
ළඟ එන මෝසම් වැස්සෙන් වැඩිම බලපෑමක් වන ජලාශ ගැන අවධානය
අනාවැකි අනුව ජලය මුදාහරින්න බැහැ- වාරිමාර්ග අධ්යක්ෂ
ඇරපු වාන් දොරටු රැසක්ම වසයි
ගංගා ජලය බැස්සත් පහත් බිම් තාමත් යටවෙලා
ලක්ෂ 15 1/2 ක් පීඩාවට
ඊසානදිග මෝසම සක්‍රියවීමත් සමග වර්ෂාපතනයේ වැඩිවීමක් සිදුවී ඉන් බලපෑමක් ඇතිවන ජලාශ සම්බන්ධයෙන් අවධානයෙන් සිට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්යක්ෂ (ජලවිද්‍යා සහ ආපදා කළමනාකරණ) එල්. එස්. සූරියබණ්ඩාර මහතා පසුගිය (03 වැනිදා) පැවසීය.
ශ්‍රී ලංකාවේ පවතින්නේ වාරි පද්ධතියක් බවත් එම පද්ධතියට ලැබෙන ජලය කෘෂිකර්මය, පානය ඇතුළු අවශ්‍යතා සඳහා රඳවා ගතයුතු බවත් එම ජලාශවල ජලය කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව අනාවැකි අනුව මුදාහැරිය නොහැකි බවත් ඒ මහතා කීය.
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් මහවැලි, කැලණි, මල්වතු, දැදුරු, මාඔය ඇතුළු ගංඟා රැසක ජල මට්ටම අඩුවෙමින් පැවතියත් එම ජලාශ ආශ්රිත පහත් බිම් කිහිපයක පසුගිය 04 වැනිදා වන විටත් ජලය එක්රැස්වී පවතින බවට වාර්තා විය.
ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 25 තුළ පවුල් 437,507ක පුද්ගලයන් 1,558,919ක් පීඩාවට පත්ව සිටින අතර පුද්ගල මරණ 465ක් ද, පුද්ගල අතුරුදන්වීම් 366ක් ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා වී තිබිණි.
නිවාස 783ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබූ අතර අර්ධ නිවාස හානි 1,433ක් ද වාර්තා වී තිබේ. පවුල් 61,875ක පුද්ගලයන් 232,752ක් ආරක්ෂිත මධ්‍යස්ථාන 1433ක රැඳවීමට කටයුතු කර තිබිණි.
බදුල්ල, කොළඹ, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක 07ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 70ක් සඳහා නිකුත් කර තිබූ රතු නිවේදන (ඉවත්වීමේ) (04 වැනිදා) දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය දැනුම් දී තිබිණි. මේ වනවිට අනතුරු ඇඟවීම් සිදුකර නිවාසවලින් ඉවත්ව සිටින ජනතාවට ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පරීක්ෂා කර දැනුම්දීමක් සිදුකරන තෙක් එම නිවෙස්වලට යළි නොයන ලෙස ද එම ආයතනය ඉල්ලා සිටී.
ඊසානදිග මෝසම සක්‍රියවීමත් සමග උතුර, උතුරු මැද, නැඟෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තද වැසි ඇතිවිය හැකිය.
මේ අතර දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ළමුන් 275,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව යුනිසෙෆ් සංවිධානය පවසයි.යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත එමා බ්‍රිගම් මහත්මිය පෙන්වා දෙන්නේ සුළි කුණාටුවෙන් දරුවන්ට සිදුව ඇති හානිය පිළිබඳ දැඩි කනස්සල්ල පළ කරන බවයි.යුනිසෙෆ් සංවිධානය ශ්‍රී ලංකා රජය සමග එක්ව ළමුන්ට අවශ්‍ය හදිසි උපකාර සේවා සහ ජීවිතාරක්ෂක සේවා සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සඳහන් වේ.දැඩිලෙස පීඩාවට පත් දිස්ත්‍රික්කවල සිටින දරුවන් වෙනුවෙන් හදිසි අධ්‍යාපන කට්ටල ලබා දීමට ද බලාපොරොත්තු වන බව යුනිසෙෆ් සංවිධානය පවසයි.
මේ අතර ආපදාවෙන් විපතට පත්වූවන්ට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය ප්‍රතිපාදන සපයාගැනීමට පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් පසුගිය (03වැනිදා) පස්වරුවේ ඉදිරිපත් කෙරුණි.ආපදා තත්ත්වයට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලයේ විශේෂ හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්වා තිබුණි.එම විශේෂ රැස්වීමේදී අදාළ පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ බව වාර්තාවේ.
ආපදා තත්ත්වයෙන් විපතට පත් සියලු පාසල් දරුවන්ට ජනාධිපති අරමුදලින් රුපියල් 25,000ක දීමනාවක් ලබා දෙන්න පියවර ගෙන තිබෙන බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පසුගිය (03 වැනිදා) ප්‍රකාශ කළාය.
“විපතට පත් සියලු පාසල් දරුවන්ට ජනාධිපති අරමුදලින් රුපියල් 25,000 බැගින් ලබා දෙන්න පියවර ගෙන තිබෙනවා. අපි සමස්ත ලෝකයට ආදර්ශයක් ලබාදී තිබෙනවා. අපේ රටේ සියලු පවුල් මේ ව්‍යසනයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සහාය ලබාදෙන්න කටයුතු කළා.
ජීවිත අහිමිවූ සියලු දෙනා වෙනුවෙන් අපි කනගාටු වෙනවා. අපි එකමුතුකමින් නැඟී සිටිය යුතු වෙනවා. අපි එකමුතුව මේ අභියෝගය ජයගත යුතු වෙනවා” යැයි ද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
දේ අතර ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයෙන් සිදුවූ දැඩි හානිය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු, ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු රටවල් රැසක නායකයන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සංවේගය පළ කර තිබෙන අතර අසීරු මොහොතේ දී ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳ ගන්නා බවට ප්‍රකාශ කර තිබේ.
මීට අමතරව අමෙරිකානු ජනාධිපති වෙනුවෙන් ධවල මන්දරයේ නියෝජිතවරයකු ද ජනාධිපතිවරයාට සිය සංවේගය පළ කර තිබේ.
මෙතෙක් ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කළ ආකාරයෙන් ඉදිරියටත් ශක්තිමත්ව කටයුතු කිරීමට සූදානම් බව ද මෙම ව්‍යසනකාරී අවස්ථාවේ ශ්‍රී ලාංකීය ජාතිය සමඟ නිරන්තරයෙන් සිටින බව ද රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සඳහන් කර ඇත. ශ්‍රී ලංකාව පුරා ඇති වූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් සිදු වූ ජීවිත හානි සහ විනාශය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා සිය සංවේගය පළකර තිබෙන අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබේ. ඊට අමතරව ශ්‍රී ලංකාව සහ අග්නිදිග ආසියාව පුරා ඇති වූ දරුණු කුණාටු හේතුවෙන් සිදුවූ විනාශය ගැන තමා සහ බිරිය ශෝකයට පත්වන බව එක්සත් රාජධානියේ චාල්ස් රජු ප්‍රකාශ කර තිබෙන අතර එම කුණාටුව හේතුවෙන් බලපෑමට ලක් වූ සියලු දෙනාගේ ජීවිත සහ ජීවනෝපායන්ට කෙතරම් බලපාන්නට ඇත්දැයි අනුමාන කළ හැකි බව ද පෙන්වාදී ඇත. ඛේදජනක ලෙස ජීවිත අහිමි වූවන්ගේ පවුල්වලට ඔවුන්ගේ හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරන බව ද මෙම දුෂ්කර දිනවල විශේෂයෙන්ම නිර්භීත ලෙස හදිසි ප්‍රතිචාර දක්වන්නන් සහ අත්‍යවශ්‍ය ආධාර සපයන සියලු දෙනා විශේෂයෙන් අගය කරන බව ද බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු සඳහන් කර තිබේ.
සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ සිදු වූ ජීවිත හානි සහ විනාශය පිළිබඳ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය ශෝකය පළකර තිබෙන අතර මෙම අවස්ථාවේ දී ඉන්දීය ජනතාව ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සහයෝගයෙන් සිටින බව ද ඔහු ප්‍රකාශ කර ඇත. ඊට අමතරව සිය ගණනක් මියගොස් ලක්ෂ ගණනක් අවතැන් වූ සුළි කුණාටුවෙන් පසු දුරකතනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක අමතා තිබෙන දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු විශේෂ නියෝජිත සහ ධවල මන්දිර ජනාධිපති කාර්යාලයේ අධ්යක්ෂ සර්ජියෝ ගෝර් මහතා එක්සත් ජනපදය තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර ආදරණීයන් අහිමි වූ පවුල්වලට සිය ගැඹුරු ශෝකය ප්‍රකාශ කරන බව ද සඳහන්කර තිබේ.
මේ අතර කලාපයේ විනාශකාරී ගංවතුරෙන් සිදු වූ විනාශයෙන් පීඩාවට පත් ඉන්දුනීසියාව, මැලේසියාව, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල ජනතාව ශෝකය පළකර තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සිය නිල x පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
මෙකී ව්‍යසනයෙන් අහිමි වූ ජීවිත ගැන ශෝකය පළකර ඇති ඒ මහත්මිය කුණාටුවෙන් බලපෑමට ලක් වූ සියලු දෙනා සමඟ නැඟී සිටින බව ද එමෙන්ම ව්‍යසනයට මුහුණදුන් රටවල් නැවත යථා තත්ත්වයට පත්වීමට සහ ඔරොත්තු දීමේ හැකියාවට සහාය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බව ද අදාළ පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
විදේශීය පරිත්‍යාගශීලීන් විසින් ආපදාවට ලක්වූ ජනතාව වෙත ලබාදෙන මානූෂීය ආධාර සඳහා තීරු බදු සහ ගාස්තුවලින් තොරව ගෙන්වීමට රජය විසින් ක්‍රමවේදයක් සකස් කර ඇත.
ආපදාවට පත්වූ ජනතාව වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම සඳහා විදෙස් රටවල් සංවිධාන, පුද්ගලයන් මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් සිදුකර ඇති ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත මෙම ක්‍රමවේදය සකස් කර තිබේ. ඒ අනුව ඔවුන් මෙරටට එවනු ලබන භාණ්ඩමය ආධාර සියලු තීරුබදු ගාස්තුවලින් තොරව කඩිනමින් නිශ්කාෂණය කර බෙදා හැරීම සඳහා පහසු ක්‍රමවේදයක් ප්‍රකාශයට පත් කර ඇති බව රේගු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් එසේ කී අධ්යක්ෂ ජනරල්වරයා මානුෂීය ආධාර එවීමේ දී තිබෙන භාණ්ඩ පිළිබඳ විස්තරයක් එවීමෙන් මෙම කාර්ය වඩාත් පහසුවෙන් නිදහස් කර ගැනීමට හැකියාව තිබෙන බව ද කියා සිටියේය. වරායේ හා කටුනායක ගුවන්තොටුපළේ රේගු අංශය පැය 24ක ක්‍රියාත්මකවන පරිදි මෙම නිශ්කාෂණ වැඩපිළිවෙළ සිදු කරන අතර, ආනයන තත්ත්වයේ භාණ්ඩ එවීමෙන් සිදුවන අපහසුතා මඟහැරවා ගත හැකි බව ද සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේය.
පරිත්‍යාග පිළිබඳ මාර්ගෝපදේශ සඳහා WWW.CUSTOMS.GOV.LK වෙබ් අඩවියට පිවිසීමෙන් ද එසේ පරිත්‍යාග කළ හැකි අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ද්‍රව්‍ය වර්ග පිළිබඳ සවිස්තරාත්මක විස්තර WWW.DONATE.GOV.LK යන වෙබ් අඩවියට පිවිසීමෙන් ද ලබාගත හැකිය. මේ අතර දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ අතිවිශාල හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් “රී – බිල්ඩින් ශ්‍රී ලංකා” අරමුදල ස්ථාපනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ. මෙරට වෙනත් පුද්ගලයකු හෝ සංවිධානයක නමට ද්‍රව්‍යමය පරිත්‍යාග එවනු ලබන අවස්ථාවක බදු නිදහස් කර ගැනීමක් අවශ්‍ය නම්, එම පරිත්‍යාග ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙන භාරදීමට අදාළ පාර්ශ්වය එකඟතාව පළ කළ යුතුය. එසේ නැතහොත් සාමාන්‍ය නිශ්කාෂණ ක්‍රියාවලියට අනුගත කළ යුතුවේ. මේ පිළිබඳ විස්තර +94704752823 දුරකතන අංකයෙන් හෝ relief25@custom.gov.lk විද්‍යුත් ලිපිනයෙන් ලබාගත හැක.


