් පෙර නොදැන සිටි ලාලිත්‍යයේත් සතුටේත් උල්පතක් මා හේතුවක් රහිතව, ඉබේම සොයාගත්තා වැනි විය. මා මේ දරුවා දෙස බොහෝ වෙලාවක් බලා සිටින්නට ඇත. ටික වෙලාවකින් මෙහෙකරුට මගේ බැල්ම දැනී, ඔහු ආයා සමඟ කතාබහ නැවත්වූයේ ය. ඉනික්බිති දරුවාගේ අතින් තොප්පිය උදුරාගෙන එය ළදරු කරත්තයට හෙලුවේය. එසැණින් දරුවාගේ මුහුණ අඳුරු විය. ඔහු ළදරු කරත්තය වෙත ආයාසයෙන් ඇවිද ගියත් එය ඔහුට වඩා උසින් වැඩි විය, ඔහුගේ කුඩා දෑත ඒ තුළට දිගු කිරීමට කෙටි වැඩි විය. අසරණ ව වටපිට බැලූ දරුවා එක වරම බිම වාඩි වූයේ ය. ඔහුගේ භාරකරුගේ අවධානය තවමත් රැඳී තිබුණේ කතාබහ වෙතයි.
උයන තුළට ඇවිද ගිය මම තනිවම බංකුවක අසුන්ගත්තෙමි. හිරු බැස යමින් තිබුණු අතර ගංගා නදිය දෙසින් අහස රත් පැහැ වී තිබිණි.
මා දුටු කුඩා දරුවා සතුව තිබුණු හේතුවක් රහිත සතුට නොදැනුවත්වම, රහසින්ම මගේ මනසටත් කාන්දු වී ඇති බවක් මට දැනෙන්නට විය. පෙරදී අර කුඩා මඩුවෙහි අගුවේ සිටි කාන්තාව මෝඩ අයෙකු බවක් මට තව දුරටත් දැනුණේ නැත.
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Translation of the Short Story ‘Unaccountably’ by Bibhuti Bhushan Banerji

From the book Noon in Calcutta : short stories from Bengal (1992), compiled by Khrishna Dutta and Andrew Robinson
පරිවර්තනය – හෙල්මලී ගුණතිලක
Hot chocolate days බ්ලොග් අඩවියෙන් , අවසර ඇතිව උපුටා ගත්තකි
http://hotchocolatedays.blogspot.com/


