දිට්වා  ලංකාවෙන් 1/5ක් ඡලයෙන් යටකරයි. එක්සත් ජාතින්ගෙන් ඩොලර් මිලියන 4.5ක මූල්‍යාධාර.

ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව,ගෙවුණු දශක කිහිපයතුල  ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම ගංවතුර ව්‍යසනය බව ලෙස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) පවසනවා.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සිදුකල භූගෝලීය විශ්ලේෂණයකට අනුව, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රටේ සමස්ථ භූමි ප්‍රමාණයෙන් 20%ක් පමණ,  එනම්  හෙක්ටයාර මිලියන 1.1කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටව තිබෙනවා.

එම විශ්ලේෂණයට අනුව සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ගංවතුර බලපෑමට ලක් වූ මුළු ශ්‍රී ලාංකිකයන් ගණන මිලියන 2.3ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. මෙම පිරිසෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් කාන්තාවන් වීමද විශේෂත්වයක්.එම සංඛ්‍යාව ආසන්න වශයෙන් මිලියන 1.2ක්. මීට අමතරව බලපෑමට ලක්වූවන් අතර ළමුන් 522,000ක්, සහ වයස්ගත පුද්ගලයන් 263,000ක් ඇතුළත් බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.ගංවතුරට හසුවූ සමස්ත ජනතාවගෙන් 60%ක් බස්නාහිර පළාතේ පදිංචිකරුවන්.ඉන් වැඩි පිරිසක් ජීවත්ව ඇත්තේ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක දෙක තුළයි.

ගංවතුරට ලක් වූ ප්‍රදේශවල සිටි ජනතාවගෙන් අඩකට වඩා වැඩි පිරිසක් සුළි කුණාටුවට පෙර සිටම අස්ථාවර ආදායම් මාර්ග සහ අධික ණය වැනි විවිධ අවදානම්වලට මුහුණ දී සිටි බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ විශ්ලේෂණ වාර්ථාවේ වැඩිදුරටත් සඳහන්.ගංවතුරේ බලපෑම ගොඩනැගිලි 720,000කට පමණ ලගාවී ඇති අතර, එය රටේ සමස්ථ ගොඩනැගිලි ප්‍රමාණයෙන් දොළහකින් එකක්.

මාර්ග කිලෝමීටර් 16,000කට වැඩි ප්‍රමාණයක් ගංවතුරට නිරාවරණය වී ඇති බවත්. එය ආසන්න වශයෙන් දිවයින වටා වෙරළ තීරය මෙන් දොළොස් ගුණයකට වඩා දුරකට සමාන වනු ඇති බවද වාර්ථාවේ සදහන්.මීට අමතරව දුම්රිය මාර්ග කිලෝමීටර් 278කට වැඩි ප්‍රමාණයක් සහ පාලම් 480ක් ගංවතුරට ලක් වූ ප්‍රදේශවල පිහිටා තිබූ අතර සුළි කුණාටුව හේතුවෙන් කඳුකර  ප්‍රදේශවල නාය යෑම් 1,200ක් පමණ වාර්ථා වූ බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වැඩිදුරටත් පවසනවා.

මේ අතර අයහපත් කාලගුණය නිසා ඇති වූ ව්‍යයසන තත්ත්වය තුළ ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක සහන සේවා සහ නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය සදහා එක්සත් ජාතීන්ගේ සහාය ලබා දීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩෘෘ මහතා පවසනවා.විදේශ කටයුතු, අමාත්‍ය විජිත හේරත් මහතා සහ මාර්ක් ඇන්ඩෘෘ මහතා අතර පසුගිය (08 වැනිදා) පැවති හමුවකදී ඔහු මේ බව පවසා තිබුණා.

මේ යටතේ එක්සත් ජාතින්ගේ සංවිධානය ක්ෂණික ආධාර අරමුදල යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 4.5ක මුදලක් ආපදාවෙන් විපතට පත් සියලු ජනතාව සඳහා වහාම ලබා දීමට තීරණය කර තිබුණා. එම මුදල සංකේතාත්මකව අමාත‍්‍ය විජිත හේරත් මහතාට පිරිනැමීම ද මෙහිදී සිදුකෙරුණා. මෙලෙස ලබාදුන් ආධාර යටතේ ආහාර සුරක්ෂිතතාවය, නිවාස, පානීය ජලය, අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මාන්තය හා ධීවර අංශ වෙනුවෙන් ප්‍රමුඛතාව ලබා දීමටයි තීරණය කර ඇත්තේ. මේ සඳහා විස්තරාත්මක ඇගැයීමක් සිදු කිරීම පිණිස දැනමටත් OCHA සංවිධානයේ 05 දෙනෙකෙුගෙන් යුතු කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් එම හමුවේදී අනාවරණය වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *