ටිල්වින්ට ලන්ඩනයේදී එල්.ටී.ටී.ඊ(LTTE) හිතවාදීන් පිරිසකගෙන් විරෝධයක් – බ්‍රැම්ප්ටන් නගරයේ ඊළාම් කොඩිය ඹසවයි.

ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා බ්‍රිතාන්‍යයේ සිදු කරන සංචාරයක් අතරතුරදී ලන්ඩනයේදී එල්.ටී.ටී.ඊ. (LTTE) හිතවාදීන් පිරිසකගේ විරෝධතාවලට මුහුණ දී තිබෙනවා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හමුවීම සහ ඔවුන් සමග සාකච්ඡා පැවැත්වීම සඳහා ටිල්වින් සිල්වා එක්සත් රාජධානිය වෙත සංචාරයක නිරත වුණා.මෙම සිදුවීම වාර්තා වූයේ ජාතික ජන බලවේගයේ (NPP) ලන්ඩන් ශාඛාව විසින් සංවිධානය කරන ලද මහජන හමුවක් පැවැත්වීමට නියමිතව තිබියදී යි.විරෝධතාකරුවන් පැමිණීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබුණා.

මීට අමතරව කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගරයේ පසුගිය නොවැම්බර් 21 වැනිදා දෙමළ ඊළාම් ජාතික ධජ දිනය ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.එය කැනඩාවේ සහ උතුරු ඇමෙරිකාවේ එවැනි පිළිගැනීමක් සිදු කළ පළමු මහ නගර සභාව වනවා.

බ්‍රැම්ප්ටන් නගරයේ නගරාධිපති පැටි්‍රක් බ්‍රවුන් මෙම දිනය විස්තර කර තිබුණේ “ඊළාම් දෙමළ ජාතියේ සාමූහික අනන්‍යතාව සහ ජන සංහාරයට එරෙහි අඛණ්ඩ ප්‍රතිරෝධය සංකේතවත් කරනදිනයක් ලෙසයි.

එම නගරයේ කෙන් විලන්ස් චතුරශ්‍රයේ ධජය එසවීමේ උත්සවයක් පැවති අතර නගරාධිපතිවරයා එම කොඩිය ඔසවන අයුරු මාධ්‍යයේ පළවී තිබුණා.

ගෝලීය දෙමළ අයිතිවාසිකම් පිළිබඳ හඬ සංවිධානයේ කුමුතිනි කරුණාකරරාජා මෙම පිළිගැනීම ඊළාම් දෙමළ කැනේඩියානුවන්ගේ ඉතිහාසය සහ ජීවමාන අත්දැකීම් තහවුරු කිරීම වෙනුවෙන් වූ බලාපොරොත්තුවේ සංකේතයක් බව ප්‍රකාශ කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙරට විදේශ අමාත්‍යාංශය මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *