

කැනඩාවේ එඩ්මන්ටන් නගරයේ පොලිස් නිලධාරීන්ගේ ශරීරයේ පැළඳිය හැකි කැමරා (Body Cameras) සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) යොදා ගැනීමට සූදානම් වනවා.ඒ අනුව කෘත්‍රිම බුද්ධියෙන් බල ගැන්වූ මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය (Facial Recognition Technology) සජීවීව පරීක්ෂා කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.
වරක් ආක්‍රමණශීලී යැයි ප්‍රතික්ෂේප වූ මෙම තාක්ෂණය උතුරු අමෙරිකාවේ පොලිස් සේවයට එක් කිරීමේ වැදගත් පියවරක් ලෙස මෙය සැලකෙනවා.
මෙලෙස AI තාක්ෂණය යොදා ගැනීමට සැලසුම් කර ඇත්තේ එඩ්මන්ටන් නගරයේ “අධි අවදානම්” නිරීක්ෂණ ලැයිස්තුවට ඇතුළත් පුද්ගලයන් 7,000කට ආසන්න සංඛ්‍යාවකගේ මුහුණු හඳුනාගැනීමටයි.
පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම මෙම නියමු ව්‍යාපෘතියේ තවත් අරමුණක් බවද එඩ්මන්ටන් පොලිස් සේවයේ වැඩබලන අධිකාරී කර්ට් මාටින් සඳහන් කර තිබෙනවා.
මෙම ලැයිස්තුවට ප්‍රචණ්ඩ හෝ පහර දෙනසුලු, ආයුධ සහිත සහ අධි අවදානම් අපරාධකරුවන් ලෙස වර්ගීකරණය කර ඇති පුද්ගලයන් 6,341ක් සහ බරපතල අපරාධ වලට සම්බන්ධ වරෙන්තු සහිත පුද්ගලයන් 724ක් ඇතුළත්.
ප්‍රමුඛතම ශරීර කැමරා නිෂ්පාදකයා වන Axon Enterprise, Inc. සමාගම සමග එක්ව මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, ප්‍රජා කණ්ඩායම් සහ විශේෂඥයන්ගේ කනස්සල්ලට හේතු වී තිබෙනවා. මේ අතර වසර හයකට පෙර මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය පොලිසිය විසින් භාවිතය බරපතල ආචාරධාර්මික ගැටලු මතු කරන බව පවසා එය අත්හිටවූයේ ද Axon සමාගමයි
Axon හි AI ආචාරධර්ම මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන බැරී ෆ්‍රීඩ්මන් සඳහන් කළේ, ප්‍රමාණවත් මහජන විවාදයකින්, පරීක්ෂණයකින් හෝ විශේෂඥ ඇගයීමකින් තොරව Axon සමාගම ඉදිරියට ගමන් කිරීම කනස්සල්ලට කරුණක් බවයි.
“ප්‍රතිලාභ පිළිබඳ පැහැදිලි ඇඟවීමක් නොමැතිව, සැබෑ පිරිවැයක් සහ අවදානමක් ඇති මෙම තාක්ෂණයන් භාවිතා නොකිරීම අත්‍යවශ්‍යයි,” යනුවෙන් ඔහු සඳහන් කලා.
Axon හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී රික් ස්මිත් ප්‍රකාශ කළේ, මෙම එඩ්මන්ටන් නියමු ව්‍යාපෘතිය නිෂ්පාදනයක් දියත් කිරීමක් නොවන බවත්, එය තාක්ෂණයේ කාර්ය සාධනය තක්සේරු කිරීමට සහ වගකීමෙන් යුතුව භාවිත කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂිත විධිවිධාන හෙළි කිරීමට අදහස් කරන “මුල් අවධියේ ක්ෂේත්‍ර පර්යේෂණයක්” බවයි.


