ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් නිදහස් – කෝටි 184 දඩය ගෙවන්නත් කබ්රාල් පොරොන්දු වෙයි.

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට බැඳුම්කරවල ශ්‍රී ලංකා රජයට අයත් රුපියල් කෝටි 184කට අධික මුදලක් ආයෝජනය කිරීම තුළින් රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා ලබා සිටී හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහි චෝදනා, දූෂණ විරෝධී පනතේ 67(3) වගන්තිය යටතේ අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඔහුව නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය පසුගිය(10 වැනිදා) නියෝග කළේය.

අල්ලස් කොමිසම සඳහන් කරන්නේ දූෂණ විරෝධී පනතේ 67 (3) වගන්තිය ප්‍රකාරව, විත්තිකරුට එරෙහි අධි චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගන්නා දින සිට මාස 3ක් ඇතුළත ඔහු විසින් මෙම නඩුවට අයත් රුපියල් 1,843,267,595.65 (බිලියන 1.8)ක මුදල දඩයක් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුමට බැරකළ යුතු බවයි.

අදාළ කාලසීමාව තුළ හිටපු මහ බැංකු අධිපතිවරයා විසින් එම මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත්, දූෂණ විරෝධී පනතේ 67(5) වගන්තිය යටතේ ඔහුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් අල්ලස් කොමිසම පළකළ නිවේදනයේ සඳහන් වේ.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන අධි චෝදනා පත්‍රඉල්ලා අස්කර ගන්නා බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම්දෙනු ලැබුවා.

එහිදී අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර සිටියේ, මෙම චෝදනා පත්‍රයේ රජයට පාඩු කළ බව සඳහන් රුපියල් 1,843,267,595.65ක මුදල දඩයක් වශයෙන් අය කර ගැනීමේ කොන්දේසියට යටත්ව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහි චෝදනා ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බවයි.

ඉන් අනතුරුව අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේ, එසේ නම් විත්තිකාර කබ්රාල් දූෂණ විරෝධි පනතේ 67(3) වන වගන්ති ප්‍රකාරව කොන්දේසිවලට යටත්ව නිදහස් කරන ලෙසයි.

ඒ අනුව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් දූෂණ විරෝධී පනතේ 67(3) වගන්තිය යටතේ කොන්දේසියට යටත්ව නිදහස් කිරීමට නියෝග කළ විනිසුරුවරයා, මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම්කර සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, සහකාර අධිපතිවරුන්වන දොන් වසන්ත ආනන්ද සිල්වා, එම්.ඒ. කරුණාරත්න යන අය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194(3) වගන්තිය යටතේ කොන්දේසි විරහිතව නිදහස් කිරීමටත් නියම කරනු ලැබුවා.

මෙම චෝදනාව සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම මීට පෙරද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබිණා.

එම අධිචෝදනා පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිගත් කොළඹ මහාධිකරණය, අදාළ අධිචෝදනා පත්‍ර ප්‍රතික්ෂේප කරමින් විත්තිකරුවන් නිදහස් කිරීමට නියෝග කර තිබිණා.ෙඉන් අනතුරුවයි අල්ලස් කොමිසම විසින් ඉකුත් වසරේ මෙම නඩුව යළි ගොනුකරනු ලැබුවේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *